ඩී.තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

ප‍්‍රවේශය

මහාචාර්ය ඩී.තුසිත මැන්දිස්

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

ප‍්‍රාග් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා සම්පත් පරිහරණය

ශී‍්‍ර ලංකාවේ සම්භාව්‍ය සාහිත්‍ය මූලාශ‍්‍රය තොරතුරු අනුව ඌව පලාතේ බදුල්ල දිස්ත‍්‍රික්කය හා මොනරාගල දිස්ත‍්‍රික්කයේ කොටසක් ඇතුළු වන්නා වූ මධ්‍ය කඳුකරය පුරාණයේ හඳුන්වා ඇත්තේ මලය, මලය රට්ඨය, මහා මලය රට්ඨය හා මලය මණ්ඩලය යන නම්වලිනි (මව. vii:68; චූව. 70:3-5). සාහිත්‍යය මූලාශ‍්‍රයවල සඳහන් වන ඉහත නාමකරණයන් තුළින් කන්ද, උස්භූමිය යන අරුත දෙන මධ්‍ය කඳුකරය සහස්සවස්තුවේ ගිරිමණ්ඩලය යනුවෙන් හඳුන්වා ඇත. ගිරිමණ්ඩලය යන වචන විමර්ශනය කිරිමෙන් කඳු පද්ධතිය නැතහොත් කඳුකරය ඉන් ගම්‍ය වන අතර මලය යන්න වචනය මලෙයි යන වචනයෙන් බිදී ආ බව තහවුරු කරගත හැකි වේ (සහස්ස 83-94). මූලාශ‍්‍රය බොහෝමයක ම විශේෂ භෞමික පාරසරික කලාපයක් ලෙස හඳුන්වා ඇති මධ්‍ය කඳුකරය එහි පවතින දුෂ්කරතාවන් මතම එම ප‍්‍රදේශයේ ජීවත් වූ ආදිතම ජනයා හඳුන්වා ඇත්තේ පුලින්ද, ව්‍යාධ, මිලක්ඛ, මනුස්ස, උපචරක ආදී වශයෙන් බව සහස්වස්තුවේ වැඩිදුරටත් දක්වා ඇත (එම). මධ්‍යම කඳුකරය ගැන විස්තර කරන චූලවංසය මෙසේ දක්වා ඇත “එය විශාල කඳුවලින් බහුලය, තරණය කිරීමට අපහසුය, රුදුරු සතුන් ජීවත්වන ප‍්‍රදේශයකි. එහි වසන මිනිසුන් පවා බොහෝ දුරට හුදෙකලා ජීවිත ගත කරති. ගමන් කළ හැක්කේ් අඩි පාරවල පමණි, මිණීකන කිඔුලන් හා ජලජ ස්ථාන එහි පිහිටා ඇත” (චූව. 70:3-5). සාහිත්‍යය මූලාශ‍්‍රය තොරතුරුවලට අනුව මධ්‍ය කඳුකරයේ පැවති දුෂ්කරතාවන් හා එහි විසූ ජනතාව වෙනම ජන කොටසක් ලෙස ජීවත් වූ බව ආදිතම ලේඛනගත ඉතිහාසය ඇතුළත් මූලාශ‍්‍රයවලින් පෙන්වා දීමට උත්සාහ ගෙන ඇති බව මේ පිළිබඳ ව විමර්ශනය කිරිමෙන් ද පැහැදිළි වේ.

ඓතිහාසික සම්භාව්‍ය සාහිත්‍ය ලේඛන තුළින් දක්වා තිබෙන මෙම විස්තරවලට අනුව ආන්තිකකරණයට ලක්ව තිබූ මධ්‍යම කඳුකරයට අයත් ඌව පලාතේ සැඟව තිබූ ඉතිහාසය සොයා අධ්‍යයනයන් සිදු වූයේ යටත්විජිත පාලන සමයේ දී හා මෑත භාගයේ දී ය. හුදෙකලා විවේකී ප‍්‍රදේශ ලෙස මූලාශ‍්‍රයවල හඳුන්වා තිබූ ඌව පලාත අන්තර් මධ්‍යම කලාපයට හා ඉතා සුළු කොටසක් තෙත් කලාපයට (ශ‍්‍රී.ල.ජා.සි.ස. 2015:109). අයත්වන අතර එම පලාතේ පුරා මානව ජනාවාසකරණය ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධියේ (Mesolithic Period) සිට ආරම්භව ඉන් පසුව පූර්ව ඓතිහාසික (Proto Historic) හා මුල් ඓතිහාසික (Early Historic) අවධි ඔස්සේ විකාශනය වී ඇති බව මේ වනවිට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ. ආදීතම ජන පැළපදියම් වීම් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ඌව පලාත අශ‍්‍රිතව මේ වන විට පුරාවිද්‍යා පර්යේෂණ වඩා පුළුල් ආකාරයට සිදු වී නොමැති නිසා ආදිතම ජන පදිංචි වීම් පිළිබඳව අධ්‍යයනය කළ හැක්කේ මෙතෙක් පර්යේෂණ සිදු කර ඇති ස්ථාන ආශ‍්‍රයෙන් අනාවරණය කරගත් තොරතුරු පදනම් කර ගනිමිනි. ඌව පලාත ආශ‍්‍රිත ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ජනතාවගේ පදිංචිවීමේ මෝස්තරය දෙස බැලීමේ දී මධ්‍ය ශිලා මිනිසුන් බණ්ඩාරවෙළ හා රාවණා ඇල්ල ප‍්‍රදේශ ආශ‍්‍රිතව විසු බවට තොරතරු යටත්විජිත යුගයේ සිදු කර ඇති පර්යේෂණ තුළින් අනාවරණය කරගෙන තිබේ (Sarasin 1926:78).

යටත්විජිත පාලන යුගයේ දී වේලන්ඩ් (Waland) විසින් සිදු කරන ලද අධ්‍යයනවල දී බණ්ඩාර වෙළ ප‍්‍රදේශයෙන් ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් හමු වූ බව වාර්තා කර තිබේ (ibid). නූන් (Noone) විස්තර කර ඇති ආකාරයට බණ්ඩාරවෙළින් සොයාගත් ශිලා මෙවලම් මධ්‍ය ශිලා යුගයට අයත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් බව ප‍්‍රකාශ කර ඇති අතර ඒවා පිග්මි මෙවලම් වශයෙන් හඳුන්වා තිබේ (Noone 1945:264). බණ්ඩාරවෙළට නුදුරු රාවණාඇල්ල ගල් ලෙන තුළින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව සාධක මෙන්ම නිල්ගල හා හෙන්නානෙබැද්ද ගල් ගුහාවලින් හා හෝර්ටන්තැන්නෙන් හමු වූ ශිලා මෙවලම් එම මානවයා ඌව පලාතේ සාර්ව භූමිය තුළ සක‍්‍රීය ලෙස ජීවත් වීම පිළිබඳ වාර්තාවන තවත් වැදගත් සාධක වේ (Deraniyagala P.E.P 1958: PL.XXVI, XXVII; Deraniyagala S.U 2004:17). තිරුවානා (Quartz) හා කහද (Chert) යන ඛනිජ පාෂාණ භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම ශිලා මෙවලම් මධ්‍ය ගල් යුගයේ දී එම ප‍්‍රදේශයේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයින් භාවිත කර ඇති බව සිරාන් දැරණියගල පෙන්වා දී තිබේ (Deraniyagala 2004:267). සකස් කිරීම්වලට ලක්කර ඇති තල (Blade) සීරුම් මෙවලම් (Scraper) මෙන් ම තැළුම් උපකරණ (Chopping tool) රාශියක් මෙම ස්ථානවල සිදු කර ඇති කැනීම් හා ගවේෂණ තුළින් වාර්තාවන වන අතර මෙමඟීන් පැහැදිලි වන්නේ ඌව පලාතේ ඛනිජ සම්පත් පරිහරණ ක‍්‍රියාවලිය එහි විසූ මානවයින් ආරම්භ කර ඇත්තේ මධ්‍ය ශිලා යුගයේදී බවය.

ඌව පලාත ආශ‍්‍රයෙන් ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා මානවයින්ට සිය වාසස්ථාන පිහිටුවා ගැනීමේ දී ප‍්‍රදේශයේ ඇති ඛනිජ සම්පත්වල පිහිටීම ද බලපාන්නට ඇත. ඌව පලාත ආශ‍්‍රිතව උස් භූමි සංකීර්ණය (High Land Series) නියොජනය කරන පාෂාණ සංස්ථාව තුළ තිරුවානා (Quartz), මාබල් (Marble), රබස් (Garnet), මිනිරන් (Mica) යන ඛනිජ පාෂාණවල බහුල බවක් දැක ගත හැකිය (Cooray 1984:81-88). තිරුවානා හා කහද පාෂාණ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී අතිශයින් වැදගත් ඛනිජයක් වූයේ ශිලා මෙවලම් නිර්මාණය සඳහා ඒවා භාවිත කරන ලද බැවිනි. එම නිසා බණ්ඩාරවෙළ, බදුල්ල, මස්කෙලිය, රාවණා ඇල්ල හා වැලිමඩ අවට කලාපය තුළ මෙම ඛනිජ පාෂාණ පැවති නිසා ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා මානවයා මෙම ප‍්‍රදේශය තුළ ජීවත් වන්නට සුදුසු භූමි ලෙස තෝරා ගෙන ඇති බව ඇති බව පෙන්වා දිය හැකි ය. එසේම මධ්‍ය ශිලා යුගයේ දී ඛනිජ පාෂාණ ශිලා මෙවලම් නිර්මාණය කිරීමට භාවිත කරන අතරම අලංකරණ හා අභිචාර කටයුතු සඳහා භාවිත කරන ලද ඛනිජ වශයෙන් ගුරුගල් (Red Ocher) භාවිත කර ඇති බව රාවණාඇල්ල ගුහාවෙන් හමු වූ ගුරුගල් ආලේපිත මානව අස්ථි අවශේෂවලින් පැහැදිලි වේ (Deraniyagala 2004:311). සිරාන් දැරණියගල වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට ගුරුගල්, ග්රැෆයිට් (Graphite), මිනිරන් සිය අභිචාර කටයුතු සඳහා භාවිත කිරීමේ දී හුවමාරු මාධ්‍ය ඔස්සේ එම සම්පත් පිහිටි ප‍්‍රදේශ තුළින් එම මිනිසුන් ප‍්‍රාග් ඓතිහාසික මධ්‍ය ශිලා අවධියේ දී සිය වාසස්ථාන වෙත රැගෙන විත් භාවිත කරන්නට ඇතැයි පෙන්වා දී තිබේ (ibid:327). මෙම පුරාවිද්‍යා සාධක තුළින් පැහැදිලි වන්නේ ඌව පලාතේ ඛනිජ සම්පත් පරිහරණය ලේඛන ගත තොරතුරුවල අන්තර්ගත නැති තාක්‍ෂණික සංස්කෘතික අවධියක් වන මධ්‍ය ශිලා යුගයේ දී ආරම්භව ඇති බව මින් පැහැදිලි වේ.

පූර්ව ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය

පූර්ව ඉතිහාසය මෙරට සම්භවන යුගය ලෙස සැලකේ. ශ‍්‍රී ලංකාවට ලෝහ තාක්‍ෂණය, සත්ව හා ශාක ගෘහකරණය, ප‍්‍රාථමික ජල කළමනාකරණය, ග‍්‍රාමීය ජනපද, මැටි භාණ්ජ හා පබළු නිෂ්පාදනය ඇතුළු සංස්කෘතිකාංග රාශියක් හඳුන්වා දෙන ලද්දේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය තුළිනි (Senaviratne 1984:237-298). ඌව පලාතේ පුරාණ මානව ජනාවාසකරණය හා සම්පත් පරිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මීළගට වැදගත් වන්නේ මෙම පුර්ව ඓතිහාසික සංස්කෘතික අවධියයි. ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් පැරණිතම කාලනීර්ණ මේවන විට ලැබී ඇත්තේ බදුල්ල දිස්ත‍්‍රික්කය තුළිනි. රාජ් සෝමදේව විසින් බෙරගල කළුපහණ වත්ත ආශ‍්‍රිතව සිදු කරන ලද කැනීම්වල දී එම ස්ථානයෙන් වාර්තාවන පූර්ව ඓතිහාසික මැටි ඔරු (Clay Canoi) සුසාන ක‍්‍රිස්තු පූර්ව 2400 තරම් පැරණි බවත් දියතලාවට නුදුරු හල්දුම්මුල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් වාර්තා වූ එවැනිම ආකාරයේ මැටි ඔරු සුසාන ක‍්‍රිස්තු පූර්ව 1750 තරම් පැරණි බව පෙන්වාදී ඇත (සෝමදේව 2016:20). මීට අමතරව ඉතා මෑත දී 2018 වර්ෂයේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණයක දී මොනරාගල දිස්ත‍්‍රික්කයේ සෙල්ලක්කාඔය නිම්නයේ තිබෙන තවත් පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන සංකීර්ණ කිහිපයක් හඳුනාගෙන තිබේ. එම සුසාන මීයාගල, තල්කොට, කෙසෙල්වත්ත, වෙලන්ගස්මඩ, වැලිපොත, කරගහවෙල යන ස්ථානවල ස්ථානගතව ඇති බව වාර්තා කර තිබේ (බංඩාර දර්ශන සහ තවත් අය 2018:84-94). මෙම ගවේෂණයේ දී පෙන්වා දී ඇති ආකාරයට මැටි ඔරු සුසාන හා ශිලා මංජුසා සුසාන මෙන්ම පූර්ව ඓතිහාසික අවධියට අයත් මානව ජනාවාස සාධක ද පවතික බව හඳුනාගෙන තිබේ (එම). මේ ආශ‍්‍රයෙන් පුරාවිද්‍යා කැනීම් මෙතෙක් සිදු කර කාලනීර්ණ සිදු කර නොමැති නිසා එම ස්ථානවල නිෂ්චිත කාලය හඳුනාගත නොහැකි වේ. නමුත් බදුල්ල දිස්ත‍්‍රික්කයට යාබදව මොනරාගල පිහිටන මෙම සුසාන භූමි අතරින් මැටි ඔරු සුසාන බොහෝ විට හල්දුම්මුල්ල කාලනීර්ණවලට සම කාලීන වන්නට හො ඊට මදක් පසු කාලීන කාලයකට අයත් වන්නට පවතින ඉඩකඩ වැඩි වන්නේ එම සංස්කෘතිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ බෙරගල කළු පහණ වත්තේ හා හල්දුම්මුල්ලේ ආරම්භයේ දී මුල් බැස පැවතියේ නම් ජනරේඛනයේ ප‍්‍රසාරණය හා සම්පත්වලට පවතින ඉල්ලුම නිසා ඊට සම කාලීනව හෝ පසු කලක දී පහළ කඳුකර කලාපයට පැමිණෙන්නට පවතින ඉඩ ප‍්‍රස්ථාව වැඩි බැවිනි.

මධ්‍යම කඳුකර ප‍්‍රදේශවල පූර්ව ඓතිහාසික යුගයේ වාසස්ථාන පිහිටුවා ගනු ලබන්නේ එම ප‍්‍රදේශවල ඇති ඛනිජ සම්පත් හා කුළුබඩු අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව සඳහා බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත. කඳුකර කලාපයේ හා වියලි කලාපයේ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනපදිකයින්ගේ අවශ්‍යතා සඳහා ඛනිජ හා කුළුබඩු ලබා ගැනීම සඳහා එම ජන පිරිස් අතර හුවමාරුව සිදු වී ප‍්‍රදේශ දෙකක් අතර හෝ ප‍්‍රදේශ ගණනාවක් අතර සිදු වී ඇති බවට පුරාවිද්‍යා සාධක තිබේ (Senavirathne 1996:285). කඳුකර කලාපය තුළ පිහිටන්නා වූ ඛනිජ සම්පත් වන තිරුවානා, මිනිරන්, මැණික් වර්ග, තඔ මෙන්ම විවිධ කුළු බඩු වර්ග සඳහා මෙම යුගයේ විශේෂ ඉල්ලුමක් පැවති අතර එම ඉල්ලුම කරන කොට ගෙන මෙම ප‍්‍රදේශ වෙත පූර්ව ඓතිහාසික මිනිසුන් බොහෝ විට ආකර්ෂණය වී පදිංචි වීම සිදු වී තිබේ. ආර්ථික සිද්ධාන්ත අනුව ද ඉල්ලුමේ ඇතිවන වෙනස්කම් මත විවිධ භාණ්ඩ සඳහා පවතින කාර්යබද්ධ වටිනාකම සාපේක්‍ෂ ලෙස වෙනස් වේ. පූර්ව ඓතිහාසික අවධියේ දී ද මෙම තත්ත්වය ඛනිජ පාෂාණ ඇසුරින් හඳුනාගත හැකි අතර ශී‍්‍ර ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියේ සම්පත් පරිහරණ සම්බන්ධව සිදු කරන ලද අධ්‍යයන තුළින් ඔවුන්ගේ ජනපද තුළ හා සුසාන තුළින් කඳුකරයේ සම්භවය ලබන, තිරුවානා, රබහ, ඇමතෙස්ත ආදී ඛනිජ පාෂාණ ලැබීම තුළින් එම යුගයේ දී එම ඛනිජ සඳහා විශේෂ ඉල්ලුමක් වියළි කලාපයේ පැවති බව පැහැදිළි වේ. එම ඉල්ලුමට අවශ්‍ය කරන සැපයුම එවකට ලබා දී ඇත්තේ කඳුකර කලාප තුළ ජීවත් වූ පූර්ව ඓතිහාසික ජනාවාසවලිනි.

ඌව පලාතේ දැකිය හැකි විශේෂ ඛනිජ වන මාබල්, බදුල්ල හා වැලිමඩ ප‍්‍රදේශ ආශ‍්‍රිතව ද රබහ හා තිරුවානා බණ්ඩාරවෙළ හා වැලිමඩ ආශ‍්‍රිතව ද මැණික් වර්ග වන කොරන්ඩම්, දියමන්ති, ඩයොප්සයිඞ්, ඒකනයිට්, හිබෙනයිට්, ස්පීන්, කිරිංචි, ටැෆයිට්, තෝරමල්ලි, ජාගූන් ඔක්කම්පිටිය, කතරගම, මොනරාගල, වැල්ලවාය, බදුල්ල, බිබිල ආදී ප‍්‍රදේශවල ද මිනිරන්, මාරිආරාව, උල්විට, උඩුමුල්ල ප‍්‍රදේශවල ද පෙල්ස්ෆාර් (Feldspar), ස්පටික හුණු ගල් (Dolamite) බිබිල හා බදුල්ල අතර ප‍්‍රදේශවල ද මැග්නටයිට් යපස් (Magnetite) කරමැටිය හා බුත්තල ප‍්‍රදේශවල ද පිහිටා තිබේ (Cooray 1984:81-88; ශ‍්‍රී.ල.ජා.සි.ස 2015:35,161). ඛනිජ වර්ග හා කුළු බඩු වර්ග අතර ගම්මිරිස් බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්ක තුළ බහුලව තිබේ. පුරාණ හුවමාරු රටාව ඔස්සේ ඉහළ කඳුකර කලාපයේ තිබූ මෙම ඛනිජ වර්ග හා කුළු බඩු වර්ග පුර්ව ඓතිහාසික යුගයේ ජනපද අතර පුරාණ මාර්ග ඔස්සේ පහළ කඳුකර කලාපයේ පැවති පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස වෙත පැමිණ ඉන් අනතුරුව වියළි කලාපයේ හා අනෙකුත් භෞමික ඛණ්ඩවල ස්ථානගතව තිබූ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස වෙත ඇදී එන්නට ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී තිබේ (Senavirathne 1996:189). මෙම තත්වය වැඩිදුරටත් ඉතා හොඳින් හඳුනාගත හැක්කේ අනුරාධපුර ඇතළුපුරයේ සිදු කර ඇති පුරාවිද්‍යා කැනීම් තුළිනි. එම කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 500ට පසු ජනාවාස ස්ථරවල තිබී මධ්‍ය කඳුකරයේ සම්භවය ලබන ඉහත සඳහන් කරන ඛනිජ පාෂාණ වර්ග අතරින් බොහෝ ප‍්‍රමාණයක ඛනිජ පාෂාණ බහුල ලෙස භාවිත කර ඇති බව පුරාණ සම්පත් පරිහරණයට අදාළව සිදු කර ඇති අධ්‍යයන තුළින් හඳුනාගෙන තිබේ (Deraniyagala 1972). ඒ අනුව ඉහළ කඳුකර කලාපයේ හා ඊට ආසන්න ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව කඳුකර කලාපයේ සිට අනුරාධපුරය දක්වා ම මෙවැනි ඛනිජ වර්ග බෙදා හැර ඇත්තේ අන්තර් හුමරමාරු ස්ථාන වන කඩ හෝ කඩක මෙන්ම කණ්ඩ යන හුවමාරු හෝ වෙළෙඳ ස්ථානවල සිට බව පුරාවිද්‍යා කැනීම් තුළින් හඳුනාගෙන ඇති සාධක තුළින් පැහැදිළි වී ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇත.

පූර්ව ඓතිහාසික සංස්කෘතක පිරිස්ි භාවිත කරන ලද ප‍්‍රධානතම ඛනිජයක් වන්නේ ලෝහ සම්පත්ය. ලෝහ තාක්‍ෂණය පූර්ව ඓතිහාසික සංස්කෘතියේ තාක්‍ෂණික පැතිකඩේ විශේෂතම අංගය වේ. ශී‍්‍ර ලංකාවේ පුර්ව ඓතිහාසික යුගයේ ක‍්‍රිස්තු පූර්ව 900 දී ලෝහ භාවිතයට අදාළ ලිමොනයිට් ඛනිජ භාවිතය සම්බන්ධයෙන් අනුරාධපුර ඇතුළුපුරයෙන් තොරතුරු වාර්තා වි තිබේ (Deraniyagala 1972:152-155). මැග්නටයිට් යපස් භාවිතය සම්බන්ධයෙන් තොරතුරු පූර්ව ඓතිහාසික යුගයට අදාළව විලගෙදර හා පණිරෙන්ඩාවෙන් ද වාර්තා වී තිබේ (Seneviratne 1985:141). එසේම මැග්නටයිටට් ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළව සාධක සීගිරියට නුදුරු අලකොළ වැව (Solangaarchchi 1990:175,207) හා ඇඹිලිපිටියට නුසුරු සමනළවැව ආශ‍්‍රිතව ද වාර්තා වී ඇත (Jullef 1988). පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම තාක්‍ෂණික පරිවර්තනය ප‍්‍රධාන සම්පත් කලාප දෙකක් ඔස්සේ සිදු වී තිබේ. එහි ප‍්‍රධාන සම්පත් කලාප වශයෙන් ඊසාන දිග මධ්‍ය කඳුකරය එක් කලාපයකටත් බලංගොඩ හා පණිරෙන්ඩාව අයත් අන්තර් මධ්‍යම කලාපය අනෙක් කලාපයටත් අයත් වේ (Thathilage.et.al 2015:14). ඌව පලාතට අයත් මැග්නටයිට් යපස් නිධි මොනරාගල දිස්ත‍්‍රික්කයේ බුත්තල හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ කරමැටිය ප‍්‍රදේශයේ පිහිටා තිබේ (Thathilage.et.al. 2015:27, ශ‍්‍රී.ල.ජා.සිි.ස 2015:35). බුත්තල කුකුරම්පොළ ප‍්‍රදේශයේ මතුපිට මට්ටමේ මෙම මැග්නයිට් නිධිය පිහිටා තිබේ (Kalubandara 2006: 1-3). මෙම මැග්නටයිට් යපස් නිධිය පූර්ව ඓතිහාසික අවධියේ සෙල්ලක්කා ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ නිවැසි ජන පිරිස් විසින් භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැක්කේ විලගෙදර, පණිරෙන්ඩාව හා සේරුවිල පිහිටන මැග්නටයිට් නිධි පූර්ව ඓතිහාසික යුගයේ ජනතාව ක‍්‍රිස්තු පූර්ව 600 – 500 කාලවල දී භාවිත කළ බවට සාධක පර්යේෂණවලින් තහවුරු වී තබෙන බැවිනි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ බෙරගල කළුපහණවත්ත හා හල්දුම්මුල්ල පූර්ව ඓතිහාසික ස්ථාන ස්ථානගත වීම සඳහා කරමැටිය මැග්නටයිට් යපස් නිධිය බලපාන්නට ඇති බව පෙන්වා දිය හැකි අතරම එම යුගයේ ජීවත් වූ ජනපිරිස එම නිධිය පරිහරණය කරන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ ඛනිජ සම්පත් පරිහරණයේ විශේෂත්වයක් ඌව පලාත ඇසුරින් සිදු වී ඇති බව මෙම පුරාවිද්‍යා තොරතුරු අනුව පෙන්වා දිය හැකිය.

මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය

ඌව පලාතේ පුරාණ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී මීළගට වැදගත් වන්නේ මුල් ඓතිහාසික (Early historic) සංස්කෘතික අවධියයි. ක‍්‍රිස්තු පූර්ව 300 ක‍්‍රිස්තු වර්ෂ 100 අතර කාලයට අයත් වන මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාත තුළ විශාල ලෙස මානව ජනාවාසකරණයක් සිදු වී ඇති බව පෙනේ. ඒ බව ගල්කොටුව, කෝන්කැටිය, කෝමාරිකාගල, මොනරාගල රජමහා විහාර, වලියායා, මඩුගස්මුල්ල, ගලබැද්ද, වැලඑල්ලූගොඩකන්ද, නාවගල, කොල්ලදණිය, හයින්තියාව, මානානහෙළ, නාමළුව, බුද්දම, මාවරගල, මැටිගහතැන්න, කහටඅතුහෙළ, ඔලගත්ගල, බෝගොඩ රජමහා විහාර, ඇතිලිවාව, බලහුරුකන්ද, සීමාපහුර ආදි ස්ථාන ඇසුරින් ඇති අභිලේඛන තුළින් පැහැදිළි වේ (Ic. Vol. I.:53-58). මෙම සංස්කෘතික පරිවර්තන අවධිය පිළිබඳව අදහස් දක්වා ඇති විද්වතුන් පෙන්වා දී ඇත්තේ මුල් ඓතිහාසික යුගය යනු පූර්ව ඓතිහාසික අවධියෙන් සම්භවය ලැබූ එම සංස්කෘතියේම වඩා දියුණු ප‍්‍රහිච්ජින්න පැතිකඩක් වන බව ය. එනම් පූර්ව ඓතිහාසික අවධිය හා මුල් ඓත්හාසික අවධිය නියෝජනය වන්නේ එකම ජන කණ්ඩායමකින් වන බව ය. ඉහත සඳහන් ස්ථාන ඇසුරින් වාර්තාවන ශිලා ලිපි ඇසුරින් මුල් ඓතිහාසික අවධියේ ජන කණ්ඩායම් සිදු කළ නිෂ්පාදන ක‍්‍රියාවලිය හා සම්පත් භාවිතය, හුවමාරු හා බෙදාහැරීම් ක‍්‍රියාවලිය පිළිබඳව මෙන්ම සමාජ තත්වය පිළිබඳ සාධක පවතින බව පැහැදිළි වේ. තාක්‍ෂණයේ හා අක්‍ෂර භාවිතයේ පැවැති නිපුණතාව නිසා මෙම යුගයේ තොරතුරු ඉතා හොඳින් හඳුනාගත හැකිව තිබේ. ඌව පලාත ඇසුරින් වාර්තාවන සමාජ තත්වය අනුව ප‍්‍රාදේශීය නායකත්වයක් එම ක‍්‍රියාත්මක වූ බවට තොරතුරු තිබේ. වැලඑල්ලූකන්ද හා කොල්ලදෙණිය ප‍්‍රදේශවල පිහිටුවා ඇති මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවල සේනාපති පරුමක පුස්සදේව හා ඔහුගේ පරපුර පිළිබඳව සඳහන් වේ (Ic.vol.i: No.724,725,736). එම ශිලා ලේඛන අනුව දුටුගැමුණු රජුගේ හමුදාවේ සේනාපතියකු වූ පුස්සදේව හා ඔහුට සම්බන්ධ පරපුර ඌව පලාතට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ් විසූ බව වාර්තා වීම තුළින් ඔවුන් එම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් යම් ආකාරයක පරිපාලන බලයක් ක‍්‍රියාත්මක කරන්නට ඇති බව උපකල්පනය කල හැකිය. පරුමකවරු සම්බන්ධ විමර්ශනයක් සිදු කර ඇති ආර්.ඒ.එල්.එච්. ගුණවර්ධන බ‍්‍රාහ්මී අභිලේඛන පරීක්ෂා කොට බලා ශ‍්‍රී ලංකාවේ දැකගත හැකි ගමණි, පරුමක, ගපති වැනි තනතුරු තුළින් සමාජ ශ්‍රේණිගත වීමක් පෙන්නුම් කරන අතර එම තනතුරුවලින් සමාජ දේශපාලන තත්ත්වය හඳුනාගත හැකි බව ද පෙන්වා දී ඇත (Gunawardena 1981:70-88). පරුමකවරුන්ගේ සමාජ දේශපාලන ශ්‍රේණිගත වීම භික්ෂූන්ට පිදූ ලෙන් ලිපිවල සඳහන් නාමයන්ගෙන් තහවුරු වන අතර එයින් 28%ක් පමණ ප‍්‍රදාන පරුමකවරුන්ට අයත් වන බැවින් ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ප‍්‍රබල ස්ථානයක පැවති බව හඳුනාගැනීමට හැකිය. ඒ අනුව පරුමකවරු වංශ ප‍්‍රධානීන් (Head of the clan group) හෝ ප‍්‍රධානීන් (Chief) ලෙස මුල් ඓතිහාසික අවධියේ කටයුතු කරන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත (ibid:27).

මුල් ඓතිහාසික අවධිය වන විට මොනරාගල හා අවට කලාපයේ පරුමක වරුන්ගේ වැඩි ඝණත්වයක් පෙන්වන අතර එමඟින් ප‍්‍රාදේශීය නායකත්වය යටතේ යම් ආකාරයකට පාලනයක් එම ප‍්‍රදේශයේ බිහිව තිබූ බව මෙම ශිලා ලේඛනවලින් පැහැදිළි වේ. එසේම මඩුගස්මුල්ල, බුද්දම හා මාවරගල මුල් බ‍්‍රාහ්මී සෙල්ලිපිවල ගමිකවරුන් පිළබඳව සඳහන් වේ. මුල් ඓතිහාසික යුගයේ දී ගම් ප‍්‍රධානීන් හැඳින්වීම සඳහා ගමණි විරුධය භාවිත කර ඇති බව පෙන්වාදෙන ලක්‍ෂ්මන් එස්. පෙරේරා පැහැදිලි කරනු ලබන්නේ ගමණි වරුන්ගේ තත්වය උසස්වීම සමඟ එම ස්ථානයට ගමිකවරු පත් වන්නට ඇති බව හා ඔවුන් ගම් ප‍්‍රධානීන් ලෙස ඉන් පසු කටයුතු කරන්නට ඇති බවය (Perera 1962:241-248). මෙයට අමතරව බත, ගපති, රජ, ආදී ජන කණ්ඩායම්වල ක‍්‍රියාකාරිත්වය දමෙම ප‍්‍රාදේශීය පාලන ව්‍යුහ සැකසීම තුළ සිදු වී තිබෙන බව ඌව පලාතේ ස්ථානගතව ඇති ශිලා ලිපි තුළින් පැහැදිලි වේ (Ic.Vol.I.:53-58).

මේ ආකාරයට සැකසුණු සමාජ ක‍්‍රමය තුළ මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාතේ ස්වභාවික සම්පත් අත්පත් කරගැනීමේ කාර්යය හා පරිහරණය කිරීමේ වැදගත්කම විමර්ශනය කිරීමේ දී විශේෂයෙන් පහත් කඳුකර කලාප හා තැනිතලා භූමි කෘෂි කාර්මික කටයුතු සඳහා වඩාත් යෝග්‍ය භූමි වූ නිසා පූර්ව ඓතිහාසික අවධියේ දී මෙන්ම මුල් ඓතිහාසික අවධියේ දී ද එම භූමි යෝග්‍ය වී ඇත්තේ කෘෂි කටයුතු සඳහාය. නමුත් එම කාල පරාසය තුළම මොනරාගල හා තදාශ‍්‍රිත ඌව පලාතට අයත් කඳුකර කලාපය වැදගත් වී ඇත්තේ කෘෂි කටයුතු සඳහා පමණක් නොව ඛනිජ සම්පත් සඳහා බව මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවලින් පැහැදිළි වේ. මඩුගස්මුල්ල ශිලා ලේඛනයක සඳහක් වන කබර යන නාමය (ibid: 720) තුළින් යකඩකරුවන් ස්ථානගතව සිටි බව පෙනේ. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට කබර යන්නේන යකඩ කරුවන් ගම්‍ය වේ (Senaviratne 1995). මුල් ඓතිහාසික සමය වන විට විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් සහිත ලෝකුරුවන් මොනරාගල අවට ප‍්‍රදේශයේ මුල් බැස ගනු ලබන්නේ බුත්තල කුකුරම්පොළ ප‍්‍රදේශයේ පිහිටන මැග්නටයිට් යපස් නිධිය පදනම් කරගෙන එහි පවතින සම්පත් පරිහරණය කිරීමේ අවශ්‍යතාව නිසා බව පෙන්වාදිය හැකිය. එසේම මාවරගල ලිපියේ පරුමක තම්බ-තිස්ස යන පුද්ගලයෙකු ගැන සඳහන් වේ (ibid:750). තම්බ යන්න මඟින් තඔ ගම්‍ය වේ. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට සේරුවිල ප‍්‍රදේශයට දකුණු දෙසින් හමුවන මුල් බ‍්‍රාහ්මී සෙල්ලිපියක ද පරුමක නායක තඔර වෙළ යන්න තුළින් එම ප‍්‍රදේශයේ නිධිගතව තිබූ තඹ අත්පත් කරගැනීම හා එම කර්මාන්තයේ නියුතු නායකයකු එමඟින් හැඳින්වෙන බව පෙන්වා දී තිබේ (Senavirathne 1989:115). එසේ නම් මාවරගල ලිපියේ සඳහන් තම්බ තිස්ස යන්න මඟින් ඌව පලාතේ තඹ කර්මාන්තයේ නියුතු පුද්ගලයකු හෝ බුත්තල කුකුරම්පොළ තිබූ මැග්නටයිට් යපස් නිධියේ ලෝහ අත්පත් කරගත් පුද්ගලයක් ඉන් ගම්‍ය විය හැකි අතරම ඔහු පරුමක පෙළපත දැරීම තුළින් එම කර්මාන්තයේ ප‍්‍රමුඛත්වයක් ගත් අයෙකු විය හැකි බව ද පෙන්වා දිය හැකිය. ජනගහනය වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් කෘෂි කර්මාන්තය හා ගෘහ කර්මාන්ත සඳහා යකඩවලට වූ ඉල්ලුම වැඩි වන්නට ඇති අතර ඒ නිසා එම ශිල්ප කර්මාන්තය ආශ‍්‍රිතව මුල් ඓතිහාසික අවධියේ දී විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් සහිත යකඩ කරුවන් හා තඔ කරුවන් එම ප‍්‍රදේශයේ බිහිවන්නට ඇත. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම එම ප‍්‍රදේශයේ නිධිගතව තිබූ මැග්නටයිට් යපස් බලපාන්නට ඇති අතරම අනෙක් අතට ඊට පෙර පැවැති සංස්කෘතිය වූ පුර්ව ඓතිහාසික සංස්කෘතියෙන් ලබාගත් ලෝහ පිළිබඳ දැණුම ඔවුන්ට වැදගත් වූ නිසා ලෝහ සම්පත් පරිහරණය සම්බන්ධව කටයුතු විධිමත්ව සිදු වූ බව මේ අනුව පෙන්වාදිය හැකිය.

මුල් ඓතිහාසික අවධියේ ඌව පලාතේ ස්ථාපිතව ඇති මුල් බ‍්‍රාහ්මී අභිලේඛන අනුව බුද්ධිමය හා ශිල්පීයමය කටයුතු ආශ‍්‍රිතව සම්පත් පරිහරණය හා නිෂ්පාදන ක‍්‍රියාවලිය ද විමර්ශනය කිරීමේදී අචරියවරුන්ගේ කාර්යභාර්ය ද වැදගත් වේ. මාවරගල හා කහටඅතුහෙළ ස්ථාපිත ශිලා ලිපිවල අචරියවරුන් ගැන සඳහන් වේ (Ic.Vol.I.No. 748,749,753). අචරිය, අසිරිය, අචිරිය, අජරිය, අජිරිය යන නමින් හඳුන්වන පිරිස සමාජයේ බුද්ධිමය පාර්ශවය දියුණු කළ ආචාර්යවරු විය හැකි බව පෙන්වා දෙන හඟුරන්කෙත ධීරානන්ද හිමි එමඟින් පුහුණු කළ ගුරුවරයා යන අරුත දක්වන බවත් එමෙන්ම දනු අචරිය වැනි නම් අභිලේඛනවල සඳහන් වන බැවින් ඔවුන් දුනු හා ඊතල නිපදවීම හො දුනු ඊතල භාවිතය පුහුණු කළ ගුරුවරු විය හැකි බව පෙන්වා දී තිබේ (ධීරානන්ද 2004:151-152). මේ ආකාරයට ඌව පලාත ඇසුරින් භාණ්ඩ නිෂ්පාදනය ක‍්‍රියාවලිය ඊට දායකත්වය දැක්වීම සඳහා වූ බුද්ධිමය තත්වයක් එමඟින් හඳුනාගත හැකිය. ඒ සමඟම එම නිෂ්පාදන බෙදාහැරීම සඳහා සංවිධනය වූ වෙළෙඳ කණ්ඩායම පුගියන නමින් ක‍්‍රියාත්මක වී ඇති බව වැලඑල්ලූගොඩ කන්ද අභිලේඛනයක සඳහන් වේ (Ic.Vol.I.No.726). මේ පිළිබඳව විමර්ශනය කරන විද්වත්හු පෙන්වා දී ඇත්තේ භාණ්ඩ නිෂ්පාදනය වීම සමඟම ඒවා බෙදාහැරීම සඳහා සංවිධනය වූ කණ්ඩායම ව්‍යුහයක් ලෙස පුග හා ශ්‍රේණි වශයෙන් මුල් ඓතිහාසික අවධියේ මෙරට ක‍්‍රියාත්මක වී ඇති බවය (ඩයස් 1991:3-5). පුග හා ශ්‍රේණි පිළිබඳව විග‍්‍රහ කරන මහින්ද කරුණානායක පුගය බලපවත්වන ප‍්‍රදේශයේ එම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් ක‍්‍රියාත්මක වූ විවිධ කර්මාන්ත හා වෙළදාම් පිළිිබඳව ඔවුන් සොයා බැලූ බව පෙන්වා දී ඇත (කරුණානායක 1967:63). පුගය අනිවාර්යෙන් ම භාණ්ඩ එකතු කර ප‍්‍රධාන වෙළෙඳපොළ දක්වා ඒවා බෙදාහරින ලද සංවිධානයක් බව පෙන්වා දිය හැකි ය. ශිලා ලිපිවල සඳහන් ග‍්‍රාම හා කඩ ජාලය පිලිබඳ ව විග‍්‍රහ කරන සුදර්ශන් සෙනෙවිරත්න පාරිසරික භූ රූපන කලාප කිහිපයක් අතර වූ සම්පත් පරිවහන ක‍්‍රියාවලිය සඳහා ඒවා ක‍්‍රිියාත්මක වූ අන්දම පෙන්වා දී තිබේ (සෙනෙවිරත්න 1996:20). කඩ යන්නෙන් ද්වාරය, සුළු වෙළෙඳපොළ අර්ථවත් වන බව පෙන්වා දෙන සෙනෙවිරත්න පාරිසරික ක්‍ෂේත‍්‍ර දෙකක් අතර භාණ්ඩ හුවමාරු කිරිමට මුල් ඓතිහාසික යුගයේ දී එම ස්ථාන වැදගත් වූ අන්දම පෙන්වා දී ඇත (සෙනෙවිරත්න 1996:21-22). මෙම කරණු පිළිබඳව විමර්ශනාත්මක ව විමසීමේ දී පැහැදිළි වන්නේ මුල් ඓතිහාසික අවධියේ දී ඌව පලාත තුළ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම මෙන් ම ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අළෙවිය සඳහා වානිජ ජාලයක් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය කරන ව්‍යුහය ඉතා විධිමත් ලෙස සැකසී තිබූ බව පැහැදිළි වන බව ය.

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ මානව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණය පිළිබඳව සිදු කරන ලද විමර්ශනයේ දී පැහැදිලි වූයේ මූලාශ‍්‍රයවල හුදෙකලා විවේකී ප‍්‍රදේශයක් ලෙස විස්තර කර ඇති ඌව පලාතට අයත් මධ්‍යම කඳුකරය හා එහි අන්තර් මධ්‍යම ප‍්‍රදේශය ඉතා ඈත අතීතයේ සිටම මානව ජනාවාසකරණයට ලක් වෙමින් තාක්‍ෂණික සංස්කෘතික පරිවර්තන රටා (Caltural Transitional Period) ඔස්සේ ක‍්‍රියාත්මක වෙමින් වැදගත් භූමියක් වූ බවය. ප‍්‍රාග් ඓතිහාසික අවධියේ දී ප‍්‍රාරම්භක සමාජ ලෙස සිය ජීවනෝපාය සඳහා අවැසි ශිලා මෙවලම් තනා ගැනීමට ඛනිජ සම්පත් භාවිතය ද ඉන් පසුව අග්නිදිග ලංකාවේ වියළි තැනිතලා භූමි කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ ඉඩකඩක් සැකසීමේ දී ඌව පලාත හා තදාශ‍්‍රිත ප‍්‍රදේශය ඉන් පර්යන්ත ප‍්‍රදේශ ඛනිජ සම්පත් පරිහරණ ක‍්‍රියාවලට අවතීර්ණ වෙමින් ආර්ථික කටයුතු හා ශිල්ප නිෂ්පාදන කටයුතු සඳහ විශාල දායකත්වයක් පූර්ව හා මුල් ඓතිහාසික අවධිය වන විට ලබා දී ඇති බව පුරාවිද්‍යා හා බ‍්‍රාහ්මී අභිලේඛනගත තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිව තිබේ. ඒ සමඟ ම සම්පත් හැසිරවීමේ ක‍්‍රියාවලිය ඔස්සේ එම ප‍්‍රදේශ ආශ‍්‍රිතව ඒ හා බද්ධ වූ ප‍්‍රාදේශීය පාලන ක‍්‍රමයක් ක‍්‍රමානුකූලව නිර්මාණය වී ජනාවාස ධූරාවලී පද්ධතියක් සැකසී සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයක් මෙම ප‍්‍රදේශයේ මුල් ඓතිහාසික අවධිය වන විට ස්ථාවරව නිර්මාණය වී තිබූ බව මෙම කරුණු ඔස්සේ හඳුනාගත හැකි බව පෙන්වා දිය හැකි ය. මෙම තත්ත්වය ඉන් පසුව ඓතිහාසික යුගයෙ දී ඇතිවන තාක්‍ෂණික සංස්කෘතික අවධි තුළින් තවදුරටත් සාර්ව ආකාරයට පැවතුන අතර උඩරට රාජධානි සමයේ ක‍්‍රියාත්මක වූ රාජකාරි කුළ ධූරාවලිය සැකසීම සඳහා බලපෑමක් ඇති කරමින් අති පුරාණයේ සිටම ඌව පලාත මෙන්ම මධ්‍යම කඳුකර කලාපයේ සිදු වූ මානව ජනාවාසකරණය සම්පත් පරිහරණ ක‍්‍රියවලිය ශ‍්‍රී ලංකාවට වැදගත් වූ බව මේ අනුව පෙන්වාදිය හැකි ය.

පරිශිලනය කරන ලද ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • කරුණානායක, ආර්.එම්. (1967) පුග ශ්‍රේණිය හා මුදල් 67-76, ගයිගර් සමරු කලාපය, සංස්. ලබුහේන්ගොඩ චන්ද්‍රරතන, ධාරා පාලි සඟරා සම්පාදක මණ්ඩලය, 90/21, කොළඹ, 10, 67-76.
  • චූලවංසය (සිංහල) බු.ව. (2496) සංස්. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි, දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ, තෘතීය මුද්‍රණය, ආණ්ඩුවේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව.
  • මහාවංසය (සිංහල) (1996) සංස්. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිත දොන් අන්ද්‍රිස් ද සිල්වා බටුවන්තුඩාවේ, සීමාසහිත දීපානි ප‍්‍රකාශන පෞද්ගලික සමාගම, නුගේගොඩ.
  • සහස්සවත්ථූපකරණය (1959), පොල්වත්තේ බුද්ධදත්ත හිමි.
  • ඩයස්, එම්. (1991), අභිලේඛනමය සටහන්, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • සෙනෙවිරත්න, සුදර්ශන් (1996), උත්තර මලය රට්ඨයේ ප‍්‍රාථමික යකඩ යුගයේ ඛනිජ සම්පත් පරිහරණයේ ඓතිහාසික පුරාවිද්‍යාව, 184-199, ඓතිහාසික මහනුවර, මහනුවර, ශ‍්‍රී සුමංගල විද්‍යාලයීය බෞද්ධ සංගමය
  • සෝමදේව රාජ් (2016), ඉතිහාසය 10 ශ්‍රේණිය, අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • බංඩාර දර්ශණ සහ තවත් අය (2018), ශ‍්‍රී ලංකාවේ අතීත මානව ජනාවාස ව්‍යාප්තිය තහවුරු කරන පූර්ව ඓතිහාසික යුගයේ සුසාන පරිශ‍්‍ර පිළිබඳ වන පුරාවිද්‍යාත්මක සාක්‍ෂි (මොනරාගල දිස්ත‍්‍රික්කයේ සෙල්ලක්කාඔය නිම්න ප‍්‍රදේශ ඇසුරින්, 84-94, Proceedings of National Archaeological Symposium, Department of Archaeology, Ministry of Highr education and Cultural Affairs
  • ධීරානන්ද හිමි, හඟුරන්කෙත (2004), රාජත්වය, රාජ්‍ය සහ ආගම, ආරිය ප‍්‍රකාශකයෝ, වරකාපොළ.
  • ශ‍්‍රී ලංකා ජාතික සිිතියම් පොත (2015), පාසැල් මුද්‍රණය, ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තු දෙපාර්තුමේන්තුව, කොළඔ.
  • Cooray (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), Archaeological Survey to Investigate South east Asian Prehistoric Presence in Ceylon Occasion paper No.1 (ed).W.G. Solhaeim & S.U. Deraniyagala, Ancient Ceylon August 1972, Archaeological Survey Department, Colombo. Paranavitane,S.
  • Deraniyagala, S.U. (2004), The Prehistory of Sri Lanka ;An Ecological Perspective, Archaeological Survey Department, Colombo.
  • Deraniyagala P.E.P (1958), The Pleistocene of Ceylon. Sri Lanka, Colombo,National Museums
  • Gunawardena, R. A. L. H. (1982), prelude to the State: An Early Phase in the Evaluation of political Institutions in Ancient Sri Lanka 1-39, The Sri Lanka Journal of the Humanities. Vol II. VIII Nos 1&2 , University of peradeniya.
  • Jullef, G. (1988), Early Iron and Steal in Sri Lanka, Verlag Philipp Von Zabeern, Mainz Am Rhein
  • Kalubandara, S.T. (2006), A brief Geological Report on the Uva Magnetite depositat Kukurampola in the Monaragala district, Geological survey Department, Colombo.
  • Noone, H.V.V. (1945), Stone Age relics at Bandarawela, Loris 4(1) : 263- 6
  • Paranavitane, S. (1970), Inscription of Ceylon, Vol. I, Colombo, Department of Archaeology Ceylon , Colombo.
  • Perera, L.S. (1962), The Social Economic Foundation of Early Anuradhapura Kindom, Young Socialist (April, June) Colombo .
  • Sarasin, F. (1926), The Stone Age of Ceylon, Nature. 117 ( 2946):567
  • Seneviratne, S. (1990), The locational significant of early iron age site in intermediarly transitional Eco-Systems: Apreliminary survey study of the upper Kala Oya Region, North-Central Sri Lanka, The Settlement Archaeology of the Sigiri Dambulla Region, Postgraguate Institute of Archaeolog, University of Kelaniya.
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and social Organization in Sri Lanka 265-312 Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press, Delhi.
  • Seneviratne, S. (1985), Iron Tecnology in Sri Lanka, a Preliminary study of resuorse use and production techniques during the early iron age, The Sri Lanka Journal of the Humanities Vol. XI. Universitu of Peradeniya, Sri Lanka
  • Seneviratne, S. (1989), Pre State Chieftain and Servants of the State : A case study of  the parumuka. Sri Lanka Journal of Humanities. Vol XV.No.1 & 2 99-131
  • Solangaarchchi, S.D.M.R.A. (1999), Early  Iron Smelting in the Sigiriya Dambulla Region, Unpublished M.Phill thesis, PGIAR, University of Kelaniya
  • Thathilage, A. and I. Vithanage (2015), Resources Utilization in Sri Lanka Historical Production, PGIAR Publication
පූර්ව හා මුල් ඓතිහාසික අවඹියේ ක්‍ෂේත‍්‍ර හා ඛනිජ සම්පත්වල ස්ථානගත වීම දැක්වෙන සිතියම උපුටාගැනීම : Senaviratne 1990:122
ශ‍්‍රී ලංකාවේ ලෝහ නිධිගත වී ඇති ස්ථාන හා මුල් හා පශ්චාත් කාලීන යුගවල ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට අයත් ප‍්‍රදේශ දක්වෙන සිතියම උපුටාගැනීම : Thanthilage & Vithanage2105:13

[මෙම ලේඛනයේ මුඛ්‍ය ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දක් වන අතර එහි මුල් හිමිකරුට වෙබ් අඩවියේ කෘතඥතාව හිමි වේ. එම ඡායාරූපයෙන් ඌව පළාතේ පිහිටි රාවනා ඇල්ල නිරූපණය වේ.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.16 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous articleරට, දැය හා සමය රැකගත් නාරංබැද්ද සටන
Next articleශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය
තුසිත මැන්දිස්
ඩී. තුසිත මැන්දිස් බලපිටිය, රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1996 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා ගන්නා ලදී. කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් 1998 වසරේ දී විශිෂ්ට සාමාර්ථයක් සහිතව 'පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව'ත් 2006 වසරේ දී 'ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය' පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත්, 2011 වසරේ දී දර්ශන විශාරද උපාධියත් හිමි කරගන්නා ලදී. 1996 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු පසුව ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා ව්‍යාපෘති කළමනාකරු ලෙස උසස් වීම් ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද තුසිත 2013 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වී 2015 වර්ෂයේ දී එහි අංශ ප්‍රධාන වශයෙන් පත් විය. 2018 වසරේ දී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා දැනට එහි සේවය කරමින් සිටී. මධ්‍යම සංස්කෘතික අමුදලේ අනුරාධපුර තදාශ‍්‍රිත ප‍්‍රදේශ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබේ. වසර 22ක පමණ කාලයක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කටයුතුවල නියැලෙන තුසිත පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් 20කට වඩා සිදු කර ඇති අතර ඒවා අතුරින් කොක්එබේ හා අන්දරවැව මෙගලිතික සුසාන කැනීම් විශේෂ වේ. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, මුල් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුග සම්බන්ධව අධ්‍යයන සිදුකර ඇති තුසිත, විවිධ සඟරා සඳහා පර්යේෂණ ලිපි 75කට වැඩි ප‍්‍රමාණයක් ද ජාතික හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ සමුළු සඳහා ද පත‍්‍රිකා රැසක් මෙන් ම පුරාවිද්‍යාවට අදාළ ග‍්‍රන්ථ 7ක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. දිවයින, අකුර හා හෙළදිව පුවත්පත් සඳහා ලිපි රචනා 100කට වඩා රචනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.