එන්.එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය ‘ආලෝකය විහිදුවන උයන’ යන අරුතෙන් එය ‘ජෝතිවනය’ නමින් පතළව පසුව ජේතවනය නම් විය.

මහා විහාරයේ භික්ෂුන් වයිතුල්‍යවාදය පිළිගැනීමට එකඟ නොවීම නිසා ‘ඔවුනට දන් නොදිය යුතුය යි’  මහසෙන් රජුගේ අණක් වුයෙන් මහා විහාර වාසි භික්ෂුන් වහන්සේලා රුහුණට හා කඳුකරයට පලා යන ලදී. එහෙයින් මහා විහාරය ජන ශුන්‍ය විය. ඉන් පසු මහා විහාර ගොඩනැඟිලි සම්පුර්ණයෙන් ඉවත්කර ඒ ගොඩනැඟිලි ද්‍රව්‍ය වලින් ජේතවනයේ නව ආරාමික සංකීර්ණයක් ඉදිකිරීමට සංඝමිත්ත නම් භික්ෂුවක් මහසෙන් රජු පොළඹවන ලදින් ක්‍රිස්තු වර්ෂ 276 -303 පමණ කාලයේ රජ වූ මහසෙන් රජතුමා විසින් ජේතවනය ඉදිකරන ලදී. රජුගේ මේ කටයුත්ත මහජන කැළඹීමකට හේතු විය. පසුව මහා විහාරය ද නැවත ඉදිකරන ලද අතර ජේතවනය දක්ෂිණ විහාරයේ වාසය කළ භික්ෂුන්ට පුජා කරන ලදී. ජේතවනයේ විසු මේ භික්ෂුන් ඇරඹු නිකාය සාගලික නිකාය වශයෙන් ප්‍රචලිත විණ.  පැරණි ලේඛනයන්හි මේ විහාරය හා නිකාය දෙනාවෙහෙර, දෙනානකය ආදී නම් වලින් හැඳින් වී ඇත.

ජේතවන ආරාම සංකීර්ණය හාල්පාන් ඇල හා මල්වතු ඔය අතර හෙක්ටයාර 80ක පමණ භුමි භාගයක පැතිර පවතී. මෙහි ජේතවනයේ ප්‍රධානතම ඉදිකිරිම වන ජේතවන ස්තුපය හා ආරාම, ප්‍රතිමා ගෘහ, පිරිවෙන් ආදියේ නටබුන් දැකිය හැකි ය.

මහසෙන් රජුගේ සිට මහා පැරකුම්බා රජු දක්වා බොහෝ රජවරුන් මෙහි සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. 1215 දී පමණ අනුරාධපුරය මාඝට යටත්වීම නිසා ජේතවනය ද පසුව වල් බිහි විය. 1890 දී පමණ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වූ බෙල් මහතා මෙහි ගවේෂණ කටයුතු ආරම්භකර ඇත.

ස්මාරකවල පිහිටීම

jetavana

  1. ජේතවන ස්තුපය
  2. පිළිම ගෙය 1
  3. පන්චායතන පිරිවෙන්
  4. ගල් ගරාදි වැට සහ බෝධිඝරය
  5. කෞතුකාගාරය
  6. පොකුණ
  7. දියසෙන් පහය
  8. ජන්තාඝරය
  9. දාන ශාලාව
  10. පිළිම ගෙය 2

ජේතවන කෞතුකාගාරය

1981 පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන සංරක්ෂණ කටයුතු ආරම්භකරන ලදී. මෙහි කැනීම් ආදියෙන් සොයාගත් ශෛලමය කැටයම් ආදිය, පිඟන් හා මැටි භාණ්ඩ, ලෝහ උපකරණ, රන් රිදී ආභරණ, කාසි වර්ග, මුතු, පබළු, ආදී බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ජේතවන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. ජේතවන නටබුන් නැරඹීමට පෙර මේ කෞතුකාගාරය නැරඹීම වටී.

ජේතවන ස්තුපය

Anuradhapura
ජේතවන ස්තුපය

එක පැත්තක් අඩි 576ක් වූ චතුරශ්‍රාකාර උස බිමක (අක්කර අටක පමණ භුමි ප්‍රදේශයක) අඩි 400ක් පමණ උසකින් යුක්තව පුළුස්සන ලද ගඩොළු මිලියන 93කටත් වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇතැයි සැලකෙන ජේතවන ස්තුපය ලෝකයේ ගඩොලින් නිමකරන ලද විශාලතම ඉදිකිරීමයි. එය පෞරාණික ගොඩනැඟිලි අතර තෙ වැනි විශාලතම ස්මාරකයයි. ලෝකයේ නටබුන්ව පවතින උසම පුජනිය ගොඩනැඟිල්ලයි. එහි ව්ෂ්කම්භය අඩි 367කි. බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් මෙහි නිධන් කර ඇතැයි පැරකුම්බා සිරිතේ සඳහන්ව ඇතිබව කියති. පැරණි ශ්‍රී ලාංකිකයන්ගේ ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන මෙහි අත්තිවාරම පොලව යට පිහිටි ගල් තට්ටුවේ සිටම නිර්මාණය කර ඇති බව කියති. අවුරුදු 1600කටත් වැඩි කාලයක් තිස්සේ ආරක්ෂා වී ඇති විශාල බරක් දරාසිටිය හැකි ආකාරයට සැලසුම් කොට ගඩොළු බැඳ තිබීම විශ්මය ජනක ය. කොත් කැරැල්ල දක්වා දැනට ශේෂ වී ඇති මේ ස්තුපයේ උස මීටර් 73කි. පැරණි කැටයම් සහිත වාහල්කඩ හතරකි. සල පතල මළුවේ ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම් සඳහන්ව තිබෙනු පෙනේ.

Anuradhapura
ගල් පුවරු වල පරිත්‍යග ශිලින්ගේ නම්
Anuradhapura
වාහල්කඩ
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
වාහල්කඩ කැටයම්
Anuradhapura
පස්වන කාශ්‍යප රජුගේ පුවරු ලිපිය
Anuradhapura
ප්‍රවේශ මණ්ඩපයක්

ගල් ගරාදි වැට සහ බෝධිඝරය

Anuradhapura
බෞද්ධ ගල් ගරාදි වැට
Anuradhapura
බෞද්ධ ගල් ගරාදි වැට
Anuradhapura
බෝධිඝරය

ජේතවන කෞතුකාගාරයට පිටුපසින් අලංකාර ගල් ගරාදි වැටකින් ආවරණය වූ ගොඩනැඟිල්ලක් දක්නට ඇත. මෙය පැරණි බෝධිඝරයක් ලෙස සමහරු හඳුන්වති. දෙ වැනිි අග්බෝ රජතුමා මේ අසල ලිඳක් කැනවු බව සඳහන්ය. මෙහි කරන ලද කැනීම් වල දී මල් ආසන, ජල මාර්ග බෝ කොටුව ආදිය හමු ව ඇත. මේ ආසන්නයේම පැරණි රත්නමා පිරිවෙන තිබුණු බව අනුමාන කෙරේ. විල්ගම් මුලය හා සෙනෙවිරද් මුලය යන අධ්‍යාපන පාර්ශවයන් ජේතවනයට අයත් ඒවාය.

පොකුණු

Anuradhapura

විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය එක්රැස්කර තබාගැනීම සඳහා ඉදිකරන ලද කලාත්මක නිර්මාණ කීපයක් ජේතවන පරිශ්‍රයේ දී දැකගත හැකි ය.

Anuradhapura
ආරාම සංකීර්ණයේ තවත් අලංකාර ලිඳක් – යතුරු ‌පොකුණ

පතුලට බැසීමට පඩි පෙළක් සහිත මේ ළිඳ වෘත්තාකාරව ගඩොලින් නිම කොට ඇත. මහාවංශයේ සඳහන් වන දෙ වැනිි අග්ගබෝධි රජතුමා මේ අසල ඇති බෝධිඝරය සඳහා ඉදිකළ ලිඳ මෙය විය හැකිි ය.

Pond

මෙහි සිදුකරන ලද කැනීම් වල දී සොයාගත් ලක්‍ෂ්මි දෙවඟනගේ හා ජලාශ්‍රිත සතුන්ගේ ලෝකඩ රුප සහිත ශෛලමය මන්ජුසාවක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

දියසෙන් පහය

Uposathagaraya
දියසෙන් පහය ‌හෙවත් උපෝෂතඝරය

ගල් ටැම් 176කින් සැදුම්ලත් පොහොය ගෙයක් හෙවත් උපෝෂතාඝරයක් දාගැබට ගිනිකොන දෙසින් දක්නට ඇත. දිගින් අඩි 100 හා පළලින් අඩි 50 යුක්ත  මෙය දියසෙන් පහය යනුවෙන් ද හඳුන්වා ඇති බව පෙනේ.

ජන්තාඝරය  

Anuradhapura

ගිලන් වූ භික්ෂුන් වහන්සේලාගේ ශරීරයේ විවිධ ඖෂධ වර්ග ගල්වා හුමාලයෙන් ස්නානය කරවීම සඳහා භාවිත කළ ගෘහයක නටබුන් උපොෂතාගාරයට මඳක් ඔබ්බෙන් දැකිය හැකිි ය. චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලක් වන මෙහි බිමට ගල් පුවරු අතුරා ඇති අතර අපවිත්‍ර ජලය පිටකිරීමට කානු සකසා ඇත. ගඩොළු බිත්ති මත වහලක් හා උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කවුළු තිබෙන්නට ඇත.

දාන ශාලාව

AnuradhapuraAnuradhapuraAnuradhapura

ස්තුපයට නැඟෙනහිරින් ජේතවන දාන ශාලාව පිහිටා ඇත. පොලවට ගල් පුවරු අතුරා සකස් කොට ඇත. වහල දරා සිටින්නට ඇතැයි සැලකෙන ගල් කණු 84ක් දක්නට ඇත. මෙහි ඇති ශෛලමය දැන් ඔරුවේ 3,000ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාට දන් සපයන්නට හැකිවන්නට ඇත.

පිළිම ගෙවල්

Anuradhapura

Anuradhapura
ගර්භය හා  බුදු පිළිමයේ පාදම
Anuradhapura
ගර්භ පාත්‍රයක්
Anuradhapura
ප්‍රදක්ෂිණා පථය

ජේතවන පරිශ්‍රයේ පිළිම ගෙවල් දෙකක නටබුන් හමු වේ. ඉන් ස්තුපයට බටහිරින් ඇති පිළිම ගෙය මුල් තැන ගනී. එහි දැනට අඩි 27ක් පමණ උස් වූ ශෛලමය උළුවස්සක නටබුන් දැකිය හැකිි ය. එහි ප්‍රවේශ ශාලාව, ප්‍රදක්ෂිණා පථය හා ගර්භය දැකිය හැකිි ය. ගර්භ ගෘහයේ බුදුරුවක් තිබී ඇත. දැනට පිළිමයෙහි පතුල සවිකර තිබු පද්මාසනයේ හා ගර්භ පාත්‍රයෙහි කොටස් ඉතිරිව ඇත. මේ කොටස් අනුව පිළිමය අඩි 37ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. පිළිමය හුණු ගලින් නෙලා තිබෙන්නට ඇති අතර එය ගින්නෙන් විනාශ වන්නට ඇත. ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමා ගෘහයේ පියස්ස අඩි 50ක් පමණ උසකින් ගෝලාකාරව තිබෙන්නට ඇත. මෙය 9 වන සියවසේ දී පමණ පළමු වැනිි සේන රජතුමා ඉදිකළා යයි පැවසෙන මනිමේඛලා ප්‍රසාදය වන්නට ඉඩ තිබේ.

Anuradhapura

ජේතවනයේ පැරණිම පිළිමගෙය ලෙස සැලකෙන ප්‍රාකාර බැඳ පස් පුරවා පොලව මට්ටමට ඉහලින් ඉදිකරන ලද ගන්ධකුටි සම්ප්‍රදායේ ගොඩනැඟිල්ලක් ස්තුපයට ගිනිකොන දෙසින් දැකිය හැකිි ය. මිට කුඩා පරිවාර පිළිම ගෙවල් දෙකක් තිබුණු බව නටබුන් වලින් පැහැදිලි වේ.

ධර්ම ශාලාව

AnuradhapuraAnuradhapura

දහම් දෙසීමට හා ඇසීමට යොදාගන්නා ලද සිව් දෙ සින්ම දොරටු සහිත ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ල මැද කැටයම් සහිතව උස අසුනක් ඉදිකර ඇත. ක්‍රිස්තු වර්ෂ 522 – 535 සිලාකාල රජ සමයේ වාර්ෂිකව ඇතුළු නුවර සිට ජේතවනාරාමයට ගෙනෙන ලද දහම් පුස්තකයක් මෙවන් ශාලාවක තබා පුදපුජා කිරීමේ සිරිතක් තිබුණු බව සඳහන්වේ. ජේතවන භික්ෂුන්වහන්සේලාගේ පුජාවන්ට භාජනය වූවාසේ සැලකෙන පංච විංසතිසාහශ්‍රිකා නම් දෙවන සියවසට පමණ අයත් හා හයවන සියවසේදී පමණ මහායානිකයන් විසින් ලංකාවට ගෙනෙන ලදැයි සැලකෙන ධර්ම ධාතු රන්පොතෙහි පත්‍රිකා කීපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ. 

පන්චායතන පිරිවෙන්

AnuradhapuraAnuradhapura

ජේතවන පරිශ්‍රයේ පන්චයතන පිරිවෙන් යනුවෙන් හැඳින්වෙන නේවාසිකාගාර ගොඩනැඟිලි 15ක් පමණ දක්නට ලැබේ. පන්චායතනයක මධ්‍යයේ ප්‍රධාන ගොඩනැඟිල්ලකි. සිව් කොන ඊට මුහුණ ලා ඇති කුඩා ගොඩනැඟිලි හතරකි. ඒ ගොඩනැඟිලි පහ වටා දොරටුවක් සහිත ප්‍රාකාරයකි. මේවා භික්ෂුන් වහන්සේලාගේ නේවාසික හා අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කොට ඇත. මේවායේ ප්‍රධාන ගොඩනැඟිලිවලට අමතරම වැසිකිලි, කැසිකිලි, ගිනිහල් ගෙවල් ආදිය ද තිබී ඇත.

කැසිකිලි

AnuradhapuraAnuradhapura

ජේතවන ආරාම වල කැසිකිලි වලින් පරිසරයට හානියක් නොවන ආකාරයට මුත්‍රා බැහැර කරන ලද බව පෙනේ. කැසිකිලි ගලේ සිදුරට යටින් අඟුරු, හුණු, අළු හා වැලි ආදිය පිර වූ පතුලේ සිදුරු සහිත මුට්ටි කීපයක් එකක් යටින් එකක් වශයෙන් තබා ඒවා හරහා මුත්‍රා ගමන්කොට පිරිසිදු වී පොලවට උරා ගන්නා ආකාරයට පිළියෙළ කොට තිබී ඇත. එසේ හමුව ඇති මුට්ටි කීපයක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Anuradhapura

..................................................................................
මෙම ලිපිය www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ 2018.11.27 වැනි දින පළමු වරට ප‍්‍රකාශයට පත් විය.
..................................................................................

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.