සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

භීතිය සිඳ අභිමානවත් මනසින් බුද්ධියේ නිදහස විඳ පටු සීමාවන්ගෙන් වෙන් ව ගිය ලොවක් නොව හද පත්ලෙන් බිහි වන්නා වූ සත්‍යතාව පිරිපුන් භාවයේ නිමැවුම වෙත දෑත දිගු කර සාධාරණත්වයේ සිහිල් දිය දහර පාදඩකරණයේ මරුකතර වෙත නො යවා පුළුල් සිතින් යුතු ක්‍රියාවලිය වෙත මනස ද්‍රව ගත කර නිදහස් චින්තනයේ ස්වර්ගය වෙත මාගේ දේශය අවදි කරනු මැන, පියාණෙනි

රවීන්ද්‍රනාත් තාගෝර්

ආනන්ද කුමාරස්වාමි සමඟ දකුණු ආසියාවෙන් බිහි වූ විශිෂ්ට මනුෂ්‍යයෙකු වන රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නිදහසේ ස්වර්ගය යන කවිය සමඟ මාගේ දේශනය ආරම්භ කරමි. එය පුරාවිද්‍යා උරුම ස්ථානයක සිට පුරාවිද්‍යාඥයන් එකතුවක් සමඟ සංවාදශීලි ව සිදු කිරීමට හැකිවීම ගැන සතුටු වෙමි. මා තෝරාගත් මාතෘකාව අද පුරාවිද්‍යාඥයාගේ භූමිකාව යන්න ය. මේ මාතෘකාව නිර්වචනය කළ හොත් අද යනුවෙන් මා හදුන්වන්නේ වර්තමානය සහ ඒ සමඟ බැදෙන හෙට දවස ය. යටගියාව දෙස බලන්නා වූ වෘත්තියවේදීන් වන පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අවතක්සේරු කිරීමක් මෙහි දී සිදු නොවේ. එයට හේතුව, අද අප සිටින වර්තමානය අනුබද්ධ වී ඇත්තේ ඊළඟ එළැඹුමට ය. එම නිසා මේ කතා කරනුයේ අද පුරාවිද්‍යාඥයා ලෙස හදුන්වන ඔබගේ භූමිකාව සහ මින්පසු ව පැමිණෙන පුරාවිද්‍යා පරපුර පිළිබදව ය. එය අනාගත පුරාවිද්‍යාවේ ජීවය ලෙස ද මම දකිමි. මා මෙය වගකීමෙන් ප්‍රකාශ කරනුයේ මමත් මගේ පරම්පරාවට අයිති වන පුරාවිද්‍යාඥයනටත් නිග්‍රහ කිරීමක් වශයෙන් නො ව, නමුත් සිදු වී තිබෙන්නා වූ සහ සිදුවෙමින් පවතින ප්‍රවනතාවන් දෙස අවධානය යොමු කරමිනි.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අප විශාල කාර්යභාරයක් සිදු කර ඇතැයි පැවසිය හැක. නමුත් මා මෙහි දී සිතන්නේ අද සහ හෙට දවස වඩා වැදගත් බවයි. කෙනහිලිකම් කිරීමට නොකැමති නමුත් මා මෙහි දී මේ දෙය ප්‍රකාශ කළ යුතුයි. අපගේ පරම්පරාවේ පුරාවිද්‍යාඥයන් හා අපට පෙර සිටි පුරාවිද්‍යාඥයන් මතු පුරාවිද්‍යා පරපුරට සර්ව සම්පූර්ණ සාධාරණය ඉටුකර නැතැයි යන්න මාගේ මතය වේ. මේ අනුව ඔබ, ඔබගේ භූමිකාව තේරුම් ගෙන එම භූමිකාව කුමක් ද? එය සකසා ගත යුත්තේ කෙසේ ද? එය අනාගතය සදහා යොමු කළ යුත්තේ කෙසේ ද? යන්න සැලසුම් කරගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ භූමිකාව ඔබ අද තේරුම් නොගත හොත් එය සෝචනීය කරුණක් ද වනු ඇත. මේ රටේ දැන් පවතින්නා වූ යථාර්ථය පුරාවිද්‍යාවෙන් වෙන් කර ගැනීමට නොහැකි ය. එම යථාර්ථය අද ඉතාමත් ම තීරණාත්මක සන්ධිස්ථානයකට ද පැමිණ තිබේ. මේ වන විට යටගියාව කියවීම ස්ථානගත වී ඇත්තේ සමාජ පැසිස්ට්වාදය හා අරාජිකත්වය අතර ය. අද පුරාවිද්‍යාඥයාට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ඒ සන්දර්භය තුළ ය. එම නිසා ඒ භූමිකාව තහවුරු කරගත යුත්තේ කෙසේ ද? එහි අනාගතය කෙබඳු ලෙස ස්ථානගත විය යුතු ද? යන්න තීරණය කිරීම ඇත්තේ ඔබ අත ය. මේ තීරණාත්මක අවස්ථාවේ අද පුරාවිද්‍යාඥයාගේ භූමිකාව ඉතාමත් වැදගත් ස්ථානයක පවතී. පුරාවිද්‍යාඥයන් ලෙස මෙම තත්ත්වය කාලය හා අවකාශය තුළ සන්දර්භගත කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් අද පුරාවිද්‍යාඥයා ගැන කතා කිරීමේ දී හෙට දවස ඓන්ද්‍රීය වශයෙන් පවතින යථාර්ථයකි. නමුත් ඒ සදහා යටගියාව අමතක කළ යුතු නැත. අප අනිවාර්යයෙන් ම යම් කාල පරාසයක් තුළ දී යටගියාවේ ඇති වූ තත්ත්වයන් තක්සේරු කළ යුතු ය. එම තත්ත්වයන් තක්සේරු නොකර අද දවස හෝ හෙට දවස පිළිබඳ ව තීරණයක් ගැනීමට හෝ දැක්මක් ලැබීම අපහසු ය.

ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පසුගිය දශක පහ හෝ දහය තුළ තිබූ දැක්ම කුමක් ද? පුරාවිද්‍යාව එම කාලපරාසය තුළ ආ ගමන කුමක් ද? යටත් විජිත යුගයේ තිබුණා වූ පුරාවිද්‍යාව කුමක් ද? ඒ තුළින් ආභාෂය ලැබුවා වූ ප්‍රාචීනවේදීන්ගේ පුරාවිද්‍යාව කුමක් ද? මේ තත්ත්ව තුළ ජාතික ව්‍යාපාරය ඔස්සේ පුරාවිද්‍යාවට ලැබූ ආභාෂය කුමක් ද? සමස්තයක් වශයෙන් ඉහත කී තත්ත්වයන් අද පවතින්නා වූ තත්ත්වයට පාදක වූයේ කෙසේ ද? එය ධනාත්මක හෝ ඍණාත්මක ඇගයීමකට භාජනය කොට එම තත්ත්වය වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ අද පුරාවිද්‍යාඥයන්ට ය. අපේ පරම්පරාවේ වගකීම තව වර්ෂ කිහිපයකින් අවසන් වනු ඇත. අප එය නිහතමානීව පිළිගත යුතු වේ. බොහෝ පුරාවිද්‍යාඥයන් එය පිළිගන්නට අකමැති බව ද අප දන්නා කරුණකි. අපි මරණින් මතුත් පුරාවිද්‍යා ස්ථානවල රැදෙන්නට අපේක්‍ෂා නොකරන පුද්ගලයන් වෙමු, යන්න සමහර පුරාවිද්‍යාඥයනට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි. පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ පූර්ණ මෙහෙයවීම, ඒකාධිකාරය පවත්වා ගැනීම, පුරාවිද්‍යාවේ තීරණ ගැනීම තමන් අත ම රඳවා ගැනීම උචිත බැව් අපේ පරම්පරාවේ සමහරු සිතූ හ. ඒ චින්තනයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් දැඩි ව්‍යාකූලත්වයක් විකෘති කිරීමක් හා පාදඩකරණයන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ සහ චින්තනයේ ඇති විය. ගුරුකුල ඔස්සේ පුරාවිද්‍යා ප්‍රවේණිදාසයන් නිර්මාණය කිරීම හා තම ශිෂ්‍යයන්ගේ මොළ සූරා කෑම පශ්චාත් යටත් විජිත යුගයේ පවතින්නා වූ වැඩවසම් ශේෂයෝ වෙති. නමුත් ඒ කිසිවකින් ඔබ පසුබට විය යුතු නැත. ඒවා නිවැරදි කොට ඉදිරියට යාමේ හැකියාව ඔබ වර්ධනය කරගත යුතු ය.

කාලය සහ අවකාශය : කාලය ගැන කතා කිරීමේ දී ඔබ වෙත දැක්මක් සහ සැලැසුම්කරණයක් තිබිය යුතු ය. මෙය කෙටි, මධ්‍ය හා දීර්ඝ වශයෙන් සකසා ගැනීම උචිත ය. දෙවනුව අවකාශය වැදගත් ය. අවකාශය යනු කුමක් ද? මෙය පුරාවිද්‍යාඥයාගේ භූමිකාව තුළ සන්දර්භ ගත කිරීම ද වැදගත් වේ. සන්දර්භ ගත කිරීම ගැන කතා කිරීමේ දී සංසිද්ධි අනිවාර්යයෙන් ම අවකාශ ගත කිරීම අවශ්‍ය වේ. එය විශේෂයෙන් අපට උරුම වී ඇත්තේ, අප දියත් කරන ක්‍රියාවලිය තුළ පවතින්නා වූ අවකාශයට වැදගත් බැවිනි. මම එය බහුවිධ අවකාශ ලෙස හැදින්වීමට කැමත්තෙමි. අප ක්‍ෂේත්‍රය තුළ භ්‍රමණය වන්නා වූ අවකාශ තල කිහිපයක් ඇත. ඒ සියල්ල ම ගොනු කොට ගත්විට පුරාවිද්‍යාඥයාගේ භූමිකාව ඒ මත රැදී ඇත. මම මුලින් ම අවකාශයේ විවිධ තල ගෙනහැර දක්වමි. විවිධ අවකාශයන් අනිවාර්යෙන් ම ඓන්ද්‍රීය වශයෙන් එකිනෙකට සම්බන්ධ වූ ජාලයක් වේ. එයින් එකක් හෝ ඉවත් කළහොත් පුරාවිද්‍යාඥයාගේ පැවැත්මට එය ඍජු වශයෙන් ම බලපානු ඇත.

වෘත්තීමය අවකාශය : පුරාවිද්‍යාඥයාට ඇත්තේ විකල්ප දෙකකි. 1 උදේ පැමිණ පොත අත්සන් කොට කුමක් හෝ අතපත ගා සවසට ගෙදර යාමර, 2 වෘත්තීය පුරාවිද්‍යාඥයකු ලෙස මානසික ව හා ශාරීරික ව හැසිරීමෙන් තම වෘත්තීය අභිමානය ස්ථාපිත කර ගැනීම මෙයින් පළමුවැන්න පුරාවිද්‍යාඥයකුට අයත් නොවේ. මුල් කාලයේ පුරාවිද්‍යා කටයුතු PWD (Public Work Department) එකට සමාන විය. නූතන යුගයේ ශාස්ත්‍රීය පදනමකින් ලබා දුන් උපාධියක් සමග ඔබව මෙතැනට පත් කළේ නිකම් ලිපිකරුවකු වශයෙන් හැසිරීමට නො වන බව ද සිහි තබාගත යුතු ය. විශ්වවිද්‍යාල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු දියත් කරනු ලැබුයේ පාසල් ගුරුවරු හෝ ලිපිකරුවන් බිහිකිරීමට නොවේ. නමුත් වෘත්තීයවේදී පුරාවිද්‍යාඥයකු බිහි කිරීම සදහා ය. අප විස්තර කළ දෙවැනි කරුණ හා බැදී ඇත්තේ පුරාවිද්‍යාඥයාගේ පැවැත්මය ය. අපේ පැවැත්ම ද එය ම ය. එම පැවැත්ම තේරුම් නො ගත හොත් පුරාවිද්‍යාත්මක ස්ථානයන් ගිල ගැනීමට මාන බලන්නා වූ බහිරවයනට අපේ මුල් කපා දැමිමට හැකි වනු ඇත. අනිවාර්යයෙන් ම එය ඔස්සේ පුරාවිද්‍යා ස්ථාන මිලේච්ඡකරණයට ද භාජනය වනු ඇත. අපේ පැවැත්ම රැක නො ගත හොත් අපේ අනන්‍යතාව ක්‍ෂය වනු ඇත. අනන්‍යතාව නැති වූ විට පැවැත්ම සාධාරණීකරණය කිරීමට නො හැකි වනු ඇත. මේ නිසා වෘත්තීයමය අවකාශය ද ආරක්‍ෂා කර ගත යුතු වේ. අප ලෝකයට පෙනී සිටින්නේ, හුවා දක්වන්නේ පුරාවිද්‍යාඥයන් ලෙසයි. වෛද්‍යවරුන්, පරිපාලන නිළධාරීන් පවා පුරාවිද්‍යාව ගැන කතා කරති. හැම කෙනකු ම ඇගිලි ගසන විෂයකි පුරාවිද්‍යාව. ඒ නිසා ඔබගේ වෘත්තීයවේදී තත්ත්වය ස්ථාපිත කිරීම හා අනන්‍යතාව ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වි ඇත. එම වෘත්තීයවේදී තත්ත්වයේ අනෙක් කරුණ සුරක්ෂිතභාවයයි. අපේ සුරක්ෂිතභාවය ලබා ගත්නේ අපේ වෘත්තීය තත්ත්වය හදුන්වා දීමේ අනන්‍යතාව මත ය. පාර්ලිමේන්තුවෙන් සම්මත කළ පුරාවිද්‍යාඥයන්ගේ සභාව මගින් පුරාවිද්‍යාඥයා යන තැනැත්තාට හිමි වන ශුද්ධ වූ අවකාශය සටහන් කර ඇත්තේ මේ අනුව ය. එම අයිතිය ඔබ විසින් ම නැතිකර ගතහොත් ඒ ගැන ඔබ කණගාටු විය යුතු ය. උරුම ස්ථානවල වැඩකිරීමේ අයිතිය අප අත පවතින්නේ එම අනන්‍යතාව මත ය. පුරාවිද්‍යා ආයතන වල ඉහළ නිලයන් අනිවාර්යයෙන් ම පුරාවිද්‍යාඥයන් විසින් නියෝජනය කළ යුතු ය, යන්න අප ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය මත ය. එය එසේ විය යුත්තේ බුද්ධිමය ඒකාධිකාරය තුළින් එම ආයතනවල වැඩ කරන පුරාවිද්‍යාඥයන්ගේ හා කාර්යයන් තුළ යම් ගුණාත්මක ප්‍රමිතියක් එයින් ස්ථාපිත කළ හැකි නිසා ඔබගේ පෙළ ගැස්මේ තත්ත්වය සහ වෘත්තීමය ප්‍රමුඛතාවන් සුරක්ෂිත කිරීමට වගබලා ගත යුතු ය. මේ අනුව වෘත්තීය පුරාවිද්‍යාඥයකුගේ හැසිරීම ඉතා ම වැදගත් වේ. විශේෂයෙන් ම තමුන් කරන්නා වූ විෂය හා විද්‍යාවේ ඇති පරිපූර්ණ භාවයට වෘත්තීයමය ප්‍රමිතියක් අනිවාර්යෙන් ම තිබිය යුතුයි. අර්ධ ප්‍රමිති අවශ්‍ය නොවේ. විශේෂයෙන් ගෝලීයකරණය තුළ ජාත්‍යන්තර ප්‍රජාව මේ තත්ත්වය බලා සිටිති. ඒ නිසා ඔවුන් සමඟ වැඩ කීරීමේ දී අපේ ප්‍රමිතිය ඍජු ව බලපානු ඇත. එසේ නො වුවහොත් ප්‍රාචීනවේදීන් හා යටත්විජිතවේදීන් හැදින් වූ අන්දමට ම මුන්ට හරියට වැඩක් කළ නො හැක යන්න ඔවුන් ප්‍රකාශ කරනු ඇත. වැඩ කළ හැක්කේ සුදු මිනිහාට හෝ ඔවුනට කත් අදින අයට පමණයි යනුවෙන් ඔවුන් පැවසිය හැකි ය. සුදු මිනිහාට නො ව අපට, අපේ ප්‍රමිතිය උපරීම උසස් මට්ටමෙන් උපරිමයෙන් පවත්වා ගැනීමට හැකි විය යුතු ය.

පුරාවිද්‍යාඥයා වෘත්තීයවේදියකු ලෙස සාරධර්ම පද්ධතියක් ද ආරක්ෂා කර ගත යුතු වේ. සාරධර්ම ආරක්ෂා කර නො ගත හොත් තමුන්ට ම ආරක්ෂාව නැති වී කැලේ නීතිය රජ කරනු ඇත. මේ සදහා ඍජු ව ම බලපානුයේ ඔබ පුරාවිද්‍යාඥයන් අතර ජ්‍යෙෂ්ඨයකු නම් කණිෂ්ඨ පුරාවිද්‍යාඥයන් වෙත දැක්විය යුතු ආකල්පය. ඔබ යම් ඉගැන්වීමක් කරන්නේ නම්, ඒ ඉගැන්වීම කළ යුත්තේ ගුරුමුෂ්ටි ඇති ව නොවේ. ශිෂ්‍යයකු බය කරන්නා වූ මනුෂ්‍යයා ගුරුවරයකු නොවේ. මේ තත්ත්වය අද විශ්වවිද්‍යාල තුළ ද සුලභ ය. විශේෂයෙන් ම තමන් නැගපු ඉණිමගට පයින් ගසා ඊළඟට එන මිනිසා නවත්වන්නට කටයුතු කරන අය දැන් බහුල බව ද අත්දැකීමෙන් අප දනිමු. ශිෂ්‍යයාට වඩා අඩි දහයක් ඉදිරියෙන් සිටීමට තරම් බුද්ධිමය හැකියාවක් ගුරුවරයාට තිබිය යුතු ය. එය ගුරුවරයාගේ දක්‍ෂතාව ද විය යුතු ය. එසේ නොකර අද තරුණ පුරාවිද්‍යාඥයාට ඉදිරියට යාමට නො දෙන්නේ නම්, ඔවුන්ගේ බුද්ධිය සූරා කන්නේ නම්, ඔවුන්ගේ ප්‍රකාශන මංකොල්ල කන්නේ නම් පුරාවිද්‍යාඥයාගේ වෘත්තීයට සහ එහි අභිමානයට මෙම තත්ත්වය අගාධයක් වනු නියත ය. එක පරම්පරාවක් අනෙක් පරම්පරාව සමග අත්වැල් බැඳගෙන වෘත්තීයමය තත්ත්ව රැක ගන්නේ නැත්නම් ඒ දම්වැල කැඩෙනු ඇත. එසේ නො වන්නේ නම් වෘත්තීමය තත්ත්වයන් පාදඩකරණයට ලක් වනු ඇත. අපගේ ප්‍රගතිය සදහා වෘත්තීය මට්ටම, සාරධර්ම මානව දයාව වර්ධනය කරගත යුතු ය. මේ ලිප්ගල් තුන නැත්නම් මුට්ටිය කඩාවැටෙනු නියත ය. බුද්ධිමය හා චින්තනමය අවකාශය පුරාවිද්‍යාඥයා තම විෂයපථය තුළින් ජීවන දර්ශනය සාදා ගන්නා කෙනෙකි. ඒ නිසා පුරාවිද්‍යාඥයකුට තනි ව ජීවත් විය නො හැක. මක් නිසා ද යත් මෙය කණ්ඩායම් විෂයයක් වන බැවිනි. මේ නිසා වෘත්තීයමය හා චින්තනමය අවකාශය අවශ්‍යයි. අප කරන්නා වූ දෙයට දර්ශනයක් තිබිය යුතු ය. එම දර්ශනය බුද්ධිමය තත්ත්වයකින් අප බලන්න උත්සාහ කරන්නේ චින්තනමය හා බුද්ධිමය අවකාශය අපට අවශ්‍ය නිසයි.

අපේ කාර්යය පුරා මිනිසුන් සිතූ හා හැසිරුණු අන්දම අධ්‍යයනය කිරීමයි. එය මනඃකල්පිත දෙයක් නොවන නිසා අප යථාර්ථවාදී ලෙස යටගියාව දෙස බැලිය යුතු ය. ද්‍රව්‍යාත්මක සංස්කෘතිය හා ප්‍රජානනය ඔස්සේ යටගියාව දෙස බැලීමට බුද්ධිමය හා චින්තනමය අවකාශය යෙදවිය යුතු ය. මේ සඳහා චින්තනමය නිදහස අවශ්‍ය වේ. එහි අනෙක් කරුණ නම් සංවාදාත්මක පුරාවිද්‍යාවේ අවශ්‍යතාවයි. සංවාදය අප ගොඩ නැගිය යුත්තේ අප අතර පමණක් නො ව, යටගියාවේ පැවති තත්ත්ව සමඟ ද විය යුතු ය. ඒ තුළින් යටගියාවේ ද්විඝටනාත්මක තත්ත්වය ද ග්‍රහණය කර ගත හැක. මේ සදහා චින්තනයේ නිදහස ඉතා ම වැදගත් වේ. සත්‍ය සොයන්නා සතර අගතියෙන් තොර නිදහස් නිරීක්‍ෂකයකු ලෙස ක්‍රියා කළ යුතු බව මීට වසර 2,500කට පෙර සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළ දෙයකි. පුරාවිද්‍යාඥයා සතර අගතියෙන් තොර ව හැසිරිය යුතු වෘත්තියවේදියෙකි. ඒ පුරාවිදඥයා හා බැදී පවතිනුයේ ඔහු ලබා ගන්නා යටගියාව අධ්‍යයනය කිරීමේ විශේෂ කාර්ය භාරයයි.

පර්යේෂණාත්මක අවකාශය : මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලටත් විශ්වවිද්‍යාල හා රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ඍජු ව බලපාන්නා වූ කරුණකි. පර්යේෂණාත්මක අවකාශය යනු වෘත්තීය තත්ත්වයේ පුරාවිද්‍යාවයි. පරිපාලනය කරන අධ්‍යක්ෂ හා ඒ හා බැදුණු සෙසු නිලයන් පර්යේෂණ අවකාශය තුළ අනිවාර්යයෙන් ම පැවතිය යුතුයි. පර්යේෂණවලින් තොර පුරාවිද්‍යාවක් නැත. පර්යේෂණවලට එරෙහි වන ආයතනවලට අවශ්‍ය නම් ඒ සදහා PWD එක යොදා ගත හැක. අපි ගැටලු අභිමුව හා තත්ත්ව මූලික සාධක වෙත යාමට අපගේ පර්යේෂණ අවකාශය සැකසිය යුතුයි. ඒ සදහා සුදුසු වාතාවරණය සැකසීම ඉතා ම වැදගත් ය. මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි උසස් ආයතන මේ පර්යේෂණ ක්‍රියාවලිය තේරුම් නො ගත හොත් එම ආයතනවල තිරසාර පැවැත්මට ඉදිරියේ දී මේ තත්ත්වයන් බාධකයන් විය හැක. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථානවල විශිෂ්ට පර්යේෂණ ආරම්භ කළ යුතු යැයි අපි මීට පෙරත් යෝජනා කර ඇත්තෙමු. ඒ සදහා අවශ්‍ය සම්පත් අපට ඇත. එම බුද්ධිමය සම්පත් භාවිත කොට කණිෂ්ට පර්යේෂකයන්ගේ බුද්ධිමය හා චින්තනමය අවකාශය පුළුල් කර පර්යේෂණ කිරීමේ පහසුකම් සකසා දිය යුතු ය. ඒ සදහා අධ්‍යක්ෂකවරු අත වැඩි වගකීමක් ඇති බව ද මම අවධාරණය කරමි. මේ වන විට පුරාවිද්‍යා ස්ථාන ගුප්ත ලෙස හුදකලා කොට ඇත. අභිරහස් ලෙස පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට කප්පාදුවක් සිදු වෙමින් පවතී. මේ මහා නිධාන තුළ පවතින මේ මූසල තත්ත්වය වෙනස් කොට, භෞමික ක්ෂේත්‍රය හා පාරිසරික ක්ෂේත්‍ර අතර සබඳතා පුළුල් කර, මුළුමහත් කලාපය අළලා පර්යේෂණ ආරම්භ කළ හොත් වඩා පුළුල් ඉතිහාසයක් තේරුම් ගැනීමේ අවකාශය අපට ලැබෙනු නියත ය. මෙහි වගකීම රැදී ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරුන් වෙත ය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ කෙනකු සිටිය යුත්තේ පර්යේෂණ පහසුකම් සපයන්නකු ලෙස ය. ඔහු වැඩවසම් පාලකයකු විය යුතු නොවේ.

පුරාවිද්‍යාව හා නූතන දේශපාලන යථාර්ථය : මෙය ඉතාමත් සංකීර්ණ මාතෘකාවකි. හැම මනුෂ්‍යයෙකුට ම දේශපාලන දර්ශනයක් සහ සංවේදීභාවයක් ඇත. දේශපාලනය රටේ ආර්ථික, ආගමික හා සමාජ යථාර්ථය හසුරුවන්නකි. එය ඍජු ව පුරාවිද්‍යාවට ද බලපායි. ලංකාවේ යටත් විජිත යුගයේ සිට පුරාවිද්‍යා න්‍යාය පත්‍රය තීරණය වූයේ දේශපාලනය අනුවයි. මෙය සැමදා සිදු විය යුතු නැත. විශේෂයෙන් පුරාවිද්‍යා විෂයයට, පුරාවිද්‍යා කටයුතුවලට දේශපාලකයන්ගේ ඇගිලි ගැසීම් හා පරිපාලන නිලධාරීන්ගේ ඇගිලි ගැසීම් අප පිළිගන්නේ ද නැත. නිදහස් සන්දර්භයක් තුළ වැඩ කිරීම උදෙසා අපට ස්වාධීනත්වය අවශ්‍යයි. ඒ සදහා අප වෙත ඇති බුද්ධිමය හා වෘත්තීමය පරමාධිපත්‍යය අප ආරක්ෂා කළ යුතු ය. සකසා ගත යුතු ය. මෙම දේශපාලන, සමාජ-ආර්ථික යථාර්ථය තුළ පුරාවිද්‍යාඥයා අනිවාර්යයෙන් ම විද්‍යාඥයකු ලෙස හැසිරිය යුතු ය. ඉතිහාසය අර්ථකථනය කිරීමේ දී එය විකෘතී කිරීම්වලින් තොර ව ඉටු කළ යුතු වේ. හිතාමතා විකෘති කිරීම් කළහොත් අපගේ වෘත්තීය අභිමානය හා අයිතිවාසිකම් අප විසින් ම නිෂ්ප්‍රභා කර ගනු ඇත. ඒ නිසා මේ යථාර්ථය තුළ අපේ විෂයය ධාරාව හා ස්වාධීනත්වය කෙතෙක් දුරට පවත්වා ගෙන යා හැකි ද? එසේ පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කළ යුත්තේ ද අපම ය. මේ තත්ත්වය තුළ පුරාවිද්‍යාඥයා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහුට හෝ ඇයට සමාජ යථාර්ථයෙන් වෙන් විය නො හැක. මේ නිසා පුරාවිද්‍යාඥයා සමාජ සබදතා හා අනිවාර්යයෙන් බැදී සිටින්නෙකි. ලංකාවේ මේ වන විට වර්ගවාදී ප්‍රශ්නයක් ඇත. වර්ගවාදය වපුරන්නටත්, නිශ්ප්‍රභා කරන්නටත් අපට හැකි වේ. ජාතික අනන්‍යතාවන් ගැනත් වර්ගවාදයේ යථාර්ථය පිළිබඳවත් පුරාවිද්‍යාඥයා අනිවාර්යයෙන් ම ප්‍රශ්න කළ යුතු ය. උතුරේ හා දකුණේ දැවෙන්නා වූ වර්ගවාදය නිසා අද අප රට පැසිස්ට්වාදී අන්තවාදී දේශපාලන තර්ජනයකට මුහුණ දී ඇත. ලක්ෂ්මන් කදිරගාමර් වැනි විශිෂ්ට පුද්ගලයන් ඒ ප්‍රහාරයන්ට ලක් ව මිය ගියේ මේ තත්ත්වය තුළ ය. ඒ නිසා අනිවාර්යයෙන් ම, අප ඉතිහාසය තුලනාත්මක ව සලකා බැලිය යුතු ය.

විශේෂයෙන් ම අප කැනීමක් සිදු කරද්දී පූර්ව නිගමන තුළ හිර නොවී සම තුලිත තත්ත්ව තුළ එය මෙහෙය විය යුතු ය. සතර අගතියෙන් තොර පුරාවිද්‍යාවක් බිහි කළ යුත්තේ මේ නිසා ය. පුරාවිද්‍යාඥයා මෙරට බහු සංස්කෘතික යථාර්ථය තේරුම් ගත යුතු ය. වර්ථමානයේ මෙන් ම පුරාණයේ ද මෙරට පැවැති සංස්කෘතික විවිධත්වය හදුනා ගත යුතු ය. උදාහරණ වශයෙන් අනුරාධපුර ජේතවනාරාමය ගතහොත් එය තුළ බහු සංස්කෘතික ලක්ෂණ ඇත. මහායාන ලක්‍ෂණ මෙන් ම හින්දු ආගමට සම්බන්ධ තොරතුරු ද අපට ලැබී ඇත. අප ඒවා අර්ථකථනය කළ යුත්තේ තුලනාත්මක ලෙස ද්විපික සංස්කෘතියක කොටස්කරුවන් ලෙස ය. බහු සංස්කෘතිකමය දෘෂ්ටිකෝණයෙන් අපට ත්‍රස්තවාදීන්ගේ මේ පැසිස්ට් දෘෂ්ටිකෝණයට අභියෝග කිරීමට හැකි වේ. ප්‍රාචීනවේදීන්ගේ න්‍යාය වී පැවතුනේ මුළු ද්වීපය ම අරක් ගත් වර්ගයක් හෝ එක් ආගමක් පිලිබද ව ය. මේ පටු අනන්‍යතාවේ සාවද්‍යභාවය පසුගිය දශක දෙක තුළ නිමකළ පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් ඔප්පු විය.

ශ්‍රී ලංකා පුරාවිදඥයා සහ විදේශ පුරාවිද්‍යාඥයා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයාගේ භූමිකාව සලකා බැලීමේ දී එය විදේශීය වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරිත්වයට සාපේක්‍ෂක ව සලකා බැලිය යුතු වේ. ගෝලීයකරණීය තත්ත්ව යටතේ බටහිර රටවල පුරාවිද්‍යාඥයන් දකුණු ආසියාව තුළ ද්‍රවගත වෙමින් පවතී. මෙහි දී ඔවුන්ගේ ක්‍රියාකාරී පදනම ගැන ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේදීන්ගේ සභාව තීරණ ගත යුතුයි. ඔවුන් වැඩ කළ යුත්තේ කා සමග ද? වැඩ කිරීමේ දී අපගේ වගකීම හා තත්ත්වය කුමක් ද? යන්න ගැන අප විමසිය යුතු ය. එය එසේ නො වුවහොත් වර්තමානයේ පාකිස්තානයට සිදු වූ දෙය අපට ද සිදු වීමට ඉඩ ඇත. මේ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා ස්ථානවලින් පර්යේෂණ නැඹුරුවක් ඇති කර පර්යේෂණ පදනම වැඩි කිරීමට අප කටයුතු කළ යුතු වේ. මේ සදහා ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීම අත්‍යවශ්‍ය ය. ඒ සමඟ සම්භාව්‍ය පෙරදිග භාෂා පිළිබඳ හසල දැනුමක් ද පුරාවිද්‍යාඥයාට තිබිය යුතු ම ය. මේ තත්ත්වය සදහා සංවාද මණ්ඩප සැකසීම අද ඔබේ එක් කාර්ය භාරයක් විය යුතු ය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන්ගේ ද සහාය ලැබිය යුතු ය. එසේ වුවහොත්, අද ඔබ මුහුණ පා තිබෙන මේ අරාජික තත්ත්වය යම් පමණකට හෝ සමනය කර ගැනීමට හැකි වනු ඇත. ඒ නිසා අද ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයාගේ භූමිකාව කුමක් ද? යන්න පිළිබඳ ව ඔබ වඩාත් හොඳින් දැන් තේරුම් ගත යුතු ව ඇත.

පුරාවිද්‍යාව ගැටලු අභිමුඛ සහ තත්ත්වමූලික විද්‍යාවකි. අතීත මනුෂ්‍ය ස්වභාවය ඔවුන්ගේ අත්දැකීම් සහ චර්යා රටා පිළිබද ව සොයා බලන, ඒවා වාර්තා කරන සහ ඒවා අර්ථ නිරූපණය කරමින් ඒවායේ නියම උරුමක්කාරයින් වන අනාගත පරපුර වෙත එම දැනුම පවරා දෙන බහුවිෂයීය විෂයයකි. අතීතය අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයා විෂය මූලික වූත් අගතිගාමී හෝ අවිචාරවත් නො වන්නා වූත් විද්‍යාඥයෙකි. ඒ සියල්ලට ම වඩා පුරාවිද්‍යාඥයා අතීතයට හෝ අනාගත ගිවිස ගැනීමට බිය නො වන මානුෂ්‍යවාදී සමාජ ක්‍රියාකාරිකයකු ද වෙයි.

1 COMMENT

Leave a Reply to B.g.w .bandara Cancel reply

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.