පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

සංක්ශේපය

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අතීත ජනසමාජ ජීවත් වූ ආකාරය ගොඩනැඟීම පුරාවිද්‍යාවේ ප‍්‍රධානතම කාර්ය බව අපි දනිමු. මේ සඳහා, පුරාවිද්‍යාඥයා බහුල වශයෙන් යොදාගනු ලබන්නේ ද්‍රව්‍යාත්මක සංස්කෘතියයි. ඉපැරණි සමාජ සන්දර්භ ප‍්‍රතිනිර්මාණය කිරිමේ දී සමාජ ක‍්‍රියාකාරීත්වය, පරිණාමය, විසරණය හා තාක්ෂණික විචල්‍යතාවන් සඳහා කේවල මානව හැසිරීම් මෙන්ම සාමූහික ක‍්‍රියාකාරීත්වය ප‍්‍රබලව හේතු වේ. මෙහි දී භෞතික ක‍්‍රියාකාරීත්වය මෙන්ම මනස මූලිකව සිදු කෙරෙන සිරිත්විරිත්, චාරිත‍්‍රවාරිත‍්‍ර, ඇදහිලි විශ්වාස හා බැඳුණු අභිචාර විධි ප‍්‍රබලව හේතු වන බව කිව යුතුය. එම හේතුව නිසාම අතීත ජන සමාජ ගොඩනැඟීමේ දී පැරණි සමාජවල මනස මූලිකව ගොඩනැගුණු සමාජ කි‍්‍රයාකාරීත්වය පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු වේ. මෙහි දී බලාපොරොත්තු වන්නේ අනුරාධපුර ථූපාරාම ස්තූප සලපතල මළුවේ ශිලාතලයේ සටහන් කර ඇති කුරුටු සටහන් පිළිබඳව අධ්‍යයනය කිරීමටයි. මෙම සලපතල මළුවේ ශිලාතලයේ කුරුටු සංකේත 7ක් පමණ දක්නට ලැබේ. එම සංකේත අතර හඳුනාගත හැකි සංකේත වශයෙන් වඩු සංකේත, ජ්‍යාමිතික යන්ත‍්‍ර සංකේත, ත‍්‍රිරත්න සංකේත හා වර්ධනමාන සංකේතය දක්නට ලැබෙන අතර හඳුනාගත නොහැකි සංකේත ද ඒ අතර දක්නට ලැබෙන බව කිව යුතුය. මෙහි දී ථූපාරාම සලපතල මළුවේ දක්නට ලැබෙන ත‍්‍රි රත්නය හා වර්ධමාන සංකේතය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.

හැඳින්වීම

මිනිස් ඉතිහාසයේ ආදි යුගයේ සිට මිනිසා තම විවිධ අවශ්‍යතාවන් ඔවුනොවුන් අතර සන්නිවේදන කිරීම උදෙසා නොයෙකුත් සන්නිවේදන ක‍්‍රමවේද භාවිත කළ බව අපි දනිමු. එහි දී කණ්ඩායම් වශයෙන් හෝ ගෝත‍්‍ර වශයෙන් ජීවත් වූ මානවයා අවාචික ව යමක් හඟවනු පිණිස විවිධ සංකේත යොදා ගන්නා ලදහ. වනාන්තරයේ මඟ දැනගැනීමට කොළ අතු කඩා එල්ලීම, ගසක පොතු ගැලවීම ආදිය වඩාත් ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම විය. දළ වශයෙන් අදින් වසර 30,000කට පමණ පෙර මානවයාගේ සිතුවම් මාර්ගයෙන් සන්නිවේදනය කළ බව ප‍්‍රංශයේ ඇල්ටමීරා, ලැස්කෝ ආදී ගුහාවල මෙන් ම ලෝකයේ ප‍්‍රාග්ඓතිහාසික යුගයට අයත් සිතුවම් අධ්‍යයනය කළ උගත්හු පෙන්වා දෙති. කි‍්‍රස්තු පූර්ව 5,000 හෝ ඒ ආසන්න පසු කාලීන සමය වන විට මෙම චිත‍්‍ර සංකේත නිශ්චිත අදහසක් සන්නිවේදනය කරන අක්ෂර මාලාවක් බවට පත් වූ බව ඊජිප්තුව, සුමේරියාව, මෙසපොතේමියාව ආදී පැරණි ශිෂ්ටාචාරවලින් හමුවන රූපාක්‍ෂර මගින් හෙළි වේ. මෙහි දී ක‍්‍රිස්තු පූර්ව 4,000 දී පමණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ භාවිත වූ රූප සංකේත විශේෂ වේ. එතැන් සිට සීග‍්‍රයෙන් යුරෝපයේ මෙන් ම ආසියාතික රටවල දෛනික කටයුතු පහසු කරගැනීමට මෙන්ම දේශපාලනික, ආර්ථික, ආගමික තොරතුරු ලියා තැබීමට අක්ෂර මාලාවන් සංර්ධනය කොට ගත්හ. එසේ වු ද සරල අර්ථ නිරූපණයේ සිට සංකීර්ණ අර්ථ නිරූපණය දක්වා පරාසයක විහිද යන ඇතැම් සංකේත මානව සමාජය විසින් තවමත් භාවිත කරමින් පවතී. උදාහරණ ලෙස වනයේ සැරිසරන මිනිසුන් මග සළකුණු වශයෙන් තවමත් වන අතුකඩා එල්ලීම සිදුකරනු ලබයි. ඒ හැර දැව, ගල්, මැටි, ආදී විවිධ නිර්මාණකරුවන් නිර්මාණ කාර්යය පහසුකර ගැනීම සදහා විවිධ වඩු සළකුණු තබනු ලැබේ. විවිධ ජාතීන් ආගමික හා සංස්කෘතික කටයුතුවල දී අභිචාරාත්මක සංකල්පයෙන් විවිධ සංකේත රූප තනිව හෝ කීපය බැගින් යොදනු ලැබේ. මේ හැර වර්තමාන දියුණු ලෝකයෙහි සෑම රටක ම පාහේ විවිධ ආයතන තම තමන්ගේ ආයතනවලට අනන්‍ය වූ සංකේතයක් (Symbol) යොදාගනු ලබන්නේ ද සංකේතයකින් නිරූපණය කළ හැකි බහු අර්ථයන් පිළිබදව සලකාගෙන බව පෙනේ.

පර්යේෂණ ගැටලුව

අනුරාධපුර ථූපාරාම ස්තූපය ආශ‍්‍රිත ඓතිහාසික අගය හා සංස්කෘතික සන්දර්භය ගොඩනැඟීමේ දී ශිලාතලයේ සටහන් කුරුටු සංකේතවලට හිමි ස්ථානය කුමක් ද යන්න විමසා බැලීම.

පර්යේෂණ අරමුණ

ථූපාරාම ස්තූපයේ ඓතිහාසික අවධි හා සම්බන්ධ දේශපාලනික, ආගමික, සාමාජික හා සංස්කෘතික සන්දර්භය අධ්‍යයනය කිරීම.

පර්යේෂණ ක‍්‍රමවේදය

සමාජවිද්‍යා අධ්‍යයනවල දී දත්ත රැස්කිරීම සදහා යොදාගනු ලබන ගුණාත්මක හා සංඛ්‍යාත්මක දත්ත රැස්කිරීමේ විධික‍්‍රම යොදා ගන්නා ලදි. මෙහි දී ථූපාරාමය ස්තූප සලපතළ මළුවේ නිර්මිත කුරුටු සටහන් සංකේත හැකිතාක් නිවැරදිව වාර්තා කිරීමේ අපේක්‍ෂාවෙන් ලිඛිත වාර්තාකරණය, සැලසුම් හා ඡායාරූපකරණය භාවිත කරන ලදි. දාගැබ් මළුවේ සංකේත සියල්ල පිටපත් කර ගැනීමේ අරමුණින් මීටර් 10X10 ප‍්‍රමාණයේ කොටුවලට සමස්ත මළුව බෙදාගන්නා ලදී. ඉන් අනතුරුව ථූපාරාමය ස්තූප හඳුනාගැනීම සඳහා පොදුවේ ඉංග‍්‍රීසි T අක්ෂරය ද ප‍්‍රධාන කොටුවේ අංකය දෙ වැනිව ද කොටුව තුළ දක්නට ලැබෙන සංකේත ප‍්‍රමාණය අනුව ඒවාට අනු අංක ද ලබා දෙන ලදී. සියලු ම සංකේතවල ගෝලීය ස්ථානගත පිහිටීම (GPS) අගය හා සංකේතවල ස්පර්ශ ලාංඡන (Estampage) ලබා ගැනිණි. ඊට අමතර ව දළ රේඛා සටහනක් මෙන් ම ඡායාරූපයක් ලබා ගෙන විධිමත් ක‍්‍රමවේදයකට අනුව දත්ත රැස්කිරීමේ ක‍්‍රියාවලිය සිදු කරන ලදී.

ප‍්‍රතිඵල හා සාකච්ඡාව

ඵෙතිහාසික අගය

ථූපඝරයක් සහිත මෙම දාගැබ අනුරාධපුර පැරණි නගරයට නිරිත දිගින් හා රුවන්වැලි දාගැබට උතුරු දිශාවෙන්  උත්තර අක්‍ෂාංශ 080 21.190ක් හා නැගෙනහිර දේශාංශ 800 23.480කින් යුතුව පිහිටියේ ය. ථූපාරාම දාගැබ අටමස්ථානයට අයත් පූජණීය ස්ථානයක්වන අතර එහි භාරකාරත්‍වය අටමස්ථානාධිපතීන් වහන්සේ සතුව පවතී. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂාවන ඓතිහාසික ස්ථානයක් ද වේ. ජනතාවගේ දෛනික පුදපූජාවන්ට ලක්වන මෙම දාගැබ දැනට පූර්ණ වශයෙන් ප‍්‍රතිසංස්කරණයට ලක්ව පවතී.

මෙම දාගැබ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී (කි‍්‍රි.පූ. 250-210) මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසකත්‍වයෙන් ඉදිවුණු බැව් වංසකතාවේ සඳහන්ය. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංසයේ එයි (මහාවංසය 1967:17,1-64). දාගැබ ඉදිකිරීමේ අදහස මුලින්ම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජු වෙත දන්වන ලද්දේ උන්වහන්සේ ලක්දිව පැමිණ මාස 6ක් ඉක්ම ගිය තැන දී ය. එම අදහස දන්වා ඇත්තේ ද ඉල් මස පුර පසළොස්වක පොහොය දිනයක වීම ද විශේෂ කරුණකි (එම:17,2-3). බුදුන්වහන්සේ වෙනුවට උන්වහන්සේගේ අකු ධාතුව තැන්පත් කොට මෙම ස්තූපය සාදන ලද බව එහි කියැ වේ. දාගැබ ඉදිකළ භූමිය පෙර සිටම පූජණීය ස්ථානයක්ව තිබූ බව වංසකතා සාක්‍ෂි දරයි. මේ පිළිබඳව  මහාවංසයේ පළමුව සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ තුන්වන ලංකාගමණය අවස්ථාවේ දී ථූපාරාම දාගැබ පිහිටි තැන උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩහිඳි බව ය (එම:1,82). මේ හැර මෙම භූමියේ ප‍්‍රමෝජ වස්තු නම් දේවාලයක් ද වූ බව  වාර්තා කරයි (එම:17,30). වංසත්‍ථප්පකාසිනියේ මෙය විස්තර කොට ඇත්තේ මහේජ නම් යකුගේ දේවායතනය මෙහි වූ බව ය (වංසත්‍ථප්පකාසිනිය 1994:293). මේ හැර ස්තූපය පිහිටුවන ලද ස්ථානය කොළොම් මලින් ද ආදාරි නම් වැලින් ද ගැවසී තිබූ බවත් කදම්බ පුප්ඵවල්ලී යනු කීර නම් වැල් වෙසෙස කැයි ද ආදාරීවල්ලී යනු හිය නම් වැල් විශේෂයකැයි ද වංසත්‍ථප්පකාසිනිය වැඩි දුරටත් විස්තර කරයි (එම:293). දීපවංසය සඳහන් කරන පරිදි ථූපාරාමය පිහිටි ස්ථානය කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරුන්ගේ ධාතු ද පුරාණයේ සිට තැන්පත්ව තිබූ ස්ථානයක් වෙයි (දීපවංසය 1970:15,24-25). මෙම කරුණ තවත් විස්තර කරන ථූපවංසයේ “ඒ බිම ද ආදි බුදු වූ තුන් දෙනා වහන්සේගෙන් කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුව පිහිටියේය. කෝණාගම බුදුන්ගේ පටි ධාතුව පිහිටියේය. කාෂ්‍යප බුදුන්ගේ ජලසාටිකාව පිහිටියේය. මේ තුන් බුදුවරයන්ගේ ධාතු පිහිටුවා කරන ලද දාගැප් එතැන නට කල්හි දේවතානුභාවයෙන් කටුයෙන් ගහනව අනේක ගසින් පිරිවරන ලදුව සිටියේය” (සිංහල ථූපවංසය 1958:52). මෙම කරුණුවලින් පෙනෙන්නේ ථූපාරාමය ඉදිකළ භූමිය දිගුකලක සිටම පූජ්‍යත්‍වයට පත්ව තිබූ ස්ථානයක් බවය. මහ රජතුමා ථූපය පෙරටු කොට මෙම විහාරය කර වූ නිසා මෙම ස්ථානය ථූපාරාමය නම් වූ බව ද මහාවංසය වැඩි දුරටත් සඳහන් කරයි (මහාවංසය 1967:17,64).

දෙවනපෑතිස්ස (කි‍්‍ර.පු. 250-210) රාජ්‍ය අවධියෙන් පසුව අවස්ථා කිහිපයක දී පාලකයින් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම් සිදුව තිබේ. ලඤ්ජතිස්ස (ක‍්‍රි.පු. 119-109) රජතුමා ථූපාරාම ස්තූපය වටා සෙල්මුවා කංචුකයක් කිරීමත් (මහාවංසය 33-23), භාතිකාභය (කි‍්‍ර.පූ 22-ක‍්‍රි.ව. 07) රජතුමා ථූපාරාම ආරාම පරිශ‍්‍රයේ පොහොය ගෙයක් ඉදිකිරීමත් (එම, 33, 39-40) ඒ අතර විශේෂ වේ. ඉන් අනතුරුව වසභ (ක‍්‍රි.ව. 67-111) රජතුමා ථූපාරාම ස්තූපයේ ආරක්ෂාව සඳහා වටදාගෙයක් නිර්මාණය කළ බව සඳහන් වේ (එම 35). නැවත එම ඉදිකිරීම ගෝඨාභය (ක‍්‍රි.ව. 249–263) රාජ්‍ය කාලයේ දී ප‍්‍රතිසංස්කරණය කළ බවට තොරතුරු සඳහන් වේ. තවද මෙතුමා ථූපාරාමයේ ධාතු මන්දිරය සහ පොහෝ ගෙවල් ද ප‍්‍රතිසංස්කරණය කොට ඇත (එම, 36). තව ද 1 වන උපතිස්ස රාජ්‍ය (ක‍්‍රි.ව. 365–406) කාලයේ දී ද ථූපාරාම ස්තූපයේ කොත රනින් කරවා ස්තූපයට කංචුකයක් කළ බව කියැ වේ (එම, 37,207,208). ථූපාරාම ස්තූපය පිළිබඳ ඓතිහාසික අවධියේ වාර්තාවන විශාලතම ප‍්‍රතිසංස්කරණය සිදු කොට ඇත්තේ 11 වන අග්ගබෝධි (ක‍්‍රි.ව. 604–614) රාජ්‍ය කාලයේ ය. එතුමා ගරාවැටුණු ස්තූපය හා වටදාගෙය නැවත විධිමත්ව ප‍්‍රතිසංස්කරණය කොට තිබේ. (එම, 44,57–62). එසේම, ක‍්‍රිස්තු වර්ෂ 687-718 අවධිය රාජ්‍ය පාලනය මෙහෙය වූ මානවම්ම රජතුමා ද ථූපාරාම ස්තූපයේ වටදාගෙය ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත (එම, 45–66). ඓතිහාසික අවධිවලින් පසුව ථූපාරාම ස්තූපය ක‍්‍රිස්තු වර්ෂ 1829 වර්ෂයේ දී පමණ විධිමත් ප‍්‍රතිසංස්කරණයකට ලක්කොට ස්තූපයේ කොත් පැලඳවීමක් පිළිබඳව සඳහන් වේ (අනුෂි තිසාරා කාරියවසම්, 2005:39). ක‍්‍රිස්තු වර්ෂ 1886 දී පමණ ථූපාරාම භූමියේ පුරාවිද්‍යා මැදිහත්වීම් කිහිපයක් සිදුව තිබේ. එහි දී ජේ. ස්මිදර් ථූපාරාම පරිශ‍්‍රයේ කැනීම් කටයුතු සිදු කර ඇති අතර එච්.සී.පී. බෙල් මහතා 1895 දී පමණ ථූපාරාම පරිශ‍්‍රයේ පුරාවිද්‍යාත්මක කටයුතු ආරම්භ කොට ඇත (එම, 39,40). ක‍්‍රිස්තු වර්ෂ 1908 දී පමණ මහගොඩ රතනේස්වර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ථූපාරාම ස්තූපයේ නැඟෙනහිර මල් ආසනය ඉදිකර ඇති අතර ක‍්‍රිස්තු වර්ෂ 1911 දී පමණ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි දකුණු දිශාවේ මල් ආසනය ඉදිකර තිබේ (එම, 39).

කුරුටු සංකේත

මෙම දාගැබෙහි පොළොව මට්ටමේ සිට මීටර් 4යි සෙන්ටිමීටර් 40ක් පමණ උසින් මළුව පිහිටා තිබේ. එම මළුව වෘත්තාකාරව සකසා ඇත. එහි විශ්කම්භය මීටර් 49යි සෙන්ටිමීටර් 35ක් තරම් වේ. මළුවට ගොඩවීම සඳහා නැඟෙනහිර හා බටහිර අන්තවලින් පියගැට පෙළ වේ. මළුව මැද අඩි 63ක් උස දාගැබ ඉදි වී ඇත. දාගැබ ආසන්නත ම මීටර් 1ක් පමණ වෘතයෙහි වැලි අතුරා ඇත. ඉතිරි මුළු මළුව ම ගල් පුවරු අතුරා ඇත. පිට ප‍්‍රාකාරය ආසන්න කොටසෙහි මෑත කාලයේ දී ගල් පුවරු අතුරනු ලැබ ඇත. මළුවවේ බටහිර හා වයඹ කලාපයෙහි දාගැබට අයත් පැරණි වටදාගෙයි ගල් කණු හා කුළුණු හිස් තැන්පත් කර තිබීම හේතුවෙන් එම කොටස ඇහිරී පවතී. ථූපාරාම සලපතළ මළුවෙන් සංකේත 7ක් හමු වීය.

සංකේත හමුවන ස්ථාන දැක්වෙන සිතියම

ථූපාරාම සලපතළ මළුවෙන් සංකේත 7ක් හමු වන ස්ථාන ථූපාරාම ස්තූප සලපතල මළුවේ කුරුටු සංකේත යෙදීමේ දී වඩා සැලකිල්ලෙන් කළ සටහන් මෙන්ම ශිලාතලයේ ගල්කටුවකින් යටට හාරා කළ සටහන් වේ. මෙම මළුවේ දක්නට ලැබෙන සියලුම සංකේත කේවල සංකේත ලෙස යෙදූ ඒවා වේ. ඒවායේ හඳුනාගත හැකි සංකේත ලෙස වඩු සලකුණු, ජ්‍යාමිතික යන්ත‍්‍ර සංකේතයක් මෙන්ම ත‍්‍රි රත්නය හා වර්ධමාන සංකේතය දක්නට ලැබෙන අතර හඳුනාගත නොහැකි සංකේත කිහිපයක් ද ස්තූප මළුවේ දක්නට ලැබේ.

හඳුනාගත හැකි සංකේත අතරට ගැනෙන ථූපාරාම සලපතල මළුවට පමණක් ආවේණික සංකේතයක් ලෙස වර්ධමාන සංකේතය දැක්විය හැකි ය. වර්ධමාන යන්නෙන් වර්ධනය, වැසීම හැඟ වේ. ඒ අනුව, ඉන්දියාවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද පැරණි සමාජවල දියුණුව, වැසීම හා සෞභාග්‍යය හැඟවීම සදහා මෙම සංකේතය යොදා ගෙන ඇත. ආනන්ද කුමාරස්වාමි වර්ධනමාන සංකේතය සුවඳ විලවුන් පෙට්ටියක් වශයෙන් හදුන්වන අතර ඒ.එච්. ජොන්සන් එය හඳුන්වනු ලබන්නේ කිසියම් භාජනයක් ලෙසයි (coomaraswamy, 1931, ජොන්සන්, 1932). කෙසේ නමුත්, ජෛනයන්ගේ අෂ්ට මංගල සංකේත අතර දක්නට ලැබෙන මෙම සංකේතය මංගල සංකේතයක් ලෙස හඳුනාගැනීම වඩාත් නිවැරදිය (අමරසේකර, 2017:93).

වර්ධමාන හෙවත් වඩ්ඩමාන සංකේතය පිළිබද අවස්ථා කිහිපයක දී මහාවංශයේ සදහන් වේ. අශෝක රජතුමා දෙවන පෑතිස්ස රජුට එවන ලද පුද සත්කාර අතර වර්ධනමාන වස්තුවක් පැවති බවට සදහන් වේ (මහාවංශය, 11-30). මේ හැර වසභ රජතුමා ‘අග්නිවඩ්ඩමානක‘ නමින් වැවක් මෙන්ම තිස්ස වඩ්ඩමානක නමින් විහාරයක් කරවූ බව ද කියැ වේ.

වර්ධමාන සංකේතය (ථූපාරාම සලපතල මළුව) ඊට අමතරව ක‍්‍රිස්තු වර්ෂ දෙ වන සියවසට අයත් සෙල්ලිපියක පළමු වන ගජබාහු රජතුමා වඩ්ඩමානක නමින් වැවක් කරවා ථූපාරාම ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා ප‍්‍රදානය කළ බව සදහන් වේ. ඒ අනුව, ථූපාරාම සලපතල මළුවෙහි දක්නට ලැබෙන වර්ධමාන සංකේතය හා ක‍්‍රිස්තු වර්ෂ දෙ වන සියවසේ ගජබාහු රජතුමා ථූපාරාමයට පූජා කරන ලද වඩ්ඩමානවක වැව අතර යම් සම්බන්ධතාවක් පවතින බව පෙනේ. ඇතැම් විට ගජබාහු රජු විසින් සිදු කරන පරිත්‍යාගය සංකේත කිරීම උදෙසා ථූපාරාම සලපතල මළුවට මෙම සංකේතය එක්කලා විය හැකි ය. මෙම සංකේතය එරුපොතාන ලිපියෙහි මෙන්ම පෙරියපුල්ලියම්කුලම් ලිපියෙහි බහු සංකේත සමඟ දැක්වේ. ඊට අමතරව ඉන්දියාවේ සාංචි කැටයම්වල මෙන්ම අමරාවතී පාද ලාංඡනයක හා ජෛන මහාවීරගේ පපුව මත ද කොටා ඇත.

බුදු සමය හා සම්බන්ධ සංකේත අතර විවිධ අර්ථ දක්වන සංකේතයක් ලෙස ත‍්‍රි රත්න සංකේතය හෙවත් ටොරීන් සංකේතය ද වැදගත් වේ. මෙම සංකේතය ථූපාරාමය සලපතළ මළුවෙහි පමණක් දැක්වෙන අතර එය ශිලාපුවරු තුනක දක්වා තිබීම විශේෂ වේ. ඉන් එක් පුවරුවක දක්නට ලැබෙන සංකේතය හඳුනාගැනීමට අපහසු ආකාරයට විනාශයට පත්ව තිබේ. වක‍්‍රාකාර තැටියක් මත උඩට යොමු වූ හඩ තුනක් සහිතව දක්වා ඇත. චක‍්‍රය හා ත‍්‍රිශූලය ස්පර්ශ වන ස්ථානයේ දෙ පස පත‍්‍ර දෙකක් වේ. මෙම සංකේතය සදහා මුලින්ම භාවිත කළ නම කුමක් ද නිශ්චිත නොවූව ද විද්වතුන්ගේ මතය වන්නේ මුල් කාලීනව ටොරීන් සංකේතය ලෙස ව්‍යවහාර වූ බවයි (අමරසේකර 2017:56). බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නය සංකේත කිරීමට යොදාගත් බැවින් පසු කාලීනව ත‍්‍රි රත්නය ලෙස ව්‍යවහාර වූ බව පෙනේ.

ක‍්‍රිස්තු පූර්ව දෙ වන හා තුන් වන ශතවර්ශවලට අයත් ස්ථාන කිහිපයක මෙම සංකේතය විවිධ අර්ථවලින් දක්වා ඇත. සංචි ස්තූපයෙහි දොරටු සතරෙහි ඇති තොරණවල ඉහළ මෙම සංකේතය දැක්වේ. ඒ හැර භාර්හුට් හා අමරාවතී තොරණවල ද පූජනීය අර්ථයෙන් මෙම සංකේතය දක්වා තිබීම විශේෂ වේ. මෙම කැටයම්වල පිරිසක් වන්දනා කරන අයුරු නිරූපිත ය. ඒ අනුව, මෙම සංකේතය මගින් බුදුරජාණන් වහන්සේ හෝ ත‍්‍රිවිධ රත්නය සංකේතවත් කරන්නට ඇති බව පිළිගත් මතයයි (Cunningham 1968:232). ඒ හැර මහාචාර්ය විල්සන්, කර්නල් සයිකේස් ආදී විද්වතුන් ද ත‍්‍රි රත්න සංකේතය මගින් බුද්ධ, ධම්ම, සංඝ ත‍්‍රිවිධ රත්නය නිරූපණය කරන බව දක්වයි. මෙම සංකේතය අමරාවතී, ගන්ධාර ප‍්‍රදේශවලින් හමු වූ ශ‍්‍රී පාද ලාංඡනවල මංගල සංකේතයක් ලෙස ද දක්වා ඇත (අමරසේකර 2017:57).

ශ‍්‍රී ලංකාවේ මෙම සංකේතය බහුල වශයෙන් අනුරාධපුර යුගය නියෝජනය කරන ශ‍්‍රී පාද ලාංඡනවල දැක්වේ. ඇතැම් විට චක‍්‍රය, සිරිපතුල, පද්මය මෙන්ම පූජනීය අර්ථයෙන් ලක්වැසියන්ගේ වන්දනයට මෙම සංකේතය භාජනය වන්නට ඇත. මේ හැර ක‍්‍රිස්තු පූර්ව යුගවලට අයත් සෙල්ලිපි කිහිපයකම ත‍්‍රි රත්න සංකේතය කේවලව මෙන්ම සෙසු සංකේත සමඟ යොදා ඇති අවස්ථා ද වේ. කුඩුම්බිගල සෙල්ලිපියෙහි පළමු පේලිය ආරම්භ කිරීමට පෙර යොදා ඇත්තේ ත‍්‍රි රත්න සංකේතය හෙවත් ටොරීන් සංකේතයයි. බෝවත්තේගල ලිපියෙහි මෙන්ම වේවැල්තැන්න සෙල්ලිපියෙහි ත‍්‍රි රත්න සංකේතය සමග සංකේත කිහිපයක් යොදා ඇති අතර වේවැල්තැන්න ලිපියෙහි එක හා සමාන ලක්ෂණ සහිත ත‍්‍රි රත්න සංකේත දෙකක් දක්වා තිබීම විශේෂ වේ (එම 62-68).

මෙම සංකේතය කුමන අදහසකින් සෙල්ලිපි සදහා එක් කළේ ද යන්න නිශ්චිත නොවේ. එහෙත් බොහෝමයක් ලෙන් භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රයෝජනය පිනිස සකසා සිදු කරන ලද පරිත්‍යාග සිහිපත් කිරීම පිනිස සටහන් කරන ලද ලෙන්ලිපිවල බහුල වශයෙන් ත‍්‍රි රත්න සංකේතය යොදා තිබීමෙන් පැහැදිලි වන්නේ ආගමික සංකේතයක් හෝ මංගල සංකේතයක් ලෙස ලෙන් ලිපිවලට ත‍්‍රි රත්න සංකේතය ඇතුළත් කරන්නට ඇති බවයි.

ඉන්දීය කැටයම්වල මෙන්ම ශ‍්‍රී ලංකාවේ සිරිපතුල් ගල්වල හා ලෙන් ලිපිවල පූජනීය අර්ථයෙන් ත‍්‍රි රත්න සංකේතය යෙදුවේ නම් ථූපාරාම සලපතල මළුවේ ශිලා පුවරුවලට පූජනීය අර්ථයෙන් ත‍්‍රි රත්නය සංකේතය යෙදීම ගැටලු සහගත ය. ඊට ප‍්‍රධානතම හේතුව බැතිමතුන්ගේ පූජනීයත්වයට හා ගෞරවයට පාත‍්‍රවන මෙම සංකේතය මිනිසුන්ට නිරන්තරයෙන් පෑගෙන අපවිත‍්‍ර වන මළුවකට යෙදීමේ අවකාශයක් නොමැත. ඒ අනුව, බෞද්ධයාගේ අතිශයින්ම ගෞරවයට පාත‍්‍රවන ත‍්‍රිවිධ රත්නය සංකේත කිරීම උදෙසා ථූපාරාම සලපතල මළුවට ත‍්‍රි රත්න සංකේතය යෙදූ බව නිගමනය කිරීම යුක්ති සහගත නොවේ. එසේ නොවන්නට ස්තූපයේ වෙනත් ඉදිකිරීමකට යොදාගත් ශිලා පුවරු පසු කාලීනව සලපතළ මළුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට යොදාගත්තේ ද යන්න නිශ්චිත නොවේ. මෙම සංකේතවලට අමතරව ජ්‍යාමිතික යන්න සංකේතයක් හා වඩු සංකේත ථූපාරාම සලපතල මළුවේ දක්නට ලැබෙන බව ද කිව යුතු ය. ඒ අනුව, සමස්තයක් ලෙස මෙම සංකේත පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී අපට පැහැදිලි වන්නේ තත්කාලීන මානව ඇදහිලි හා විශ්වාස බොහෝ විට, මෙම සංකේත සඳහා හේතුවන්නට ඇති බවයි. එමෙන්ම ඒ සඳහා සෘජු වශයෙන්ම බෞද්ධ ආගමික පසුබිම හේතු වූ බවට සැකයක් නොමැත.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • අනුෂි තිසාරා කාරියවසම්, කේ.ඩී (2005), ථූපාරාමය, පුරාතන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය, සංස්. ඩබ්.එච්. විජයපාල, අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොළඹ 7.
  • අමරවංශ හිමි, කොත්මලේ (1969), ලක්දිව සෙල්ලිපි, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • අමරසේකර, සස්නි (2017), ශ‍්‍රී ලංකාවේ මූල බ‍්‍රාහ්මි සෙල්ලිපි සංකේත, ශ‍්‍රී ලංකා පාලි ග‍්‍රන්ථ සමාගම, වාද්දූව.
  • කරුණානන්ද, උක්කුබණ්ඩා (2007), අනුරාධපුර අටමස්ථාන, එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ.
  • ශ‍්‍රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ඛිත (1967), මහාවංශය, රත්න පොත් වෙළද ශාලාව, කොළඹ.
  • වික‍්‍රමගේ, චන්ද්‍රා (1991), ‘ශ‍්‍රී ලංකාවේ අෂ්ට මංගල හා අෂ්ට ග‍්‍රහ මණ්ඩලය’, නලල්ලේ සිරිධම්මානන්ද මහ නා හිමි අභිස්නව සංග‍්‍රහය, බෞද්ධ කටයුතු දෙපාර්තමේනතුව, කොළඹ.
  • විමලඥාන හිමි, නා ඔටුන්නගේ (2014), තාන්ත‍්‍රික බුදු සමය, කර්තෘ ප‍්‍රකාශනයකි.
  • සාසනරතන ස්ථවිර, මොරටුවේ (1952), ලක්දිව මහායාන අදහස්, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
  • Coomaraswamy, A (1931), vardhamana and sirivasta, Landon.
  • Cunningham, A. (1854), The Bhilsa Thupe, London.
  • Cunningham, A. (1968), The Bhilsa Thupe, varnasi.
  • Paranavithana, S. (1970), Inscription of Ceylon, Vol.I, Department of Archaeology, Ceylon.
  • Parker, H. (1992), Ancient Ceylon, Asian Educational Services, New Delhi.
  • Santiana, peter Della, The Three of Enlightenment, chico Dharma study Fonndation.
  • Senadeera, G. (1992), Buddhist Symblism of wisn, Delhi.

මෙම ලිපියේ ආරම්භයේ දැක්වෙන ථුපාරාම ස්තූපයේ ඡායාරූපය https://upload.wikimedia.org අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.31 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.