බැරගම සද්ධානන්ද හිමි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

Abstract

බැරගම සද්ධානන්ද හිමි

There can be found many evidences on the symbols that used by ancient Sri Lankan people for single or manifold interpretation in order to achieve various needs. It is a specific feature that many of these were found from the religious premises except the symbols that represent  Pre historical Period. And also it can be seen a big amount of symbols that are not considered as the letters of the Stupa stone compounds in the places like Thuparamaya, Ruwanweliseya, Mirisawetiya, Abhayagiriya, Jetavanaya and Lankarmaya in Anuradhapura. However, less attention has been paid by scholars in this regard. As a result, those who are not in expert of the field, have even given misinterpretations for those symbols. Therefore, it is expected to study on graffiti of the stone slabs found in the Mirisawetiya Stupa stone compound in Anuradhapura which is historically and archaeologically important. On the other hand, it is an attempt to understand meanings of the symbols by considering varieties of them. Basically the attention is focused on the historical and archaeological importance of the Mirisawatiye stupa. Then it is expected to draw attention on single and manifold symbols and identified and unidentified graffiti. Finally, this study helps to reveal various information of ancient human society. 

Keywords: Anuradhapura, Graffiti, Mirisawetiya, Stone Compound, Symbols

හැඳින්වීම

මිනිස් ඉතිහාසයේ ආදිතම යුගයේ සිට මානවයා ඔවුනොවුන් අතර සන්නිවේදන කිරීම සඳහා නොයෙකුත් සන්නිවේදන ක්‍රමවේද භාවිත කළ බවට තොරතුරු අනාවරණය වේ. කණ්ඩායම් වශයෙන් හෝ ගෝත්‍ර වශයෙන් ජීවත් වූ මානවයා අවාචික ව යමක් හඟවනු පිනිස විවිධ සංකේත යොදා ගන්නා ලදහ. වනාන්තරයේ මඟ දැනගැනීමට කොළඅතු කඩා එල්ලීම, ගසක පොතු ගැලවීම ආදිය ප්‍රාථමික සන්නිවේදන ක්‍රම විය. දළ වශයෙන් අදින් වසර 30,000කට පමණ පෙර මානවයෝ සිතුවම් මාර්ගයෙන් සන්නිවේදනය කළ බව ප්‍රංශයේ ඇල්ටමීරා, ලැස්කෝස් ආදී ගුහාවල මෙන් ම ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් අධ්‍යයනය කළ ප්‍රාග් ඓතිහාසික පර්යේෂකයින් පෙන්වා දෙති. එසේ ම ක්‍රිස්තු පූර්ව 5,000 හෝ ඒ ආසන්න පසු කාලය වන විට මෙම චිත්‍ර සංකේත නිශ්චිත අදහසක් සන්නිවේදනය කරන අක්ෂර මාලාවක් බවට පත් වූ බව ඊජිප්තුව, සුමේරියාව, මෙසපොතේමියාව ආදී පැරණි ශිෂ්ටාචාරවලින් හමුවන රූපාක්‍ෂර මගින් හෙළි වේ. ක්‍රිස්තු පූර්ව 4,000 දී පමණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ භාවිත වූ රූප සංකේත මේ අතර විශේෂ වේ. එතැන් සිට සීග්‍රයෙන් යුරෝපයේ මෙන් ම ආසියාතික රටවල දෛනික ජීවන කටයුතු පහසු කරගැනීමට මෙන්ම දේශපාලනික, ආර්ථික, ආගමික තොරතුරු ලියා තැබීමට අක්ෂර මාලාවන් සංර්ධනය කොට ගත්හ. සරළ අර්ථ නිරූපණයේ සිට සංකීර්ණ අර්ථ නිරූපණය දක්වා පරාසයක විහිද යන ඇතැම් සංකේත මානව සමාජය විසින් භාවිත කරමින් පවතී. උදාහරණ ලෙස වනයේ සැරිසරන මිනිසුන් මඟ සළකුණු වශයෙන් තවමත් වන අතු කඩා එල්ලීම සිදුකරනු ලබයි. ඒ හැර දැව, ගල්, මැටි, ආදී විවිධ නිර්මාණකරුවන් නිර්මාණ කාර්යය පහසුකර ගැනීම සඳහා විවිධ වඩු සළකුණු තබනු ලැබේ. විවිධ ජාතීන් ආගමික හා සංස්කෘතික කටයුතුවල දී අභිචාරාත්මක සංකල්පයෙන් විවිධ සංකේත රූප තනිව හෝ කීපය බැගින් යොදනු ලැබේ. මේ හැර වර්තමාන දියුණු ලෝකයෙහි සෑම රටක ම පාහේ විවිධ ආයතන තම තමන්ගේ ආයතනවලට අනන්‍ය වූ සංකේතයක් (symbol) යොදාගනු ලබන්නේ ද සංකේතයකින් නිරූපණය කළ හැකි බහු අර්ථයන් පිළිබඳව සළකාගෙන බව පෙනේ.

පර්යේෂණ ගැටලුව

රජරට ශිෂ්ටාචාරය හා සම්බන්ධ සංස්කෘතික සන්දර්භය අධ්‍යයනය කිරීමේ දී අනුරාධපුර, මිරිසවැටිය සළපතල මළුවේ නිර්මිත සටහන් අතර ඇති කුරුටු සටහන් සංකේත සම කාලීන අධ්‍යයනයන් සඳහා ආදේශ කරගත හැකි ද යන්න විමසීම.

පර්යේෂණ අරමුණ

මිරිසවැටිය ස්තූප සළපතල මළුවේ නිර්මිත කුරුටු සටහන් සංකේත මඟින් හෙළිවන තත්කාලීන සමාජයේ පැවති දේශපාලනික, ආගමික, සාමාජික හා සංස්කෘතික සන්දර්භය අධ්‍යයනය කරමින් රජරට ශිෂ්ටාචාරය හා බැඳුණු සංස්කෘතික පසුබිම ගොඩනැඟීම.

පර්යේෂණ ක්‍රමවේදය

සමාජවිද්‍යා අධ්‍යයනවල දී දත්ත රැස්කිරීම සඳහා යොදාගනු ලබන ගුණාත්මක හා සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීමේ විධික්‍රම යොදා ගන්නා ලදි. මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ නිර්මිත කුරුටු සටහන් සංකේත හැකිතාක් නිවැරදිව වාර්තා කිරීමේ අපේක්‍ෂාවෙන් ලිඛිත වාර්තාකරණය, සැලසුම් හා ඡායාරූපකරණය භාවිත යොදා ගැනිණි. දාගැබ් මළුවේ උතුරු බැම්මේ සිට මීටර් 10×10 ප්‍රමාණයේ කොටුවලට සමස්ත මළුව බෙදා ගැනීමෙන් අනතුරුව මිරිසවැටිය ස්තූප හඳුනාගැනීම සඳහා පොදුවේ ඉංග්‍රීසි M අක්ෂරය ද ප්‍රධාන කොටුවේ අංකය දෙ වැනිව ද කොටුව තුළ දක්නට ලැබෙන සංකේත ප්‍රමාණය අනුව ඒවාට අනු අංක ද ලබා දෙන ලදී. සියලු ම සංකේතවල ගෝලීය ස්ථානගත පිහිටීම (GPS) අගය හා සංකේතවල ස්පර්ශ ලාංඡන (Estam page) ලබා ගැනිණි. ඊට අමතර ව දළ රේඛා සටහනක් මෙන් ම ඡායාරූපයක් ලබා ගෙන විධිමත් ක්‍රමවේදයකට අනුව දත්ත රැස්කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ලදී.

ප්‍රතිඵල හා සාකච්ඡාව

ඵෙතිහාසික අගය

මිරිසවැටිය දාගැබ අනුරාධපුර පැරණි නගරයට නිරිත දිගින් හා තිසා වැවට උතුරින් (උත්තර අක්‍ෂාංශ 08020″42’3 හා නැඟෙනහිර දේශාංශ 080023Z20’0) පිහිටා ඇත. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විසින් ගොඩනඟන ලද ප්‍රථම දාගැබ වන්නේ මිරිසවැටිය යි. එතුමා එළාර රජු සමඟ කරන ලද යුධ ජයග්‍රහණයෙන් අනතුරුව හා අභිෂේකයෙන් සතියක් ඉක්ම ගිය පසු තිසා වැවේ ජල ක්‍රීඩාවට ගිය බැව් මහාවංසයේ සඳහන් වේ. රජුගේ සියලු පරිභෝග භාණ්ඩ ද සිය ගණන් පඬුරු ද ධාතු සහිත කුන්තායුධය ද මිරිසවැටි දාගැබ පිහිට වූ තැන්හි තබා ජල ක්‍රීඩාවේ යෙදුණු අතර එය හමාර කිරීමෙන් පසු කුන්තායුධය වැඩමවන ලෙස රජු පිරිසට අණ කළත් එය එතැනින් සොලවනු නොහැකි විය. මෙම අසිරිය දුටු රජතුමා ධාතු සහිත කුන්තා යුධය වටකොට දාගැබක් කරවා වසර තුනක් ඇතුළත එහි හාත්පස ආවාස ගෘහ තනවා භික්‍ෂූන්ට පූජා කළේය.1 මෙම පූජා කිරීමේ අවස්ථාවට භික්‍ෂූන් ලක්‍ෂයක් හා භික්‍ෂුණීන් වහන්සේලා අනූදහසක් සහභාගී වූ අතර උභතෝ සංඝයා මධ්‍යයේ දී රජතුමා සංඝයා සිහි නොකොට මිරිස්වැටියක් (මිරිස් මාළුවක්) අනුභව කළ බවත්, එම සිත් තැවුලින් අත්මිදීමක් ලෙස මිරිසවැටි වෙහෙර ඉදිකරන බවත් එය පිළිගන්නා ලෙසත් ආරාධනා කොට පැන් වඩා සංඝයාට පවරා ඇත.2 දාගැබ ඉදිකිරීමට හා පිංකම් කටයුතු වෙනුවෙන් එතුමා 19 කෝටියක් මුදල් වැය කළ බව මහාවංසය වාර්තා කරයි.3 ථූපවංසය ද මෙම කරුණ මීට සමානව ම ඉදිරිපත් කරයි.4 කඹුරුපිටියේ වනරතන හිමි මිරිසවැටි විහාර පූජාව තිස්සමහාරාමයේ සිටම ජය කොන්තය සමඟ යුධ පෙරමුණෙ හි වැඩම කළ පන්සියයක් වූ භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන්නට ඇති බව සඳහන් කරයි. උන්වහන්සේගේ මෙම තර්කය සාධාරණ විය හැකි ය. තමන්ට ආශීර්වාදය උදෙසා භික්‍ෂූන්වහන්සේලා 500 නමක් තිස්සමහරාමයෙන් වැඩමවා ගත් බව මහාවංසයේ වැඩිදුරටත් සඳහන් වේ. 5

මිරිසවැටිය දාගැබ හා සම්බන්‍ධයෙන් නැවතත් අපට තොරතුරු ලැබෙන්නේ ගජබා රාජ්‍ය (ක්‍රි.ව.112-134) සමයේ දී ය. එතුමා මිරිසවැටි දාගැබ සඳහා ගඩොලින් ආරක්ෂිත කඤ්චුකයක් කළ බැව් මහාවංසයේ සඳහන් වේ.දුටුගැමුණු රජතුමා විසින් කළ දාගැබ මේ වන විට වසර 200ක් පමණ ඉක්මවා තිබූ හෙයින් දාගැබ සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබෙන්නට ඇත. වෝහාරිකතිස්ස (ක්‍රි.ව. 214-236) රාජ්‍ය සමයේ දී එතුමා මිරිසවැටි දාගැබෙහි ඡත්‍රය හා මිරිසවැටි විහාරයෙහි පවුරක් කළ බව ද මහාවංසයේ සඳහන් වුවත් එහි දැක්වෙන සෙසු කරුණු හා සසඳන කළ එම පවුර බැඳවීම දාගැබ වටා කරන ලද්දක් නොව ආරාම භූමියෙහි කරන ලද සීමා පවුරක් බව පැහැදිලි වේ.7

දැනට දාගැබ වටා ඇති සීමා පවුර ක්‍රිස්තු වර්ෂ 9-10 සියවස් අතර දී ස්ථීරවම සිදු වූ බව පවුරේ ඇති ශිලා ලේඛනවලින් පැහැදිලි වේ. ඇතැම් විට මෙම සෙල්ලිපි එහි පිහිටුවන්නට ඇත්තේ පස් වැනි කාෂ්‍යප (ක්‍රි.ව. 914-923) සමයේ දී විය හැකි ය. මහාවංසයේ සඳහන් වන පරිදි එතුමා මිරිසවැටියෙහි විශාල ප්‍රතිසංස්කරණයක් සිදු කොට ඇත. දාගැබ ඇතුළු ව ආවාසයන් නැවත අලංකාර ලෙස කරවා ආරාමයට අයගම් දී අලංකාර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වහන්සේලා ද පිරිවරමින් අභිධර්මය දේශනා කළ බව සඳහන් ය.8

ද්‍රවිඩ ආක්‍රමණයත් සමග විනාශ වී ගිය අනුරාධපුර නගරය හා එහි වූ දාගැබ් සියල්ල ආක්‍රමණිකයන් කොල්ලකා ගත් බවට සාධක වේ.9 විනාශ කිරීමෙන් පසු වසර 150කට නොඅඩු කාලයක් වනගතව පැවති අනුරාධපුරයේ බෞද්ධ ආගමික ස්ථාන නැවත විශාල ප්‍රතිසංස්කරණයකට යටත් වන්නේ පළමු වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රාජ්‍ය සමයේ දී ය. මහාවංසය සඳහන් කරන පරිදි අසූ රියන් උස් වූ මිරිසවැටි සෑය අනුරපුරයේ අනෙකුත් දාගැබ් මෙන් මහ ගස්වලින් ගහනව වලසුන්ගේ හා දිවියන්ගේ වාසස්ථාන බවට පත් ව තිබිය දී රජතුමා විසින් වනය සිඳුවා මනාකොට ගඩොලින් බඳවා සුණු පිරියම් කොට මළුව ද පිරිසිදු කොට ඇත.10 නිශ්ශංකමල්ල රජතුමා ද මිරිසවැටිය හා තවත් විහාර කරවීමට ලෝකේඅරක්මේනාවන්ට පැවරූ බව රුවන්වැලි සෑ මළුවෙහි ඇති නිශ්ශංකමල්ල රජුට අයත් ශිලාලේඛනයක සඳහන් ය. දැනට පේසා වළලු 3කින් සමන්විත දාගැබෙහි පාදයේ විෂ්කම්භය මීටර් 42 සෙන්ටිමීටර් 30ක් වන අතර දාගැබේ උස මීටර් 57 සෙන්ටිමීටර් 60 කි. මෑතක් වන තෙක් නටබුන්ව පැවති මෙම දාගැබ ප්‍රතිසංස්කරණයෙන් පසු සුණු පිරියම් කොට 1993 ජුනි මස 4 වැනිදා කොත නිරාවරණය කරන්නට යෙදුණි.

විමර්ශනය

මිරිසවැටි දාගැබ වැලි මළුවකින් හා සළපතල මළුවකින් සමන්විත වන අතර සළපතල මළුව සීමා පවුරකින් වටව පවතී. පවුරෙන් වට වූ සලපතල මළුවේ දිග හා පළල මීටර් 84ක් බැගින් වේ. දාගැබ වෙත ප්‍රවේශ වීම සඳහා සිව් දිශාවෙන් ම දොරටු සතරකි. මළුවේ අතුරා ඇති ගල් පුවරුවලින් වැඩි කොටසක් පැරණි ඒවා වන අතර හිස්තැන් පිරවීම සඳහා මෑත කාලයේ දී සකස් කළ ගල් පුවරු අතුරා ඇත. 2011 වර්ෂයේ දී මළුවේ පිළිසකර වැඩ අවසන් කළ බව මළුවේ අතුරා ඇති ගල් පුවරුවක සටහන් කොට ඇත. ප්‍රාකාර බැම්ම ද ඇතුළුව මිරිසවැටි සලපතල මළුවෙන් සංකේත 112ක් හමු වී ඇත.

කුරුටු සටහන් වාර්තා වූ ස්ථාන දැක්වෙන සිතියම

සංකේත නිර්මිත ශිලා පුවරු පිළිබඳව අවධානය යොමුකිරීමේ දී උන්නතව කළ සටහන් මෙන්ම ගල්කටුවකින් යටට හාරා කළ සටහන් දැකගත හැකි ය. පුවරුවල සටහන් යෙදීමේ දී ඇතැම් ඒවායෙහි තනි සංකේත වශයෙන් මෙන්ම ඇතැම් පුවරුවල බහුසංකේත යොදා ඇති බව ද හඳුනාගත හැකි ය. හඳුනාගත හැකි සංකේත අතර ස්වස්තිකය, මත්ස්‍ය සංකේතය, සිරිවසය මෙන්ම පෙති දෙක හෝ තුන නිරූපිත නැට්ට සහිත කුඩා නෙළුම් පොහොට්ටුව හා පිපුණු නෙළුම දක්වා තිබීම විශේෂ වේ. මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ දක්නට ලැබෙන සංකේත අතර වැඩි වශයෙන් අපට හමුවන සංකේතයක් ලෙස ස්වස්තික සංකේතය දැක්විය හැකිය. කේවල මෙන්ම බහු සංකේත වශයෙන් දැකගත හැකි මෙම සංකේතය ගණන එකොළහ කි. සවස්තික සළකුණ සළපතල මළුවේ ශිලා පුවරුවල සටහන් කිරීමේ දී නිශ්චිත ක්‍රමවේදයක් භාවිත කළ බවක් නොපෙනේ. ඇතැම් සංකේත නිශ්චිත දිග හා පළලකින් යුක්ත (සමාන පළලකින් හා දිග කින් යුක්ත) හතරැස් හැඩයක් (චතුරස්‍රාකාර හැඩයක්) ලැබෙන සේ කලාත්මකව නිර්මාණය කර ඇති අතර ඇතැම් ඒවා නිශ්චිත හැඩයකින් තොරව අවිධිමත්ව දක්වා ඇත. ඇතැම් ඒවායේ කෙළවර වාමාවෘතව හා ඇතැම් ඒවා දක්ෂිණාවෘතව සටහන්කර ඇත. බොහෝ විට නිර්මිත පාෂාණ වර්ගය හා නිර්මාපක කුසලතාව හේතු වන්නට ඇති බව ද සිතිය හැකි ය.

සංස්කෘත භාෂාවේ ‘ස්වස්ති’ යන්න වාසනාව යනුවෙන් අර්ථ දැක්වේ. වාසනාව, ජයග්‍රහණය, සෞභාග්‍යය හා සුභසිද්ධිය යන අර්ථය ‘ස්වස්තික’ යන වචනය හා බැඳි පවතින බව ගම්‍ය වේ. ඒ අනුව ස්වස්තිකය මංගල හෙවත් ශුභ සංඛේතයක් ලෙස හඳුනාගත හැකි ය. ස්වස්තික සංකේතය භාවිත කිරීමේ පුරාණය පිළිබඳ සාධක භාරත දේශයෙන් වාර්තා වේ. ඉන්දු නිම්නයෙන් හමු වූ ටෙරාකොටා මුද්‍රාවල ස්වස්තිකයට සමාන හැඩයකින් යුක්ත සංකේත වාර්තා වේ. එය ගණනින් 16කි. දැනට සොයාගෙන ඇති සාධකවලට අනුව ස්වස්තික සංකේතය භාවිත කළ පැරණිතම ශිෂ්ටාචාරය ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බව පිළිගනී. ක්‍රිස්තු පූර්ව 1,300 දී පැරණි ට්‍රෝයි නගරයේ හිසාර්ලික් කඳු මුදුනේ මෙම සංකේතය සටහන් කර ඇති බව කියැ වේ. ට්‍රෝයි නගරයේ සිට ස්වස්තික සංකේත භාවිතය බටහිරට හා නැඟෙනහිරට යාමේ ප්‍රතිඵලයක් ලෙස එම රටවල භාවිත කාසි හා මැටි පුවරුවලට එක් වූ බව සඳහන් වේ. ඊට අමතරව ග්‍රීසියේ සිට සුළු ආසියාවෙන් බටහිරටත්, දකුණු ආසියාව ඔස්සේ රෝමය, ඉරාණය, ඉන්දියාව, ටිබැටය හා ජපානය තෙක් මෙම ස්වස්තික පිළිබඳ විශ්වාසය ව්‍යාප්ත වූ බව පිළිගනී.11

බෞද්ධ කලා නිර්මාණවල පැරණිතම ස්වස්තික සංකේතය වාර්තා වන්නේ ද භාරත දේශයෙනි. ඉන්දියාවේ අමරාවතියෙන් සොයා ගන්නා ලද පාද ලාංඡනයක ස්වස්තික සංකේතය පැහැදිලිව දක්වා ඇත. ඉන්දීය හා ශ්‍රී ලාංකේය පැරණි කාසිවල ද ස්වස්තික සංකේතය දක්වා ඇත. මැක්ස් මුලර් චලනය වන සූර්යා ස්වස්තිකයෙන් නිරූපණය වන බව කියැ වේ. ඔහුගේ අදහසට අනුව ආලෝකය, ජීවය, සෞඛ්‍යය හා ධනය අර්ථවත් කිරීම සඳහා ස්වස්තිකය යොදා ගනී. මෙම අදහසට විරුද්ධ අදහසක් දක්වන ඇලෙක්සැන්ඩර් කනිංහැම් ස්වස්තික සංකේතය සමඟ සූර්යාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව දක්වයි. ඔහුගේ අදහසට අනුව ක්‍රිස්තු පූර්ව 604 සිට 523 කාලය තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් නිර්මාණය වූවකි. 12

හෙන්රි පාකර් ස්වස්තික සංකේතයේ උපත කතිර සංකේතය බව දක්වයි. කතිර සංකේතය ඈත අතීතයේ සිටම මංගල සංකේතයක් මෙන්ම දෛනික ආරක්ෂාව සළසා දෙන සංකේතයක් බව පිළිගනී. ක්‍රිස්තු පූර්ව 5,000 දී පමණ ආකේසියානුවන් තමන්ගේ සුසානවල අද්භූත බලවේග වලින් ආරක්ෂාව පිනිස කතිර තැන්පත් කොට ඇත. තව ද ඉන්දියාවේ සාංචි ස්තූපයේ අවට මෙන්ම ශ්‍රී ලංකාවේ අනුරාධපුර ස්තූපවල ධාතු ගර්භයේ ආරක්ෂාව උදෙසා කතිර සංකේතයට සමාන සංකේතයක් තැන්පත් කොට තිබූ බව වාර්තා වේ. ඒ අනුව, පාකර්ගේ අදහස වන්නේ මුල් කාලීනව හතරැස් කොටුවකින් ආරක්ෂා වූ කතිර සංකේතය පසු කාලීනව ස්වස්තික දක්වා වර්ධනට වන්නට ඇති බවයි.13

ශ්‍රී ලාංකේය බෞද්ධයන් සෞභාග්‍යය, සශ්‍රීකත්වය මෙන්ම ආරක්ෂාව පිනිස යොදාගත් මෙම සංකේතය පිළිබඳ ප්‍රමාණවත් සාධක මූල බ්‍රාහ්මී සෙල්ලිපිවල අපට හමු වේ. මිහින්තලය අංක 34 දරන ලිපියෙහි දෙ වන පෙළෙහි කෙළවර ස්වස්තික සංකේතය දක්නට ලැබේ. මෙම සංකේතය පිළිබඳ අදහස් දක්වන සෙනරත් පරණවිතාන ‘තිස’ යන පෞද්ගලික නාමාර්ථය හැඟවීම පිනිස යොදන ලද්දක් බව දක්වයි.14 ඔහුගේ අදහසට අනුව සෙල්ලිපිවල ස්වස්තික සංකේතය යොදා ඇත්තේ පෞද්ගලිකත්වය වර්ණනානුවයෙන් හැඟවීම සඳහා ය. දඹුල්ල ලෙන් ලිපියක ද ස්වස්තිකය ගරාදි වැටක් සමඟ දක්වා තිබීම ඉහත අදහස වඩාත් තීව්‍ර කරයි. මේ හැර වේවැල්තැන්න, පෙරියපුලියන්කුලම, මෝලාහිටියවේලේගල හා ඇත්වෙහෙර ලිපිවල කේවල ස්වස්තික සංකේතය මෙන්ම බහු සංකේත සමඟ ස්වස්තිකය දැක්වේ. රිටිගල වේවැල්තැන්න ලිපියෙහි චෛත්‍යය, චක්‍රය හා ත්‍රිරත්නය ආදී බෞද්ධ සංකේත සමඟ ස්වස්තිකය දක්වා ඇත. පෙරියපුලියන්කුලම ලිපියෙහි දී සංකේත කිහිපයක් සමඟ ස්වස්තිකය දැක්වේ. මෙම ලෙන් ලිපියෙන් දැක්වෙන ස්වස්තිකය මගින් ද තිස යන අදහස ධ්වනිත කරන බව දක්වයි. මෝලාහිටිය වේලේගල ලිපියෙහි ස්වස්තික සංකේතය ලිපියෙහි ආරම්භයේ මෙන්ම දෙ වන පෙළෙහි ආරම්භයෙහි දක්වා තිබුණ ද මිහින්තලය ඇත් වෙහෙර ලිපියෙහි ස්වස්තිකය දක්වා ඇත්තේ ලිපියෙහි අවසාන කෙළවරහි ය. ඊට සමාන ලිපියක් ජේතවනාරාම පරිශ්‍රයෙන් ද සොයාගෙන ඇත. ඇතැම් ලිපිවල සමාප්තිය දැක්වීම පිනිස විරාම සලකුණක් ලෙස ස්වස්තිකය දක්වන්නට ඇති බව සිතිය හැකිය.15 ඒ අනුව, අපට පැහැදිලි වන්නේ ඉපැරණි සමාජ ව්‍යූහය තුළ භාවිත කළ ස්වස්තික සළකුණ කුමන අර්ථයක් හැඟවීමේ අර්ථයෙන් යොදන ලද්දක් ද යන්න පිළිබඳ නිශ්චිත එකඟතාවක් නොමැති බවයි. බොහෝ විට සෞභාග්‍යය, ආරක්ෂාව සහිත මංගල සංකේතයක් වශයෙන් මෙන්ම ආගමික සලකුණක් ලෙස සළකා ඓතිහාසික ස්මාරක සැකසීමේ දී මෙම සංකේතය යොදාගන්නට වැඩි අවස්ථාවක් පවතින බව කිව යුතු ය. බොහෝ දෙනාගේ පිළිගැනීම ස්වස්තික සලකුණ ශුභ හෝ මංගල සංකේතයක් ලෙස ය.

මිරිසවැටිය ස්ථූප සලපතල මළුවේ බහුලව දක්නට ලැබෙන සංකේතයක් ලෙස මත්ස්‍ය සංකේතය හඳුනාගත හැකි ය. එම සංකේතය මළුවෙහි ශිලා පුවරු 13ක සංකේතය වශයෙන් දැක්වේ. මෙම සංකේතය දැක්වීමේ දී වරල් සහිත තනි මත්ස්‍යයා මෙන්ම මුඛයට මුඛය නමාගෙන සිටින මත්ස්‍යයන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ සිව් දෙනෙකු නිරූපණය කොට ඇත. මෙම සංකේතය නිරූපණය කිරීමේ දී තාත්වික ස්වරූපය එක් කිරීම සඳහා මත්ස්‍යයාගේ ඇස්, වරල් හා වල්ගය මනාව දක්වා තිබීම විශේෂ ලක්‍ෂණයකි. ඇතැම් පුවරුවල මත්ස්‍ය සංකේතය ඇම සමඟ දක්වා ඇති අතර ඇතැම් පුවරුවල බහු සංකේත සමඟ යෙදූ අවස්ථා ද නැත්තේ ද නොවේ. මෙම ශිලාපුවරු වලට අමතරව මත්ස්‍ය සංකේතය බහුල වශයෙන් ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සෙල්ලිපිවල දැකගත හැකි ය. ඊට අමතරව ලෝකයේ විවිධ රටවල බහුවිධ අර්ථයෙන් මත්ස්‍ය සංකේතය යොදාගෙන ඇති බව ද කිව යුතු ය.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික කටයුතු සඳහා අවස්ථා කිහිපයක දී මත්ස්‍ය සංකේතය යොදාගෙන ඇති බව වාර්තා වේ. පසු කාලීනව ඉන්දීය සමාජය තුළ මත්ස්‍ය විෂ්ණුගේ දස අවතාරයන් අතර එකක් ලෙස පිළිගෙන ඇත. ස්කන්ධ පුරාණයේ සඳහන් වන අන්දමට මත්සයාගේ ස්වාමියා ශිව ලෙස හඳුන්වා ඇත. ශිව දෙවියා හැර වෙනත් දෙවියන් නිරූපණය කිරීම සඳහා ද ඉන්දු නිම්න මුද්‍රාවල මත්ස්‍ය සංකේතය ආගමික සංකේතයක් වශයෙන් මෙන්ම ධීවර කර්මාන්තය දැක්වීමට ආදී සමාජීය වෙනත් අදහසකින් යොදාගෙන ඇති බව ද කිව හැකි ය.16

ශ්‍රී ලංකාවේ ද මත්ස්‍ය සංකේතය මංගල සංකේතයක් ලෙස යොදා ගත් අවස්ථා බොහෝමයකි. පොළොන්නරුවෙන් හමු වූ මත්ස්‍යයන් දෙ දෙනෙක් නිරූපිත කැටයම් පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ එම සංකේතය මගින් අෂ්ට ග්‍රහ මණ්ඩලයක් දැක්වෙන බව සඳහන් කරයි.17 ශ්‍රී වත්ස්‍ය, චාමර, අංකුස, ස්වස්තික, භද්‍රාසන, සංඛ හා මත්ස්‍ය අෂ්ට ග්‍රහයින්ට හා දිසාවලට සම්බන්ධ බව ඔහුගේ අදහසයි. එසේම ටී.බී. කරුණාරත්න ද මත්ස්‍ය සංකේතය මගින් ග්‍රහයින් හා දිසා සංකේතවත් කරන බව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ මුල බ්‍රාහ්මී සෙල්ලිපි ගණනාවක මත්ස්‍ය සංකේතය වාර්තා වේ. බෝවත්තේගල, කොට්ටදැමුහෙල, හෙනන්නේගල ආදි ලිපි ඒ අතර වැදගත් වේ. මෙම මත්ස්‍ය සලකුණ සහිත ලිපි සියල්ල පැරණි රෝහණයට අයත් වන අතර එම ලිපිවල රුහුණේ පාලන තන්ත්‍රය මෙහෙය වූ රාජ පරපුර (අය) හෙවත් දස බෑ රජවරුන් පිළිබඳව සඳහන් වීම විශේෂ වේ. ලිපිවල කියැවෙන තොරතුරු පිළිබඳව මෙන්ම මත්ස්‍ය සංකේතය පිළිබඳව අවධානය යොමු කරන මහාචාර්ය පරණවිතාන රුහුණේ රජ කළ පාලකයන් ඉන්දියාවේ මත්ස්‍ය රජ පෙළපතකින් පැවත එන බව දක්වයි. ඒ අනුව, රෝහණයේ නිල ලාංඡනය ලෙස තම අනන්‍යතාව දැක්වීම උදෙසා මත්ස්‍ය සංකේතය යොදාගත් බව සඳහන් කරයි.18 ඔහුගේ මතය නිවැරදි නම් දුටුගැමුණු රජතුමා මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුව සැකසීමේ දී තම අන්‍යතාව හැඟවීම උදෙසා මත්ස්‍ය සංකේතය යෙදුවා විය හැකි ය. නැතහොත් මිරිසවැටිය ස්තූපය ඉදිකිරීමේ දී මෙන්ම පසු කාලීනව ප්‍රතිසංස්කරණය කිරීමේ දී සේවය සඳහා රෝහණයෙන් පැමිණි ගල්වඩුවන් තම අන්‍යතාව හැඟවීම උදෙසා මත්ස්‍ය සංකේතය ශිලා පුවරු වලට එක් කළා විය හැකි ය. නැතහොත් වර්තමානයේ විහාරස්ථානයක චෛත්‍ය මළුවක් ඉදිකිරීමේ දී ඒ සඳහා විවිධ පළාත්වල පිරිස් දායක වනවා මෙන් මිරිසවැටිය සළපතල මළුව සැකසීම සඳහා රෝහණයෙන් පැමිණි ජනතාව තම රාජ්‍යයයේ අන්‍යතාව දැක්වීම උදෙසා තමන් පූජා කරන ලද ශිලා පුවරුවලට මත්ස්‍ය සංකේතය යොදන්නට ඇති බව උපකල්පනය කිරීම යුක්ති සහගත ය.

මත්ස්‍ය සංකේතයට අමතරව මිරිසවැටිය සලපතල මළුවෙහි හෙන්ඩුව, පුන්සඳ, අඩසඳ, ස්තූප හා ගොඩනැඟිලි ආදී සංකේත බොහෝමයක් ද වේ. තව ද හංස හා කපුටා ආදී සත්ත්ව රූපවලට අමතර ව මිරිසවැටිය ස්තූප මළුවේ පමණක් දක්නට ලැබෙන හඳුනා ගැනීමට අපහසු සංකේත කිහිපයක් ද පවතී. ඒ අනුව, සෙසු ස්මාරක හා ස්ථාන ආශ්‍රිත දක්නට ලැබෙන කුරුටු සටහන් සංකේත සමඟ සැසඳීමේ දී මිරිසවැටිය ස්තූප සලපතල මළුවේ නිර්මිත සංකේත විවිධත්වයක් ගන්නා බව පැහැදිලි වේ.

නිගමනය

සමස්තයක් ලෙස මෙම සංකේතවලින් ගම්‍යවන අර්ථ පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ඒවා වඩු සංකේත, පරම්පරා කුල, හෝ වෘත්තීය තත්ත්වයන් හැඟවීමේ සංකේත, ආගමික සංකේත, හා අභිචාරාත්මක අර්ථයෙන් යෙදු සංකේත ලෙස වර්ග කළ හැකි ය. මෙම සංකේත කුමන අදහසකින් සලපතල මළුවල ශිලාපුවරු වලට එක් කළේ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි වුව ද දේශපාලනික, ආගමික, සංස්කෘතික අංග දැක්වීම කිසියම් සමාජීය දෘෂ්ටියකින් නිශ්චිත අර්ථයක් හැඟවීම උදෙසා සිදුකරන ලද්දක් බව කිව යුතුය.

පාදක සටහන්

  1. මහාවංශය, 1967, 26, 6-15
  2. එම, 26, 17
  3. එම, 26, 16-25
  4. ථූපවංශය, 1958, 10-101
  5. එම , 25, 1-3
  6. එම, 35, 120
  7. එම, 36, 37
  8. එම, 52, 46-49
  9. එම, 55, 17-22
  10. එම, 102-106
  11. Senadeera” 1992″ 154
  12.  Cunningham, 1854:17
  13.  Parker 1992: 44,
  14. පරණවිතාන, 1962:2117, 218 IC, vol, 1, XXVI
  15. අමරසේකර, 2017, 54
  16. එම, 74
  17. වික්‍රමගේ, 1991, 29
  18. Paranavithana 1970, 28

මූලාශ්‍රය ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අමරසේකර, සස්නි (2017), ශ්‍රී ලංකාවේ මූල බ්‍රාහ්මි සෙල්ලිපි සංකේත, ශ්‍රී ලංකා පාලි ග්‍රන්ථ සමාගම, වාද්දූව.
  • මහාවංශය (1967), ශ්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිතත රත්නාකර පොත් වෙළඳ ශාලාව, කොළඹ.
  • වික්‍රමගේ, චන්ද්‍රා (1991), “ශ්‍රී ලංකාවේ අෂ්ට මංගල හා අෂ්ට ග්‍රහ මණ්ඩලය”, තලල්ලේ සිරිධම්මානන්ද මහ නා හිමි අභිස්නව සංග්‍රහය, බෞද්ධ කටයුතු දෙපාර්තමේනතුව, කොළඹ.
  • සංක්ෂිප්ත වාර්තාව, (2017) ඓතිහාසික ස්මාරකවල කුරුටු සටහන් සංකේත පිටපත් කිරීමේ ව්‍යාපෘතිය, පළමු වන අදියර, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.
  • සාසනරතන ස්ථවිර, මොරටුවේ (1952), ලක්දිව මහායාන අදහස්, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • Cunningham, A. (1854), The Bhilsa Thupe, London.
  • Paranavithana, S. (1970), Inscriptions of Ceylon, Vol.I, Department of Archaeology, Ceylon.
  • Parker, H. (1992), Ancient Ceylon, Asian Educational Services, New Delhi.
  • Senadeera, G. (1992), Buddhist Symblism of wisn, Delhi.

[මිරිසවැටි ස්තූපය දැක්වෙන ඡායාරූපය https://hiveminer.com වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.]

-------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.07 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.