අයි.ඩී.එම්. විජේබණ්ඩාර

ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහනුවර.

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

ප‍්‍රස්තූත විෂය කරුණ සම්බන්ධයෙන් වූ මෙම ලේඛනය මගින් උතුරුකරයේ පුරාතන අයිතිය මෙන් ම, දශක තුනක් තිස්සේ මෙරට කි‍්‍රයාත්මක ව පැවැති යුධමය වාතාවරණය ට හේතුවක් වූ දෙමළ ඊලාම් නිජබිම් සංකල්පය හෝ සාකච්ඡාවට බඳුන් නොකෙරේ. එහෙත් එකී නාම මාත‍්‍රය සමාජගත වීමේ ප‍්‍රවණතාව මෙන් ම එහි ව්‍යුත්පත්තිය කවරාකාර ලෙසින් වූයේ ද යන්නට අදහසක් මෙමගින් පැහැදිලි කිරීමට උත්සාහ කෙරේ.

ගෙවුණු තිස් වසරක උතුරේ පැවැති යුධ වාතාවරණයට ආසන්නතම හේතුව ලෙස ඇතැමුන් සාකච්ඡා කළ පරිදි මෙරට පවතිනුයේ ජාතික ප‍්‍රශ්නයක් ද? නොඑසේ නම් ජනවාර්ගික ප‍්‍රශ්නයක් ද? යන්න තුළ දේශපාලන නිමිත්තකට කැසකවමින් එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ සිට වේලුපිල්ලේ ප‍්‍රභාකරන් දක්වා දෙමළ බෙදුම්වාදී නායකයන් උත්සාහ දරා ඇත්තේ මෙරට ඵෙතිහාසින දෙමළ ඊලමක් පැවැතියේ යන විශ්වාසය පදනම් කොටගත් නිජබිම් සංකල්පය කරලියට ගෙන කථා කිරීමට ය. එහෙත් කි‍්‍රස්තු වර්ෂ 10 වන සියවසෙන් එපිට ශී‍්‍ර ලංකාවේ පූළුල් ව පැතිරුණු ද්‍රවිඩ ජනාවාස කිසිවක් නොවුණු අතර 10 වන සියවසේ චෝල ආක‍්‍රමණය දෙමළ සංක‍්‍රමණයන්හි ආරම්භය බව ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජනාවාස පිළිබඳ මහාචාර්ය කාර්තිකේසු ඉන්ද්‍රපාල ගේ අදහසයි.

13 වන සියවසට පෙර ලියන ලද කිසිදු පාලි හෝ දෙමළ කෘතියක යාපනේ පිහිටා තිබූ වෙනම ස්වාධීන රාජ්‍යයක් ගැන හෝ එහි රජකළ රජකු ගැන හෝ සඳහන් නොවේ. යාපනය ප‍්‍රදේශයේ රජකළ රජකු ගැන සඳහන් වන ප‍්‍රථම සිංහල සාහිත්‍යය කෘතිය වන නිකාය සංග‍්‍රහය 14 වන සියවසට අයත් වේ. 13 වන සියවසට පෙර කාලයට අයත් චෝල පාණ්ඩ්‍ය ආදී දකුණු ඉන්දියානු සෙල්ලිපියන්හි ඊලාම් හෙවත් ශී‍්‍ර ලංකාව ගැන කොතෙකුත් සඳහන් ව ඇතත් එම කිසිදු ලිපියක වෙනම රාජ්‍යයක් වශයෙන් සඳහන් ව නොමැත (විජේබණ්ඩාර 2014:10). එලෙස සඳහන් නොවූයේ අඩුතරමින් කි‍්‍රස්තු වර්ෂ 1263 පමණ වන විටත් යාපනයේ වෙනම රාජ්‍යයක් බිහි වී නොතිබීම හේතුවෙනි.

මෙකී හැඳිනීමත් සමඟ ඊළාම් යන වදන ඉහත සාකච්ඡා කළ රාජ්‍යය යන සංකල්පය සමඟ ගැලපීමත්, ඒ සඳහා ඊළාම් යන්න යෙදීමත් අතර පවත්නා අන්‍යෝනය සබඳතාව හා ඊට අනුගත ආනුසාංගික වදන් පිළිබඳ විමර්ශනයක යෙදීමත් මෙම ලිපියේ මුඛ්‍යාර්ථයයි. ඊළාම් යනු පුරාතනයේ පොල් සඳහා ද භාවිත කළ ද්‍රවිඩ වචනයකි. ඊළ යන මූල ධාතුව පැරණි ද්‍රවිඪ වදනක් හෝ පෞරාණිකත්වය ලෙස හඳුනා ගැණින. කෙසේ වුව, ඒ සියල්ල අවසානයේ ඊළාම් යන්න එනම් ශ‍්‍රී ලංකාවේ නම හා සම්මිශි‍්‍රතය. මෙම පොල් සඳහා වන ඊළාම් යන වදනෙහි සංසිද්ධිය පොල්වල ඉතිහාසය හා බැඳී පවත්නා බව කිව යුතුය. තාල වර්ගයට අයත් මෙම ගසේ නිජබිම ගිණිකොණදිග ආසියාවයි. එනම් පර්යේෂකයන්ගේ සොයා බැලීම් අනුව වර්තමානයේ අත්හැර දමා ඇති පැසිපික් දිවයින්වලින් මෙම පොල් ශාකය හඳුන්වා දුන් බව පිළිගැනේ.

ශ‍්‍රී ලංකාවට පොල් හඳුන්වා දෙනු ලැබූයේ ගිණිකොන දිග ආසියාවෙන් බව කිසිදු සැකයක් නොමැත. මුල්කාලයේ එය හඳුන්වා දෙනු ලැබූයේ ඉන්දියානු භූමි භාගයකට ය. ද්‍රවිඪ බසින් පොල් සඳහා භාවිත වචනයෙන් ඒ බව වඩාත් ති‍්‍රව්‍ර කරනු ලබයි. බොහෝ ඉන්දියානු භාෂා අතර නාරිකේල හෝ එයින් ව්‍යුත්පන්න වදනක් පොල් සඳහා භාවිත කර ඇති අතර ඉංගී‍්‍රසියෙහි සඳහන් වන Coconut යන්නෙහි Nut යන්න සිංහල හා දෙමළ භාෂා වදන් හා අසමානතාවක් පෙන්නුම් කෙරේ. සිංහල බසින් පොල් යනුවෙන් සඳහන් වන්න මැලේසියාව, ඉන්දුනීසියාව හා අග්නිදිග ආසියාතික සම්භවයක් සහිත වුවක් බව ද අනුමාන කෙරේ (Bagchi 1929:28). නවීන දෙමළ වහරෙහි තෙන්නායි සහ තෙන්න මරම් යන වදන තාල වර්ගයේ ගස් සඳහා භාවිත ය. සාහිත්‍ය ව්‍යවහාරයේ තේන්කු, තේන්ගු යනු වදනක් ද මේ සඳහා දැකිය හැකිය. Nut සහ Tenkai යන වදන් තේන්ගු යන්නෙන් ව්‍යුත්පන්න වූවකැයි අනුමාන කළ හැකිය. මේවායෙහි මුල වන ‘තෙන්’ යන්නෙන් අදහස් වනුයේ ‘දකුණ’ යන්නය. ඒ අනුව, තෙන්නමරම් යන්න සාහිත්‍ය ව්‍යවහාරයට අනුව ‘දකුණේ ගස’ හෝ ‘දකුණෙන් පැමිණි ගස’ යන්නය. ‘තෙන්නවන්’ දකුණේ ඔහු සහ ‘තෙන්නකෝන්’ දකුණේ රජ යන අදහස් ද්වයම පාණ්ඩ්‍ය රජුට භාවිත වීම මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. තේන්ගු යන්න පූර්ව දෙමළ බ‍්‍රාහ්මී ශිලාලේඛනයන්හි දක්නට ලැබෙන අතර තේන්ගුමරම් යන්නෙහි අදහස ‘දකුණේ ගස’ යන අදහස විය හැකි ය. තේන්ගායි (Coconut) යන්න පටන් ගැනීමේ දී තෙන්ගු කායි යනුවෙන් දක්නට ලැබෙන අතර, අදහස තේන්ගු ගෙඩිය යන්නයි. (මිලඟු+කායි = මිලකායි) යන්න සැලකිල්ලට ගත හැකිය. මෙම සටහන වැඩි දුෂ්කරතාවකින් තොරව තීරණය කළ හැකි වනුයේ මෙම ශාඛය දිවයිනට හඳුන්වා දෙනු ලැබූයේ දකුණෙන් වීම නිසාවෙනි. නොඑසේනම්, මුළින් හඳුන්වා දුන් පරිදි ගසක් ලෙස තෙන්නමරම් යන්නෙන් හැඳින්වීම ද සැලකිය හැකි ය.

පිළිගත් වහර නොවූවන් වසර දහස් ගණනකට පෙර අඩු තරමිින් වසර දෙ දහසකට පෙර පොල් සඳහා වූ දෙමළ වදනක් වූයේ ‘ඊළාම්’ යන්නයි. වත්මන් තෙන්නමරම් යන නම පොල් ගස සඳහා යෙදීම පිළිබඳව සැලකීමේ දී එහි උත්පත්ති කතාන්තරය දකුණු ඉන්දියාව ලෙස මෙතෙක් සලකනු ලබන්නේ ය. මේ අනුව, තෙන්නමරම් යන්න ‘ඊලාම්හි ගස’ (ශී‍්‍ර ලංකාව) යන්නෙන් භාවිත වීමක් පිළිිිබඳව හැඟීමක් ඇති කර ගත හැකිය. ඉලක්කායි (Nut) ඉළ+නිර් (ඊළ වතුර) මෙහි පොල් වතුර විද්‍යාත්මකව ගත් කළ පොල්කිරි බවට පත්වීම දත හැකිය. වර්තමානයේ ඊළනිර් යන්නෙන් පොල් වතුර පොදුවේ භාවිත වන අතර ඇතැම් විට එය නොමේරු හෝ මේරූ වතුර සහිත පොල් සඳහා භාවිත වන්නකි. එහෙයින් ඊළනිර් යනු පොල් වතුර සඳහා භාවිත වූ බව පෙනේ (Indrapala, 1984).

වසර දහස් ගණනකට පෙර දමිළයේ ‘ඊළවර්‘ යන්න පොල් ගස් නඟින්නන් සඳහා (කුලය පදනම් කරගෙන) භාවිත කෙරිණි (විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ සහ දකුණු ඉන්දියානු සමාජය තුළ ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙය වර්තමානය දක්වා භාවිත කෙරේ.). කේරළයේ හා තමිල්නාඩුවේ පොල්ගස් නගින්නන්ගේ කුලය (වෙසෙසින් කේරළයේ) ‘ඊළවර්‘ ලෙස හැඳින්වේ. ඔවුන්ගේ සම්ප‍්‍රදායික ආරම්භය ශී‍්‍ර ලංකාව ලෙස ද සඳහන් ය. මෙම ඊළවර් යන්න පොල් හා සම්බන්ධ වන ආකාරය ද විශේෂ ය. මෙහි මුල්ම සිදුවීම (කුල නාමය) ද්‍රවිඪ ශිලාලේඛනයන්හි දක්නට ලැබෙනුයේ කි‍්‍රස්තු වර්ෂ නවවන සියවසේ දී ය (තුන් වන නන්දිවර්මන් වේලුපලයියාම් සන්නස හා කේරළයේ ස්තපුරවී සන්නස). එම කාලසීමාවට අයත් ද්‍රවිඪ අභිලේඛනයක මෙම ඊළාම් (පොල්) යන්න සඳහති. ඊළාම් පුට්සි (පොල් සඳහා වූ බද්ද), ඊළාම් පුන්සි (පොල් වගා කළ ඉඩම විය හැකිය.) පසුකාලීනව එය ඊළවර් කුලය ලෙස සඳහන් වීම දැකගත හැකිය. එමෙන්ම ඊළක් සේරි (පොල් ගස් නගින්නන් වාසය කළ ගමක කොටසක්) ඊළක් කාන්රන් (ඊළවර් කුලයේ කැපී පෙනෙන සාමාජිකයෙකු යැයි අනුමාන කෙරේ.)

චෝල අධිරාජ්‍ය සමයේ යැයි අනුමාන කළ හැකි දෙමළ ව්‍යවහාරයේ එන ඊළාම් යන්නෙහි තවත් අර්ථයක් නම් රන් (Gold) යන්න ය. ශී‍්‍ර ලංකාවේ ව්‍යුත්පන්න රන් කාසිය හඳුන්වනුයේ ඊළක් කාසු (ශී‍්‍ර ලංකාවේ කාසිය) නමිනි. එය දකුණු ඉන්දියාවේ අර්ධ පාද මුදල වේ. විෂය පිළිබඳ ප‍්‍රවීණයකු වූ නීලකණ්ඨ ශාස්ත‍්‍රීගේ මෙම අදහස ඉතා වැදගත් කොට සැලකිය හැකි ය. මෙම කාසි පිළිබඳව අධ්‍යයනය කරන උගතුන්ගේ පිළිගැනීමට අනුව, විශේෂයෙන් කි‍්‍රස්තු වර්ෂ 9-10 සියවස්වල චෝල පාලන සමයේ මෙම මුදල් සම්ප‍්‍රදාය පැමිණි බවත් එය ශී‍්‍ර ලංකාවේ ව්‍යුත්පන්න වීමක් ලෙසත් අදහස් කෙරේ. ඊළක් කාසු සිලෝන් කාසු (එනම් කලාංජු වේ මඩාපි හි අර්ධය) කි‍්‍රස්තු වර්ෂ 937 පළමු වැනි පරාන්තකගේ චෝල ශිලාලේඛනයන්හි ද මෙය සඳහන් කර ඇත. (Nilakanta Sastri 1955:617). ඉලක්කාසු යන්න රන්කාසියක් වූ බැවින් ඊළාම් යන වදන ද රන් සඳහා භාවිතයට පැමිණ ඇත. මෙය දෙමළයෙහි පැමිණි සෙසු වදන් හා සමාන කර බැලීමේ දී දෙමළයෙහි ‘රන්’ යන්න තේරුම් දෙන ඊලක්කාසු පසුව එකතු වූවක් සේ සැලකිය හැකි ය. එමෙන්ම, රන්කාසි යන්නට පසු කාලීනව ‘තන්ක‘, ‘තන්කම්‘ යන්න ද බි‍්‍රතාන්‍ය පාලන සමයේ රන් කාසි සඳහා භාවිත ‘පවුම්‘ යන්න ද දෙමළ භාෂා ව්‍යවහාරයේ දක්නට ලැබෙන්නකි.

මෙම ඊළාම් යන වදන විවාදශිලී වන අතර එය පොල් සඳහා භාවිත වූ පළමු වැනි ද්‍රවිඪ වචනය ද නො එසේනම් ශී‍්‍ර ලංකාවේ වාර්ගික කණ්ඩායමක් හැඳින් වූ (දිවයින හැඳින් වූ) ඒ සඳහා ආදේශ කළ පළමු වදන ද යන්න විමසිය යුතුය. පොල් යන්න සඳහන් වූ පැරණි ද්‍රවිඪ ව්‍යවහාරය ‘ඊළාම්’ නම් වාර්ගික කණ්ඩායමක් විසින් ශී‍්‍ර ලංකාවෙහි කොටසක් ඊළමක් ලෙස නම් කර ලබා ගැනීමට තැත්කිරීම හා ඒ සඳහා ‘ඊළම’ යන්න යෙදීම පොල් ශාඛයේ මුල් ධාරාව දසත විසිරී පැතිරී තදින් ග‍්‍රහණය කර ගැනීමේ රූපමය සංකල්පය ඊට අනුගත කර ගැනීමක් ද යන්න තවදුරටත් විමසිය යුතුව ඇත.

[මෙම ලේඛනයේ දක්වා ඇති පොල් ගස් දැක්වෙන ඡායාරූපය http://yathraguru.lk/ වෙබ් අඩවියෙන් ලබාගත් බව කාරුණිකව සලකන්න.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.11.06 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.