ඩී.එම්. දුමින්ද ලක්සිරි කුමාර

පර්යේෂණ නිළධාරී (පුහුණුවන) අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය.
laksirimax007@gmail.com 
duminda-laksiri-kumara
දුමින්ද ලක්සිරි කුමාර

ග‍්‍රීක භාෂාවේ Archaios නම් වචනයෙන් පැරණි යන අර්ථය ද Logos නම් වචනයෙන් විද්‍යාව යන අර්ථය ද ගම්‍ය වන අතර මෙම වචන ලතින් භාෂාව ඔස්සේ ඉංග‍්‍රීසි භාෂාවට පැමිණ Archaeology නම් වචනය නිර්මාණය වී ඇත (ලගමුව 2000:15). ද්‍රව්‍යාත්මක අවශේෂ මඟින් අතීතය වර්තමානය තුළ ප‍්‍රතිනිර්මාණය කරමින් අනාගතය වෙත දායාද කිරීම මේ අනුව පුරාවිද්‍යාව තුළින් සිදු වේ (කුමාර 2014:8).

ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු ආරම්භ වුයේ ක‍්‍රිස්තු වර්ෂ 1871 දී ශ‍්‍රීමත් හර්කි්‍යුලිස් රොබින්සන් (Sir Hercules Robinson) ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේ දී ලෝටන් නම් තැනැත්තා (Lowton) අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ප‍්‍රධාන ස්මාරකවල ඡායාරූපගත කිරීමෙනි (බස්නායක සහ හෙට්ටිගේ 1992:88). මේ අයුරින් ආරම්භ වු මෙරට පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු විධිමත් ලෙස සිදු කිරීම සඳහා 1890 දී පුරාවිද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව (Department of Archaeological Survey) පිහිටුවනු ලැබීය (එම 89). පුරාවිද්‍යා කටයුතු සිදු කිරීමේ දී ක‍්‍රමයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විෂයාත්මක කරුණු ඉගැන්වීම විශ්වවිද්‍යාල තුළින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව පුරාවිද්‍යාව විෂයයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ආරම්භ වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1951 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි (සාකච්ඡාව 9). වර්තමානය වන විට මෙරට විශ්වවිද්‍යාල අටක ප‍්‍රධාන විෂයක් බවට පුරාවිද්‍යාව පත් ව ඇත. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා විශ්වවිද්‍යාලවල කාර්යය භාරය, දායකත්වය මෙහි දී අධ්‍යයනයට භාජනය ෙකරිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂයය මුලින් හඳුන්වා දෙනු ලැබුවේ ඉතිහාසය විෂයයට සහයක විෂයක් වශයෙනි (සාකච්ඡාව 9). 1951 පසු ෙසනරත්  පරණවිතාන මහතා පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතු වීම පුරාවිද්‍යා විෂයට එතෙක් විශ්වවිද්‍යාලයේ පැවති තත්වය වර්ධනය කිරීමට සමත් විය. 1960 පමණ වන විට පුරාවිද්‍යා විෂයය වෙනුවෙන් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සිදු වු අතර එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු කෞතුකාගාරය වු අතර පසුව මෙම කෞතුකාගාරය මහාචාර්ය සෙනරත් පරණවිතාන කෞතුකාගාරය ලෙස නම් කරන ලදී (එම). පරණවිතාන මහතාගෙන් පසුව පර්යේෂණ ආචාර්යවරයෙකු ලෙස එකතු වන පී. එල්. පේ‍්‍රමතිලක පුරාවිද්‍යා විෂයය විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කිරීමට විශාල සේවයක් කළ අයෙකි. ඒ අනුව පුරාවිද්‍යා විෂය 1976 දී වෙන ම අධ්‍යයනාංශයක් යටතේ මෙහෙයවන විෂය ධාරාවක් විය. පුරාවිද්‍යා විෂයය වෙන ම අධ්‍යයන අංශයක් යටතට පත් කිරීම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා දීම මෙකල ආරම්භ කළේය (එම).

අධ්‍යයනාංශය ආරම්භයේ සිට ම පුරාවිද්‍යා විෂයය හදාරනු ලබන පිරිස් සඳහා න්‍යායාත්මක දැනුම මෙන් ම ප‍්‍රායෝගික දැනුම ලබා දීම සඳහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යයනාංශය කටයුතු කළේය. ඒ අනුව සංස්කෘතික ත‍්‍රිකෝණය පොළොන්නරු ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එහි කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම ආයතනය විසින් දායක කර ගන්නා ලදී (සාකච්ඡාව 9). මෙය පුරාවිද්‍යා සමීක්‍ෂණ කාර්යයන් පිළිබඳව ද ප‍්‍රායෝගික දැනුම වර්ධනය කර ගැනීමට විද්‍යාර්ථින්ට ඉතා හොද අවස්ථාවක් විය (එම). සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් මහනුවර වැඩබිමේ කටයුතු සඳහා මෙම අධ්‍යයනාංශය සම්බන්ධ කර ගැනීම 1884 සිදු විය. ලෝක උරුම නගරයක් වු මහනුවර නගරය හා අවට ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානවල සියලූම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදු වු අතර අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් මෙම ව්‍යාපෘතියේ කටයුතු සඳහා සක‍්‍රීයව දායක කර ගැනීම සිදු විය (එම). 1997 දී යාපහුවට නුදුරු පිංවැව ගල්සොහොන් කනත්ත පුරාවිද්‍යා ව්‍යාපෘතියට සම්බන්ධ වීමේ භාග්‍යය ද ඔවුන්ට ලැබුණි. (සාකච්ඡා 12). මෙම පර්යේෂණය මඟින් මහා ශිලා සුසාන සංස්කෘතිය පිළිබඳ ව තොරතුරු රාශියක් හමු විය. මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිට වූ මුල් කාලයේ දී ජේතවන ව්‍යාපෘතිය කොළඹ විශ්වවිද්‍යාලයට ලබා දුන්න ද 2000 වර්ෂයේ සිට ජේතවන ව්‍යාපෘතියට සම්බන්ධවීමේ අවස්ථාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයට හිමි විය (එම). පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් ආරම්භ කළ අනුරාධපුර ඇතුළුනුවර ව්‍යාපෘතියට සම්බන්ධ වී කටයුතු කිිරීමට ද අධ්‍යයනාංශයට හැකියාව ලැබීම වැදගත්ය (එම). පූර්ව ඓතිහාසික යුගය පිළිබඳවත්, අනුරාධපුර යුගය පිළිබඳවත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අත්පත් කර ගැනීමට සමත් වු ව්‍යාපෘතියක් වශයෙන් වෙස්සගිරිය ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකිය. 2006 -2009 වර්ෂ තුළ දී ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා අධ්‍යයනාංශයක් ලෙස සම්බන්ධවීමේ හැකියාව මෙම විශ්වවිද්‍යාලයට හිමි විය (එම). මධ්‍යම සංස්කෘතික අරමුදල මෙහෙය වු මෙම ව්‍යාපෘතිය සඳහා මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය පියතිස්ස සේනානායක වැනි පිරිස් සහභාගි විය (එම).

මෙහි ක‍්‍රියාත්මක පුරාවිද්‍යා සංගමය විසින් විකල්ප පුරා තත්ත්ව යන සඟරාව නිර්මාණය කිරිම අද දක්වා ම සිදුවෙයි (කුමාර 2014:13). විද්‍යාර්ථයන්ගේ ප‍්‍රකාශනයන් එළිදැක්වීම මෙහි අරමුණයි. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දැනට සිටින පිරිස්ගෙන් බොහෝ ප‍්‍රමාණයක් මෙම අධ්‍යයනාංශයෙන් බිහි වු පිරිස් ය. ගාල්ල සමුද්‍රික පුරාවිද්‍යා ඒකකයේ රසික මුතුකුමාරණ, මහින්ද කරුණාරත්ත, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරිය ලගමුව මේ අතුරින් කිහිප දෙනෙකි (සාකච්ඡා 9).

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යයන අංශයක් ලෙස පුරාවිද්‍යා අධ්‍යයන අංශය ආරම්භ වන්නේ 1973 වර්ෂයේදී ය. 1973 දී ඉතිහාස අධ්‍යයන අංශයේ උප අංශයන් වශයෙන් ආරම්භ වන මෙම අධ්‍යයන අංශය 1977 දී වෙන ම අධ්‍යයන අංශයක් බවට පත් වෙයි. මහාචාර්ය අබය ආරියසිංහ, මහාචාර්ය එච්.ටී. බස්නායක, මහාචාර්ය සේනක බණ්ඩාරනායක මෙහි මුල් අංශාධිපතිවරු වුහ (සාකච්ඡාව 1). කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ බොහෝ පිරිසක් වර්තමානයේ දී සියලූ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් කටයුතු කරනු ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අදිකාරි, කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ පිරිස්ය (සාකච්ඡාව 2). පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන මහාචාර්ය රාජ සෝමදේව, ආචාර්ය රෝස් සෝලංගආරච්චි වැනි පිරිස් ද රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති වත්මන් පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන විතානාචිචි ද විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය තුළ අධ්‍යාපනය ලැබූ පිරිසකි. පුරාවිද්‍යා උපදේශක සභාවේ, පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ බොහෝ සාමාජික පිරිස්, මහාචාර්ය අනුර මනතුංග, මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය උදා හෙට්ටිගේ වැනි පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ යාවජීව සාමාජිකයින්, පේරාදෙණිය, රජරට, රුහුණ, ශ‍්‍රී ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාල තුළ පුරාවිද්‍යා අධ්‍යයන අංශයන්වල ආචාර්ය මණ්ඩලයේ ඇතැම් ආචාර්යවරුන් මෙම අධ්‍යයනාංශයේ අධ්‍යාපනය ලැබු පිරිස්ය (එම).

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය 1886 දී ප‍්‍රථම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සඳහා අවතීර්ණ විය. 1986 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ස්වීඩනයේ පුරාවිද්‍යා කමිටුවක් හා එක්ව දියත් කරන ලද SIDA-SAREC ව්‍යාපෘතිය හා සම්බන්ධ වන්නට අධ්‍යයනාංශයේ ශිෂ්‍ය විද්‍යාර්ථීන් හට අවස්ථාව හිමි විය. 1886 – 1993 දක්වා කාලය තුළ මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක විය. සීගිරිය – දඹුල්ල ආශ‍්‍රිතව අලකොළවැව, සීගිරි නැගෙනහිර දොරටුව, අලිගල, පොතාන, ඉබ්බන්කටුව, මාපාගල, පිදුරංගල, සිංහපාදය, ආදී ස්ථාන ආශ‍්‍රිතව කැනීම් සිදු විය (සාකච්ඡාව 1). මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගවේෂණ කටයුතු ද මේ ව්‍යාපෘතිය හරහා සිදු විය. ව්‍යාපෘතියට එකල සිසුන් ලෙස සම්බන්ධ වූ තරුණ පිරිසෙන් කිහිප දෙනෙකුගේම අනාගත විෂයය දිශානතිය තීරණය කිරීමට මේ ව්‍යාපෘතිය ඉවහල් විය. මහාචාර්ය රාජ් සෝමදේවයන් ජනාවාස පුරාවිද්‍යාව වෙත යොමු වන්නේ ද, මහාචාර්ය ගාමිණි අදිකාරි – ප‍්‍රාග් ඓතිහාසික අධ්‍යයනයන් කෙරෙහි යොමු වන්නේ ද, පුරාණ යකඩ තාක්‍ෂණය කෙරෙහි ආචාර්ය රෝස් සෝලංගාරච්චි යොමු වන්නේ ද SIDA-SAREC ව්‍යාපෘතියේ ධනාත්මක බලපෑම හේතුවෙනි (කුමාර 2014:13).

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය මඟින් ක‍්‍රියාත්මක කළ තවත් ව්‍යාපෘතියක් ලෙස KAVA ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය (සාකච්ඡුාව 2). 1889 – 1991 කාල වකවානුව තුළ ක‍්‍රියාත්මක වු මෙය දඹුල්ල, පිදුරංලගල, ඉබ්බන්කටුව යන ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක විය. ජර්මන් පුරාවිද්‍යාඥයින් පිරිසක් මෙහි අධීක්‍ෂණය සඳහා පැමිණි අතර මහාචාර්ය අනුර මනතුංග මෙහි සම අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෙම ස්ථානවල ප‍්‍රාග් ඓතිහාසික වැදගත්කම අනාවරණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථා ව උදා විය (එම). 1999 – 2001 කාලවකවානුවේ දී ඉහල මල්වතු ඔය ගවේෂණය සිදු කළ අතර එහි දී මෙම කලාපය තුළ වැදගත් පුරාවිද්‍යා ස්ථාන වාර්තා කිරීමක් සිදු වු අතර මේ සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහය ලබා ගැනීමට හැකි විය. 2003 – 2006 වර්ෂයන්හි දී ‘කැළණි නිම්න ගවේෂණ’ ව්‍යාපෘතිය තුළින් කැළණි ගංගා නිම්නයේ ජනාවාසකරණය හඳුනා ගැනීම හා එහි පුරාවිද්‍යා ස්ථාන වාර්තා කිරීම සිදු විය. මීට අමතර ව 1997 සිට මේ දක්වා සිගිරි ව්‍යාපෘතියට විද්‍යාර්ථින් සම්බන්ධ කිරීම අධ්‍යයනාංශය මඟින් සිදු කරන ලදී (සාකච්ඡාව 1).

අධ්‍යයනාංශය මගින් Archaeologia සඟරා කෘති 3 ක්, Archaeologia Zeylanica සඟරා කෘති 3 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. වසුන්දරා නම් ශිෂ්‍ය සඟරා කෘති 13 ක් ප‍්‍රකාශයට පත් කිරීම තුළින් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දී ඇත (කුමාර 2014:13). ඊට අමතරව පුරාණ නම් කෘතියක් ද ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෝ නම් කෘතියක්ද අධ්‍යයන අංශය මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී (සාකච්ඡාව 1). අධ්‍යයන අංශය මඟින් 1988 දී පුරාවිද්‍යා ශත සහස‍්‍රය වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත් වු අතර 2007 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය වෙනුවෙන් පුරාවිද්‍යා සමුළුවක් පැවැත්වීය. එමෙන්ම 2014 වසරේ දී ප‍්‍රථම පුරාවිද්‍යා විද්‍යාර්ථයින්ගේ සම්මන්ත‍්‍රනය පැවැත්වීමේ ගෞරවය ද මෙම අධ්‍යයන අංශයට හිමි වේ. මීට අමතරව සෑම වසර 2කට වරක් පුරාවිද්‍යා සම්මන්ත‍්‍රණ පැවැත්වීම ද සිදු කිරීම කැපීපෙනෙයි (සාකච්ඡාව 2).

urca-2014_university-of-kelaniya
කැලණිය විශ්වවිද්‍යාලෙය් ශිෂ්‍ය සම්ෙම්ලනෙය් අවස්ථාවක්

 ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි මානවශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨය තුළ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය 1958 දී ස්ථාපිතව ඇත (සාකච්ඡාව 10). මෙය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ මුල්ම ඉතිහාස හා පුරාවිද්‍යා උපාධි ප‍්‍රදානය කළ අධ්‍යයනාංශයයි (එම). මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි, මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ, මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මහාචාර්ය ඞී.ඇල්. අබේවර්ධනය, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය ටී.ජී. කුලතුංග ආදී විද්වතුන් මෑත ඉතිහාසයේ ද, මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සහ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව වැනි විද්වතුන් වර්තමානයේ ද මෙම අධ්‍යයනාංශයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව විෂයයන් නගා සිටු වීමෙහි පුරෝගාමීන් විය (කුමාර 2014:13). ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ පළමු වතාවට පුරාවිද්‍යා විෂයය මූලික උපාධිය සඳහා හඳුන්වා දෙනු ලැබුවේ මෙම විශ්වවිද්‍යාලයයි (සාකච්ඡා 10). විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස හැඳින් වූ කාලයේ සිට ම මෙම විෂයය මෙහි පැවති අතර පුරාවිද්‍යා විෂයය ප‍්‍රථම උපාධිය සඳහා හඳුන්වා දීමේ දී මෙම විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත නාහිමියන් විශාල මෙහෙවරක් සිදු කර ඇත. වැලිවිටියේ සෝරත හිමියන්ගෙන් පසුව වසර කිහිපයක් මෙම අධ්‍යයනාංශයේ කටයුතු අඩාලව තිබූ අතර 1982 වර්ෂයේ දී එය නැවත ස්ථාපිත කරන්නට විය (එම).

මෙම අධ්‍යයනාංශයේ ඉතිහාස හා පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමය විදාරණී නම් අධ්‍යයන සඟරාව එළිදක්වන අතර පුරාවිද්‍යා විෂයය සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් විවිධ පාසල් හා ප‍්‍රදේශ ආශි‍්‍රතව පැවැත්වීම සිදු කරනු ලබයි (කුමාර 2014:13). හිටපු කෞතුකාගාර අධක්‍ෂවරයෙකු වු සිරිනිමල් ලක්දුසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම බෝගහවත්ත, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි චිත‍්‍රානන්ද, රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මෙම විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වු පිරිස්ගෙන් කිහිප දෙනෙකි (සාකච්ඡාව 10). සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් අභයගිරි ව්‍යාපෘතිය සඳහා මෙම අධ්‍යයනාංශය 1981 වසරේ සිට සිසුන් සම්බන්ධ කරයි. 1981 – 1987 වර්ෂවල දී අභයගිරි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ ද 1987 – 1992 වර්ෂයන්හි දී මහාචාර්ය එස්. බී හෙට්ටිආරච්චි ද 1992 සිට මේ දක්වා ටී. ජි කුලතුංගයන් ද මෙහි අධ්‍යක්‍ෂවරුන් වේ. අභයගිරි ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂකවරයා සැමවිටම එහි ආචාර්යවරයෙකු වීම තුළින් එහි වැඩි වාසි නෙලා ගැනීමට අධ්‍යයනාංශයට හැකියාව ලැබුණි. මෙම ව්‍යාපෘතියේ සිදු කරන ලද සියලූම පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සඳහා මෙම අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් නිරන්තර සම්බන්ධවීම ආරම්භයේ සිට මේ දක්වා ම නොකඩවා සිදුවන කාර්යයකි (කුමාර 2014:8). වර්තමානය වන විට රජගල පරිශ‍්‍රයෙහි පුරාවිද්‍යා කටයුතු දියත් කිරීමේ පූර්ණ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය වෙත පවරා තිබේ. අධ්‍යයනාංශය 2000-2001 වර්ෂවලදී සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහය ඇතිව ස්මාරක ස්ථාන හඳුනා ගැනීම හා වාර්තා කිරීම සිදු කරනු ලැබීය (සාකච්ඡාව 11).

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය විශ්වවිද්‍යාලය ආරම්භ වු මුල් වකවානුවේදී ද ආරම්භ වු අධ්‍යයන අංශයකි. අධ්‍යයන අංශය ආරම්භයේ දී ඉතිහාස විෂයය සඳහා පමණක් උපාධිය පිරි නැමූ අතර 2001 වර්ෂයේ සිට පුරාවිද්‍යා (සාමාන්‍ය/විශේෂ) උපාධිය ද ලබා දීමට කටයුතු කර ඇත (සාකච්ඡාව 5). මහාචාර්ය එම්.යූ. ද සිල්වා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියසේන සෙන්දනායක වැනි පිරිස් මෙහි අංශාධිපතිවරුන් ලෙස කටයුතු කළ අතර ආචාර්ය එම්.වී. චන්ද්‍රසිරි වර්තමාන අංශාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි (එම). අධ්‍යයනාංශයේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ විසින් තන්තිරිමලය සියඹලාගස්වැව ආශි‍්‍රතව මෙගලිතික සුසාන පිළිබඳ පුළුල් පර්යේෂණයක් 2009 – 2010 වර්ෂයේ දී සිදු කරන ලදී (සාකච්ඡුාව 5). මෙම පර්යේෂණය සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවගේ පුර්ණ සහය ලබා ගැනීමට හැකි විය. අධ්‍යයනාංශයේ පුරාවිද්‍යා විශේෂ උපාධිය හැදෑරූ සිසුන් කිහිප දෙනෙකු මෙම පර්යේෂණයට සම්බන්ධ වු අතර මෙම ස්ථානය ආශ‍්‍රිතව ගවේෂණ හා කැනීම් කටයුතු සිදු විය (කුමාර 2014:13). ඊට අමතර ව, 2008 වර්ෂයේ අවුකන විහාරය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගවේෂණය (2008),  රැස්ෙවෙහර පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර ගවේෂණය (2010), බුදුගල පුරාවිද්‍යා ගවේෂණය (2011), කහඹිලියාව විහාරස්ථානය හා ඒ අවට ප‍්‍රදේශය ගවේෂණය (2012) හා අම්පාර පබ්බතගල ගවේෂණය (2013) යන ව්‍යාපෘති සංවිධානය කිරීමට අධ්‍යයනාංශයට හැකි විය (සාකච්ඡාව 5). 2013 වර්ෂයේ දී මහාචාර්ය රාජ් ෙසා්මෙද්ව ඇතුලූ පිරිස සංවිධානය කළ රංචාමඩම කැනීම සඳහා ද අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින් සම්බන්ධ කිරීමට අධ්‍යයනාංශයට හැකි විය (එම).

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ 1996 දී වුව ද සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ අධ්‍යයන අංශයක් වන පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, සෙසු විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා අධ්‍යයනාංශ අතර ළාබාලතම සාමාජිකයා වෙමින් ඇරඹෙන්නේ 2011 දීය (කුමාර 2014:13). මෙහි වර්තමාන අංශාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුසිත මැන්දිස්ය. දැනට ‘පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ’ යනුවෙන් විශේෂ උපාධිය පිරිනමනු ලබන එකම අධ්‍යයනාංශය ද මෙයයි (සාකච්ඡාව 3). මෑතක දී ආරම්භ වු මෙම අධ්‍යයනාංශය කෙටි කාල පරිච්ෙඡ්දයක් තුළ, එනම් 2013.12.18 දින මෙතෙක් විශ්වවිද්‍යාල අධ්‍යයනාංශයක් මගින් සංවිධානය කරන ලද ‘ප‍්‍රථම ජාතික පුරාවිද්‍යා සමුළුව’ පැවැත්වීය (කුමාර 2014:13). එකී සමුළුව ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට නව අරුතක් එක් කළා සේම සිසුන්ට නව දැනුමින් සන්නද්ධ වීමට ඉඩ ලබා දුන් කදිම අවස්ථාවක් ද විය. ශිෂ්‍ය විද්‍යාර්ථීන් වෙනුවෙන් ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යා කැනීම් පුහුණුවක් ලබාදීම අරමුණු කර ගනිමින් විශ්වවිද්‍යාලයීය පරිශ‍්‍රය තුළ ම 2013 සැප්තැම්බර් මාසයේ දී පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් ආරම්භ කලේය. අධ්‍යයනාංශය මගින් The Journal of Archaeology & Heritage Studies යන සමාසික සඟරාවක්ද ප‍්‍රකාශයට පත් කරගෙන යමින් පවතී (එම). එමෙන් ම අධ්‍යයනාංශය ආරම්භයේ සිට වරින්වර අවස්ථා කිහිපයක දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පඩුවස්නුවර හා යාපහුව යන ව්‍යාපෘති සඳහා සිසුන් සම්බන්ධ කිරීම සිදු කරන ලදී (එම).

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයත් වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳව ද සටහනක් තැබීම ද අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ මෙය පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරිය හැකි වෙනම ආයතනයක් වශයෙන් පවත්නා එකම ආයතනය වූ බැවිනි. 1985 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ආයතනයෙහි ප‍්‍රථම අධ්‍යක්‍ෂකවරයා වුයේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක යි. ආරම්භයේ සිට මේ දක්වා පශ්චාත් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් 500ට වැඩි පිරිසක් පුරාවිද්‍යාව හා සම්බන්ධ ක්‍ෂේත‍්‍ර වෙනුවෙන් බිහිකර ඇත (සාකච්ඡාව 7). ආරම්භයේ දී Centre for Archaeological Research යන අදහසින් CENTARC යන කෙටි යෙදුමින් මෙම ආයතනය හැඳින් වූ අතර පසුව Postgraduate Institute of Archaeology යන අදහසින් PGIAR යන කෙටි යෙදුම භාවිත කරනු ලබයි (සාකච්ඡාව 8).

මෙම ආයතනයෙහි මෙහෙයවීම තුළින් ආරම්භ කළ සීගිරි දඹුලූ ව්‍යාපෘතිය (SIDA-SAREC) පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට ලබා දුන් ජීවය ඉහතින්  විස්තර කරන ලද අතර, මෙහි සිටින ආචාර්යවරුන් අතරින් බොහෝ දෙනෙක් මෙම ව්‍යාපෘතිය හරහා ක්‍ෂේත‍්‍රයට පැමිණි අය වූහ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් කටුවන බලකොටුව සංරක්‍ෂණය හා අවට භු දර්ශන කළමනාකරණය, හම්බන්තොට කෞතුකාගාරය පිහිටුවීම, මුහුඳුබත් වූ අන්තර්ජාතික වෙළඳ නැවක් පාදක කර ගත් Avondster ව්‍යාපෘතියට සම්බන්ධ වීම හා ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හෝ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන අළලා විවිධ කැනීම් ව්‍යාපෘති දියත් කිරීම වැනි කටයුතු සිදු කිරීමත්, විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමත් සිදු කර ඇත (කුමාර 2014:13). මෙම ආයතනය මගින් පශ්චාත් උපාධි හා පශ්චාත් ඩිප්ලෝමා ලබාදීම මඟින් ප‍්‍රථම උපාධිය ලබාගත් පිරිස් වෙත සිය දැනුම පුළුල් කර ගැනීමේ අවස්ථාව ලබාදීම ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ හෙට දවස යහපත් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. පුරාවිද්‍යාව හුදෙක් තනි විෂයයක් ලෙස නොව බහු විෂයාත්මක ශික්‍ෂණයක් ලෙසින් පෙනී සිටියි. එනිසාම අතීතයට අයත් බොහෝ දේ විවිධ විෂයය පරාසයන් ඔස්සේ අර්ථ ගන්වමින් වර්තමාන ප‍්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යාඥයා කටයුතු කරයි. මෙම කාර්ය සිදු කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාඥයා බිහි කිරීමේ මුලික අඩිතාලම විශ්වවිද්‍යාල මඟින් ආරම්භ කළ ද එය අවසානය තෙක් රැගෙන යාමේ භාරධුර කාර්යයට මෙම ආයතනය නව ජීවයක් ලබා දී ඇත (සාකච්ඡුාව 7). මෙම ආයතනයේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා වශයෙන් මහාචාර්ය ජගත් වීරසිංහ කටයුතු කරනු ලබයි. මහාචාර්ය ගාමිණි අදිකාරී, මහාචාර්ය රාජ් සෝමදේව, ආචාර්ය රෝස් සෝලංගආරච්චි, ආචාර්ය අර්ජුන තන්තිලගේ, ආචාර්ය පී. විදානපතිරන, ආචාර්ය ටී.ආර්. පේ‍්‍රමතිලක, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ඩි.පි. ගම්ලත් යන පිරිස මෙහි ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබේ (එම).

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මේ වන විට ග‍්‍රන්ථ ගණනාවක් නිකුත් කර ඇත. එ් අතුරින් පහත දැක්ෙවන ග්‍රන්ථ උදාහරණ වශෙයන් දැක්විය හැකි ය.

  • 1990 – ජනාවාස පුරාවිද්‍යාව
  • 1991 – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය
  • 1991 – ප‍්‍රකෘතිකරණය හා සංරක්‍ෂණය
  • 1993 – Maritime Archaeology in Sri Lanka
  • 1994 – Further Studies in the Settlement Archaeology of the Sigiriya-Dambulla Region
  • 1996 – Landscape Tradition of Sri Lanka: Philosophy principles and practice
  • 2006 – Urban Origings in Southern Sri lanka
  • 2009 – Heritage Buildings of Sri Lanka
  • 2009 – Records of traditional watercraft from South and West Sri Lanka
  • 2010 – Archaeology of  the Udawalave Basin

1950- 1960 පමණ වන විට මෙරට සිදු වූ පුරාවිද්‍යා කටයුතු සමඟ ඇති වු පිබිදීමත් සමඟ පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් මෙරට විශ්වවිද්‍යාල ඇසුරින් ආරම්භ කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ බව පෙනේ. පුරාවිද්‍යා විෂයය ප‍්‍රථම උපාධිය සඳහා හඳුන්වා දීමේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වූ වැලිවිටියේ සෝරත නාහිමියන් විශාල මෙහෙවරක් සිදු කර ඇත (සාකච්ඡාව 10). මෙම විෂයය මුල් කාලීනව විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලැබුවේ පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් නොව පාලි, සංස්කෘත, සිංහල, ඉතිහාසය වැනි විෂයයන් හැදෑරූ පිරිස් ය. ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මෙම විෂයය ඉගැන්වීමේ කටයුතු සඳහා වැලිවිටියේ සෝරත හිමියන්, හාන්දුපැල්පොළ පුඤ්ඤරතන, කඹුරුපිටියේ වනරතන, මිරිස්සේ ගුණසිරි යන හිමිවරුන් ද ආචාර්ය පි. ඊ. පී දැරණියගල, මහාචාර්ය කේ. පී මුඛර්ජි වැනි විද්වතුන් අර්ධකාලීනව හෝ පූර්ණකාලීනව බඳවා ගන්නා ලදී (එම).

1970 දශකයෙන් පසු මේ තත්වය ක‍්‍රමිකව වෙනස් වී පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් කටයුතු කරන්නට විය. ඇතැම් පිරිස් විදෙස් රටවලින් පුරාවිද්‍යාව හදාරා පැමිණි පිරිස් විය. ඒ අනුව මොවුන් හරහා ලෝක පුරාවිද්‍යාවේ සිදු වු වෙනස්කම්, අලූත් න්‍යායන්, විද්‍යාත්මක පුරාවිද්‍යා සමීක්‍ෂණ ක‍්‍රම ආදී සියල්ල මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයින් වෙත ලබා දීම සිදු විය. එමගින් ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය නව මාවතකට ගෙන ඒමට හැකියාව ලැබුණු අතර ලෝක පුරාවිද්‍යාවේ සිදු වු වෙනස්කම්, අලූත් න්‍යායන්, විද්‍යාත්මක පුරාවිද්‍යා සමීක්‍ෂණ ක‍්‍රම ආදී සියල්ල ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙනු ලබන්නේ මෙරට විශ්වවිද්‍යාල හරහා ය. මෙම තත්වය ඇතිවීමට පෙර පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර, පී.ඊ.පී දැරණියගල වැනි පිරිස් පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු කළ ද විද්‍යාත්මක සංසිද්ධීන්ට අනුව පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු වුයේ මෙම පරිවර්තනයෙන් පසුවය. මෙම වෙනස පැහැදිලි ව පෙනෙන සන්දිස්ථානයක් වශයෙන් 1984 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ආචාර්ය සිරාන් දැරණියගල විසින් සිදු කළ කැනීම පෙන්වා දිය හැකි ය. පුරාවිද්‍යා කැනීම් විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට පියවර ගැනීමේ ගෞරවය ද මොහුට හිමි වේ. මීට අමතරව තිරියාය, අකුරුගොඩ, කන්තරෝදය ආදී බොහෝ ස්ථානවල කැනීම් සිදු කළ අතර කාල නීර්ණ භාවිත කරමින් විද්‍යානුකූල ක‍්‍රමවේදයන්ට අනුව මෙම සමීක්‍ෂණ කටයුතු සිදු කිරීම මෙහිලා විශේෂ වේ. මේ අනුව 1980 දශකයෙන් පසු මෙරට තුළ පුරාවිද්‍යාඥයින් බිහිවීම දැකගත හැකි ය. මේ අයුරින් වෘත්තීමය පුරාවිද්‍යාඥයින් බිහිකිරීමේ ගෞරවය හිමිවන්නේ විශ්වවිද්‍යාලයන්ට ය.

ක‍්‍රමානුකූලව ලෝක පුරාවිද්‍යාවේ ඇතිවන වෙනස්කම් අනුව මෙරට විශ්වවිද්‍යාල පුරාවිද්‍යා විෂය පථය ක‍්‍රමිකව වෙනස්වීම් වලට ලක්වීම දැකගත හැකි ය. ඒ අනුව මේ වන විට,

  • භාෂා අධ්‍යයනය
  • කලා ඉතිහාසය හා ප‍්‍රතිමාවේදය
  • අභිලේඛන හා සෙල්ලිපි
  • නාණක විද්‍යාව
  • සංරක්‍ෂණය
  • වාස්තු විද්‍යාව
  • අත් පිටපත් හා පැරණි ලිපි ලේඛන අධ්‍යයනය
  • ප‍්‍රාග් ඉතිහාසය හා මූල ඓතිහාසික පුරාවිද්‍යාව යන විෂයයන් සාම්ප‍්‍රදායික පුරාවිද්‍යා විෂයයන් ලෙසත්,

විද්‍යාත්මක නව ප‍්‍රවේශයක් සහිත විෂයයන් වශයෙන්

  • පුරාවිද්‍යා උරුම කළමනාකරණය
  • කාර්මික පුරාවිද්‍යාව
  • දිය යට හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව
  • මානවවංශ පුරාවිද්‍යාව
  • භූ පුරාවිද්‍යාව
  • පාරිසරික හා භූ දර්ශන පුරාවිද්‍යාව යන විෂයනුත් විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා විෂය පථයට වර්තමානයේ දී ඇතුළත් වී ඇත.

මේ අනුව ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා ලෝක පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ඇතිවන වෙනස්කම්, වර්ධනයන් සංක‍්‍රමනය වීම සිදු වන්නේ විශ්වවිද්‍යාල හරහා බව පැහැදිලි ය.

1890 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ආරම්භවීම සිදු වුව ද 1960 දශකයේ දී පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් විශ්වවිද්‍යාල තුළ ආරම්භ වුව ද 1980 දශකය වන තෙක් ම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය තුළ පුරාවිද්‍යා උපාධිධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය දක්නට නොලැබුණි. විශේ්ෂයෙන් පුරාවිද්‍යා උපාධිධාරීන් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානතම ආයතනය වූ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සතු නොවී ය. මෙකල පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරමින් සිටි වන්ද්‍ර වික‍්‍රමගමගේ, සේනක බණ්ඩාරනායක, රෝලන්ඞ් සිල්වා වැනි පිරිස් ද පුරාවිද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ පිරිස් නොවී ය. නමුත් මේ පිරිස පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා පුරාවිද්‍යා විෂයය හැදැරූ උපාධිධාරීන් බඳවා ගත යුතු බවත් පුරවිද්‍යා සමීක්‍ෂණ කටයුතු විද්‍යානුකූලව කළ යුතු බවත් නිරන්තරයෙන් හඬ නැගූ පිරිස් විය.

1980 වර්ෂයේ දී මේ සියලූ ගැටලූ විසදීමේ අරමුණින් යුතුව ආචාර්ය රෝලන්ඞ් සිල්වාගේ ප‍්‍රමුඛත්වයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. මෙම ආයතනය විශ්වවිද්‍යාලවලින් පිටවන පුරාවිද්‍යා උපාධිධාරීන්ට වෘත්කීමය පරිසරය ගොඩනැගීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙන ලදී. ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය හා විශ්වවිද්‍යාල පද්ධතිය එක්ව නව මාවතක් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව යොමු කිරීමට මෙමඟින් හැකි විය. විශ්වවිද්‍යාලවල න්‍යායාත්මක දැනුම හා පුරාවිද්‍යාවේ ප‍්‍රායෝගික දැනුම ඒකාබද්ධ වු අවස්ථාවක් වශයෙන් මෙය පෙන්වා දිය හැකි ය. මෙම සිදුවීම පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සමත් වු කරුණක් විය. පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමට මෙමගින් හැකි විය. ප‍්‍රථම වරට පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සෘජුව ම සම්බන්ධ කර ගැනීම මෙම ව්‍යාපෘති විශ්වවිද්‍යාල සඳහා ලබා දීම මඟින් සිදු විය. මෙම ව්‍යාපෘතිවල අධ්‍යාපනික අධ්‍යක්‍ෂවරවයකු පත් වීම මෙමඟින් සිදු විය. විද්‍යානුකුල පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු සිදු කිරීම මෙමගින් සිදු වු අතරම ඒවායේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් ක‍්‍රමානුකූල ව්‍යාපෘති වාර්තා එළිදැක්වීම ආරම්භ වන්නේ මේ කාලය තුළ දී ය. 1980 දශකයෙන් පසු ව පර්යේෂණ ලිපි, පර්යේෂණ වාර්තා ඉදිරිපත්වීම ද දැක ගත හැකි ය. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය පිළිබඳ ලෝකයේ අවධානය යොමු වීම මෙන් ම මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ සිදු වන පර්යේෂණ ලෝකයේ පිළිගැනීමට ලක් වන්නේ ද මෙම ක‍්‍රියාවලිය හරහා ය.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ආරම්භවීම මඟින් මේ තත්වය තවත් තීව‍්‍ර වු අතර මෙම ආයතනය මධ්‍යම සංස්කෘතික අරමුදල හා එක් ව 1988 දී ආරම්භ කළ සීගිරි – දඹුලූු ව්‍යාපෘතිය විශ්වවිද්‍යාල දැනුම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හා මුහු වු අවස්ථාවක් විය. විශ්වවිද්‍යාල මඟින් ලබාගත් ප‍්‍රථම උපාධියෙන් පසු පුරාවිද්‍යා විෂයය පිළිබඳව දැනුව වර්ධනය කර ගැනීම සඳහා මෙරට තුළදී ම පුරාවිද්‍යා පශ්චාත් උපාධි හැදෑරීමේ ද අවස්ථාව උදාකරදීම මඟින් මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ දියුණුව තව තවත් වර්ධනය කිරීමට සමත් විය. විශ්වවිද්‍යාල පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා සම්බන්ධ කර ගැනීම මඟින් එහි සාර්ථකත්වය එම ව්‍යාපෘති වාර්තා මඟින් ද අනාවරණය කර ගත හැකි ය. අනාගත පුරාවිද්‍යාඥයින්ට පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දෙන අතරේ ම ලෝකයේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර තුළ ඇතිවන නව ප‍්‍රවණතාවන් ශ‍්‍රි ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයට උකහා ගැනීම සඳහා විශ්වවිද්‍යාල දායක කර ගත් බව පෙනේ. මෙහි නුතන අවස්ථාව වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මඟින් සෘජුව ම රජගල ව්‍යාපෘතිය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලබා දීම පෙන්වා දිය හැකි ය. පුරාවිද්‍යා කටයුතු ආරම්භ කරමින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව 1890 දී ආරම්භ වුවද පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් හුදකලා ගමනක නියැලී සිටියේ ය. 1980 සංස්කෘතික ත‍්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භවීම මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂයක් වු අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, වෙනත් පුරාවිද්‍යා ආයතන එකට යා කළ මාවතක් විය. මේ අනුව වර්තමානය වන විට මේ සියලූ ආයතන ඒකාබද්ධව පවතින අතර මේ ඒකාබද්ධතාව ශක්තිමත් වී ඇත්තේ විශ්වවිද්‍යාලයීය දායකත්වය නිසා ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • බස්නායක එච්. ටී. හා උදා හෙට්ටිගේ (1992), පුරාවිද්‍යා ප‍්‍රවේශය, චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය.
  • ලගමුව, ඒ. (2000), ප‍්‍රායෝගික ක්ෙෂ්ත්‍ර පුරාවිද්‍යාව, ෂර්ෂ් ග‍්‍රැෆික් හවුස්, මහරගම.
  • සෝමදේව, රාජ් (2000), පුරාවිද්‍යාවේ සිද්ධාන්ත, ක‍්‍රම හා භාවිතය, සෙට්කෝ ප‍්‍රඩක්ෂන්, කිරිබත්ගොඩ.
  • කුමාර, ඞී.එම්.ඞී.එල්. (2014), පුරාවිද්‍යාවට සරසවි දායකත්වය, දිවයින, 2014.7 .7 උපාලි පෙපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, පිටු අංක 8
  • කුමාර, ඞී.එම්.ඞී.එල්. (2014), පුරාවිද්‍යාවට සරසවි දායකත්වය, දිවයින, 2014.7.8 උපාලි පෙපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, පිටු අංක 13

සම්මුඛ සාකච්ඡා

  • සාකච්ඡාව 1 : මහාචාර්ය මාලිංග අමරසිංහ, 2014.11.18, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය, පෙ.ව.9.30 සිට 11.30 දක්වා
  • සාකච්ඡාව 2 : මහාචාර්ය අනුර මනතුංග, 2014.11.19, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය, පෙ.ව. 11.00 සිට ප.ව. 12.00 දක්වා
  • සාකච්ඡාව 3 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන විතානාච්චි 2014.12.10, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, පෙ.ව. 11.30 සිට ප.ව. 12 දක්වා
  • සාකච්ඡාව 4 : කථිකාචාර්ය තිලංග සිරිවර්ධන, 2014.12.10, රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, ප.ව. 3.30 සිට ප.ව. 4.30 දක්වා
  • සාකච්ඡාව 5 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සීවලි බණ්ඩාර මනතුංග, 2015.1.23, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, ප.ව. 2.30 සිට ප.ව. 4.30 දක්වා
  • සාකච්ඡාව 6 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි චිත‍්‍රානන්ද, 2015.1.24, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා
  • සාකච්ඡාව 7 : ආචාර්ය පී. විදානපතිරණ 2015.2.11, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පෙ.ව. 9.00 සිට 10.00 දක්වා
  • සාකච්ඡාව 8 : මහාචාර්ය ජගත් වීරසිංහ, 2015.2.11, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ප.ව. 12.30 සිට 1.30 දක්වා
  • සාකච්ඡාව 9 : ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඞී. කේ ජයරත්න, 2015.4.21, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව හා අධ්‍යයනාංශය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පුරාවිද්‍යා අධ්‍යයනාංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
  • සාකච්ඡාව 10 : ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, 2015.4.28, ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පිළිබඳ ව හා පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා
  • සාකච්ඡාව 11 : මහාචාර්ය පී.බී. මණ්ඩාවල, 2015.4.29, ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පිළිබඳ ව හා පුරාවිද්‍යා (විශේෂ) උපාධි පාඨමාලාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා
Previous articleදඹේගොඩ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය
Next articleකෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම (සීගිරිය කෞතුකාගාරය ඇසුරින් කෙරෙන විවරණයකි)
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.