සටහන හා ඡායාරුප

චන්දිම බණ්ඩාර අඹන්වල

chandima-ambanwala-sri-lanka-archaeology-prehistory-epigraphy-epistomology
චන්දිම අඹන්වල

විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් අනුරාධපුර ඇතුළු නගරය සලකනු ලබයි. අනුරාධපුර පැරණි නගරයේ මධ්‍යගත පිහිටුමක් දක්වමින් පිහිටා ඇති ඇතුළු නගරය හෙක්ටයාර 100ක පමණ භූමියක ව්‍යාප්ත ව ඇත. අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු සීමාව අභයගිරි විහාර සංකීර්ණයෙන් ද දකුණු සීමාව මහාවිහාර සංකීර්ණයෙන් ද සීමා වී ඇත. ලංකාවේ පවතින පුරාවිද්‍යා භූමි අතුරින් ප්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසිත යන සෑම අවධියක් ම නිරූපණය කරන සංස්කෘතික පාංශු ස්තරණයක් අනුරාධපුර ඇතුළු නගරයේ හඳුනාගත හැකි වේ. එ මෙන් ම මෙම ස්තරය තුළ මෙම සෑම කාලයක් හරහා ම ලංකාවේ මිනිසා සංස්කෘතික වශයෙන් අත්කරගත් විකාශය මෙන් ම සංක්‍රාන්තිය සටහන් වී තිබීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් වශයෙන් මෙහි ඇති වැදගත්කම තීව්‍ර කරයි.

පුරාවිද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති ආකාරයට අනුරාධුපුරය හා යම් අන්දමකින් හෝ සමාන සංස්කෘතික ස්තරණයක් සහිත වෙනත ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර වශයෙන් මන්නාරම – මාන්තායි පුරාවිද්‍යා ස්ථානය, යාපනය කඳුරුගොඩ හා දකුණුදිග ලංකාවේ තිස්සමහාරාම අකුරුගොඩ යන ස්ථාන හඳුනාගෙන ඇත.

1930 දශකයේ පමණ සිට අනුරාධපුර ඇතුළු නගරය ඉලක්ක කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යයන දියත් වී ඇති නමුත් වඩාත් විධිමත් අන්දමින් මෙහි අධ්‍යයන සිදුකිරීම 1969 දී ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ විය. 1969 අනුරාධපුර ඇතුළු නගරයේ ගෙඩි ගේ ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම ලංකා පුරාවිද්‍යා වංශකතාව තුළ හැරවුම් අවස්ථාවක් නොමැති නම් ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් සටහන් වී ඇත. එයින් පසුව ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ උපදේශකත්වය යටතේ ම අනුරාධපුර ඇතුළු නගරයේ පුරාවිද්‍යා අධ්‍යයන ගණනාවක් හා පර්යේෂණ කැනීම් 14ක් දියත් වී ඇත. මෙම අධ්‍යයන සඳහා පසුව ආචාර්ය බ්‍රිජට් හා එෆ්. ආර්. ඕල්චින්, රොබින් කනිංහැම් වැනි ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් ද සම්බන්ධ වී ඇත. එම කැනීම් මගින් ලංකා ඉතිහාසයේ බෙහෙවින් වැදගත් අනාවරණය කිරීම් කිපයක් ම සිදුකිරීමට සමත් ඇත. ක්‍රිස්තු පූර්ව 6/7 සියවස් වල දී ලංකාවට සිදු වූ ආර්යය සංස්කෘතියේ ආගමනය, මූල ඓතිහාසික යුගයේ වර්ධනීය ම නාගරික ලක්ෂණ අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ බව (එ නම් මෙම කලාපයේ වූ වර්ධිත ම වෙළෙඳ නගර පහෙන් එකක් වූයේ අනුරාධපුරය වන අතර ඉන්දියාවේ උජ්ජෙයිනී නගරයට දකුණින් පිහිටි විශාල ම හා වර්ධනීය ම වෙළෙඳ නගරය අනුරාධපුරය විය.), බ්‍රාහ්මි අක්ෂර භාවිතය පිළිබඳ මුළු මහත් ආසියාවෙන් ලැබෙන පැරණි ම සාධක හමු වීම වැනි ඒවා ඒ අතුරින් වඩා වැදගත් වේ.

citadel-anuradhapura-sri-lanka-excavation-archaeology-lk
අනුරාධපුර අැතුළුනුවර කැනීම් පරිශ්‍රයක්

ලංකාවේ මිනිසාගේ අතීතය පිළිබඳ කතාකිරීමේ දී හමුවන අතිශයෙන් ම වටිනා පුරාවිද්‍යා බිම්කඩක් වන අනුරාධපුර ඇතුළු නගරයේ මේ දක්වා සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ පිළිබඳ තොරතුරු සංග්‍රහ වී ඇති ප්‍රකාශන කීපයක් පහතින් දක්වා ඇත.

  • දැරණියගල, එස්. (1990), පුරාවිද්‍යා කැණීම් 1968-1990, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, ප්‍රධාන සංස්කාරක, එන්. විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. 221-237
  • දැරණියගල, එස්. (2002) ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය – පරිසර විද්‍යාත්මක විලෝකනයක් : ශ‍්‍රී ලංකාවේ ආදිතම බ‍්‍රාහ්මී අක්‍ෂර අරභයා විකිරණ ප‍්‍රාමිතික කාලනීර්ණය ක‍්‍රි.පූ. 600-500, පරි. කේ. බී. ඒ. එඞ්මන්ඞ්, සද්ධාමංගල කරුණාරත්න අභිස්තව ග‍්‍රන්ථය, සංස්. එම්. ඩයස් හා කේ. බී. ඒ. එඞ්මන්ඞ්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකාව. (37-48)
  • Deraniyagala, SU (1972), The Citadel of Anuradhapura 1969: Excavations in the Gedige Area, Ancient Ceylon No. 2, December 1972 Department of Archaeology, Colombo.48-170pp.
  • Deraniyagala, SU (1992), Prehistory of Sri Lanka: an ecological Perspective, Memoir Volume 8, Part II, Department of Archaaeological Survey, Sri Lanka. 685-750pp.
  • Momose, T. & Y. Abe (1996), Anuradhapura Citadel Archaeological Project, Anuradhapura Citadel Rampart 2, Excavation Report (1994-1995), Ancient Ceylon No. 17, 1996, Department of Archaeology, Colombo.
  • Coningham, R.A.E. (2006). Anuradhapura: The British – Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta: Volume 2 The Artefacts. Oxford: Archaeopress.
  • Coningham, R.A.E. (1999). Anuradhapura: The British – Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta: Volume 1 The Site. Oxford: Archaeopress for the Society for South Asian Studies Monograph Series. (Download: http://dro.dur.ac.uk/6145/1/6145.zip?DDD6+drk0rac+drk0rew+drk0rac)
  • Coningham R.A.E. (1994). Anuradhapura Citadel Archaeological Project: Preliminary Results of a Season of Geophysical Survey. South Asian Studies 10: 179-188.
  • Coningham R.A.E. (1993). Anuradhapura Citadel Archaeological Project: Preliminary Results of the Excavation of the Southern Rampart. South Asian Studies 9: 111-122.
  • Coningham R.A.E. & Allchin F.R. (1992). Anuradhapura Citadel Archaeological Project: Preliminary Results of the Third Season of Sri Lankan – British Excavations at Salgaha Watta. South Asian Studies 8: 155-167.
  • Coningham R.A.E. & Allchin F.R. (1991). Anuradhapura Citadel Archaeological Project: Preliminary Report of the Second Season of Sri Lankan – British Excavations at Salgha Watta. South Asian Studies 7: 167-175.
  • Coningham R.A.E. (1990). Anuradhapura Citadel Archaeological Project: Preliminary Report of the First Season of Sri Lankan – British Excavations at Salgaha Watta. Ancient Ceylon 9: 23-48.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.