අරුණ රාජපක්ෂ

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

ආචාර්ය අරුණ රාජපක්ෂ

සාර සංක්ෂේපය

ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුවන හඳුන්වාදීම් හරහා සිදුවන පරිවර්ථනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යයතාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරබව තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවන් අරමුණු කරගත් වෘත්තීමය ආයතනමය ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත දෝළනය වීම තුළ දේශීය ආගමික ප්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුධ රැසකට හේතු වී ඇත.

ප්‍රවේශය

උරුම සංරක්ෂණයේ ඓතිහාසික පරිණාමයෙහි හැරවුම් ලක්ෂයක් පදනම් කර ගනිමින් අධ්‍යයනයේ තේමානුගතව අධ්‍යයනය පහසුව සඳහා එදාමෙදා තුර ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණ ප්‍රවේශයන් පහත සඳහන් පරිදි බෙදා දැක්විය හැකි ය.

  1. පූර්ව යටත් විජිත අවධිය (Pre- Colonial Period) : දේශීය සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශය
  2. ක්‍රිස්තු වර්ෂ 1505 යටත් විජිත අවධිය (Colonial period) :
    I. යටත් විජිත රාජ්‍ය හා ආයතනමය ප්‍රවේශය
    II. යටත් විජිත විරෝධී ප්‍රජා ප්‍රවේශය
  3. පශ්චාද් යටත් විජිත අවධිය (Post Colonial) : දේශීය හා ජාත්‍යන්තර සම්මිශ්‍ර ප්‍රවේශය
    I. 1948 වර්ෂයේ සිට 60 වර්ෂය දක්වා
    II. 1960 වර්ෂයේ සිට 80 වර්ෂය දක්වා
    III. 1980 සිට වර්තමානය දක්වා

විජේසූරිය (1993) ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණයේ කාල අවකාශ හා මැදිහත්වීම සන්දර්භය පදනම් කර ඓතිහාසික හා ආයතනමය දෘෂ්ටිකෝණයක් තුළ සිදු වූ පරිණාමීය තත්ත්වයන් විග්‍රහ කර ඇත. ඒ අනුව පරිණාමීය දෘෂ්ටිකෝණයෙන් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ සිට යටත්විජිත අවධිය දක්වා බෞද්ධ සංකේත පදනමීය සංරක්ෂණ සම්ප්‍රදායික ගති ලක්ෂණ මූලාශ්‍රගත තොරතුරු ඇසුරින් විග්‍රහ කරන අතර, ආයතනමය දෘෂ්ටිකෝණයෙන් යටත්විජිත පාලන සමය තුළ හා විශේෂයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890 ස්ථාපිත වීමට පෙර සහ පසු අවධිය තුළ පුරාවස්තු, ස්මාරක, ක්ෂේත්‍ර සම්බන්ධ පුරාවිද්‍යාත්මක මැදිහත්වීම් (Interventions) පදනම්ව පහත සඳහන් පරිදි වර්ගීකරණයට ලක් කර, විග්‍රහයක යෙදෙයි.

  1. ගවේෂණාත්මක අවධිය (Exploratory Period) : 1910 පෙර
  2. තහවුරු කිරීමේ අවධිය (Consolidator Period) : 1910 – 1940
  3. අර්ථකථනාත්මක අවධිය (Explanatory Period) : 1940 – 1960/1960 – 1990

පුරාවිද්‍යාත්මක සහ වාස්තුවිද්‍යාත්මක මැදිහත්වීම් පදනමීය අයුරින් මෙසේ සිදුකළ පසුගිය දශක තුන උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් සිදු වූ පරිණාමීය තත්ත්වයන් ප්‍රමාණාත්මකව විග්‍රහ නොවීම තුළ සහ 1940න් පසු කාල පරිචිඡේදය හුදු අර්ථකථනාත්මක අවධියක් ලෙස පමණක් තේරුම් ගැනීම අපහසු ය. එසේම උක්ත කාල පරිච්ඡේද තුළ සිදු වූ මැදිහත්වීම්වල විවිධතාව විමසන විට එය හුදෙක් තත් මැදිහත්වීමට පමණක් සීමා කිරීම උරුම සංරක්ෂණය සමඟ බද්ධ වූ සමාජ, දේශපාලන යථාර්ථය අමතක කිරීමකි.

සාකච්ඡාව

යටත්විජිත අවධිය

විදේශීය ආක්‍රමණයන්ගෙන් සහ බලපෑමිවලින් කලින්කල අහිතකර ලෙස විනාශකාරී බලපෑම් වලට මුහුණ දෙමින්, එයම ආශිර්වාදයක් කරගනිමින්, යාන්ත්‍රණය ශක්තිමත් කරගනිමින් හිස ඔසවා ජීවමානව පවත්වාගෙන ආ උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ සාම්ප්‍රදායික ගමන්මඟ තීරණාත්මක ලෙස අභියෝගයට ලක්වන්නේ ලංකාව 1505 සිට 1948 දක්වා පෘතුගීසී, ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර ජාතීන් තුනකගේ යටත් විජිතයක් බවට පත් වීමෙනි. මෙම කාල පරාසය දෘෂ්ටිකෝණ දෙකකින් පරීක්ෂා කළ යුතු වේ. එනම්, යටත්විජිත පාලකයින් දේශීය සංස්කෘතික උරුම සංරක්ෂණය කෙරෙහි ක්‍රියාත්මක වූ ආකාරය දේශීය සංස්කෘතික සහ උරුමයන් පිළිබඳව යටත්විජිත පාලකයන්ගේ ආකල්පයන් සහ ප්‍රවේශයන් අතිශයින් සංකීර්ණ වේ. විටෙක එය හුදු විද්‍යාත්මක මුහුණුවරක් ද, විටෙක පැවති සම්ප්‍රදායන් දැඩි ලෙස අභියෝගයට ලක් කිරීමක් ලෙස ද, තවත් විටෙක සිතාමතා සැලසුම් සහගත ලෙස විනාශකාරී අයුරින් මැදිහත්වීම් ස්වරූපයක් ද, උසුලයි. රාජධානිය කෝට්ටේ (ක්‍රි.ව. 1415-1597) ලෙස පවතින අවධියේ පළමු වන බටහිර විදේශීය ආක්‍රමණය 1505 දී පෘතුගීසීන්ගෙන් ද, අවසන් රාජධානිය මහනුවර ලෙස පවතින අවධියේ එනම්, 1656 දී දෙ වන බටහිර විදේශීය ආක්‍රමණය ලන්දේසීන්ගෙන් ද, තෙ වන බටහිර විදේශීය ආක්‍රමණය 1796 දී ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ද, එල්ල විය. ශ්‍රී ලංකාව පූර්ණ යටත් විජිතයක් බවට පත්වන්නේ 1815 දී ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1505 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය යටත්විජිත යුගය ලෙසට ගෙන අධ්‍යයනය කළත් තත් කාල පරාසය තුළ දේශීය පාලකයින් හා ප්‍රජාව විදේශීය පාලකයින්ගේ අභිමතයෙන් තොරව සිදුකළ උරුම සංරක්ෂණ කටයුතු ද දේශීය රාජ්‍ය පාලනය අවසන් වීම සහ විදේශීය පාලනයට නතු වීම අතරතුර සංක්‍රාන්ති සමයක් ලෙස ගෙන නිරීක්ෂණය කිරීම වැදගත් වේ. රටේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව විදේශීය පරිපාලනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර උරුමස්ථානවලට ඔවුනගෙන එල්ල වන විනාශකාරී අභියෝග මේ කාල පරාසය තුළ අත්විඳීමට දේශීයන්ට සිදුවිය. මෙම අභියේගය හමුවේ කන්ද උඩරට කේන්ද්‍ර කර ගනිමින් තදාසන්න ප්‍රදේශයත්, සුළු වශයෙන් පර්යන්ත ප්‍රදේශත් පදනම් කර ගත් යුගයටම අනන්‍ය වූ සංස්කෘතික සම්ප්‍රදායන් රැසක් බිහිවීමට පසුබිම සැකසිණ‍. චිත්‍ර, වාස්තු විද්‍යා, ජනකලා ආදී ක්ෂේත්‍රයන්ගේ උඩරට සම්ප්‍රදායක් බිහිවිය. විශේෂයෙන් වාස්තු විද්‍යාව සහ චිත්‍ර කලාව පදනම් කරගත් මහනුවර යුගයට ආවේණික වූ සංරක්ෂණ සම්ප්‍රදායක් ද, ජනිත විය. මෙකී සම්ප්‍රදායන්ගේ පැවැත්ම වැඩවසම්, රජු කේන්ද්‍ර කරගත් රාජකාරී ක්‍රමය කුල පදනමක් සහිත සමාජ සංවිධානයක් හරහා සැකසිණි (මල්සිරි 2011:177). මෙම කටයුතු පසුපස එවකට රාජ්‍ය විචාළ පළමු වන විමලධර්ම (ක්‍රි.ව. 1592-1604), දෙ වන රාජසිංහ (ක්‍රි.ව. 1633-1687), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1781) සහ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798-1815) ආදීන් වැදගත් වේ. දේශීය රජ පරපුරේ ම රජ පුරුකක් බවට අනුගත වූ විදේශීය සම්භවයක් සහිත නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහගේ ක්‍රියාකාරකම් පවා දේශීය සංස්කෘතික සම්ප්‍රදායේ ප්‍රගමනයට දැක් වූ සහයෝගය දේශපාලනික ලෙස තත්කාලීනව එල්ල වී තිබූ බාහිර විදේශීය පාලකයින්ගේ සහ දේශීය රදලවරුන්ගේ අභියෝගය හමුවේ දේශීයත්වයට අනුගත වෙමින් සිය ප්‍රතිරූපය ජනප්‍රිය ජනප්‍රිය කරවීමේ දේශපාලනික උපායමාර්ගක් ලෙස සමහරුන් අර්ථකථනය කළ ද, (දේවරාජා 1997:226) මෙය ආගමික උරුමස්ථානයන්ගේ අභිවෘද්ධිය සඳහා හේතු විය. එම කටයුතු විදේශීය අභියෝගය හමුවේ රටේ බොහෝ ප්‍රදේශවල උරුමස්ථාන විනාශ වෙමින් පැවති විට සිය බල ප්‍රදේශය තුළ ආගමික ස්ථාන තුළ පුනරුදයක් උදාකර වීමට සමත් විය. මොහු විසින් විහාර ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව සිදු කළ ඉඩකඩම් ප්‍රදානයන් සහ නෛනතික ප්‍රපාදයන් සම්බන්ධ තොරතුරු රැසක් තත්කාලීන සන්නස් සහ තුඩපත් වැනි අභිලේඛන පරික්ෂාවෙන් පැහැදිලි වේ (ධම්මානන්ද 1969; කුමාර 1992:43; වනරතන 2008:3).

බටහිර විදේශීය ආක්‍රමණත් සමඟ ඒ දක්වා ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණයේ ජීවමාන සක්‍රීය නියෝජනයක් වූ භික්ෂු පරපුරේ පරිහානියක් පිළිබඳව රක්ඛංග සන්දේශය, පුණ්‍ය ක්‍රියා සන්දේශය මූලාශ්‍රයන්හී  විස්තර කෙරෙයි (ධම්මානන්ද 1969:224). මේ සඳහා සෘජුව හේතු වූයේ සම කාලීන පාලකයින් වූ සීතාවක රාජසිංහ වැනි පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන්ය. මේ සමඟ ශ්‍රී ලාංකේය තිරසාර උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ ප්‍රබලම ගාමක බලවේගය වූ භික්ෂුවගේ භූමිකාව යම් ප්‍රමාණයකට අක්‍රිය වීම හරහා පැවැත්ම අසමතුලිත වීම තුළ රික්තකයක් නිර්මාණය විය. මෙම රික්තකය කිසිදු ආදේශයකින් සම්පූර්ණ කළ නොහැක්කක් විය. රික්තකයේ ප්‍රබලත්වය අප අවබෝධ කරගත යුත්තේ එතෙක් කවර දුෂකර පසුබිමක වුව ද උපදේශකයකු, අධීක්ෂකයෙකු, කළමනාකරුවෙකු, සැලසුම්කරුවෙකු, ආරක්ෂකයෙකු මෙන්ම ස්ථීර භාරකරුවෙකු ලෙස විවිධ බූමිකා නිරූපණය වූ භික්ෂුව කේන්ද්‍ර කර ගනිමිනි (මල්සිරි 2011:184). මේ හිදැස තදනන්තරව බෞද්ධාගමික ස්ථාන භාරකාරත්වයට පැමිණෙන ගණින්නාන්සේලාගෙන් සම්පූර්ණ වූවා යැයි කීමට අපහසුය. එතෙක් පුද්ගලයන් ලෙස ඔවුනගේ මැදිහත්වීම සාපේක්ෂව සාධාරණ ඇගයීමකට ලක්විය යුතුය. ඤාණවිමල හිමියන් (2001) පවසන පරිදි,

මොවුන් සසුන කෙරෙහි ඇල්මක් ඇතිව සිටි කොටසක් වීම නිසා ගිහිව හෝ කෙසේ නමුත් බුදු සසුන රැකගත යුතු යැයි සිතා සුදු පිළි හැඳ පෙරව, ගණින්නාන්සේලා නමින් පොත්පත්, බුදු පිළිම ආදී ආගමික පූජනීය වස්තූන් විහාරස්ථානත් රැක බලා ගනිමින් විසූහ. (ඤාණවිමල 2001)

ස්ථාන ආශ්‍රිත භෞතික උරුමය භුක්ති විඳින්නෙකු මෙන් ම රැකවලෙකු ලෙස ගණින්නාන්සේලාගේ භූමිකාව කාලීන විකෘතියකි. මෙය තත්කාලීන සමාජ, දේශපාලනික සහ සංස්කෘතික වෙනස්කම් හමුවේ එය කළමනාකරණය කරගැනීම ලෙස සැලකිය හැකිය. එහෙත් එම පිරිසෙන් ආගමික ස්ථානයන්හි ප්‍රතිසංස්කරණ, අලුත්වැඩියා කිරීම් හරහා අවමයෙන් හෝ කෘත්‍රිම ජීවයක් ආරක්ෂා වූයේ ය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකිය. සම කාලීනව පැවති දේශපාලන යාන්ත්‍රණය ද, භික්ෂුත්වය ද, සාපේක්ෂ අර්ථයෙන් විකෘතියක් වූවා සේ ස්ථානීය ප්‍රතිසංස්කරණ ද එම ගණයෙහි ලා සැලකීමට සප්‍රමාණික සාධක පවතී.

සම කාලීන යටත් විජිත බලධාරීන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් හමුවේ අසරණව බුද්ධ ශාසනයේ නාමයෙන් ආගමික ස්ථානවල පැවැත්ම තහවුරු කරගැනීමට වෙර දැරූ පිරිසක් ලෙස ඇගයීමට ලක්විය යුත්තේ ඔවුන්වත් නොසිටියේ නම් කුමකින් කෙළවර වන්නට ඉඩ තිබුණි ද? යන්න සිහිකරනා විටය. මේ පිළිබඳව සැලකීමේදී “සිය නෑදෑයන් සමඟ විහාර සන්තක දේ භුක්ති වින්දත් එය වැනසෙන්නට ඉඩ නොදුන් හෙයිනි අදත් ඒ ලෙසම පවතින්නේ” ලෙස වාචිස්සර හිමියන් (2003:69) කරන ප්‍රකාශය සමඟ අපි එකඟ වෙමු. මෙම පිරිසේ මැදිහත්වීමෙන් එතෙක් පෝෂිතව තිබූ පුස්කොළ පොත් සම්භාරයක් බුද්ධිමය උරුමයක් ලෙස විවිධ අභියෝග මැද පරපුරට දායාද කර දීම ද පැසසිය යුතු සේවාවකි.

උරුම සංරක්ෂණයට දායක වූ සම කාලීන භික්ෂූන්ට පෙර තවත් නියෝජනයක් වූයේ වැලිවිට සරණංකර සඟ රාජ හිමිගේ උපදෙස් මත එමෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1747-82) අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ සිල්වත් සමාගමට අයත් සාමණේරවරු ය (මල්සිරි 2011:191). මොවුනට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබීමෙන් ඉතිහාසයෙන් අයත් වූ විහාර ඉඩම්වල වලංගුතාව සක්‍රීය වූ අතර (එම) මොවුන් විසින් සම කාලීන සමාජ ආගමික අවශ්‍යතා අනුව ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී මහා බෝධිය වටා වන දැවැන්ත ප්‍රාකාර ඉදිකිරීම වැනි ව්‍යාපෘතිවලට මුලපුරන ලදී. ඉදිපැන්ගමුවේ සාමණේරයන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුරපුර නටබුන් විහාර ශේෂයන් රාශිකොට තනන ලද බෝධි ප්‍රාකාරය සම කාලීන සමාජ, ආගමික අවශ්‍යතාවකි. එහි විද්‍යාත්මක හෝ අවිද්‍යාත්මක බව කාලීන සමාජ, ආගමික සහ පාරිසරික සන්දර්භය තුළ තබා විනිශ්චය කළ යුතු වේ.

ඓතිහාසික සහ පුරාවිද්‍යා මූලාශ්‍රය කියවමින් ස්මාරක සහ ක්ෂේත්‍ර ගවේෂණයට සහ විධිමත් වාර්තාකරණයට පෙළඹීම සහ එම කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම ලබා දෙමින් කටයුතු කිරීම, එසේම වටිනා ආගමික සංස්කෘතික ස්ථාන සහ සම්පත් ආරක්ෂාවට හා සංරක්ෂණයට නෛතිකව හා ප්‍රායෝගිකව පියවර ගැනීම එහි එක් අන්තයකි. කුතුහලය දනවන මහාර්ඝ කෞතුක සහ සංසංකෘතික වස්තු සිය රටවල් වෙත රැගෙන යාම ස්මාරක ක්ෂේත්‍ර සැලසුම් සහගතව විනාශ කිරීම, සිය උරුමයන් මිහිමත පැළ කරමින් දේශීය උරුමයන් අතු ගා දැමීම, සංරක්ෂණය නොකර නොසලකා හැරීම, පැවති දේශීය උරුම සංරක්ෂණ යාන්ත්‍රණය සැලසුම් සහගතව අකර්මණ්‍ය කිරීම සඳහා නෛතික සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආදිය එහි අනෙක් අන්තයයි.

සේනක බණ්ඩාරණායක (1975:10) නිරීක්ෂණ කරන පරිදි යටත් විජිත පාලන සමය තුළ ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස අගනගර, වරායන්, පූජනීය ස්ථාන විනාශ කළ අතර සිතාමතා ම සැළසුම් කළ ප්‍රතිපත්ති මත පුරාවස්තු අපනයනය සිදු කරන ලදී. 16 වන සියවසේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට ආසියාවේ ප්‍රධාන නගරයක් මෙන්ම ශ්‍රී ලංකාවේ අගනුවරක් හා වෙළඳ නගරයක් වූ කෝට්ටේ කිසිදු සාධකයක් ශේෂ නොකොට විනාශ කරන ලදී. එසේම ආගමික ස්ථාන කොල්ල කෑම, ගිනි තැබීම ආදී සංසිද්ධීන් ද වාර්තා වේ. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් අනුගමනය කළ තවත් උපක්‍රමයක් නම් යුධමය ක්‍රියාමාර්ග තුළින් වැනසීමට වඩා ඔවුන්ට අනන්‍ය වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පැරණි නගර තුළ සහ සංස්කෘතික මර්මස්ථාන තුළ පැළ කරමින් පැවති දේශීය අවකාශීය සන්දර්භයන් දුෂ්‍ය කරන ලදී. පැරණි මහනුවර නගරයත්, අනුරාධපුර නගරයත් තුළ පවතින යටත් විජිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ මේ සඳහා කදිම නිදසුන්ය. යටත් විජිතකරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස දුෂ්‍ය වූ නගරයත් නව යටත් විජිත්කරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වන නූතනයේ අද්විතීය විහ්වීය උරුමයන් ලෙස උරුම ගෝලීයකරණ ක්‍රියාදාමය තුළ සාධාරණීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දැයි කෙනෙකුට හැඟී යාම සාධාරණය.

දේශීය සංස්කෘතික උරුමය සම්බන්ධව පෘතුගීසීන්ගේ සහ ලන්දේසීන්ගේ ප්‍රවේශයන් සාහසික, මර්දනකාරී සහ විනාශකාරී විය. බ්‍රිතාන්‍ය ජාතීන් පෙර සඳහන් කරන ලද උභතෝකෝටික ප්‍රවේශයන් මොනවට ප්‍රකට කළ බවට මූලාශ්‍රය සාධක බහුලය. මෙම කටයුතු බොහෝ විට රාජ්‍ය තාන්ත්‍රික විය. 1815 මාර්තු 2 ප්‍රකට උඩරට ගිවිසුම (Kandyan Convention) හරහා ශ්‍රී ලංකාද්වීපයෙහි පරිපාලන බලය බ්‍රිතාන්‍යයන් විසින් ලබාගන්නා ලදී. එම ගිවිසුමේ 5 වන වගන්තිය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ සම කාලීන ජන ප්‍රධානීන් තුළ දේශීය උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් වූ අපේක්ෂාවයි.

“මෙකී රටවල මුලාදෑනි සහ වැසියන් අදහන්නා වූ බුද්ධ ශාසනය ද, දේවාගම ද, කඩ කළ නොහැකිව පවත්වන්නට ඕනෑවා සහ එකී කටයුතු ද, සංඝයා ද, විහාරස්ථාන ද, දේවාල ද, පවත්වන්නට සහ ආරක්ෂා කරන්නත් ඕනෑ ය” (විමලානන්ද 1963:65).

උක්ත වගන්තිය බුදු දහමේ සහ විහාර දේවාලවල ආරක්ෂාවට දුන් පොරොන්දුව නායකයන් සහ සංඝයා වහන්සේ සැලකුවේ ඉතා උසස් දෙයක් ලෙසිනි. පෙර මෙන් තම ආගමත්, විහාර ඉඩමුත් දිගටම ආරක්ෂාවේ යැයි ඔවුහු සිතූහ (විමලරත්න 1985:214). මෙම ගිවිසුමත් සමඟ එතෙක් රජු සහ ආගම වූ අතර වූ අවියෝජනීය නෛසර්ගික සබඳතාව කෘත්‍රීම බන්ධනයක් බවට පත්විය. ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් උරුමයේ පැවැත්ම වෙනුවෙන් යම් කාර්යභාරයක් අපේක්ෂා කළ ද, ඔවුන් ඒ සඳහා පූර්ණ ලෙස වගකීමෙන් බැඳී ක්‍රියාකළ බවක් තදනන්තර ඔවුනගේ ක්‍රියාකලාපයන් තුළින් ප්‍රකට නොවේ. මෙය සිතාමතාම සැලසුම් කරන ලද්දක් බව 1847 අප්‍රේල් 1 ග්‍රේ සාමි ආණ්ඩුකරුට යැවූ ලිපියෙන් පැහැදිලි වේ. ඔහු දන්වා එවූ පරිදි ඔවුන් යුධ වැදී යටත් කරගත් සියලුම රටවලට දුන් පොරොන්දුවලට සමාන පොරොන්දු උඩරට ගිවිසුමෙන් දුන් අතර එය එතරම් භාරදූරත්වයෙන් සලකා කටයුතු කිරීම අතවශ්‍යය බව කියවුණි (එම). බ්‍රිතාන්‍යයන් මෙරට සංස්කෘතික උරුමයේ පදනමීය සාධකයක් පිළිබඳව අනුගමනය කළ ප්‍රතිපත්ති සාම්ප්‍රදායික අරුම සංරක්ෂණ යාන්ත්‍රණයට තීරණාත්මක ලෙස අභියෝගයක් විය (රාජපක්ෂ 2010:12). විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලකයින් ශ්‍රී ලාංකේය උරුම සංරක්ෂණ යාන්ත්‍රණයේ ගාමක බලවේගයන් මනාව අධ්‍යයනය කර අවබෝධ කරගෙන සිටී බව 1816 ජුනි 13 වන දින බ්‍රවුන්රිග් (Brownrig) ආණ්ඩුකාර තැන විසින් යටත් විජිත ලේකම් වෙත යවන ලද ලිපියකින් පැහැදිලි වේ.

“…මහනුවර රජු හා බුදු දහම අතර ඉතා සමීප සබඳතාවක් පවතී. ඔවුනන්ගේ විශ්වාසයක් වන්නේ ආගම මඟින් රට වැසියන් විදේශ ආක්‍රමණ ආදී සියලු උවදුරුවලින් ආරක්ෂා කරන බව ය”.

උක්ත පසුබිම වටහා ගත් විදේශීය පාලකයන් එයට හිතිමතා ම සැලසුම් සහගතව දීර්ඝ කාලීනව බලපෑම් කරන්නට විය. ටොරින්ටන් ආණ්ඩුකාර ධූරය භාර ගැනීමට පැමිණෙන විට බුදු දහම සහ රජය අතර සබඳතාව නැති කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස,

  • රාජ්‍ය අනුග්‍රහය අවම වීම
  • වැඩවසම් රාජකාරී ක්‍රමය නොසලකා හැරීම‍
  • ඉඩම් රජයට අත්පත් කර ගැනීම
  • පෙර සිරිතට ගරු නොකරමින් සංස්කෘතික ස්මාරක, සිරිත්විරිත් නොසලකා හැර කටයුතු සිදු කිරීම සිදු විය.

සංස්කෘතික අරුමය ආරක්ෂා කොට රැක බලා ගැනීමේ ක්‍රියාවලිය හා බැඳී තිබූ ප්‍රධාන අංගයක් වූයේ ඒ සඳහා ආදායම් උපයා ගැනීම සඳහා විහාරාරාම වෙත පැවරී තිබූ අවකාශයයි (ගුණවර්ධන 2005:47). ඒ අනුව ගම්බිම් කෙත්වතු, වැව්, ඇලවේලි, බඳු සහ දඬ ආදායම් මාර්ග විය. සම කාලීනව (1840) බ්‍රිතාන්‍යයේ පල්ලිය සතු ඉඩම් වර්ධනය විම වළකාලීමට ගත් මෝර්ට්මේන් නීතිය (විමලානන්ද 1963:216) මෙන් ශ්‍රී ලාංකික භික්ෂු ප්‍රජාවගේ බලය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථකථනය කිරීමට පුළුවන. බ්‍රිතාන්‍ය පාලනය විසින් 1832 විහාර දේවාල ගම් පිළිබඳ කොමිසමක් හරහා හඳුන්වා දුන් ඉඩම් අයිතිය පිළිබඳ නෛතික පුතිපාදන සමඟ සාම්ප්‍රදායික වැඩවසම් කුල ක්‍රමය මත පදනම් වූ රාජකාරී ක්‍රමයට බලපෑම් එල්ල වන්නට විය (කරුණානන්ද 1990). එසේ ම 1840 මුඩුබිම් පනත මඟින් ද පුරාණ රජවරුන්ගේ සන්නස් මඟින් සිදු කළ ප්‍රදානයන්ගේ වලංගුභාවය නොසලකා හරින ලදි (විමලරත්න 1998:231). උක්ත ගැටලුව තවත් තීව්‍ර වූයේ 1956 කුඹුරු ඉඩම් පනත (Paddy Land Act) මඟිනි.

මේ සමඟ එතෙක් රාජකාරී ක්‍රමය මත විධිමත්ව ක්‍රියාත්මක වූ සේවාවන් යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය විය. ආගමික ස්ථාන වෙත තිබුණු ආදායම් සීමා වූ අතර රාජකාරී කළවුන් ඒ සඳහා සහභාගී වීමට දැක් වූ පසුගාමී බව ප්‍රධාන ගැටලුවක් විය. 1833 දී රාජකාරී ක්‍රමය අහෝසි වීම තුළ විහාරගම්වලින් ආගමික ස්ථානයන්ට සිදුවන සේවාවන් යම්තාක් දුරකට අඩපණ විය. ඔවුන් උඩරට ගිවිසුමේ සිය වගකීමෙන් කෙතරම් ශීඝ්‍රයෙන් ඈත් වෙමින් සිටියේ ද යත් 1832 දී බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කළ ලංකාව පිළිබඳ පාලන වාර්තාවෙහි මහනුවර පළාත්වල විහාර ඉඩම්වලින් ලැබෙන ආදායම සීමාකර ඉංග්‍රීසි සාමනේරයක් පරිපෝෂණය කරගෙන යාමට නිර්දේශ කෙරිණි. 1856 අංක 10 ආඥා පනතේ ප්‍රතිඵලයක් ලෙස ඉඩම්වලට විසූ අය රජයට බඳු ගෙවා විහාර සේවය මඟ හරින ලදී්‍. මේ සඳහා කදිම නිදසුනකි 1939 දී අටමස්ථානාධිපති හිමියන් විසින් යටත් විජිත ලේකම් වෙත යැවූ ලිපිය. එහි සඳහන් පරිදි අටමස්ථානයේ විහාර ගම්වලින් පන්සලට කිසිදු මෙහෙයක් නොවී ය (කරුණානන්ද 1009:102). රාජකාරී ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව බ්‍රෝහියර් දක්වන අදහස කෝල්බෲක් කොමිසමේ සහ යටත්විජිත පරිපාලනයේ තීරණය දැඩි ලෙස විවේචනය කිරීමකි.

“මෙරට පැවති චාරිත්‍රවාරිත්‍ර සහ සම්ප්‍රදායන් පිළිබඳ කිසිම අවබෝධයක් නොතිබූ මේ කොමිසම ඒ නිසා පුද්ගලික නිදහසට යැයි කියමින් එවකට පැවති පුද්ගලයාට වඩා රාජ්‍ය උන්නතිය වැදගත් හැටියට සලකමින් ක්‍රියාත්මක වූ රාජකාරී ක්‍රමය අහෝසි කළේ ‘රාජකාරී ක්‍රමය’ යන්නේ නියම අදහසවත් නොදැන ය”. කසය පාවිච්චි කරමින් මෙහෙ ගනු ලැබූ මිලේච්ඡ ක්‍රමය සමඟ ලංකාවේ තිබූ රජකාරී ක්‍රමය සමඟ ලංකාවේ තිබූ රාජකාරී ක්‍රමය සැසඳීම අත්‍යන්තයෙන්ම සාවද්‍යය. රාජකාරී ක්‍රමය අහෝසි කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ සෑම කෙනෙකුගේම වගකීමව තිබූ දෙය කිසිවෙකුගේ හෝ වගකීමක් නැති දෙයක් බවට පත්විය. කාර්යක්ෂව සුළුතරය, අලස බහුතරයේ අනුකම්පාව යටතට පත්විය …. ” (බ්‍රෝහියර් 2002: 166- 167).

බුදුදහම, විහාර ඉඩම් සහ රාජකාරී ක්‍රමය පිළබඳව බ්‍රිතාන්‍යයන් ගෙන ගිය බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති නොරිස්සූ යටත් විජිත නිලධාරියෙන් වූ එවකට ලංකාවේ ගණකාධිකාර ලෙස කටයුතු කළ සී.ජේ. මැකාර්ති බුදු දහම සමඟ සම්බන්ධය අත් හැරීම සුදුසු නොවන බව නේවා දුන්නේය (විමලරත්න 1995:217).

ඉඩම් වගා කළවුන්ගෙන් ලබාගත් විවිධ සේවාවන් එනම් ඉඳහිට කළ සේවා (උත්සව කටයුතු, ගොඩනැඟිලි නඩත්තුව), අවිච්චින්න සේවා (බෙර ගැසීම, ආවතේව), චාරිකා සේවා (බඩු සැපයීම), නිසා සංඝයාගේ ජීවිතයත්, බුද්ධාගමට අනුබද්ධ ආමිස පූජාත් අඛණ්ඩව කරගෙන යාමට ක්‍රමවේදයක් ද සැකසී තිබුණි. මේ අයුරින් බ්‍රිතාන්‍ය පාලකයන් විහාර දේපළ ඉඩම් රාජකාරී ක්‍රමය සම්බන්ධයෙන් විවධ අරමුණු සහිතව අණපනත් ඉදිරිපත් කළ ද, ඒ එකදු පනතක් හෝ සාර්ථකව ක්‍රියාත්මක කළ නොහැකිව අසාර්ථක වූයේ පැවති ක්‍රමයට ආගන්තුක සහ නොගැළපුණු බැවිනි. ඔවුනගේ ප්‍රතිපත්ති සමස්ත ඉඩම් පාලනය අවුල් කළ එකක් වූ අතර එහි විපාක අදටත් අත්විඳිමින් සිටී. උරුමයේ අයිතිකරුවෝ කවරහු ද? එහි සංරක්ෂණය කා සඳහා ද? 1815 උඩරට ගිවිසුමේ අන්තර්ගතය බ්‍රිතින්‍යයින් විසින් සැලසුම් සහගතව කඩ කරමින් සිටිනා ආකාරය වැඩිකල් නොගොස් උඩරට නිලමේවරුන්ට සහ භික්ෂූන්ට බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂ විය.

යටත්විජිත පාලකයන්ගේ එම බුද්ධ ශාසන ආගම් විරෝධී ප්‍රතිපත්තිය නොඉවසූ දේශියයන්ගේ ඒ සඳහා විරෝධතා විවිධ ස්වරූපයෙන් එල්ල වන්නට විය. 1818 ඌවේ කැරැල්ල සඳහා හේතු ගණනාවක් දැක්විය හැකි නමුදු ජාතික සහ ආගමික සම්ප්‍රදායන් දේශීය පාලනය යටතේ කුමයෙන් බිඳ වැටෙනු දැකීම එම හේතු අතර එකක්වූ බව පැහැදිලිය (ධර්මදාස 1995:240; විමලරත්න 1995:217). 1823, 1834, 1842 සිදු වූ කුමන්තුණ සහ කැරලි ඇති වූයේ පාරම්පරික දේශපාලන ක්‍රමය, සමාජ සංස්කෘතික රටාව පුනරුත්ථාපනය කරගැනීමේ පරමාර්ථයෙනි (Mills 1935:165). 1848 බ්‍රිතාන්‍ය රජයට විරුද්ධ කැරැල්ලට ද හේතු වූයේ උක්ත බෞද්ධ විරෝධී විහාර ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තිමය (විමලරත්න 1995:217). මෙකී විරෝධතා හමුවේ දැඩි ප්‍රතිපත්තිවල එල්බගෙන සිටී බ්‍රිතාන්‍යය පාලනය මධ්‍යස්ථ ප්‍රතිපත්ති කෙරෙහි නම්‍යශීලී කරගැනීමට ද, සමහර අවස්ථාවල හැකි විය. නිදසුනක් ලෙස 1818 කැරුල්ලෙන් පසු 1815 ගිවිසුමේ වගන්ති සංශෝධනය කළ ද, බෞද්ධ විහාර ඉඩම් පිළිබඳව කොන්දේසි වෙනස් නොවූ අතර, එහි 21 වැනි වගන්තියට අනුව තවදුරටත් සියලු පන්සල් ඉඩම් බඳු වලින් නිදහස් කෙරිණි (එම:214). එසේම 1818 කැරැල්ල සමයේ ලබාගත් දළදාව 1853 මැයි 20 සිංහල ප්‍රධානීන්ට සහ භික්ෂූන්ට පවරන ලදි (එම:217). මේ යුගයේ භික්ෂූන් වහන්සේලා ජාතික ආගමික උරුමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කර්තව්‍යයන්හී නිරත වී ඇති බව පෙනේ (ධර්මදාස 1995:245). 1848 කැරැල්ලේ දී මහනුවර ගංගාරාමයේ කුඩා රාහුල හිමියන් ද, 1822-23 කැරැල්ලේ දී මහනුවර ගංගාරාමයේ උඩුවේ හිමියන් ද, ප්‍රම්ඛ විය. 1848 කළුතර, පානදුර, මොරටුව ප්‍රදේශවල භික්ෂූන් ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයට එරෙහිව සංවිධානය වූ අයුරු ඩික්සන් නමැති පූජකයා වාර්තා කර ඇත (එම:245). මෙලෙස යටත් විජිත ප්‍රතිපත්ති වලට එරෙහිව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වෙමින් පැවති අතර එය 19 වන සියසව මැද භාගයේ දී ඇති වූ ජාතික-ආගමික ප්‍රබෝධයක මුල් පියවරක් ද විය. මෙය පසුව නිදහස සඳහා වූ අරගලයට ද පදනම විය (Bandaranayake 1975:11).

19 වන සියවස අගභාගය වන විට දිගින්දිගටම අරගල, උද්ඝෝෂණ කිරීම හේතු කොටගෙන බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය පරීක්ෂා කිරීම, කියවීම, ගවේෂණය, ආරක්ෂා කිරීම කෙරෙහි අවතීර්ණ වීමක් හඳුනාගත හැකිය. මෙම හැදෑරීම ඔවුන්ගේ පාලනය පහසු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ද සිතන්නට ඇත. ඒ අනුව යමින් දේශීය සංස්කෘතික උරුමය පිළිබඳව සංවේදීව ක්‍රියා කළ පරිපාලන නිලධාරීන් පිරිසක් 19 වන සියවස අගභාගය වන විට හඳුනාගත හැකිය. මෙම හැදෑරීම ඔවුන්ගේ පාලනය පහසු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ද සිතන්නට ඇත. ඒ අනුව යමින් දේශීය සංස්කෘතික උරුමය පිළිබඳව සංවේදීව ක්‍රියා කළ පරිපාලන නිලධාරීන් පිරිසක් 19 වන සියවස අගභාගය වනවිට හඳුනාගත හැකිය. ඒ අතර හෙන්රි පාකර්, සර් ජේම්ස්. ඊ. ටෙනන්ට් (1859), එච්.සී.පී. බෙල්, මේජර් තෝමස් ස්කිනර් (1834), ඒ.ඩී. බ්‍රෝච්, ආණ්ඩුකාර හර්කියුලීස් (1871), රීස් ඩේව්ඩ්ස් (1871), ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි, ඩික්සන් ඒජන්ත (1873) හා ස්මිදර් ආදීන්ගේ පර්යේෂණ ඇතුළත් මැදිහත්වීම් සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලාංකේය උරුමයේ විශිෂ්ටත්වය ලොවට ප්‍රකාශ කිරීමට හේතු විය. එහෙත් මොවුනගේ මෙම සංස්කෘතික උරුමය සමඟ සිදු කරන කටයුතු සඳහා එවකට යටත් විජිත අභියෝග හමුවේ සන්ධානගත වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිරෝධය ද එල්ල විය. එච්.සී.පී. බෙල් වැන්නවුන්ගේ ක්‍රියා කලාපයන් කෙරෙහි ජාතික ආගමික ව්‍යාපාරයේ නිරතවූවන් පැහැදීමකින් නොසිටි බව පෙනේ. මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙන්නේ 20 වන සියවස මුල් භාගයේ ය. චෛත්‍ය ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සමිති ජනිත වන්නේ උක්ත පසුබිම තුළ ය. 19 වන සිවස අගභාගයේ දී ජාතිකත්වය, ස්වදේශීයත්වය ආදී සංකල්ප අගය කිරීම සහ ඊට තිබූ වටිනාකම පිළිබඳව පුළුල් සංවාදයක් ජාත්‍යන්තර තලයේ වූ අතර එය ලංකාව කෙරෙහි ද යොමු වී ලංකාවේ සංස්කෘතික උරුමය සොයා බැලීමේ සහ ආරක්ෂා කිරීමේ දී දිශානතියක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළ නිර්මාණය කළේ ය.

වර්ෂය පුද්ගලයින් ක්‍රියාකාරකම්
ගවේෂණාත්මක අවධිය
1817 රැල්ෆ් බැක් හවුස් අනුරාධපුර, පොළොන්නරු වැව් සහ නටබුන් ගොඩනැඟිලි මිනුස් ලබා ගැනීම
1828 ජොනතන් ෆෝබස් ලංකාවේ බොහෝ ස්ථානවල සංචාරය කොට අරුමයන්ගේ කාලීන ශේෂ තත්ත්වය වාර්තා කිරීම
1831 මේජර් තෝමස් ස්කිනර් අනුරාධපුර, පොළොන්නරුව පිළිබඳ වාර්තා කිරීම
1832 ජේ. ජේ. චැප්මන් අනුරාධපුර, මිහින්තලේ නටබුන් අළලා රාජකීය ආසියාතික සංගමයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම
1859 එමර්සන් ටෙනන්ට් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, මිහින්තලේ, රිටිගල, අවුකන, දඹුල්ල, මාතලේ අලු විහාරය උරුමස්ථාන වාර්තා කිරීම
1869 එල්. ලෙයිස් වින් වෙස්සගිරිය එළි පෙහෙළි කිරීම
1871 ලෝටන් ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන්ගේ උපදෙස් මත අනුරාධපුර, පොළොන්නරු නගරයේ පුරා ස්ථාන ඡායාරූපගත කිරීම
1871 රෙයිස් ඩේවිස් අනුරාධපුර අවට සෙල්ලිපි එකතු කරන ලදී
1878 විලියම් ග්‍රෙගරි ගල් කණු, වෙහෙරවිහාර අලුත්වැඩියාව, පුරාවිද්‍යා උරුමයට වී තිබූ විනාශය පිළිබඳ වාර්තාවක් සැකසීම සහ යටත් විජිත මහ ලේකම්ට ඉදිරිපත් කිරීම
1873 ඩික්සන් ථූපාරාමය, අභයගිරිය එළි පෙහෙළි කිරීම

1873-1874

කපිතාන් ආර්. ඊ. භෝග්

ගෙඩනැඟිලිවල සඳකඩපහණ, මුරගල් ආදී මූර්ති, ඡායාරූපගත කිරීම, අනුරාධපුර නටබුන් මතු කිරීම, සෙල්ලිපි පිටපත් කිරීම

1873
ජෝන් කැෆර්
විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාර තැනගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේ පූර්ණ ගවේෂණයක් සිදු කිරීම
1875-1879 පී. ගෝල්ඩ් ස්මිත්, ම්‍යුලර්, එල්.ඩී. සොයිසා, මහා මුදලි
සෙල්ලිපි පිටපත් ගැනීම
1887 ජේ.පී. ස්මිදර්
ෆර්ගසන්ගේ නිර්දේශ මත අනුරාධපුර වඩා වැදගත් වාස්තු විද්‍යා ගොඩනැඟිලි පිළිබඳ පරිමාණානුකූල සැලසුම් සහ සැකසීම

1885, 1886,

1888-90

බරෝස්

රාජකීය ආසියාතික සංගමයේ මඟ පෙන්වීම යටතේ මිරිසවැටි ස්ථූපයේ වනාන්තර එළි කිරීම. බරෝස් විසින් කැනීමක් ඇරඹීම. ආතර් ගෝඩන්ගේ උපදෙස් පරිදි අභයගිරිය සහ මිහින්තලේ ස්තූප ඉහළ කොටස් ප්‍රතිසංස්කරණ අතර කුට්ටම් පොකුණ ප්‍රතිසංස්කරණයක් සහ මිරිසවැටි ස්ථූපයේ ආරක්ෂාව පිළිබඳ උනන්දු වීම

1890

1900

එච්.සී.පී. බෙල්

ඕර්ටෙල් මිචෙල්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (Archaeological Survey) ආරම්භ වීම සහ විද්‍යාත්මකව විධිමත්ව ස්මාරක වාර්තාකරණය (විශේෂයෙන් මධ්‍යයම සහ උතුරු මැද පළාත්වල), කැනීම්, ගවේෂණ, ලේඛන ගත කිරීම් මිරිසවැටි ස්තූපය සඳහා ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසීම

තහවුරු කිරීමේ අවධිය (1910 – 1940)
 
1910 එච්.සී.පී. බෙල් ස්මාරක තහවුරු කිරීම (Consolidation) නමුත් භාවිත කළ වචනය සංරක්ෂණය (Conservation) යන්නය
1912 ඊ.ආර්. අයර්ටන් විධිමත් සංරක්ෂණ කටයුතු ඇරඹීම (රත්න ප්‍රසාදය සංරක්ෂණය)

1912–22,

1922-27

ආතර් මොරිස්

හොකාට්

සංරක්ෂණ කටයුතු විධිමත් ලෙස මෙහෙයවීම, කැනීමෙන් පසු සංරක්ෂණ කටයුතු අනිවාර්ය බව අවධාරණය කිරීම, සංරක්ෂණ මූලධර්ම වර්ධනය කිරීම, පුහුණු වාස්තුවිද්‍යා සංරක්ෂණ කටයුතු, ස්ථීර කාර්ය (කම්කරු) මණ්ඩලයක් නඩත්තු කටයුතුවල නියුක්ත කරවීම

1920 පසු

ජාතික ව්‍යාපාරය, ප්‍රතිසංස්කරණ සමාගම්වල ක්‍රියාකාරකම්,  ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරය, නීති විරෝදී ප්‍රතිසංස්කරණ (ථූපාරාමය, රුවන්වැලිසෑය)

අර්ථකථනාත්මක විග්‍රහාත්මක අවධිය I
1940-56 සෙනරත් පරණවිතාන සංරක්ෂිත ස්මාරක අර්ථකථන සඳහා පෙළඹීම, කැනීම්, පර්යේෂණ, සංරක්ෂණ, අර්ථකථන (කූට්ටම් පොකුණ, රන්මසු උයන, මැදිරිගිරි වටදා ගේ, කණ්ඨක චේතිය, යාපන නගරය, දක්ඛිණ ස්ථූපය), ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණ ඇරඹීම (සුළු පරිමානයෙන්), පුරා වස්තු ආඥා පනත 1940, රක්ෂිත ස්මාරක ප්‍රකාශයට පත් කිරීම, ප්‍රතිසංස්කරණ සඳහා මූලධර්ම ස්ථාපිත කිරීම, පැරණි ස්වරූප ආරක්ෂා කළ යුතු බව අවධාරණය කිරීම
විග්‍රහාත්මක අවධිය II
ස්තූප ප්‍රතිසංස්කරණයේ දී නව මානයක් අනුව කටයුතු කිරීම, අවසන් පෙනුම සංකේත‍ාත්මක අරුත, සැදැහැවතුනගේ අවශ්‍යතාව, ගොනැඟිලි ව්‍යුහයන් ආරක්ෂාව සඳහා පියසි, ආවරණ ඉදිකිරීම, ස්ථීර වාස්තු විද්‍යා සංරක්ෂණ අංගයන් ස්ථාපිත කිරීම, උදාගම් සංකල්පය සහ සංස්කෘතික උරුම ස්ථාන ප්‍රතිසංස්කරණය, අධ්‍යාපන ආයතන ස්ථාපිත වීම, රෝලන්ඩ් සිල්වා, ප්‍රේමතිලක, බණ්ඩාරනායක වැනි විද්වතුන්ගේ ක්ෂේත්‍ර අර්ථකථනාත්මක පර්යේෂණ

ගුව 1 – යටත් විජිත බ්‍රිතාන්‍ය සමය පශ්චාද් යටත් විජිත සමය තුළ සංස්කෘතික උරුම සඳහා මැදිහත්වීම (ගුණවර්ධන 2005:65-78)

ජාතික ව්‍යාපාරය

1920 ගණන්වල සිට ‘ජාතික ව්‍යාපාරය’ පදනම් කොට මෙරට තුළ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා සංස්කෘතික උරුමය පිළිබඳව පුළුල් සංවාදයක් ජනිත වූ අතර ඒ සඳහා පුරෝගාමී ප්‍රබල චෝදනාවක් වූයේ දේශීය සංස්කෘතික උරුමය කෙරෙහි යටත් විජිත පාලකයින් දැක් වූ නොසැලකීමේ සහ අවතක්සේරු කිරීමේ එමෙන්ම විනාශ කිරීම ප්‍රතිපත්තියයි. විශේෂයෙන් දේශීය ප්‍රජාවගේ ශුද්ධ අවකාශයන් මෙන් ම ජීවමාන සංස්කෘතික උරුම ක්ෂේත්‍රයන් වූ අනුරාධපුර, මහනුවර ආදී ඓතිහාසික උරුම භූමියන්හි/නගරයන්හි පැරණි ස්වභාවික හා සංස්කෘතික උරුමය සහ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳව සැලකිල්ලට නොගෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් භාවිත ඉදිකිරීම් සිදු කිරීමට ගත් පියවර නිසා දේශීයයන්ගේ ඒ සඳහා ප්‍රබල පතිරෝධයක් එල්ල විය. 1912 දී වලිසිංහ හරිශ්චන්ද්‍ර ලියූ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මඟින් යටත්විජිත ආණ්ඩුව විසින් කතෝලික ආගමික ගොඩනැඟිලි, වාණිජමය ඉදිකිරීම් මඟින් ඓතිහාසික සහ සාම්ප්‍රදායක බෞද්ධ ස්මාරක ගොඩනැඟිලිවලින් සමන්විත සංස්කෘතික භූ දර්ශනයක් සහිත නගරවල ඇතිවන විකෘතිතා සහ වෙනස්කම් ආදිය පෙන්වා දී ඇත. මෙම යටත්විජිත රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා දේශීය සංස්කෘතික උරුමය විනාශ වීමට සහ විකෘති වීම ප්‍රබල හේතුවක් වන බව එවකට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් වූ වලිසිංහ හරිශ්චන්ද්‍ර, අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල වැන්නවුන් විසින් රට තුළ ප්‍රබල මතාවාදයක් ප්‍රචාරය කළහ.

උරුම සංරක්ෂණය සහ මතවාදී අර්බුද

යටත්විජිත පාලනය තුළ උරුම සංරක්ෂණය උදෙසා ආයතනමය ප්‍රවේශයක් 1890 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත වීම සමඟ ඇරඹිණි. එහි පළමු කොමසාරිස් වූයේ එච්.සී.පී. බෙල් ය (කරුණාරත්න 1990:4). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය (Silva 1968; Wijesekara 1990) විශාල වශයෙන් රටේ ස්මාරක සංරක්ෂණය පිළිබඳ ඉතිහාසය ද වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිය නෛතික රාමුව තුළ සිට පුරාවිද්‍යා කටයුතු කරගෙන යන ලද අතර ඒ දෙස දේශීය ප්‍රජාවගේ ප්‍රතිචාරය සුබවාදි එකක් නොවීය. ඒ දෙස ඔවුන් බැලුවේ සැකසංකා සහිතව සහ විරෝධාකල්පයකිනි. එය පුජා භූමි ආක්‍රමණය කිරිමක් හා පුරාවස්තු විනාශ කිරීමක් ලෙස චෝදනා එල්ල විය.

රාජ්‍ය බලය භාවිත කරමින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ක්‍රියාත්මක වු අතර තත් ප්‍රයත්නයන් නොතැකූ දේශීය ප්‍රජාව ද සමිතිසමාගම් හරහා සංවිධාන වී උරුම සංරක්ෂණයට පෙළඹෙන අයුරු දැකගත හැකිය. මෙය එක් අතකට පූජනීය ශුද්ධ අවකාශය එහි උරුමයේ අයිතිය මුල්කරගෙන දෙ පිරිසක් අතර ඇති වූ අරගලයකි. අටමස්ථාන කමිටුව ස්ථාපිත කිරීම බෞද්ධයින් දුටුවේ ශුද්ධ නුවර පැහැර ගැනීම උදෙසා දරන ලද ප්‍රයත්නයක් ලෙසිනි (හරිස්චන්ද්‍ර 2001:297). යටත්විජිත ආයතනමය ප්‍රවේශයට ප්‍රතිචාර ලෙස සංරක්ෂණ සමාගම් (Restoration Societies) හරහා දැවැන්ත ස්ථූප සංරක්ෂණයට පියවර ගනු ලැබීය. ඒ වන විට නටබුන්ව පැවති ජීවමාන සම්ප්‍රදාය එතෙක් නටඹුන් බව පිළගැනීමට අකමැති වූ දේශීයයන් විසින් දැක් වූ ප්‍රතිචාර තුළින් පෙනේ. “සිද්ධස්ථානවලට අදාළව පර්යේෂණාත්මක ගවේෂණ සඳහා ඉඩදිය හැක්කේ  බෞද්ධාගම මියගිය ආගමක් නම් පමණි” යැයි හරිශ්චන්ද්‍ර ලිවීය (හරිස්චන්ද්‍ර 2001:327). 19 වන සියවස අග භාගයේ සහ 20 වන සියවස මුල් භාගයේ මෙම දෙ පිරිසේ ක්‍රියාදාමයන් සිදු වූ අතර මිහින්තලය බෞද්ධ සංගමය, රුවන්වැලි සෑ දාගැබ් සංරක්ෂණ සමිතිය (හෙට්ටිආරච්චි 1990:59) ඉන් කීපයකි. ඉන් අනතුරුව එළඹෙන සියවසේ උරුම සංරක්ෂණයේ දිශානතිය කෙරෙහි ඒවායින් සිදු කරන ලද බලපෑම ඉතා වැදගත් වේ.

ක්‍රිස්තු වර්ෂ 1900 යටත්විජිත පාලකයින් විසින් රාජකීය ආයතනික සමාගමේ (Royal Asiatic Society) ඕටෙල් (Oertel) වැනි වාස්තු විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් හරහා සැලසුම් සහගතව ආගමික අවශ්‍යතාවට උචිත ලෙස ප්‍රතිසංස්කරණයට පෙළඹිණ. එහි දී සැලකිය යුතු කරුණක් වූයේ ඔවුන් විසින් එය භාවිත කරන බෞද්ධයින්ගේ අවශ්‍යතා සඳහා එහි බාහිර පෙනුම හැකිතාක් සමීප වන ලෙස ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම ය (Oertel 1903:9). එය සමකාලීන බෞද්ධයින්ගේ අවශ්‍යතාවට ගරු කිරීමකි. එහෙත් එම ව්‍යාපෘතිය කිසිදා නිම වූ බවක් නොපෙනේ. මෙම ක්‍රියාදාමයට සමගාමීව ප්‍රතිසංස්කරණ සමාගම් හරහා සිය කටයුතු කරගෙන ගිය දේශීය ප්‍රජාවගේ ප්‍රතිසංස්කරණ යටත්විජිත පුරාවිද්‍යා බලධාරීන් වූ බෙල් වැන්නවුන්ගේ විවේචනයට ලක්විය. ඒ කිසිදු විවේචනයකින් හෝ තත් ක්‍රියා පාලනය කළ නොහැකි වූයෙන් 1911 වන විට ථූපාරාමයත්, 1930 ගණන් වන විට රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණත් බෞද්ධ ප්‍රජාව විසින් නිමවා තිබුණි (Wijesuriya 1993:33). එම ප්‍රතිසංස්කරණ යටත්විජිත පාලකයින් ලේබල් කළේ ‘විනාශයන්’ (Vandalism) ලෙසිනි. උක්ත ප්‍රතිසංස්කරණ මැදිහත්වීම ඔවුන් හැඳින්වූයේ ශ්‍රද්ධාවෙන් මුසපත් වූ අවිද්‍යාත්මක, කලාත්මක රුචිකත්වයක් නොමැති විනාශකාරීන්ගේ ක්‍රියාදාමයක් ලෙස ය. මේ කාලය තුළ ප්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරයක් යටත් විජිත රජය ගෙන ගිය අතර ඒ හේතුවෙන් පුරාවිද්‍යා අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා අතර ගැටුමක් ඇති විය (ප්‍රනානාදු 1990:99).

මේ සම්බන්ධයෙන් 1930 දී රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රි ලංකා ශාඛාව අමතමින් ‘LA Ecole Franchise de Extreme Orient’ ආයතනයේ ප්‍රකට පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය ගොලබියු (Goloubew) කරන ප්‍රකාශය උක්ත ප්‍රතිසංස්කරණ පිළිබඳව යටත්විජිත විද්වතුන්ගේ ආකල්පය මනාව ප්‍රකට කරයි (ASCAR 1931). මෙම විවේචනයක් ජෝන් රස්කින් (John Ruskin) සහ විලියම් මොරිස් (William Morris) වැනි බටහිර ආන්තික වාස්තු විද්‍යා සංරක්ෂණවාදින්ගේ මතවාදයන්හි එල්බ ගත් බටහිර පාලකයින්ගේ දෘෂ්ටිකෝණයයි. විවේචනය ඉතා දැඩි වූයේ බටහිර සංරක්ෂණවාදී මිනුම් දඬු, සංකල්ප සහ ක්‍රමවේද සහිත ආකෘතියක් තුළට පෙරදිග සංරක්ෂණ ප්‍රවේශයන් බලහත්කාරයෙන් ඇතුළු කිරිමට යාමේ සාවද්‍ය ප්‍රවේශය සහ ක්‍රමවේදය නිසා විය හැකිය. එසේ ම සම කාලීන බටහිර සංරක්ෂණ දෘෂ්ටිකෝණයේ අවශ්‍යතා සඳහා පෙරදිග රටක ජීවමාන ආගමික අවශ්‍යතා අවබෝධ කරගැනීමට නොහැකි වීම මේ තුළින් විද්‍යමාන කෙරේ. සංරක්ෂණ වෘත්තිකයින්ට උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් වර්තමානය වන තුරුත් විසඳා ගත නොහැකි අර්බුධයක ප්‍රභවය මෙහි දී හඳුනාගත හැකිය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඇගයීම් සහිත බටහිර ද්‍රව්‍යාත්මක තථ්‍යතාව (Material Authenticity) පදනම් කරගත් සංරක්ෂණ විද්‍යාවේ අවශ්‍යතාත්, දේශීය ජීවමාන බෞද්ධාගමේ අවශ්‍යතාත් තුලනය කිරීමට යාම තුළ මුහුණ දුන් ගැටලුවයි.

මේ වනවිට හෝකාට්ගේ නායකත්වයෙන් (1922-26) ස්ථාවර නියෝග ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බටහිර මූලධර්ම මත පදනම්ව ස්මාරක සංරක්ෂණ මෙහෙයුම් නිර්ණායක (Guideline for consolidation of monument’s) ද ස්ථාපිත කර තිබුණි (Wijesuriya 1993:16).

මෙහි දී අප විසින් නැඟිය යුතු සාධාරණ ප්‍රශ්නයක් නම් උරුමයේ භාරකරුවෝ කවරහු ද? උරුමයේ ප්‍රතිසංස්කරණය කා සඳහා ද? යන්නයි. බෞද්ධ ප්‍රජාවගේ සැදුම් ලත් ප්‍රතිසංස්කරණ ප්‍රජාවගේ ආගමික අවශ්‍යතා සඳහා විය යුතුය යන දැඩි මතයේ සිට ක්‍රියා කළ බව පෙනේ.

උක්ත පසුබිම තුළ යටත්විජිත පාලකයින් නෛතික ක්‍රියාමාර්ග තුළින් සිය අයිතිය සහ භාරකාරත්වය භාවිත කර උක්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් පාලනයට අදහස් කළේ ය. නව නීතියක ප්‍රභවය මේ අයුරින් ප්‍රතිසංස්කරණ පදනම් කර ගනිමින් ප්‍රභවය වූ බව පෙනේ. ඒ වනවිට පැවති 1890 පුරාවස්තු ආඥා පනත (Antiquities Ordinance of 1890) තත් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන්ට එරෙහිව මැදිහත් විම සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් ඉන්දියානු ආකාතියේ නෛතික පනතක අවශ්‍යතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කර ඇත (ASCAR 1933). මේ සඳහා නෛතික අවශ්‍යතාව එවකට අභ්‍යන්තර කටයුතු සහඅධ්‍යාපන ඇමතිගේ අවධානයට යොමුකර ඒ සඳහා ක්‍රියාත්මක වීමට කමිටු පත් කිරීමක් ද සිදු කළ බව සඳහන් වේ (එම). මෙහි අවසන් ඵලය  වූයේ පුද්ගලික අයිතිය සහ කිරීටය සතු භූමියන්හි පවත්නා ස්මාරක ප්‍රතිසංස්කරණ පාලනය කිරීම අරමුණු කර ස්ථාපිත කළ 1940 පුරාවස්තු ආඥා පනතේ ප්‍රභවයයි (ASCAR 1940-49).

දේශීය සන්දර්භයක් තුළ බටහිර පදනමීය රාමුවේ වලංගුභාවය මෙහි දී දේශීයයන් විසින් ප්‍රශ්න කරන ලදී. මෙය දේශීය සංයුක්ත ප්‍රතිපත්තියකට වඩා වියුක්ත ප්‍රතිපත්තියකි. එහෙත් මෙම ක්‍රියාදාමයන් තත්කාලීන දේශීය බෞද්ධ ප්‍රජා අවශ්‍යතා ස්පර්ශ කිරීමකට වඩා වෘත්තිකයන් අවශ්‍යතා ඉටු කිරිම අරමුණු කර ගත් විට ජනතාවගේ ප්‍රතික්ෂේප වීම දැකගත හැකිය. මෙහි දී පුරාවිද්‍යා දෙපාර්මේන්තුව බෙල්, අයර්ටන්, හෝකාට් වැන්නවුන්ගේ ප්‍රධානත්වයෙන් වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් විධිමත් ගවේෂණ, කැනීම් සහ සංරක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී අතර ප්‍රතිසංස්කරණ සඳහා යොමු නොවී ය (Wijesuriya 1993:16-17). මේ අවස්ථාව වන විට උරුමය එහි ප්‍රජාව අතර පැවති සබඳතාව අතීතයට සාපේක්ෂව තරමක් දුර්වලව තිබූ නමුත් ජාතික ව්‍යාපාර, ආගමික පුනරුද හරහා එය නැවතත් ශක්තිමත් වෙමින් පැවතිණ. මේ අවස්ථාවේ ප්‍රජාව සහ උරුමය අතර සබඳතාවට විදේශීය වෘත්තිකයින් ආදේශ කරන ලදී. ප්‍රජාව සහ උරුමය අතර සබඳතාව ශක්තිමත් කිරීමට නොහැකි වූ දේශියයන්ට ඔවුන්ගේ බටහිර මූලධර්ම පදනමීය විද්‍යාත්මක සංරක්ෂණ ආගන්තුක වූවක් විය.

1940 දී පුරාවස්තු ආඥා පනත ස්ථාපිත කිරීමක් සමඟ එතෙක් විදේශීය වෘත්තිකයින් අත පැවති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපතීත්වය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයකු අතට පත්වන්නේ සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් වීමත් සමඟ ය. විදේශිය වෘත්තිකයින් හරහා තමන්ට ඉටු කර ගත නොහැකි වූ දෙය දේශීය වෘත්තීමය නායකත්වයක් හරහා ඉටු කර ගැනීමට යටත් විජිත පාලනයේ අවසන් භාගයේ අපේක්ෂා කළා විය හැකිය. ඔහුගේ සංරක්ෂණ ප්‍රතිපත්ති දෙස බලන කල එය බටහිර සංරක්ෂණ විද්‍යාවේ මූලධර්ම මත ක්‍රියාත්මක වූවක් බව පැහැදිලිය. අර්ථකථනයට මුල් තැනක් දුන් ඔහු පුරාවිද්‍යා උරුමය රැක ගැනී‍මේ කිසියම් උරුම වස්තුවක පෞරාණිකත්වය විනාශවන නවීකරණ කටයුතු සම්බන්ධ කර එහි පැරණි ආකෘතිය වෙනස් නොකළ යුතුය යන්න මූලධර්මයක් ලෙස අනුගමනය කළේ ය. මොහුගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් යාපහු නගරය, නිල්ලග්ගම බෝධිඝරය, මැදිරිගිරි, වටදා ගෙය, රන්මසු උයන, කූට්ටම් පොකුණ, අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය නගර තුළ සිදු කළ සංරක්ෂණ කටයුතුවලින් මනාව ප්‍රකට වේ. ප්‍රනාන්දු (1990) සඳහන් කරන පරිදි,

“පරණවිතාන මහතාගේ කාලයේ තැහැවිරීම් කරන ලද්දේ කිසිම අලුත්වැඩියාවක් නොකරන ලද සේ පෙනීමට සහ එහි ඇත්තේ මුලින් තිබූ කර්මාන්තය යැ යි යන හැඟීම දීමට ය” (ප්‍රනාන්දු 1990:100).

පශ්චාත් යටත් විජිත අවධිය

1948 දී යටත් විජිත පාලනයෙන් නිදහස ලැබුව ද යටත් විජිත සංරක්ෂණ ප්‍රවේශයන්ගෙන් මිඳීමට දේශීය වෘත්තිකයන්ට නොහැකි විය. එයට හේතුව බටහිර අධ්‍යාපනය හරහා ශික්ෂණය පුහුණු කළ දේශිය වෘත්තිකයින් විසින් ම තත් කටයුතු මෙහෙය වීමය. විජේසූරිය (1993:18) වර්ගීකරණය කරන පරිදි පුරාවිද්‍යා ඉතිහාසයේ දෙ වන අර්කථනාත්මක අවධියක් ලෙස හඳුනාගන්නා වූ 1960–1990 කාල පරාසය මෙම පර්යේෂණයට බඳුන්වන ජගත් උරුම නගර දෙක සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් වේ. වර්තමානයේ මුහුණ දෙන්නා වූ උරුම සංරක්ෂණයේ අර්බුදය මෙම කාල සීමාව දක්වා කෙසේ පැමිණියේ ද යන්න වටහා ගැනිම වැදගත් වේ. පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ඇතිවන සමාජ, දේශපාලනික වාතාවරණය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ජනතා අවශ්‍යතා සඳහා තවදුරටත් පිටුපා සිටිය නොහැකි විය. යටත්විජිත අවධිය තුළ දේශීය උරුමය විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අතර ඉන් මිදුණු පසු ජනතාවගේ පිඩනය විසින් ජනතාවගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සම්ප්‍රදායික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් සඳහා බල කෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නායකත්වය 1957 දී ගොඩකුඹුරේ බාරගත් අතර ඒ වන විට ඔහුගේ ආකල්ප සහ ප්‍රතිපත්ති බොහෝ දුරට ජනතා අවශ්‍යතා ඉටු කිරීම කෙරෙහි යොමු වී තිබුණි.

“අප රටේ පැරණි ස්ථාන බොහොමයක් මහජනතාවගෙන් වැඩි කොටසක ආගම හා බැඳී පවතින හෙයින් ඒ පිළිබඳ පුරාවිද්‍යා කටයුතු කිරීමේ දී විද්‍යාවේ පමණක් නොව ආගමේ ද අවශ්‍යතාව සිහි තබගෙන කටයුතු කළ යුතු වෙනවා ය” (ASCAR 1961/62:233).

උක්ත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විද්‍යාවේ අවශ්‍යතා සහ ආගමේ අවශ්‍යතා තුලනය අවශ්‍යතාවයි. අනාගතයේ එම ප්‍රතිපත්ති ක්‍රියාක්මක වනු දැක්මේ අපේක්ෂාවෙන් ගොඩකුඹුරේ පසු වූ බව පෙනේ.

උක්ත ප්‍රතිපත්ති තුළ පුරාවිද්‍යා දෙපාර්මේන්තුව ස්මාරක ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිසංස්කරණ පාලනය කිරීමේ අරමුණින් නිර්මිත නෛතික රාමුව තුළ සිට ම ප්‍රවේශ වීම දැක ගත හැකිය. මෙය ජනතා/ප්‍රජා අවශ්‍යතා වෙනුවෙන් නීතිය නම්‍යශීලී කර ගැනීමකි. මෙම අවස්ථාව ‘උරුමය සහ ප්‍රජාව සඳහා ය’ යන ප්‍රතිපත්තිය ප්‍රමුඛ වූ අවශ්‍යතාවක් ලෙස සඳහන් කළ හැකිය. මේ අවධියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වෘත්තිකයින්, එසේම ආගමික බලධාරීන් සහ උපදේශක මණ්ඩලය හරහා ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසුණු අතර එම සැලසුම්වල ප්‍රධාන අරමුණ වූයේ තත් ආගමික ස්ථාන විශේෂයෙන් ම ස්තූපවල ආගමික වැදගත්කම සහ උපයෝගීතාවේ අගයයි (Wijesundara 2005:41). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුගමනය කළ මෙම සංස්කෘතික අගය පදනම සහ උපයෝගීතා පදනම යටත් විජිත සහ බටහිර පදනමීය සම්ප්‍රදාය යම් ප්‍රමාණයකට වියුක්ත කිරීමෙහි ලා සමත් විය. මෙය යම් ප්‍රමාණයකට සම්ප්‍රදායික සංරක්ෂණ ඇගයීම් පදනම හා සංවේදී වීමකි. මෙම ප්‍රතිසංස්කරණයන්හි දී හුදෙක් ද්‍රව්‍යාත්මක ශේෂ ආරක්ෂා කිරීමට වඩා ඒවායේ පරිපූර්ණත්වය, හැඩය යළි උදා කිරීම තුළින් ඊට අනුබද්ධ සංකේතාත්මක අරුත පෙන්විමට ප්‍රයත්න දරන ලදී. මේ කර්තව්‍ය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වන විට පැවති නෛතික රාමුව තුළින් අවශ්‍යය පරිදි මූලධර්ම සකසා ගන්නා ලද අතර ඒ තුළ ද, බටහිර ප්‍රතිසංස්කරණ සංකල්පයේ මූල බීජ පදනම් වී ඇතත් එම මූලධර්ම ස්මාරක බද්ධ ජීවී ගුණය යළි පිබිදවීම සඳහා දිශානතියක් නිර්මාණය කර ඇති බව පෙනේ.

  • පුරාවිද්‍යා දත්ත සහ අදාල දත්ත සමඟ ප්‍රතිසංස්කරණ සැලසුම් සැකසීම
  • උපකල්පන පිළිගැනීම
  • සියලු මැදිහත්වීම් පිළිබඳ සවිස්තර වාර්තා තැබිම
  • අභ්‍යන්තර ආරක්ෂා කිරීම පිණිස මෑත කාලීනව ඓතිහාසික අවධිය තෝරා ගැනීම (ඇතැම් පූර්ව අවධි ප්‍රදර්ශනය)
  • තෝරාගත් පදනමකින් ස්තූප ප්‍රතිසංස්කරණය
  • සම කාලීන මුද්‍රාව සහිතව නව ද්‍රව‍්‍ය පැරණි ඒවායේ ප්‍රමානවලට අනුකූලව භාවිත කිරීම
  • පැරණි ද්‍රව්‍යවලට අවම හානියක් වන පරිදි කටයුතු කිරීම
  • නූතන ද්‍රවය සහ තාක්ෂණය භාවිතය දිරි ගැන්වීම (Wijesuriya 2005:41).

උක්ත මූලධර්ම පදනම්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රතිසංස්කරණ සඳහා කතරගම කිරිවෙහෙර, යටාල ස්තූපය, සඳගිරි ස්තූපය, දෙමටහල් විහාර ස්තූපය වැනි ස්තූප නිදසුන් ලෙස දැක්විය හැකිය (Wijesuriya 1993:45-56).

1970 සහ 80 දශක වන විට  ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා උරුම සංරක්ෂණ සම්බන්ධයෙන් වූ ස්ථාවරය ඒ අනුව බුදු දහම ජීවමාන ආගමක් වන හෙයින් එහි අඛණ්ඩත්වය තහවුරු වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම ය. වෘත්තිකයින් කාර්යභාරය ඒ සඳහා ක්‍රියා කිරීම ය.

1980 දශකය තුළ ජගත් උරුම සංකල්පය හරහා මධ්‍යම සංස්කෘතික අරමුදලත්, සංස්කෘතික ත්‍රිකෝණ ක්‍රියාවලියත් සන්දර්භගත කළ යුත්තේ උක්ත පසුබිම තුළ ය. පසුගිය දශකත්‍රය තුළ සංස්කෘතික ත්‍රිකෝණයේ ජගත් උරුමස්ථාන කෙතෙක් දුරට උක්ත අරමුණු මුදුන් කරවා ගැනීම උදෙසා ක්‍රියාකර තිබේද? යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ඒ අනුව සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය අහඹුවක් නොව කාලීන ජාතික, ආගමික අවශ්‍යතාවක් උදෙසා නිර්මාණය වූවක් බව පැහැදිලි ය. දේශීය උරුමස්ථාන සම්බන්ධ මෙම ජාතික ආගමික අවශ්‍යතාව සමකාලීන උරුමය, සංරක්ෂණ සංකල්ප, ගෝලීයකරණ චල්‍යතා හමුවේ හැසිරීම තුළ දේශීය උරුම සංරක්ෂණයේ දී දිශානතිය කෙතෙක් දුරට ප්‍රජා අවශ්‍යතා සහ යහසාධනය කෙරෙහි සංවේදී වී තිබේ ද? යන්න විමසා බැලිය යුතු ය. දේශීය සන්දර් භය තුළ උරුම සංරක්ෂණ ක්‍රමවේදයන්හී අර්බුදයක් නැතැයි කිව නොහැකිය. යටත්විජිත පාලන ක්‍රමය ඒ රටවලට අහිමි වූ විට ඔවුන් විසින් තත් රාජ්‍ය ඔවුනගේ ක්‍රමය තුළ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන්නට විය. සංචාරක ව්‍යාපාරය තුළ සත්කාරක ආගන්තුක සබඳතාව, යැපීම් සබඳතාව, සූරා කෑම සංකල්පමය ආධිපත්‍ය විමසා බලන විට ඒ බව පැහැදිලි ය.

1970 දශකයේ සිට සංචාරක ව්‍යාපාරය නව අධිරාජ්‍යවාදයක් (New form of Imperialism) ලෙස විද්වතුන් අතර සාකච්ඡා විය (Turner and Nash 1975:Nash 1977). එසේම රොබ්න්සන් (Robins 1997) විස්තර කරන පරිදි ගෝලීයකරණය සමඟ ජාතික රාජ්‍යයන්හි හා ප්‍රජාව සතුව පැවති විවිධ සීමා සහ ව්‍යුහයන් යම් ආකාරයකට දියවීමකට ලක් විය. එබැවින් ජගත් උරුමය, ජාත්‍යන්තර ප්‍රඥප්ති මෙන් ම පදනමීය සංරක්ෂණ සංකල්පය තුළ පවත්නා දේශපාලනය කෙරෙහි ද, අපගේ අවධානය යොමු කළ යුතු වේ.

අසහාය නායකත්වයෙන් දේශීය චින්තනය, බෞද්ධ අනන්‍යතාව (Sinhalease–Buddhist Identity) වැනි ප්‍රවණතා තුළ සංස්කෘතික උරුමයන්ට විශේෂත්වයක් හිමි ය. 1956 දී සිදු වූ දෙ දහස් පන්සිය වැනි බුද්ධ ජයන්තිය අනුස්මරණය වැනි සිදුවීම් හරහා සිංහල-බෞද්ධ ජාතිකවාදය (Sinhalease–Buddhist nationalism) වර්ධනයට මඟ පෑදුණි. මීට සමගාමීව පූජනීය ස්මාරක ප්‍රතිසංස්කරණය, සිංහල අනන්‍යතාව ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස සලකන ලදී.

පශ්චාද් යටත් විජිත යුගයේ ආරම්භයේ දී එනම් 1948–1956 කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ පාලනයට පත් වූ දේශපාලන නායකත්වයන් බ්‍රිතාන්‍යය අධ්‍යාපනයෙන්, ක්‍රිස්තියානි ආගමෙන් ලද ආභාසයන් හරහා අගයන්ගෙන්, ආකල්පයන්ගෙන් සහ දැක්මෙන් බටහිරකරණයට ලක් වූවන් වේ. එහෙයින් 1948–1956 කාල පරාසය හුදෙක් යටත් විජිත ශ්‍රී විභූතිය (Legacy) අඛණ්ඩව ගෙන ගිය අවධියක් ලෙස හඳුන්වා දෙනු ලැබේ (Brechert 1978; Singer 1964; Ponnambalam 1980). මෙම කාලය තුළ දේශපාලඥයින් වූ ඩී.එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල වැන්නන් එවකට මතුවෙමින් පැවති සිංහල බෞද්ධ මතවාදයන්ට දැක් වූ අශුභවාදී, අහිතකර ප්‍රතිචාර හේතුවෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට සිංහල බෞද්ධ ජාතිවාදය සඳහා අවකාශයක් නිර්මාණය විය. නිදහස් රාජ්‍ය තුළින් සිංහල බෞද්ධ අනන්‍යතා සහ සංස්කෘතික අපේක්ෂාවෙන් සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වතැයි බලාපොරොත්තු වූව ද එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දේශීය ආහාර නිෂ්පාදනයත්, ස්වයංපෝෂිත බවක්, අපේක්ෂාවෙන් නිදහස් ආර්ථික ජාතිකවාදයක් විශ්වාස කරමින් කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ පශ්චාද් යටත් විජිත රාජ්‍යය නූතන බටහිර ආකෘතියේ උරුම සංරක්ෂණ සහ කළමනාකරණ ආකෘතියට සමගාමීව දේශීය උරුම සංරක්ෂණ ක්‍රමවේදයන් මෙහෙයවීමේදී තීරණාත්මක පිළිවෙතක් අනුගමනය කර ඇති බව පෙනේ. දේශීය සම්ප්‍රදායන්ට ගරු කරමින්, එය ප්‍රතිනිර්මාණයට මූලිකත්වය දෙමින් කටයුතු කිරීම රාජ්‍යයේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක සාධකයක් විය. නිදහසයට පෙර එනම් යටත් විජිත යුගයේ පාලකයා විදේශීය යුරෝපීය ජාතිකයන් වූ අතර පාලිතයා දේශීය ප්‍රජාව විය. නිදහසින් පසු උක්ත දෙපාර්ශවය ම නියෝජනය කළේ ශ්‍රී ලාංකේය ප්‍රජාවයි. කෙසේ වෙතත් 1948න් පසුව යටත්විජිත යුරෝපීය පාලකයින්ගේ බලය විතැන් වූයේ යටත් විජිතකරණයට පත් වූ ප්‍රභූ පැළැන්තියට ය. මේ නිසා ම නව රාජ්‍යයට ජාත්‍යන්තර දේශපාලනික සහ ආර්ථික ප්‍රවණතාවන්ට ප්‍රතිරෝධයක් එල්ල කිරීමට නොහැකි විය (Hennayake 2006). එසේ ම ඔවුනගේ දේශීය ප්‍රජා අවශ්‍යතාවක් වූ දේශීය අනන්‍යතාව, අතීත ශ්‍රී විභූතිය සහ ආගමික අගයන් ප්‍රතිනිර්මාණයට බැඳී සිටියේ ය. උරුම සංරක්ෂණය පිළිබඳ දේශීය අදහස් ක්‍රියාවට නැගීම තුළ, දේශපාලන වටිනාකමක් පවත්නා බව දේශපාලන ප්‍රභූන් විසින් අවබෝධ කරගනු ලැබ තිබුණි. මේ අනුව පශ්චාද් යටත් විජිත ලංකාවේද පාලකයා හා පාලිතයා අතර සබඳතාව දේශපාලන සහ සංස්කෘතික සංවේදීත්වය අතර සබඳතාවක් ජනිත කළේ ය. මේ අනුව සංස්කෘතිකමය කාරණයක් වූ දේශීය උරුමය පිළිබඳ ආඛ්‍යානය පශ්චාද් යටත් විජිත ශ්‍රි ලංකාවේ අතිශයින් වැදගත් වූ දේශපාලනමය කාරණයක් වි ය. විශේෂයෙන් එක්දහස් නවසිය පනස් හයේ සිදු වූ දේශපාලන වෙනසක් සමඟ දේශීය අදහස් ප්‍රවර්ධනය කිරීම දේශපාලමය වශයෙන් වැදගත් වී ය. මෙහි දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ මෙකී පසුබිම තුළ පැවති රජයට සිංහල බෞද්ධ විරෝධයක් එල්ල වීය. මෙය පැරණි සංස්කෘතික අගයන්, අනන්‍යතාවන් පදනම් කරගත් සමාජය ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජයට එරෙහි අරගලයක් වීය. මේ තත්වය උදාවන්නේ එවක රජයේ දේශපාලන නායකත්වයට ප්‍රජාව අපේක්ෂා කළ දේ ඉටු කරමින් නිදහස අර්ථවත් කිරීමට නොහැකිවීම හේතු කොට ගෙනය.

එක් දහස් නවසිය පනස් හයේ බණ්ඩාරනායක ආගමනය එතෙක් අඛණ්ඩව පැමිණි යටත්විජිත සංස්කාථකය මඟින් අවතකසේරු කළ පශ්චාද් යටත් විජිත අනන්‍යතාව යළි ස්ථාපනය කිරීමේ දැවැන්ත ඓතිහාසික ව්‍යාප්තියක් මෙන්ම සමාජ පරිවර්ථන රැසකට ද හේතු වීය. 1956 මෙම වෙනසක් සමඟ ප්‍රථම නිදහස් ව්‍යාපාරයක් වූ සිංහල බෞද්ධ විඥානය ඉතා ශක්තිමත් ආඛ්‍යානයක් බවට පත් වෙමින් නව සමාජ රටාවකට පදනම සකස් කළේ ය.  සිංහල බෞද්ධ ජන පදනම ජන බලවේගයවක් වූ බැවින් ඔවුනගේ ද්‍රව්‍යාත්මක, සංස්කෘතික මෙන්ම මතවාදාත්මක අවශ්‍යතා ඉටු කිරීමට යොමු විය. මෙම ක්‍රියාදාමයන් හරහා අතීතය සහ වර්තමානය අතර සබඳතාව නිර් මාණය විය. එය අතීත ශ්‍රී විභූතිය වර්තමානය සඳහා ගැළපීමක් විය.

විවෘත අර්ථික ක්‍රමය තුළ උරුමයක් උපයෝගී කර ගනිමින් සංචාරක ව්‍යාපාරය මඟන් සංවර්ධනය ලඟා කර ගත හැකිය යන ආර්ථිකමය සාධාරණීකරණ ද, හඳුන්වා දුනි. මෙම සංචාරක ව්‍යාපාරය තුළින් අතීත ශ්‍රී විභූතියේ නෂ්ටාවශේෂ ප්‍රතිනිර්මාණය හරහා සංවර්ධනයත් මුදුන් පමණුවා ගත හැකි ය යන ජනතාවට පසක් කර දීමට ප්‍රයත්නය දරන ලදී. එම සාධාරණීකරණය හරහා ගෝලීයකරණ ක්‍රියාදාමයේ මෙන් ම නව යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් වන ජගත් උරුම සංකල්පය උරුම සංචාරණය වැනි ක්‍රියාදාමයන් ද ග්‍රාමීය ජන මනසට අභ්‍යන්තරීකරණය සූක්ෂ්මව සිදු කරන ලදී.

දේශීයත්වයට නැඹුරු වූ සංවර්ධන ප්‍රතිපත්ති, සැලසුම් සහ ව්‍යාපෘති 1977න් පසු ඉතා විප්ලවකාරී ආර්ථික වෙනස්කම් සිදු වූ විට දී පවා දැකගත හැකිය. 1977න් පසු රජයන් දේශීයත්වයට සමීප වීම, ඒ අනුව කටයුතු කිරීම, එය සංරක්ෂණයට පෙළඹීම හඳුනා ගත හැකි ය. මෙය හුදෙක්,

  • නිදහස් ආර්ථික ප්‍රතිපත්ති සාධාරණීකරණය
  • දේශපාලන ආධිපත්‍ය තහවුරු කර ගැනීම
  • ධනවාදී අර්ථ ක්‍රමය ග්‍රාමීය ජන විඥානයේ අභ්‍යන්තරීකරණය කිරීම
  • ගෝලීයකරණ නව යටත්විජිතවාදී සංකල්ප ජන විඥානයට සාධාරණීකරණය කිරීම

වැනි දේශපාලන පරමාර්ථ උදෙසා භාවිත කරන ලදී. අතීත ශ්‍රී විභූති යළි ස්මරණය කරමින් වප් මඟුල වැනි කෘෂිකාර්මික උත්සව සැපරීම, සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය හරහා ඓතිහාසික නගර සංරක්ෂණයට සහ ප්‍රතිසංස්කරණයට කටයුතු කිරීම සිදු විය.

සංවර්ධනය සඳහා සංස්කෘතික උරුමයන් විශිෂ්ට අයුරින් සම්බන්ධ කිරීම 1977න් පසු කාලය තුළ දැකගත හැකි ය. සංවර්ධන ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව බටහිර ධනවාදී සංකල්ප මත පදනම් වන විට එම සංවර්ධනයේ අවසන් පරමාර්ථය අතීත ශ්‍රී විභූතිය නැවත උදා කිරීම බව පෙන්වා ඒත්තු ගන්වන ලද්දේ ය.

ඓතිහාසික වශයෙන් තීරණාත්මක ව්‍යුහාත්මක ආර්ථික පරිවර්ථනයක් වූ විවෘත ආර්ථික ප්‍රවේශය ක්‍රියාවට නැඟීමේ දී දේශපාලන නායකත්වයේ බල අධිකාරිය සාධාරණිකරණය කරමින් ඒ හරහා ප්‍රජා මනසට ධනවාදී/අධිරාජ්‍යවාදී සංවර්ධන ප්‍රවේශ අභ්‍යන්තරීකරණය කළ යුතු විය. ඒ අරමුණ සහිතව උපාය මාර් ගිකව සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘතීන්ට නිදසුනක් ලෙස ආගමික ස්ථාන බද්ධ චාරිත්‍රවාරිත්‍ර පෙර සිරිත් පුනර්ජීවනය උදෙසා උරුම ක්ෂේත්‍ර සංරක්ෂණය සහ සංවර්ධනය සංස්කෘතික ත්‍රිකෝණය සහ පූජා නගර සංවර්ධනය හරහා කටයුතු කිරීම පෙන්වා දීමට පුළුවන. එම ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලාංකේය ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් සම්බන්ධයෙන් අග්‍රගණය ක්ෂේත්‍රයන් ය. ශ්‍රී ලාංකේය ජන දිවියේ ආගමික සිරිත්විරිත් සහ නෛසර්ගිකව බද්ධ වූ ක්ෂේත්‍රයන් (අනුරාධපුර, පොළන්නරුව, මහනුවර) සංරක්ෂණය සහ සංවර්ධන ජන මනසේ අවධානය ආකර්ෂණය කර ගැනමට සමත් විය. මේ හා බද්ධ වූ සංස්කෘතික දේශපාලනය (Cultural Politics) තුළ දේශපාලන චරිත සහ ආයතන සංස්කෘතික සම්පත් පදනම් කරගනිමින් ක්‍රියාත්මක විය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 ඔහුගේ පළමු පාර්ලිමේන්තු ආමන්ත්‍රණයේ දී ම ධර්මිෂ්ඨ සමාජය ප්‍රකාශයට පත් කළේ ය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ‘ධර්මිෂ්ඨ සමාජය‘ (a righteous society) ප්‍රකාශයට පත් කිරීම ධර්මය පදනම් කරගත් සමාජයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් අතර ඒ සඳහා ආගමික සිරිත්විරිත් වැදගත් වන හෙයින් ආගමික ක්ෂේත්‍ර සංරක්ෂණය කර ඒ සඳහා භෞතික අවකාශයක් රටමැද නිර්මාණය කිරීමක් ලෙස සංස්කෘතික ත්‍රිකෝණය සන්දර්භගත කළ හැකිය. එය ධර්මිෂ්ට සමාජයක් ස්ථාපිත කිරීමේ දීර්ඝ කාලීන ක්‍රියාවලිය අර්ථවත් කිරිමක් ද විය. අතීත රාජ්‍ය පාලන සහ ආගමික මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය හරහා ප්‍රජා සංස්කෘතික සංවේදීත්වය දේශපාලන නායකත්වය වෙත යොමු වීය.

ධර්මිෂ්ඨ සමාජ සංකල්පය හරහා ධර්මය පදනම් කරගත් සිරිත්විරිත්වලින් සමන්විත පිරිසිදු රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කර ගැණුනි. ජනාධිපතිවරයා බුදු දහමේ ආරක්ෂකයා ලෙස ප්‍රකාශ කර ගන්නා ලද අතර ඒ හරහා පැරණි ශ්‍රී ලංකාවේ පාලකයා සහ බුදු දහම අතර වූ සබඳතාව යළි ස්ථාපිත කළේ ය. ජනාධිපතිවරයාගේ ලාංඡනය ධර්ම චක්‍රය වූ අතර පළමු වරට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් ද ස්ථාපිත කළේ ය. එසේ ම බුදු දහමට ව්‍යවස්ථා තුළ නිසි තැන ලබා දෙන ලදී.

අධිරාජ්‍යවාදී නවීකරණ චින්තනය සහ අතීත ශ්‍රී විභූතිය ප්‍රතිනිර්මාණය කිරීම එක්තරා ආකාරයකට බැලූබැල්මට විඝටනාත්මක සේ පෙනුණ ද, එය ශ්‍රී ලාංකේය සන්දර්භය 1977න් පසු දේශීය උරුම සංරක්ෂණය සහ බටහිර උරුම සංරක්ෂණය අතර පවත්නා සීමාවන් යම් ආකාරයකට සම්මිශ්‍රණය, සංස්කෘතික/උරුම සංචාරක ව්‍යාපාරය සහ ජගත් උරුම සංකල්පය හරහා සාධාරණීකරණය කරන ලදී. බටහිර තථ්‍යතා සංකල්පය පදනම් කරගත් ද්‍රව්‍යාත්මක සංරක්ෂණ ප්‍රවේශයත්, දේශීය ජීවමාන උරුම සංරක්ෂණයත් අතර සුසංයෝගයක් සහ තුලනයක් මුදුන් පමුණුවා ගැනීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘති දියත් විය. මෙම ප්‍රවේශය සංස්කෘතික විවේචනයක් සඳහා වන අවකාශය අවම කිරීමට සමත් විය.

සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය හරහා ඓතිහාසික, සංස්කෘතික සම්ප්‍රදායික සිංහලයින්ගේ හදවත බඳු කලාපය (Traditional Heartland) නූතන පෘථූල ව්‍යාපෘතියක් ලෙස සංකල්පගත කළ හැකිය. සංස්කෘතික සම්ප්‍රදාය, දේශපාලන සහ සංවර්ධනය ආදී සංකල්පයන් මෙම ත්‍රිකෝණ සංකල්පය තුළ ගැබ්ව ඇත. ඇතැම්හු මෙය සිංහල බෞද්ධ ජාතිවාදී කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වීමට පෙළඹුණි.

1977න් පසු බිහිවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා, 1982න් පසුව ශ්‍රී ලංකා ජනාධිපති වූ ආර්. ප්‍රේමදාසගේ ජනතාවාදී දර්ශනය මත සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති තුළ දක්නට ලැබුණු සංස්කෘතික දේශපාලනයේ විශේෂ මුහුණුවරක් ගත්තේ ය. ගම ගොඩනැඟීම මඟින් රට ගොඩනැඟීමේ තේමාව තුළ සිට ප්‍රජා සංවර්ධන කටයුතු මෙහෙයවීම සමකාලීන විප්ලවීය, මතවාදාත්මක වෙනසක් උදා කළ අතර ගම්උදා ව්‍යාපාරය තුළින් මෙම දැක්ම මනාව පිළිබිඹු විය (Hennayake 2006:133). මෙම ගම් උදා සංකල්පය තුළ ප්‍රාදේශීය සංස්කෘතික උරුම සංරක්ෂණයට ද ප්‍රමුඛතාවක් හිිමිවීම අපගේ අවධානයට ලක්විය යුතු ය. ගම් උදාව ව්‍යාපෘතිය තුළ ආයෝජනය කළ ව්‍යාපෘති අතර ආගමික සහ සංස්කෘතික වැඩසටහන් ප්‍රමාණ ද සැලකිය යුතු අගයක් ගනී (එම:142). උදා ගම් ව්‍යාපාරය පිළිබඳ ලියැවුණු ගීත රචනා විශ්ලේෂණයක යෙදෙන හෙන්නායක (එම:140) ඒවා මඟින් සාමාන්‍ය ප්‍රජාවට සන්නිවේදනය කිරීමට තැත් කළ පණිවිඩයක් නම් නූතන ධනවාදී සංවර්ධනය තුළ අතීත ශ්‍රී විභූතිය සහ සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව බව කියයි. සෑම ගම් උදා භූමියකම අතීත සිංහල බෞද්ධ අනන්‍යතාව සහ උරුමය සිහිගන්වන ඉදිකිරීම් සඳහා ප්‍රමුඛත්වයක් හිමි විය. ඒ මඟින් අතීත පාලකයින් සහ අතීත උරුමය අතර වූ සබඳතාව නූතන පාලකයින් ද අඛණ්ඩව පවත්වාගෙන යන බව ජන මනසට සූක්ෂ්මව සන්නිවේදනය කරමින් දේශපාලන බලය තහවුරු කර ගැනීම උපක්‍රමයක් විය (එම:145). කර් ට්සර් (kertzer 1988:9-10) සඳහන් කරන පරිදි ගම් උදාව අතීතය සහ වර්තමානය යා කරන ප්‍රතිඵලදායි සංවර්ධන ව්‍යාපෘතියකි. සිංහල බෞද්ධ  සංස්කෘතික අනන්‍යතාව සම්බන්ධයෙන් ගත් කළ එය සංරක්ෂණවාදී වන අතර නූතන සංවර්ධනාත්මක දෘෂ්ටිකෝණයෙන් නිර්මාණාත්මකය. ගම් උදාව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී හමු වු ස්ථාන ආරක්ෂා කිරීම සහ ගම් උදාවට අදාළ ප්‍රදේශයේ උරුමය නඟා සිටුවීමට කටයුතු කිරීම මෙම ව්‍යාපාරයෙන් ඉටුවිය. නිදසුන් ලෙස පෙන්වා දෙන්නේ නම් හිඟුරක්ගොඩ ගම් උදා භූමිය තුළ පොළොන්නරු යුගයට අයත් සෙල්ලිපි සහ ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම, බුත්තල ගම් උදාව ක්‍රියාත්මක කිරීමේ දී තදාශ්‍රිත මාලිඟාවිල, දඹේගොඩ ආදී ස්ථානවල එතෙක් අතහැර දමන ලද කැඩී බිඳී ගිය දැවැන්ත බුදු පිළිමය සහ අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව සංරක්ෂණය කොට මහජනතාව වෙත ඉදිරිපත් කිරීම, තිස්සමහාරාම ගම් උදාව මඟින් සඳගිරි දා ගැබ සංරක්ෂණය, කඹුරුපිටිය ගම් උදාව මඟින් මාතර කොටුව සහ තදාශ්‍රිත ප්‍රදේශය සංරක්ෂණය කිරීම, මිහින්තලේ ගම් උදාව මඟින් මිහින්තලේ ඉන්දීය සාංචි ස්තූප අනුරුවක් සහ අනුරාධපුරය පූජා නගරයේ සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු රැසක් සිදු කිරීමට පියවර ගැනීම දැක්වීමට පුළුවන (ගුණවර්ධන 2005:164). දේශපාලන නායකත්වයේ අවශ්‍යතාව තේරුම් ගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයින්ට දශක කීපයක් ඉටුකර ගත නොහැකිව තිබූ උක්ත ක්‍රියාකාරකම් සිය වගකීමක් සේ සලකා ක්‍රියාවට නගනු ලැබීය. ඒ සඳහා අවශ්‍ය සම්පත් දේශපාලන මැදිහත්වීමකින් සපයා ගත නොහැකි විය (Wijesuriya 1993:8). කෙසේ වෙතත් උක්ත ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘතීන්ට පෙර පූර්ව හානි ඇගයුමක් සිදු වූ බව දක්නට නොලැබේ.

කාලය බලයේ සිටී දේශපාලන පක්ෂය ප්‍රතිපත්ති සහ ප්‍රධාන ව්‍යාපෘති
1977- 1994 එක්සත් ජාතික පක්ෂය
  • උරුමය ගෝලීයකරණය, ජගත්  උරුම සංකල්පය හරහා යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන
  • සංචාරක ව්‍යාපාරය හරහා උරුමය වාණිජකරණයට ලක් කිරීම
  • ගම් උදා සංකල්පය වැනි සංවර්ධන ව්‍යාපෘති සමඟ උරුමය බද්ධ කිරීම
  • බෞද්ධ උරුමය ව්‍යවස්ථාපිත සංරක්ෂණයට පියවර ගැනීම
  • පූජා නගර සැලසුම් හරහා උරුම ක්ෂේත්‍ර සංරක්ෂණය සහ සංවර්ධනය
  • ව්‍යවස්ථාපිත ආයතන ස්ථාපිත කිරීම, සංරක්ෂණ මූල්‍යමය අරමුණු කිරීම, ස.අ. ස්ථාපිත කිරීම, දේශපාලන බලය ස්ථාපිත කිරීම උදෙසා ව්‍යාපෘති සැලසුම් කිරීම
1994 එක්සත් ජනතා නිදහස් සන්ධානය
  • සංවර්ධන ව්‍යාපෘතීන්‍ගෙන් උරුමය ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දීම
  • ජාතික උරුමයන් සඳහා අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම
  • ‘උරුම අරුණ’ අරමුදලක් ස්ථාපිත කිරීම

පශ්වාද් යටත්විජිත (Post  Colonial) ශ්‍රී ලංකා සමාජය තුළ සංස්කෘතික උරුමය විවිධ වූ විචල්‍ය සංවර්ධන ප්‍රවේශ එනම් ධනවාදී, සමාජවාදී සහ දේශීය මානයන් සහ දර්ශනයන් තුළ දෝලනය වී ඇති වී ඇති බව හඳුනාගත හැකිය. උක්ත ප්‍රවේශයන්ගේ බලපෑම උරුම සංරක්ෂණ සහ සැලසුම්කරණ සහ ප්‍රතිපත්ති සඳහා සෘජුවම බලපා තිබේ.

සංස්කෘතික උරුමයේ සමාජ දේශපාලනික භාවිතය

සංස්කෘතික උරුමය දැනුම පාදක කරගත් සංස්කෘතික නිර්මාණයක් මෙන් ම දේශපාලන සම්පතකි (Graham et al. 2000). ලොවෙන්තල් (Lowenthal 1985) උරුමයේ සමාජ දේශපාලනික භාවිතය පිළිබඳ කරුණු දක්වන අතර, ග්‍රැහැම් (Graham 1999) අනන්‍යතාව තහවුරු කිරීමේ සාධකයක් ලෙස උරුමයේ කාර්යභාරය විග්‍රහ කරයි. උරුමය තුළින් සන්නිවේදනය කරනු ලබන පණිවිඩය සහ දැනුම විවිධ සමාජ බුද්ධිමය වාතාවරණයන් තුළ විවිධාකාරයෙන් සාධාරණීකරණය කරනු ලැබේ (Livingstone 1992). දේශපාලඥයින් විසින් සංස්කෘතික උරුමය සිය දේශපාලන මතවාදයන්, අරමුණු (උදා: ජාතිවාදී, ජාතිය ගොඩනැඟිම) සාධාරණීකරණය කරනු වස් භාවිත කරනු ලැබේ. මෙම භාවිතය බොහෝ විට සාවද්‍ය භාවිතයක් (misuse) ලෙස ද, විටෙක අතිශයෝක්තියෙන් යුතු අධිභාවිතයන් (over use) ලෙස ද, නොසලකා හරින ඌණ භාවිතයන් (under use) ලෙස ද හඳුනාගත හැකිය.

සංස්කෘතික උරුමයේ සමාජ, දේශපාලනික භාවිතයේ ශ්‍රී ලාංකේය ආකල්පයන්ගේ එදා මෙදාතුර පසුබිම විමසීමේ දී පැහැදිලි වන යථාර්ථයක් නම් එය ඉතා සමීපව රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බවය. මේ බව විවිධ සමාජ, ආර්ථික සංවර්ධනාත්මක අවධි තුළින් පිළිබිඹු වේ (Wijesuriya 1993:2-18). උක්ත සබඳතාව දෙදරා යන්නේ යටත්ව්ජිත බලපෑමත් සමඟ ය (Bandaranayake 1975:10; Wijesuriya 1993:7). ඒ අනුව යටත් විජිත පාලනය කළ ප්‍රතිපත්ති සහ ආකල්ප උරුමයේ දේශපාලනික භාවිතය සම්බන්ධ තවත් පැතිකඩකි. වසර සිය ගණනක් සංස්කෘතික උරුමයන් නොසලකා හරින ලද පසුබිමක ඊට විරුද්ධ බලවේගයක් ලෙස ආගමික පුනරුද ව්‍යාපාරයක් (Religious revival movement) පැන නැගුණු අතර එයට පසුව නිදහස සඳහා අරගලයක් බවට පත් විය (Bandaranayake 1975:11). මේ හා ඒකාබද්ධ වූ ක්‍රියාදාමයක් නම් අතීත ආගමික උරුමස්ථාන ස්මාරක ප්‍රතිසංස්කරණ සමාගම් මඟින් ප්‍රතිසංස්කරණයට පෙළඹීමයි. ප්‍රජා උද්යෝගය තුළින් ප්‍රජා සංගත සමාගම් ස්මාරක ප්‍රතිසංස්කරණය වන විට නෛතිකව ඒවා පාලනය කිරීමට ද යටත් විජිත පාලනය ක්‍රියාකර ඇති අයුරු 1940 පුරාවස්තු ආඥාපනත මඟින් පැහැදිලි වේ.

නිදහසින් පසු රාජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලඥයෝ ප්‍රජා උද්‍යෝගය නිසාම ආගමික ස්මාරක ප්‍රතිසංස්කරණයට යොමු වූහ. මේ යුගයේ ස්තූප ප්‍රතිසංස්කරණ සෘජුව ම දේශපාලඥයින් විසින් මෙහෙයවනු ලැබිණි. රාජ්‍ය යාන්ත්‍රණය රජයේ දෙපාර්මේන්තු හරහා මුදල් ප්‍රතිපාදන සැපයූ අතර බොහෝවිට අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා මූලිකත්වය ගැනීම සිදුවිය. යටත්විජිත පාලනය තුළ ප්‍රතිසංස්කරණ පාලනය සඳහා ස්ථාපිත නෛතික පදනම (Antiquities Ordinance 1940) අවශ්‍ය පරිදි භාවිත කරමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීමට දේශපාලඥයින් ස්මාරක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මැදිහත් විය. 1971 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හරහා බුදු දහමට සහ සෙසු ආගම් සඳහා හිමි නිශ්චිත ස්ථානය සඳහන් කෙරිණි. මෙය තවදුරටත් 1978 විධායක ජනපති ක්‍රමය මඟින් ශක්තිමත් කෙරිණි.

1977 බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්වුවත් සමඟ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා උරුම සංරක්ෂණයේ ප්‍රවණතා විවිධාකාරයෙන් පරිණාමයට පත්වන ආකාරය දැකගත හැකිය. සංස්කෘතික සම්පත් ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් කර ගැනීම සඳහා දේශපාලනික මැදිහත්වීම උපරිමයෙන් සිදු විය. ජගත් උරුම ප්‍රඥප්ති පිළිගැනීම, ජගත් උරුම ප්‍රකාශයට පත් කිරීම හරහා උරුමය ගෝලීයකරණයට ලක් කරමින් සංචාරක ව්‍යාපාරය තුළින් ආර්ථික සංවර්ධනයට පදනම සැකසිණ. 1977 බලයට පත් එක්සත් ජාකිත පක්ෂය මඟින් ඇරඹූ ‘උදාගම්’ ව්‍යාපාරය යටතේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංස්කෘතික උරුමස්ථාන කඩිනම් ව්‍යාපෘති ලෙස ක්‍රියාවට නැගුණි. නිදසුනක් ලෙස බුත්තල ගම් උදාව ක්‍රියාත්මක කිරීමේදී තදාශ්‍රිත මාලිඟාවිල, දඹේගොඩ, ආදී ස්ථිනවල එතෙක් අතහැර දමන ලද බුදුපිළිමය හා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව සංරක්ෂණය කොට මහජනතාව වෙත ඉදිරිපත් කිරීම, තිස්සමහාරාම ගම් උදාව මඟින් සඳගිරි දාගැබ සංරක්ෂණය, කඹුරුපිටිය ගම් උදාව හරහා මාතර කොටුව හා තදාශ්‍රිත ප්‍රදේශය සංරක්ෂණය කිරීම දේශපාලනික ලෙස ජනප්‍රසාදයට හේතු වූ උරුම සංරක්ෂණ ක්‍රියාදාමයන්ය. 1979 වසරේ මාස 5ක් තුළ සිදු වූ මිරිසවැටි ස්තූප ප්‍රතිසංස්කරණය එහි ප්‍රතිඵලයක් වූ අතර ප්‍රතිසංස්කරණ සමාගමේ සභාපති වූයේ ද එවකට ජනාධිපතිවරයාය. උක්ත කටයුක්ත සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා පාර්ලිමේන්තුව විසින් වෙනත් කටයුතු සඳහා අනුමත කළ ප්‍රතිපාදන මඟින් ලබා ගනිමින් මූල්‍ය අවශ්‍යතාව සපුරාගත් අතර එවකට විපක්ෂ උක්ත මුදල් භාවිතය ප්‍රශ්න කළත් එය ප්‍රබල ආගමික ප්‍රජා අවශ්‍යතාවක් වූ බැවින් ප්‍රබල විරෝධයක් මතු නොවුණි. 1987 වසරේ මිරිසවැටි ස්තූපය හදිසියේ බිඳ වැටුණු පසුව ද නැවත ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සාර්ථකව කළ හැකි වූයේ ද ප්‍රබල දේශපාලන මැදිහත්වීම මත ය.

1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මඟින් ගෙන ආ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත හා ඒ වනවිට පැවති 1946 අංක 49 නගර හා ග්‍රාම නිර්මාණ පනත ආදී පනත් තුළින් පූජා නගර සැලසුම් යෝජනා ක්‍රම ආරම්භ කළ අතර  ඒ තුළින් ආගමික භේදයකින් තොරව සුවිසල් ඓතිහාසික මධ්‍යස්ථාන බැතිමතුන්ගේ වන්දනය හා පූජනීය සඳහා වෙන් වූ ස්ථාන ලෙස රාජ්‍ය හා මහජන ප්‍රතිපාදන තුළින් සංවර්ධනය කිරීම සඳහා තත්කාලීන දේශපාලන තන්ත්‍රය මඟින් පියවර ගන්නා ලදී. අනුරාධපුර, මහනුවර, දඹුල්ල වැනි ජගත් උරුමස්ථාන පූජා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් වී සංවර්ධනය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මේ ප්‍රවේශය හරහා ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීම,  ඒ හාත්පස අයථා සංවර්ධනයන් පාලනය කිරීම, වන්දනාකරුවන් සහ සංචාරකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සිදු විය. ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරීපත් වූ ආර්. ප්‍රේමදාස දිවුරුම් දීම සඳහා තෝරාගනු ලැබුවේ ජගත් උරුමස්ථානයක් මෙන්ම බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ බඳු වූ මහනුවර දළදා මන්දිර පත්තිරිප්පුවයි. පත්තිරිප්පුව බ්‍රිතාන්‍ය පාලනයට පෙර ශ්‍රී ලංකාවේ අවසන් රජු විසින් ඉදි කරන ලද ව්‍යුහයකි. මේ හරහා ලබා දුන් සංකේතාත්මක පණිවිඩය ලෙස යටත්විජිත පාලනය තුළ යම් ප්‍රමාණයකට විසන්ධි කළ බෞද්ධ උරුමය හා දේශපාලන තන්ත්‍රය යළි ස්ථාපිත කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. උක්ත ප්‍රවේශය තුළින් ජීවමාන ඓතිහාසික ක්ෂේත්‍ර සංවර්ධනයට දේශපාලන යාන්ත්‍රණයේ මැදිහත්වීම සාර්ථකව ලබා ගත හැකි වූ, එමෙන් ම ලබාගත හැකි බව මනාව ඔප්පු කළ ක්‍රියාදාමයකි. නිදසුනක් ලෙස අනුරාධපුර පූජා ප්‍රදේශ සැලසුම් යෝජනා ක්‍රමය (Anuradhapura sacred area planning scheme) යටතේ අනුරාධපුර වර්ග සැතපුම් 14ක් ආවරණය වන පරිදි සංවර්ධන සැලැස්මක් සැකසුණ අතර ඒ හරහා ඉහළම දේශපාලන අනුග්‍රහය මඟින් සියලු ම පාර්ශ්වකරුවන් එක රාමුවක් යටතට ගෙන නව කළමනාකරණ ව්‍යුහයක් තුළින් පූජනීය නගරය සංරක්ෂණයට කටයුතු ඇරඹිණි (Wijesuriya 1993). 1988 බුද්ධශාසන අමාත්‍යංශය ජනාධිපති යටතේ ම ස්ථාපිත කිරීම තුළින් ස්පර්ශනීය සහ අස්පර්ශනීය බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට මහඟු පිටිවහලක් විය. පසුගිය දශක තුන තුළ වඩාත් ම සාර්ථක උරුම සංරක්ෂණ හා කළමනාකරණ ප්‍රවේශය නම් එවකට රජයේ ප්‍රම්ඛ මැදිහත්වීම මත 1981 හඳුන්වා දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් එක්රැස් කිරීමේ හා වැය කිරීමේ බලතල ලබා දුන් අතර රාජ්‍ය බදු මුදලින් නිදහස් කෙරිණි. මෙය නිදහසින් පසු රජයක් විසින් ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණ ක්‍රියාදාමයේ තිරසාරභාවය වෙනුවෙන් සිදු කළ දැවැන්ත ම දූරදර්ශී ක්‍රියාමාර්ගයයි. රජයේ අග්‍රාමාත්‍යවරයා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වීමෙන් හා අමාත්‍යංශ රැසක ඇමතිවරුන් හා ලේකම්වරුන් එහි සාමාජිකයින් වීමෙන් ම ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය පිළිඹිබු වේ.

ජනවාර්ගික යුද්ධය සමඟ එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය තුළින් ශ්‍රී ලාංකේය ආර්ථික, සමාජීය සහ ආගමික උරුමස්ථානයන්ට තර්ජනයට එල්ලවන්නට විය. විශේෂයෙන් අනුරාධපුර ජගත් උරුම භූමියේ ශ්‍රී දළදා මාලිඟාවටත් (1998) ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. මෙය සිදු වන්නේ LTTE  සංවිධානය උක්ත ජගත් උරුසම්ථාන අනන්‍යතාව සිංහල බෞද්ධ අනන්‍යතාවක් පමණක් ලෙස වරදවා කියවීමේ ප්‍රතිඵලයක් ලෙස විය හැකිය. එදා මෙදාතුර රටේ පාලකයින් සිංහල බෞද්ධ ප්‍රජාව ජීවිතයේ බොහෝ විශේෂ අවස්ථාවල දී උක්ත ස්ථාන කරා ගොස් පිහිට ප්‍රාර්ථනා කිරීමට පුරුදුව සිටියා පමණක් නොව, උක්ත ආගමික වන්දනයේ බලයෙන් රට ආක්‍රමණ වලින් ආරක්ෂ කරදෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් විය. එහෙයින් එම වස්තු ඉලක්ක කර පහර දීම හා විනාශ කිරීම රටේ පාලකයින්ට හා සිංහල බෞද්ධ ප්‍රජාවට පහර දීමක් සේ එම සංවිධානය සිතන්නට ඇත. එහෙත් උක්ත ස්ථන ජගත් උරුම භූමි තුළ පිහිටි ජගත් උරුමයේ නියෝජනයන් වීම නිසා ම ජගත් අරුම ප්‍රඥප්තියට අනුව සමස්ථ විශ්වීය මානව ප්‍රජාවගේම උරුමයන් ව්නේ ය. LTTE   සංවිධානය ද සමස්ත මානව ප්‍රජාව යන්නෙන් අර්ථවත් වන බැවින් ඔවුන් ද එය සුරැකීමේ පාර්ශ්වකරුවන් විය යුතුව තිබුණි. එහෙත් එම පෘථූල විශ්වීය කියවීමට ඔවුන්ගේ අන්තවාදී දෘෂ්ටිවාදී බාධකයක වන්නට ඇත. ඔවුනට ඒ තුළින් මුදුන් පමුණුවා ගත යුතු අදූරදර්ශී ජයග්‍රහණයක් පවතින්නට ඇත. සුදර්ශන් සෙනෙවිරත්න නිරීක්ෂණය කරන පරිදි උක්ත සංකේත ද්වයම සිංහල-බෞද්ධ අනන්‍යතාව උතුරු ඉන්දීය ආර්ය සබඳතාව නිරූපණය කරන උරුම සංකේත වීම මේ සඳහා හේතු වන්නට ඇත. ජගත් ප්‍රජාව උක්ත ක්‍රියාදාමය හෙළා දුටු අතර, ශ්‍රී ලංකා රජය ද  LTTE සංවිධානයට එරෙහිව ප්‍රචාරණයට මෙම ජගත් උරුම විනාශය ප්‍රබල අවියක් කර ගත්තේ ය. 50 වන නිදහස් සැමරුමට 10කට පෙර විනශ වූ දළදා මැදුර එම  නිදහස් සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තකු වූ චාල්ස් එම මන්දිරය නැවත ප්‍රතිසංස්කරණයට දායක වන ලෙස ජගත් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය. විනශ වූ දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සාමාන්‍ය ප්‍රජාව, ආගමික ප්‍රජාව මෙන් ම දේශපාලන නායකත්වය ප්‍රමුඛව ක්‍රියා කෙරිණි. හදිසි අවස්ථාවල කටයුතු කරන ප්‍රබලම දේශපාලන නායකත්වය ප්‍රමුඛව ක්‍රියා කෙරිණි. හදිසි අවස්ථාවල කටයුතු කරන ප්‍රබල ම දේශපාලන යාන්ත්‍රණය වන ජනාධිපති කාර්යසාධක බලකාය (presidential Task Force) ජනාධිපතිගේ සහභාගිත්වය යටතේ ක්‍රියාත්මක විය.

ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් සභා වලට බලය විමධ්‍ය ගත වන අතර විමධ්‍යගත නොවන බලතල පිළීබඳව ද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක හා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකන විට ජාතික ස්මාරක (National Monuments) ලෙස ප්‍රකාශයට පත් කර ඇති ස්මාරක සඳහා පමණක් මැදිහත් වීමට මධ්‍යම රජයට බලතල පවතී. එවකට පැවති 1940 පුරාවස්තු ආඥා පනතට අනුව ජාතික ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපාදන නොවූ හෙයින් තත් පනතට අනුව ස්මාරක සහ ක්ෂේත්‍ර ලෙස ප්‍රකාශයට පත් කර තිබූ සියලු ස්ථාන ජාතික ස්මාරක ලෙස නිරායාසයෙන් ප්‍රකාශයට පත් කෙරෙහි පනතක් අවශ්‍යව තිබූ මොහොතක කෙටි කලක් තුළ පාර්ලිමේන්තුව මඟින් ඒකමතිකව 1989 ජාතික වටිනාකමක් සහිත පුරාවිද්‍යාත්ම ක්‍ෂේත්‍ර පනත (Archaeological sites of national importance Act 1989) හඳන්වා දීමට කටයුතු කෙරිණි. මේ හරහා ජාතික වශයෙන් වැදගත් උරුමස්ථාන මධ්‍යම රජයේ රැකවරණයට නතුකරගත් අතර එය අතීතයේ පටන් පැවති සම්ප්‍රදායක් වන උරුමය, රාජ්‍යය හා පාලකයා අතර සමීප සබඳතාව ස්ථාවරව පවත්යා ගැනීමට කටයුතු කිරීමකි.

නිගමනය

ශ්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය පිළිබඳ සම්ප්‍රදායික යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යයනයෙන් පැහැදිලි වන යථාර්ථයක් නම් නූතන උරුමය ගෝලීයකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති බටහිර සංරක්ෂණ උපායමාර්ගවලට හා සුසමාදර්ශයන්ට විකල්ප වූ සංරක්ෂණ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතු බවයි. මෙම යාන්ත්‍රණය තීරණාත්මක ලෙස යටත්විජිත හා පශ්චාද් යටත්විජිත සමයෙහි දී අභියෝගයට ලක් වීම හඳනා ගත හැකි අතර, සන්දර්භයන්ට අනන්‍ය වූ සාධක නොසලකා ඒ මත නූතන ක්‍රමවේද හා සුසමාදර්ශ ආරෝපණය කිරීමට යාම තුළ ක්ෂේත්‍රයන්හී ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව පෙනේ. එබැවින් මෙකී ප්‍රතිඵල වලින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලාංකේය, විශේෂයෙන් ජීවමාන පූජනීය සංස්කෘතික උරුම සංරක්ෂණයේ දී සාම්ප්‍රදායික සංරක්ෂණ ඥානය, න්‍යාය, භාවිතය හා දෘෂ්ටිවාදයෙන් වියුක්ත වීම පිළිබඳ නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බවයි. ශ්‍රී ලාංකේය පූජනීය ජීවමාන උරුමය හා බද්ධ වූ සංකීර්ණ සමාජීය මානයන් අවතක්සේරුව දිගු කාලීනව උරුමයේ තිරසාරභාවය අර්බුදයට හෙළීමකි. සංස්කෘතික උරුමයේ සමාජ, දේශපාලනික භාවිතයේ ශ්‍රී ලාංකේය ආකල්පයන්ගේ එදා මෙදාතුර පසුබිම විමසීමේ දී පැහැදිලිවන යථාර්ථයක් නම් එය සමීපව රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ අවියෝජනීය ලෙස බද්ධ වී පැවති බවය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අනුරාධපුර පූජා ප්‍රදේ‍ශ සැලසුම් යෝජනා ක්‍රමය (2008) නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම (2020) නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • කරුණානන්ද, යූ. (1990), නුවර කලාවිය, කැලණිය: ශිලා ප්‍රින්ටර්ස්.
  • කරුණානන්ද, යූ. (2001), බ්‍රිතාන්‍යයන් යටතේ උතුරු මැද පළාත, මරදාන: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • කරුණාරත්න, ඩබ්ලියු.ඇස්. (1990), ‘ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ඉතිහාසය 1890-1910’, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, (සංස්) එන්. විජේසේකර, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පිටු 3-6.
  • ගුණවර්ධන, පී. සහ එම්. සල්ඩින්. (2008), සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවත්නා රටවල් සහ සංචාරක නිෂ්පාදනය, ජා ඇල: සමන්ති ප්‍රකාශකයෝ.
  • ගොඩකුඹුර, සී. (1962), 1960–61 මුදල් වර්ෂය සඳහාපුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාව, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • දේවරාජා, එල්.එස්. (1967), උඩරට රාජධානිය, පාදුක්ක: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • ධම්මානන්ද, එස්. (2010), සංචාරක ව්‍යාපාරය (පසුබිම, බලපෑම හා නව ප්‍රවණතා), දිවුලපිටිය: සරස්වතී ප්‍රතාශකයෝ.
  • පරණවිතාන, එස්. (1963), ලංකාවේ ස්තූපය, බොරලැස්ගමුව: විසිදුනු.
  • මල්සිරි, ඩබ්ලිව්. (2011), ශ්‍රී ලංකාවේ වාස්තුවිද්‍යා උරුම සංරක්ෂණයේ ඓතිහාසික විකාශනය: ක්‍රමවේද, සංකල්ප හා භාවිතය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
  • රාජපක්ෂ, ඒ. (2002), නූතන උරුම කළමනාකරණ සංකල්පය සහ අනුරාධපුර ලෝක උරුම නගරයේ උරුම කළමනාකරණ ක්‍රියාදාමය, වැලිපිල පුරාවිද්‍යා සඟරාව (පස්වැනි කලාපය), කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල.
  • රාජපක්ෂ, ඒ. (2013), ‘දළදා උරුමය: අනන්‍යතාව, අර්ථකථනය හා කළමනාකරණය’, (සංස්) එච්. ධීරානන්ද,  සිරි දළදා හරසරණිය, කොළඹ: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. පිටු. 695–717.
  • රාහුල, වල්පොළ (1959), ලක්දිව බුදු සමයේ ඉතිහාසය, කොළඹ: එම්. ඩී. ගුණසේන සහ සමාගම.
  • විමලරත්න, කේ.ඩී.ජී. (1995) බුදුසසුන පිළිබඳ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති, අපේ සංස්කෘතික උරුමය, නුගේගොඩ: දීපානි ප්‍රකාශන. පිටු. 213 – 239.
  • විමලානන්ද, ටී. (1963), උඩරට මහ කැරැල්ල, කොළඹ: ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.
  • විමලරත්න, කේ.ඩී.ජී. (1993), ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිත්‍යය, කොළඹ: රත්න ප්‍රකාශකයෝ ; 1991, බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ විහාර ඉඩම් පාලනය, දෙහිවල: ස්වර්ණ ලේඛා.
  • විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක්‍රමය (1999), නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ.
  • සිල්වා, ආර්. (1985), 1981 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පළමුවන වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාව: රාජ්‍ය මුද්‍රණ සංස්ථාව.
  • සිල්වා, ඩී.ඒ.සී.එස් සහ ජී. ගුරුගේ. (2011), සංචාරක ප්‍රවර්ධන ප්‍රවේශ, මරදාන: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • සෙනෙවිරත්න, ඒ. (2001), සිරි දළදා වරුණ, මරදාන: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • සෙනෙවිරත්න, ඒ.(2002), කන්ද උඩරට මහනුවර, කොළඹ: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව.
  • හරිශ්චන්ද්‍ර, ඩබ්ලිව්. (2001), සිතියම් සහිත පුරාවිද්‍යාව, බොරලැස්ගමුව: විසිදුනු.
  • හෙට්ටිආරච්චි, ඇස්.බී. (1990), පුරාවිද්‍යා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම, එළිපෙහෙළි කිරීම, නඩත්තු කිරීම හා පරිසර සැකසීම 1910 – 1930, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, (සංස්). එන්. විජේසේකර, රජයේ මුදුණ නීතිගත සංස්ථාව. පිටු. 47-78.
  • Antiquities Ordinance of 1940, Sri Lanka.
  • Archaeological survey of Ceylon Annual Report, 1933.
  • Archaeological survey of Ceylon Annual Report, 1940, p. 45.
  • Archaeological survey of Ceylon Annual Report, 1961 / 62, p. 233.
  • Archaeological sites of National importance Act 1989, Sri Lanka.
  • Fernamdo, W.B.M. (1990), ’History of the Department ofArchaeology 1930-1950’, History of  Department of Archaeology, Commemorative Vol. N. Wijesekara (ed.), Colombo, pp. 77-110.
  • Bandaranayake, S. (1975) ‘International Recognition of the problems of Conserving Cultural Monuments and Ancient City Centers’, paper given at the Asian regional Conference of the Commonwealth Association of Architects, Colombo’
  • Berchert, H. (1978) ‘S.W.R.D. Bandaranayake and the legitimation of power in sri lanka’. In : Smith B.L. (ed.) Religion and legitimation of power in Sri lanka. India: Anima Books.
  • Graham B, Ashworth, G.J. and Tunbridge, J. E. (2000), A Geography of Heritage: power, Cultural and Economy. London: Arnold.
  • Hennayake, N. (2006), Culture, Politics and Development in post-Colonial Sri lanka. Lexington Books.
  • Kertzer, D. (1988), Rituals, and Politics and Power, London: Yale university Press.
  • Livingstone, D. N. (1992), The geographical Tradition. Oxford: Blackwell.
  • Lowenthal, D. (1985), The past is a foreign country. Cambridge: Cambridge university Press.
  • Nash, D. (1977) ‘Tourism as a form of imperialism’ Hosts and gueste: in: Smith, V. (ed.) The Anthropology of tourism. Oxford: Blackwell, pp. 33-47.
  • Oertel, F. O. (1903) ‘Report of the Restoration of Ancient Monuments a Anuradhapura, Ceylon’ Colombo: Ceylon government Sessional Papers.
  • Ponnambalam, S. (1980), Dependent Capitalism in Crisis: The Sri Lankan Economy, London Zed press.
  • Robins. K. (1977), Global Times: What in the world’s  going on? In: Du Gay,  p. (ed.) Prodution of culture / cultures of production, 1997, London, Sage.
  • Silva, R. ‘Conservation of ancient monuments under tropical conditions with special reference to ceylon’, Ancient Ceylon, 1969, vol. 3, Colombo, Department of Archaeology, p. 84.
  • Singer, M. (1964), The Emerging Elite: A study of political leadership in Ceylon. Cambridge, MA: MIT press.
  • Turner, L. and Nash, J. (1975), The golden hordes: International Tourism and in the pleasure Periphery. London: Constable: London.
  • Wijesuriya, G. (1993), Restoration of Buddhist Monuments in Sri Lanka: The Case for an Archaeological Heritage Management Strategy. Colombo: ICOMOS, Sri lanka
  • Wijesuriya, G. (2005), ‘Past is in the present: Perspectives in caring for Buddhist heritage’ In: Stovel, H., Stanley – price N. and Killick, R. (ed.) Conservation of living religious heritage. ICCROM Conservation Studies3 (ICCROM), Rome.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.09.02 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.