මේ සමූහයේ ඉන්න සමහර සාමාජිකයින් අහනවා අවුරුදු 2,500යේ හිරවෙලා ඉන්නේ ඇයි කියලා. අපි ඊට වඩා ඈත ඉතිහාසය හොයා ගන්න ඕනලු. අදහස හොඳයි. නමුත් මෙවැනි ප්‍රකාශ කරන අය දන්නේ නැහැ “ඉතිහාසය” කියන වචනයේ අර්ථයවත්. එයට ඇති පාරිභාෂික අර්ථය. ඉතිං ප්‍රාග් ඉතිහාසය ගැන කවර කතා ද?

ශ්‍රී ලංකාව කියල අද අපි හඳුනා ගන්නා භූමියේ මීට අවුරුදු 3,000කට 7,000කට 15,000කට එහෙම නැත්නම් 32,000කට එහා කාලයේ තිබුනේ මොනවාද? පැවතියේ කුමන තත්ත්වයක් ද? ඒ කාලයේ හිටපු අය දඬුමොණරයක් හෝ එවැනි වෙනත් උපකරණයකින් අහසේ යන්න පුළුවන් අය ද? මේ ගැන අපි ටිකක් බලමු. පසුගිය අවුරුදු 150ක විතර කාලයේ දී ලංකාවේ විවිධ අය කළ සොයාබැලීම්වලින් මේ පිළිබඳ ප්‍රමාණවත් අදහසක් අපිට ඇතිකර ගැනීමට හැකිවෙලා තියෙනවා. අදින් අවුරුදු 3,000න් එහා කාලයේ ඉදල තියෙන්නේ අපි වගේම මිනිස්සු. හැබැයි එයාලා බටු මියෝ, හිකනල්ලු, ගැරඩියෝ, ගොළුබෙල්ලෝ, වල් ඌරෝ අල්ලගෙන කාපු, වැල් අල හාරල කාපු සරළ ‘දඩයක්කාර රැස්කරන්නෝ’ මිසක් ඔය කියන හිස් දහයක් තිබුණු, රාජධානි හදාගෙන හිටි, පොළොවේ බෙන හාරගෙන හිටපු පිරිසක් නෙවෙයි. මේවා හොයාබලපු පෝල් ඊ. පිරිස්, පි.ඊ.පි. දැරණියගල, සෙනරත් පරණවිතාන, සිරාන් දැරණියගල, කෙනෙත් කෙනෙඩි වගේ අය අද රාවණා හොයාගෙන යන කිසිම අයෙකුටත් වඩා ජාතිකවාදින් බව නම් මට ඉතාම පැහැදිලියි. ඔවුන්, ලෝක මානවයාගේ අතීතය තුළ අපේ සළකුණ සටහන් කළා. අද ඉන්න කටින් බතල හිටවන අය කරන්නේ දැන හෝ නොදැන මේ පදනම විනාශ කරන්න අවශ්‍ය දෙයයි. ඔවුනට අනුකම්පා කිරීම හැර වෙනත් කළ හැකි දෙයක් නැහැ. හැබැයි මේ ගැන දැනගන්න කැමැත්තක් ඇති අයට ඒ සඳහා අවස්ථාවක් උදා වෙන්නත් ඕන.

අද හවස ඉදල රටටම ඇඳිරි නීතිය. ඉතිං මම හිතුවා මේ නිරෝධන සමයේ ලංකාවේ ඉතිහාසය ගැන, අතීතය ගැන ඉඩ ලැබෙන විදිහට සාකච්ඡාවක් අරඹන්න. මේ සමූහේය ඉන්න “රාවණා පකීර්ලා” තරම් සමතෙකු නොවන බව දනිමි. ඒත් ලංකාවේ පුරාවිද්‍යාව හා තදාශ්‍රිත විෂයන් පිළිබඳ වසර දශක දෙකක් පමණ නියැලීමෙන් ලද පොඩි අද්දැකීම් ටිකක් තියෙනවා. ඒ නිසා මම දන්න, හොයා කියා අසා දැනගත් දේවල් ටිකක් මේ සමූහයට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. මේ සඳහා මේ සමූහයේ ඉන්න පුරාවිද්‍යාව, ඉතිහාසය හා මානවවිද්‍යාව පිළිබඳ විධිමත් හැදෑරීමක් ඇති අයට අරාධනා කරනවා එක් වෙන්න කියලා. විධිමත් හැදෑරීම කියල කියන්නේ ‘විශ්වවිද්‍යාල උපාධි තියෙන අය’ විතරක් කියන එක නෙවෙයි ආයිබෝං. මෙවැනි විධිමත් දැනුමක් ඇති අද්දැකීම් ඇති පිරිසක් මේ සමූහයේ හඬ නිභයම අවදි කරන බවත් පේන්න තියෙනවා. ඒත් තවත් පිරිසක් නිහඬව ඉන්න බවත් මම දන්නවා. අනේ කරුණාකර නිහඬ බව දුර ලා ඉදිරි පෙළට එන්න.

සහවීර්යයන් කරවාවහෛ

ජය වේවා…

Previous article05.අනුරාධපුර, ඇතුළු නගරය
Next article08. පී.ඊ.පී. දැරණියගල
Avatar
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.