ඩි. තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

මහාචාර්ය ඩි. තුසිත මැන්දිස්

අන්දරවැව හා තදාශ‍්‍රිත කලාපයේ වීඳුරු පබළු නිර්මාණය කිරීම

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ (මැන්දිස් 2016:246-257).

අනුරාධපුර ඇතුළුපුරයේ AG 69 කැනීමේ දී හමු වී ඇති වීදුරු පබළු ක‍්‍රිස්තු පූර්ව 350-100 අතර කාලයේ භාවිත වී ඇති බවට කාලනීර්ණය වී තිබේ (Deraniyagala 1972:136). දැරණියගලගේ විග‍්‍රහ කිරීම් අනුව ඇතුළුපුරයෙන් හමු වූ පබළු වර්ගවල හැඩවලට සමාන හැඩ, උජ්ජේන් (Ujjain), අහිඡත‍්‍ර (Ahichchatra) හා හස්තිනාපුර් (Hastinapur) කැනීම්වල දී ද වාර්තා වී තිබෙන බව ඝෝෂ්, ඩික්සිත් හා ලාල් වැනි ඉන්දීය විද්වත්හු පෙන්වා දී ඇති බව දැරණියගල පැහැදිලි කර දී තිබේ තිබේ (ibid). දැරණියගලගේ 1972 අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට අනුව එහි සඳහන් හැඩවලට සමාන වන හැඩ සහිත පබළු වර්ග කොක්එබේ මෙගලිතික සුසාන භූමිය තුළින් ක‍්‍රිස්තු පූර්ව 790 දී, ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය තුළින් ක‍්‍රිස්තු පූර්ව 700 හා ගල්ගමුව, අන්දරවැව මෙගලිතික සුසාන භූමියෙන් ක‍්‍රිස්තු පූර්ව 500 දී මෙන්ම පොල්පිිතිගම මෙගලිතික සුසාන භූමියෙන් ක‍්‍රිස්තු පූර්ව 520ට අයත්ව ලැබී ඇති බව කාලනීර්ණ තුළින් ඔප්පු වී තිබේ. කොක්එබේ මෙගලිතික සුසානය තුළින් සහ අන්දරවැව මෙගලිතික සුසානය තුළින් හඳුනාගත් පබළු අතර සිරාන් දැරණියගලගේ අනුරාධපුර ඇතුළුපුර පබළු වර්ගීකරණයට සමාන හැඩ සහිත පබළු වර්ග වන රවුම් ආකාර පැතලි පබළු (Circular Disk Beads) වර්ගයට අයත් හැඩ අන්දරවැව පබළු ගොනුවේ තිබේ. එම සමානතා අනුව අනුරාධපුර ඇතුළුපුරයේ හමුවන 8A, 8B, 9A, 9B, 10 A, 10B හැඩති රවුම් ආකාර පැතලි හැඩ පබළුවලට සමාන වේ (ibid 1972:134-135). මෙයට සමාන හැඩ සහිත දුඹුරු, නිල් හා කොළ පැහැති වීදුරු පබළු කොක්එබේ මෙගලිතික සුසානයෙන් ද වාර්තා වන අතර ගල්ගමුව අන්දරවැව සුසානයෙන් දුඔුරු පැහැ වීදුරු පබළු පමණක් වාර්තා වී තිබීම ද විශේෂ වේ. වීදුරු පබළු භාවිතය ඇතුළුපුර ජනාවාසය තුළ මධ්‍ය මුල් ඓතිහාසික අවධිය තුළ දී (Mid- Early Historic 250 BC-100 AC) භාවිත වී තිබෙන බව ද දැරණියගල වැඩි දුරටත් පෙන්වා දී තිබේ (Deraniyagala 1992:712). නමුත් උතුරුමැද පලාත තුළ ක‍්‍රිස්තු පූර්ව 790 දී වීදුරු පබළු භාවිත වී ඇති බව කොක්එබේ මෙගලිතික සුසානයේ දින වකවානු තුළින් (මැන්දිස් 2016:246-257) පැහැදිලි වන අතර අන්දරවැව හා පොල්පිතිගම මෙගලිතික සුසානයේ දින නීර්ණ අනුව ද කි‍්‍රස්තු පූර්ව 500 දී හෝ ඊට පෙර දී වයඔ පලාත තුළ වීදුරු පබළු නිෂ්පාදනය වීම සිදු වී තිබේ. එසේ නම් පූර්ව ඉතිහාසයේ ප‍්‍රධාන ජනාවාසයක් වන අනුරාධපුර ඇතුළුපුරයට පූර්වයෙන් එම ජනපදයට නැඟෙනහිර හා වයඔ කලාපය (කොක්එබේ හා අන්දරවැව) තුළ වීදුරු පබළු භාවිතය මෙන් ම පබළු නිෂ්පාදනය කිරීම සිදු කර තිබෙන බව මෙම දත්ත අනුව පැහැදිලි වේ. අන්දරවැව මෙගලිතික සුසානයට උතුරු දෙසින් හමු වූ විනාශ කර දමා තිබූ වීදුරු නිෂ්පාදනයට යොදාගන්නා උඳුනක ශේෂ අනුව එම ප‍්‍රදේශයේ පබළු නිෂ්පාදනය කළ බව පැහැදිලි වේ. වාරි මාර්ග දෙපාර්තුමේන්තුව විසින් මේ වන විට මෙම උඳුන කඩා බිද දමා වාරි ඇලක් සකස් කර තිබේ. එම උඳුනේ උඳුන් බිත්තිය පරීක්‍ෂා කිරීමේ දී එම උඳුන් බිතිතියේ ඇලී ඇති එහි නිර්මාණය කරන ලද වීදුරු කොටස් අනුව ඒවා දුඔුරු පැහැ වීදුරු බවත් වීදුරු නිෂ්පාදනයේ දී උඳුන් බිත්තියේ ඇලෙන ලද වීදුරු කොටස් එසේ තැන්පත් වී ඇති බවත් පැහැදිලි ලෙස හඳුනාගත හැකි ය. එම වීදුරු කොටස් අනුව දුඔුරු පැහැ වීදුරු එම උඳුනේ නිෂ්පාදනය කර ඇති බවට තහවුරු කළ හැකි ය.

අන්දරවැව මහාශිලා සුසාන කැනීම්වලින් හමු වූ පබළු

මෙම උඳුනට සමාන උඳුන් රාශියක් අන්දරවැවට ආසන්න තඔුත්තේගම ගිරිබාව ප‍්‍රදේශයේ ද පිහිටා තිබේ. ජේම්ස් ලැන්ක්ටන් විසින් එම ප‍්‍රදේශයේ සිදුකර ඇති පර්යේෂණවල දී එම උඳුන් වීදුරු හා පබළු නිර්මාණය කිරිම සඳහා භාවිත කර තිබෙන බවත් ඒවායින් නිර්මාණය කර තිබෙන පබළු එම ප‍්‍රදේශය ඇසුරින් හඳුනාගත් බවත් වාර්තා කර ඇත (James 2014:2- 6). ලැන්ක්ටන් පෙන්වා දෙන අකාරයට ගිරිබාවේ පබළු නිර්මාණය සඳහා නල (Tube) සකස් කර අනතුරුව ඒවා පෙති ලෙස (Slice) කර තිබේ. අප විසින් ගිරිබාව ප‍්‍රදේශයේ සිදු කරන ලද ක්‍ෂේත‍්‍ර විමර්ශනයේ දී පැහැදිලි වූයේ විවිධ වර්ණයෙන් යුත් වීදුරු පබළු රාශියක් එම උඳුන් ස්ථාපිත ව ඇති ප‍්‍රදේශය පුරා දැකගත හැකි බව ය. එසේම ඉතා විශාල ප‍්‍රමාණයේ උඳුන් 15කට වැඩි ප‍්‍රාමාණයක් ගිරිබාවේ ඇති බව ගම් වැසියන් ප‍්‍රකාශ කළ ද අප හට නිරීක්‍ෂණය වූයේ විශාල උඳුන් දෙකක් පමණි. ඒවා ද පුරාවස්තු විනාශ කරන්නන් විසින් දැඩි විනාශයකට ලක් කර තිබේ. කෙසේ වෙතත් ගිරිබාව උඳුන් පිහිටි භූමියේ ඇති උඳුන්වල බිතිතිවල ඇලී ඇති වීදුරු අනුව නිල්, දුඔුරු හා කහ වර්ණ වීදුරු ඒවායේ නිර්මාණය කර ඇති බව නිෂ්චිත ලෙස ම ප‍්‍රකාශ කළ හැකි ය. අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීමේ දී හමු වූ පබළු අතර වීදුරු නිර්මාණයට යොදාගත් උඳුන මෙන් ම කැනීමේ දී හමු වූ වීදුරු පබළු නිර්මාණයට යොදාගත් නළ කොටස්, පෙති කිරීමට පෙර ඝණ වූ පබළු කොටස් මෙන් ම නිර්මාණය කරන ලද පබළු හමු වන බැවින් ගිරිබාවේ භාවිත ක‍්‍රමයට ම අන්දරවැව ප‍්‍රදේශයේ පබළු නිර්මාණය කරන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. ගිරිබාව පබළු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජේම්ස් ලැන්ක්ටන් පෙන්වා දි ඇත්තේ ඔහුගේ විශ්ලේෂණවලට අනුව ගිරිබාව පබළුවල පොටෑසියම් (Potassium), ඇලුමිනා (Alumina), ලයිම් (Lime), යුරේනියම් (Uranium) යන රසායනික අන්තර්ගත වී තිබෙන බව ය (ibid:6). මෙම පබළු වර්ණ ගැන්විම සඳහා ඔක්සයිඩ් වර්ග භාවිත කර ඇති බව ද ඔහු පැහැදිලි කර තිබේ (ibid). ගිරිබාව වීදුරුවලට සමාන වීදුරු මාන්තායි, කුච්චවේලි හා දකුණු ඉංදියාවේ මනිකෝලායිවලින් ද වාර්තා වන බැවින් මෙම ගිරිබාවේ නිෂ්පාදිත පබළු ලංකාව ඇතුළත මෙන් ම දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්තව තිබූ බව ඉන් පැහැදිලි වන බව ඔහුගේ නිගමනය වී තිබේ (ibid). එසේ ම කුච්චවේලි පබළු සමඟ ඔහු සිදුකළ සන්සන්දනාත්මක අධ්‍යයන තුළින් මේවා කි‍්‍රස්තු වර්ෂ 1-3 කාලයට අයත් වන බව ඔහු සාපේක්‍ෂ ලෙස නිගමනය කර තිබේ (ibid). ගිරිබාව ප‍්‍රදේශයේ දක්නට ලැබෙන උඳුනට සමාන ලක්‍ෂණ සහිත උඳුනක් අන්දරවැව ප‍්‍රදේශයෙන් වාර්තා වන බැවින් පුරාණයේ දී මෙම ප‍්‍රදේශ දෙක තුළ ම පබළු කර්මාන්තය ව්‍යාප්තව තිබූ බව පැහැදිලි වේ. බොහෝ විට මෙම නිෂ්පාදන තත්ත්වයන් පූර්ව ඓතිහිසික යුගය තුළ ආරම්භ වීමට වැඩි ඉඩකඩක් පවතින බව අන්දරවැව සුසානයෙන් හමුවන දුඔුරු පැහැ වීදුරු පබළු අනුව පෙන්වාදිය හැකි ය.

blank
අන්දරවැව මෙගලිතික සුසානයට උතුරු දෙසින් හමු වූ වීදුරු නිෂ්පාදනය කළ උඳුනේ කොටසක්

ඉන්දීය පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇති ආකාරයට වීදුරු පබළු නිර්මාණයේ දී භාවිත කරන තාක්ෂණික අවස්ථා රැසක් හඳුනාගත හැකි ය (Lal 1958:142). පබළු නිර්මාණය සඳහා වීදුරු සකස් කිරීම සංකීර්ණ කාර්යයකි. ඒ සඳහා ප‍්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස සිලිකා යොදා ගන්නා අතර එයට ශාක පිළිස්සූ අළු මිශ‍්‍රකර උණු කිරීම සිදු කරයි. වීදුරු වර්ණ ගැන්වීමේ දී තඹ ඔක්සයිඩ (Copper Oxide) භාවිත කීරීම ද කැපී පෙනේ. විවිධ වර්ණයන් ලබා ගැනිමේ දී ඔක්සයිඩ වර්ග මිශ‍්‍ර කිරීම සිදු කර ඇත. නිල් කහ කොළ වර්ණ සඳහා – යකඩ ඔක්සයිඩ ද රතු හා තැඹිලි වර්ණ සඳහා – තඹ හා ඊයම් ඔක්සයිඩ, මැංගනීස් ද භාවිත කර ඇති අතර පැහැදිලි වීදුරු නිෂ්පාදනයට මැග්නීසියම් ඔක්සයිඩ භාවිත කර තිබේ (මල්කාන්ති 2008:9, Dikshit 1952:58, Francis 1987:12-17, Kumar 2001:100-104). අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත ව හමු වූ සාධක අතර වීදුරු පබළු නිර්මාණය කිරීම සම්බන්ධ පියවර කිහිපයක් ද කැනීමෙන් හමු වූ පබළු අනුව හඳුනාගත හැකි ය. එම පියවර අතර වීදුරු උණු කිරීමෙන් අනතුරු ව සිසිල් වූ ශේෂ වූ කැබලි (Glass Pieces), උණු වීදුරුවලින් ඇඳගන්නා ලද නල ශේෂ (Glass tubes), අඳින ලද නල මඟින් පබළුවේ අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගත් පෙති කැබලි (Glass tube slice) හා නිමි පබළු පෙන්වා දිය හැකි ය. උතුරු මැද හා වයඔ පලාත ආශ‍්‍රිත ව වීදුරු පබළු නිර්මාණය සම්බන්ධයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව ශ‍්‍රී ලංකාවේ වීදුරු පබළු නිර්මාණයේ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව 800 තරම් පැරණි වන බව හඳුනාගත හැකි අතර එමඟින් එවක ජීවත් වූ මෙරට වැසියන් පබළු වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය රසායන විද්‍යාව පිළිබඳ ව මැනවින් අවබෝධ කරගෙන සිටි බව ද මින් තහවුරු වේ. අන්දරවැව ක්‍ෂේත‍්‍ර විමර්ශනවල දී හමු වූ උදුනට අයත් වීදුරු කොටසක් ජපානයේ ෂිමානේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉෂිගා හා කොළඔ විශ්වවිද්‍යාලයේ සැන්ස්ෆිකා යං විසින් විශ්ලේෂණයට ලක්කරන ලද අතර එම විශ්ලේෂණයට අනුව උඳුනේ පිටත බිත්තියේ පමණක් උණු කරන ලද වීදුරු කොටස් ඇලී ඇති අතර උඳුන අභ්‍යන්තර කොටස්වල ඒවා දැකගත නොහැකි ය. මෙම විශ්ලේෂණයට අනුව මෙහි නිෂ්පාදනය කර ඇති වීදුරු කෘත‍්‍රිම ඒවා වන බවත් පැහැදිලි වී තිබේ. මෙම උඳුන් බිත්තිය සම්බන්ධයෙන් සිදු කරන ලද XRF (X-Ray Fluorescence) පරීක්ෂණ ප‍්‍රතිඵල මත පැහැදිලි වන්නේ සුදු පැහැති බිත්ති කොටසේ ඊයම් [pb (Lead)] හා තඹ [Cu (Copper)] ඉහළ අගයක් ගන්නා බවයි. ඒසේ ම ෆ්ලූඔරයිඞ් [F (Fluoride)] බ්‍රෝමින් [Br (Bromine)] අයඩීන් [I (Iodine)] සමාන ලෙස සුදුපැහැ වීදුරුවල හා දුඹුරු පැහැ වීදුරුවල අන්තර්ගත වී තිබේ. මෙම වීදුරු නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී වැලි භාවිත කර තිබෙන අතර ඊයම් [pb (Lead)] හා තඹ [Cu (Copper)] ඉහළ මට්ටමින් යුරෝපා මහද්වීපය තුළ ද භාවිත කර ඇත. ගිරිබාව නීරාවිය හා අන්දරවැව එතරම් දුරකින් පිහිටන භූමි නොවේ. එම නිසා වීදුරු නිෂ්පාදන සම්බන්ධයෙන් සමානතාවන් මෙම ස්ථාන දෙක ඇසුරින් තිබීමට බොහෝ අවකාශ තිබෙන බව මෙමඟින් ද පැහැදිලි වේ.

අන්දරවැව හා තදාශ‍්‍රිත කලාපයේ ලෝහ භාවිතය

අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත කැනීම් තුළින් හමුවන භෞතික සංස්කෘතික තොරතුරු අතර ලෝහ නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ තොරතුරු වාර්තා වීම ද කැපී පෙනේ. ඒ අතර යකඩවලින් නිර්මාණය කරන ලද තල දෙකක් (Iron chesels) වාර්තා වී තිබෙන අතර ම සුසානයට තදාශ‍්‍රිත කලාපයේ ස්ථාන කිහිපයකින් ලෝහ බොර (Slag) වාර්තා වී තිබේ. මෙම භෞතික සංස්කෘතික තොරතුරුවල තත්ත්වය වඩා නිවැරදි කරගනු වස් ඇතුළුපුර කාලනිර්ණ වෙත අවධානය යොමු කිරීමේ දී AG 69 ගෙඩිගේ කැනීමේ 3 A ස්තරයෙන් තඹ බොර (Copper Slag), ඇණ (Nail), පිහිතල (Knife blade) ආදිය හමු වීම (Deraniyagala 1972:145-152) අනුව මෙම පලාත් දෙක තුළ සම කාලීන යුගයේ දී ලෝහ භාවිතය ආරම්භ වන්නට ඇති බව උපකල්පනය කළ හැකි ය. ලංකාවේ ලෝහ කර්මාන්තය සම්බන්ධයෙන් වඩා පුළුල් ලෙස සළකා බැලීමේ දී අර්ධද්වීපික ඉන්දීය මෙගලතික සමූහයන් සමඟ සම්බන්ධතා තිබෙන බව දැරණියගල හා සෙනවිරත්න පෙන්වා දී ඇත (Deraniyagala 1972:155, Seneviratne 1984:272). ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියේ භාවිත කර තිබෙන ලෝහ සම්පත් අතර හෙමටයිට් (Fe2O3 – Hematite) හා ලිමොනයිට් (Fe2O3H2O – Limonite) මෙන් ම මැග්නයිට් (Fe3O4 – Magnetite) ප‍්‍රධාන වේ (Seneviratne 1992:3). මෙම අමුද්‍රව්‍ය අතර හෙමටයිට් හා ලිමොනයිට් ශ‍්‍රී ලංකාවේ උතුරුමැද පලාතේ හා වයඹ පලාතේ දී පොළොව මතුපිටින් හඳුනාගත හැකි බව පර්යේෂණවල දී තහවුරු වී තිබේ (Seneviratne 1984:272). ක‍්‍රිස්තු පූර්ව 1000 – 800 අතර කාලයේ විශේෂයෙන් ම අර්ධද්වීපික ඉන්දියාවෙන් හඳුන්වා දුන් තාක්ෂණික මාධ්‍යයක් වූ ලෝහ තාක්ෂණය උතුරුමැද හා වයඔ පලාතේ, අනුරාධපුර ඇතුළුපුර, යාන්ඔය නිම්නය, ඉබ්බන්කටුව, අන්දරවැව, පිංවැව ගල් සොහොන්කනත්ත, පොල්පිතිගම ආදී ප‍්‍රදේශවල පරිහරණය වූ බව මේ වන විට හඳුනාගෙන ඇත (Seneviratne 1984:273, 1995:19). වඩා පුළුල් ලෙස ගත් කළ ශ‍්‍රී ලංකාව පුරාම පූර්ව ඓතිහාසික අවධිය තුළ දී ලෝහ පරිහරණය සීඝ‍්‍ර ලෙස සිදු වී තිබේ. අනුරාධපුර ඇතුළුපුරයේ මෙන් ම ඉන් පර්යන්ත ප‍්‍රදේශ තුළ ද ලෝහ සම්පත් පරිහරණය වූ බවට හඳුනාගෙන ඇති සාධක අනුව කේන්ද්‍රීය ප‍්‍රදේශය ලෙස ඇතුළුපුරයේ පැවති තත්ත්වයන්ට යම් ගාමක බලයක් ඉන් පරිබාහිරව පැවති පර්යන්ත ප‍්‍රදේශවල ස්ථානගත වූ පූර්ව ඓතිහාසික ස්ථාන ආශ‍්‍රිත කාර්මික ස්ථානවලින් ලැබෙන්නට ඇති බව අන්දරවැව, පොල්පිතිගම හා පිංවැව ආශි‍්‍රත ප‍්‍රදේශවලින් හමුවන සාධකවලින් ද පැහැදිලි වේ.

ක‍්‍රිස්තු පූර්ව 500-600 කාලය වන විට අන්දරවැව ප‍්‍රදේශය හා එහි තදාශ‍්‍රිත කලාපය හා බද්ධ ව තිබූ තාක්ෂණ ශිල්පය, යැපුම් රටාව හා සම්පත් පරිහරණය යන කාරණාවල කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබූ බව දැනට සිදුකර තිබෙන පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ප‍්‍රාථමික යකඩ යුගය තුළ තාක්ෂණික වශයෙන් ලෝහ තාක්ෂණයේ කැපීපෙනෙන වර්ධනයක් මෙම කාලවකවානුවේ දී හඳුනාගත හැකි ය. මෙම තත්ත්වය ඉන්දීය ප‍්‍රාථමික යකඩ යුගය තුළ ද පොදු කරුණක් වී තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ අවධියට සම්බන්ධ ව භාවිත කර ඇති ලෝහ උපකරණ මඟින් ලෝහ තාක්ෂණයේ වර්ධනය හඳුනාගෙන තිබේ (Begley 1981:77-78, Dearaniyagala 1972:152, Seneviratne 1984:272). හැඩගැසෙමින් පවතින සමාජ ලෝහ තාක්ෂණය උපයෝගී කරගනු ලබන්නේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික තත්ත්ව අනුව විය හැකි ය. ලෝහ මෙවලම් අනෙකුත් මෙවලම් වර්ගවලට වඩා ශක්තිමත්, දැඩි තියුණු හා කැපීම්වලට ඔරොත්තු දෙන මෙවලම් වර්ගයකි (Seneviratne 1995:13).

ප‍්‍රාථමික යකඩ යුගයේ සංස්කෘතියට අවතීර්ණ වන අන්දරවැව ප‍්‍රදේශයේ ජීවත් වූ මිනිසා ක‍්‍රමානුකූල ව ලෝහ තාක්ෂණයේ දියුණුව කරා ළඟා වීම ක‍්‍රිස්තු පූර්ව 600-500 කාලය අතර සිදු වූ බව සුසානය ආසන්නයෙන් හමු වූ ලෝහ උණු කිරීමට භාවිත කර තිබෙන විශාල ප‍්‍රමාණයක් ලෝහ බොර අන්දරවැව තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ ස්ථාන ගණනාවකින් ලැබෙන බැවින් ඒ බව තහවුරු වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික යකඩ යුගය ලෝහ තාක්ෂණයේ සමාරම්භක අවධිය වශයෙන් හඳුනාගත හැකි වුව ද (Seneviratne 1995:134-136, මැන්දිස් 2000:26) ක‍්‍රිස්තු පූර්ව 1000න් පසු ශ‍්‍රී ලංකාවට ඇතුළු වූ ලෝහ තාක්ෂණය කෙටි කලකින් මුළු දිවයින පුරා පැතිර කඩිනම් සංවර්ධනයක් තාක්ෂණයේ හෝ එය පරිහරණය කරන ලද සමාජ ව්‍යුහයේ ඇති නොකළේය (Seneviratne 1984:14). තාක්ෂණයේ එවැනි රේඛීය වර්ධනයක් දැකිය නොහැකිය. එහි ගුණාත්මක බව හා ප‍්‍රාමාණික වර්ධනය තක්සේරු කළ යුත්තේ ඒ ආශ‍්‍රිත සම්පත් පරිහරණයේ උපයෝගීතාව මතත්, ලෝහ මෙවලම්වලට ඇතිවන ඉල්ලුමේ උපයෝගීතාවත් මත ය (ibid). ලෝහ භාණ්ඩයක් පරිහරණයේ දී ඇතිවන ඉල්ලුමට අවශ්‍ය බිහිකිරීම සඳහා සමාජ ව්‍යුහයන් ලබා ඇති සාපේක්ෂ වර්ධනය, අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට නිමි භාණ්ඩය දක්වා වූ නිෂ්පාදන ව්‍යවසාය පරාසයයක් තුළ රඳා පවතී (එම). ඒ අනුව ශ‍්‍රී ලංකාවට ක‍්‍රිස්තු පූර්ව 1000 දී හඳුන්වා දුන් ලෝහ තාක්ෂණය හා එහි ක‍්‍රම විධි වඩා විශේෂ අන්දමකට කළඑළි බසිනු ලබන්නේ තවත් ශත වර්ෂ දෙකක් හෝ තුනක් ගතවීමෙන් පසු ව බව පෙනේ (එම). ශ‍්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණයේ ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක මෙන් ම බහුල වශයෙන් වැඩි උපයෝගීතාවක් ආරම්භ වන කාලය ක‍්‍රිස්තු පූර්ව 700න් පසු ව ඇතිවන බව අනුරාධපුරය හා පොම්පරිප්පු තුළින් හමු වී ඇති ලෝහ පරිහරණය සම්බන්ධ සාධක තුළින් මැනවින් තහවුරු වේ (Seneviratne 1984:272, Dearaniyagala 1992:710). ඒ බව වැඩිදුරටත් තහවුරු වන්නේ අන්දරවැව මෙගලිතික සුසානය තුළින් හමුවන උසස් මට්මේ යකඩ තල අනුව ය. ඒ අනුව ක‍්‍රිස්තු පූර්ව 500 පමණ කාලය වන විට අන්දරවැව ප‍්‍රදේශයේ ලෝහ තාක්‍ෂණය සම්බන්ධ වඩා උසස් මට්ටමේ තොරතුරු හඳුනාගත හැකි බැවින් ලෝහ තාක්‍ෂණයේ ගුණාත්මක බව ඇතිව තිබූ බව ඒ අනුව පෙන්වා දිය හැකි ය. අන්දරවැව ප‍්‍රදේශයෙන් හමුවන ලෝහ තලවලට සමාන ලෝහ තල උතුරුමැද පලාතට අයත් වාහල්කඩ පූර්ව ඓතිහාසික සුසානයෙන් හා ඉබ්බන්කටුවෙන් ද වාර්තා වී තිබේ.

වයඔ පලාත තුළ ප‍්‍රාථමික යකඩ යුගයේ ජනාවාස විශාල ප‍්‍රමාණයක් ස්ථානගත වීම සඳහා ස්වභාවික පරිසරය ද බලපා ඇත. මෙම පළාතේ ස්වභාවික පරිසරය, ඛනිජ සම්පත් හා ස්වාභාවික ඉන්ධන ව්‍යාප්තිය වඩා ඍජු ලෙස පැරණි යකඩ කර්මාන්තයට බලපා තිබේ. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස හා ජීවනෝපාය ක‍්‍රමය වඩාත් සමීප වූයේ වියළි හා ශුෂ්ක කලාපවලට ය (Seneviratne 1995:15). ශ‍්‍රී ලංකාවේ ඛනිජ ආශ‍්‍රිත සිතියමක් ගෙන හැර දැක්වුවහොත් වයඔ පලාත හා එහි තදාශ‍්‍රිත ප‍්‍රදේශය තුළ විවිධ ඛනිජ වර්ග ස්ථානගත වන බව පෙනේ. වයඔ පලාත පුරා ම පහසුවෙන් නිධිගත වී ඇති යපස් හා තෙල්ගල් පුළුල් ව්‍යාප්තියක් ගෙනහැර දක්වයි (ibid). මේවා අතරින් විලගෙදර පනිරෙන්ඩාව ආශ‍්‍රිත ව නිධිගත වී ඇති මැග්නටයිට් යපස් නිධිය තුළ ටොන් හයකට වඩා වැඩි යපස් තැන්පත් ව තිබෙන බව මේ වන විට ගණන් බලා ඇත. මෑත දී සිදු කරන ලද භූ ගර්භ විද්‍යා හා පුරාවිද්‍යා සමික්ෂණ අනුව ශ‍්‍රී ලංකාවේ තඹ නිධිගත වී ඇති තවත් ප‍්‍රදේශ ලෙස සේරුවිල හා මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමේ පිහිටි නාලන්ද ප‍්‍රදේශය හා විලගෙදර පණිරෙන්ඩාව හඳුනාගෙන ඇත (Seneviratne 1995:114-138). වයඔ පලාතේ ලෝහ නිෂ්පාදනය ආශ‍්‍රිත ලෝහ කර්මාන්තය තාක්ෂණික ලෙස දියුණුවට පත් වු බවට සාධක අන්දරවැව මෙගලිතික සුසානය ආශ‍්‍රිත ව හමුවන මෙම ලෝහ මෙවලම් හා එම සුසාන භූමියට ආසන්නයෙන් ලැබෙන මහා පරිමාණ ලෙස ලෝහ නිෂ්පාදනය කළ බවට හඳුනාගත හැකි ස්ථාන ආශ‍්‍රිතව දක්නට ලැබෙන ලෝහ බොර අනුව ද පෙන්වාදිය හැකි ය.

අන්දරවැව මෙගලිතික සුසාන කැනීම්වලින් හමු වූ ලෝහ උපකරණ
අන්දරවැව මෙගලිතික සුසාන කැනීම්වලින් හමු වූ ලෝහ උපකරණ

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • මල්කාන්ති, නාලනී (2008), පබළු නිර්මාණයේ අතීත විත්ති, ජේතවනාරාම පුරාවිද්‍යා ග‍්‍රන්ථමාලා අංක 3, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න සහ පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ.
  • මැන්දිස්, තුසිත (2008), ජේතවන සුද්දගේ වත්ත පර්යේෂණ පුරාවිද්‍යා කැණීම, 37-51, ජේතවනාරාම ව්‍යාපෘතිය වාර්ෂික පුරාවිද්‍යා වාර්තාව 2000, සංස්. සුදර්ශන් සෙනෙවිරත්න සහ පියතිස්ස සේනානායක, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, කොළඹ,
  • මැන්දිස්, තුසිත (2016), පබළු වර්ගීකරණය, මධ්‍ය යාන් ඔය නිම්නයේ ජනාවාස පුරාවිද්‍යාව, 246-257, පර්යේෂණ හා ප‍්‍රකාශන අරමුදල, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
  • Begly, V. (1981), Excavation of Iron Age burials at Pomparippu, 1970, Ancient Ceylon 4: 49-142, Department of Archaeology Survey, Colombo
  • Deraniyagala, S.U. (1972), The Citadel of Anuradhapura: Excavation in the Gedige area, Ancient Ceylon 2;48-165, Department of Archaeology Survey, Colombo.
  • Deraniyagala, S.U. (1992), The Prehistory of Sri Lanka; An Ecological Perspective, Archaeological Survey Department, Colombo
  • Dikshit, M.G. (1952), Beads from Ahichchatra U.P, Ancient India 8, 33-63. Archaeology Survey Department, India.
  • Francis,P. (1987), Bead Emporiam, (a guide ti the beads from Arikamedu in the Pondicherry Museum), The Pondicherry Museum, Pondicherry.
  • James, L. (2014), Glass from Sri Lanka: Preliminary Report of 2014 Analyses, Institut de Recherche surles Archéomatériaux, Centre Ernest Babelon, C.N.R.S., 3D rue de la Férollerie, F-45071 Orléans cedex 2.
  • Kumar, A. (2001), Glass Beads in India; Lamp Winding and Moulding Techniques Abstract, Department of Archaeology, Deccan College.
  • Lal, B.B. (1958), Examination of Rod of Glass – like Material from Arikamedu Ancient India. No 14, Archaeology Survey Department, India
  • Seneviratne, S. (1984), The Archaeology of the Megalithic – Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No.5:237-305. Archaeology Survey Department, Colombo
  • Seneviratne, S. (1992), Resource use in Antiquity: The Utilization of Minerals, Water Flora and funa in Pre Modern Sri Lanka School Science program, Institute of Fundamental Studies.
  • Seneviratne, S. (1995), The Ecology and Archaeology of the Seruwila: Copper Magnetite prospect North- East Sri Lanka, Sri Lanka Journal of Humanities. Vol. xxi (1&2):114-146, University of Peradeniya.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2020.02.01 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
Previous articleරට, දැය හා සමය රැකගත් නාරංබැද්ද සටන
Next articleඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය
තුසිත මැන්දිස්
ඩී. තුසිත මැන්දිස් බලපිටිය, රේවත මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1996 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් සහිතව පුරාවිද්‍යා (විශේෂ) උපාධිය ලබා ගන්නා ලදී. කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් 1998 වසරේ දී විශිෂ්ට සාමාර්ථයක් සහිතව 'පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව'ත් 2006 වසරේ දී 'ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය' පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, දර්ශනපති උපාධියත්, 2011 වසරේ දී දර්ශන විශාරද උපාධියත් හිමි කරගන්නා ලදී. 1996 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද ඔහු පසුව ප‍්‍රධාන පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි හා ව්‍යාපෘති කළමනාකරු ලෙස උසස් වීම් ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද තුසිත 2013 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වී 2015 වර්ෂයේ දී එහි අංශ ප්‍රධාන වශයෙන් පත් විය. 2018 වසරේ දී මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා දැනට එහි සේවය කරමින් සිටී. මධ්‍යම සංස්කෘතික අමුදලේ අනුරාධපුර තදාශ‍්‍රිත ප‍්‍රදේශ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කරනු ලැබේ. වසර 22ක පමණ කාලයක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍ර කටයුතුවල නියැලෙන තුසිත පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් 20කට වඩා සිදු කර ඇති අතර ඒවා අතුරින් කොක්එබේ හා අන්දරවැව මෙගලිතික සුසාන කැනීම් විශේෂ වේ. ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික, මුල් ඓතිහාසික හා පූර්ව ඓතිහාසික යුග සම්බන්ධව අධ්‍යයන සිදුකර ඇති තුසිත, විවිධ සඟරා සඳහා පර්යේෂණ ලිපි 75කට වැඩි ප‍්‍රමාණයක් ද ජාතික හා ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ සමුළු සඳහා ද පත‍්‍රිකා රැසක් මෙන් ම පුරාවිද්‍යාවට අදාළ ග‍්‍රන්ථ 7ක් ද ප‍්‍රකාශයට පත්කර ඇත. දිවයින, අකුර හා හෙළදිව පුවත්පත් සඳහා ලිපි රචනා 100කට වඩා රචනා කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.