එච්.ජි. දයාසිසිර

කථිකාචාර්ය (තාවකාලික), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

කොත්මලේ යන නම වර්තමානයේ එක්වරම සංඥා කරන්නේ කොත්මලේ ජලාශය යි. සමනළ වැව දිය කඳින් වසර දෙදහස් තුන්සියක සිට එම ප්‍රදේශයේ පැවත ආ යකඩ හා වානේ කර්මාන්තයට අයත් අවශේෂ යට වී ගියේ ය. එම ජලාශය ඉදිකිරීමට ප්‍රථම ප්‍රමාණවත් පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම් සිදු වූ බැවින් එහි තාක්ෂණික සම්ප්‍රදාය ලොවට දායාද කිරීම ට හැකි වි ය. එ නමුත් කොත්මලේ ජලාශයෙන් එවැනි ම වූ ඉතිහාසයක් යට වී ගියේ කිසිදු පුරාවිද්‍යා සොයා බැලීමකින් තොරව ය. මෙම ලිපියෙන් එම ඉතිහාසයේ ඡායා මාත්‍රයක් පමණක් සටහන් කිරීමට සිදු වී ඇත්තේ එහෙයිනි .

Kothmale Dam-Sri Lanka-Mahaveli Project
කොත්මලේ ජලාශය (මෙම ඡායාරූපය http://amazinglanka.com/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.)

කොත්මලේ, නැගෙනහිරින් හේවාහැට දකුණින් ඌව, බටහිරින් උඩ බුලත්ගම, උතුරින් උඩ පලාත සීමාවන් කරගත් වර්ග සැතපුම් 236ක ප්‍රමාණයෙන් යුතු මහනුවර රාජධානියට අයත් කලාපයකි. අවුරුදු මිලියන හයසියයකට වඩා පැරණි ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ නිර්මාණය වූ පාෂාණවලින් සැදුම් ලත් මධ්‍ය කඳුකරය දළ වශයෙන් දිවයිනේ මධ්‍යයට වන්නට පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට අඩි 500ක් පමණ දක්වා උස් වන භූමියකි. නිවර්තන වනාන්තරයන් ගෙන් ගහණ වූ වසර මුළුල්ලේ වර්ෂාපතනය ලැබෙන හා වසර මුළුල්ලේ ම ගලා බසින දිය දහරා වලින් සමන්විත ප්‍රදේශයකි. මධ්‍ය කඳුකරය නිර්මාණය වී ඇති තිරුවානා, පළිඟු, ගානට් තීරු සහිත උස් බිම් ශ්‍රේණියේ පාෂාණ වල විශේෂ ලක්ෂණයක් නම් එම පාෂාණ තීරුවල විශාල ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවීම යි. මෙම ආභ්‍යන්තරික ලක්ෂණය, නිවර්තන වැසි වනාන්තර සහිත වීම සහ මෝසම් ක්‍රියාකාරීත්වයට දායක වීම වැනි කරුණු නිසා උල්පත්, කඳුරු, දොල, දිය ඇළි මධ්‍ය කඳුකරයෙන් පැනනැගී ගංගා ඔය බවට පත් වී අර්ධ තැනිතලා හා තැනිතලා ප්‍රදේශ සාරවත් කරමින් මුහුදට ගලා බසී. ඉහත සඳහන් කළ පාෂාණ තීරුවල මැණික්, මිනිරන්, ලෝපස් වැනි වටිනා ඛණිජයන් අන්තර්ගතය. විශේෂයෙන් මැග්නයිට් ලෝ පස මෙම තීරු වල අන්තර්ගත වේ. එම මැග්නටයිට් ඔක්සීකරණය වී හිමටයිට්, ලිමොනයිට් වැනි ඔක්සයිඩ් යපස් ලෙස ද පවතී. කඳුවල පස් සැකැස්ම තුළ අන්තර්ගත මෙවැනි යපස් හා වෙනත් ඛණිජ සේදී යාමට ලක්වීමෙන් පොළොව මතුපිට පැමිණී ම, කඳු පාමුල තැන්පත්වීම හෝ දිය කඳුරු, දොල, ඔය, ගංගා ඔස්සේ ගෙන යමින් ඒවායේ තැන්පත්වීම හෝ සිදු වේ.

දිව‍යිනේ තැනිතලා ප්‍රදේශවලට සාපේක්ෂව ගිරිදුර්ග, වන දුර්ග සහිත මධ්‍ය කඳුකරය මිනිසුන් අතර සබඳතා සීමා කරන බැවින් සම්ප්‍රදායක් දිගුකල් පවත්වාගෙන යාමේ හැකියාව ඇත. මධ්‍ය කඳුකරයේ භෞමික ලක්ෂණ නිසා ශිෂ්ටාචාරයේ එක් අවධියක දී එය සාපේක්ෂ ව හුදකලා වීම ත් එම භෞමික ලක්ෂණ නිසා ම තවත් අවධියක දී ජනාකීර්ණ ආකර්ෂණ ප්‍රදේශයක්වීම ත් අපූර්ව ලක්ෂණය කි. දඩයම් යුගයේ මානවයා ට ආහාර, සෙවන, ආරක්ෂාව සැපයූ තෝතැන්නක් ලෙස එම යුගයේ මධ්‍යම කඳුකරය ආකර්ෂණීය විය. පසුව ලෝහ තාක්ෂණය රට තුළට පිවිසෙන ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවස පමණ කාලයේ සිට දිව‍යිනේ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ වඩාත් ආකර්ෂණ ප්‍රදේශ වෙමින් මධ්‍ය කඳුකරය සාපේක්ෂව හුදකලා කරයි. එහෙත් යකඩ තාක්ෂණය හඳුනා ගත් මුල් යකඩ යුගයට අයත් සුසාන ජනාවාස, බ්‍රාහ්මීය ශිලා ලේඛන ගණනාවක් මධ්‍ය කඳුකරයෙන් හමු වී ඇති බැවින් එය නොවැදගත් කලාපයක් වූවා යැයි කිව නොහැක. ක්‍රිස්තු වර්ෂ 1,300 පමණ වන තුරු උතුරු දිග තැනිතලාව (රජරට) ප්‍රමුඛ කලාපය වූව ත් මධ්‍ය කඳුකරයේ ද රජවරුන් ප්‍රධානීන් (පරුමක), ග්‍රාමනායකයන් (ගමණි) බමුණන්, ගෘහපතිවරුන්, කාර්මික ශිල්පීන්, භ්‍රමණයින් සිටි බව එහි හමුවී ඇති 80 කට අධික බ්‍රාහ්මී ශිලා ලේඛන වලින් හෙළි‍ වේ.

බත සුමනස තිසහ උපසික (සුම් නවා උපසක නිසලයා උපසක (කු) මරස ගපති දුටකස කුබකර දසික සුමනස මණිකර දතෙ පතික

මණිකර වුඩ සපතිකෙ මණිකර දනෙ පතික මණිකර වූඩ සපනිකෙ
(අංක 807 : වේගිරිය ලිපිය, පරණවිතාන, 1970, පි 62)

මවුඩි රජස මණිකරස ශිලා ඉතක කනයා අහකාසේ ගතාසේ
(අංක 730 : දෙමැදඔය ලිපිය, පරණවිතාන, 1970, පි 64)

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පමණ අයත් වන මහනුවර වේගිරිය දේවාලයේ හා මාතලේ දෙමැදඔය ශිලාලේඛන වලින් පෙනී යන්නේ කුඹලුන් (කුඹකර), මැණික් කපන්නන් (මණිකර), ඇත්දත් කැටයම්කරුවන් (දටික) යන ශිල්පීන් එම යුගයේ ද මධ්‍ය කඳුකරයේ සිටි බව යි. රසවාහිනියේ ලංකාදීප උප්පත්ති කථා යට‍‍තේ දැක්වෙන අම්බාමච්ච කථාවෙහි (ඤාණවිමල, හංස: 1961:249) දැක්වෙන පරිදි රජරට නියං සමයක දී අම්බ අමාත්‍යයා සිය දාසයන් කැදවා මලය රටට ගොස් කහ (හලිද්දි) ඉගුරු (සිඹහිවෙර) ආදිය ගෙන ඒවා තැනින් තැනට දී වී ගෙනව් යැයි නියෝග කර ඇත. රසවාහිනියට අනුව මලය දේශයේ අමරුප්පල නම් ලෙන සමීපයේ නේසා ද ගමක් තිබී ඇත. මෙම ලෙන කොත්මලේ සමීපයේ තිබූ එකකි. වලගම්බා රජුගේ තිස නමැති ඇමතියා මෙම ලෙන තුළ සැගවී සිට ඇති බව ජනප්‍රවාදයේ එයි. නේසාද යනු රොඩී කුලයේ උප කුලය කි. ශිලා ලේඛන හා වංශ කථාගත තොරතුරුවලින් පෙනෙන්නේ කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ආගමික ස්ථාන සමාජ පංතීන් සහිත සංවිධිත සමාජ ක්‍රමයක් ක්‍රිස්තු පූර්ව සියවස්වල සිට ම මධ්‍යම පළාතේ තිබී ඇති බව යි.

ශිෂ්ටාචාරය ආශිර්වාදයක් වූ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ සතුරු උවදුරු දුරභික්ෂ වසංගත නිසා ක්‍රමයෙන් අනාරක්ෂිත වෙද්දී වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය හසුරුවන පාලන මධ්‍යස්ථානය වූ රාජධානිය ගම්පොල, හඟුරන්කෙත, මහනුවර වැනි ආරක්ෂිත ප්‍රදේශ වලට දාහතර වන සියවසෙන් පසු වරින්වර මාරු විය. ක්‍රි.ව. 1592-1604 දක්වා පළමුවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1604-1635 දක්වා සෙනරත් ක්‍රි.ව. 1635-168 දක්වා දෙවන රාජසිංහ ක්‍රි.ව. 1687-1707 දක්වා දෙවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1707-1739 දක්වා නරේන්ද්‍රසිංහ ක්‍රි.ව. 1739-1747 දක්වා විජයරාජසිංහ ක්‍රි.ව. 1747-1781 දක්වා කීර්ති ශ්‍රී රාජසිංහ ක්‍රි.ව. 1798-1815 දක්වා ශ්‍රී වික්‍රමරාජසිංහ යන රජවරුන් මහනුවර රාජධානිය කරගෙන රට පාලනය කර ඇත. 1815 දී කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ පසු ද මධ්‍ය කඳුකරය ඔවුන ගේ වැවිලි ආර්ථිකයේ මධ්‍යස්ථානය විය. මහනුවර රාජධානි සමයේ ස්ථාපිත වූ කාර්මික හා කෘෂිකාර්මික වැඩවසම් සේවාගම් තව දුරටත් අඛණ්ඩ ව පැවතිණි. ඉංග්‍රීසි පාලන සමයේ දී රජමාළිගාවට අදාළ සේවාවන්වලට මෙම ගම්මාන බැදී නොසිටිය ද දළදා මාළිගාවට සතර දේවාලයට, ඇම්බැක්ක, ගඩලාදෙණිය දේවාලය ඇතුළු මධ්‍යම පළාතේ විහාරස්ථාන හා දේවස්ථානවලට අදාළ සේවාවන්ට බැදී සිටියේ ය.

මධ්‍ය කඳුකරයේ පරිසරය, මහනුවර රාජධාණි සමයේ හා ඉංග්‍රීසි පාලන අවධියේ ගොඩනැගුණු වාස්තු විද්‍යාත්මක හා වෙනත් සංස්කෘතික අංග නිසා දේශීය හා විදේශීය සංචාරකයින් ගේ ආකර්ෂණ ප්‍රදේශයක් වූ බැවින් ද මධ්‍ය කඳුකරයේ වැවිලි ආර්ථිකය අඛණ්ඩ ව පැවතී එන බැවින් ද වෙනත් ආර්ථික හා සමාජ හේතූන් නිසා ද මධ්‍යම පලාතේ ශිල්ප ගම්මානවල නිෂ්පාදනවලට (ඒවායේ ස්වරූපය වෙනස් වුව ද) අඛණ්ඩ ඉල්ලුමක් ඇත. එබැවින් එම ගම්මාන බොහෝමයක (විශේෂයෙන් මහනුවර අවට) පැවැත්ම තහවුරු වී ඇත. රන්, රිදී, පිත්තල වැනි ලෝහ කර්මාන්ත, ශිලා කර්මාන්තය, හණ, නියද හා පන්වලින් කරන කර්මාන්ත, ලාක්ෂා, වේවැල්, කුඹල් කර්මාන්ත, වාස්තු ශිල්පය ආදී ශිල්ප කර්මාන්ත මහනුවර නගරය වටා කේන්ද්‍රගත වීමත් කන්ද උඩරට රාජධානි සමයේ දක්නට ලැබේ.

ඇම්බැක්ක, ගඩලාදෙනිය, කිරිවවුල, කඩුගන්නාව, මංගලගම, ඒදඬුවාව, කිරිබත්කුඹුර, දවුලගල, තලවතුර, මීවතුර, ලුණුගම, ගම්පොල, මැදවල, මඩවල, නත්තරම්පොත, අරන්තන, දන්තුරේ, උල්ලදුපිටිය, නී‍ලවල, කෑරගල, වල්ගොව්වාගොඩ, ගෝවින්දගල, කුරුකුන්තල, මැද්දගොඩ, ගගුල්දෙනිය, යන ගම්වල අද දක්වාම රන්, රිදී, පිත්තල කර්මාන්ත පවතී. මාතලේ දිස්ත්‍රික්කයේ ඕවිල, ගුරුබැවිල, කෑගල්ල දිස්ත්‍රික්කයේ වේකොලදෙනිය, දනාගම, කොට්ටලබද්ද ගම් වල ද රන්, රිදී හා පිත්තල කර්මාන්ත පවතී. යටිනුවර යහලතැන්න, උඩුදුම්බර හදගනාව යහල, හේන්දෙනියේ යාලේගොඩ, ඉහල දුම්බර කන්ද, පල්ලේ කෝරළයේ යහල, යටි නුවර ගඟපළාත කෝරලයේ යහලතැන්න, උඩුනුවර ගඟ පළාතේ යාලේගොඩ, අකුරම්බොඩ, යමන්මුල්ල, කොත්මලේ හපුගස්තලාව, යහලේකුඹුර යන ස්ථාන එම ස්ථාන නාමය අනුව යපස් වලින් යකඩ පෙරූ ස්ථාන ලෙස සටහන් කළහැකි කොත්මලේ උඩපනේ කෝරළයේ සමන්තේගම, පාතදුම්බර, ගෝනාගම, මාතලේ, කඩුවෙල, මාතලේ කවුඩු පැලැල්ල, මාතලේ පල්ලේපොල, යටිනුවර පෑලව, තෙල්දෙණිය, උඩගම, ඉහළ හේවාහැට, උකුතුලේ, මාතලේ වරදමුණ, හාරිස්පත්තුව, යටිහලගල, පාතදුම්බර පල්ලේ ගම්පහ කෝරළය, මාතලේ අලුගොල්ල, යටවර පන්නගම, නාපාන ගල්බොඩවත්ත යන ගම්වල (යපස් වලින් යකඩ නිස්සාරණය කරන) යමන්නුන් සිටි බව ලොරි (1896-98) වාර්තා කරයි. ලෝහ ශිල්පීන් ගේ මෙම දැවැන්ත ව්‍යාපෘතියට ප්‍රබල හේතුවක් වන්නේ අතිදක්ෂ ශිල්පීන් උඩරට රජවරුන්ගෙන් නිදන්ගම් ලැබීම ය.

මෙම ලිපියෙ හි කොත්මලේ ඉතිහාසය මධ්‍යම පළාතේ ලෝහ කර්මාන්තයේ ව්‍යාප්තිය කෙරෙහි බැදී ඇති අයුරු සාකච්ඡා කිරීමට දීර්ඝ පෙරවදනක් ලියැවුණු එවැන්නක් පුළුල් පසුබිමක් තුළ සාකච්ඡා කිරීමට යි.

වංසකතාවල මධ්‍යම පළාත පිළිබඳ ව ඇති සඳහන් කිරීම් පවා අල්ප ය. එම අල්පයක් වූ සදහන් කිරීම් අතරට කොත්මලය සම්බන්ධ වී තිබේ. බෝධිවංශයේ සදහන් පරිදි (ගුණපාල සේනාධීර, 1970:280) ශ්‍රී මහා බෝධියේ ඵළරුහ බෝධීන් රෝපණය කළ ස්ථාන අතර කොත්මලේ පුසුල්පිටිය වේ. මධ්‍යම පළාතේ අනෙක් ස්ථානය මාතලේ රුසිගමයි. පුසුල්පිටිය පිහිටා ඇත්තේ නවත්ගමයි. පූජාවලිය, සිංහල ථූපවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල කොත්මලේ ගැන සඳහන් වේ. වංසත්ථප්පකාසිනියෙහි කොට්ඨානාමක මලයේ යනුවෙන් කොත්මලේ ගැන සඳහන් වේ. කොත්මලේ ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජුට නැකැත් සාදා දී ඇත්තේ කොත්මලේ නැකතින් විසිනි. රජුට අවශ්‍ය යුද්ධායුධ ද කොත්මලේ නිපදවූ බව කියති. කොත්මලේ ගණිතයා පිළිබඳ ඇති පුරාවෘත අනුව එම අතිදක්ෂ ගණිතයා දුටුගැමුණු රජුට නැකැත් තැනූ පරපුරේ ආභාසය ලබන්නට ඇත. දුටුගැමුණු කුමාරයා ආරක්ෂාව සඳහා කොත්මලේ කොටගෙපිටියේ ඌරුපැලැල්ලේ ගමරාළගේ ගුහාවේ සැගවී සිට ඇත. එහි සිටිය දී කුමරු ගමරාළ ගේ හරක් බැලීම හා පසුව දැනට රජතලාව යැයි හඳුන්වන ප්‍රදේශයේ අමුණු හතක අස්වැද්දීම කර ඇත. කුමාරයා එම කුඹුරු අස්වැද්දීමට කරවූ ඇළ, මැද මා ඇළ යැයි අද ව්‍යවහාර කෙරේ. කුමාරයා කම්මල්කරුවකු වෙතට ගොස් තමාට නඟුලක් සාදා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. කම්මල්කරු උරණ වී ගමරාළ ගේ වැඩකාරයන් වෙනුවෙන් තමා වැඩ නොකරන බව පවසා අවශ්‍ය නම් යබොර (බොරකැට) උණුකර නඟුලක් සාදා ගන්නා ලෙසට කියා ඇත. කුමරු උදුනට බොරකැට එකතු කර දැමූ විට ඒවා නගුලක් බවට පත් විය. කම්මල්කරු බියට පත්වී මේ ළමයා බල සම්පන්න අයෙකු විය යුතු යැයි තේරුම් ගෙන කුමරුගේ පාමුල වැටී සමාව ගෙන ඇත. මෙම ජනප්‍රවාදයට සම්බන්ධ ඓතිහාසික සාක්ෂි ඇත. කුමාරයා අසුන් කියා පියාණන් මළ ශෝකයෙන් අඩා වැළප කොත්ම‍ලයෙන් නික්මුණු (සිංහල ථූපවංශය පි 217) කොත්මලේ නවනගම පුසුල්පිටිය විහාරයේ බෝධිය අසළ ඇති ක්‍රි.ව. 1765 කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ කරවූ ලිපියක “ගැමුණු නරෝත්තමයා වැඩ සිටි ශෛල මස්තකයේ දාගැබ” යැයි සඳහන් වේ. තවත් ජනප්‍රවාදයකට අනූව පරාක්‍රමබාහු රජ විසින් ඇති දැඩි කරගත් කුමරියක වූ හෙණකද බිසෝ බණ්ඩාර කොත්මලේ බැද්දෙගොඩ මාළිගයක ජීවත් වී ඇත. ඇය මෙහි සිටිය දී රන් ආභරණ වලින් පත්තිනි දේවිය පිදීමට පත්තිනි දේවාලයක් කරවා ඇත (ලොරි පි 481).

දහ හතරවන සිය වසේ දී රාජධානිය උඩරට ස්ථාපිත වූ පසු රජ යටතේ සිටි අදිකාරම්වරු හතර දෙනාගෙන් දෙ වැනි අදිකාරම යටතේ සතර කෝරළය සබරගමුව උඩපළාත, උඩුනුවර, යටිනුවර තුන්පනේ සහ කොත්මලේ තිබී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ (ක්‍රි.ව. 1741-1781) කොත්මලේ සහ උඩපළාතේ ආචාර්යවරුන් විසිහතරක් හංගිඩියා යටතේ රජුගේ ආයුධ ගෙයට සම්බන්ධ කර තිබිනි. හංගිඩියා යනු ශිල්පීන්ට රජුගෙන් එන නියෝග දැනුම් දෙන පුද්ගලයාය. කොත්මලේ කොට්ටල් බද්දක් තිබූ බව 1790 දී ලියැවුන සන්නසකින් හෙලි වේ. උඩ පළාතේ කොත්මලේ කොට්ටල්බද්ද හංගිලිවසම සඳහා ඇල්දෙනියේ රාජකරුණා, දේවසුරේන්ද්‍ර, මනුවීර, වික්‍රම, සිරින්, තරල්නා, විචිත්‍ර චිත්‍ර කර්මාන්ත නිර්මිත සකල ශිල්ප තිලක නවරත්න දවුණ්ඩ සිල්පාචරිය හට කුරුකුන්තලින් ඉඩම් දුන් බව 1790 ඇල්දෙනිය සන්නසින් ද ඔහුට ම දෙල්දෙනිය කොටලිගම මා මුදවෙල යටිනුවර හා උඩපළාත ගොඩගම ඉඩම් ප්‍රදානය කළ බව 1803 ඇල්දෙනිය සන්නසින් ද හෙලි වේ. මේ මගින් කොත්මලේ කොට්ටල් බද්ද වසම පුළුල් වූ අයුරු වටහා ‍ගත හැක. තුන් වැනි වික්‍රමබාහු රජු සමයේ ද (ක්‍රි.ව. 1356-1371) කොට්ටල් බද්දට අයත් පට්ටල් හතරෙන් රන්කඩු පට්ටලය ඇල්දෙනියේ තිබී ඇත. මහනුවර යුගයේ සිටි අතිදක්ෂ වාස්තු විද්‍යාඥයකු දැව කැටයම් ශිල්පියකු වන (මගුල් මඩුව හා පත්තිරිප්පුව නිර්මාණය කළ බවට ප්‍රසිද්ධ) දේවේන්ද්‍ර මුලාචාරියාගේ පියා කොත්මලේ වඩු කුඹුරේ ආචාරියෙකි. මව දෙවුන්දර ශිල්පී පරපුරක තැනැත්තිය කි. ඔහුගේ බිරිද ඇල්දෙනියේ ශිල්පී පවුලක ට අයත් විය. කර්මාන්තයේ යෙදෙමින් රජුට සේවය කලේ අරන්තන සිටයි. පසුව ඔහු ඇම්බැක්කේ පදිංචි විය. දෙවුන්දර, කොත්මලේ, ඇල්දෙනිය, අරන්තන, ඇම්බැක්ක යන ශිල්පී ගම්මාන පහකටත් ශිල්පියෙකුගේ ජීවිතය සම්බන්ධ වූ මෙම එක් නිදසුනෙන් ශිල්ප පරම්පරාවන් අතර ශිල්ප ක්‍රමවල සම්මිශ්‍රනයන් සිදු වූ ආකාරය වටහා ගත හැක. ඇම්බැක්කේ මනුවීර වික්‍රමගෙදර හා උඩුනුවර හන්දෙස්සේ අරන්තන ගෙදර පරම්පරාව දේවේන්ද්‍ර මුලාචාරීගෙන් පැවැත එයි. නාරායන, ආචාරි, දේවනාරායන පරම්පරා නාමවලින් ඔහුගේ ගෝල පරම්පරාව ‍හැදින්වේ (එම 12 13). කොත්මලේ දෙහින්තලාව, නවංගම කම්මල්කරුවන් පහතරට සිංහල‍යන් හා මුස්ලිම්වරු ජීවත් වන බව (ලොරි 1895-98-148) වාර්තා කරයි. කොත්මලේ හපුගස්තලාවේ යහලේකුඹුර ගැන ද (එම පි 326) වාර්තා කරයි. එම අවධියේ හපුගස්තලාවේ ශිල්පීන් වැඩිපුරම නිපදවා ඇත්තේ යකඩ සැරයටිය.

කොත්මලේ යන නම ඇතැම් විට ලෝහ කර්මාන්තය හා සම්බන්ධ වූවක් විය හැක. මලය යනු කන්ද යි. කොත්කන්ද කොත්මලය වූවා විය හැකි ය. නොමැති නම් කොට්ටල්මලය, කොට්මලය , කොත්මලය වූවා විය හැකිය. “පැරණි සිංහල යමාන්තු හෙවත් යපස් උනු කරන්නෝ කොත්මලය වැනි ප්‍රදේශවල ඇති යපස් දැව අඟුරු සමග පොළොවේ කරන ලද වලවල් දමා ගිනි දැල්වූ හ. පසුව එය වාතාශ්‍රය පිණිස සිදුරු සිටින පරිදි මැටි වැස්මකින් ආවරණය කොට දින ගණනාවක් දැවෙන්නට හැරියෝ ය”. කොත්මලේ යකඩ නිස්සාරන ක්‍රමය ගැන පාසල් පොත්වල (අභිනව සාමාන්‍ය විද්‍යා නිර්දේශ පත්‍රය 7 වන ප්‍රමාණය, 1960, පි. 206) සඳහන් මෙම ක්‍රමය පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කිරීමට හැකි වේ. නම් මයිනහම් රහිතව නිරිත දිගින් හමන මෝසම් සුළගේ ආධාරයෙන් ක්‍රියාත්මක වූ උදුන් ශ්‍රී ලංකාවේ ද මුල්වරට සමනළ වැව ජලාශය අවටින් වාර්තා වූවා සේ මයිනහම් රහිතව ක්‍රියාත්මක වූ තවත් උදුන් වර්ගයක් කොත්මලේ ජලාශය අවටින් සොයා ගැනීමට හැකිවනු ඇත.

කොත්මලේ ජලාශය නිසා කොත්මලේ නවංගම සිටි ශිල්පී පවුල් අවතැන් විය. 1980 වන විට නවංගම කම්මල් පවුල් 52ක් ජීවත් වී ඇත. උඩරට රාජාධානිය බිද වැටීමෙන් පසුව වුවද එතරම් පවුල් ගණනකට තම කර්මාන්ත පවත්වාගෙන යමින් නඩත්තුවීම ට හැකි වීමෙන් පෙනෙන්නේ රට තුළ ඔවුන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් තිබූබව යි. බලංගොඩ, ගම්පහ, නිකවැරටිය වැනි ප්‍රදේශවල කම්මල් වල අධ්‍යනවල දී එම ප්‍රදේශ වල කම්මල් කරුවන් වුව පිළිගන්නා කරුණක් වූයේ කොත්මලේ ආයුධ වලට හොද ඉල්ලුමක් ඇතිබව යි. එම නිසා බලංගොඩ ප්‍රදේශයේ කම්මල්වල නිෂ්පාදන පවා බලංගොඩ නගරයේ වුව ද ‍අලෙවි කරනුයේ කොත්මලේ තැනූ ඒවා බව සහතික කරමි. නිකවැරටියේ කැලේගම කම්මල් කරුවකු වන වත්තවඩුවේ ධර්මදාස ශිල්පියා පැවසුවේ කොත්මලේ වෑය ඉස්තරම් බවයි. ජලාශය ඉදිකිරීමෙන් පසු කොත්මලේ නවංගම සිටි කම්මල්කරුවන් අතරින් කොටසක් මාදුරුඔය ද කොටසක් ගම්පොල වැලිගග ද කොටසක් බලංගොඩ ද පවුල් දෙකක් කොත්මලේට නුදුරු හපුගස්තලාවේ ද පදිංචි වී ඇත. කොත්මලේට නුදුරු හපුගස්තලාවේ හල්ගොල්ල අංක 1 නැමති ස්ථානයේ පදිංචි එස්.පී. නවරත්න නමැති කම්මල් ශිල්පියාගෙන් ලබාගත් තොරතුරු ඇසුරින් වසර දහස් ගණනකට උරුම සම්ප්‍රදායක ශේෂ ලක්ෂණ වාර්තා කිරීමට හැකිවිය. නවරත්න කම්මල් කර්මාන්තය ඉගෙන ගෙන ඇත්තේ නවංගම සිටි හංගිලිගෙදර රත්නයිදේ ගෙනි. මෙම ශිල්පියා මෙම ගවේශනය සිදු කළ 1994.05.10 දින වන විට මාදුරුඔය පදිංචියට ගොස් සිටියේ ය. හංගිලිගෙදර යනු හංගිඩිගෙදරයි. එනම් කොට්ටබද්දේ ප්‍රධානියා ගේ ගෙදරයි. එම ප්‍රධානියා ගෙන් (හංගිඩියා) පැවත එන රත්නයිදේ කොත්මලේ නවංගම තාක්ෂණික සම්ප්‍රදාය ගැන මනා දැනුමක් ඇති සිටියෙකු බව නවරත්න පැවසී ය.

යපස් වලින් යකඩ නිස්සරනය කර ගත් ආකාරය ගැන දැනුමක් නවරත්නට නොමැත. කම්මල් කර්මාන්තය ගැන වුව ද සම්ප්‍රදායික ක්‍රම ගැන ඔහු ට එතරම් අවබෝධයක් නැත. ඔහුගේ කම්මල් දිවයිනේ සෙසු ප්‍රදේශ වල දක්නට නොලැබෙන අන්දමේ විශේෂිත වූවකි. එම වි‍ශේෂත්වය නම් පොළොව මට්ටමෙන් යට වලක සිටිමින් කම්මලේ නිෂ්පාදන කටයුතු කිරීම යි. දිවයිනේ බලංගොඩ ගම්පහ නිකවැරටිය, දඹුල්ල, මාතර, ගම්පොල වැනි සෑම ප්‍රදේශයක ම කම්මල් වල මයිනහම් හා උසුණුපිල තිබුණේ පොළොව මට්ටමෙන් අඩි දෙකහමාරක් පමණ ඉහලිනි. නමුත් මෙම කම්මලේ උසුණුපිල හා මයින හම තිබෙන්නේ පොළොව මට්ටමේ ය. උසුණුපිලට ඉදිරියෙන් ඇති සෙ.මි 50ක් පමණ ගැඹුරු සෙ.මී. 125ක් පමණ උස දිග සෙ.මී. 60ක් පමණ පළල වලක බැස සිටින ශිල්පියාට වල වටා ඇති කම්මල් බිම (වල වටා තුන් පැත්තක්) මේසයක් (working table) ලෙස භාවිත කිරීම ට හැකි ය. මයිනහම ඇදීම, යකඩ ගිනියම් කිරීම, මට්ටම් කිරීම, හැඩ ගැසීම, කැපීම, විදීම, පන්නරය තැබීම ආදී සියලු කටයුතු, වල තුළ සිටිමින් කළ හැක. එක් එක් කාර්යයන් සදහා කම්මල තුළ තැනින් තැනට යාමට ඔහුට සිදු නොවේ. මේ නිසා ඔහුගේ කාර්යක්ෂමතාව ඉහළ යයි. ඔහුට උවමනා මෙවලම් ද ඔහු නිමවන මෙවලම් ද වල වටා තබා ‍ගැනීමට හැකි ය.

කම්මලේ ඉන්ධනයක් ලෙස වර්තමානයේ භාවිත වන්නේ පොල්කටු අගුරු නමුත් දැව අගුරු භාවිතය ගැන වැටහීම ඔහු ට ඇත. දුම් ගස ඉතා හොඳ අඟුරු ලබා දුන් ගස් වර්ගය කි. වීර හා සැවන් ඉදල අඟුරු ද හොඳ ය. මෙම දැව වර්ග හිගවූ පසු කිතුල් හා ගිනිසීරිය (ලොකු ගස්) ද භාවිත කර ඇත. දැව අඟුරු සකසා ගත් ක්‍රමය මෙසේ ය. “දර ඇති ප්‍රමාණය අනුව වලක් කපා වල පතුලේ ගිනි මොලවා ඒ මත දර තැන්පත් කරයි. දහනය වෙමින් දැව කැබලි යට ට කිදා බසිද්දී ඉතිරි ව ඇති දැව කැබලි ද දැවෙමින් තිබෙන දර මතට දමයි. ගිනි දැල් නිවී යාම ට ආසන්න වෙද්දී අමු කොළ අතු වලින් වල ආවරණයකර තම ආවරණය මත ට පස් දම යි. ගිනි දැල් නිවී යාම ට ආසන්න වෙද් දී අමු කොළ අතු වලින් වල ආවරණය එම ආවරණය මතට පස් දමයි. දින දෙකකට පසු ආවරණය ඉවත් කර අගුරු ඉවතට ගනී.” මයිනහම තනා ගැනීම සඳහා අඹ ලෑලි හෝ සපු ලෑලි භාවිත කර ඇත. වර්තමානයේ පදම් කළ හරක් හම් වෙළෙඳ පොළෙන් ගෙන මයින හම සඳහා යොදා ගත්තත් අතීතයේ ‍ඔවුන් තමන්ම හම් පදම් කර ගෙන ඇත. හරක් හම් පදම් කර ගැනීමට වෙල්අල කොළ ලුණු සමඟ මුට්ටියකට දමා පැසෙන්නට හැර සෙවෙල සෑදුනු පසු එම සෙවල හරක් හම මතුපිට හම් තුනී වන තුරු පාහයි. හොදින් තුනී වූ පසු වියලා මයින හමට යොදා ගනී. කිණිහීර හා මිටිය කම්මලේ ම තනාගෙන ඇත. කම්මලේ තනා ගත් මිටිය ට සිංහල මිටිය යැයි කියති. ආයුධ පන පෙවීමට තෙල් ඔරුව භාවිත කරයි. වර්තමානයේ තෙල් ඔරුව සඳහා පොල්තෙල් හෝ දැවි තෙල් යොදා ගනිතත් අතීතයේ යොදා ඇත්තේ කැකුණ තෙල් ය. ආයුධ මිටි ගැසීමේ දී උදලු මිට සඳහා කිතුල් ද කැති මිට සඳහා කෝපි හෝ කිතුල් ද පිහියා මිට සඳහා ගංසූරිය හෝ කපු යොදා ගනී. කම්මලේ නිෂ්පාදනය වූ පිහියා (තේ පිහියා හෙවත් වක් වූ ලොකු පිහියා, මේස පිහියා) කැති, හිරමණ වැනි උපකරණ සඳහා වෙ‍ළඳපොළ වතු කම්කරුවන් අතර යි.

තම කර්මාන්තය කොත්මලේ නවත්ගම සිටිය දී දියුණු මට්ටමක තිබුණත් හපුගස්තලාව ට පැමිණි පසු ඉන් ලැබෙන ආදායම ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවන බව නවරත්න පැවසී ය. කොත්‍මලේ මෙවලම් වලට තිබුණු ප්‍රසිද්ධිය නිසා එකල එහි නිෂ්පාදන වලට හොද වෙළෙඳ පොලක් තිබුණි. එම ශිල්පීන්ම වෙනත් ප්‍රදේශයක දී එම නිෂ්පාදනම කරතත් ඒවාට ඉල්ලුම නැත්තේ පාරිභෝගික පිළිගැනීම නව ස්ථානයකට නොමැති බැවිනි. එවිට කර්මාන්තයේ පැවැත්ම අනතුරට ලක් වේ. මේ නිසා කොත්මලේ තාක්ෂණික සම්ප්‍රදායයන් වේගයෙන් අතුරුදහන් වෙමින් තිබේ. කොත්මලේ ශිල්පී පවුල් වලින් පැවත එන ශිල්පීහු මහනුවර අවට රන්, රිදී, පිත්තල කර්මාන්ත වල නියැලී සිටිති. ඔවුන් ගේ ශිල්ප ක්‍රම ද වේගයෙන් වෙනස් වේ. ඒ හැරත් මේ ශිල්පී ගම්මාන වල කම්මල් කර්මාන්තය නොමැත. යටත් විජිත යුගයේ විදේශීය වානේ ලංකාවේ වෙළෙඳ පොළ ආක්‍රමණය කළ කර්මාන්ත අඛණ්ඩව පැවතියේ, එහෙත් ක්‍රමයෙන් අභාවය කර ළඟා වෙමිනි. විදේශ වෙළඳපොළ දේශීය වෙළඳපොළ ආක්‍රමණය කළ පසුගිය දශක දෙකේ දී කම්මල් කර්මාන්තය අභාවය කරා යාමේ ගමන වේගවත් විය. ආර්ථික හේතු මෙන්ම කුල භේද වැනි සමාජ හේතූන් ද මෙයට බලපෑවේ ය. කොත්මලේ නවංගම ඇතුළු සියලුම කම්මල් ස්ථාන මෙලෙස අභාවයට යමින් තිබිය දී කොත්මලේ ජලාශයට නවංගම යට වී ගියේ සියවස් ගණනාවක එහි ඉතිහාසය සමඟ ය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • මොරටුවගම, එච්.එම්. (සංස්), (1996), සිංහල ථූපවංශය, රත්න පොත් ප්‍රකාශකයෝ, පිටකෝට්ටේ.
  • ඤාණවිමල හිමි, කිරිඇල්ලේ,  (සංස්), (1961) රසවාහිනී, ගුණසේන, කොළඹ.
  • සේනාධීර, ගුණපාල, (සංස්), (1970) බෝධිවංශය, අනුල මුද්‍රණාලය, කොළඹ 10.
  • තිලකසිරි, ජයදේව (1997) ශ්‍රී ලංකාවේ පාරම්පරික ශිල්පීන්ගෙන් පැවත එන පවුල් පිලිබඳ සමීක්ෂණයක්, චතුර මුද්‍රණාලය , වැල්ලම්පිටිය.
  • කෙහෙල්ගමුව, පී.බී. (1935) කොත්මලේ පුරාවෘත්ත, ජිනාලංකාර යන්ත්‍රාලය, කොළඹ.
  • සෙවිරත්න, එස්. (1994). ඓතිහාසික මහනුවර, වාරියපොල සුමංගල විද්‍යාලය, මහනුවර.
  • Lavrie, A.C.  (1898),  A gazetteer of central province, vol: I and II, Govt. Printing.
  • Paranavitana, S. (1970), Inscription of Ceylon, vol. I, Dept. of Archaeology, Colombo.

1 COMMENT

  1. කොහොමද මට මේ සයිට් මගහැරුණේ……

    ඇත්තටම වැදගත් ලිපියක්

    දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    කලින් හිතාගෙන හිටියේ යකඩ වලට ගන්න ඉන්ධන මරං සහ පත්බේරිය විතරයි කියල

    ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික යකඩ වානේ කර්මාන්ත ගැන ඔබ පෞද්ගලිකව ගවේශණයක් කරලා තියෙනවද ??

    බොහොම ස්තුතියි 🙂

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.