ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2006

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ)
අංක 1572/4 , 2008 ඔක්තෝබර් 20 වෙනි සඳුදා 2008.10.20

පටුන

1. හැඳින්වීම
2. අර්ථ දැක්වීම්
3. ප්‍රතිපත්තිමය ස්ථාවරය

(3.1) දැක්ම
(3.2) මෙහෙවර
(3.3) අරමුණු
(3.4) ක්‍රියාත්මක කිරීම
(3.5) ප්‍රමුඛතා
(3.6) නියාමන ව්‍යුහය

4. නියමු සැලැස්ම

(4.1) ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීම
(4.2) ආයතනික සහ මානව සම්පත් සංවර්ධනය
(4.3) ආරක්ෂාව
(4.4) ලේඛනගත කිරීම
(4.5) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව මහජන දැනුම ප්‍රවර්ධනය
(4.6) පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය
(4.7) පර්යේෂණ

5. සමෝධානය

6. නිර්වචනය

පෙරවදන

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මීට දශක කිහිපයකට පෙර ඉටු කළ යුතුව තිබූ අවශ්‍යතාවකි. මේ රටේ පුරවැසියන්ට අයත් සිය අතීත උරුමය පිළිබිඹුකරන ස්ථාන, ස්මාරක සහ පුරාවස්තු සුලභය. එබැවින් නොයෙකුත් ක්ෂේත්‍රවල සිදුවන සීඝ්‍ර සංවර්ධන කටයුතු මගින් පුරාවිද්‍යාත්මක දේපලවලට නිෂේධනාත්මක බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකිය. රටේ සංවර්ධන ව්‍යාපෘතීන්ට සහභාගි වන ආයතන සහ පුද්ගලයින් පුරාවිද්‍යාත්මක දේපල වෙත දක්වන ආකල්ප වල විවිධතාව මත ඒ වෙත ඇති විය හැකි හානිකර ප්‍රතිඵල වලක්වා ගැනීම සහ එවැනි ක්‍රියාවලි නියාමනය කිරීම සඳහා නීතිගත රාමුවක් අත්‍යවශ්‍යය. එමෙන්ම පුරාවිද්‍යාවේ වෘත්තීයභාවය නිසිපරිදි හඳුනා ගැනීමත් එය බල ගැන්වීමත් අවශ්‍යය. රටේ සංවර්ධන ක්‍රියාවලියත් රටේ පුරාවිද්‍යාත්මක උරුමය රැකගැනීමත් සමාන්තර ගත ක්‍රියාවලි දෙකක් බවට පත්කිරීම දිගුකාලීන වශයෙන් ප්‍රතිඵල ලබාදෙන කටයුත්තකි. මෙම ලේඛනයට ඇතුළත් යෝජිත ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රතිපත්ති පිළිබඳ මූලික තේමාවන්හි එම දැක්ම ඇතුළත්ය.

න්‍යායික සහ ප්‍රායෝගික වශයෙන් මෙම ප්‍රතිපත්තියට ඇතුළත් අදහස් කෙටුම්පත් කිරීම සංශෝධනය කිරීම සඳහා ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති කමිටුවේ සියලු සාමාජිකයෝ මහත් පරිශ්‍රමයක් දැරූහ. 2004 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මාස පහක පමණ කාලයක් කමිටුව මේ සඳහා වැය කලහ. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන මූලික පියවර සම්පාදනය කළ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට මේ පිළිබඳව ස්තූතිවන්ත විය යුතුය.

ආචාර්ය එස්.යූ. දැරණියගල
සභාපති
ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව

ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය

මූලික කෙටුම්පත

1. හැඳින්විම

පුරාවස්තු ආඥා පනත සහ එහි සංශෝධනවල නිර්වචනය කොට ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය සිය දහස් ගණනක් වූ පුරාවිද්‍යා ස්ථාන, පුරාණ ස්මාරක සහ චංචල පුරාවස්තු වලින් සමන්විතය.ජාතික සම්පතක් ලෙස එය රටේ අනාගත සංවර්ධනය සැලසුම් කිරීමෙහි ලා ඍජු අදාලතාවක් දක්වයි. ජාතියේ වර්තමානය හැඩගැස්වීමේ දී අතීතය මගින් බලපෑමක් ඇතිකරන්නේය යන්නත් ජාතියේ අනාගතය සැලසුම් කිරීම වර්තමානය මැනවින් ග්‍රහණය කරගැනීමෙන් තොරව කළ නොහැකිය යන්නත් යථාර්තයකි. මේ අදහස මගින් මඟ පෙන්වන්නේ සංවර්ධන සැලසුම් අත්‍යාවශ්‍යයෙන්ම අතීතය පිළිබඳ ගැඹුරු දැනුමක් මත පදනම් කළ යුතු බවත් සංවර්ධන ප්‍රතිපත්ති කෙටුම්පත් කිරිමේ දී ජනතාවගේ සංස්කෘතික මාන වෙත අවධානය යොමුකරමින් සංස්කෘතික සංවර්ධනයේ පෙර ගමන්කරුවකු කළයුතු බවත්ය. ඕනෑම සමාජයක සංවර්ධනය කුමන අන්දමක ආර්ථීක සහ දේශපාලනික දිශානතියක් ඇති කවර තරාතිරමක ආර්ථීක වර්ධනයක දී වුව ද එහි සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි බව පසුගිය කාලය තුළ ලෝක ප්‍රජාව ලැබූ අද්දැකීම් මගින් පෙන්වා දෙයි. කුමන හෝ රටක් එහි සංස්කෘතික පරිසරය නොසලකා ආර්ථීක වර්ධනයක් ඉලක්ක කරන්නේනම් එහි ප්‍රතිඵලය වන්නේ ආර්ථීකයත් සංස්කෘතියත් අතර බියකරු අසමතුලිතතාවක් ඇතිවීමත් එමගින් සංස්කෘතියේ නිර්මාණාත්මක ශක්‍යතාවන් දුර්වල වීමත්ය. මේ නයින් අවසාන විග්‍රහයේ දී පෙනෙන්නේ සංවර්ධනයේ ප්‍රමුඛතා, නම්‍යතා සහ අරමුණු සොයා ගත යුතු වන්නේ සංස්කෘතිය තුළින් බවත්ය.

එහෙයින් සංස්කෘතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සංවර්ධන උපාය මාර්ගවල ප්‍රධාන අංගයකි. සංවර්ධනය සංස්කෘතිය තුළ අන්තර්ගතව පවතින්නේය යන කරුණ පිළිබඳව ප්‍රතිපත්ති සැරසුම්කරුවන් සංවේදී විය යුතුය. මේ අනුව ප්‍රතිපත්ති නිර්ණායක සකස් කිරීමේ දී ඒවා ඒකාබද්ධ සමස්ථ ප්‍රවේශයක් මත වර්ධනය කිරීම වැදගත්වේ.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ජාතියේ අතීතයට අයත් භෞතික අවශේෂ වලින් සමන්විතය. කෙනෙකු විසින් ඒවාට හානි කළහොත් හෝ විනාශ කලහොත් ඒවා ප්‍රතිස්ථාපනය කළ නොහැකිය. මේ කරුණ අවධානයට ගෙන සංවර්ධන සැලසුම්කරුවන් විසින් පුරාවිද්‍යාව රටේ සංවර්ධනයේ මූලිකාංගයක් ලෙස සලකා ඊට නිසි තැන ලබා දීම අවශ්‍යය.

අතීතයේ සිටම පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ජාතික වස්තූන් ලෙස සලකා මෙරට වැසියන් විසින් ආරක්ෂා කරනු ලැබ ඇත. නූතන අර්ථයෙන් ගත්කල ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක වෙත පුරාසක්තවාදීන්ගේ ක්‍රමානුකූල උනන්දුව මතුවන්නට පටන්ගත්තේ දහනමවන සියවසේ මැදභාගයේ දීය. එසමයේ දී දිවයිනේ ප්‍රධාන පැරණි ස්ථාන ක්‍රමානුකූල ලෙස ගවේෂණය කිරීමට රජය පෙලැඹිණි. 1980 දී පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලද්දේ එම කටයුතු පවත්වාගෙන යාම සහ නියාමනය කිරීමේ උපරිම ආයතනය ලෙසය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද දක්වා අදාළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යයි.

දහනමවන සහ විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සමීක්ෂණ කටයුතු වැඩිමනක්ම කේන්ද්‍රගත වූයේ ලිඛිත මූලාශ්‍රය මත පදනම් වූ ඵෙතිහාසික සොයා බැලීම් පිළිබඳ අභිලාෂයෙන් යුතුව පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්මාරක සොයා ගැනීම සහ ඒවා සංරක්ෂණය කිරීම මතය. විසිවන සියවසේ පසු භාගය වන තුරුම ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව ක්‍රියාත්මක වූයේ ඉතිහාසයට තදානුබද්ධවය. අභිලේඛන අධ්‍යයනය එහි ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළේය.

1960 දශකයේ පසුභාගයේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට නව ක්‍රම සහ තාක්ෂණය හඳුන්වා දුන්නේය. මෙම වර්ධනය දිවයිනේ අතීතය පිළිබඳව එතෙක් පැවති දැක්ම වෙනස් කිරීමට හේතු විය. විශේෂයෙන්ම ශිෂ්ඨාචාරය බිහිවීමට පෙර මෙරට පැවති තත්වය එහිදී අවධානයට ලක් විය. කෙසේ වෙතත් එම වර්ධනයේ බලපෑම සීමිත විය. මේ අතර 1980 දශකයේ දී අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුවේ සහ මහනුවර පුරාණ නාගරික සංකීර්ණවල සංරක්ෂණය අරමුණු කරගත් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සිය කටයුතු වල අරමුණු පුළුල් කළේය. මෙම තත්වය යටතේ කළමනාකරණයට සහ ක්ෂේත්‍ර කටයුතු වලට මහා පරිමාණ සම්පත් දායකත්වයක් අවශ්‍ය වූ අතර එහෙත් එය සපුරා ගන්නා ලද්දේ අවම අවශ්‍යතාව සපුරාගැනීමේ පදනමිනි. එහි දී ඉතා පැහැදිලිව පිළිබිඹු වූයේ එම ව්‍යාපෘති වල උපරිම කාර්යක්ෂමතාව සපුරා ගැනීමට සරිලන පරිදි මූල්‍යමය, ආයතනික සහ මානවසම්පත් යොදානොගත් බවයි. ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අප සතුව තිබෙන මූල්‍යමය, ආයතනික සහ මනුෂ්‍ය සම්පත් තර්කානුකූලව යොදා ගැනීමට අදාල වන උපරිම අවශ්‍යතාවකි. සියල්ලටම වඩා ඒ අතුරින් මානව සම්පත් වල ගුණාත්මක බව දියුණු කිරීම, අදාල ව්‍යාපෘති වල ඉල්ලුම සැපරීම සඳහා අත්‍යාවශ්‍යය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් වන මෙම තත්වය අනුව පැහැදිලි වන්නේ නියමු සැලැස්මක් යටතේ සංගෘහිත පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයි. එමගින් කාලය ඉලක්ක කරගත්, ප්‍රථීපල කෙරෙහි දිශානුගත වූ සම්පත් කළමනාකරණයක් ආදේශනය කළ පුරාවිද්‍යාවක පැවැත්ම තහවුරු කරයි. එමගින් ඉතා පැහැදිලි ලෙස වර්ධනයක් පිළිබිඹු කරන කෘෂිකර්මය, වාණිජ්‍යය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලට අදාළ විෂයන් සේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වෘත්තීයභාවය ද සිය ප්‍රමිතිය ස්ථාපනය කරගනු ඇත. රටේ නිෂ්පාදනයේ ඇගයුම් ආදේශ කිරීමෙන් පුරාවිද්‍යාවේ ක්‍රියාදාමය ප්‍රමාණගතකල නොහැකිය යන යල් පැනගිය අදහස මිථ්‍යාවකි.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කළමනාකරණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් විය යුත්තේ රටේ සරු පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව දේශීය, කලාපීය සහ ලෝක සංදර්භය තුළ මහජන දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමයි. රටේ තිරසාර සංවර්ධනයේ නියමුවන්වන මහජනතාව සිය අතීතය පිළිබඳව සවීඥානිකව සංවේදී වන්නේ එවිටය. ගෝලීයකරණය මගින් ඇතිවන අභියෝග වෙත මුහුණදීම සඳහා ද එය පූර්ව අවශ්‍යතාවක්වනු ඇත.මෙම ලේඛනය මගින් ශ්‍රී ලංකාවේ ජාතික පුරාවිද්‍යාත්මක ප්‍රතිපත්තිය ඉදිරිපත්වෙයි. එය කොටස් තුනකින් සමන්විතය. එනම් 1. අර්ථ නිරූපන 2. ප්‍රතිපත්තිමය ස්ථාවරය සහ 3. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුවයි.

පළමුවන කොටස

2. අර්ථ දැක්වීම

(2.1) මෙහි මතු පුරාවස්තු ආඥා පනත යනුවෙන් හැදින්වෙන්නේ 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥා පනත සහ එහි සංශෝධනයයි.

(2.2) මින් මතු ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් මෙම ලේඛනයේ අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු වල ස්ථායිභාවය, එහි ගුණාත්මක ප්‍රවර්ධනය සහ චිරස්ථීතිය කෙරෙහි ඍජුව හෝ වක්‍රාකාරයෙන් බලපවත්වන පරිදි මින් මතු රජය නමින් හැදින්වෙන ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංගද්වය මගින් ගනු ලබන තීරණ, අණපනත්, එළඹෙන සම්මුති, ගිවිසුම් සහ ප්‍රඥප්ති වෙත ඍජුව හෝ වක්‍රාකාරයෙන් මග පෙන්වීමක් කරන ලේඛනයකි.

දෙවන කොටස

3.පුතිපත්තිමය ස්ථාවරය

(3.1) දැක්ම

ශ්‍රී ලංකාවේ සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය මනා ලෙස කළමනාකරණයේ අභිවෘද්ධිය සඳහා අරමුණු කරගන්නා ක්‍රියාකාරී සැලසුමකට රාමුවක් සැකසීම ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ දැක්මයි. ශ්‍රී ලංකාවේ සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමය සමන්විත වන්නේ වර්ෂ 1815ට පෙර සමයට අයත් ස්ථාන, ස්මාරක සහ චංචල පුරාවස්තු සහ වසර සියයකට වඩා පැරණිවූ ද, පුරාවස්තු ආඥාපනත යටතේ ‘ආරක්ෂිත’ යනුවෙන් ප්‍රකාශයට පත්කොට ඇත්තාවූ ද, ස්ථාන සහ ස්මාරක වලිනි.

(3.2) මෙහෙවර

පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියේ අභිප්‍රාය වන්නේ ඉහතින් සඳහන් කළ දැක්ම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා අරමුණු සකස් කිරීමයි.

(3.3) අරමුණු

මෙහි පහත දක්වා ඇති අරමුණු වල ප්‍රමුඛතා සකස්කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ශ්‍රී ලාංකික ජනතාවගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමක් බවත් එය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය රටේ මානව සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකීමත් හානිවීමෙන් අනතුරුව එය ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය නොකළහැකි සම්පතක්ය යන පදනම් සැලකිල්ලට ගැනීමෙනි.

ප්‍රමුඛතාව අනුව අරමුණු පහත දැක්වෙන පරිදිය.

(1) ආයතනික සහ මානව සම්පත් ප්‍රවර්ධනය
(2) සමස්ථ පුරාවිද්‍යාත්මක උරුමයේ ආකර්ශනය
(3) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු ලේඛන ගත කිරීම
(4) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ මහජන දැනුම ප්‍රවර්ධනය කිරීම
(5) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය සහ නඩත්තුව
(6) පර්යේෂණ

(3.4) ක්‍රියාත්මක කිරීම

කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන පදනමක් මත සකස් කළ නියමු සැලැස්මක් ඉහත සඳහන් කළ අරමුණු සාධනය කිරීමට අදාළවන වැඩසටහන්වලට සහ ව්‍යාපෘති වලට අවශ්‍යය. මෙම නියමු සැලැස්ම සෑම තුන් වසරකට වරක් ඇගයීම සහ සංශෝධනය කළ යුතුය. අවශ්‍යතා අනුව ඊට පෙර සංශෝධන සිදු කළ හැකිය. එමෙන්ම නියමු ව්‍යාපෘතිය ආදේශනයට අදාලවන භාවිත සංහිතාවක් (code of practice) සකස් කිරීම අවශ්‍යය. මෙම භාවිත සංහිතාව උද්ගතවන අවශ්‍යතාව අවම වශයෙන් සෑම පස් වසරකටවත් වරක් ඇගයීමට හෝ සංශෝධනයට ලක්විය යුතුය.

(3.5) ප්‍රමුඛතා

ඉහතින් සඳහන් කරන ලද වැඩසටහන් ප්‍රමුඛතාවක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.

(3.6) නියාමන ව්‍යූහය

පුරාවිද්‍යා අඥා පනතේ විධි විධාන අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ වගකීම දරන උපරිම ආයතනය රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රධාන නියාමන ආයතනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් මෙම ආයතනයේ විද්‍යාත්මක මාණ්ඩලික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සිටින උසස්ම වෘත්තිය පුරාවිද්‍යාඥයින්ගෙන් සමන්විත විය යුතුය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය සහ නියෝජ්‍ය ප්‍රධානත්වය දැරීම සඳහා පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ විෂය බද්ධ සහ ප්‍රායෝගික ප්‍රවීනත්වයක් ඇති සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකත්වය දරන පුද්ගලයකු පත් කළ යුතුය.

පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ඊට ප්‍රවීනතාවක් ඇති වෘත්තිකයින් සහ ආයතන උනන්දු කරවීම මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ නියාමන ආයතනය ලෙස ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කළ යුතුය.

තෙවන කොටස

4. නියමු සැලැස්ම

(4.1) ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය ඒකාබද්ධ කිරීම

(4.1.1) ජාතික සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සැකසුම් වෙත ඒකාබද්ධ කිරීම (තිරස් ඒකාබද්ධතාව)
(4.1.2) ප්‍රධාන සම්බන්ධිත ක්ෂේත්‍රවල ජාතික ප්‍රතිපත්ති වෙත ඒකාබද්ධ කිරීම (පශ්චාත් ඒකාබද්ධතාව)
නිද:- කෞතුකාගාර, ලේඛනාගාර, ස්පර්ෂ කළ නොහැකි සංස්කෘතික උරුමය, සන්නිවේදනය

(4.2) ආයතනික සහ මානව සම්පත් සංවර්ධනය

(4.2.1) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවලට අවශ්‍ය කරන ආයතනික සම්පත් තක්සේරු කිරීම
(4.2.2) ) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවලට අවශ්‍ය කරන සම්පත් තක්සේරු කිරීම
(4.2.3) මූලික ද්විතීයික සහ තෘතියික ක්‍රියාත්මක ඒජන්සිවල පවතින අඩුපාඩු සකස්කර ගැනීමට අවශ්‍ය කරන ව්‍යාපෘති සකස් කිරීම

(4.3) ආරක්ෂාව

(4.3.1) 1998 සංශෝධිත පුරාවස්තු ආඥාපනත ක්‍රියාත්මක කිරීම
(4.3.2) නීති මාලාවට වැඩිදුර සංශෝධන ඇති කිරීම

(4.4) ලේඛනගත කිරීම

(4.4.1) පුරාවස්තු ආඥාපනත මගින් ආවරණය වන දේපල ප්‍රමුඛතා අනුව ලියාපදිංචිය

(4.5) පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව මහජන දැනුම ප්‍රවර්ධනය

(4.5.1) (i) අධ්‍යාපනය (ii) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු ප්‍රදර්ශනය (iii) ප්‍රකාශන (iv) සමුළු, දේශන සහ සම්මන්ත්‍රණ (v) අන්තර්ජාලය ඇතුළුව සන්නිවේදන මාධ්‍ය යන ක්‍රම ඔස්සේ මෙය සිදුකළ හැකිය.

(4.6) පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය

(4.6.1) පිළියම් සඳහා සංරක්ෂණය
(4.6.2) අනතුරු වලක්වාලීමේ සංරක්ෂණය සහ නඩත්තුව

(4.7) පර්යේෂණ

(4.7.1) ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා අවධානය යොමුකළ යුතු තේමාවන් පිළිබඳව ප්‍රමුඛතා හඳුනාගැනීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කල යුතුය. එහෙත් එම හඳුනාගැනීම පර්යේෂණ ක්ෂේත්‍ර තෝරා ගැනීම සමග කිසිදු ආකාරයක සම්බන්ධතාවක් ස්ථාපනය නොකල යුතු අතර හැකිතාක් දුරට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ නිදහස් චින්තනමය පසුබිමක වර්ධනය වීමට අවකාශ සැලසිය යුතුය.

5. සමෝධානය

මෙහි ඉහත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියට පදනම් වන මූලික තේමාය. එමගින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා සම්පත් කළමනාකරණයට අවශ්‍ය වන අරමුණුවල පැහැදිලි රාමුවක් ස්ථාපනය කරයි. එහි දක්නට තිබෙන වැදගත් අංගය වන්නේ එම ප්‍රතිපත්ති දිවයිනේ ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති වලට සම්පාත කිරීම සහ ඒකාබද්ධ කිරීමයි. පුරාවිද්‍යාවට හුදකලාව පැවතිය නොහැකිය. පුරාවිද්‍යාවේ ප්‍රධාන උරුමක්කාරයන් ලෙස රටේ ජනතාවට ඇති ප්‍රධාන ගැටලු කෙරෙහි අමතමින් ඔවුන් පුරාවිද්‍යාවේ ක්‍රියාවලියට සහභාගි කර ගැනීම ඉතා වැදගත්ය. ඉන් අනතුරුව ප්‍රතිපත්ති රාමුව මගින් කෙටි, මධ්‍යම සහ දිගුකාලීන පදනමක්මත ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳ නියමු සැලැස්මකට අවශ්‍ය කරන නිර්නායක සපයනු ඇත.

දැනට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා හඳුනාගෙන ඒ වෙත නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අදාලව විනිවිද පෙනෙනසුළු ලෙස කටයුතු කිරීම මෙම ව්‍යායාමයට මහත් පිටුබලයක් වනු ඇත. මේ සියල්ලටම වඩා වැදගත්වන්නේ ආයතනය සතු හැකියාවන් වර්ධනය කිරීම, අරමුදල් කළමනාකරුවන්ගේ සහ තොරතුරු හුවමාරුව හා දැනුම කළමනාකරණය ඇතුළු කටයුතු වලට සම්බන්ධ සන්නිවේදකයින්ගේ හැකියාවන් වර්ධනය කරන අතර වෘත්තීය පුරාවිද්‍යාඥයින්ගේ සහ සංරක්ෂකයින්ගේ වෘත්තිමය ශක්‍යතාවන් දියුණු කිරීමයි. නිසි පරිදි අදාලවන පුහුණුවීම් හඳුනාගැනීමත්, ලබාගන්නා පුහුණුව ස්ථීරසාර ව්‍යාපෘතිවෙත යොදාගැනීමත් කළ යුතුය. දැනුම හුවමාරු කර ගැනීමට පමණක් සීමා නොකොට අධ්‍යාපන වැඩසටහන් මගින් අවස්ථා නිර්මාණය කිරීමත්, ඒවා ඵලදායී ලෙස යොදා ගැනීමත් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ සැබෑ වර්ධනයක් පිළිබඳව කෙනෙකුට බලාපොරොත්තු තබා ගත හැක්කේ එවිටය.

6.නිර්වචන

(6.1) පුරාවිද්‍යාව යනුවෙන් මෙම ලේඛනයෙන් අදහස් කරන්නේ අතීතයට අයත් ද්‍රව්‍යාත්මක සංස්කෘතිය සොයාගැනීම, කුමානුකූලව විස්තර කිරීම, අධ්‍යයනය කිරීම, දැනුම පතල කිරීම සහ සමස්ථ කළමනාකරණය පිළිබඳව කටයුතු කරන විෂයයි.
(6.2) මෙම ලේඛනයේ පුරාවිද්‍යාඥයා යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ඒ පිළිබඳව නිර්වචනය කොට ඇති වෘත්තිකයන්ය
(6.3) පුරාවිද්‍යාත්මක ස්මාරක යනුවෙන් විස්තර කරනු ලබන්නේ පුරාවස්තු ආඥාපනත මගින් විස්තර කර ඇති පරිදි පුරාණ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය හෝ ජනවාසයක් පිළිඹිඹු කරන ද්‍රව්‍යාත්මක සාධක සහිත ස්ථානයකි
(6.4) චංචල පුරාවස්තු යනුවෙන් විස්තර වන්නේ 1815 පෙර යුගයකට කාල නිර්ණය කලහැකි චංචල මනුෂ්‍ය නිර්මාණයෝය.

පාදක සටහන්
ඵෙතිහාසික සහ ස්පර්ශ කල නොහැකි සංස්කෘතික උරුමය වුවද පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ දී අදාළ වන්නේනම් ඒවා ද පුරාවිද්‍යාත්මක උරුමය යන පුළුල් නිර්වචනයට ඇතුළත්කොට තිබේ.

පුරාවස්තු ආඥාපනත මගින් පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා බලගන්වා ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

මෙම ඇගයුම් කමිටුව සඳහා සාමාජිකයන් තෝරාගත යුත්තේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතුවල ප්‍රමිතිය ස්ථාපනය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව මගිනි.

මෙම භාවිත සංහිතාව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ භාවිත සංහිතාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාවර නියෝග යන අංග සමග සැසදෙන්නක් විය යුතුය. එම භාවිත සංහිතාව සෑම තෙවසරකට වරක් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව මගින් පත්කරන මණ්ඩලයක් මගින් ඇගයීම හෝ අවශ්‍යනම් සංශෝධනය කල යුතුය.

මෙම ශීර්ෂ වලට අදාළ වන කටයුතු නිසිපරිදි පවත්වාගෙන යාම සඳහා ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ නියාමන ආයතනය වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධීකරණය පවත්වාගැනීම අවශ්‍ය කරන ආයතන සහ ඒවායින් දෙපාර්තමේන්තුව අපේක්ෂිත කාර්යන් පිළිබඳ ලේඛනයක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැකසිය යුතුය.

විදේශීක පර්යේෂකයින් සඳහා ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා අවසර දීමේදී එම විදේශික ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ මනුෂ්‍ය සම්පත් ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතාව ලබාදීම අත්‍යවශ්‍යය.

ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ උපරිම ආයතනය ලෙස පුරාවස්තු ආඥාපනත මගින් බලගන්වා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. පුහුණු පුද්ගලයින්ගේ හිගතාවත් තනතුරු හිඟතාවත් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියාමන ආයතනය ලෙස ගුණාත්මකවත්, ප්‍රමාණාත්මකවත් තමන්ට නියමිත කටයුතු වලින් ඉටුකළ හැකිව ඇත්තේ සුළු කොටසක් පමණි. ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ විස්තර කෙරෙන නියමු සැලැස්ම ක්‍රියාවට නැඟීම සඳහා පුරාවිද්‍යා කටයුතු පිළිබඳ උපරිම නියාමන ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහ ගතකොට සංවිධානය කිරීම අවශ්‍යය. ඒ සඳහා දැනට සිටින මාණ්ඩලික ශ්‍රේණියේ කාර්ය මණ්ඩලයේ ගුණාත්මක බව ඉහළ දැමිය යුතු අතර ප්‍රතිව්‍යූහගත කරන ලද ක්‍රමවේදය අනුව පුරප්පාඩු තනතුරු පිරවිය යුතුය. රටේ උපරිම පුරාවිද්‍යා ආයතනය ලෙස එය ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම වෘත්තීය පුරාවිද්‍යඥයින්ගේ සහ සහායක කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතුය.

මූලික ක්‍රියාත්මක ඒජන්සිය – මේ වනාහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවයි.
ද්විතීයික ක්‍රියාත්මක ඒජන්සි – මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යාව පිළීබද ගෞරව උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමන විශ්ව විද්‍යාල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ යටතට ගැනේ. මෙම ආයතන වල පුහුණු පුද්ගලයින්ගේ හිඟතාවත් තනතුරැ හිඟතාවත් නිසා ගුණාත්මකවත් ප්‍රමාණාත්මකවත් තමන්ට නියමිත කටයුතු වලින් ඉටුකළ හැකිව ඇත්තේ සුළු කොටසක් පමණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මෙම ඒජන්සි ද තමන් සතු නියමිත කාර්යයන් සඳහා අවශ්‍යවන ආකාරයට ප්‍රතිව්‍යූහ ගතකළයුතු අතර කාර්යමණ්ඩලය සවිමත් කළ යුතුය.

තෘතීයික ක්‍රියාත්මක ආයතනය – විශ්ව විද්‍යාල, සංස්කෘතික උරැමය පිළිබඳව කටයුතු කරන පදනම්, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පූජා භූමි සංවිධාන, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිළධාරී, පොලිස් දෙපාර්තමේන්තුව, රේගුව, නීතිපති, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ආදී රාජ්‍ය ආයතන, පුරාවිද්‍යා ස්වේච්ඡා සංවිධාන, පන්සල් සහ වෙනත් ආගමික ආයතන සහ වෘත්තිය සහ වෘත්තිය නොවන පුරාවිද්‍යාඥයින් ඇතුළු පෞද්ගලික අංශ මීට අයත්ය.  මෙම තෘතියික ක්‍රියාත්මක ආයතන උපරිම නියාමන ආයතන සහ ද්වීතික ආයතන වලනායකත්වය සහ මඟපෙන්වීමෙන් තොරව සතුටුදායක ලෙස ක්‍රියාත්මක විය නොහැකිය. ප්‍රාථමික සහ ද්විතීක ඒජන්සි යෝග්‍ය ආකාරයට සවිමත් කළ පසු ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ සහ නියමු සැලැස්මේ විස්තර කරන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තෘතීයික ඒජන්සි ඒ වෙත ඒකාබද්ධ කළහැකිය.

ප්‍රාථමික ද්විතීක සහ තෘතීයික ඒජන්සි වල වර්ධනය 1992 වසරේ දී ස්ථාපනය කළ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව එය සාමාජිකත්වය මත පනවන වෘත්තීමය විනය සහ ප්‍රමිතීන් මගින් පිළිඹිඹු කරනු ඇත. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සහ එහි තදානුබද්ධ සේවාවන් වෙත ද පුරාවිද්‍යාවේ අධ්‍යන පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතන වෙත ද පුරාවිද්‍යාඥයින් බඳවා ගැනීමේ දී ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්‍ගේ සභාව මගින් පුරාවිද්‍යාවේ වෘත්තීය භාවය පිළිබඳව ස්ථාපනය කර ඇති ප්‍රමිතීන් සහ විධි විධාන සපුරා තිබීම අත්‍යවශ්‍ය වනු ඇත.

ප්‍රධාන පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රයෙන් පරිබාහිර පුරාවිද්‍යාවේ තදානුබද්ධ විෂයයන් යටතේ නිලධාරී තනතුරු (උදා:රසායන විද්‍යාව, වාස්තු විද්‍යාව ඉංජිනේරු සේවා ආදී) සඳහා බඳවා ගැනීමේ දී අදාළ විෂයන්ගේ වෘත්තීය සභාවක වෘත්තීය සුදුසුකම් සපුරා තිබිය යුතු වන අතර බඳවා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අදාළ වෘත්තීය සුදුසුකම් සැපයිය යුතුය.

පුරාවිද්‍යාත්මක කටයුතු වල යෙදෙන සියලුම ආයතන පොදුවේ ගත්කළ ඒ සියල්ලම ප්‍රතිව්‍යූහගත කළ යුතුය. ඉහත සඳහන් කළ පරිදි රටේ පුරාවිද්‍යාත්මක කටයුතු වල ප්‍රධාන නියාමන ආයතනය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවත් ද්විතීක සහ තෘතීයික ක්‍රියාත්මක ආයතනත් සතු වෘත්තීමය මනුෂ්‍ය සම්පත ගුණාත්මක ලෙස සහ ප්‍රමාණාත්මක ලෙස ප්‍රතිව්‍යූහගත කිරීමත් පුළුල් කිරීමත් අවශ්‍යය. පුරාවිද්‍යාත්මක සම්පත් කළමනාකරණය සහ ඒවායේ සංවර්ධනයට අදාළ වෘත්තීය භාවය ශ්‍රී ලංකාවේ අනාගත පුරාවිද්‍යාවේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. මනුෂ්‍ය සම්පත් නිර්මාණ්‍ය මෙන්ම ඒවා යථාවත් කිරීම ද වැදගත්ය. මනුෂ්‍ය සම්පත් සංවර්ධනයේ මූලික මට්ටමේ දී ශ්‍රී ලංකාව තුළ පුහුණු වීමට අවශ්‍ය කටයුතු සම්පාදනයත් දෙවනුව අන්තර් මධ්‍ය මට්ටමේ දී ඒ සඳහා දකුණු සහ අග්නිදිග ආසියානු ආයතන ප්‍රයෝජනයට ගැනීමත් තෙවනුව ඉහළ මට්ටමේ දී යුරෝපයේ ඔ්ස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමරිකාවේ හෝ ලෝකයේ ඇති පුරාවිද්‍යාව පිළිබඳ වෙනත් පිළිගත් ආයතන වල පුහුණුව ලබාදීමත් කළ යුතුය. මානව සම්පත් ප්‍රවර්ධනය උදෙසා වන මෙම අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන පදනම් මත ව්‍යාපෘති සකස් කළ යුතුය.

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ වෘත්තීය පුරාවිද්‍යාඥයෙකු විසින් ප්‍රගුණ කල යුතු විෂයයන් ලේඛනය පදනමක් සේ ගෙන කටයුතු කළ යුතුය. එම ලේඛනයේ සඳහන් විෂයයන් ශ්‍රී ලංකාව තුළ ඉගැන්වීමට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය පියවර කඩිනමින් සම්පාදනය කළ යුතුය. බොහෝ අවස්ථාවල පුරාවිද්‍යාවේ නව විෂයයන් ශ්‍රී ලංකාවේ ඉගැන්වීම දුෂ්කර වී ඇත්තේ ඒ සඳහා පුහුණුව ලැබූ ගුරුවරුන් හිඟවීමයි. මෙම හිඟයට පිළියම් යෙදිය හැක්කේ ඉතා කල්පනාකාරීව තෝරාගත් පුද්ගලයන් විදේශ පුහුණුව සඳහා යැවීමෙනි. ජාතික අවශ්‍යතා සැපයීම සඳහා අවම වශයෙන් එවැනි ඉහළ ශක්‍යතාවක් ඇති පුහුණු පුද්ගලයින් 40 දෙනෙකුවත් අවශ්‍යය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ද මධ්‍යම සංස්කෘතික අරමුදලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනා බැගින්ද විශ්ව විද්‍යාලවලින් පුද්ගලයින් 15ක් ද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු වශයෙන්ද ඇතුළු වන පරිදි කණ්ඩායමක් මේ සඳහා තෝරාගත යුතුය. ඔවුන්ගේ පුහුණුව මුළුමණින්ම ශාස්ත්‍රීය නැඹුරුවකට පමණක් සීමා නොකොට පුරාවිද්‍යාවේ තාක්ෂණික සහ කළමනාකරණ අංශයට ද යොමු වීමට නැඹුරු කිරීම ද වැදගත්ය. මේ සඳහා අවශ්‍ය මුදල සපයා ගැනීමට මහභාණ්ඩාගාරයෙන් වාර්ෂික ප්‍රතිපාදන සැපයිය යුතුය. පුහුණු කිරීමේ කටයුතු සඳහා එම ප්‍රතිපාදන පස් අවුරුදු කාලසීමාවක් තුළ ආයෝජනය කළ හැකිවනු ඇත. ඒ වෙනුවෙන් යෙදවිය යුතු මුදලින් කොටසක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික ප්‍රතිපාදන වලින් 7.5%ක් මුදලක් වෙන් කිරීම අත්‍යවශ්‍යය.

ඉහත සඳහන් මුදල ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වාර්ෂිකව වැය කරන ප්‍රතිපාදනවලින් ඉතා සුළු කොටසකි. යෝජිත ඇස්තමේන්තුගත මුදල ඥානාන්විත ලෙස අදාල අරමුණු ඉටු කර ගැනීම සඳහා ස්ථිර මනුෂ්‍ය සම්පත් මත යෙදවීම ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන වෘත්තිය හැකියාවන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ වර්ධනය කිරීමට හේතු වනු ඇත. මෙම අරමුණු ඉටු නොවන තාක් කල් අපරිණත මැදිහත් වීම් තුළින් ජාතියේ පුරාවිද්‍යාත්මක හානි ඇගයුම් පැවැත්වීම යන ශීර්ෂ මීට ඇතුළත්ය.

මීට පුරාවස්තු ආඥා පනතට සංශෝධන ඇතිකිරීම, පුරාවස්තු ආඥා පනත සමග පුනරුක්ති වීම සහ ඊට බලපෑමක් ඇතිවීම වලක්වන පරිදි 1988 සංස්කෘතික දේපල පනත සංශෝධන කිරීම යන ශීර්ෂ ඇතුළත්ය.

පුරාවිද්‍යාත්මක ස්මාරක ක්ෂේත්‍ර සහ චංචල පුරාවස්තු ලේඛන ගත කිරීමේ දී ඒවායේ වැදගත්කම පරිමාණ හතකින් අවධානයට ගැනීම යුක්ති සහගතය. (නිද: ජාත්‍යන්තර, ජාතික දිස්ත්‍රික්ක) අනතුරැව ඒවා ශ්‍රේණිගත කළ යුත්තේ පහත සඳහන් නිර්ණායක පදනමක් සේ ගනිමින් (අ) දුර්වල බව (ආ) පර්යේෂණ ශක්‍යතා (ඉ) සෞන්දර්යාත්මක අගය (ඊ) යථාභූත බව (උ) ඵෙතිහාසික සබඳතාව සහ (එ) ආගමික සබඳතාව සහ (ඔ) සමාජ ආර්ථික සංවර්ධනයට ඇති වැදගත්කම

මහජන දැනුවත් බව වර්ධනය කිරීම සඳහා රටේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ වැඩසටහන් පාසල් විෂය නිර්දේශ වෙත ඒකාබද්ධ කිරීම අවශ්‍යය. එමගින් තරුණ පරපුර රටේ පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කරගැනීම සහ කළමනාකරණය කෙරෙහි සංවේදි වනු ඇත. ඉතා සීඝ්‍ර ආකාරයෙන් පරිහානියට පත්වන ප්‍රතිස්ථාපනය කළ නොහැකි පුරාවිද්‍යාත්මක උරුමය රැකගැනීම සඳහා එය දීර්ඝ කාලීන ආයෝජනයක් වනු ඇත.

ප්‍රතිස්ථාපනය සඳහා සිදුකෙරෙන සංරක්ෂණ කටයුතුවල දී ස්මාරකයක් සම්පූර්ණයෙන් නැවත ගොඩනැඟීම දක්වා වූ විප්ලවකාරී අතරමැදිවීම් සිදුවිය හැකිය. එය පුරාවිද්‍යාවේ වෘත්තිමය ඇගයුම් වලට පටහැනිය. එවැනි කටයුත්තක් සිදුකළ යුත්තේ අතිවිශේෂ අවස්ථාවකදී පමණි. එවැනි කටයුත්තක් වුවද සිදු කළ යුත්තේ එම ස්මාරකය සොයාගන්නා අවස්ථාවේ දී පැවති තත්වයට නැවත පරිවර්ථනය කළ හැකි අන්දමටය.

මතුපිට පුරාවස්තු නියැදි එකතු කිරීම හෝ කැනීම අදාළ වන සියලුම ක්ෂේත්‍ර ව්‍යාපෘතිවල ප්‍රධානත්වය දරන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ප්‍රමිතීන් වලට අනුකූලවන වෘත්තීය අවශ්‍යතා සපුරන ලද පුද්ගලයෙකු විය යුතුය. එවැනි ව්‍යාපෘති පවත්වා ගෙන යා යුත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මතය. එවැනි ව්‍යාපෘති වලට සහභාගිවන පුරාවිද්‍යාඥයින් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ ආචාර ධර්මවලට සහ භාවිත සංහිතාවට අනුගත විය යුතුය. පුරාවිද්‍යාවට සම්බන්ධතා ඇති වෙනත් විෂයයන්ගේ වෘත්තිකයින් (නිද:පුරාවිද්‍යාඥයින්, ව්‍යූහ ඉංජිනේරුවරුන්, භූ රූප විද්‍යාඥයින්, උද්භිත විද්‍යාඥයින්, සත්ව විද්‍යාඥයින්) අදාළ ව්‍යාපෘතියේ අවශ්‍යතා උදෙසා සහභාගි කර ගැනීමේ අවස්ථාව ව්‍යාපෘති අධ්‍යක්ෂවරු විසින් සිය අධිකාරීත්වය යටතේ විවෘත කොට තබා ගත යුතුය.

ක්‍රමවේදය : ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක කටයුතු තවමත් වර්ධනය විය යුතු තත්වයක පවතින හෙයින් කාලඅනුක්‍රමිකතාව පිළිබඳව අවධානය යොමු කෙරෙන සම්ප්‍රදායික ප්‍රවේශය තුළ තවදුරටත් වර්ධනය වීමට ඉඩ ලබාදීම අවශ්‍යය. කාලනිර්ණ ස්ථාපනය කෙරෙහි අවධානය යොමු කිරීමට පළමුව යෝජනා කෙරෙන අතර ඉන් අනතුරු සන්සන්දනාත්මක විශ්ලේෂණ වෙත අවධානය යොමු කෙරෙන සියුම් අධ්‍යයන වෙත යොමු වීමට ද නිර්දේශ කරනු ලැබේ.

නියැදිකරණය : ව්‍යාපෘතිවල අරමුණු සාධනය සඳහා මතුපිට පුරාවස්තු එකතු කිරීම සහ කැණීම හැකි තරම් අවම කරන ලෙසද මින් නිර්දේශිතය.

(2017 සැප්තැම්බර් මස 10 දින ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සභා කාමරයේ පැවති ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනයේ දී ආචාර්ය සිරාන් දැරණියගල මහතා මෙම ප්‍රතිපත්තිය පිළිබඳ පැවැත් වු දේශනයට සවන් දෙන්න.)

ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්ති සම්පාදන කමිටුව

ආචාර්ය සිරාන් දැරණියගල (සභාපති)
උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ආචාර්ය සෙනරත් දිසානායක
අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මහාචාර්ය ටී. ජී. කුලතුංග
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ආචාර්ය ඩබ්ලිව්. එච්. විජයපාල
අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම සංස්කෘතික අරමුදල

ආචාර්ය නන්දා වික්‍රමසිංහ
අධ්‍යක්ෂ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

ආචාර්ය පියතිස්ස සේනානායක
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පුරාවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අනුර මනතුංග
පුරාවිද්‍යා අංශය, කැලණිය විශ්ව විද්‍යාලය

ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය රාජ් සෝමදේව
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.