ඉසුරු හේරත්

සිව්වන වසර උපාධි අපේක්ෂක, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, මානවශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්ත‍ලේ.

මීට අවුරුදු 125,000 ඉහත දී මෙ රට ආදිතම මානව ජනාවාස පැවති බවට සාධක බුන්දලම හා යාල සිට ඉරණමඩු හරහා විල්පත්තුව දක්වා වැටී ඇති වෙරළබඩ වැලි කඳු ආශ‍්‍රිත ව කළ පර්යේෂණ මගින් තහවුරු වී ඇත. මෙම කැනීම් මඟින් හමු වී ඇති ශිලා මෙවලම් අනුව මෙහි ජීවත්වූවන් මධ්‍යම පුරාශිලා යුගයට අයත් බව තීරණය වී ඇත. ලංකාවේ මානව යටගියාව සම්බන්ධ ව පැහැදිලි සාධක හමුවන්නේ මධ්‍යශිලා යුගයට අයත් බුලත්සිංහල පාහියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, බෙල්ලන්බැදිපැලැස්ස, කෑගල්ල අළුලෙන ඇතුළු ස්ථාන කීපයකිනි. මේවායින් ක‍්‍රිස්තු පූර්ව 37,000 – 1,000 අතර කාල සමයට අයත් මිනිස් ඇටසැකිලි ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවලම්, පබළු වැනි මානව කෘති රාශියක් ලැබී ඇත. කෑගල්ල දොරවකකන්ද, හෝටන්තැන්න යන ප‍්‍රදේශවලින් හමු වී ඇති පුරා කෘතිවලට අනුව ලංකාවේ නව ශිලායුගයක් පැවති බවට අදහස් ඉදිරිපත් වී ඇති නමුත් එය මෙතෙක් උගතුන්ගේ සම්භාවනාවට පාත‍්‍ර වී නැත. ක‍්‍රිස්තු පූර්ව 1,000 – 250 අතර කාලය තුළ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආගමනය වු නව්‍ය සංස්කෘතික රටාවක් සමගින් මෙ රට යකඩ යුගය නොහොත් ප්‍රොටෝ ඓතිහාසික යුගය ආරම්භ වූ බව මහැදුරු සුදර්ශන් සෙනෙවිරත්නගේ මතයයි. මෙම අවධීයේ කැපිපෙනෙන සංස්කෘතිකාංග අතර කාලරක්ත මැටි භාණ්ඩ, ක‍්‍රමික සුසානකරණයක් ආරමිභ විම, සංවිධානාත්මක ග‍්‍රාමිය ජනාවාස ආරමිභ විම, ලෝහ භාණ්ඩ නිපැයුම් කරමාන්ත ආරම්භ විම, ප‍්‍රාථමික වාරි කර්මාන්ත ආරම්භ විම, පිළිස්සු මැටි භණ්ඩවල කුරුටු සංකේත යෙදිම, පබළු නිෂ්පාදන කර්මාන්ත ආරමිභ විම හඳුනාගත හැකි ය. මෙම ලිපිය මගින් ඉබ්බන්කටුව සුසාන භූමිය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරමින් ලංකාවේ ප්‍රොටෝ ඵෙතිහාසික යුගයේ පැවති සුසාන භූමිකරණය, එහි තාක්ෂණය, හා අවමංගල්‍ය චාරිත‍්‍රවාරිත‍්‍ර පිළිබඳ ව අදහස් කීපයක් ගෙනහැර දැක්වීමට අපේක්ෂිත ය.

ඉබ්බන්කටුව ශිලා මඤ්ජුසා සුසානයක් (ඡායාරූපය http://www.angelfire.com/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.)

ශ‍්‍රි ලංකාෙව් අවමඟුල් චාරිත‍්‍ර ඉටුකිරිම පිළිබද පුරාවිද්‍යාත්මක ව පැරණි ම සාධක හමුවන්නේ මධ්‍යශිලා යුගයට අයත් බලංගොඩ මානවයන් (Homo sapians Balangodensis) ජිවත් වු බෙල්ලන්බැඳිපැලැස්ස, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, රාවණාඇල්ල ගුහාව යන ස්ථානයන්ගෙන් ය. මුලිකවම මළසිරුර ගුහාවෙන් ඉවතට ගෙන ගොස් දමා, පසුව ඵහි මාංශ කොටස් දිය වී යාමෙන් අනතුරු ව සම්පූර්ණ සැකිල්ල හෝ තෝරාගත් විශේෂ අස්ථි කීපයක් ආපසු එම තැනැත්තා ජිවත්ව සිටි ස්ථානයට ගෙනවිත් වළක් කපා නැමුණු ඉරියවුවකින් තැන්පත් කරනු ලැබේ. බෙල්ලන්බැදිපැලැස්සෙන් හමු වි ඇති අවුරුදු 6,000 පැරණි මිනිවලක් පරික්ෂා කිරිමෙන් මේ බව විශධ ෙව්. කණ්ඩායමේ සෙසු සමාජිකයන්ද නොකඩවා එම ගුහාෙවිම විසුව ද ඔවුහු දෛනිකව බැහැර කරන ආහාර අවශේෂ වැනි අපද්‍රව්‍ය සිරුර භූමදානය කල ස්ථානයට ගෙනවුත් ගොඩගසන ලදි. මීට අමතරව ගුරුගල් පාට ආලේප කරන ලද මිනිස් හිස් කබලක් රාවනා ඇල්ල ගුහාවෙන් හමුවිමෙන් පෙනියන්නේ අස්ථිවල වර්ණ තැවරිම කිසියම් ප‍්‍රාථමික චාරිත‍්‍ර විධි ක‍්‍රමයක් වශයෙන් කරන්නට ඇති බවයි. ඵහෙත් මෙම භූමදාන කටයුතු අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 1,000න් පසුව විදේශයකින් ආගමනය වුණු නව සංස්කෘතික ප‍්‍රවාහයක් හේතුකොට ගෙන පරිවර්තනයකට පත් වු අතර ජනතාව ලෝහ භාවිතය කිරිම හා මැටි භාණ්ඩ, ආහාර, පබළු නිෂ්පාදනයට හුරුවිමත් ඵ්වා ජාත්‍යන්තරව හුවමාරු කරගැනිමට උත්සුක විය. මේනිසා වඩාත් විධිමත් සුසානකරණයක් හා ඵ් හා බැඳුණු සංස්කෘතික රටාවක් ඇතිවිය.

ඉබ්බන්කටුව සුසාන භූමිය සහ ඵහි තාක්ෂණය

ක‍්‍රිස්තු වර්ෂ 1920 බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ හොකාර්ට් විසින් ලංකාවේ ප‍්‍රථම වරට ප්‍රොටෝ ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් මන්නාරම පොම්පරිප්පු සුසානය හඳුනාගන්නා ලදි. මිට අමතර ව යාපනය කන්තරොඩෙයි, කුච්චවේලි කොක්ඇබේ, යාපහුව පින්වැව ගල්සොහොන්කනත්ත, කොන්වැව ආදී ස්ථානවලින් ද මෙවැනි ස්ථාන හමු වි ඇත. මේවා ප‍්‍රධාන මාදිළි විධි 4 ක්ට අනුව ගොඩනංවා ඇත.

  • ශිලා මංජුසා සුසාන (Cist Burial)
  • වෘත්තාකාර ශිලා කැට සුසාන (Cairn circle Burial)
  • ඩොල්මන් (Dolman Burial)
  • බරණි සුසාන (Urn Burial) යනුවෙනි.

මීට අමතර ව වෙනත් සුසාන විධි ක‍්‍රම 13ක් පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇත. නමුත් පෙරකී සොහොන් භූමි අතුරින් දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ දඹුල්ලට සැතපුම් 3ක් දුරින් ගලේවෙල මාර්ගයේ පිහිටි ඉබ්බන්කටුව සොහොන් භූමියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. කාබන් 14 කාලනීර්නයට අනුව මෙය (කි‍්‍ර.පූ. 770-350) අතර කාලපරිච්ජේදය තුල පැවති ඇත. ක‍්‍රිස්තු වර්ෂ 1970 නිශ්චිතව ම හඳුනාගත් මෙම සුසාන භූමිය සම්බන්ධයෙන් ඒවකට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා විසින් මූලික අධ්‍යයනයක් සිදුකල අතර ක‍්‍රිස්තු වර්ෂ 1980 දශකයේ අඟභාගයේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා ජර්මන් කාවා ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ගවේෂණයට ලක්විය.

ඉබ්බන්කටුව සුසාන සංකීර්ණය

ඉබ්බන්කටුවේ සුසාන අතර කුටීර දෙක, තුන සහිත සුසාන ගෙවල් ද කාමර කිහිපයක් සහිත පොකුරු ගෙවල් ද හමු වී ඇත. මේවායින් විශාල සුසාන ගෙවල් එවකට සමාජයේ උසස් පාන්තිකයන් සඳහා ද කුඩා හෝ පොකුරු ඒවා ඔවුන් දැසි දස්සන් වැනි හීන පන්තිකයන් සඳහා වෙන් කරන්නට ඇති බවට අදහසක් ඇත. සෘජුකෝණාස‍්‍රාකාර ගල් පතුරු හරස්කොට තැනු මංජුසාවල සහ සකපොරුව ආධාරයෙන් තනනලද බරණිවල හෝ කලස්තුළ මිනිස් අළු සහ අස්ථී අවශේෂ තැන්පත්කොට තිබේ. ජර්මනියේ ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ වලට අනුව මෙහි ඇතැම් අඟුරු අවුරුදු 2,700 වඩාත් පැරණි බවට ඔප්පු වී ඇත. ඉබ්බන්කටුව සොහොන් භූමියේ ඇති සමහරක් ශිලා මංජුසා පියන්පත් මත හා මැටි බදුන්මත සංකේත දක්නට ඇත. මෙහි පියන් පතක් මත හමු වී ඇති චතුරස‍්‍රාකාර සංකේතය පූර්ව බ‍්‍රහ්මී “බ” අක්ෂරයට සමාන බවත් එ වැනි ජ්‍යාමිතික රූපයක් වයඹ පළාතේ කඩිගාව කටාර සහිත ගල්ලෙනකින් හමු වී ඇතිබවත් පියතිස්ස සේනානායක පෙන්වා දෙයි. රාජ් සෝමදේවගේ මතය වන්නේ මේවා ආසියාවෙන් හමු වී ඇති පැරණිතම ශිලා අක්ෂර විය හැකි බවයි. පියන්ගල් මතුපිට හමු වී ඇති විවිධ ජ්‍යාමිතික සංකේත මගින් කිසියම් ජනකණ්ඩායමක්, වංශාවලියක්, වෙළඳ ශ්‍රේණියක්, ගෝත‍්‍රයක් ගම්‍යවන බව සුදර්ශන් සෙනෙවිරත්නගේ අදහසයි. කෙසේ වෙතත් යකඩ යුගය තුළ මෙරට වර්ධනය වෙමින් පැවැති කිසියම් සන්නිවේදන ක‍්‍රමයක් පිළිබඳව විශ්වාසනීය සාධක මෙතුළින් ආනාවරණය විය හැකි අතර භෂ්මාවශේෂවල අනන්‍යතාව හදුනාගත හැකි ක‍්‍රමවේදයක්ද මෙහි පැවති බවට උපකල්පනය කළ හැකි වේ.

සුසානයේ ඇති අනෙක් වැදගත්කම වන්නේ මිනිස් අවශේෂ තැන්පත් කර ඇති මංජුසා හා බරණිවලට යාබඳව කුඩා මැටිබඳුන් තුළ මළගිය පුද්ගලයා භාවිත කල භාණ්ඩ තැන්පත්කර තිබීම ය. ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ හමු වී ඇත. ඒවා තුළ තිබී සුවඳ විලවුන්, පබළු, තඹවලින් නිමකරන ලද මිලිමීටර් 190 දිගැති අඤ්ජන කුරු, ලෝහ පළඳනා, සතත්ව ඇටකටු, ඇත්දල වලින් සකසන ලද භාණ්ඩ, ඊ හිස්, යකඩ කැබැලි වැනි කෘති රාශියක් අනාවරණය වී ඇත. සුසානයෙන් හමු වී ඇති පබළු වර්ග වලින් වැඩි ප‍්‍රතිශතයක් කානිලියන්, ඇගේට්, ඛනිජ වර්ගවලින් නිමවා ඇත. උක්ත ඛනිජ වර්ග මෙරට නොමැති අතර පැහැදිලිව ම ඒවා වයඹදිග හෝ නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව ඔස්මන්ඞ් බෝපේආරච්චිගේ මතයයි. ඇත්දළ, පබළු, රන් ආලේප කරන ලද පබළු ඇටයක් මෙන්ම පබළු මාල හමු වී ඇත. ප‍්‍රභූවරයකුට අයත්යැයි උපකල්පනය කළ හැකි රත්රන් සිරස් පටියක් පවා මෙහි දි හදුනාගෙන ඇත. ඊජිප්තුවේ, මෙසපොතේමියාවේ ඉන්දු නිම්නය වැනි ශිෂ්‍ටාචාර වාසි කාන්තාවන් ස්වකීය ඇහි බැමි යට අක්ාන ආලේප කිරීම සඳහා භාවිත කරන තඹ කුරූවලට සමාන තඹකූරු ලැබී ඇත. මේවා දක්ෂිණ භාරතයේ කොහිල් (Kohil) නම් තඹ කූරූවලට සමාන බව පැවසේ එ පමනක් නොව ඉබ්බන්කටුවේ වැඩිදුරටත් පවත්වන ලද පර්යේෂණවලට අනුව එහි වාසිහූ කඳුකරයේ බහුලව ඇති ෆෙල්ස්පාර්, මිනිරන්, ඇම්නෙස්තර් වැනි ඛනිජවර්ග භාවිත කළ බවට අනාවරණය වී ඇත.

මෙවැනි වැළලූම් චාරිත‍්‍රවාරිත‍්‍ර සමුදායක් ලංකාවේ පමණක් නොව ක‍්‍රිස්තු පූර්ව 3,250-1,500 අතර කාල පරාසය තුළ වයඹ දිග ඉන්දියාවේ හරප්පා ශිෂ්ටාචාර වාසිහූ ද අනුගමනය කළ බවට සාක්ෂි එමට ය. සර් ජෝන් මාර්ෂල්, මෝටීමර් වීලර් වැනි ඉංග‍්‍රීසි පුරාවිද්‍යාඥයින් විසින් ඉන්දු නිම්න සභ්‍යත්වයට අයත් සොහොන් පරික්‍ෂා කිරීමේ දී එහි මිනිය පුළුස්සා අස්ථි කලස්වල බහා වැළලීමේ චාරිත‍්‍රයක් හා මියගිය පුද්ගලයා එදිනෙදා භාවිත කළ ආභරණ ප‍්‍රතිමා කුඩා කළස්වල බහා තැන්පත් කිරීමේ දී චාරිත‍්‍රයක් පැවති බවට සොයාගෙන ඇත. ලංකාව හා ඉන්දු නිම්නය අතර කිසියම් සබඳතාවක් තිබූ බවට මේ ආශ‍්‍රයෙන් උපකල්පන කල හැකි වුව ද එය තහවුරු කිරීම සඳහා ලැබී ඇති සාක්ෂි ප‍්‍රමාණවත් නැත. මෙම අවමංගල්‍ය චාරිත‍්‍ර සමුදායෙන් පෙනීයන්නේ එකල ලංකා වාසීන් අතර මරණින් මතු ජීවිතය පිළිබඳ ව හෝ පුනරුප්පත්තිය පිළිබඳව කිසියම් අවබෝධයක් තිබූ බවයි. එසේත් නැතහොත් සිය මුතුන්මිත්තන් පිදීමේ සිරිතක් ප‍්‍රචලිව තිබූ බවට සිතීමේ කිසිදු බාධාවක් නැත.

කැනීෙමන් අනාවරණය වූ මාලයක් ෙමම ඡායාරූපය http://lakdiva.org/ අඩවිෙයන් උපුටා ගන්නා ලදී.

සොහොන් බිමෙන් හමු වී ඇති විදේශයන්ගෙන් ආනයනය කරන ලද පබළු මාල, සුවඳ විලවුන්, අඤ්ක්‍ජන කූරූ, රත‍්‍රන් නළල් පටිය වැනි පුරා කෘතිවලට අනුව ද කාමර දෙක තුන සහිත සුසාන නිවාස වලට අනුව ද මෙහි වැළලූ අයවලුන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් සුඛෝපභෝගි ජීවන රටාවකට හුරු වී සිටි, එවකට සමාජයේ විශාල රාජ්‍ය හා ආර්ථික බලයක් හිමි ප‍්‍රභූ පිරිසක් බවට නිගමන කිරීම සාධාරණය. ඔවුහු ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාව වැනි රටවල් සමඟ වාණිජ සම්බන්ධතා පවත්වන්නට ඇති බව ඉබ්බන්කටුව සොහොන් බිමෙන් ලැබී ඇති විදේශීය පබළු වර්ග සහ සමහරක් රූපලාවන්‍යය ද්‍රව්‍යවලින් පැහැදිලි වනවා සේ ම ඒ සඳහා යම් දුරකට වර්ධනය වූ ගණුදෙනු ක‍්‍රමයක් ඔවුන් අතර පවතින්නට ඇති බව උපකල්පනය කළ හැකි වෙයි.

ශිලා මංජුසාවන්ගේ පියන්ගල් මත තිබී හමුවී ඇති සංකේත වලින් විශධ වන්නේ මෙම ජනතාව අතර දියුණු වෙමින් පවතින සන්නිවේදන ක‍්‍රමයක් හා කිසියම් අධ්‍යාපනික පරිචයක් සහිත පිරිසක් සිටි බව යැයි පැවසීම තර්කානුකූල ය. එපමණක් නොව ශිලා ඉදිකිරීම්, ලෝහ මෙවලම්, ආභරණ වර්ගවලින් ඒවා සැකසීම සඳහා උපයෝගි කරගෙන ඇති අමුද්‍රව්‍ය වලට අනුව තහවුරු වන්නේ මොවුහු තාක්ෂණික විෂයෙන් එතෙක් පැවැති තත්ත්වයට සාපේක්‍ෂකව ප‍්‍රගතියක් හිමිකර සිටි බවය.

ඉබ්බන්කටිටුව සුසාන භූමියේ විශාලත්වයෙන් එහි භූමදාන කර ඇති මිනී 300කට අධික ප‍්‍රමාණයක් අනාවරණය වීමෙන් විශධ වන්නේ ප‍්‍රදේශය අවට විශාල ප්‍රොටෝ ඓතිහාසික මානව ජනතාවාස ස්ථාපිතව තිබෙන්නට ඇති බවයි. මෙම ජනාවාස වියලි කලාපයන් තෙත් කලාපයන් අතර ව්‍යාප්ත ව පැවතීම කැපීපෙනේ. සුසානයට තරමක් ඈතින් ප‍්‍රාථමික වාරිකර්මාන්තයක් වශයෙන් සැලකෙන ඉදමොරලූව වැව ස්ථාපිත ව ඇත. අතිතයේ ප‍්‍රදේශයේ කෘෂිකාරමික හා වෙනත් මිනිස් මුලික අවශ්‍යතා ඉටුකර ගැනිම සඳහා පුර්ව ඵෙතිහාසික මානවයා විසින් ඵය ඉදිකරන්නට ඇති බව ඵ් සම්බන්දව අධ්‍යයනය කර ඇති පුරාවිද්‍යඥයින්ගේ අදහසයි. ප‍්‍රදේශයට සැලකිය යුතු දුරකින් පිහිටි නකල්ස් කඳුවැටිය හා ඵ් අවටින් හමුවන දුර්ලභ ඛනිජ වර්ග සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම සොහොන් භූමිය තුලින් අනාවරණය වීමත් විශේෂ ය. මෙම තොරතුරු සැලකිල්ලට ගත්විට පෙනියන්නේ ක‍්‍රි .පු .7-3 සියවස් අතර කාල පරිච්ඡේදය තුළ ඉබ්බන්කට්ටුව ප‍්‍රදේශය දේශියව මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් වැදගත් වාණිජ කේන්ද්‍රයක් ලෙස ක‍්‍රමක‍්‍රමයෙන් ගොනැගෙන්නට ඇති බවයග කෙසේ වෙතත් ඉබ්බන්කටුව් සුසාන භූමිය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ය. නව තාක්ෂණික ක‍්‍රමෙවිද භාවිත කරගෙන පවත්වනු ලබන ඵ වැනි පර්යෙෂණයක් මඟින් මෙම සුසාන භූමිය හා බැදුණු අවමංගල්‍ය චාරිත‍්‍රවාරිත‍්‍ර, සොහොන් තාක්‍ෂණය ඇතුළු වෙනත් පෝටෝ ඵෙතිහාසික යුගයේ සමාජ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

ආශ‍්‍රිත ග‍්‍රන්ත හා ලිපි නාමාවලිය

  • ජේ. ආර්. සමන් මංජුල, හෙළයෝ
  • මිරැන්ඩෝ ඔබේසේකර, ශ‍්‍රි ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික උරුමය
  • ඩි. තුසිත මැන්දිස්, ශ‍්‍රි ලංකාවේ ආදිතම ජනාවාස පිහිටුවා ගැනිමේ පසුබිම, සාර්ථි 2004,
  • එස්. දැරණියගල, (1995) ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පසුබිම, අපේ සංස්කෘතික උරුමය, සංස්. ආනන්ද ගුරුගේ, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ 1-4
Advertisements

1 COMMENT

  1. සෙල්ලිපි පිළිබඳ විස්තර අවශ්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.