ආචාර්ය තුසිත මැන්දිස්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

හැඳින්වීම

තුසිත මැන්දිස්

ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්භවන (හැඩගැසීමේ) යුගය වශයෙන් හැඳින්විය හැකි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇසුරෙන් ශ‍්‍රි ලංකාවේ මානව ආයතනවල ඉස්මතු වීම සම්බන්ධ ද්‍රව්‍යාත්මක සංස්කෘතික තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගය හා සසඳන විට සාපේකෂ වශයෙන් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගැනීමට හැකි ව තිබේ. ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව තිබූ බව විකිරණමාන දින නියම කිරීම් මඟින් ලබාගත් කාලානුක‍්‍රම මඟින් තහවුරු කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අග්නිදිග ශ‍්‍රි ලංකාව ආදී ප‍්‍රදේශ ඇසුරෙන් හඳුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙවිරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම සංස්කෘතියට අයත් ජනාවාස හා සුසාන ස්ථාන 44ක් පමණ හඳුනාගෙන තිබේ (Seneviratne and Jayaratne 2006:10). නමුත් වර්තමානයේ විවිධ පර්යේෂණයන්ට අනුව ජනාවාස හා සුසාන ස්ථාන 60කට වඩා වැඩි බව වාර්තා කර ඇත. සෙනෙවිරත්න වැඩි දුරටත් විස්තර කර ඇති අකාරයට ශී‍්‍ර ලංකාව තුළින් හමුවන පූර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන වර්ග අතර urn/pot, pit with capstone, Cairn with tamules, Cairn circle extended, Cist with Capstone, Twin cist Delmenoid cist හඳුනාගත හැකි ය (Seneviratne 1984:265).

පූර්ව ඓතිහාසික අවධියට අයත් සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,200 කලක සිට දකුණු දිග ඉන්දියාවේ ස්ථානගත ව තිබූ බව දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව තහවුරු වේ (Posshel 1990 in Deraniyagala 1992:734). නමුත් ආදිච්චනල්ලූර්හි 2005 වසරේ සිට සිදුකළ පර්යේෂණවල දී දකුණු ඉන්දියාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය ක‍්‍රිස්තු පූර්ව 1,800 දක්වා ඈතට දිවයන බව සොයාගෙන ඇත (www.archealogy online netartifa ctsiron-ore.html. docx1-8). මේ දක්වා විවිධ පර්යේෂණයකයන් සිදුකර ඇති පර්යේෂණ තොරතුරුවලට අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය පුළුල් ඉන්දීය තාක්ෂණ සංස්කෘතියක ප‍්‍රහිිච්ජින්න පැතිකඩක් බව ය. ඒ අනුව විවිධාකාර මෙගලතික සුසාන සංකිර්ණයන්ගේ විශේෂත්වය දෙස බැලීමේ දී ඒවා විවිධාකාර ප‍්‍රාදේශීය විෂමතාවන්ගෙන් යුක්ත ව ගංගා නම් මිටියාවතේ සිට ශ‍්‍රි ලංකාව දක්වා ව්‍යාප්තව ඇති සංස්කෘතිකයක් බව දැරණියගල පෙන්වා දී ඇත (Deraniyagala 1992:734).

විමර්ශනය

අධ්‍යයනයට ලක්කරනු ලබන අනුරාධපුරය හා නැඟෙනහිර පර්යන්තය වශයෙන් වෙන්කර මෙහි හඳුන්වා ඇත්තේ අනුරාධපුර පුරාණ නාගරික ප‍්‍රදේශය හා අනුරාධපුර නගරයෙන් නැඟෙනහිර සාර්ව කලාපයයි. අනුරාධපුරය හා නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ වල පැවති පූර්ව ඓතිහාසික අවධියේ සන්දර්භයන් සමඟ ද සාපේක්ෂ අධ්‍යනයන් සිදුකිරිම තුළින් පූර්ව ඓතිහාසික අවධියේ පුරාවිද්‍යාව හා ජීවනෝපාය ආශ‍්‍රිත සම්පත් පරිහරණය පිළිබඳ ව තොරතුරු හඳුනාගත හැකි ය (Seneviratne 1995:15).

ජලය පස හා ඛනිජ සම්පත් පදනම් කර ගෙන උතුරු මැද පළාතේ වාසභූමි ඇතිකර ගන්නා පූර්ව ඓතිහාසික ජනතාව ප‍්‍රධාන වශයෙන් ම කලාඔය, මල්වතු ඔය හා යාන්ඔය නිම්න ආශ‍්‍රය කර ගනිමින් ජනාවාස පිහිටුවා ගන්නා බව පැහැදිලි වේ. වියළි කලාපය හරහා ගලා බසින ප‍්‍රධාන ගංගා ආශ‍්‍රිත එහි පුළුල් නිම්න ප‍්‍රදේශය තුළ මූල ඓතිහාසික අවධියට අයත් ජනාවාස හා සුසාන 20කට වඩා වැඩි ප‍්‍රමාණයක් ස්ථානගත ව තිබීම සැළකිය යුතු ය. මෙම ජනාවාස හා සුසාන වල ව්‍යාප්තිය දෙස බැලීමේ දී අධ්‍යයනයට ලක්කරන ප‍්‍රදේශයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් මෙම සංස්කෘතියේ වැඩි ව්‍යාප්තියක් පෙන්වන අතර උතුරු හා බටහිර කලාපවලින් අඩු ව්‍යාප්තියක් ගෙන හැර දක්වයි. ඒ අනුව, අනුරාධපුර නගරයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශයේ පිහිටන තම්මැන්නාගොඩැල්ල, වඩිගවැව, කොක්එඹේ, ගුරුගල්හින්න, දිවුල්වැව, තිබිරිවැව, වළහවිද්දවැව, ගල්ඇදකටුව, ඕලුවැව, නිකවැව, මරදන්මඩුව හා රඹෑව ආදී ක්ෂුද්‍ර ක්ෂේත‍්‍ර වල මෙම ජනතාව පොකුරක් ආකාරයට (Cluster) ස්ථානගත වීම සැළකිය යුතු කරුණකි. උතුරු මැද පළාත ආශ‍්‍රිත පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධ වඩා පැරණිත ම සාධක ලැබෙන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. එහි කාල නිර්ණ ක‍්‍රිස්තු පූර්ව 900 දක්වා ඈතට ම දිවයයි (Deraniayagala 1992:709). යාන්ඔය මධ්‍ය නිම්නය තුළ පූර්ව ඓතිහාසික අවධියේ ස්ථානගත ව ඇති ජනාවාසයන්හි සන්දර්භය පිළිබඳ ව විමසීමේ දී එම ජනපද වල ජීවත් වූ මිනිසුන් නිර්මාණය කර ඇති මෙගලිතික සුසාන ආශ‍්‍රිත ව ලැබී ඇති කාලනීර්ණ අනුව කොක්එබේ ක‍්‍රිස්තු පූර්ව 800 (මැන්දිස් 2016), තම්මැන්නාගොඩැල්ල ක‍්‍රිස්තු පූර්ව 490 ලෙස කාබන් කාලනීර්ණ ලැබී තිබේ (රංජිත් දිසානායක සමඟ සිඳුකළ සම්මුඛ සාකච්චාව 2014).

මධ්‍ය යාන්ඔය නිම්නය තීරණාත්මක වැදගත්කමකින් යුත් සම්පත් තිබුණු ප‍්‍රදේශයක් වශයෙන් හඳුනාගත හැකි ය. අධ්‍යයනයට අදාළ ව සිදුකළ ක්ෂේත‍්‍ර විමර්ශන කටයුතු වල දී මෙම සාර්ව ප‍්‍රදේශය ආශ‍්‍රිත දැකගත හැකි පාරිසරික තත්ත්වයන්ට අනුව එහි පාරිසරික පදනම පූර්ව ඓතිහාසික ජනාවාස ස්ථානගත වීමට ඍජු ව බලපා ඇති බව පෙනේ. මධ්‍ය යාන්ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශය විජයානු සංකීර්ණයට හා උස්භූමි ශ්‍රේණියට අයත් අන්තර් භූ කලාපයේ පිහිටා තිබේ (Corray 1984:381). මෙම ප‍්‍රදේශවල භූ තලය මත වූ ප‍්‍රධාන පස් වර්ගය වනුයේ රතු දුඹුරු පස් සහ ඒවායේ දියබස්නා සබැඳියෝ ය (Reddish brown earths and their drainage associates) (එම:292). මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව පූර්ව ඓතිහාසික අවධියේ පුළුල් පරිසරය සැකසී ඇත්තේ හුදෙකලා කඳු කිහිපයකින් යුතු සරු පස සහිත පරිසර පද්ධතියක් තුළ ය. මෙම හුදෙකලා කඳු ආශ‍්‍රිත පරිසර පද්ධතිය තුළ පූර්ව ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගත වන බව හඳුනාගත හැකි ය. හුදෙකලා කදු ස්ථානගත වීම නිසා බොහෝ විට එම භූමිවල සමෝච්ඡ විවිධත්වයක් නිර්මාණය වී තිබේ. භෞතික ලක්ෂණ අනුව මෙ වැනි ස්ථානවල ස්වභාවික භූ පතනයන් (Hollow) නිර්මාණයට එම සමෝචඡ විවිධත්වය උපයෝගී වේ. එම නිසා මෝසම් වර්ෂාව සක‍්‍රීය වීමෙන් ලැබෙන අහස් ජලය හා අන්තර් මෝසම් කාලවල දී ලැබෙන අහස් ජලය මඟින් මෙම ස්වභාවික භූ පතනය පොකුණු නිර්මාණයට බල පා ඇති බව උපකල්පනය කළ හැකි ය. ප‍්‍රදේශයේ පහත් නිම්නය අශ‍්‍රිත ව යාන්ඔය ගලා බසින අතර එයට තරමක් උස් සරුබිම් වල මෙම හුදෙකලා කඳු ආශ‍්‍රය කර ගනිමින් මූල ඓතිහාසික ජනාවාස ස්ථානගත වන්නේ මෙ වැනි භූ පතන හා සරු පස උපයෝගී කර ගනිමිනි (Seneviratne 1996:285). මධ්‍ය යාන්ඔය නිම්නය තුළ පූර්ව ඓතිහාසික සුසාන බහුතරයක් මුල් බැස තිබෙනුයේ මෙවැනි භූ පතන ලක්ෂණ ප‍්‍රදේශ ආශ‍්‍රිත ව බැවින් ජනාවාස ද එම ප‍්‍රදේශය ආසන්නයේ පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

අනුරාධපුරයෙන් නැඟෙනහිර පර්යන්තය ආශ‍්‍රිත ව මුල් යකඩ යුගයේ පොකුරු ජනාවාස (Cluster Settlement) ඇතිවීම සඳහා මධ්‍ය යාන්ඔය නිම්නයට ආසන්න ම භූ කලාප ආශ‍්‍රයෙන් ධනවත් ඛනිජ වර්ග හා පාෂාණවල පිහිටීම ද ඒ සඳහා බලපාන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය. ශ‍්‍රි ලංකාවේ මූලික වශයෙන් යකඩ භාවිත කළ යුගය හා සම කාලීන ව තඹ ආශ‍්‍රිත ඛනිජ සම්පත් පරිහරණය කළ බවට සාක්ෂි ලැබී තිබේ (Seneviratne 1994:16). ශ‍්‍රි ලංකාවේ විශේෂ ලෙස තඹ නිධිගත වී ඇති ප‍්‍රදේශයක් ලෙස වර්තමාන සේරුවිල හඳුනාගෙන ඇත. 1971 ශ‍්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල කේන්ද්‍රගත වී ඇති ඛනිජ සම්පත් පිළිබඳ ව විද්‍යානුකූල අධ්‍යයනයන් මුල් වරට සිදුකරන ලදි (එම 1995:116). 1821 දී බි‍්‍රතාන්‍ය ජාතික ‌ඩේව් (Davy) විසින් මේ ප‍්‍රදේශයේ රාශිභූත ව පැවති මැග්නටයිට් යපස් (Magnatite ore), ටෙනන්ට් (Tenant) විසින් රසදිය (Mercary) පිළිබඳ ව සටහන් කර ඇත (එම). භූ විද්‍යා පර්යේෂණ අනුව සේරුවිල මැග්නටයිට් තඹ (Copper magnatite) නිධි සම්භවය ලබා ඇත්තේ නැඟෙනහිර විජයානු සංකීර්ණය හා උස්භූමි ශ්‍රේණිය හමු වන්නා වූ අන්තර් භූ කලාපයේ ය (එම 1992:4). ත‍්‍රිකුණාමල ප‍්‍රදේශයේ සිට දකුණේ අම්බලන්තොට වෙරළ දක්වා වූ සැතපුම් 250ක් දිගැති අන්තර් කලාපයේ සේරුවිල දී වඩාත් පොළොව මට්ටමට ප‍්‍රවිෂ්ට ව ඇති විපරිත පාෂාණ ඛණ්ඩය ඉතා ම ධනවත් ඛනිජ සම්පත්වලින් යුක්ත ය (එම). එහි තඹ (Copper), මැග්නටයිට් (magnatite), රිදී (Silver), බිස්මත් (Bismath), සින්ක් (Zinc), මයිකා (Mica), ක්‍රොමියම් (Cromiaum), නිකල් (Nickel) යන වටිනා ඛනිජ ද්‍රව්‍යය ද ඉතා ගැඹුරු කොටස්වල රත්ත‍්‍රරන් ද පිහිටා ඇත (එම). එසේ ම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් පිහිටන පාෂාණ අතර චානොකයිට් නයිස් (Charnokite gneisses) තිරුවානා (Quartz) හා යකඩ ගල් ද (Iron Stone) පිහිටා තිබේ (Corray 1984:212; Seneviratne 1995 (116). භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේරුවිල තඹ නිධිය ආශ‍්‍රිත ව සිදු කරනු ලැබූ පර්යේෂණවල දී එහි ටොන් මිලියන 7ක මැග්නටයිට් තඹ මතුපිට පොළොව මට්ටමේ සිට අඩි 200ක් ගැඹුරින් පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ (Seneviratne 1995:117). ඛනිජ හා පාෂණ මුල් යකඩ යුගයේ ජනතාවගේ ජීවන පැවැත්මට අදාළ සම්පත් පරිභෝජන රටාවේ මූලික අංගයන් වී ඇත. එ බැවින් මධ්‍ය යාන්ඔය නිම්නය හා ඒ ආශ‍්‍රිත නැඟෙනහිර සීමාව තුළ එනම් කදිරවේලි ප‍්‍රදේශයෙන් ද මුල් යකඩ යුගයේ ජනාවාස ස්ථානගත වීම සඳහා මෙම ඛනිජ සම්පත් වල පිහිටීම ද ඍජු ව බලපා ඇති බව පෙනේ.

සේරුවිල පිහිටි භු විෂමතාව අනුව පොළෙව මතු පිටින් ඉතා පහසුවෙන් තඹ ලබා ගත හැකි ආකාරයට ඒවා නිධිගත වී ඇත (එම:118). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන අකාරයට මහාවංසයේ තම්බපිට්ඨ යනුවෙන් සඳහන් වන්නේ මතුපිටට නෙරා ඇති තඹ නිධි බව පෙන්වා දී ඇත (එම). සේරුවිල ප‍්‍රදේශයෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක දත්ත අනුව එහි ජනාවාසය ක‍්‍රිස්තු පූර්ව 8 වැනි සියවසට පෙර යුගයට දක්වා දිවයන බව විශ්වාස කෙරේ (Seneviratne 1992:4). අනුරාධපුර ඇතුළුපුරයේ ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසට පෙර ජනාවාස වලින් මූලික ලෙස ලෝහ භාවිත කළ බව හඳුනාගෙන ඇත (එම). ග‍්‍රාමීය සමාජ තමන්ට අවශ්‍ය තඹ අමුද්‍රව්‍යයක් වශයෙන් සේරුවිල ප‍්‍රදේශයෙන් ලබා ගත් බව විශ්වාස කෙරේ (එම 1994:17). 1987 වර්ෂයේ දී අනුරාධපුර මූල ඓතිහාසික අවධියට අයත් ලෝහ මෙවලම් ආශ‍්‍රිත ව සිදු කළ රසායනික හා සූක්ෂ්ම මූලද්‍රව්‍යය විශ්ලේෂණයන්ට අනුව එම මෙවලම් වල අඩංගු ලෝහ සංයුතිය සමීප වන්නේ සේරුවිල ලෝපස් නිධියේ සංයුතියට බව සොයාගෙන ඇත (එම 1995:123).

මෙම තත්ත්වය අනුව සේරුවිලින් මතුපිටින් ලබාගත හැකි තඹ පාරිශුද්ධ භාවයෙන් ඉතා උසස් නිසා පෞරාණික සමාජය ඒවා වැදගත් කොට සළකනු ලැබ ඇත (එම 1994:17). ක‍්‍රිස්තු පූර්ව 8 වැනි සියවසට පෙර මෙම නිධිය ආශ‍්‍රිත ලෝහ සම්පත් භාවිත කළ බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 8 සහ 7 වැනි සියවසට පෙර සිට නැඟෙනහිර ප‍්‍රදේශය ආශ‍්‍රිත ව පදිංචි වන ජනයා ඒ සඳහා මූලය කරගන්නට ඇත්තේ සේරුවිල නිධියේ ලෝහ සම්පත් බව පැහැදිලි වේ. එම තත්ත්වයන් මත මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත පොකුරු ජනාවාස බිහිවීම අරුමයක් නොවන අතර, මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිත ලෝහ සම්පත් පරිභෝජන ක‍්‍රියාවලිය පූර්ව ඓතිහාසික අවධියේ සිට මුල් ඓතිහාසික හා මධ්‍ය ඓතිහාසික අවධිය දක්වා ම අඛණ්ඩ සිදු වූ ආකාරය සාහිත්‍ය මූලාශ‍්‍රය හා අභිලේඛන තොරතුරු වලින් ද හඳුනාගත හැකි ය.

මුල් ඓතිහාසික අවධියේ දී එම ලෝහ සම්පත් අත්පත්කර ගැනීමේ කාර්යයේ දී පූර්ණ බලය සහිත පරුමකවරුන්ගේ කාර්ය (Powerful parumuka families) තීරණාත්මක වී ඇති ආකාරය කුරුණෑකල්ලූ පූර්ව බ‍්‍රාහ්මී අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි ය (IC.Voli 1970:No.319). සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට එම ලිපියේ සඳහන් වන පරුමක තබර යන්න මඟින් තඹ කර්මාන්තයේ පාලනය එහි දී පරුමකවරු අතෙහි තබාගත් බව පැහැදිලි කර ඇත (Seneviratne 1989:115). අනුරාධපුර නැඟෙනහිර ප‍්‍රදේශයේ පිහිටි ලෝහ සම්පත් අත්පත්කර ගැනීම, ප්‍රවාහනය හා නිමි භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධ ක‍්‍රියාවලිය විශේෂ ප‍්‍රාගුණ්‍යතාව සහිත ව පවත්වා ගෙන ගිය බව මුල් බ‍්‍රාහ්මි අභිලේඛන ඇසුරෙන් හඳුනාගත හැකි ය. සෙනෙවිරත්න පෙන්වා දී තිබෙන ආකාරයට ධාතුවංසයේ සඳහන් වන මහාවාරිකා මග්ග, තම්බතිත්ථ (තඹ හුවමාරු තොටුපළ) සේරු නුවර සිට උතුරුමැද පළාතට හා අනුරාධපුරයට නිෂ්පාදන බෙදා හැරීම සඳහා පැවති ප‍්‍රධාන මාර්ග වේ (Seneviratne 1995:130). මෙම නිෂ්පාදන බෙදා හැරීම් ක‍්‍රියවලියට දායත්වය දැක් වූ ගමිකවරු හා ගහපති කණ්ඩායම් පිළිබඳ ව අභිලේඛනවල සඳහන් වේ. ඒ අතර මුතුගල ලිපියේ ගහපති කබර (යකඩකරු) හා තවත් ලිපියක ගමික තොඩික (තොටුපල පාලක) (IC. Vol i. 1970:301, 309) යන්නෙන් නිෂ්පාදන හා බෙදා හැරීම් පිළිබඳ ව හඳුනා ගත හැකි ය (Seneviratne 1995:131).

පරුමකවරු සතු ව තිබූ ලෝහ සම්පත් වල පූර්ණ පාලන බලය නිසා අනුරාධපුරය වඩා දියුණු නගරයක් දක්වා වර්ධනය වීම ඔස්සේ එහි සංස්කෘතික භූ දර්ශනයේ හැඩ ගැසීම සඳහා මුල් ඓතිහාසික යුගයේ සිදුවූ කාර්යභාරය වැදගත් වේ. එහි දී පරුමකවරුන්ගේ පාලන බලය සේරුවිල සිට අනුරාධපුරය දක්වා විහිදුණු නිෂ්පාදන බෙදා හැරීම් ජාලය ඔස්සේ හඳුනාගත හැකි අතර ඒ ඒ ශිල්ප කටයුතුවල දී විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් ඇති ව මධ්‍ය යාන්ඔය නිම්නයේ පෙරියපුලියංකුලම, කැබිතිගොල්ලෑව, බ‍්‍රාහ්මණයාගම, නැට්ටුක්කන්ද, කහටගස්දිගිලිය ආදී ස්ථාන ඇසුරෙන් කි‍්‍රයාත්මක වී තිබේ. මුල් බ‍්‍රාහ්මී අභිලේඛනවල ලෝහ කර්මාන්තය ආශ‍්‍රිත විශේෂ ප‍්‍රාගුණ්‍යතාවන් එම ප‍්‍රදේශ වල පවත්වා ඇත්තේ පරුමක නොවන ජන කණ්ඩායම් විසිනි. පෙරියපුලියන්කුලමේ මුල් බ‍්‍රාහ්මි ලිපිවලින් තබකර (තඹකරු), තොපශ (බෙලෙක්කරු) ආදි කර්මාන්ත පිළිබඳ ව සඳහන් වේ (IC. Vol. i; 1970:No.350, No.351, No.370). පෙරියපුලියන්කුලම ප‍්‍රදේශයේ වාණිජ කටයුතු (වණිජ) සම්බන්‍ධ ක‍්‍රියාවලියේ නිරත පිරිස් පිළිබඳ ව සඳහන් වේ (එම:No.356, No.357). එ මඟින් නිෂ්පාදන බෙදා හැරීම් සම්බන්‍ධ කි‍්‍රයාවලිය මහාවාරිකා මග්ග ඔස්සේ අනුරාධපුරය දත්වා සිදුකර ඇති බව සෙනෙවිරත්න පෙන්වා දී ඇත (Seneviratne 1995:132). මහාවාරිකා මග්ග වශයෙන් අනුරාධපුරය දක්වා විහිදුණු නැඟෙනහිර පර්යන්තයට සම්බන්‍ධ වූ මාර්ගය ආශ‍්‍රිත ව යකඩ කර්මාන්තයට සම්බන්‍ධ විශේෂ ප‍්‍රාගුණ්‍යතාවක් දැක් වූ පිරිස් පිළිබඳ ව බ‍්‍රහ්මණයාගම කබර (යකඩකරු) (IC. Vol. i; 1970:No.161). නැට්ටුක්කන්ද කබරගම (යකඩකරුවන්ගේ ග‍්‍රාමය) (Nicholas Vol.ii 80. No. 6). කහටගස්දිගිලිය කබරවවි (Uduwara 1991:211) කැබිතිගොල්ලෑව ආචාරියාගම (නිෂ්පාදකයින්ගේ ගම) (Seneviratne 1995:132) සඳහන්වීම තුළින් ලෝහ කර්මාන්තය සඳහා විශේෂ වූ හැඩ ගැසීමක් මෙම ප‍්‍රදේශ ආශ‍්‍රයෙන් හඳුනාගත හැකි ය. මේ ක‍්‍රියාවලිය පූර්ණ වශයෙන් අනුරාධපුරය හා බද්ධ වූ ක‍්‍රියාවලියක් බව ක‍්‍රිස්තු වර්ෂ 350 පමණ කාලයට අයත් කැබිතිගොල්ලෑව ආසන්නයේ පිහිටා ඇති ලබුඇටබැඳිගල ශිලා ලිපිය මගින් සනාථ වේ. එම ශිලා ලිපියේ අනුරාධපුර නගරයේ නැඟෙනහිර ක‍්‍රියාත්මක වූ වෙළඳපොළ හඳුන්වා ඇත්තේ මහා තබක නිගම (තඹකරුවන්ගේ වෙළඳපොළ) ලෙස ය (EZ.Vol. iii:1928:33; 247-253). මුල් ඓතිහාසික අවධිය තුළ දමනු ලැබූ විශේෂ ප‍්‍රාගුණ්‍යතා‌ෙවේ උච්චත ම අවස්ථාව අපට එ මඟින් හඳුනාගත හැකි අතර විශේෂීකරණය වූ ලෝහ වෙළඳපොළක් අනුරාධපුර සංස්කෘතික භූ දර්ශනයට එකතු වී තිබූ බව පැහැදිලි වේ. එම විශේෂීකරණය වූ වෙළඳපොළෙහි උපයෝගීතාව ඇතුළුපුරයේ සිදුකරනු ලැබූ කැනීම් මගින් ද තහවුරු වී තිබේ. AG 69 ගෙඩිගේ කැනීමේ 4B පස් තට්ටුවෙන් ලැබී ඇති තද නිල් පැහැති පාරදෘශ්‍ය පබළු ලැබී තිබේ (Dark Blue transparent Beads). කොක්එබේ මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීීම් වල දී ද නිල් හා කොළ පාරදෘෂ්‍ය පබළු ලැබී ඇත (මැන්දිස් 2016). ඒවා නිෂ්පාදනය සඳහා කොබෝල්ට් (Cobalt) නැමති ඛනිජ වර්ගය අවශ්‍ය වේ. සිරාන් දැරණියගල පෙන්වා දී ඇති ආකාරයට කොබෝල්ට් බහුල වශයෙන් සේරුවිල තඹවල අඩංගු වේ (Deraniyagala 1986:44). වීදුරු ආලේප උළු (Glazed tiles) නිෂ්පාදනයට අවශ්‍ය කොපර් ඔක්සයිඩ (Cooper Oxide) ලබා ගැනීමට ද සේරුවිල තඹ වැදගත් වී ඇත (එම 42).

අනුරාධපුර නගරයට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ අතර පැවති සම්පත් අතර මැටි මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය කරන්නා වූ මැටි වර්ග වන kaolinite- montmorillonite clay (building clay) ද ස්ථානගත ව තිබේ (Cooray 1984: 222). මෙම Kaolin වර්ගයට අයත් (Building Clay) වශයෙන් හඳුන්වන මැටි විශේෂය මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව හඳුනාගත හැකි ය (එම:224 fig. 11-10). ශ‍්‍රි ලංකාවේ මූල ඓතිහාසික අවධියේ දී මැටි මෙවලම් නිෂ්පාදනයට හිමිවන්නේ වැදගත් තැනකි. සකපෝරුව උපයෝගී කර ගනිමින් විවිධ හැඩයන්ට අනුව නිර්මාණය කරන ලද විශේෂ මැටි මෙවලම් වන කාලරක්ත වර්ණ මැටි මෙවලම් (BRW), රක්තවර්ණ මැටි මෙවලම් (RW) හා කාල වර්ණ මැටි මෙවලම් (BW) මෙම අවධියේ දී නිෂ්පාදනය කර ඇත (Seneviratne 1996:276-279). අනුරධපුරය හා ඊට නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශ ආශ‍්‍රිත ව ස්ථානගත වන මැටි මෙවලම් නිෂ්පාදනයට අවැසි සම්පත් වල පිහිටීම අතින් මධ්‍ය යාන්ඔය නිම්නය පොහොසත් වන බව පෙන්වාදිය හැකි ය. වර්තමානයේ පවා මේ ප‍්‍රදේශය ඇසුරෙන් සාම්ප‍්‍රදායික ව පවත්වා ගෙන එන මැටි බඳුන් නිෂ්පාදන කටයුතු ප‍්‍රදේශයෙ ස්ථාන කිහිපයක පවත්වා ගෙන යනු දැකගත හැකි ය. මානවවංශ පුරාවිද්‍යා (Ethno-archaerology) අධ්‍යයනයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර මධ්‍ය යාන්ඔය නිම්න ප‍්‍රදේශයේ පිහිටි කුඩා කැලෑගම සාම්ප‍්‍රදායික මැටි මෙවලම් නිෂ්පාදන ග‍්‍රාමය ආශි‍්‍රත ව සිදුකරන ලද ගවේශනය අනුව එම ශීල්පයේ අතීත තත්ත්වයන් පිළිබඳ අවබෝධක් ලබාගත හැකි ය. මෙම විමර්ශනය තුළින් මැටි භාජන නිපදවීමේ කුඹල් කර්මාන්තයේ අතීතය සොයා යන ගමනේ දී මානවවංස දත්ත අර්ථ නිරූපණය කිරීමේ දී කුඩා ජන කණ්ඩායම් හා ඔවුන්ගේ වටපිටාව නිරීක්ෂණය කිරීම ද බෙහෙවින් ම වැදගත් වේ. මානව විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප‍්‍රාථමික ජන කණ්ඩායම් අරුත් ගැන්වීමේ දී ඔවුන් මහා සංස්කෘතියෙන් හුදෙකලා වී වෙන ම අනන්‍යතාවක් පෙන්නුම් කරමින් ජීවත් වන කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් අර්ථ දක්වනු ලබයි කුඩා කණ්ඩායම් නිශ්චිත භූමි ප‍්‍රදේශයක වෙසෙමින් ඔවුන්ට ආවේණික භාෂාවක් ව්‍යවහාර කරමින් සංස්කෘතික සමජාතීත්වයෙන් යුතු ව ජීවත් වීම විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව කුඩා කැලෑගම ගත් කළ ද ඔවුන්ගේ ජීවන චර්යාව හුදෙකලා සමාජයකට සමඟ බද්ධ වී පවතී. භාෂාව, සිරිත්විරිත් ආදිය මහා සංස්කෘතියේ වෙනස් වන අතර ඔවුන් තමන්ට රිසි වෙනම අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් ජීවත් වේ. මධ්‍ය යාන්ඔය නිම්නය ඇසුරින් මෙම ජන කණ්ඩයම් නිෂ්පාදනය කරන මැටි මෙවලම් සාම්ප‍්‍රදායානුකූල තාක්‍ෂණික ක‍්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීම කැපී පෙනේ.

කුඩා කැලෑගම කුඹල් කර්මාන්ත් නියැලි කේ. සෝමපාල විසින් නිෂ්පාදනය කරන විවිධ මැටි බඳුන් වර්ග අතර කාළ රක්ත වර්ණ මැටි මෙවලම් නිෂ්පාදනය සම්බන්ධ තාක්‍ෂණික අංශ කෙරෙහි ද ඔවුන් සතුව පාරම්පරික ඥානය පවතින බව ඔහු පළ කළ අදහස් අනුව තේරුම් ගත හැකි ය.

ඇතුළත කළු හා පිටත රතු මැටි භාණ්ඩ (BRW) මේ බාජන හදන්නේ අතින් ඒවගේ ම තමයි පුළුස්සන කොට බඳුනේ කට මට්ටමට එනකම් දහයියා පුරවලා පෝරනේ අහුරන කොට මුනින් නමන්නේ නැති ව මිට මොලපු අතේ උස තියෙන්න ඇල කරලා රදවනවා ඊට පස්සේ ගින්දර තිබෙන කොට ඇතුළෙ තියෙන දහයියා වලට හරියට හුළං ලැබෙන්නේ නැති නිසා බඳුන් හරිමැදට වෙනකම් ඇතුළත කළුපාට වෙනවා පිට පැත්ත හොඳට පිච්චුන නිසා රතුපාට වනවා (සෝමපාල සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි).

කාල රක්ත වර්ණ මැටි බඳුන් නිෂ්පාදනය සම්බන්ධ ඔහු විසින් පළ කරනු ලැබූ අදහස් අනුව එම බඳුන් ද්විත්ව වර්ණ ගැනීමට අභ්‍යන්තරයේ අර්ධ දහනයක් හා පිටත පූර්ණ දහනයක් සිදුවන බව විද්‍යාත්මක සිද්ධාන්තයකි. එම විද්‍යාත්මක සිද්ධාන්තය ඔවුන් ලබා ගනු ලැබුවේ අත්දැකීමෙන් පාරම්පරික ඥානය තුළිනි. කාළරක්ත වර්න මැටි බඳුන් මේ වන විට ඔවුන් නිර්මාණය නොකරන අතර ඒවා තනා ඇත්තේ මීට පෙර පරම්පරාවේ රා මදින්නන්ට, අච්චාරු, විනාකිරි හා කිරි මුදවන්නට බව ද ඔහු ප‍්‍රකාශ කරන ලදි. සෝමපාල දක්වන අදහස් අනුව එම බඳුන්වල තැන්පත් කරන ද්‍රව්‍යය නරක් නොවී දිගුකල් පවතින නිසා පැරණිි ගැමි ගෙවල්වල එම බඳුන්වලට හොඳ ඉල්ලුුමක් තිබූ බව ප‍්‍රකාශ කරන ලදි. මෙම තත්ත්වයන්ට අනුව පැහැදිලි ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ‍්‍රිත ව අදටත් නොනැසී පවතින සාම්ප‍්‍රදායික කුඹල් කර්මාන්තය අනාදිමත් කාලයක සිට එම ප‍්‍රදේශය ආශ‍්‍රයෙන් ක‍්‍රියාත්මක ව පවතින පාරම්පරික ශිල්පීය අංශයක් වශයෙන් හඳුනාගත හැකි ය. එ මඟින් පුරාණ ජනාවාස ව්‍යාප්තිය හා එවැනි ප‍්‍රදේශවල පුරාණ ශිල්ප කටයුතු පිළිබඳ ව අධ්‍යයනයට ද මැනවින් ඉවහල් වන බව මානවවංශ විද්‍යා දෘෂ්ඨි කෝණයකින් බැලීමේ දී අවෙබෝධ කරගත හැකි ය. එය එසේ අදාළ කර ගැනීම වැදගත් වන්නේ කි‍්‍රස්තු පූර්ව 950 න් පසු අනුරාධපුරායේ මැටි මෙවලම් භාවිත වූ බවට සාක්‍ෂි ලැබීම නිසා ය (Deraniyagala 1972:104; 1992:709).

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

  • මැන්දිස්, තුසිත (2016), කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ‍්‍රිත අප‍්‍රකාශිත පුරාවිද්‍යා කැණීම් වාර්තාව, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
  • Cooray, P.G. (1984), An Introduction to the Geology of Sri Lanka (Ceylon), Colombo, National Museums of Sri Lanka.
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuadhapura: Excavation in the Gedige area, Ancient Ceylon 2;48-165
  • Deraniyagala, S.U. (1986), Excavation in the Citadel of Anuradhapura: Gedige 1984 Preliminary report; Ancient Ceylon. No 6:39-48.
  • Deraniyagala, S.U. (1990), Radiocarbon dating  of Early Historic Radio Carbon Chronology of Sri Lanka,  Ancient Ceylon. No 12:251-292.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka ; An Ecological Perspective, Colombo, Archaeological Survey Department.
  • Paranavitane,S. (1970), Inscription of Ceylon, Vol. I, Colombo, Department of Archaeology.
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon, No . 5 : 237-305.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka, Sri Lanka Journal of Humanities, Vol.XXI (1 & 2):114-146
  • Seneviratne, S. (1996), Peripheral Regions and Marginal Communities : Towards an Alternative Explanation of Early Iron age Maternal and   social Organization in Sri Lanka Tradition Dissent and Ideology : Essay in Honor of Romila Thapar, ed. K. Campakalakshmi and S.Gopal, Oxford University Press. Delhi: 265-312
  • Senevirane, S. & D.K. Jayaratne (2006), A Shared Ritual Cultural Symbol: The Megalithic Memorials of South India and Sri Lanka විකල්ප පුරා තත්ත්ව (Alternative Archaeology)    පුරාවිද්‍යා සංගමය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, (1-14).
  • Uduwara, J. (1991), Kahatagasdigiliya Rock Inscription, Epigraphy Zeylanica Vol. vi (pt 2): 211-214.
  • Wikramasingha, D.M.D.Z. (1928), Epigraphia Zeylanica, Vol.II, London, Oxford University Press.
-------------------------------------------------------------------------------
මෙම ලිපිය www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.10.1 දින පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------------------------------------
Previous articleගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹමු
Next articleපිටපත්වලින් පමණක් දැකගත හැකි මහඋඩුව, සිරි සුනන්දාරාමයේ සිතුවම්
තුසිත මැන්දිස්
ඩී. තුසිත මැන්දිස් බලපිටිය, රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1996 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා ගන්නා ලදී. කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් 1998 වසරේ දී විශිෂ්ට සාමාර්ථයක් සහිතව 'පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව'ත් 2006 වසරේ දී 'ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය' පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත්, 2011 වසරේ දී දර්ශන විශාරද උපාධියත් හිමි කරගන්නා ලදී. 1996 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු පසුව ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා ව්‍යාපෘති කළමනාකරු ලෙස උසස් වීම් ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද තුසිත 2013 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වී 2015 වර්ෂයේ දී එහි අංශ ප්‍රධාන වශයෙන් පත් විය. 2018 වසරේ දී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා දැනට එහි සේවය කරමින් සිටී. මධ්‍යම සංස්කෘතික අමුදලේ අනුරාධපුර තදාශ‍්‍රිත ප‍්‍රදේශ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබේ. වසර 22ක පමණ කාලයක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කටයුතුවල නියැලෙන තුසිත පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් 20කට වඩා සිදු කර ඇති අතර ඒවා අතුරින් කොක්එබේ හා අන්දරවැව මෙගලිතික සුසාන කැනීම් විශේෂ වේ. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, මුල් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුග සම්බන්ධව අධ්‍යයන සිදුකර ඇති තුසිත, විවිධ සඟරා සඳහා පර්යේෂණ ලිපි 75කට වැඩි ප‍්‍රමාණයක් ද ජාතික හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ සමුළු සඳහා ද පත‍්‍රිකා රැසක් මෙන් ම පුරාවිද්‍යාවට අදාළ ග‍්‍රන්ථ 7ක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. දිවයින, අකුර හා හෙළදිව පුවත්පත් සඳහා ලිපි රචනා 100කට වඩා රචනා කර ඇත.

1 COMMENT

  1. I find these articles in Sinhala most interesting. Since Sinhala is not my first language, which is English, would there be English language versions of these articles that I can access?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.