සුමේධ වීරවර්ධන

දර්ශන අධ්‍යයන අංශය, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

සුමේධ වීරවර්ධන

ආනෙයිකෝඩ්ඩේ යනු, ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයේ පිහිටි ගමකි. යාපන දිස්ත‍්‍රික්කයට අයත් ගමක් වන එහි පිහිටා ඇති මෙගලිතික හෙවත් මහාශිලා සම්ප්‍රදායට අයත් යැයි සැලකෙන සුසාන භුමියක 1980 වසරේ දී යාපන විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කැනීමක් සිදු කර ඇත. ඒ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල, ආචාර්ය එස්.කේ. සිත්‍රම්පලම් සහ ආචාර්ය පොන්නම්බලම් රඝුපති විද්වතුන් ති දෙනාගේ මූලිකත්වයෙනි. ඒ කැනීමේ දී දිගින් සෙන්ටිමීටර් 1.7ක් සහ පළලින් සෙන්ටිමීටර් 1.5ක් පමණ වන වැදගත් පුරාවස්තුවක් හමු වී ඇත.1 ඒ වටිනා පුරාවස්තුව සහ ඒ සමග තිබී හමු වූ අනෙකුත් පුරාවස්තු ද සැලකිල්ලට ගත් ආචාර්ය රඝුපති එය කිසියම් ප‍්‍රභූවරයෙකු විසින් භාවිත කරන ලද පේරැස් මුදුවක් යැයි අනුමාන කරයි.2 මේ මුද්‍රාවේ ඇති සංකේත ගැන විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. මෙහි ඇති සංකේත පේලි දෙකෙන් ඉහළින් ඇති පේළියේ ඇති සංකේත රූපාක්ෂර විශේෂයක් යැයි සැලකෙන අතර ඒවායින් අදහස් කරන්නේ කුමක්දැයි මෙතෙක් නිශ්චිත නිගමනවලට එළඹී නැත. එහෙත් මේ ලෝහමය මුද්‍රාවේ පහතින් ඇති පේලියේ ඇති සංකේත නිසැකවම පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර වන බවත් ඒවා ක‍්‍රිස්තු පූර්ව දෙ වන හෝ තුන් වන සියවසට අයත් විය හැකි බවත් කියැ වේ.3 මේ පිළිබඳව අදහස් දක්වා ඇති විද්වතුන් අතර ආචාර්ය පොන්නම්බලම් රඝුපති, මහාචාර්ය කාර්තගේසු ඉන්ද්‍රපාල සහ මහාචාර්ය රාජ් සෝමදේව යන අය ප‍්‍රධාන වේ. මේ ලිපියේ අරමුණ ආනෙයිකෝඩ්ඩේ ලෝහ මුද්‍රාව තුළ දක්නට ලැබෙන සංකේත පිළිබඳව සිදු කර ඇති අර්ථකතන සහ මේ අභිලේඛන ශ‍්‍රී ලංකාවේ උතුරුකරයේ දෙමළ නිජභූමියක් පැවති බවට සාධකයක් ලෙස සැලකිය හැකි ද යන්න විමසා බැලීම යි.

මුද්‍රාව හමු වූ සොහොන් ගැබ (Ragupathy, P., Early settlements in Jaffna: An archaeological Survey, Thillimalar Ragupathy; Madras;1987; pp.119, 200

ලෝකඩ ලෝහයෙන් සැකසුණු එකක් යැයි සැලකෙන ඉහත කී මුද්‍රාව හමු වී ඇත්තේ SK1 යනුවෙන් නම් කරන ලද සොහොන් ගැබ තුළිනි.4 තල් ගසක මුලක් ගමන් කිරීම නිසා හිස් කබලට හානි සිදු වී ඇති අඩි 5ක් පමණ උස් වූ මෘත ශරීරයක් අසල තබී හමු වූ තැටියක (ECBRW) තිබී මේ ලෝකඩ මුද්‍රාව තිබී ඇත. එහි තුළම තිබී ලෝකඩවලින් කරන ලද වෘත්තාකාර පටියක් වැනි යමක කැබලි කීපයක් ද හමු වී ඇත. කාල රක්ත වර්ණ තැටි, කාල රක්ත වර්ණ බඳුන්, රක්ත වර්ණ මැටි බඳුන්වල තිබී මේ පුරා වස්තු හමු වී ඇත. මේ සොහොන තුළ තිබී කකුළුවන්, මුතු බෙල්ලන් වැනි මුහුදු සත්වයින්ගේ බෙලිකටු ද හමු වී ඇත. ඒවා අතරින් ඇතැම් ඒවා සිදුරු කර ඇති අතර එසේ කර ඇත්තේ එකී මුහුදු බෙල්ලන්ගේ මාංශ කොටස් පිටතට ඇද ගැනීම සඳහාය යන්න කැනීම සිදු කළ පුරාවිද්‍යාඥයින්ගේ අදහස යි.5 මෝරෙකුගේ අස්ථිවලින් සකසනු ලදැයි සැළකෙන ආභරණයක් වැනි යමක කොටස් ද එහි තිබී සොයාගෙන ඇත. මේ මිනිස් ඇටසැකිල්ල වටා විවෘත නොකරන ලද බෙලි කටු ගොඩගසා තිබී ඇති අතර ඇට සැකිල්ලේ පාද දෙක ලඟ ඒවා වැඩි වශයෙන් ගොඩ ගසා තිබී ඇත. මීට අමතරව යකඩ උලක් හා තවත් භාණ්ඩයක් ද එහි තිබී හමු වී ඇත.

මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලට අනුව ඒ මුද්‍රාවේ පහත පේළියේ බ‍්‍රාහ්මී අකුරු තුළින් කියැවෙන්නේ ‘කෝවේන්ත‘ (Kōvēnta) හෝ ‘කෝවේතන්‘ (Kōvētaṉ) යන්න යි.6 ඒ වචන දෙකින් කුමක් වුවත් එය නිසැකවම ද්‍රවිඩ වචනයක් වන බව ඔහු ඉඳුරාම පවසයි. ඔහුට අනුව ‘කෝවේන්ත‘ යන්න සකස් වී ඇත්තේ ‘කෝ‘ සහ ‘වේන්ත‘ යන පද දෙකෙනි.7 පැරණි දෙමළ හා මලයාලම් සාහිත්‍යයෙන් නිදසුන් ගෙනහැර දක්වමින් ඔහු විසින් පෙන්වා දීමට උත්සහ කරනු ලබන්නේ මේ වචන දෙකින්ම අදහස් කෙරෙන්නේ ‘රජු’ යන්න බවයි.8 ඔහුගේ තර්කය සත්‍යයක් ලෙස පිළිගතහොත් මේ ලෝකඩ මුද්‍රාවේ දක්නට ලැබෙන බ‍්‍රාහ්මී අකුරුවලින් ‘රජු’ යන්න දෙ වරක් ලියැ වී ඇත. මහාචාර්ය ඉන්ද්‍රපාල වැඩිදුරටත් පවසන්නේ මුද්‍රාවේ ඉහළ පේලියේ සංකේත තුනක් දක්නට ලැබෙන බවයි.

ආනෙයිකෝඩ්ඩේ ලෝහ මුද්‍රාව Ragupathy, P., Early settlements in Jaffna: An archaeological Survey, Thillimalar Ragupathy; Madras;1987; pp.119, 200

ආචාර්ය රඝුපති ද මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මතය හා එකඟ වෙයි. එහෙත් ඔහුට අනුව, මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල අනුස්වාරයක් ලෙස සලකනු ලබන තිත, ඉහත පේළියේ සංකේත අතරින් තුන් වැන්නේ කොටසක් වීමට ද ඉඩ තිබේ.9 රළු වශයෙන් එක සමාන ලෙස පෙනී යන එහෙත් එකිනෙකින් වෙනස්වන ඉහත පේළියේ ඇති සංකේත තුනෙන් දෙකකින් දක්වා ඇත්තේ පහත පේළියේ බ‍්‍රාහ්මී අකුරුවලින් දක්වා ඇති දේම බව මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල පවසයි.10 ඔහු පවසන දේම එහි සඳහන් වන්නේ නම් ඉහත පේළියේ රූපාක්ෂරවලින් දක්වා ඇත්තේ ද ‘රජු’, ‘රජු’ යන්නම වේ. ඉහළ පේලියේ තුන් වැනි රූපාක්ෂරය මඟින් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න පිළිබඳව ඔහු නිහඬ වෙයි. තම අදහස් සනාථ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කර ඇති කෙස් පැලෙන තර්ක පදනම් වී ඇත්තේ මහාචාර්ය ටී.වී.මහාලිංගම්, ජී.යස්දානි සහ බී.බී. ලාල් වැනි විද්වතුන්ගේ අධ්‍යනයන් මත ය. මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් අනුස්වාරයක් ලෙස සලකනු ලබන තිත ඉහළ පේළියේ සංකේත අතරින් තුන් වැන්නේ කොටසක් විය හැකිය යන ආචාර්ය රඝුපතිගේ අදහස පිළිගතහොත්, මේ ලෝකඩ මුද්‍රාවේ ඉහළ පේළියේ තෙ වැනි සංකේතය, තිතකින් සහ ඉංග‍්‍රීසිි ‘ජ’ අකුරට සමාන හැඩයකින් යුතු වූවකි. සමහර වෙනස්කම් සහිතව වුවත් මේ සංකේතය යෙදුණු අවස්ථා රාශියක් ඉන්දු නිම්නයෙන් හමු වී ඇති මුද්‍රාවල ද දක්නට ඇතැයි ආචාර්ය රඝුපති පවසයි.11

ඉන්දු නිම්න සහ හරප්පා වැනි ප‍්‍රදේශවල කරන ලද කැනීම්වලින් ද ඉහත කී මුද්‍රාවේ ඉහළ පේළියේ දැක්වෙන සංකේත වැනි දෑ හමු වී ඇති බව ආචාර්ය කේ.වී. රමේෂ් ද පවසන නමුත් ඒවායින් ‘ජු’ යන්න අදහස් කළේ ද යන්න සැක සහිත බව ඔහු පවසයි.12 වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු වන ශිව ත්‍යාගරාජා වැනි විද්වතුන් ද ඉන්ද්‍රපාල සහ රඝුපති යන විද්වතුන් විසින් දක්වා ඇති ඉහත කී අදහස් නැවත පුනරුච්ඡාරණය කර ඇත.13 රමේෂ්ගේ ඉහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මුද්‍රාවේ ඉහළ පේළියේ ඇති සංකේතවල අර්ථය පිළිබඳව විද්වතුන් අතර මෙතෙක් කිසිදු එකඟතාවක් නොමැති බවයි.

ආචාර්ය රඝුපති සහ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මේ අභිලේඛනයට ලබා දී ඇති අර්ථකතන මඟින් පෙන්වා දීමට උත්සාහ කරන්නේ මේ අභිලේඛනය සැකසුනු අවධියේ දී ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දෙමළ භාෂාව කථා කළ ජනතාවක් වාසය කර තිබෙන බවයි. මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මේ නව අර්ථකථනය ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ නිගමනයට පරස්පර වූවකි. තම ආචාර්ය උපාධිය මඟින් ඔහු සනාථ කිරීමට උත්සහා කරන ලද්දේ දහතුන් වන සියවසේ මැද භාගය වන තෙක්ම ශ‍්‍රී ලංකාවේ ස්ථිර දෙමළ ජනාවාස නොතිබූ බවයි. එනම් එතෙක් මෙරට සිටි දෙමළ ජනතාව එක්කෝ ආක‍්‍රමණ හෝ වෙළෙඳාම සඳහා තාවකාලිකව පමණක් මෙහි වාසය කළ අය වන බවයි.14 මේ විද්වතුන්ගේ මතවාදවල ආභාෂය ලැබූ ඇතැම් දෙමළ විද්වතුන්ට අනුව මේ මුද්‍රාව අයත් පුද්ගලයා වාසය කළ කාලයේ යාපන ප‍්‍රදේශයේ දෙමළ බෞද්ධයන් ද වාසය කර ඇත.15

ආනෙයිකෝඩ්ඩේ ලෝහ මුද්‍රාෙවහි විශාලනය කරන ලද ඡායාරූපයක් Ragupathy, P., Early settlements in Jaffna: An archaeological Survey, Thillimalar Ragupathy; Madras;1987; pp.119, 200

ආචාර්ය රඝුපති සහ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් මේ අභිලේඛනයට දෙනු ලබන අර්ථකතනය විවේචනය කළ විද්වතෙකු ලෙස මහාචාර්ය රාජ් සෝමදේව හඳුනාගත හැකි ය. මේ මුද්‍රාවේ ඉහළ පේළියේ ඇති සංකේත, රූප සංකේත, (Pictograph) විශේෂයක් ලෙස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් සිදුකළ හඳුනාගැනීමට මහාචාර්ය සෝමදේව ද එකඟ වේ.16 එහෙත් එහි ඉහළ පේළියේ රූපාක්ෂර සහ පහත පේළියේ බ‍්‍රාහ්මී අක්ෂරවලට මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල විසින් දී ඇති අර්ථකථනය ව්‍යාකූල එකක් වන බව ඔහු පවසයි.17 මහාචාර්ය සෝමදේවට අනුව මුද්‍රාවේ පහළ පේළියේ ඇති අක්ෂර තුන වන්නේ පිළිවෙළින් ‘ත’ ‘ව’ ‘ක’ යන අක්ෂර තුනයි.18 එහෙත් මෙලෙස වමේ සිට දකුණට කියවීමෙන් ලැබෙන ‘තවක’ යන්නෙන් කිසිදු තර්කානුකූල අදහසක් ලබාගත නොහැකි බවත්, මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ද කර ඇති ආකාරයට ඒ අක්ෂර කියැවිය යුත්තේ දකුණේ සිට වමට බවත් මහාචාර්ය සෝමදේව ද පිළිගනියි.

“එසේ කියවීමේ දී රූපයේ දකුණු පසින් ‘ව’ සහ ‘ත’ යන ව්‍යඤ්ජනාක්ෂරවලට යොදා ඇති කෙටි තිරස් රේඛාවලින් හඟවනු ලබන්නේ එම ව්‍යඤ්ජනාක්ෂර ‘එ’ යන ස්වරය සමඟ සංයෝග කර ඇති බව ය. එවිට එම අක්ෂර තුන පිළිවෙලින් (කෙ) (වෙ) (ත) යනුවෙන් කියවිය හැකි ය. ඉන්ද්‍රපාල ආනෙයි කෝඞ්ඩෙයි මුද්‍රාව පිළිබඳ සිය ශාස්ත‍්‍රීය ආඥාදායකත්වය පිළිබිඹු කරන්නේ මෙම පදයේ අක්ෂර කියවීමට උත්සාහ ගැනීමේදී ය.”19

මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලට අනුව මේ අභිලේඛනය දෙමළ බ‍්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී ඇතත් මහාචාර්ය සෝමදේවට අනුව මෙහි අක්ෂර වඩාත් සමීප වන්නේ උතුරු ඉන්දීය බ‍්‍රාහ්මී අක්ෂරවලට වන අතර එය සිංහල ප‍්‍රාකෘත භාෂාවෙන් ලියැවී ඇත.20 ශ‍්‍රී ලංකාවේ මුල් කාලීන බ‍්‍රාහ්මී ලිපිවල දීර්ඝ ස්වරයක් දක්නට ලැබෙන්නේ කලාතුරකින් බවත්, තම අර්ථ දැක්වීමේ දී ඉන්ද්‍රපාල එම සිංහල ප‍්‍රාකෘත රීතිය නොසලකා හැර, එය ලියා ඇත්තේ ද්‍රවිඩියානු භාෂාවකින්ය යන අත්තනෝමතික උපකල්පනයකට එළඹ ඇති බවත්, මහාචාර්ය සෝමදේව සඳහන් කරයි.21

“එම මුද්‍රාව යාපන අර්ධද්වීපයෙන් හමු වූ පමණින් එහි වෙසෙන වර්තමාන බහුතරයක් කතා කරන භාෂාව මින් වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇති මුද්‍රාවකට ඇතුළත් වී ඇතැයි (කි)සිදු අන්සාධකයකින් තොරව විනිශ්චය කිරීම ඉන්ද්‍රපාල අතින් සිදු වී ඇති බලවත් අතපසු වීමක් සේ පෙනේ.”22

මහාචාර්ය සෝමදේවගේ ඉහත ප‍්‍රකාශයෙන් ද පැහැදිලිවන්නේ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ අර්ථ දැක්වීම සාවද්‍ය එකක් වන බව යි.

මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල තම අර්ථදැක්වීමේ දී බ‍්‍රාහ්මී අක්ෂර තුනෙන් අවසාන අක්ෂරයට ඉහළින් අනුස්වාරයක් (තිතක්) ඇතැයි උපකල්පනය කර ඇත. එහෙත් සෝමදේවට අනුව මුල්කාලීන යුගයේ දී අනුස්වාරය යොදන්නේ අදාළ අක්ෂරයට දකුණු පසින් මිස ඉහළින් නොවේ.23 ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල අනුස්වාරය ලෙස ගෙන ඇත්තේ ඉහළ පේලියේ ඇති සංකේත තුනෙන් අවසන් රූපාක්ෂරය වන බවයි. එහි දී සෝමදේව රඝුපති විසින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස සමඟ එකඟ වෙයි. මේ පදය කියවීම ඉන්ද්‍රපාල සිතන තරම් දුෂ්කර වූවක් නොවන බව පවසන සෝමදේව, මෙහි ඇති අකුරුවලින් කියැවෙන ‘කෙවෙත‘ යන සිංහල ප‍්‍රාකෘත පදය සංස්කෘත ‘කෙවර්ත‘ යන වචනයෙන් සකස්වූවක් විය හැකි බව ද පවසයි.24කෙවුළු‘ සහ ‘කේවට්ට‘ යනු ද කෙවෙත යන සිංහල ප‍්‍රාකෘත පදයේ තවත් ස්වරූප දෙකක් වන බවත් එයින් අදහස් කරන්නේ මසුන් මරන්නා (ධීවරයා) යන්න බවත් වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි. මේ ලෝහ මුද්‍රාවේ කොටා ඇති පාඨය, ඒ මුද්‍රාව අයත් ධීවරයින්ගේ (පූගය) හෙවත් වෙළඳ සභාවේ අනන්‍යතාව නියෝජනය කරන්නක් විය හැකි බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.25 බ‍්‍රාහ්මී අක්ෂරවලින් යුතු මෙවැනි පාෂාණමය මුද්‍රා ශ‍්‍රී ලංකාවේ වෙනත් ප‍්‍රදේශවලින් ද හමු වී ඇති බව ඔහු පවසයි. එමෙන්ම ඒ මුද්‍රා ඍජුවම වෙළඳාම සමඟ සම්බන්ධ බව ද ඔහු පෙන්වා දී ඇත.26

මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මතය විවේචනය කිරීමේ දී මහාචාර්ය සෝමදේව, යාපන ප‍්‍රදේශයෙන් හමු වී ඇති තවත් සිංහල ප‍්‍රාකෘත අභිලේඛනයක් වන වල්ලිපුරම් රන් පතෙහි අඩංගු කරුණු ද යොදා ගනියි.27 වල්ලිපුරම් රන්පත අනුරාධපුර සිටි මහරජුගේ නියෝජිතයෙකු විසින් එවකට නාගදීපය යනුවෙන් හඳුන්වන ලද වත්මන් යාපන ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානයක් ගොඩනැඟීම අරභයා නිකුත් කරන ලද්දකි. එමෙන්ම අදාළ යුගයේ බ‍්‍රාහ්මී ලිපිවල ‘කො‘ යන්න යෙදී ඇති ආකාරය දැක්වීම සඳහා ඔහු සම කාලීන බ‍්‍රාහ්මී ලිපි පහක් පාඨකයාගේ අවධානයට යොමු කරයි.28 යාපන අර්ධද්වීපයේ පුරාණ ජනාවාසකරණය පිළිබඳ තම උටෝපියානු කල්පිතය සනාථ කිරීම සඳහා ආචාර්ය රඝුපති විසින් යොදාගෙන ඇති ප‍්‍රධාන ලිඛිත සාධකය ද මහාචාර්ය ඉන්ද්‍රපාලගේ මේ සදොස් අර්ථකතනය බව ද මහාචාර්ය සෝමදේව පෙන්වා දී ඇත.29

“ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ ස්වරාජ්‍යවාදී ආකල්පයට මෙසේ ගොදුරක් නොවන්නට ආචාර්ය ඉන්ද්‍රපාලට ආනෙයිකෝඞ්ඩෙයි ලෝහ මුද්‍රාවේ සැබෑ හිමිකරුවන් වන ධීවරයන් කණ්ඩායම පහසුවෙන් හඳුනාගෙන ඔවුන්ට ඉතිහාසයේ හිමිවිය යුතු සැබෑ තැන තහවුරු කර දෙන්නට අවකාශ තිබිණි”

යැයි පවසමින් මහාචාර්ය සෝමදේව තම විවේචනාත්මක ලිපිය අවසන් කරයි.30

ඉන්ද්‍රපාලට සහ රඝුපතිට ප‍්‍රතිචාර දැක්වීම සඳහා සෝමදේව පරිශීලනය කර ඇත්තේ ආචාර්ය රඝුපති විසින් රචිත Early Settlements in Jaffna: An Archaeological Survey (1987) නම් කෘතියේ පරිශිෂ්ඨයේ දැක්වෙන ලිපි පමණක් බව පෙනේ. රඝුපති විසින් තම කෘතියේ දී අදාළ මුද්‍රාව කුමන ලෝහයකින් සකසන ලද්දක් දැයි පවසා නැති බව සෝමදේව විසින් සඳහන් කර තිබීමෙන් ඒ බව පැහැදිලි වේ.31 එහෙත් කෘතියේ පරිශිෂ්ඨයේ ඇති ලිපිවල ඒ ගැන රඝුපති විසින් සඳහන් කර නැතත් තම කෘතියේ අදාළ තැන්වල එය ලෝකඩ නම් ලෝහයෙන් තනන ලද්දක් බව ඔහු පවසා ඇත.32

ආනෙයිකෝඩ්ඩේ ප‍්‍රදේශයේ ධීවර සමාගමක් තිබෙන්නට ඇති බවත් මේ මුද්‍රාව ඔවුනට අයත් එකක් වන්නට ඇති බවත් මහාචාචර්ය රාජ් සෝමදේව විසින් සිදු කර තිබෙන අනුමානය, ඔහු රඝුපතිගේ කෘතිය සම්පූර්ණයෙන්ම කියවූයේ නම් වඩාත් ප‍්‍රබලව සහ සංගතව ඉදිරිපත් කිරීමට හැකි වීමට ඉඩ තිබිණි. මේ ලෝකඩ මුද්‍රාව හමු වූ සොහොන් ගැබ තුළ ම තම මතය තහවුරු කිරීමට අවශ්‍ය තරම් සාධක තිබුන ද ඔහු ඒවා තම මතය සනාථ කිරීමට යොදාගෙන නොමැත. ආනෙයිකෝඩ්ඩේ යනු වෙරළාසන්නයේ පිහිටි ගමක් වන අතර අදාළ මුද්‍රාව හමු වී ඇත්තේ එහි ඇති සුසානයක පිහිටි සොහොන් ගැබකිනි. හක් බෙල්ලන්, කකුළුවන්, කැස්බෑවන්, විවිධ වර්ගවලට අයත් මත්ස්‍යයින් වැනි ජලජ සත්වයින්ගේ මෙන්ම විවිධ සත්වයින්ගේ අස්ථි කොටස් සහ මෝර අස්ථියකින් තනන ලද ආභරණයක් වැනි යමක් ද එහි තිබී හමු වී ඇත. මෙහි තිබී හමු වූ බෙලි කටුවලින් සමහරක් සිදුරු කර ඇති අතර එසේ කර ඇත්තේ බෙල්ලන්ගේ මාංශ කොටස් පිටතට ඇදගැනීම සඳහා බව කැනීම සිදු කළ ගවේශකයෝ පවසති. මුද්‍රාව හමු වූ සොහොන් ගැබේම තිබී හමු වූ මිනිස් ඇටසැකිල්ල වටා සහ විශේෂයෙන් ම එහි දෙ පා අසල සිදුරු නොකරන ලද මුහුදු බෙල්ලන් බහුල වශයෙන් තබා තිබුණු බව කියැ වේ. වල්ලිපුරම් රන්පතේ කරුණු සමග මෙකී කරුණු ද යොදාගනු ලැබුවේ නම් මහාචාර්ය සෝමදේවට තම මතය මීට වඩා සංගතව ඉදිරිපත් කිරීමට හැකි වන්නට ඉඩ තිබිණි.

අපට පෙනී යන පරිදි මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල අල්ප සාධක ප‍්‍රමාණයක් පමණක් අතැතිව විශාල කතන්දරයක් නිර්මාණය කිරීම සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර තිබේ. මේ ගැන අවධානය යොමුකර ඇති විද්වතුන් අතරින් ඔහු පමණක් මුද්‍රාවේ ඉහළ පේළියේ රූපාක්ෂරවලින් එකක් අත්තනෝමතික ලෙස මඟහැර ඇත. ඔහු උවමනාවෙන්ම එය අමතක කර දමා ඇත්තේ තම යුටෝපියානු තර්ක සඳහා එසේ කළ යුතු හෙයින් බව පෙනේ. මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ මේ අර්ථදැක්වීම මඟින් ඉතිහාස කරණයෙහි ලා ඔහු සතු මනා හැකියාව පිළිබිඹු වෙතත් සම කාලීන සහ පසු කාලීන සාහිත්‍යය මූලාශ‍්‍රය, අභිලේඛන, නාණක සහ වෙනත් සාධක මඟින් තම මතය සනාථ කිරීමට ඔහු අසමත් වී ඇත.

අභිලේඛන මූලාශ‍්‍රයවලින් පමණක් වුව ද මහාචාර්ය ඉන්ද්‍රපාලගේ මතය අනාථ කර දැමිය හැකි ය. අනුරාධපුර යුගයේ අවසානය දක්වාම ඉන්ද්‍රපාලගේ මතය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් සපයා ගත නොහැකි වුවත් මහාචාර්ය සෝමදේවගේ මතය සනාථ කිරීම සඳහා ඕනෑවටත් වඩා සාක්ෂි ඉදිරිපත් කළ හැකි ය. ඔහු ද දක්වා ඇති පරිදි වල්ලිපුරම් රන්පත (ක‍්‍රි.ව. 2 වන සියවස) කදුරුගොඩින් (කත්තරෝඩෙයි) හමු වූ බ‍්‍රාහ්මී අක්ෂර සහිත කාලරක්ත මැටි බඳුන් කැබැල්ල (ක‍්‍රි.පූ. දෙ වන සියවස) කදුරුගොඩ අත්තානි කනුව (ක‍්‍රි.ව. 898-914) තුනුකායි ශිලාලේඛනනය (ක‍්‍රි.ව. 914-923) යන අභිලේඛන සියල්ල අදාළ යුගයේ සිංහල බසින් ලියැවුණු ඒවා වේ. ඒවායින් පැහැදිලි වන්නේ අදාළ කාලවල දී දිවයිනේ වෙනත් ප‍්‍රදේශවල පැවති ශිෂ්ඨාචාරයට වෙනස් ලක්ෂණ ඇති ශිෂ්ඨාචාරයක් යාපන ප‍්‍රදේශයේ නොතිබුණු බවයි. යාපනයේ සිටියා යැයි කියනු ලබන දෙමළ බෞද්ධයින් අනුරාධපුර යුගයේ අවසානය වන තෙක් සිංහල බසින් සෙල්ලිපි පිහිටුවා ඇත්තේ ඇයි ද යන්නට පිළිතුරු සැපයීමට ආචාර්ය ඉන්ද්‍රපාලට නොහැකි වනු ඇත.

අනුරාධපුර යුගයෙන් පසු දෙමළ ශිලාලේඛන කීපයක් යාපන ප‍්‍රදේශයෙන් හමුවන බව සත්‍යයකි. කයිට්ස් ශිලා ලේඛනය-I සහ II මෙන්ම යාපන කොටුවේ ශිලා ලේඛනය එකොළොස්වන සියවසට අයත් දෙමළ ග‍්‍රන්ථ අක්ෂරවලින් ලියැ වී ඇත. එහෙත් මේ සියලු දෙමළ ශිලා ලේඛන අනුරාධපුර රාජධානියට විනාශය රැගෙන ආ දකුණු ඉන්දියානු චෝල රජවරුන් වන රාජ රාජ චෝල සහ රාජේන්ද්‍ර චෝල යන ආක‍්‍රමණික රජවරුන්ගේ සමයේ දී ඔවුන්ගේ නිලධාරින් විසින් පිහිටුවන ලද ඒවා ය. මේ දෙමළ අභිලේඛන මගින් සනාථ වන්නේ ද මහාවංසයේ කරුණුවල සත්‍යතාවයි. මහාවංසය තව දුරටත් සනාථ කරමින් මහා විජයබාහු රජු විසින් චෝලයින් පලවා හැර තුන් සිංහලය එක්සේසත් කළ පසු, පළමු වන මහා පරාක‍්‍රමබාහු රජුගේ නාගදීප ශිලා ලේඛනය සහ හය වන මහා පරාක‍්‍රමබාහු රජුගේ යාපන නගර ශිලා ලේඛනය යන අභිලේඛන යාපන ප‍්‍රදේශයෙන් හමු වේ. ඒවා දෙමළ බසින් ලියා ඇතත් සිංහල රජවරුන් විසින් පිහිටුවා ඇති ශිලා ලේඛන වන බව නිසැක ය. දෙමල බස එවකට දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර භාෂාවක් ලෙස පැවති හෙයින් ජාත්‍යන්තර වරායක් වූ ඌරාතොට (කයිට්ස්) සහ ඒ ආශ‍්‍රිත නාගරික කලාපෙය් ෙම් ෙල්ඛන පිහිටුවන්නට අැත.

සී.ඩබ්. නිකලස් විසින් රචනා කර ඇති ‘පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය’ නම් කෘතියේ, යාපනය දිස්ත‍්‍රික්කය පිළිබඳ පරිච්ෙඡ්දයේ පවා සඳහන් වන්නේ මහාචාර්ය ඉන්ද්‍රපාලගේ මතය සනාථ කිරීමට යොදාගත හැකි සාක්ෂි නොව මහාචාර්ය රාජ් සෝමදේවගේ මතය සනාථ කිරීමට යොදාගත හැකි සාක්ෂි බව පැහැදිලි වේ.33 සිංහල, පාලි, පෘතුගීසී හා ලන්දේසි මූලාශ‍්‍රයවලින් පමණක් නොව යාල්පාන වෛපවමාලය වැනි ලාංකීය දෙමළ සාහිත්‍යය කෘතිවලින් පවා පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ පැරණි දෙමළ ශිෂ්ඨාචාරයක් නොපැවතු බවත් එහි පැවතියේ ද රටේ වෙනත් පළාත්වල දක්නට ලැබුණු සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය පමණක් වන බවත් ය. යාපනයේ පමණක් නොව සමස්ත දිවයිනම ජනාවාස කරන ලද්දේ සිංහලයින් විසින් බවත් රටේ නම පවා සිංහලේ වූ බවත් සංකිලි විසින් වෙහෙරවිහාර කඩාබිඳ දමා සිංහලයින් යාපනයෙන් පන්නා දැමීමෙන් පසු ආක‍්‍රමණ සහ සාගත නිසා දකුණු ඉන්දියාවෙන් විවිධ කුලවලට අයත් දෙමළ ජනයා ලංකාවට පැමිණ මෙහි පදිංචි වූ බවත් එහි සඳහන් වේ.34

මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ අර්ථකතනය පිළිගතහොත් ක‍්‍රිස්තු පූර්ව දෙ වන හෝ තුන් වන සියවස්වල දී ශ‍්‍රී ලංකාවේ, යාපන දිස්ත‍්‍රික්කය පිහිටා තිබෙන ප‍්‍රදේශයේ දෙමළ ජනාවාස පැවතී ඇත. එහෙත් එලෙස පැවතුණු බව කියැවෙන ශිෂ්ඨාචාරයට සිදුවූයේ කුමක් ද? එවැන්නක් පැවතුනු බව සනාථ කිරීමට මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල අනුගමනය කළ මාවතේ යන නූතන විද්වතුන්ට හෝ නොහැකි බව පෙනේ. එක අභිලේඛනයක් මත පිහිටා ශිෂ්ඨාචාරයක් පැවතුනු බව සනාථ කළ නොහැකි ය. ඒ සඳහා දේශීය හා විදේශීය සාහිත්‍යය මූලාශ‍්‍රය, නාණක මූලාශ‍්‍රය සාධක අභිලේඛනමය සාධක හා වාග් විද්‍යාත්මක සාධක වැනි සාධක ඉදිරිපත් කළ යුතු ය. යාපන දිස්ත‍්‍රික්කයෙන් දැනට හමු වී ඇති අභිලේඛන මඟින් පවා සනාථ වන්නේ මහාවංසය වැනි වංසකථා පුරාවෘත්ත සත්‍යය වන බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ ආනෙයිකෝඩ්ඩේ අභිලේඛනයට මහාචාර්ය ඉන්ද්‍රපාල සහ ආචාර්ය රඝුපති යන විද්වතුන් විසින් සිදු කර ඇති අර්ථකතන, අතාර්කික වන බවත් ඒ සඳහා මහාචාර්ය සෝමදේව විසින් ඉදිරිපත් කර තිබෙන අර්ථකතනය වඩා තාර්කික වන බවත් ය. එබැවින් ආනෙයිකෝඩ්ඩේ අභිලේඛනය, ක‍්‍රිස්තු පූර්ව 2 හෝ 3 වන සියවස්වල ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතේ දෙමල ජනාවාස පැවති බවට සාධකයක් ලෙස ඉදිරිපත් කිරීම සුදුසු නොවේ.

පාදක සටහන්

  1. Ragupathy; Ponnampalam., Early settlements in Jaffna: An archaeological Survey, Thillimalar Ragupathy; Madras. 1987, p. 199
  2. එම, 119 පි.
  3. එම, 200 පි.
  4. එම, 119 පි.
  5. එම, 119 පි.
  6. එම, 201-202 පිටු.
  7. එම, 201 පි.
  8. එම, 202 පි.
  9. එම, 202 පි.
  10. එම, 202 පි.
  11. එම, 203 පි.
  12. එම, 204 පි.
  13. Siva, Thiagarajah; Kantarodai civilization of ancient Jaffna (500 BCE -800 CE ); kumaran Book House; 2016 ; p.73.
  14. K. Indrapala, “Early Tamil Settlements in Ceylon,” in the Jounal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland; New Series” Vol- 13 (Colombo: Royal Asiatic Society of Sri Lanka” 1969), 63p
  15. Kantarodai civilization of Ancient Jaffna (500 BCE -800 CE ); pp.378-79.
  16. සෝමදේව, රාජ්, ආනෛයිකෝඞ්ඩායි ලෝහ මුද්‍රාව: ස්වරාජ්‍යවාදී ප‍්‍රවේශයෙන් ඔබ්බට, සරසවි, සංස්. ප‍්‍රිශාන්ත ගුණවර්ධන, එච්.එම්. ගුණතිලක, අජිත් දිසානායක, ඩී.ජී. කුමාරතුංග, සංස්කාරකවරුන්ගේ ප‍්‍රකාශනයකි, 1998. 40 පි.
  17. එම, 40 පි.
  18. එම, 42 පි.
  19. එම, 42 පි.
  20. එම, 44 පි.
  21. එම, 43 පි.
  22. එම, 43 පි.
  23. එම, 44 පි.
  24. එම, 46 පි.
  25. එම, 46 පි.
  26. එම, 46 පි.
  27. එම, 46 පි.
  28. එම, 49 පි.
  29. එම, 47 පි.
  30. එම, 48 පි.
  31. එම, 201 පි.
  32. Early Settlements in Jaffna: An archaeological Survey; p. 119.
  33. නිකලස්, සී.ඩබ්. පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය පරි. සෝමපාල ජයවර්ධන, තිසර ප‍්‍රකාශකයෝ, දෙහිවල. 1979; 97-100 පිටු.
  34. යාපා පටුනේ වංස කතාව, පරි. කේ.එච්. ද සිල්වා. කොළඹ: රුහුණු පොත් ප‍්‍රකාශකයෝ, 1999. 11, 17-18, 27-30, 44, 56 පිටු.

[මෙම ලිපියේ දක්වා ඇති යාපනයේ ඡායාරූපය https://groundviews.org වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.11.12 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous article‘ඊලාම්’ සංකල්පය හා කප්රුක
Next articleඅපේ නොවන අපේ උරුමය : තාරා දෙවඟන ප්‍රතිමාව
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.