බැරගම සද්ධානන්ද හිමි1 හා කරුණාසේන හෙට්ටිආරච්චි2

1පාළි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, හෝමාගම, 2ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.

හැඳින්වීම

අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙහි නොච්චියාගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පිහිටි රළපනාව නම් ගම රළපනාව නම් වූ සුන්දර වැව ආශ‍්‍රය කොටගෙන ගොඩනැඟුණු සාම්ප‍්‍රදායික වැව් ගමකි. 1890 දශකයෙහි උතුරු මැද පළාතේ සිවිල් සේවයේ නියුක්තව සිටි බි‍්‍රතාන්‍ය ජාතික ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රළපනාවේ වැව අති රමණිය විලක් බඳු එකක් යැයි වාර්තාකර ඇත (අයිවර්ස් 2004:282). පුත්තලම අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර නගරයට කිලෝමීටර් 20ක් පමණ මෙපිටින් පිහිටි සිංහාරගම හංදියෙන් දකුණට හැරී ගුරු පාරෙහි කිලෝමීටර් 1ක් පමණ රළපනාව වෑ කණ්ඩිය මතින් ගමන් කිරීමෙන් රළපනාව කිරිවෙහෙර රජමහා විහාරයට පැමිණිය හැකි ය. මෙය වසර දහස් ගණනක ඉතිහාසයට උරුමකම් කියන නිශ්චිත ගොඩනැඟිල්ලකට අයත් සේ හඳුනාගත නොහැකි ගල්කණු, ගල් කුට්ටි, කැටයම් රහිත සඳකඩපහණ ආදී ශිලා ඉදිකිරීම් අංග මෙන්ම ශිලා යූපගල, පහන් ආදී වස්තු බොහොමයකින් සමන්විත විහාරස්ථානයකි. විහාරස්ථානයට උතුරු දිශාවෙන් යාබද ඉඩමෙහි රළපනාව වලව්ව පිහිටි භූමිය වේ. අයිවර්ස් සඳහන් කරන පරිදි 1849 වන විට අනුරාධපුර බටහිර දිසාව (කොට්ඨාශය) රළපනාවේ රටේ මහත්මා විසින් පාලනය කොට ඇති අතර 1870 වන විට ඔහු විසින් රළපනාව වැවෙහි සොරොව්ව ද ප‍්‍රතිසංස්කරණයකර අවසන්කොට තිබී ඇත (අයිවර්ස් 2004:153,282). ඔහුගේ මෙම ක‍්‍රියාව එම කලාපයේ ජනතාවගේ ජනජීවිතය ගොඩනඟා ගැනීමට බෙහෙවින් ඉවහල්වන්නට ඇත. අයිවර්ස් වැඩි දුරටත් සඳහන් කරන පරිදි 1813 උපන් රළපනාව රටේ මහතා වයෝවෘධයෙකු වුවත් නුවර කලාවියේ වතගොත පැවසීමට ද හොද මතකයක් තිබූ ඇත්තෙකි (එම 2004:272). රළපනාව විහාරස්ථානයෙහිි මෑත කාලීන ආරම්භය ද මීට ආසන්න සමයක සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. මෙම විහාරස්ථානයෙහි ඇති විශේෂතම වටිනාකම් සහිත භෞතික වස්තුව වන්නේ භූමියෙහි සිටුවා ඇති අනුරාධපුර යුගයට අයත් ටැම් ලිපියයි. ඒ හැර 1898 දී පිහිටුවන ලද මෑත සමයට අයත් සෙල් ලිපියක් ද වේ. මෙම විහාරස්ථානයෙහි පැරණි නම හෝ එහි ආරම්භය පිළිබඳ නිශ්චිත සාධක ඉදිරිපත් කළ නොහැකි ය. එපමණක් නොව මෑත කාලීන ආරම්භය පිලිබඳව ද පැහැදිළි තොරතුරු සොයා ගැනීම දුෂ්කර ය. විවිධ හේතු මත වරින්වර ස්වාමීන් වහන්සේලාගෙන් විහාරස්ථානය හිස් වූ බව පෙනේ. එබැවින් අඛණ්ඩ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවකට විහාරස්ථානයෙහි හිමිකාරකම හිමි වූ බවක් පෙනෙන්නට නැත. විහාරස්ථානයේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් කෙටි සටහනක් ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් 1896 දී වාර්ෂික පුරාවිද්‍යා වාර්තාවේ තබා ඇත. ඔහු මෙම විහාරස්ථානය මහනුවර සම්ප‍්‍රදායේ සැරසිලිවලින් යුක්ත එකක්වන බවත් පැරණි නෂ්ඨාවශේෂ කීපයකුත් දාගැබක් හා 10වන සියවසට අයත් කෙටි ශිලාලේඛනයක් ඇති බවත් වාර්තාකර ඇත (ASCAR 1896:4). 1890 දශකයවන විට මෙම විහාරස්ථානය දියුණු මට්ටමක තිබුණු බවට වැදගත් සාධකයක් කොළඹ ජාතික කෞතුකාගාරය මගින් ප‍්‍රකාශිත පුස්කොළ පොත් නාමාවලියෙන් ලැබේ. එහි වාර්තාකර ඇති තොරතුරුවලට අනුව රලපනාව විහාරස්ථානයෙහි වැඩ සිටි නවගත්තේගම තෙරුන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේ නමක් විසින් කොළඹ කෞතුකාගාර පුස්තකාලයෙහි තැන්පත් කිරීම සඳහා පුස්කොල පොත් 5ක් පිටපත්කොට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. මේ පුස්කොළ පොත් අතර බාලෝවාදය (අංකය 787) 1899.6.1 දින දීත් පඤ්චදුස්සීලය (අංකය 61) 1900.3.5 දින දීත් දළදා අෂ්ටක (අංකය 905) මුණිරාජ අෂ්ටකය (අංකය 1167) පදලාංඡන අෂ්ටක (අංකය 1268) යන ග‍්‍රන්ථ 1900 වර්ෂයේ දීත් කොළඹ ජාතික කෞතුකාගාරය වෙත ලබා දී ඇත (Silva 1938:17,134,149,182,196). මෙම ස්වාමීන් වහන්සේගේ සඤ්ඤා නාමය උක්ත එක් පොතකවත් සඳහන්ව නැත. නවගත්තේගම යන තම ගමෙහි නමින් පමණක් පෙනී සිටිති. 1900 වර්ෂය වනවිට එනම් අදින් වසර සියයකට පෙර මෙම විහාරස්ථානය සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන්ගෙන් රචිත පුස්කොළ පොත් සහිත හොඳ පුස්තකාලයක් තිබූ බව අනාවරණය වන අතර ම දැන උගත්කම්වලින් යුතු තෙරුන්වහන්සේලා වැඩසිටි බව ද පැහැදිළි වේ. එහෙත් වර්තමානය වන විට එකදු පැරණි පුස්කොළ පොතක් හෝ විහාරස්ථානය සතුව නැත. වරින්වර පැන නැඟුණු අර්බුද හේතුවෙන් පැරණි පුස්කොළ පොත් පමණක් නොව විහාරස්ථානය සතු වටිනා විවිධ පරිභෝග භාණ්ඩ, ඉඩකඩම්, ටැම්පිට පිළිම ගෙය ආදී බොහෝ දේ විනාශ වන්නට ඇත. මේ හැර මෙම විහාරස්ථානය සතුව ඇති එතරම් විශාල නොවූ දාගැබ ද එහි ඇති නූතන ශිලා ලේඛනයකට අනුව නිර්මාණය කොට ඇත්තේ ද බුද්ධ වර්ෂ 2421 හෙවත් කි‍්‍රස්තු වර්ෂ 1898 වර්ෂයේ දීය. එහි තිබී විනාශව ගිය පැරණි දාගැබක් නැවත පිළිසකර කරන්නට ඇතැයි සිතිය හැකිය. බෙල් ද මෙම නෂ්ඨාවශේෂ දාගැබ ගැන වාර්තාකර ඇත (ASCAR 1896:4). මෙම දාගැබට අයත් යැයි සිතිය හැකි අනුරපුර යුගයේ මුල් සමයේ දාගැබ් සඳහා භාවිත යූපස්ථම්භයක් ද වර්තමානයෙහි මෙම දාගැබට නුදුරින් ටැඹක් මෙන් සිටවා තිබෙනු දක්නට ලැබේ. මෙම දාගැබෙහි ඉදිකිරීමේ කාර්යය ද නවගත්තේගම තෙරුන්වහන්සේ විසින් සිදු කරන්නට ඇත. මෙම තෙරුන්වහන්සේ සහ උන්වහන්සේගේ සංඝ පරම්පරාව පිළිබඳව කිසියම් හෝ තොරතුරක් සොයාගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. වර්තමාන විහාරස්ථානයෙහි හිමිකාරකම සියම් නිකායට අයත් මල්වතු පාර්ශ්වයෙහි ගල්ගමුව දේවගිරි විහාර පරම්පරාවට අයත් වේ. ඒ අනුව, එම පරපුරට අයත් මෑත සමයෙහි වැඩසිටි විහාරාධිපතීන් වහන්සේලා ලෙස වෑගෙදර රතනපාල නා හිමි (අපවත්වීම 1990.1.31), කිරිතේක්කුවේ පඤ්ඤාසාගර නා හිමි (අපවත්වීම 2005.3.14) වර්තමාන විහාරාධිපතිත්‍වය එරියාවේ පඤ්ඤාවිමල නා හිමියන් වහන්සේට හිමිව තිබෙන අතර උන්වහන්සේ යටතේ විහාරාධිකාරී ධුරය ප‍්‍රථමයෙන් ශිෂ්‍ය පුත‍්‍ර රළපනාවේ පඤ්ඤාසිරි ස්වාමීන්වහන්සේ 2014 වර්ෂය වනතෙක් දැරූ අතර උන්වහන්සේ වෙනත් විහාරස්ථානයකට වැඩමවීම හේතුවෙන් 2015 වසර සිට මේ දක්වා ශාස්ත‍්‍රවේදී වෑගෙදර රතනසිරි ස්වාමීන්වහන්සේ කටයුතු කරමින් සිටිති. දැනට මෙම විහාරස්ථායට හිමිව ඇත්තේ අක්කර 3 1/4ක පමණ සුළු භූමි භාගයක් පමණි. මෙහි ඉතා පැරණි බෝධියක් දක්නට ලැබෙන අතර මදක් පැරණි හා නූතන ආවාස ගෙවල් දෙකකි. එසේම පැරණි ධර්ම ශාලාව ඉවත්කොට නව ධර්ම ශාලාවක් ඉදිවෙමින් පවතී.

පැරණි ටැම් ලිපිය

මෙම ටැම් ලිපිය දැනට පැරණි ආවාස ගෘහය ඉදිරිපිට දාගැබට නුදුරින් වෙනත් ගල් කණු සමග සිටුවා ඇත. ග‍්‍රැනයිට් පාෂාණයෙන් කළ ලිපියේ එක් මුහුණතක තිරස්ව ලියන ලද අක්‍ෂර පේළි 9ක් තිබෙන අතර අනෙක් මුහුණතක බලු හා කපුටු රූප වේ. ස්ථම්භයේ උස මීටර් 1 සෙන්ටිමීටර් 10ක් පමණ වන අතර පළල සෙන්ටිමීටර් 21ක් පමණ වේ. ටැඹෙහි ඉහළ අන්තය පුන්කළසක හැඩයකට සමානව නිර්මාණය කොට තිබෙන්නට ඇතත් එම කොටස නිධන් ඇතැයි යන විශ්වාසයෙන් කවරෙකු හෝ විසින් විනාශ කර දමන්නට ඇතැයි සිතේ. බෙල්ගේ වාර්තාවෙහි මෙම සෙල්ලිපිය 10වන සිය වසට අයත්වන බව වාර්තා කර ඇතත් එය විහාර භූමියෙහි සිටුවා තිබූ තැනක් සඳහන් කර නැත (ASCAR 1896:4,8). මේ හැර ඉහත වාර්තාවෙහි බෙල් මහතා විසින් මෙම ශිලාලේඛනය සම්බන්ධයෙන් අතිශය වැදගත්වන තවත් පාදක සටහනක් තබා ඇත. එනම් මෙම ශිලාලේඛනයෙහි තවත් පිටපතක් කොළඹ කෞතුකාගාරයෙහි ඇති බවය. ඒ අනුව කොළඹ කෞතුකාගාරයේ ශිලාමය නිර්මාණ අංශයෙහි එබඳු ලිපියක් තිබේ දැයි අප විසින් සොයා බැලීමේ දී රළපනාව නමින්ම මීට හැම අතින්ම නිර්මාණ ලක්‍ෂණයෙන් හා අන්තර්ගතයෙන් සමාන ටැම් ලිපියක් දක්නට ලැබුණි. මෙම ස්ථම්භයේ උස මීටර් 1 සෙන්ටිමීටර් 35ක් හා පළල සෙන්ටිමීටර් 28ක් පමණ වේ. ටැඹෙහි ඉහළ අන්තය පුන්කළසක හැඩයක් ගනී.

කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ඇති ටැම් ලිපිය

එය 24-57-85-15 අංකය යටතේ කෞතුකාගාරයෙහි ලියාපදිංචි කොට ඇත. මේ පිළිබඳ කෞතුකාගාර මුල් ලේඛන අධ්‍යයනයේ දී පැහැදිළි වූයේ 1924 දී කෞතුක භාණ්ඩ ලියාපදිංචියේ දී මෙම අංකය දී ඇති බව ය. එහෙත් එහි එම ලිපිය කෞතුකාගාරය වෙත ගෙන ආ දිනයක් හෝ පුද්ගලයෙකු පිළිබඳ කිසිදු සඳහනක් නැත. එසේ වුවත් ඉහත දක්වා ඇති පරිදි බෙල් මහතාගේ වාර්තාවට අනුව මෙම ටැම් ලිපිය 1896 වර්ෂය වන විටත් කොළඹ කෞතුකාගාරය වෙත ගෙනැවිත් තිබූ බව පැහැදිළි විය. කෞතුකාගාරයෙහි ශිලාලේඛන ප‍්‍රදර්ශන පුවරුවෙහි රැළපනාව ටැම් ලිපිය යනුවෙන් දක්වා පිහිටි ස්ථානය අවිද්‍යමානයි යනුවෙන් සටහන් කොට තිබීමෙන් මෙය මුලින් පිහිටිස්ථානය ගැන සැකයක් පවත්නා බව පෙනේ. මේ හැර මෙම ලිපිය 2005 වර්ෂයේ දී මහාචාර්ය සිරිමල් රණවැල්ල මහත්මා විසින් කියවා Sinhala Inscriptions In The Colombo National Museum නම් ග‍්‍රන්ථයෙහි රළපනාව ටැම් ලිපිය යනුවෙන් පලකොට ඇති අතර එහි වැඩිමනත් තොරතුරක් වශයෙන් මෙය සිංහාරගම ටැම් ලිපියෙහි පටපතක් ලෙස ද දක්වා ඇත (Ranawella 2005i:89). සිංහාරගම යනු, රළපනාව ගමට උතුරින් වූ අල්ලපු ගමය. මේ අනුව 1924 වර්ෂයේ දී තැබූ කෞතුකාගාර වාර්තාවල හා රණවැල්ල මහත්මාගේ ඉහත ප‍්‍රකාශය මදක් අවුල් සහගත තත්වයක් ඇති කරවයි. එනම් රළපනාවේ ශිලාලේඛනය තවමත් රළපනාව විහාරස්ථානයෙහි ම තිබෙන හෙයින් කොළඹ කෞතුකාගාරයෙහි ලිපිය රළපනාව ටැම් ලිපිය වශයෙන් නම් කරන ලද්දේ කවර හෙයින් දැයි පැහැදිළි නැත. අනෙක් අතින් දැනට සිංහාරගම ගමෙහි එබඳු ශිලාලේඛනයක් දක්නට නොමැත. ඉහත දැක් වූ පරිදි 1896 පුරාවිද්‍යා වාර්ෂික පාලන වාර්තාවේ බෙල් මහතා සඳහන්කර ඇත්තේ රළපනාව විහාරස්ථානයෙහි ඇති ටැම් ලිපියෙහි පිටපතක් කොළඹ කෞතුකාගාරයෙහි ඇති බව ය. ඇතැම්විට රණවැල්ල සඳහන් කරන සිංහාරගම ගමෙහි තිබූ ටැම් ලිපිය කොළඹ කෞතුකාගාරයෙහි ඇති ලිපිය වීමට ඉඩ ඇත. එය 1896ට පෙර එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ බෙල් විසින් ම කොළඹ කෞතුකාගාරයට ගෙනගියා වීමට ද පුළුවන. එසේ වුවහොත් අපට අනුමාන කළ හැක්කේ රළපනාව හා සිංහාරගම දෙ පසකින් භූමි සීමාව දැක්වීමට ගල් කණු දෙකක අදාළ එකම නීති කෙටුම්පත් කොට සිටුවා තැබූ බව ය. අනුරාධපුර යුගයට අයත් ගැරඬිගල ශිලාලිපියෙහි ද යම් යම් පරිත්‍යාගයන් කිරීමේ දී භූමි සීමාව දැක්වීමට ගල් කණු සිටුවීම කළ බව සඳහන්ය (විමලකිත්ති හිමි 1957:110). රළපනාව විහාරස්ථානයෙහි ඇති අපගේ මාතෘකාවට අදාල ටැම් ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1963.5.21 දින පිටපත් කොට අංක 2512 යටතේ ලියාපදිංචි කර ඇත. එම ස්පර්ෂ ලාඤ්ඡනය දෙපාර්තමේන්තුව සතුව පවත්නා අතර මෙම ලිපිය මහාචාර්ය සිරිමල් රණවැල්ල මහත්මා විසින් 2005 වර්ෂයෙ දී කියවා Inscriptions of Ceylon නම් ග‍්‍රන්ථයෙහි රළපනාව ටැම් ලිපිය යනුවෙන් පලකොට ඇති අතර එහි වර්තමාන පිහිටීම ලෙස අනුරාධපුර දිස්ති‍්‍රක්කයට අයත් විලච්චිය කෝරළයේ සිංහාරගම, රළපනාව යනුවෙන් දක්වා ඇත (Ranawella 2005ii:116). මේ ලිපියේ අක්‍ෂර පේළි 8ක් ඇතත් එතුමා අක්‍ෂර පේළි 7කින් පමණක් මුළු පෙළම දක්වා ඇත. ලිපි දෙකෙහි ම පෙළ සමාන වුව ද පේළි ගණන වෙනස්ය. ඒ අනුව, එය කෞතුකාගාර ලිපියේ පෙළට සමාන ය. කෙසේ වෙතත්, මෙම ලිපි දෙක පිළිබඳව ඉදිරිපත්ව ඇති කොළඹ ජාතික කෞතුකාගාර හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වාර්තා කිරීම් ව්‍යාකූලතාවක් පවත්නා බව පැහැදිළිවේ.

පේළි අංකය ලිපියෙහි පෙළ
1 ශ‍්‍රී
2 රද්කො
3 ල් කැමි
4 යන් දු
5 නුමඩ්
6 ලන් නො
7 වද්නා
8 ඉසා

බලුකපුටු රූප අනෙක් පස වේ.

අර්ථය

යහපතක් වේවා රාජකීය නිලධාරින් සහ ධනුර්ධර සේනා බල ඇණිය. (මෙම ඉඩමට) ඇතුළු නොවිය යුතු ය.

විමර්ශනය

රළපනාව සෙල්ලිපිය දිවයිනේ මෙතෙක් වාර්තා වී ඇති ටැම් ලිපි සමඟ සැසඳීමේ දී ප‍්‍රමාණයෙන් කුඩා එකකි. එසේම මෙම ලිපිය කවර රජ කෙනෙකු විසින් කවර කාලයක නිකුත් කරන ලද්දක් ද යන කරුණු කිසිවක් වාර්තා කොට නැත. ඒ අනුව එහි අන්තර්ගත කරුණු ද ප‍්‍රමාණයෙන් අඩුය. අක්‍ෂර ලක්‍ෂණ අනුව කි‍්‍රස්තු වර්ෂ 9-10 සියවස් වලට මෙය යටත් කළ හැකි ය. ලිපිය ආරම්භ වන්නේ ‘ශ‍්‍රී’ යන ආශිර්වාදාත්මක පදයකිි. එය ඉහළ පේළියෙහි තනි අක්ෂරයක් ලෙස දක්වා ඇත. කි‍්‍රස්තු වර්ෂ 8 වන සියවසෙන් පසුව සෙල්ලිපිවල මෙම ආශිර්වාදාත්මක පදය යොදා ඇති අවස්ථා බොහොමයක්ම හමු වේ.

ඉන් අනතුරුව අවධාරණය කොට ඇත්තේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් කාණ්ඩ දෙකකට අදාළ භූමි කලාපයට ඇතුළු නොවන ලෙස නීති පැනවීම ය. ඉන් පළමු කාණ්ඩය රද්කොල් කැමි ලෙස දක්වා ඇත. රාජ්‍ය නිලධාරී ලිපිකරුවන් හෝ කර්මාන්ත ප‍්‍රධානීන් මෙයින් අදහස් කෙරේ රද්කොල් යනු, රාජකුල ලෙසත් කැමි යනු ලිපිකරුවන් හෝ කර්මාන්ත ප‍්‍රධානීන් යන අදහස් ඇතැයි සුමංගල ශබ්දකෝෂයෙහි දැක් වේ (සෝරත හිමි 1963:264,283). ලිපියෙහි සඳහන් අනෙක් නිළධාරීන් වන්නේ දුනුමඩ්ලන් ය, මින් අදහස්කර ඇත්තේ ධනුර්ධර සේනාවය (රණවැල්ල 2004:141). රජයට මුහුණ දීමට සිදුවන යුධමය කටයුතුවල දී සහය දැක්වීම සඳහා අශ්වාරෝහක, පාබල හා නාවික සේනාවට අමතරව දනුද්ධර සේනාවක් ද සිටි බව ඓතිහාසික මූලාශ‍්‍රය සාක්ෂි දරයි. ඔවුන්ගේ කාර්යය වන්නේ යම්කිසි අවස්ථාවක ආක‍්‍රමණයක් හෝ ගැටුමක් ඇති වූ විට එය පාලනය කිරීම පිනිස ක‍්‍රියා කිරීමයි.

මෙම අණ මැකුවන් හා සාංඝික දේ භුක්ති විඳින්නන් මරණින් මතු අත්භවයන්හි දී බලුකපුටු ආදී තිරිසන්ගත සත්ව ආත්මවල ඉපදීමට සිදුවන බව විශ්වාස ගැන්වීමට බලුකපුටු රූප සටහන් කොට ඇත. බොහෝ ශිලාලේඛනවල රේඛා සටහනින් පමණක් මෙම රූප සටහන්කර ඇතත් මෙම ශිලාලේඛනයෙහි ඒවා අර්ධ උන්නතව මතුකොට දක්වා තිබීම විශේෂත්වයකි.

ප‍්‍රතිසංස්කරණය කළ දාගැබ

දෙ වන ටැම් ලිපිය

ඉහත විස්තර කළ අනුරපුර යුගයට අයත් ටැම් ලිපියත් දාගැබත් අතර දාගැබට සමීපයෙන් මෙම ටැම් ලිපිය සිටුවා ඇත. මීටර් 1ක් පමණ උසින් යුතු මෙම ලිපියෙහි එක් මුහුණතක පමණක් අක්‍ෂර පේළි 8ක් සටහන් කොට ඇත. මුල් අක්‍ෂර දෙ පෙළ සිරස් අතට හා ඉතිරි අකුරු තිරස්ව ලියා ඇත. ඊට ප‍්‍රති විරුද්ධ පැත්තෙහි පද්ම පීඨයක් මත වූ දාගැබ් සටහනකි. දාගැබ ගර්භයෙන් රැස් විහිදුවන ආකාරයක් හැඟවීමට වක‍්‍රාකාර වාමාවෘත රේඛා මාලාවකි. මෙම ශිලාලේඛනය බුද්ධ වර්ෂ 2421 හෙවත් ක‍්‍රිස්තු වර්ෂ 1898 වර්ෂයේ දී පිහිටු වන ලද්දක් වන හෙයින් වසර 120ක් පමණ පැරණි නූතන ගනයට අයත් එකක් වුවත් ලිපිය කොටා ඇත්තේ වෙනත් උවමනාවක් වෙනුවෙන් නිර්මිත පැරණි ගල් කණුවක් උපයෝගී කොට ගෙන බව පෙනේ. ගල් කණුවේ ඉහළ අන්තය හතරැස්ව සිටින සේ අගල් 4ක් පමණ ගැඹුරට හාරා ඇත.

පේළි අංකය පෙළ
1 ශ‍්‍රී බුඬ
2 වර්ෂ 2421
3 රත්න
4 මලල
5 වන්නකු
6 රාල
7 ආරච්චි
8

විමර්ශන

මෙම ලිපියෙහි බුද්ධ වර්ෂ 2421ට අමතරව රත්නමලල වන්නකුරාල ආරච්චිලගේ නම පමණක් සඳහන්ව ඇතත් එම ලිපිය පිහිටු වීමේ අරමුණ ලිඛිතව දක්වා නැත. නමුත් රැස් විහිදුවන දාගැබක සටහනක් දක්වා තිබීමෙන් පැහැදිළි වන්නේ දාගැබෙහි ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් මෙය පිහිටුවන ලද බවකි. ඒ අනුව, රත්නමලල වන්කුරාල ගම්මුලාදෑනිවරයා මෙම කටයුත්තෙහි මූලිකත්‍වය ගෙන කටයුතු කළ බව පෙනේ. මේ වන විට රළපනාවේ රටේ මහත්මා ද මිය ගොස් සිටි බව පෙනෙන හෙයින් රත්නමලල වන්කුරාල මෙම කටයුත්තෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන්ට ඇතැයි සිතිය හැකි ය. එම පරපුරට අයත් පුද්ගලයෝ තවමත් එම කලාපයෙහි ජීවත්වෙති. නමුදු රත්නමලල වන්නකුරාල ආරච්චිල පිලිබඳ සැලකිය යුතු තොරතුරු සොයාගත නොහැකි විය.

මෙම දාගැබ චතුරස‍්‍රාකාර වැලි මළුවක් මත සරල තුන් මහල් පේසාවකින් යුතුව බුබ්බුලාකාර හැඩයෙන් යුතුව නිර්මාණය කොට ඇත. ගර්භය මත නිමිි හතරැස් කොටුව සිලින්ඩරාකාර දේවතා කොටුව හා කොත් කැරැල්ල ඉතා වාම්ය. වසර 120 පමණ සිටම බොහෝ විට වාර්ෂිකව දාගැබෙහි හුණු ආලේප කිරීම හේතුකොට ගෙන කොත් කැරැල්ලෙහි දාර හෙවින් මැකී ගොසිනි. සුදෝ සුදුවන් මෙම දාගැබ විහාරස්ථානයට මහත් වූ ආලෝකයක් ලැබ දීමට සමත්ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අයිවර්ස්, ආර්.ඩබ්ලිව්. (2004), එදා වැව් බැඳි රාජ්ජෙ, පරිවර්තය, එම්.යූ. තෙන්නකෝන් හා වර්ෂා තෙන්නකෝන්, ඇස්. ගොඩගේ සහ සමාගම මරදාන.
  • රණවැල්ල, සිරිමල් (2004), සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
  • සෝරත හිමි, වැලිවිටියේ (1963), ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය, අනුල මුද්‍රණාලය, කොළඹ.
  • විමලකිත්ති හිමි, මැදඋයන්ගොඩ (1957), ශිලාලේඛන සංග‍්‍රහය, 4 වන කොටස, දොඩංගොඩ සහ සමාගම, මොරටුව.
  • Ranawella, Sirimal (2005) i: Sinhala Inscriptions In The Colombo National Museum, Department Of  National Museum, Colombo.
  • Ranawella, Sirimal (2005) ii: Inscriptions of Ceylon, Department Of  Archaeology, Colombo.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.02.06 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here