රාජ් සෝමදේව

මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ.

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ දශක තුනක් ඉක්මවන ශාස්ත‍්‍රීය සේවය ඇගැයීමට ලක්වන මෙම අවස්ථාවට සහභාගි වීමටත් මෙහි රැස්ව සිටින ගෞරවනීය සභාව ඇමතීමටත් මට ආරාධනා කිරීම පිළිබඳව මම මෙම උත්සවයේ සංවිධායකයින්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි. මෙම සභාව අමතා මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය කටයුතු ඇගැයීමට ලක්වන ආකාරයේ මාතෘකාවක් පිළිබඳව අදහස් දැක්වීමේ වගකීම මා වෙත පැවරීමෙන් ඔබ සියලු දෙනා විසින් මා වෙත මහත් ගෞරවයක් දක්වා තිබේ.

දැනුම ගොඩ නැගීම සහ දැනුම පතල කිරීම සිය ජීවිතයේ කොටසක් කර ගත් ප‍්‍රගල්භ විද්වතෙකුගේ සමාජ දායකත්වය ඇගැයීමකට ලක් කිරීම අතිශය විචක්ෂණ බවකින් කළ යුත්තකි. විශේෂයෙන්ම මහාචාර්ය සෙනෙවිරත්න වැනි ශාස්ත‍්‍රීය පසුබිමක වර්ධනය වු පෞරුෂයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මෙය වඩාත් අදාල වේ යැයි මම සිතමි. මෙහි දී මගේ අවධානය යොමු වන්නේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ ඥානවිභාගාත්මක වර්ධනයට ඔහුගෙන් සිදු වු දායකත්වය දෙස මඳක් විපරමින් බැලීමටය. ඉහල උන්තාංශ දැක්මකින් අවලෝකනය කරන විට යමෙකුට පැහැදිලි විය හැකි ප‍්‍රධාන ම කරුණ වන්නේ මහාචාර්ය සෙනෙවිරත්න ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී පුරාවිද්‍යාඥයින්ගේ පරම්පරාවේ නව ගම්‍යතාවක් ජනනය කිරිමට අවශ්‍ය කරන පසුබිම සකස් කළ විසිවන සියවසේ අවසන් දශකවලට අයත් පුරෝගාමී ඓතිහාසික සමාජවිද්‍යාඥයින්ගේ ෂෝනරයට අයත් වූවෙකු බවය. එහි දී ඔහුගේ ස්වඅනන්‍යතාව පිළිබිඹු වන්නේ ඔහුගේ ශාස්ත‍්‍රීය පෞරුෂය මඟින් විමෝචනය කරන ත‍්‍රිමාන පර්යාවලෝකනය හේතු කොට ගෙන යැයි මම සිතමි. මෙකී ත‍්‍රිමාන පර්යාවලෝකනය නම්, 1. ඉතිහාසඥයෙකු ලෙස ඔහුගේ ආත්මීය පුහුණුව සහ දෘෂ්ටිය, 2. පුරාවිද්‍යාව තුළ ඔහුගේ පෞරුෂය සහ 3. සමාජ විද්‍යාඥයෙකු ලෙස ඔහුගේ භාවිතය යන තෙකරුණයි. වඩාත් පුළුල් විග‍්‍රහයක දී ඉතිහාසය සහ පුරාවිද්‍යාව සමාජ විද්‍යාවේම පර්යන්තයන් ලෙස පිළිගැනුන ද මා මෙහි දී ඒවා කේවල ශික්ෂණය ලෙස සමාජ විද්‍යාවෙන් හුදකලා කරන්නේ එකී විෂයයන්ට ආවේණික වු විධි ක‍්‍රමය හා තර්කණය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරිමෙනි.

මහාචාර්ය සෙනෙවිරත්න ශාස්ත‍්‍රීය ලෝකයට අවතීර්ණ වන්නේ ඉතිහාසඥයකු ලෙසය. 1978 වසරේ දී ඔහු පල කළ මෞර්ය රාජ්‍යය (The Mauryan State) නම් වූ ලිපිය ඉතිහාසඥයෙකු ලෙස අතීතය ප‍්‍රශ්න කිරිමට ඔහු තුළ තිබෙන ප‍්‍රවේණිය පැහැදිලි කරන එක් පැහැදිලි නිදසුනකි. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයෙන් ආරම්භ කොට සංගම් යුගයට අයත් තෝල්කාප්පියම් කෘතිය දක්වා වු පුළුල් කාල-අවකාශීය සන්දර්භයකට වැද තම උපන්‍යාසය වලංගු කිරීමට එහිදී ඔහු සාහිත්‍යමය අන්වේෂණයක යෙදෙන ආකාරය නිසර්ග ඉතිහාසඥයෙකු රුව අප ඉදිරියට ගෙනෙනු ලැබෙයි. 1985 වසරේ දී ජේම්ස් රත්නම් උපහාර කලාපයට ඔහු ලියූ ශ‍්‍රී ලංකාවේ බරත වංශිකයින් පිළිබඳ ලිපිය ඔහුගේ ආකල්පමය ස්වතතන්ත‍්‍රතාව දීප්තිමත් ලෙස සටහන් කරන්නක් බව මගේ හැඟීමයි. එම ලිපියේ දී කර්තෘවරයා වෑයම් කරන්නේ ක‍්‍රිස්තු පූර්ව පළමුවන සහස්‍රක වර්ෂයේ අවසන් භාගයේ දී මෙරට ජනසංයුතියේ ඇතිවන ගම්‍යතාවක් පැහැදිලි කිරිමටය. විශේෂයෙන්ම අසල්වාසී දකුණු ඉන්දියාව මූල් ඓතිහාසික යුගයේදී මෙරට ජන සංයුතියේ සංරචනයට දායකවන අන්දම පිළිබඳ මූලික මතයක් ගොඩනගන්නට ඔහු එහිදී වෑයම් කරයි. මෙය වූ කලී සාර්ව භුගෝල විද්‍යාත්මක ප‍්‍රවේශය හෙවත් (Phylogeographic approach) නමින් හැඳින්වෙන න්‍යායාත්මක ප‍්‍රවේශයයි. මගේ දැක්මේ හැටියට ඇත්ත වශයෙන්ම එය එම ලිපිය රචනා කළ අවධියට සාපේක්ෂව කිරා මැන බලන්නේ නම් එම ලිපිය රචනා කිරීමම ශාස්ත‍්‍රීය ලෙස උඩු ගං බලා පිහිිනීමට ඔහු ගත් උත්සාහයයකි. වාර්ගික පාරිශූද්ධතාව පිළිබඳ අදහස් මාලාවක් සම්ප‍්‍රදායික වෘත්තාන්ත ඉතිහාසය මඟින් ප‍්‍රචලිත කොට උතුරු ඉන්දීය ප‍්‍රභවයක් හඟවන ජනසම්මිශ‍්‍රණයක් රටේ පොදු ඉතිහාසය තුළ වලංගු කොට දකුණු ඉන්දියාව දෙස පසමිතුරුව බලන්නට පුරුදු වී සිටි අවධියක දකුණු ඉන්දීය ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය මෙරට සංස්කෘතියේ ඓතිහාසික වර්ධනයට දැක් වූ දායකත්වය ශාස්ත‍්‍රීය ලෙස විමර්ශනය කොට පැහැදිලි කිරීමට මහාචාර්ය සෙනෙවිරත්න විසින් ගත් උත්සාහය විද්වතෙකුගෙන් සමාජයක් බලාපොරොත්තු වන ඥානමූලික අදීනතාව පිළිබඳ ප‍්‍රකාශනයක් ලෙස මම දකිමි. භෞතික වශයෙන් සමීප සංස්කෘතීන් අතර විය හැකි සංස්කෘතික සත්තාවන්ගේ විසරණය පිළිබඳ ඓතිහාසික යථාර්ථය එහිදී ඔහු විවරණය කළේය. 1994 වසරේදී ඔහු විසින් ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ මහාශිලා සම්ප‍්‍රදායට අයත් සුසාන භූමි සහ කාලරක්ත වර්ණ වළං සහිත ස්ථාන පිළිබඳ ලිපිය අසල්වාසී සංස්කෘතීන් අතර හට ගන්නා ප‍්‍රතික‍්‍රියාවන් තේරුම් කිරිමට ඔහු පුරාවිද්‍යාත්මක අන්තරීක්ෂයකට ප‍්‍රවේශ වන ආකාරය අප වෙත පෙන්වා දෙයි. interpretative understanding හෙවත් අර්ථනිරූපනාත්මක අවබෝධය ජනනය කිරීමේ න්‍යායික තලයක වර්ධනය වන මෙකී ඥාන ව්‍යාපාරය තුළ ජර්මානු දාර්ශනික ආනුභාවේ රිද්මය ඉස්මතු වන්නට යත්න දරන මුත් මහාචාර්ය සෙනෙවිරත්න සිය ශාස්ත‍්‍රීය ආධ්‍යත්මය තුළට ආවේශ කර ගත් මාර්ක්ස්වාදී ආවේගයක් ඒ සියල්ල ඉක්මවා පැන නැගී ස්ථාවර වන බව මගේ අදහසයි.

මෙරට මුල්කාලීන සමාජ පරිණාමය සම්බන්ධයෙන් 1980 දශකය වන විට දේශීය පුරාවිද්‍යා පර්යේෂණ ක‍්‍රියාදාමයේ මුදුන්පත්ව පැවති එමෙන්ම එහි යටිතලය පුරා විහිදී පැවති ප‍්‍රධාන න්‍යායික ධාරණා තුනක් වී යැයි මම අනුමාන කරමි. ඉන් පළමුවැන්න මෙරට සංස්කෘතික පරිණාමයට උතුරු ඉන්දීය ප‍්‍රභවයක් හෝ එසේ නොවේ නම් ඊට එහි සෘජු ආනුභාවක් තිබේය යන අදහසයි. ආර්යාගමනය හෝ ආර්ය ජනාවාස පිහිටුවීම යනුවෙන් සාරාංශ කොට දැක්වෙන්නේ මෙම කල්පනාවයි. දහනමවන සියවසේ අවසන් භාගයේ සිට වර්ධනය වන මෙම න්‍යායික අදහස 1980 දශකය වන තෙක්ම මෙරට ඓතිහාසික සමාජ විද්‍යාව සම්බන්ධයෙන් අධිපතිවාදී ස්ථාවරයක් දැරීය. මෙරට ප‍්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අනභියෝගී විශිෂ්ට පර්යේෂණ කටයුතු ඇතුළුව අන් ස්වදේශීය විද්වතුන්ගේ අසමසම පර්යේෂණ කටයුතු මඟින් එළි දක්වන ලද දැනුමේ වැඩි අවකාශයක් සංකේන්ද්‍රණය වුයේ මෙම න්‍යායය පසුබිම් කොට ගෙනය. එක් අතකින් එය ලෝක පුරාවිද්‍යාවේ සංවර්ධන ක‍්‍රියාදාමයට අයත් සංස්කෘතික විස්තීරණය නම් වු න්‍යායික මාදිලියට අයත් බුද්ධිමය ප‍්‍රවේශයකි. සංස්කෘතියක ප‍්‍රභවය තවත් මහා සංස්කෘතියක ලක්ෂණ අවකාශය හරහා විසරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අර්ථවිග‍්‍රහ කිරීම මෙහිදී සිදු වෙයි. මෙහි මවිසින් සඳහන් කරන්නට යෙදුනු දෙවන න්‍යායික ධාරණාව මඟින් පැහැදිලි කරන්නේ මෙරට සංස්කෘතියේ වර්ධනය අභ්‍යන්තර ගතිකතාවක උත්සන්න ප‍්‍රතිඵලයක් බවයි. ඓතිහාසික විශිෂ්ටතාවලට පසුබලය සපයන දේශිය ලක්ෂණත් ඒවා සමඟ සමාන්තරගත වන බහිර්ජන්‍ය සාධක පිළිබඳවත් මෙම න්‍යායික මාදිලිය තුළ කතිකාවක් ගොඩ නැගේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ ව්‍යුහවාදී-මාර්ක්ස්වාදී මඟක් ගත් මහාචාර්ය සේනක බණ්ඩාරනායක සහ කලා ඉතිහාසය තුළ මහාචාර්ය සිරි ගුනසිංහ වැනි විද්වතුන් මෙම සංකල්පීය ෂෝනරයට අයත් යැයි මම සිතමි. මේ සම්බන්ධයෙන් වන තෙවන න්‍යායික ධාරණාව මෙරට ඉතිහාසයේ මුල් යුගයේ සමාජ සංවිධානය සහ ආයතන සම්බන්ධයෙන් දකුණු ඉන්දීය අර්ධද්වීපයේ සම්බන්ධතාව සහ දායකත්වය සාකච්ඡාවට ලක් කරයි. මෙම න්‍යායික මාදිලිය මෙරට පුරාවිද්‍යාව තුළ වර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලබන්නේ මහාචාර්ය සෙනෙවිරත්නයි. සමස්තයක් වශයෙන් ගත් විට මේ න්‍යායික මාදිලි තුනකම ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ තේමාව ඔපමට්ටම් කිරිම සඳහා එකිනෙකට වෙනස් පරිමාණවලින් දායක වී ඇති බව අප විසින් පිළිගත යුතු යැයි මම කල්පනා කරමි.

Sudharshan Senevirathne-Archaeology-Sri Lanka (3)
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය ලිපිලේඛනවල ස්වර්ණමය අවධිය ලෙස සැලකිය හැකි 80 දශකය තුළ පල වූ සියලුම ශාස්ත‍්‍රීය ලිපි ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ ක්ෂෙත‍්‍රය තුළ ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර ක්ෂිතිජයක් නිර්මාණය කරනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. තවමත් මෙරටේ ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර පවතින අතර්කානුකූල ඥාතිත්වය තර්කානුකූල සංවාදයක් බවට පරිවර්තනය කිරිමට ඔහුගෙන් සිදු වූ සේවය ප‍්‍රසංශනීයය. ඉයන් හොඩර් විසින් එක් අවස්ථාවක පල කළ අදහසක් උපුටා දැක්වීමට මම මෙහිදී ඔබ සියලු දෙනාගෙන් අවසරය පතමි. පුරාවිද්‍යා තුළ තිබෙන විමතිය දනවන ප‍්‍රවේශයන් කිසිවකට ද්‍රව්‍යමය සංස්කෘතියේ ප‍්‍රවේණිය හෝ විශේෂතා විස්තර කළ නොහැකිය. එහෙයින් පුරාවිද්‍යාවේ සංස්ලේෂී සහ ව්‍යුහවාදී ප‍්‍රවේශයන්ට ඓතිහාසික මානයක් ඇතුළු කිරිම අවශ්‍යය. ඉතිහාසය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ කොලින්වුඞ්ගේ පැහැදිලි කිරීම අනුව ඉතිහාසයේ අභ්‍යන්තරයයි. Long term history හෙවත් දිගුකාලීන ඉතිහාසයට දායක වීමට නියත වශයෙන්ම පුරාවිද්‍යාව හැකියාවක් තිබේ. දිගුකාලීන ඉතිහාසය අතිතයත් වර්තමානයත් අතර පවත්නා සබඳතා පිළිබඳව නොයෙකුත් ප‍්‍රශ්න නගන බව සැබෑවකි. නමුත් එමගින් නව පර්යාවලොක්නයක් ගොඩ නගයි. නිදසුනක් ලෙස ද්‍රව්‍යමය වස්තු සහ අදහස් අතර පවතින අන්තර් සබඳතාව, දීර්ඝකාලීනව පැවති සමාජ ව්‍යුහයන් සමාජ පද්ධතීන්ට කේන්ද්‍රික ද නැතහොත් ඒවා පරිධියේ ස්ථානගත වූ ඒවාද යනාදී ප‍්‍රශ්නයි. හොඩර්ගේ මෙම විස්තරය මහාචාර්ය සෙනෙවිරත්න ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාව තුළ ඉටු කළ ශාස්ත‍්‍රීය මෙහෙය ඇගැයීමට අවශ්‍ය කරන කවුළුවක් සකස් කරයි. ඇත්ත වශයෙන්ම මහාචාර්ය සෙනෙවිරත්න මෙරට ශාස්ත‍්‍රාලය තුළ පෙනී සිටින්නේ නූතන පුරාවිද්‍යාත්මක පදනමක පිහිටා ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට ඓතිහාසික මානය නිසි අයුරින් හඳුන්වා දුන් විද්වතෙකු ලෙස යැයි මම විශ්වාස කරමි.

මහාචාර්ය සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය මෙහෙයට අයත් තෙවන පර්යාවලෝකනය පෙන්නුම් කරන්නේ ඔහු සමාජ විද්‍යාඥයෙකු ලෙස පෙනී සිටිමෙනි. විශේෂයෙන්ම 1990 දශකයේ මැද භාගයෙන් පසු ඔහු විසින් රචනා කරන ලිපි බොහෝමයක පශ්චාත් නූතනවාදී දෝංකාරයක් ඇතැයි මම කල්පනා කරමි. Tradition, dissent and ideology නම් වු කෘතියට මහාචාර්ය සෙනෙවිරත්න විසින් රචනා කරන Peripheral Regions and Marginal Communities නම් ලිපිය මගේ සිහියට නගන්නේ ජැක් ඩැරිඩා විසින් රචිත පහත සඳහන් අදහසයි. All we have in history is a series of constructed texts commenting on constructed texts commenting on constructed texts, in a seemingly endless circle of constructed meanings which cannot be directly assessed against an unmediated ‘real’ past.

Raj Somadeva-Archaeology-Sri Lanka
මහාචාර්ය රාජ් සෝමදේව

මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න වෙනුවෙන් මා කළ ඇගැයීම අවසන් කිරීමට මත්තෙන් ඔහුගේ අනල්ප සේවයට කෘතවේදී විමක් ලෙස ඔහුගේම ගුරුවර මහාචාර්ය රොමිලා තාපර් විසින් ප‍්‍රකාශිත එමෙන්ම ඔහු වඩාත්ම ප‍්‍රිය කරන ශාස්ත‍්‍රීය සංකල්පයකින් මගේ දේශනය අවසන් කිරීමට මට ඉඩ දෙන්න. ඈත යුග පිළිබඳව හැදැරීමට මනා සහයක් ලැබෙන්නේ ඉතිහාසයට වඩා පුරාවිද්‍යාවෙන් බව දැන් පිළිගැනෙන සත්‍යයකි මේ මඟින් ඉතිහාසයත් පුරාවිද්‍යාවත් අතර අනුල්ලංඝනීය සබඳතාවක් ගොඩ නගයි. දත්ත රැස් කිරීමේදි මෙම ශික්ෂණයන් දෙක අතර වෙනස්කම් පැවතියත් අතිතය අර්ථ නිරූපනයේදී ඒ දෙකම අනුගමනය කරන්නේ එක හා සමාන විධික‍්‍රමයකි එක් වර්ගයක සමාජයක් තවත් වර්ගයක සමාජයක් තෙක් වෙනස් වීම සහ සංක‍්‍රාන්තියක් ලබා ගැනීම වඩාත් හොඳින් පැහැදිලි කිිරීමට ඉතිහාස මූලාශ‍්‍රවලට හැකි වන්නේ පුරාවිද්‍යාව මඟින් ගොඩ නඟන පොදු රාමුවක් තුළ එය සැසඳිමෙන් හෝ සම්බන්ධ කිරීමෙනි. මහාචාර්ය සෙනෙවිරත්න අප සියලු දෙනා වෙනුවෙන් මේ කාර්යයට අත ගැසීය.

*www.archaeology.lk වෙබ් අඩවිය දොරට වැඩීමේ උළෙලට සමගාමිව සංවිධානය කරන ලද මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න උපහාර උළෙල වෙනුවෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශ්‍රවණාගාරයේ දී 2009 දෙසැම්බර් 17 දින මෙම‍ දේශනය පවත්වන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.