එන්. එච්. සමරසිංහ

“වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී 

  තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී”

.

.

.

තාරා දේවිය වන්දනා කිරීම සඳහා නිර්මාණය කොට තිබූ නොයෙක් ආකාරයේ ප්‍රතිමා ලංකාවේ විවිධ ස්ථාන වලින් හමුව ඇත. එහෙත් ලංකාවේ තිබු තාරා දේවියගේ විශිෂ්ඨතම ප්‍රතිමාව අද ලංකාව තුළ නැත. එය අද සුවහසක් කලා හා පුරාවස්තු ලෝලීන්ගේ නොමඳ ප්‍රසාදයට ලක්වෙමින් හා ලංකාවට මහත් අභිමානයක් අත්කර දෙමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු ගැලරියේ මුල් තැන ගෙන සිටී.

ආසියානු ගැලරියේ මුල් තැන

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු ගැලරියට පිවිසුණු වහාම නෙත ගැටෙනුයේ ලෝකයේ වැදගත්ම කෞතුක භාණ්ඩ (History of the world in 100 Objects) 100න් 54 වන ස්ථානයට ගැනෙන අපේ හෙළ කළා කරුවන් අතින් නිමවුණු විශිෂ්ඨතම කාන්තා පිළිරුව වන තාරා දෙවඟන ගේ පිළිරුවයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතුරින් එයට හිමිව ඇති තැන කුමක් ද යන්න ඒ කෞතුකාගාරයේ මාර්ගෝපදේශ අත්පොත අතට ගත් වහාම මට පෙනි ගියේය. ඒ එහි මුල් පිටුවේ දැක්වෙන ප්‍රතිමාව මෙය වූ බැවිනි.

මාර්ගෝපදේශ අත්පොත

තාරා දෙවඟනගේ ප්‍රතිමාව, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ තිකුණාමලය හා මඩකලපුව අතර ස්ථානයක තිබී හමු වී 1812-1822 දක්වා කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් බ්‍රවුන්රීග් විසින් 1930 දී මේ කෞතුකාගාරයට ලබා දෙන ලද බව සඳහන් කොට ඇත.

තාරා දෙවඟනගේ ප්‍රතිමාව
තාරා දෙවඟනගේ ප්‍රතිමාව

පැරණි රෝම, ග්‍රීක ආදී බටහිර රටවල නිර්මාණ කරුවන් කාන්තා රුව තම නිර්මාණ සඳහා කොතෙකුත් යොදාගෙන තිබුනත් හෙළ කලාකරුවන් විසින් කාන්තා රුවක් ප්‍රතිමාවක් සඳහා යොදාගෙන ඇත්තේ ආගමික හැඟීමක් මුල්කොට ගෙන පමණක් බව පෙනේ. එයිනුදු බොහෝ විට බෞද්ධාගමික කාන්තා ප්‍රතිමාවක් ලෙස අපට දක්නට ලැබෙන්නේ තාරා දෙවඟනගේ ප්‍රතිමාව පමණෙකි. ආගමික පසුබිමක් ගැන නොසලකා බලනු ලැබුවත් මේ ප්‍රතිමාව කාන්තා ලාලිත්‍යය විශිෂ්ට ලෙස නිරුපනය කර ඇති කලා  නිර්මාණයකි. 

මේ ප්‍රතිමාව ඉඟටියෙන් මඳක් නැමී සිටින ආකාරයෙනුත්, දකුණු අත වරද මුද්‍රාවෙනුත් වම් අත විතර්ක මුද්‍රාවෙනුත් නිම කර ඇති අතර ශරීරයේ ඉඟටියෙන් පහල කොටස වළලුකර දක්වා රැලි සහිත වස්ත්‍රයක් ඇඳ සිටින සේත් උඩුකය නිරුවත් ලෙසත් නිර්මාණය කර ඇත. මේ පිළිමයට මැණික් ගල් රැසක් අල්ලා තිබෙන්නට ඇත. මෙහි සිරස් පළඳනාවේ ඇති කුහරය ඊට මැණික් ගලක් අල්ලා තිබු බවට සාක්ෂියක් වේ. මේ කුහරය තුළ ධ්‍යානි බුදු රුවක් තිබෙන්නට ඇති බවට අනුමාන කෙරේ. එමෙන්ම මේ ප්‍රතිමාවේ වමතින් නෙලුම් මලක් දරා සිටින්නට ඇතැයි ද විශ්වාසයක් පවතී.

උස සෙන්ටිමීටර් 143.75ක් ද පළල සෙන්ටිමීටර් 44ක් හා ගැඹුර සෙන්ටිමීටර් 29.5ක් වූ (සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රමාණයෙන් හතරෙන් තුනක් පමණ වන) මේ ප්‍රතිමාව මැටි අච්චුවක් මත ලෝහ වත්කොට ඇතුළත කුහරයක් සිටින සේ වාත්තුකරන ලද්දක් නොව ඉටි මැකුම් ක්‍රමය භාවිත කොට ඝන වාත්තු ක්‍රමයට සම්පුර්ණයෙන්ම තඹ වලින් වාත්තු කොට රන් ආලේප කරන ලද්දකි. අඩක් වැසුණු නෙත් සඟලකින් යුතුව සමාධි ගතව සිටින ආකාරයකින් මනා ඉන්ද්‍රිය සංවරත්වයක් හා ශාන්ත භාවයක් ප්‍රකට කරවන මෙය විශිෂ්ට කුසලතාවකින් හා අත්දැකීම් වලින් පරිපුර්ණ ශිල්පියෙකුගේ නිමැවුමකි. තාරා ප්‍රතිමාව ආගමික පසුබිමක කාන්තාවකගේ ශාරීරික සුන්දරත්වය නොසඟවා  කැටයම් කළ විශිෂ්ට කලා කෘතියක් පමණක් නොව එය තාක්ෂණික දක්ෂතාවක විශිෂ්ට ඵලයකි. 

ක්‍රිස්තු වර්ෂ 7, 8 හෝ 10 වැනි සියවසේ පමණ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන මේ ප්‍රතිමාව වරෙක ආනන්ද කුමාරස්වාමි මහතා පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් ලෙස හඳුන්වා ඇත. මේ ප්‍රතිමාවේ ආභරණ කිසිවක් පැළඳ නො සිටින සේ නිර්මාණය කර ඇති බැවින් ද මෙය පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් බවට සමහරු අදහස් දක්වා ඇත.

මෙම පිළිමය මහායාන අවලෝකතීශ්වර බෝධිසත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පොදු මතයයි. හින්දු මව් දේවතාවක් ලෙස පිදුම් ලත් තාරා පසුව බෞද්ධාගම තුළ ද පිදුම් ලබන තත්වයකට පත්ව ඇත. ලංකාවේ නාථ දෙවියන්ට මෙන්ම තාරා දෙවඟනට ද බාර හාර පුදපුජා කළ බවට සාක්ෂි ඇති බව පැවසේ. කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යයක්ව වන තිසර සංදේශයේ මහා පැරකුම්බා රජු, මව හා ඇමතිවරුන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත සන්දේශයක් ගෙනයන තිසරාට

 “වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී 

  තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී” 

යයි  කියා ඇත්තේ එකල තාරා දේවිය ද වන්දනා කිරීමේ චාරිත්‍රයක් තිබී ඇති නිසා ය.

මේ ප්‍රතිමාව සොයාගත් ස්ථානයක් නිශ්චිතව සඳහන් කොට නැත. මෙය මහනුවර නාථ දේවාලයේ තිබී ජෝන් ඩොයිලිගේ මැදිහත්වීමෙන් මහනුවරට කඩා වැදුණු ඉංග්‍රීසි හමුදාව කොල්ලකාගෙන බ්‍රවුන්රීග් ආණ්ඩුකාරයාට දෙන්නට ඇතැයි සමහරු විශ්වාස කරති. සමහර විට මේ ප්‍රතිමාව ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකිකයන් විසින් කිසියම් රහසිගත ස්ථානයක වළලා හෝ සඟවා තිබිය දී සොයා ගත්තා ද  විය හැකි ය.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති තවත් අපේ තාරා දේවි ප්‍රතිමාවක්

1930 දී මේ ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලැබුනත් වික්ටෝරියානු ආකල්ප නිසා දෝ බොහෝ කලක් මෙය ප්‍රදර්ශනය නොකොට ගබඩාවක තිබී ඇත. මේ පිළිමය ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට ආධාර සඳහා 1981 දී යුනෙස්කෝ ආයතනයෙන් පැවැත් වූ ප්‍රදර්ශනයකට කෞතුකාගාරයෙන් පිටතට ගෙන ගිය අවස්ථාවේ දී ප්‍රතිමාව ඇමරිකානු ඩොලර් මිලියන පහකටත් වැඩි ගණනකට රක්ෂණය කොට ඇත. මෙය අපට ලැබිය යුතු අපේ උරුමයක් වුවත් මේ ප්‍රතිමාවට ලබා දී ඇති ආරක්ෂාව හා ලබා දෙන ප්‍රදර්ශන ආකර්ෂණය ගැන සලකා බලන විට මෙය මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබීම ගැන අපට සතුටුවිය හැකි ය.

කොළඹ කෞතුකාගාරයේ ඇති අනුරුව
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.11.22 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.