දළදා මළුව, පොළොන්නරුව

අනුරාධපුර රාජධානිය 1017 දී චෝල ආක්‍රමණයෙන් සොළින්ට අයත්වූ පසු පොළොන්නරුව පාලන නගරයක් ලෙස වර්ධනය විය. විජයබාහු රජතුමා විසින් චෝල පාලනයෙන් රට බේරාගෙන දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුව පොළොන්නරුවට ගෙනෙන ලදී. එතුමා විසින් මෙහි දළදා මාලිඟාවක් තනවා ධාතුන් වහන්සේලා මෙහි තැන්පත් කරවන ලදී. එතුමා විසින් නිර්මාණය කර වූ ප්‍රධාන විහාර සංකීර්ණය පොළොන්නරුවේ දළදා මළුවයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී මෙය වැඩි දියුණු වූ අතර, වැව්, විහාරාරාම, රාජකීය මාලිඟා ආදිය ද පොළොන්නරුවේ නිර්මාණය විය. එසේම මෙම දළදා මළුව නිශ්ශංක මල්ල රජුගේ කාලයේ දී තවත් සංවර්ධනය වින.

දළදා මළුව අංග ගණනාවකින් සමන්විත විය.  පහත සිතියමේ දැක්වෙන්නේ එම අංගයන්ය.

  1. ඇතුළුවන දොරටු
  2. නිශ්ශංක මල්ල රජු තැනු දළදා ගෙය
  3. පළමුවන විජයබාහු රජු තනු දළදා ගෙය
  4. වටදාගේ
  5. බෝධිසත්ව රුව
  6. ථුපාරාමය
  7. බෝධිඝරය
  8. ඔත් පිළිමය
  9. විහාරය, උපොෂතාගාරය
  10. ගල් පොත
  11. සත් මහල් ප්‍රසාදය

නිශ්ශංකමල්ල රජු තැනු දළදා ගෙය – හැටදාගේ

හැටදාගේ, දිග අඩි 120ක් හා පළල අඩි 90ක් පමණ භුමි ප්‍රමාණයක, කැටයම් කෙරුණු ගල් බිත්තිවලින් තැනුණු ප්‍රවේශ ශාලාවකින් හා ඇතුළු කුටියකින් සමන්විත ගොඩනැඟිල්ලකි. මෙය මහල් දෙකකින් සමන්විතව තිබී ඇත. උඩු මහල දැවයෙන් තනා තිබෙන්නට ඇති අතර එහි දන්ත ධාතුව, පාත්‍රා ධාතුව හා අනෙකුත් ධාතුන්වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇත. පහත මාලය බුදු මැදුරක් ලෙස භාවිත කළ බව පෙනේ. මෙම ගෘහය තුළ හිටි බුද්ධ ප්‍රතිමා තුනකි.

මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් බවත්, නිශ්ශංක මල්ල රජු එය අලුත්වැඩියා කළ බවත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා  කියයි. බිත්තිවල අලංකාර කැටයම් හා නිශ්ශංක මල්ල රජු වර්ණනා කෙරෙන ශිලාලේඛන පිහිටුවා ඇත. මෙම ගොඩනැඟිල්ල පැය හැටක් ඇතුළත නිමවන ලද බවක් කිය වේ. එහෙයින් මෙය හැටදාගේ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. මෙහි ධාතුන් වහන්සේලා හැට නමක් තැන්පත්කොට තිබු හෙයින් හැටදාගේ කියූ බවක්ද කියති. මෙම ගොඩනැඟිල්ලේ සඳකඩ පහනේ සිංහ රුපය දක්නට ලැබීම විශේෂත්වයකි. මේ යුගයේ අනෙකුත් සඳකඩ පහන්වල සිංහ හා වෘෂභ රුප දක්නට නැත.

හැටදාගේ

කැටයම් හා ශිලා ලිපි සහිත බිත්ති

සඳකඩ පහන

බුද්ධ ප්‍රතිමා

පළමු වැනි විජයබාහු රජු තැනු දළදා ගෙය : අටදාගේ

දළදා මළුව තුළ ඇති පැරණිතම ගොඩනැඟිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්ත ය. කොරවක් ගල් සහිත පිය ගැටපෙළක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක් පමණ ප්‍රමාණයක් පමණි. මේ සමහර කුළුණුවල, කල්පලතා මෝස්‌තර, වාමන රුප, නාට්‍යන්ගනාවන්ගේ රුප, බෝධිසත්ව රුප ආදිය කැටයම් කොට තිබෙනු පෙනේ. මහා විජයබාහු රජතුමා විසින් තනන ලද මෙය මහල් දෙකකින් යුක්තව තිබී ඇත. ඉහළ මහල දැවයෙන් තනා උළු සෙවිලිකර තිබුනා විය හැකිය. දන්ත ධාතුන්වහන්සේ හා පාත්‍රා ධාතුව මෙහි ඉහළ මහලේ තැන්පත්කොට තිබෙන්නට ඇති අතර බිම් මහල බුදු ගෙයක් ලෙස භාවිත කරන්නට ඇත. මෙය ඉදිකිරිම සඳහා වෙනත් ගොඩනැඟිලි වලින් කොටස් ගෙනවිත් ඇත.

මිට අටදාගේ යනුවෙන් ව්‍යවහාර කරනුයේ පැය අටකින් හෝ දින අටකින් නිමකළ බවක් කියවෙන නිසා හෝ මෙහි ධාතුන් වහන්සේලා අටනමක් තැන්පත්කොට තිබු නිසා වන්නට පුළුවන. මේ ආසන්නයේ වේලක්කාර ‌දෙමළ සෙල්ලිපිය ද දක්නට ඇත. එහි දැක්වෙනුයේ දළදා ගෙයි ආරක්ෂාව වේලයික්කාර හමුදාව භාරයේ තිබුණු බවයි. අටදාගෙය ප්‍රතමාභිශේකය සඳහා ද පාවිච්චි කළ බව කියති.

අට දාගේ

කල්ප ලතා කැටයම් සහිත කුළුණු

වේලක්කාර ‌දෙමළ සෙල්ලිපිය

වටදාගේ

වටදාගේ පොළොන්නරුවේ දළදා මළුවේ පිහිටි වැදගත් හා අලංකාර ස්මාරකයයි. නිශ්ශංක මල්ල රජුට පෙර මෙය ඉදිකර ඇති අතර නිශ්ශංකමල්ල රජු විසින් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත. වෘත්තාකාර ‌ගොඩනැඟිල්ලක් වන මෙහි විෂ්කම්භය අඩි 120කි. පොලව මට්ටමේ සිට උස අඩි 4 අඟල් 6කි. සිව් දෙසින් මෙයට ඇතුළු වීමට තනා ඇති පියගැටපෙළ අලංකාර කැටයමින් යුක්ත ය. සඳකඩ පහන්, දෙපස මුරගල් වලින් හා වාමනයන් දරා සිටින මකර වැටවලින් යුක්ත ය. මධ්‍යයේ සිව් දිසාවන්ට මුහුණ ලා ඇති බුද්ධ ප්‍රතිමා හතරකට මැදිව පිහිටි ස්තුපයකි. වහලයක් තැනීම සඳහා පිහිටුවා ඇති ශෛලමය කුළුණු පේලි දෙකක් තිබී ඇත දැනට ඉතිරිව ඇත්තේ එක පේලියක් පමණි. පිටත වටයේ පිහිටි මෙම ගල් කුළුණු අතර අඩි 2 අඟල් 9ක් උසට තැනු ප්‍රාකාර බැම්මකි. මෙය මල් මෝස්‌තර වලින් අලංකාර කොට ඇත. කුළුණු පේලි අතර ඇති ගඩොළු බිත්තිය ආරක්ෂිතව තිබෙනු දැකිය හැකි ය.

මෙහි ඇති බුද්ධ ප්‍රතිමා ලක්ෂණ මෙම ස්ථානයටම ආවේනික වුවකි. ප්‍රතිමා වල ශීර්ෂය, සිවුර නිමකළ ඇති ආකාරය අන් ස්ථාන වල ප්‍රතිමා වලට වඩා වෙනස්ය. සඳකඩ පහ‌ෙණෙහි ද අනුරාධපුර යුගයේ සඳකඩ පහන්වල දක්නට ඇති වෘෂභ රුපය දක්නට නැත. ඒ හින්දු ආගමේ වෘෂභ රූපය දේවත්වයේ ලා සැලකූ නිසා විය හැකි ය. වෘෂභ රූපය මුරගල පසෙක කැටයම් කොට තිබෙනු පෙනේ.

වටදාගේ

මුරගල් හා පඩි

සඳකඩ පහන

මුරගල්

මල් කැටයම්

බුදු පිළිම

කොරවක් ගල්

මුරගල පසෙක වෘෂභ රුපය

බෝධිසත්ව රුව

වටදාගෙයට පසෙකින් පිහිටුවා ඇති පිළිමය බෝධිසත්ව රුවක් හෝ නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිමාවක් යයි විස්වාස කෙරේ.

ථුපාරාමය – පිළිම ගෙය

මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකු වූ මහින්ද නැමැත්තා ඉදික‌ෙළේ ද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිත ය. මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි. මෙය වක්‍රාකාර ගඩොළු වහලක් සහිතව  අවුරුදු 900කට වඩා කාලයක් හොඳින් ආරක්ෂා වී ඇති ගොඩනැඟිල්ලකි. මණ්ඩපය, අන්තරාලය හා ගර්භ ගෘහ යන අංග වලින් සමන්විතය. පිටත බිත්ති විමාන වර්ගයේ රූකම් වලින් අලංකාර කොට ඇත. මේ පිළිම ගෙයි ගඩොළින් නිම වූ හිඳි බුදුපිළිමයක් තිබී ඇත. ශෛලමය හිටි බුදු පිළිමයක් දක්නට ඇත.මේ බුදු පිළිමයේ නේත්‍ර මැණික් ගල්වලින් පිහිටුවා තිබු බවත්, ජනෙල වලින් හිරු රැස් ඊට පතිතවන ආකාරයට නිමවා තිබු බවත් කියති. මෙහි බිත්ති අඩි 7ක් පමණ පළලය.

හිටි බුදු පිළිමයක් හා හිඳි පිළිමයක්

බෝධිඝරය

ථුපාරාමය අසල ඇති කුඩා ගොඩනැඟිල්ල බෝධිඝරයක නටබුන් යයි විශ්වාස කෙරේ.

ඔත් පිළිමය

ගඩොළින් නිමකළ ප්‍රාකාරයක් සහිත නටබුන් සැතපෙන පිළිමය තිබු ගොඩනැඟිල්ලයි. මෙහි පිළිමය ගඩොළින් හා බදාමයෙන් නිමකොට වර්ණාලේපිත කර තිබෙන්නට ඇත. දැනට ශේෂව ඇත්තේ ගඩොළු ආකෘතියක් පමණි.

විහාරය, උපොෂතාගාරය

දළදා මළුවේ කෙළවරක විහාරයක් හෝ උපොෂතාගාරයක නටබුන් දක්නට ඇත.

නිශ්ශංක ලතා මණ්ඩපය

නෙලුම්මල් සහිත දඬු මෙන් පෙනෙන අඩි 8ක් පමණ උස කුළුණු වලින් සමන්විත වේදිකාවක් මත ගොඩනංවන ලද අඩි 34 අඟල් 3ක් දිග හා අඩි 28 අඟල් 6 පළල ගොඩනැඟිල්ල නිශ්ශංක ලතා මණ්ඩපය ලෙස හැඳින්වේ. ගොඩනැඟිල්ල මැද කුඩා දාගැබකි. ගල් ගරාදි වැටකින් වටකර ඇත. නිශ්ශංකමල්ල රජු මෙහි සිට පිරිත් ඇසු බව මෙහි ශිලා ලේඛනයක දැක්වේ.

නිශ්ශංක ලතා මණ්ඩපය

ගල් පොත

මිහින්තලේ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26 අඟල් 10ක්, පළලින් අඩි 4 අඟල් 7ක් හා ඝනකමින් අඩි 2ක් පමණ විශාල ගල් පුවරුවක පේලි 72ක අකුරු 4,300කට වැඩි ගණනකින් සෙල් ලිපියක් නිශ්ශංකමල්ල රජු විසින් කොටවා ඇත. දිගු අතට දෙපස හංස පේලි දෙකක් හා පළල අතට දෙපස ජලය වත්කරන ඇතුන් දෙදෙනෙකු හා පියුමක් අතින්ගත් ගජ ලක්ෂ්මි දේවිය කැටයම් කොට ඇත. නිශ්ශංකමල්ල රජුගේ පරපුර, ඔහුගේ වීරක්‍රියා, පින්කම් හා විදේශ රටවල් සමග පවත්වන ලද සබඳතා ආදිය ගැන මෙහි සඳහන්වේ.

ගල් පොත

ගජ ලක්ෂ්මි

සත් මහල් ප්‍රාසාදය

අඩි 30ක් පමණ උස ක්‍රමයෙන් ඉහළට පටු වී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැඟිල්ලක් දළදා මළුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සත් මහල් ප්‍රාසාදය

මානව නිර්මාණ ශිල්පීය දක්ෂතා, හෙළිවන සංස්කෘතික සාම්ප්‍රදාය හා කැපීපෙනෙන විශ්වීය වැදගත්කම ආදී කරුණු සලකා 1982 සිටම UNESCO සංවිධානය විසින් දළදා මළුව ද ඇතුළු පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Advertisements

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.