අනුරාධ විජයවර්ධන බණ්ඩාර

පුරාවිද්‍යා අධ්‍යන අංශය (විශේෂ, දෙවන වසර), කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම, කැලණිය.

අනුරාධ විජයවර්ධන බණ්ඩාර

ඓතිහාසික වෙල්ලස්ස, වර්තමාන ඌව පලාත පිළිබඳ ප‍්‍රථම වරට ඉතිහාසයේ සඳහන් වන්නේ මහා විජයබා රජුගේ පුණ්‍යකර්ම පිළිබඳ වර්ණනා අවස්ථාවේ දී බව මහාවංශයේ 60 වන පරිච්ජේදය අධ්‍යනයෙන් පැහැදිළි වේ. පැරණි බිම් බෙදීම් අනුව රුහුණු රටට අයත් වූ ඌව වර්ග සැතපුම් 3,271 පමණ විශාලත්වයකින් යුක්ත ය. කිරිදිඔය, මැණික් ගඟ, කුඹුකන්ඔය, විල්ඔය, හැඩඔය, ගල්ඔය යන ප‍්‍රධාන ගංගා පදනම් කරගත් ජලවහනය ඌව සරුසාර බිමක් කිරීමට පෙරමුණ ගෙන සිටී. පුරාණයේ සිටම ගංගා ආශ‍්‍රිත ව හා ජල මාර්ග හරස්කරවා වැවු අමුණු බන්දවා කුඹුරු අස්වැද්දීම හේතුකොටගෙන ඌව පලාත විශාල වෙල් යායක් බවට පරිවර්තනයව තිබින. එක් එක් වැව් ආශ‍්‍රිත ව වෙල් ලක්ෂයක් ඇති වූ හෙයින් මෙම පෙදෙස වෙල්ලස්ස වූ බව ප‍්‍රකට කරුණකි. සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණු රජුගේ යුධ ව්‍යාපාරයට අවශ්‍ය වූ ආහාර සැපයීමට අස්වද්දන ලද්දේ මෙම වෙල්ලස්ස ඇතුළු දිගාමඩුල්ල ප‍්‍රදේශයයි. ඒ අනුව දුටුගැමුණු පුත් සාලිය උපන්දා අනුරාධපුරයට වෙල්ලස්සෙන් ද සහල් ප‍්‍රවාහනය වන්නට ඇත. මේ ප‍්‍රදේශයේ ඇති බුත්තල ඒ නමින් හැදින්වූයේ පෙර මෙහි දාන වෘත ඇති දන්සලක් වූ හෙයිනි. පසුව බත්හල බුත්තල වී ඇත.

එකල වෙල්ලස්සේ සෑම ගෘහයක්ම ධාන්‍යාගාරයක් විය. වී බිස්ස ගෘහාංගයක් විය. සුවදහැල්, රත්හැල් ආදී වී වර්ග ද, මහ උඳු, සුළු උඳු, වනමෑ, පිදුරු මෑ, කළු මෑ, වටමුං, තුනැස් මුං, පුහුල්, කොමඩු, තියඔරා, කුරක්කං, ඉරිගු, කොස්, දෙල්, දොඩම්, නාරං ආදී බෝගයන්ගෙන් පලබර වීමෙන් ද, කලක් ශ‍්‍රී දලදා වහන්සේගේ ආරක්ෂිත භූමියක් වි පාරිශුද්ධත්වයට පත්වූ වෙල්ලස්සේ හැදීවැඩුනේ ද රටට ජාතියට පෙම්බැදි, ගුණනුවනින් හෙබි සාඩම්බර නිර්භීත පරපුරකි. අතීතයේ ථෙරපුත්ථාභය, ඛඤ්ජදේව, වේළුසුමන, ගෝඨයිම්බර, භරන ආදී දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් බොහෝ දෙනෙක් මේ ප‍්‍රදේශයේ ජන්ම ලාභීන් වීම ඊට හොදම නිදසුනකි.

වර්ශ 1815 මාර්තු 2 වනදා සිට ඉංග‍්‍රීසින්ට ලංකාව් බලය අත් වූ දා සිට ඔවුන්ගෙන් සිදු වූ අකටයුතුකම් හා දුර්දාන්ත පාලනය ඉදිරියේ වෙනතක් බලාගැනීමට තරම් වෙල්ලස්සේ ජනයා නිවට නොවූහ. ඉංගී‍්‍රසීන් ගිවිසුමේ ප‍්‍රකාර පොරොන්දු කඩකිරීම, බදු නියමකිරීම ඔස්සේ ක‍්‍රමයෙන් අපරටේ වූ සම්පත් හා ශ‍්‍රමය සූරාකමින් ලක්වැසියන් සුද්දන්ගේ වහලුන් බවට පත්වීම ඉවසා දරා සිටීමට සිංහලුන්ට නොහැකි විය. ඒ මත ඉංග‍්‍රීසීන් කෙරේ විෙරා්ධයක් ගොඩනැගෙමින් තිබිණි. බි‍්‍රතාන්‍ය යටතට පත් උඩරට ප‍්‍රදේශවල පාලනය ගෙනයාම සදහා රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් රෙසිඩන්ට් හෙවත් නිත්‍ය නේවාසික නිලධාරියකු වන ජෝන් ඩොයිලි පත්කරන ලදී. ඔහු උඩරට යටත්කරගැනීමේ ක‍්‍රියාදාමයේ දී බොහෝ වෙහෙස වූ අයෙකි. උඩරට ඉංග‍්‍රීසීන්ට අත්වීමට ඉඩහැරීම මෙතෙක් පෙර නොවූ වැරුද්දක් බව සිංහල ජනතාවට අවබෝධවන්නට වැඩිකල් ගත නොවීය.

ශතවර්ශ ගණනාවක් තිස්සේ දේශිය සභ්‍යත්වය සමග කා වැදී තිබුණු රාජාණ්ඩු පාලනය අහිමිවීම සමස්ත ජනතාවට තදින් දැනෙන්නට විය. රජු අහිමිවීම හේතුවෙන් සියලු ජනතාව තුල තිබුනේ කනස්සල්ලකි. නිතර දෙවේලේ දකින්නට ලැබෙන, තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමට සිටින රජු වෙනුනට ලක් වැසියනට 1815 සිට සිටියේ සැතපුම් ගණනක් ඈත දුර රටක වාසයකරන තම ජාතියේවත් නොවන නන්නාදුනන පුත්ගලයෙකි. උඩරට රජු අහිමි වීමෙන් භික්ෂූන් වහන්සේ, රදල ප‍්‍රධානීන් ඇතුළු සමස්ත මහජනතාව ම කම්පාවට පත්විය. 1815 දී උඩරට ගිවිසුමට අත්සන් තබා සිය ගමරට බලාගිය හිමිනමක් ස්වකීය රජු පෙරමුණේ තබා ගමන්ගන්නා කූඹි රැලක් දැක මෙසේ පවසා තිබේ.

‘‘අනේ කූඹියනේතොපට රජෙක් ඉන්නේ – අපට නෑ ඉන්නේ
ඒ නිසාවෙන් අප තැවෙන්නේ – අපේ කරුමේද මේ වන්නේ
රජෙක් ලැබුනෝතින් – කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර පාන්නම් – සාදු නදෙන් ගිගුම් දෙන්නම්’’

රජු අහිමිවීමෙන් ඇතිවූ සන්තාපය මින් මනාව පැහැදිලි වේ.

ඉතිහාසය පුරා ලක්වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ භික්ෂූන් වහන්සේලාගේ හා බුදුසසුනේ ආරක්ෂාවට, අභිවෘද්ධියට 1815 ගිවිසුමේ ප‍්‍රකාර අනුග‍්‍රහය ඉංග‍්‍රීසීන්ගෙන් නොලැබුනි. එයට ප‍්‍රබලව බලපෑෙව් ඉංග‍්‍රීසින් ක‍්‍රිස්තු භක්තිකයන් වීමයි. මොවුන් ක‍්‍රිස්තියානි ආන්ඩුවක් යටතේ රදලයන්ගේ දරුවන්ට බටහිර අධ්‍යාපනය ලබා දීමට සෙමනේරියක් පිහිටුවීමට ද අදහසක් විය. ඒ අනුව, රටවැසියා ක‍්‍රිස්තු භක්තිකයන් කිරීමට තැත් කිරීම ද භික්ෂූන් වහන්සේලාට ඉංග‍්‍රීසීන් කෙරේ වූ අප‍්‍රසාදය වැඩිවන්නට හේතු පාදක විය. උඩරට රජකම තමාට පවරනු ඇතැයි බලාපොරොත්තුවෙන් උඩරට ආක‍්‍රමනයට ඉංග‍්‍රීසින්ට බොහෝ සෙයින් උපකාර කළ ඇහැලේපොල අදිකාරම්ට ඔහු බලාපොරොත්තු වූ පරිදි රජකම නොලැබුනි. ඉංග‍්‍රීසීන් ඔහුව අස්වැසීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත්ත ද ඔහු උඩරට රජකම මිස වෙන කිසිවක් පිළිගැනීමට සූදානම් නැතිබව ආන්ඩුකාරයාට දැන්වීය.

ඉංග‍්‍රීසි උසස් නිලධාරීන් තබා සාමාන්‍ය සොල්දාදුවන් වත් රදල ප‍්‍රධානින්ට ගරු බුහුමන් නොදැක්වූහ. සම්ප‍්‍රධායානුකූල ව පරම්පරාගත රදලයන්ට හිමිවෙමින් තිබූ නිලතල ආන්ඩුකාරයාගේ තනි කැමැත්ත පරිදි වෙනස් කෙරිනි. මෙය රදල ප‍්‍රධානීන්ගේ ඉවසුම් රහිත තත්වය උත්සන්න වීමට හේතු විය. ඌව වෙල්ලස්ස රදල ප‍්‍රධානීන්ට මුල සිට ම මෙම වරප‍්‍රසාද අඩුවන බවක් දක්නට ලැබුනි. එනම්, වෙල්ලස්සේ මඩිහේ ලේකම් හා මුහන්දිරම් ලෙස හජ්ජි මරික්කාර් නමි මුස්ලිම් ජාතිකයකු පත්කිරීමයි. මේ හේතුවෙන් සිංහලයන් තුළ වූ අසහනය තවත් උත්සන්න විය. මේ ආකාරයෙන් චිරත් කාලයක් පැවති උඩරට උසස් නිලතල රදලවරුන්ට හිමිවීමට තිබූ අයිතිය ඉංග‍්‍රීසින් නැතිකර දැමීය. මඩිහේ බද්ධ නම් කාර්යංශයට අයත් ගැල් විශාල ප‍්‍රමාණයක් මෙම හජ්ජි සතු වූ අතර ඔහු දීර්ඝ කාලයක් ඩොයිලිගේ චරපුරුෂ කාර්යේ දී ඔහුගේ සිත් දිනාගත්තෙකි. වඩාත් රාජපාක්‍ෂික වැසියන් ජීවත්වූ වෙල්ලස්ස ප‍්‍රදේශයට හජ්ජි පත්කිරීම නිදහස් සටනට මුලපිරීමට හේතුවූ එක් කාරනයක් විය. එම තනතුරට පත්වූ හජ්ජි ඌෙව් දිසාවගේ අණ ද නොතකා ක‍්‍රියාකරන්නට විය.

මෙම සිදුවීම් අතරතුර වෙල්ලස්සේ විශේෂ කටයුත්තක් සිදුවෙමින් තිබුනි. රාජාධිරාජසිංහ රජ පරපුරට නෑකම්කියන දොරේසාමි කතරගම දේවාලයේ දී ලැබුණු වරමක් අනුව වැදි හමුදාවක් ද සමග වෙල්ලස්සට සමිප‍්‍රාප්ත විය. සිංහල ජන කොටස් ද බූටෑවේ රටේරාල ප‍්‍රධාන කොටගෙන දොරේසාමි වෙත යොමුවෙමින් සිටියහ. බදුලු ප‍්‍රදේශයේ කෙහෙල්මුල්ල නම් ස්ථානයේ සැඟව සිටින දොරේසාමි අල්ලාගැනීමට බදුල්ලේ ඒජන්ත විල්සන් ඇතුළු මුස්ලිම් පිරිසක් පිටත්කළ අතර ඔවුන් දොරේසාමිගේ සහකරුවන් පිරිසක් අල්ලා බදුල්ලට පිටත්කිරීමට සමත් වූහ. මෙය සිදු වූයේ බදුල්ලේ ඉනාවැල්ල නම් ස්ථානයේ දී ය. ජයග‍්‍රාහී ලෙස දොරේසාමි සොයා ඉදිරියට පැමිණි හජ්ජි ඇතුළු පිරිස බූටෑවේ රටේරාල හා ඔහුගේ පිරිසගේ අත්තඩංගුවට පත්විය. ඔවුන් දොරේසාමි වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හජ්ජි මරික්කාර් මරා දැමීමට තීරණය කරන ලදී. මෙම පනිවිඩයෙන් කෝපාවිශ්ට වූ බදුල්ලේ ඒජන්තවූ විල්සන් ලුතිනන් නිව්මන් කාපිරි හමුදා සේනාංකයක් ද සමග ඉනාවැල්ල බලා පිටත්විය. නමුත් බූටෑවේ රටේරාල ඇතුළු පිරිස අල්ලාගැනීමට අපොහොසත්වූ ඔවුහු ඉදිරියට ගමන්ගනිද්දී ඊතණවත්ත දේවාලය අසලදී සිංහල සටන්කරුවන්ගේ හීපහරකින් විල්සන් මරුමුවට පත්විය. පසුව ඔහුගේ හිස කඳින් වෙන්කර හෙල්ලයක අමුනා බාරයක් ඔප්පු කිරීම සඳහා ඊතණවත්ත දේවාලයට රැගෙනගිය බව ජනප‍්‍රවාදයේ එයි. ඉතිරි ඉංගී‍්‍රසි සේනාංක සිංහලයන්ගේ දැඩි ප‍්‍රහාර මධ්‍යයේ නැවත බදුල්ලට පසු බැසීය. අද වුව ද වෙල්ලස්ස ප‍්‍රදේශයට පැමිනෙන්නකුට ඉහත සිදුවීම් සිදු වූ ස්ථාන දැකබලාගත හැකි ය.

කැප්පෙටිපොල දිසාව (මෙම ඡායාරූපය http://www.dailymirror.lk/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

පසුව මේ පිලිබඳ ආරංචියෙන් කලබලයට පත් ඩොයිලි කැරැල්ල පැතිරීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගත්තේ ය. කොළඔ හා සෙංකඩගල අතර සම්බන්ධතා ආරක්ශිතව පවත්වාගෙන යාම සඳහා මහාදිකාරම් මොල්ලිගොඩට පැවරීය. මරුමුවට පත් වූ විල්සන්ගෙන් පුරප්පාඩු වූ ඌව ඒජන්ත ලෙස සයිමන් සෝවර් සේනාංකයක් ද සමග පිටත්කර යවන ලදී. වෙල්ලස්ස දිසාව වූ මිල්ලෑව හා ඌව දිසාව වූ කැප්පෙටිපොල සිය දිසාවලට පිටත්කර හැරී ය. මේ සිදුවීම් අතරතුර ත‍්‍රිකුණාමලයේ සිටි බ‍්‍රවුන්රිග් සෙංකඩගලට පැමිණ 1817 ඔක්තොබර් 25 සිට හමුදා කටයුතු මෙහෙය වීය. ඒ අනුව කැරලි මැඩලීමට කැප්පෙටිපොලගේ ප‍්‍රධානත්වයෙන් සේනාංකයක් වෙල්ලස්සට යැවීය. කැප්පෙටිපොල දිසාව හමු වූ බූටෑවේ රටේරාල ඔහුට කරුණු පැහැදිලි කරදීමට සමත් වූ අතර මෙම සටන ඉංග‍්‍රීසින්ගෙන් රට මුදාගෙන පෙර තිබූ නිදහස් නිවහල් බව නැවත ඇතිකිරීම සදහා වන්නක්ම බව කැප්පෙටිපොලට අවබෝධ විය. ඒ අනුව තමා සතු අවිආයුධ තමා සමග පැමිණි ඉංග‍්‍රීසි සේනාංකයට බාරදී ඔවුන් නැවත හරවා යවා 1817 නොවැම්බර් 1 දින අළුපොත දී සටන්කරුවන්ට එක්වූයේ විශාල අභියෝග, වගකීම් රාශියක් සියතට ගනිමිනි. කැප්පෙටිපොල උඩරට ප‍්‍රධාන රදල පවුලකට අයත් ප‍්‍රබලයකු වූ හෙයින් බ‍්‍රවුන්රිග් මේ පිලිබඳ බෙහෙවින් කම්පා විය.

තැනින්තැන පැවති යුද්ධය හේතුවෙන් බි‍්‍රතාන්‍ය බලෑනිය සීග‍්‍රයෙන් අඩු විය. ඊසාන දිග මෝසම සක‍්‍රිය වීමත් සමග ගංගා ගැලීමෙන් ප‍්‍රවාහන කටයුතු හා පණිවිඩ හුවමාරු කටයුතු ඇණ හිටීය. මේ කරුනු බි‍්‍රතාන්‍යන්ට අවාසි සහගත වුව ද උඩරට රදලයන් අතර වූ අසමගිය ඔවුන්ට වාසිසහගත විය. මේ වන විටත් ඇහැලේපොල හා මොල්ලිගොඩ අතර දැඩි අර්බුදකාරී තත්වයක් උත්ගතව තිබුණි. මේ සිදුවීම් අතරතුරම දොරේසාමි කන්ද උඩරට රජු වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබුනි. කැප්පෙටිපොල ඇතුළු රදලවරුන් නව රජු යටතේ බි‍්‍රතාන්‍යන් රටින් නෙරපීමට සහය වන්නැයි රදල නායකයන් වෙත තල්පත් යැවීය. මොල්ලිගොඩ වැනි රදල නායකයන් තුළ වූ බි‍්‍රතාන්‍ය ගැතිබව නිදහස් සටන ඌවවෙල්ලස්ස, නැගෙනහිර, ප‍්‍රදේශවලට පමණක් සීමා කිරීමට සමත් විය. නිදහස් සටන කාලසීමාව පුරාවටම බි‍්‍රතාන්‍යන්ට පක්ෂව ක‍්‍රියාකලේ මොල්ලිගොඩ හා එක්නැලිගොඩ දිසාවේ පමනි. මොල්ලිගොඩගේ ආදිපත්‍ය පැවති ප‍්‍රදේශයවන පහල සපරගමුව තුල ඉංග‍්‍රීසින්ට තමාට අවශ්‍ය ක‍්‍රියාකාරකම් සිත් සේ කරගැනීමට එම තත්වය බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. ඒ අනුව, සෙංකඩගල හා කොළඔ අතර සම්බන්ධතා නොබිදී පවත්වාගෙන යාමට ඔවුන්ට හැකි විය. ගාල්ල, මාතර, හම්බන්තොට යන ප‍්‍රදේශවල හමුදාංක උඩරටට ගෙන්වා සටන මර්ධනයට යෙද වූ අතර බිම්පාළු ක‍්‍රමය ප‍්‍රකාශයට පත්කර සටන ඇවිලෙමින් පැවති ප‍්‍රදේශවල ගෙවල්,කුඹුරු ගිනිබත් කලහ. ගැමියන් සතු හරකාබාන, අතිරේක ආහාර සපයාගත් හේන් වතුපිටි ඉතා කෘර අන්දමින් විනාශ කළහ. මෙම ක‍්‍රියාමාර්ග හරහා එම ප‍්‍රදේශ ජන ශූන්‍ය කර සටන බොහෝ දුරට මර්ධනය කිරීමට ඔවුන් සමත් වූහ. මේ සමග ඉංග‍්‍රීසින් කෙරේ සිංහලුන් තුළ ඇති වූ අප‍්‍රසාදය වඩාත් උත්සන්න වන්නට විය. නොබෝ කලකින් මඩුගල්ල දිසාව යටතේ දුම්බර ප‍්‍රදේශය ද, හේවාහැට, සපරගමුව යන ප‍්‍රදේශවලට ද පැතිරෙන්නට විය. මෙසේ සටන ක‍්‍රමයෙන් උඩරටට ව්‍යාප්ත වත්ම 1818 පෙබරවාරි 21 දින බ‍්‍රවුන්රිග් උඩරටට අයත් සියලු ම ප‍්‍රදේශ යුධ නීතියට යටත් කෙරිනි. ඉන්දියාවෙන් අතිරේක හමුදාද ඉල්ලා සිටියේය.

වැඩිකල් යන්නට මත්තෙන් 1818 මාර්තු 2 වන දින ඇහැලේපොල, කණිෂ්ට මිල්ලෑව, ජ්‍යෙෂ්ට මිල්ලෑව ඇතුළු රදල ප‍්‍රධානීන් කීපදෙනෙකු අත්තඩංගුවට ගත්හ. දිනෙන්දින සටන උත්සන්න වන්නට විය. බි‍්‍රතාන්‍යන්ට ඌව වෙල්ලස්ස කදවුරු සියල්ල අතහැර දැමීමට සිදුවිය. සටන්කරුවන්ගේ බරපතල පහරදීම්වලට මුහුණ පෑ ඉංග‍්‍රීසි සේනාංක වියරුවෙන් උඩරට ගම්බිම් වැනසූහ, වතුපිටි ඉඩකඩම් කොල්ල කෑහ. මේ අතරතුර ඉංග‍්‍රීසින්ට තවත් අතිරේක හමුදා සේනාංක ලැබුනි. මොවුන් ගරිල්ලා සටන් පිලිබඳ විශේෂ පුහුණුව ලද්දෝ ය. ඔවුන් රට තුළට වැදී සටන් පැවති ප‍්‍රදේශ කෘෘර අන්දමින් වැනසූහ. වෙල්ලස්ස ප‍්‍රදේශයේ වූ වෙල්යායවල් එක රැයකින් අළු දූලි බවට පත් කළහ. වී අටු ගිනිතැබූහ, ගෙවල්දොරවල් බිමට සමතලා කළහ, කුඩා දරුවන්, කාන්තාවන්, තරුණතරුණියන් කපාකොටා ඝාතනය කරමින් කෘෘර අමානුශික මෙහෙයුමක් දියත් කළෝය. සිංහල සටන් කරුවන් රණ බිමේ දිවි පිදූ අතර ඔවුන්ගේ ඉතිරි වූ අඹුදරුවන් බොහෝ දෙනා ආරක්ෂිත ස්ථාන සොයා වනගත වූහ. පසුව ගෙන්වන ලද බි‍්‍රතාන්‍ය හමුදා සේනාංකවල දැඩි ප‍්‍රහාර හමුවේ සටන වඩාත් දුර්වල වෙමින් තිබුනි. වැඩිකල් යන්නට මත්තෙන් කැප්පෙටිපොල හා පිළිමතලාවේ 1818 ඔක්තොඹර් 28 දින නුවර කලාවියේ පරවහගම දී ලුතිනන් වෙනිල් ඇතුළු ඉංග‍්‍රීසි බට පිරිසකගේ අත්තඩංගුවට පත්විය. මඩුගල්ලේ හා කිවුලේගෙදර මොහොට්ටාල මේ වන විටත් අත්තඩංගුවට ගෙන තිබූ අතර නොවැම්බර් 2 වන දින ශ‍්‍රී දළදාව ද ඉංගී‍්‍රසින් අතට පත් වීම සටන වඩාත් දුර්වල වීමට හේතු විය.

යුද්ධ අධිකරණය කැප්පෙටිපොල දිසාව හා මඩුගල්ලේ දිසාව රාජ ද්‍රෝහීන් ලෙස තීරණය කොට 1818 නොවැම්බර් 2 වන දින බෝගම්බර පිටියේ දී හිසගස්වා මරා දැමුවේ මුළු මහත් ජාතියේ ම නෙත්වල කදුළු පුරවමිනි. මෙහි දී කැපපෙටිපොල විරුවා සිය කැමැත්තෙන්ම දං ගෙඩිය වෙතගිය අනුවේදනීය පුවත බි‍්‍රතාන්‍යයන්ගේ ද විශේෂ අවධානයට ලක් විය. රදලයින් විශාල පිරිසක් රටින් පිටුවහල් කළ අතර බන්‍ධනාගාර ගත කළ පිරිස ද ඒ හා සමාන ය. රදලයින් සතු දේපල බද්දකට යටත් කරන ලදී. යුද්ධ අධිකරණය විසින් මරණ දඩුවම නියම කල පිරිස 47ක් වන අතර භික්ෂූන් වහන්සේ 10 නමක් ද වැරදිකරුවන් ලෙස යාපනය බන්‍ධනාගාරයට යැවී ය.

මෙසේ ව්‍යාප්ත වූ නිදහස් සටනේ විශාල වගකීමක් දැරූ ප‍්‍රභල නායකයෙකි වීර කැප්පෙටිපොල, එසේම මඩුගල්ලේ දිසාව, කොහුකුඔරේ රටේරාල, බූටෑවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, පිලිමතලාවේ දිසාව ආදී නිදහස් සටනට පන දුන් ප‍්‍රකට නායකයින් බව අවිවාදයකි. ඒ අතර අපගේ අවධානය යොමුවිය යුතු තවත් දේශපේ‍්‍රමී විරුවන් රැසක් ද මෙසේ ව්‍යාප්ත වූ මුළු නිදහස් සටන පුරාවටම විශාල වගකීමක් දරමින් ක‍්‍රියා කළහ. 1818 යන මාතෘකාව අප සිහියට නැගෙත්ම ඉහත සදහන්කළ ප‍්‍රභල නායකයින් සිහියට නැගීම සාමාන්‍ය කරුණකි. නමුත් නිදහස් සටනේ පෙරමුණේ සිටි ඉතිහාසයේ නමක් තබා දිවි පිදූ තවත් බොහෝ අප‍්‍රකට විරුවන් ද මේ අතර වේ. එනම් නිදහස් සටන පිළිබඳ කතිකාවත් සිදුකරන සෑම විටම එම විරුවන්ගේ නම් හා ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් ද ගැඹුරින් විමසා බලන්නේ නම් කෙතරම් අගනේ ද? ඔවුන් අතර, කුඩා බදුල්ලගම්මන රටේරාල, මහ බදුල්ලගම්මන රටේරාල, නකල්ලේ රටේරාල, බඩල්කුඹුරේ විදානේ, මුප්පනේ රටේරාල, වියළුවේ හාපත්ගම මොහොට්ටා, ඌවේ වටකැලේ රටේරාල, ඌවේ මීගහපිටියේ රටේරාල, ඌවේ ගොඩගෙදර අදිකාරම්, බිංතැන්නේ මොහොට්ටාල, මීගහරාවේ මොහොට්ටාල, කිරිඅප්පු, බකිනිගහවෙල අදිකාරම්, රඹුක්පොත දිසාව, තල්දෙණියේ මොහොට්ටා, කතරගම මහබෙත්මේ, බකිණිගහවෙල මුදියන්සේ, ඊතණවත්ත දේවාලයේ කපුරාල, මීගහපිටියේ බෝගහගෙදර රාල, අඹගොල්ලේ රාල, හාමාපොල රංකිරි, ඩිංගිරි අප්පු හා බාලඅප්පු, පිටදෙණියේ තිසාහාමි යන විරුවන් විශිෂ්ට ය. මේ පිළිබඳ වැඩිදුර කරුණු සොයන්නකුට තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල 2 හා 3 ඛාණ්ඩ අධ්‍යයනය වැදගත්ය. මේ අතර සටන් බිමේ මියගිය ස්ථානයක්, මරා දැමූ ස්ථානයක්, සිරගතකළ ස්ථානයක් හෝ සිදු වූ දෙයක් නොදත් ඌවේ වීර පුතුන් දහස් ගණනක් ඒ අය අතර රොද බැදී සිටි බවද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඔවුහු ඉතිහාසයේ නම සඳහන් නොවුව ද සිය උපන් බිම වෙනුවෙන් දේශයේ ස්වාදීනත්වය වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවුවෝ ය.

නිදහස් සටනේ නායකයින් හා සටන්කරුවන් මරා දැමීම (මෙම ඡායාරූපය http://dailynews.lk/ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

එදා කැප්පෙටිපොල නිලමෙතුමා ඉංග‍්‍රීසින් හැරදා සටනේ නායකත්වයට පැමිණියේ ඉහත ඌවේ ජන නායකයන් අධිරාජ්‍ය විරෝධී සටනට ජීවය පොවා තිබූ හෙයිනි. කොහුකුඔරේ රටේරාල යනු කැප්පෙටිපොල වීරයා නිදහස් සටනට එක්වීමට පෙර සිට සටන්කාමීත්වය ඌවේ කඳුකරයේ මෙලවීමට පෙරමුණ ගත්තෙකි. කැප්පෙටිපොල මොණරාගල සිටි නව රජු ලගට කැදවාගෙන ගියේ ද කොහුකුඹරේ රටේරාලය. එවකට ඉංගී‍්‍රසි හමුදා යටතේ සිටි මැලේ හමුදාව සිය පක්ෂයට හරවා ගැනීමට මහත්සේ වෙහෙසුන කොහුකුඹරේ රටේරාල ඉංගී‍්‍රසි අත්තඩංගුවට පත්වූයේ මුස්ලිම් මිනිසකුගේ ඔත්තුවක් මතය. තමාට එරෙහි චෝදනා වලට අභීතව මුහුණදෙමින් මරනීය දණ්ඩනයට සූදානම් වූ කොහුකුඹරේ රටේරාල පසුව මුරුසි දිවයින්වලට පිටත්කර හැරීය.

සටනේ පෙරමුනේ සිටි තවත් දේශමාමක සිංහලයෙකි බූටෑවේ රටේරාල, ඉංගී‍්‍රසින් සතු මැලේ බටපිරිස් සිය පක්ෂයට හරවා ගැනීමට බූටෑවේ රටේරාල ද මහත්සේ වෙහෙසුනි. මෙය සිංහලයන් විහින් වැටුන උගුලකැයි බ‍්‍රවුන්රිග් තැනෙක සදහන් කරයි. පස්සර ටිකිරි මල්ලියාගේ සාක්ෂියේ දී බූටෑවේ ර‍ටේරාලගේ නම කීප තැනක සදහන් විය. මෙම ටිකිරි මල්ලියා යනු නිදහස් සටනට පක්ෂව සිටි අයකු නොවේ. සිංහල රජු යටතට පත් වූ ඔහුගෙන් තමා ඉංගී‍්‍රසින්ට ඔත්තු සපයනවාදැයි ප‍්‍රශ්න කළ බවට ඉංගී‍්‍රසින් ඉදිරියේ පාපොච්ඡාරණය කර ඇත. ඉංග‍්‍රීසින්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට නොහැකි වූයේ ඌවේම විසූ මෙම ටිකිරිමල්ලියා වැනි මිනිසුන් හා මොල්ලිගොඩ, එක්නැලිගොඩ, වැන්නන් නිසා බව අමතක කළ යුතු නැත.

නඩු විභාගයේදී නිදහස් සටන පිළිබඳ තොරතුරු ලබාගැනීමේ දී ටිකිරි මල්ලියා ඉංග‍්‍රීසින්ට මහත් සේ ප‍්‍රයෝජනවත් විය. සටනේ ප‍්‍රධානියකු වූ බූටෑවේ රටේරාල නම ඇසූ පමණින් සිංහලයන් යුධ පෙරමුණට ආ බව පැවසේ. සටන අසාර්ථක වන විට මරගල කන්දේ සැගව සිටිය දී ඉංග‍්‍රීසි අත්තඩංගුවට පත් විය. 1818 ඔක්තෝඹර් 20 දින බිබිල කොටබෝවේ දී මෙම වීර පුත‍්‍රයාගේ දිවි තොරකරන ලදී. මෙයට ප‍්‍රධාන චෝදනාව වූයේ ඌවේ දී මරා දැමූ හජ්ජි අල්ලා ගැනීමට බූටෑවේ රටේරාල මූලිකත්වය ගැනීමයි. එතුමා මෙම චෝදනා ප‍්‍රතික්‍ෂේප කිරීමට හෝ සමාව අයැදීමට උත්සාහ කළ බවක් ඉංග‍්‍රීසි ලේඛනවල දක්නට නොලැබේ. මෙලෙස එඩිතරව මරනයට මුහුණදීම ඉංගී‍්‍රසින් මවිතයට පත්කිරීමට හේතුවිය.

නකල්ලේ රටේරාල යනු 1818 නිදහස් සටනේ අප‍්‍රකට විරුවෙකි. ඔහු මොණරාගල ප‍්‍රදේශයේ සටන් සංවිධානයේ දී මහත් පරිශ‍්‍රමයක් දැරූවෙකි. පස්සර ටිකිරිමල්ලියාගේ සාක්ෂියට අනුව මෙම නම එලිදරව් වී තිබේ. සිංහලේ නවරජු නකල්ලේ රාලට මුද්දක් තෑගි දුන්බව සඳහන්ය.

වෙල්ලස්සේ කුඩා බදුල්ලගම්මන උපන් කුඩා බදුල්ලගම්මන රටේරාල 1818 බි‍්‍රතන්‍යෙ විරෝධී සටනේ තවත් අප‍්‍රකට වීර චරිතයකි. අරගලය සම්බන්ධ නඩු විභාගයේ දී ප‍්‍රධාන ශාක්ෂි කරුවකු ද, වැරදි කරුවකු ද ලෙස ඉංග‍්‍රීසින්ට වැදගත් විය. කුඩා බදුල්ලගම්මන රටේරාලගේ සාක්ෂිය අනුව ඉංගී‍්‍රසින් ඌවට එවූ හජ්ජි අල්ලාගෙන ඒමට සිංහල රජු තමාට අණදුන් බවත් තමා මහළු හෙයින් එය ඉටු කළ නොහැකිබවත් රජුට දන්වා තිබේ. ඉන් කෝපයට පත් රජු රටේරාලට විද මරාදැමීමට තීරණය කළ බවත්, සාධාරණ හේතුමත පසුව සමාව ලැබුණ බවත් පවසා තිබේ. බදුල්ලගම්මන ප‍්‍රදේශයේ සටන සංවිධානයේ දී පෙරමුණගත් කුඩා බදුල්ලගම්මන රටේරාල සටනේ යෙදීසිටි පිරිසට ආහාරපාන සපයාදී තිබේ. මේ වගකීම් තමාට කිවුලේගෙදර මොහොට්ටාල පැවරූ බවත් පැවසීය. සියලු චෝදනා ඉදිරියේ වැරදිකරුවකු වූ කුඩා බදුල්ලගම්මන රටේරාලට ද මරණ දණ්ඩනය නියම කරන ලදී. ඒ අනුව කොටබෝවේ දී මේජර් මැක්ඩොනල් නම් ඉංග‍්‍රීසි සෙබලකු විසින් එල්ලා වෙඩිතබා මරාදමා ඇත. එඩිතරව මරණය කරා ගිය රටේරාලගේ නිර්භීත බව ඉංගී‍්‍රසින්ගේ මවිතයට හේතුවිය. මෙම ගුණය බොහෝ සිංහල විරුවන් සත වුව ද කිසිදු ඉංග‍්‍රීසි ජාතිකයකු සතුව නොතිබීම ඔවුන් මවිතයට පත් කිරීමට හේතු වී ඇති බව පැහැදිලි ය. කුඩා බදුල්ලගම්මන රටේරාලගේ ගේදොර ඉඩකඩම් ගිනි තැබූ අතර එහි වූ ලුණු අටුව මාස ගණනක් දැවෙමින් තිබූ බවත්, බිරිඳ ඇතුළු අනෙක් පිරිස ආරක්ෂාව පතා මාදේගල්ල නම් ප‍්‍රදේශයට පලාගිය බවත් ජනප‍්‍රවාදයේ එයි.

කිවුලේගෙදර මොහොට්ටාල නිදහස් අරගලයේ ප‍්‍රධාන පෙලේ නායකයෙකි. නාමමාත‍්‍රික සිංහල රජු වෙස්ගැන්වීමට සුදු රෙද්දක්, පාටරෙද්දක්, රන් නූලෙන් කළ රතු හිස්වැසුමක්, උත්තර සාටකයක් පිළිගන්වන ලද්දේ මෙතුමා ය. සිංහල රජු වශයෙන් පත් කිරීමට රජ පෙලපතක අවශ්‍යතාවක් නොතිබුනේනම් නව රජු ලෙස පත් කිරීමට සුදුසුම පුද්ගලයා වූයේ මෙතුමා ය. කිවුලේගෙදර මොහොට්ටාල නව රජුට වඩා ලක්වැසියා අතර ජනප‍්‍රිය විය. ඉංග‍්‍රීසින් එතුමාගේ හිස ලබාදෙන්නෙකුට රන් පගෝදි 500ක් දෙන බව අණබෙර ඇරිය ද එය ඉටු වී නැත. බිබිලේ පගරගම්මන මුස්ලිම් යුවතියකට පෙම්බැදි කිවුලේගෙදර මොහොට්ටාල ඒ බව මුස්ලිම් වැඩිහිටියන්ට දැන්වුව ද ඔවුන් කැමති වී නැත. නමුත් ඔහු බලවත් ශක්තිසම්පන්න අයකු නිසා තිස්අමුනේ වේල් වී ඉර හැරීමට මත්තෙන් කපා නිමකර ඇති අතර මුස්ලිම් යුවතිය ද විවාහ කර දී ඇත. එබඳු ශ්‍රේෂ්ඨ පරම්පරාවක සිටි කිව්ලේගෙදර, මුස්ලිම් මිනිසුන් දෙදෙනකුගේ මාර්ගයෙන් ඉංග‍්‍රීසින් අතට පත් විය. එවිට මෙතුමා යාචකයකුගේ ස්වරූපයෙන් සිට ඇත. 1818 දෙසැම්බර් 18 වන දින උදෑසන මුළු ඌව වෙල්ලස්සම කම්පාකරමින් කිව්ලේගෙදරගේ දිවි තොරකර ඇත. සිය රට ජාතියේ විමුක්තිය වෙනුවෙන් දිවිහළ හෙයින් මරනින් මතු දෙවියකුව ඉපිද ඇතැයි විශ්වාස කරති. බිංතැන්නේ ජනයා අදටත් පුංචි අළුත්බණ්ඩාර දෙවියෝ ලෙස එතුමාට ගරු බුහුමන් දක්වති. කතරගම දේවාලයේ ද මෙතුමා වෙනුවෙන් කැපකල දේවාලයක් ඇත. උඩරට සිංහලයන් අදටත් වනගත ගමන්වල දී මෙම ශ්‍රේෂ්ඨ රණශූරයාගේ පිහිට පතා කොලඅතු කඩා එල්ලති.

විල්සන් සුද්දාට විඳ මැරූ වීරහා හා උළගොල්ල විහාරය අසළ විල්සන් සිහිකිරීම සඳහා නිමවා ඇති ස්මාරකය (මෙම ඡායාරූප http://trips.lakdasun.org වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

නිදහස් සටන සමයේ විල්සන් මැරූ පුද්ගලයා සොයාගැනීමට ඉංග‍්‍රීසින් නොගත් උත්සාහයක් නැත. එක්කෝ කොහුකුඹරේ රටේරාල නැතහොත් බූටෑවේ රටේරාල හෝ මීගහපිටියේ අයකු යැයි සැකකළ ඔවුන් නිතර බිබිල ප‍්‍රදේශයේ සෝදිසි කළහ. හෑපොලත් ආඳාඋල්පොතත් අතර කන්දේගම රක්ෂිතය ඔවුන්ගේ අවදානයට ලක්විය. මේ කාලයේම ඉංග‍්‍රීසින් කැරලිකරුවන් සොයා අඹගොල්ල ගම්මානය වැටළූහ. මෙය කොටසර පියංගලු විහාරයට සැතපුම් 2ක් උතුරු දෙසින් වූ ගම්මානයකි. ඉංග‍්‍රීසි හමුදාව ගමට එනතුරුම පැනගැනීමට නොහැකිවූ අඹගොල්ලේ රාල නම් නිර්භීත ගැමියකු වී අටුවක සැගවී සිටියේය. මෙය ගිනිතැබූ ඉංගී‍්‍රසින් ඉන් එලියට බට මෙම තරුණයා අල්ලා කැරලිකරුවන් කොහිදැයි ප‍්‍රශ්න කළහ. එහිදී ඔහුගෙන් ලැබුනේ අපූරු පිළිතුරකි. “ඔවුන් ගියතැනත් ඉන්නාතැනත් මම දන්නවා ඒත් මගෙන් ඒක අහගන්නනම් ලැබෙන්නේ නෑ, මගේ නෑයන් පාවාදීලා නිවට ද්‍රෝහියෙක් වෙන්න බෑ” යනුවෙනි. ඉන් කෝපයට පත් ඉංගී‍්‍රසිහු ඔහු අසල බුළුගසක දෙපයින් එල්ලා සිරුර දවන්නට විය. එසේවත් ඔවුන්ට කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි තැන අවසානයේ මෙම නිර්භීත සිංහලයාගේ ගෙල සිරකර මරාදැමීය.

හාමාපොල දුරයා යනු සටනේ තවත් නිර්භිත නායකයෙකි. ඔහුගේ මව රන්කිරිය. හාමාපොල යනු බිබිලේ සිට නිල්ගලට යන මාවතේ ඇති ගමකි. කැරැල්ලේ නායකයන් සොයා ගමින්ගම ගිනිතබමින් පැමිණි ඉංග‍්‍රීසින් හාමාපොලට ආහ. හාමාපොල දුරයාගේ මව වන රන්කිරිට පැනගැනීමට නොහැකිවිය. පසුව පදුරක සැගව සිටිය දී ඉංග‍්‍රීසින් අතට පත්විය. අත් බැද කසපහර දෙමින් කැරලිකරුවන් ගැන ඇගෙන් ප‍්‍රශ්න කෙරිනි. ඊට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ ඔවුන් ඉන්නා තැන තමන් දන්නා බවත් එහෙත් කිසිසේත් නොකියන බවත්ය. කෝපයෙන් වියරු වැටුන ඉංග‍්‍රීසින් ඇගේ එක් කණක් කපා දැමීය. ඇගේ මුවින් පරුෂ වචන පිටවූවා විනා කිසිදු නමක් හෙලිකරගත නොහැකි විය. අනෙක් කණ ද නාසය ද කැපූ තැන සිහිසුන් වූ ඇයට නැවත සිහි එන විට ද ඉංග‍්‍රීසින්ට බැනවැදුනා විනා තම ඤාතීන් සැගව සිටි තැනක් නොපැවසීය. අවසානයේ ම්ලේචච්ජ ඉංග‍්‍රීසින් ඇගේ ගෙල සිද මරණයට පත් කළහ.

මීගහපිටියේ බෝගහගෙදර රාල ද එවැනි අප‍්‍රකට වීර චරිතයකි. බෝගහගෙදර යනු බිබිලේ මල්ලැහැවට අයත් ගමකි. ඉංග‍්‍රීසි ලේඛන වලට අනුව “මීගහපිටියේ පල්ලෙ මල්ලැහැවේ ගන් ඇති රාල” විල්සන් මැරීමට සැක කළ බවත් ඔහු අල්ලා මුරුසි දිවයින් වලට පිටුවහල් කළ බවත් සඳහන්ය. එහෙත් ජනයා අතර වූ මතය වූයේ උණගොල්ලේ දී විල්සන් මැරීමට මීගහපිටියේ බෝගහගෙදර රාල මුල් වූ බවයි. විල්සන් මරා හිස කඳින් වෙන්කර හෙල්ලයක අමුණා ඊතණවත්ත දේවාලයට රැගෙන ගොස් ඇත්තේ ද ඔහුය. නමුත් මෙය ඉංග‍්‍රීසින්ට දැනගැනීමට නොහැකි විය. ඔවුන්ගේ ලේඛන අනුව ඒ බව පැහැදිලි වේ. නමුත් අඹගොල්ලේ දෙඹිකිවුලේ හීන්අප්පු ගමරාල විල්සන් මැරුවේ මීගහපිටියේ බෝගහගෙදර රාල බව ස්ථීරවම පවසා ඇත. ඔහු එය පවසා ඇත්තේ වර්ශ 1967 දීය. ඔහුට එම ආරංචිය එදා ලැබෙන විට වයස අවුරුදු 10 ක්ව තිබි ඇත. ඌවේ සටන කෲර ලෙස මැඩළූ ඉංග‍්‍රීසින් හෑපොල පේදුරුකන්දේ සැග වී සිටි මීගහපිටියේ බෝගහගෙදර රාල අල්ලා දෝලාවක තබා රැගෙන එනවිට ශරීරකෘත්‍ය කිරීමට යැයි කියා නැවත වන වැදී ඇත. පසුව කෙසේවත් සොයාගැනීමට නොහැකිවූ මෙතුමා වනයේම මියැදී දෙවියකුව උපන් බව ගම්මුන්ගේ විශ්වාසයයි. ඊතණවත්ත දේවාලයේ කපුරාල ද බද්දේගම කොඩිතුවක්කු මොහොට්ටාල යන දෙදෙනා ද සටනට සම්බන්ධ වැදගත් ප‍්‍රභූන් දෙදෙනෙකි. විල්බාවේ තෙරුන්ගේ සිවුර හරවා ගිහි රෙදි අන්දවා ඇත්තේ ද මෙම දේවාලය අසල දී ය. මේ දෙදෙනාත් සටනට යම් ආකාරයකින් සම්බන්ධ යැයි සැක සිතූ ඉංග‍්‍රීසින් ඔවුන් අත්තඩංගුවට ගත්හ. රොබට් බ‍්‍රවුන්රිග් ද ඔවුන් නිදහස් කළ යුතු නැතැයි එංගලන්තයට යැවූ ලිපිවල විශේෂයෙන් සඳහන්කර තිබේ.

උනගොල්ල විහාරය (මෙම ඡායාරූපය http://trips.lakdasun.org වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණික ව සලකන්න.)

පිටදෙණියේ තිසාහාමි ද සටනට සම්භන්‍ධව සිටි තවත් නායකයෙකි. අළුපොතත් අළුදෙණියත් අතර පිටදෙණිය පිහිටා ඇත. ඔහු අල්ලා ගැනීමට සෑමතැනම ඔත්තුකරුවන් තැබීය. ඔවුන්ට තිසාහාමි දක්නට ලැබුනේ යෝධයකු බදු සිරුරින් හෙබි අයකු ලෙසිනි. මොහු පනපිටින් අල්ලාගැනීමට ඇති අපහසුව ගැන කල්පනා කළ ඉංගී‍්‍රසින් උපක‍්‍රමශීලීව ඔහුගේ ආහාරවලට මත් ද්‍රව්‍යක් මිශ‍්‍රකර ග‍්‍රහනයට හසුකර ගත්හ. බිබිලේ ඊතණවත්තේදී විල්සන්ට ඊයකින් විද මරාදැමුවේ තිසාහාමි බවට ද මතයක් ඇත. උණගොල්ල විහාරය අසල ගල්කුලේ සිට එම හීය විද්ද බව කියනු ලැබේ. මෑතක එම ස්ථානයේ මොහුගේ ස්මාරකයක් ද පිහිටුවා ඇත. ඉංගී‍්‍රසින්ගේ සටන් මර්ධන පියවර ඉදිරියේ වෙල්ලස්සට දුර්භික්‍ෂ සමයක් උදාවිය. ගස්කොල කපා දැමූ, වැවුඅමුණු කඩා බිද දැමූ බවබෝග අළු දූලිකර දැමූ වෙල්ලස්ස කන්තාරයක් බවට පත්වීමේ පෙරනිමිති පහල විය. මේ තත්වය හමුවේ සටනේ දී දිවි පිදූ සිය සොහොයුරා, සහෝදරිය, මව, පියා, අහිමි ව අන්ත අසරණ වූ ඇතැම් පිරිස් දිවිගලවා ගැනීමට ආරක්ෂිත ස්ථානකරා ගියහ. මඩොල්සිම කන්දට අයත් කන්දේගම ප‍්‍රදේශය එසේ ගිය පිරිස් නිසා ඇතිවූවකි. 1818 නිදහස් සටනින් පසු ඊට සම්භන්ධ සියලු පිරිස් ඉංග‍්‍රීසින්ගේ අමානුෂික පහරකෑම් වලට ලක්විය. සටන අඩපන වූ පසුවත් පලිගැනීම්වල කෙලවරක් නොවීය. ලොව විශිෂ්ටතම ජාතිය යැයි කියාගනිමින් හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩනැගීමට ලොවපුරා නින්දිත උත්සාහයක යෙදුණු ඉංගී‍්‍රසින්ගේ පලිගැනීම් ම්ලේච්ඡා සහගතය. එය කොතෙක් ද යත් සටන මර්ධනය වූදා සිට සංවර්ධන කටයුතු සඳහා ලංකාවේ අනෙක් ප‍්‍රදේශවලට කළ වියදමෙන් දහයෙන් එකක්වත් වෙල්ලස්ස ප‍්‍රදේශයට ලබා නොදීමට කටයුතු කළ බව අදටත් සත්‍යයකි. ඔවුන් ලංකාවේ නිර්මානය කර ගිය ඔහුන්ගේ කළු සුද්දන්ට ඒ මනෝභාවය කවා ගියෝය.

එසේම ලිපියේ සඳහන් කළ යුතුම යැයි සිතෙන තවත් වැදගත් කරුණකි, නැවත වසර 200කට මෙපිට හිස එසවීමට නොහැකි ලෙස අළු දූලි කර ගිය වෙල්ලස්සට දැන් වසර 190ක් පමණය (වෙල්ලස්ස වැනසූ දා සිට අද දක්වා) එනම් ඉහත සඳහන් වසර 200 ගෙවීමට ආසන්නය.

අද නූතන යටත්විජිතකරණ වාදයේ අමානුෂික හස්තය පෙරදිග රටවලට බහුජාතික සමාගම් යන නමින් අත පොවන බව අප කවුරුත් දන්නා කරුණකි. මීට පෙර දිනයක අපට අසන්නට ලැබුණු බිබිල උක් වගා ව්‍යාපෘතියද එවැන්නක් බව කරුණු කාරනා දන්නා අයට වැටහිය යුතුය. වෙල්ලස්සේ නැවතත් සරුසාර වෙමින් පවත්නා ඉඩකඩම් අක්කර 65,000ක් මෙම උක් වගා ව්‍යාපෘතියට යටත් කිරීමට යෝජිතව තිබුනි. ඒ මගින් වෙල්ලස්ස නැවතත් කාන්තාරයක් කළ හැකි යැයි ඔව්හු සිතූහ. මෙයට ප‍්‍රතිපාදන යෙදවීමට ඉදිරිපත්ව සිටියේ බි‍්‍රතාන්‍යයේ බූකර්ටේට් නම් බහුජාතික සමාගමකි. එනම් එදා වෙල්ලස්සට ඉතා කෲර අන්දමින් සැලකූ අපේ මුතුන්මිත්තන් සියදහස් ගණනින් මරා දැමූ ඉංග‍්‍රීසින්ගේ නූතන ජන්ම ලාභීන්ය. මෙම කරුණුකාරණා හරිහැටි අවබෝධකරගත් වෙල්ලස්සේ නිර්භීත මුතුන්මිත්තන්ගේ වර්තමාන පරම්පරා එය මැඩලීමට පෙරමුණ ගත්හ. එනම් ඔවුන්ගේ පලිගැනීමේ කි‍්‍රයාදාමය අදටත් ක‍්‍රියාත්මක වේද නැති ද යන්න තවදුරටත් සිතීම ඔබහටය. එය ඉංගී‍්‍රසින්ගේ සුදු හම යට ඇති කළු පිළිලයක් බව පිලිකුල් සහගතව පැවසිය යුතුය.

අද වෙල්ලස්සේ දසත සුවද විහිදුවන කුරහන් මල් පිපෙන්නේ, රන්වන් ගොයම කිරිවදින්නේ, රසගුණ පිරි එලවළු පලතුරු සරුසාරව ඵලදරන්නේ එදා අපේ මුතුන්මිත්තන් සිය දහස්ගණනින් දිවිපුදා හැළූ රුධිරය හා කදුළු මුසුව සාරවත් වූ බිමක බව මහත් අභිමානයෙන් පැවසිය යුතුය. මුළු මහත් ජාතියේම ස්වාධීනත්වය පතා එදා දිවි පිදූ ඒ අභීත විරුවන් පිළිබඳ දුක ද මුසු වූ ගෞරව බහුමානය වෙල්ලස්සේ වර්තමාන ජනයාගේ හදවත් වල අදටත් රාවප‍්‍රතිරාව දෙන බව නොඅනුමානය. අද අප හුස්ම ගන්නේත්, ගහකොල ලියලන්නේත්, එදා ඒ වීර පුතුන් රණ බිමේදී හෙළූ අවසන් හුස්ම පොද බව අමතක නොකල යුතුය.

මූලාශ‍්‍රය

  • බණ්ඩාර තිලකසිරි, වි. වා. මු. (1991) ඌව වංශකථාව (2 කාණ්ඩය), සීමාසහිත තිලක මුද්‍රණාලය, බණ්ඩාරවෙල.
  • විමලානන්ද තෙන්නකෝන් (1962) උඩරට මහ කැරැල්ල (2 කාණ්ඩය), සීමාසහිත එම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ.

(මෙම ලිපිය මුල් වරට 2012 වසරේ දී පමණ මෙම වෙඞ් අඩවියේ පළ වූවක් බැව් කාරුණික ව සලකන්න.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.