රාජ් සෝමදේව

මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ෙකාළඹ.

Raj Somadeva-Archaeology-Sri Lanka
රාජ් සෝමදේව

සම්භාවනීය අමුත්තණි, කතුතුමියණි, ප‍්‍රිය මිත‍්‍රවරුණි,

අද දින මෙම සාහිත්‍ය කෘතිය එලිදක්වන මොහොතට දේශනයක් පැවැත්වීමට ආරාධනය කිරීම මම මහත් ගෞරවයක් ලෙස සලකමි. එහෙත් මට එය හැෙඟන්නේ තරමක අපහසු භාරදූර කාර්යයක් ලෙස ය. වෘත්තීය වශයෙන් පුරාවිද්‍යාවේ නියැලෙන්නෙකු ලෙස සෑම අවස්ථාවක දී ම මා මගේ දේශන ආරම්භ කරන්නේ පුරාවිද්‍යාවේ විෂයානුබද්ධ සීමාවන් තුළ පිිහිටා සිටිමින් වුව ද සිඳු මෙහෙසි කෘතියේ කර්තෘවර ප‍්‍රදීපාගේත් මා මිත‍්‍ර රත්නසිරිගේත් ආරාධනය නිසා ඒ සීමාවන්ගෙන් පිටතට පැමිණ අදහස් දැක්වීමට අද මට සිදුව තිබේ. නොදන්නා නොඇසු කාලයකට අයත් වූ ද කැඞී බිඳී සුන්බුන්ව ගියා වූ ද ගොරසැඬි දෑ සමග සහ නිරන්තරයෙන් කටයුතු කරමින් ඒ නො ඇසු නුදුටු කාලය ගැන යමක් කීමට අතිශය නීරස න්‍යායවාද සමග කටයුතු කරන පුරාවිද්‍යාඥයෙකුට ස්පන්දනය වන මානුෂික හැඟීම්වලින් පිරුනු ලාලිත්‍යමය සාහිත්‍ය නිර්මාණයක් ගැන විෂයබද්ධ ඇගයීමක යෙදීම කෙතරම් අසීරු කටයුත්තක් දැයි යන්න ඔබට යම් තරමකින් හෝ වැටහෙනු ඇතැයි මම සිතමි.

සිඳු මෙහෙසි කෘතිය විටින් විට මුල සිට අගට කිහිපවරක් කියැවීමෙන් අනතුරු ව ඒ ගැන පැවසිය යුතු කාරණයට අදාල ශාස්ත‍්‍රීය නිමිත්තක් සොයා ගැනීමට අවසානයේ දී මම සමත් වීමි. කතුවරිය විසින් සිය නිර්මාණය සඳහා තෝරා ගෙන තිබෙන සිද්ධිදාමය ගලා යාමට ඈ විසින් ගොනු කොට තිබෙන කාල – අවකාශය කෘතියට ආත්මය ලබා දුන් කතුවරිය හෝ ඒ ගැන කථා කරන මම හෝ ඊට සවන් දෙන ඔබ හෝ අන් කවරෙකු විසින් හෝ පසක් නොකරන ලද්දකි. එහෙයින් සිඳු මෙහෙසි කෘතිය ප‍්‍රදීපාගේ ස්වයංජනන ආත්මීය නිර්මාණ අනන්‍යතාව පිළිබිඹු කරන කෘතියක් වුව ද ප‍්‍රවේණියෙන් එය අයත් වන්නේ අතීතය ප‍්‍රතිනිර්මාණය කිරිමේ සම්ප‍්‍රදායට ය. පුරාවිද්‍යාඥයා ද අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයක යෙදී සිටී. ඒ අතීතයට අයත් ද්‍රව්‍යාත්මක සාක්ෂි මත පිහිටා ඒ අනුව කටයුතු කිරීමෙනි. එහෙයින් එය ශාස්ත‍්‍රීය වූත් ආනුභවික වූත් විෂයමූලික ව්‍යායාමයකි. සිඳු මෙහෙසි කෘතියේ කතුවරිය ද අතීතය ප‍්‍රතිනිර්මාණය කළ හැකි තවත් මානයක් අප වෙත පෙන්වා දෙයි. ඒ සාහිත්‍යමය පරිකල්පනයයි.

මා මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ පුරාවිද්‍යාඥයා වුව ද අතීතය ප‍්‍රතිනිර්මාණ කිරීමේ දී ඔහුගේ දෘඪ ජීවමුක්ත න්‍යායවාද sindu-mehesi-geethangani-pradeepa-serasinhe-sinhala-novel-archaeeology-lkසහ ක‍්‍රමවේද අතර කිසියම් පරිකල්පනාත්මක තලයකට එලැඹෙන බවයි. පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපනයක මානුෂික අර්ථය වඩාත් උත්සන්න ලක්ෂ්‍යයකට ලඟා වන්නේ පුරාවිද්‍යාඥයාගේ උසස් ප‍්‍රතිභාපූර්ණත්වය එහි පදනම බවට පත් වූ විට ය. ඕනෑම විෂය මූලික බුද්ධිමය ව්‍යායාමයක් පිටුපස මනෝ මූලික ප‍්‍රවේශයක් පවතින බව ගැඹුරු විමර්ශනයක දී අප කා හටත් ප‍්‍රත්‍යක්ෂ වනු ඇත. අතීතයට අයත් සිද්ධියක් හෝ පුද්ගල චරිතයක් තේමාව ලෙස සැලකූ නිර්මාණශීලී සාහිත්‍ය පරිකල්පනය දී හෝ වේවා, ගෙවී ගිය කාලය සම්බන්ධයෙන් ගොඩ නගන අතිශය න්‍යායාත්මක ආනුභවික විෂයමූලික ව්‍යායාමයක දී හෝ වේවා සාහිත්‍යකරුවා මෙන්ම පුරාවිද්‍යාඥයා ද අතීතය පිළිබඳ සිය සංවේදීතාවේ ස්වරූපය කෙබන්ඳක් දැයි පිළිබිඹු කරයි. එහෙයින් අසංජානනීය කාල-අවකාශයක් සංජානන තලයකට පත්වන ආකාරය දෙස මදක් හැරී බැලීම මේ අවස්ථාවේ දී වඩා සුදුසු යැයි මවිසින් කල්පනා කරන්නේ එය ප‍්‍රදීපාගේ නිර්මාණ කෘතිය ඇගැයීමට තවත් කවුළුවක් තනනු ඇතැයි යන විශ්වාසය නිසාම පමණක් නොවේ.

නවකථාව හෝ වේවා සිනමා නිර්මාණ හෝ වේවා පසුගිය කාලපරිච්ඡේදය මෙ රට බිහි වූ ඇතැම් නිර්මාණවලට අතීතය යන තේමාව පසුබිම් වූ අතර තවදුරටත් එසේ වීමේ ප‍්‍රවණතාවක්ද දකින්නට තිබේ. වර්තමානයේ ජීවත් වන අපි සියලු දෙනා ම අතීතය ගැන යුහුසුළු වීමට පෙලැඹී සිටිමු. මෙහි දී අතීතය යනුවෙන් මා අදහස් කරන්නේ කෙනෙකුගේ මතකයට සෘජුව ම හසු නොවූ කාලයයි. පරමාදර්ශී ලෙස සලකන්නේ නම් සෑම පරම්පරාවක්ම ඔවුන්ගේ පූර්වප‍්‍රාප්තිකයින්ගේ ප‍්‍රවේණිය පිටපත් කිරීමේත් (duplication) ප‍්‍රතිනිෂ්පාදනය (reproduction) කිරීමේත් නියැලෙයි. අතීත කාමය හෙවත් නොස්ටැල්ජියාව පිළිබඳ කාංසාව අප තුළ සනාතනිකව පවතින්නේ මේ කරුණු පදනම් කොට ගෙන ය. අතීතය සිය නිර්මාණ ගොඩනැගීම සඳහා භාවිත කරන අන් අය මෙන්ම සිඳු මෙහෙසි කතුවරිය ද විවිධාකාර සමාජ-දේශපාලනික හැලහැප්පීම්වලට ගොදුරු වෙමින් ඒවා විඳ දරා ගනිමින් ජීවත් වීමට අප කාහටත් සිදුව තිබෙන කාලයක ඒ සියල්ල ගැන කිසිදු සංවේදීතාවකින් තොර ව සිය කෘතියට ඓතිහාසික කාල-අවකාශයක් පාදක කර ගෙන තිබෙන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය ගැන මම කල්පනා කළෙමි.

බැලූ බැල්මට ඉතා සරල වූත් එ මෙන්ම එම කෘතිය රසවිඳීමට කිසිසේත්ම අදාල නොවන්නා වූත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ලෙස එය පෙනෙන්නට ඉඩ ඇතත් ඇත්තෙන්ම ඒ ප‍්‍රශ්නයට සොයා ගන්නා පිළිතුර තුළ කිසියම් ගැඹුරු දාර්ශනික චින්තාවක් ඇතැයි යන්න මම විශ්වාස කරමි. ඊට සවන් දීමෙන් එසේ සිතන්නට ඔබට ද පෙලැඹවීමක් ඇති වේ යැයි මම කල්පනා කළෙමි.

ඓතිහාසික අතීතය යනුවෙන් අපට දැනෙන්නේ අප විසින් සෘජුව ම ප‍්‍රත්‍යක්ෂ නොකළ කාලයට අයත් අනන්ත සිදුවීම් අතරින් මතකයේ රැඳුනු හෝ එසේ නොවේ නම් මතක තබා ගත හැකියාවකින් යුත් විශේෂ තෝරා ගැනීම් සමුදායයකි. එහෙයින් ඕනෑ ම ව්‍යුහගත වාස්තවික සමාජ අතීතයක විශිෂ්ටත්වය යනු ඒ සමාජය මගින් අතීතයෙන් ඉල්ලා සිටින අවස්ථා සහ සිද්ධි මත පදනම් වන ගොඩනැගීමක් ලෙස පිළිබිඹු වෙයි.

ව්‍යුහගත සමාජ අතීතය (formalized social past) යනු, එහි මතුපිටින් පෙනෙන පුද්ගලයින් සහ සිද්ධි ඉක්මවා යන ඇගැයුම් (norms), වටිනාකම් (values) සහ පර්යාවලෝකනවලින් (perspectives) සමන්විත වූවකි. අපට මෙය අපගේ ඓතිහාසික අත්දැකීමට අයත් එක් පැහැදිලි නිදසුනක් ඇසුරින් විමසා බැලිය හැකි ය. දුටුගැමුණු රජු යනු අපගේ වර්තමාන ව්‍යුහගත සමාජ අතීතය තුළ පිළිබිඹූ වන සවිස්තරාත්මක ඓතිහාසික අවධානයකි. සිත්තරුන් විසින් අඳින ලද පැරණි රජදරුවන්ගේ් කාල්පනික සිතුවම්වලින් අප තුළ හට ගෙන තිබෙන සංවේදනය නොවන්නට දුටුගැමුණු යන සංඥාව මගින් කිසිදු විශේෂ භෞතික රූපයක් අප තුළ සංජානනය නොවේ. ඊට ඔබ්බෙන් ඒ ඓතිහාසික චරිතය මගින් අප තුළ දල්වන්නේ එකී චරිතය වටා ගොඩ නඟා තිබෙන ඇගැයුම් සහ වටිනාකම් සමුදාය යි. ඓතිහාසික ලේඛන මගින් විස්තර කර ඇති පරිදි රට එක්සේසත් කිරීම, මහාස්තූප ගොඩනැගීම, පින්පොත් ලිවීම, ආදි සිදුවීම් අනුසාරයෙන් එරජුගේ භෞතික ස්වරූපය කුමක්ද යන තේරුම් ගැනීමට ඇතිවන පෙලැඹවීම අබිබවා එම ඓතිහාසික චරිතයේ පදනම මත විකාශය කෙරෙන අස්පෘෂ්‍ය සංකේතාවලියක් වෙත අප සංවේදී වේ.

dutugemunu-elara-combat-dambulla-sri-lanka
එළාර – දුටුගැමුණු යුද්ධය (දඹුළු විහාරෙය් සිතුවමකි)

ඇත්තෙන්ම අතීතය, වර්තමානය උදෙසා ආකෘතියක් බවටත් ඇගැයුමක් බවටත් පත්වන්නේ ඓතිහාසික වශයෙන් ගොඩ නගන්නා වූ ද පරම්පරාවෙන් පරම්පරාවට මතක තබා ගන්නා වූ ද එ වැනි සංකේත සහ එකී සංකේත අනුසාරයෙන් ගොඩ නගා ගන්නා සමාජ-දේශපාලනික ව්‍යාඛ්‍යානයි. අප තුළ පවතින අතීත සංවේදීතාව පිළිබඳ හැගීම සම්බන්ධයෙන් වැදගත් වන තවත් සංකල්ප දෙකක් මෙහි දී ඉස්මතු කිරීම සුදුසු යැයි මම සිතමි.

ඉන් පළමු වැන්න පෙළපත පිළිබඳ කල්පනාවයි. මා එම යෙදුම මෙහිදී භාවිත කරන්නේ ඉංග‍්‍රිසී භාෂාවේ එන geneaology යන පදයේ අර්ථය දැනවීමට ය. විශේෂයෙන්ම ජාතික රාජ්‍ය වර්ධනය වීම, ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවක් තුළ සුළුතර වාර්ගික කොටස් බලවත් වීම හෝ බහු-සංස්කෘතික සංදර්භවල අන්තර්-වාර්ගික ආතතීන් වර්ධනය වීම, බලය නෛතීකරණය ආදී පුළුල් සමාජ-දේශපාලනික ක‍්‍රියාවලීන් තුළ එක් සංස්කෘතික අනන්‍යතාවන් බුක්ති විඳින ජනකණ්ඩායම් අතීතය යනු තමන් පිළිබඳ සමස්තාර්ථ අඛණ්ඩතාවක් (collective continuity) ලෙස කල්පනා කිරීම සුලභ අත්දැකීමකි. අපේ රටේ තිබෙන ඇතැම් සෙල්ලිපි මෙම අදහස් පිළිබිඹු කරන ඉතා හොඳ දර්ශකයකි. ක‍්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සහ දෙ වන සියවස්වල මෙ රට රචනා වූ ඇතැම් සෙල්ලිපි ඒවා කර වු රජු හඳුන්වා දීමේ දී ඒ සඳහා දීර්ඝ වැකියක් භාවිත කර තිබේ. තමා අහවල් රජුගේ මුණුබුරා බවත් අහවල් රජුගේ පුත‍්‍රයා බවත් එහි කියා තිබේ. ඉන් කියැවෙන්නේ අදාල රජුගේ පාරම්පරික අඛණ්ඩත්වය යි. පාලනයට තමන් සතුව ඇති බලයේ උරුමය නෛතීකරණය සඳහා අතීතයෙන් සිය පෙළපතට අදාල අඛණ්ඩත්වය උපුටා ගැනීම ඇත්තෙන්ම ඉතිහාසය ප‍්‍රාග්ධනයක් ලෙස සැලකීමෙන් අතීතය වර්තමානය මත ප‍්‍රක්ෂේපණය කිරිමකි.

අතීතය වර්තමානයට සංවේදී වන දෙවන ක‍්‍රමය නම් එය අඛණ්ඩ කාලප‍්‍රවාහයක් සේ සලකා කටයුතු කිරීමයි. ඔබ ඔතැන ම හිඳ ඔබේ ඉතිහාසය ගැන කල්පනා කරන්නේ නම් එය ඔබට දැනෙන්නේ විවිධ සිද්ධීන්ගේ දෛශික චලනයක් ලෙස ය. එ නම් අප‍්‍රමාණ සිද්ධි ගණනාවක් එකින් එක පිටිපස පෙළ ගැසී ඇති රේඛීය අනුපිළිවෙලක් පරිද්දෙන් ඈතක සිට මෑතක් දක්වා ගලා එන්නක් ලෙස ය. රජකාලේ, කෝපි කාලේ, සුද්දගේ කාලේ සහ අද කාලේ ආදී වශයෙන් භාෂාත්මක යෙදුම් අතීතයේ විවිධ කාලවකවානු හැඳින්වීමට සාමාන්‍ය ජනයා අතර භාවිත වන ආකාරය අපට සුපුරුදු ය. ඔවුන් තමන් සහජයෙන් ලද සංජානනය හරහා අතීතය පරිකල්පනය කරන්නේ එ ලෙස ය. රජ කාලයට පසු කෝපි කාලය පැවති බව දැනගැනීමෙන් අතීතය යනු සිද්ධි පිළිබඳ රේඛීය අන්වයක් බව ඔවුන් වටහා ගෙන තිබෙනු පෙනේ. මේ නිසාම අපට සෘජුව අත්දැකීමක් නොවූ කාලය ගැන අප කවුරුන් තුළත් යම් තිගැස්මක් තිබේ. එය මවිතය, කුතුහලය, කාංසාව ආදී නෙකවිධ මනෝභාව සමග පැන නගින සංකීර්ණ තත්ත්වයකි. අතීතය ගැන අප තුළ හට ගන්නා තිගැස්ම වනාහී ඉතිහාසය වර්මානයේ දී භාවිත කරන ආකාරයේ තීව‍්‍රතාව සහ ආකෘතියේ ස්වභාවය නිර්ණය කරන්නකි. අතීතය සම්බන්ධයෙන් නිර්මාණය වන මෙම තිගැස්මීය අගය (shock- value) අතීතයට එබී බැලීමේ පෙලැඹීමක් අප තුළ දල්වයි.

geethangani-pradeepa-serasinhe-sinhala-novel-sindu-mehesi-archaeeology-lk
ගීතාංගනී ප‍්‍රදිපා සේරසිංහ

මා කල්පනා ආකාරයට සිඳ මෙහෙසි කෘතිය විකාශය වන්නේ අතීතය පිළිබඳ කතුවරිය තුළ හට ගන්නා තිගැස්ම නිර්මාණාත්මක ඇගැයීමක් බවට පරිවර්තන කරන්නට ඇය විසින් දරන සාධනීය වෑයම හරහා ය. ඇය මෙම කෘතිය රචනා කරන්නේ අප කා හටත් සංජානනය වන වර්තමානය තුළ බැවින් තමා විකාශනය කරන අතීත සිදුවීම වර්තමාන පර්යාවලෝකනයෙන් බෙදා වෙන් කීරීමට ඇය සිය කෘතිය තුළ මහත් උත්සාහයක් දරා තිබේ. ඒ සඳහා කතුවරියගේ වෑයම ඇය භාවිත කොට තිබෙන පුද්ගලනාම සහ ඇතැම් වෙනත් භාෂාත්මක යෙදුම්වලින් තහවුරු වේ. අපට නුහුරුනුපුරුදු අතීතය අපට වඩාත් හොඳින් හුරු පුරුදු වර්තමානයට වඩා හාත්පසින්ම වෙනස්ය යන හැඟීමක් අප තුළ තිබේ.

ලෝවාමහාපායේ දැවැන්ත ගල්කණු යෝධයින් විසින් තනන ලද ඒවා යැයි සිතමින් ඒ නටබුන් ගොඩනැඟිලි ආස්වාදනය කරන අහිංසක බැතිමතුන් තවමත් අප අතර ජීවමාන ය. මෙම විෂයයට අදාල ව 1985 වසරේ දී අගනා පොතක් පළ කළ ෙඩ්විඞ් ලොවෙන්තාල් කියා සිටියේ අප සියලු දෙනාට අතීතය දැනෙන්නේ අපට නුහුරු විදේශීය රටක් ගැන හැගෙන අයුරින් බව ය. ඔහු සිය කෘතියේ උද්ධෘතය ලෙස යොදන ලද්දේ The Past is a Foreign Country යන පාඨය යි. සිඳු මෙහෙසි කතුවරිය සිය නිර්මාණය තුළ අප තුළ පවතින එම කාංසාව දුරු කරන්නේ මනුෂ්‍යත්වයට පොදු හැඟීම් සමුදායයක් ඓතිහාසික චරිතවලට ආදේශ කිරීමෙනි. කෘතියේ එන ශර්වරීලා වරුණදත්තා ඡත‍්‍රා ආදීන් අපට ආගන්තුක නොවන්නේ ඒ නිසායැයි මම සිතමි. එ මෙන්ම ඓතිහාසික තේමාවක් වර්තමාන අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමේ දී නිර්මාණකරුවෙකුට හැසිරිය හැකි වඩාත් පුළුල් සීමා මොනවාදැයි යන කාරණය මැනවින් අවබෝධ කර ගැනීමට සමත්වීම මෙම කෘතිය තුළ දක්නට තිබෙන එක් විශේෂ ප‍්‍රවණතාවකි. අවසාන වශයෙන් මා කිව යුත්තේ අප සියළු දෙනා මෙන්ම ප‍්‍රදීපා ද අතීතය දැකීමෙන්, පරිකල්පනය කිරීමෙන් යම් තිගැස්මකට ලක් වී ඇති බව යි. එහෙත් ඈ ඒ සම්බන්ධයෙන් අපට වඩා වෙනස් ඇගේ නිර්මාණාත්මක ආත්මය මගින් ඒ තිගැස්ම ආනන්දයක් බවට පත් කර තිබෙන නිසා ය.

ඉඳහිට දිනෙක ගමේ උපාසකම්මලා සමග අනුරාධපුරයේ වන්දනාවේ ගොස් කලබලවලින් මිදුනු මොහොතක තිසාවැවේ වැව් කණ්ඩිය මතට වී ඈත සිතිජයේ පෙනෙන මහවෙහෙරවල කොත් කැරළි බලමින් නිසොල්මනේ අතීතය ආනන්දයෙන් වැළඳ ගන්නා සේ සිතන්නට කතුවරිය අපට අතීතයේ එක් ඉසව්වක් සාහිත්‍යමය මාවතක් ලෙස නිමවා දී තිබේ. ප‍්‍රදිපා සිය කෘතිය අවසන් කිරීමට තෝරා ගත් ඡේදයෙන්ම මම මගේ කථාව අවසන් කරමි.

… ඉදින් නැඟ එන්නට තනන ඉර මඬලේ මුදු කිරණ තිසාවැවේ දිය මත රඟනු සියල්ලෝ නිහඩව බලා සිටිය හ.

ඔබට මෙවැනි නිර්මාණ බිහිකිරීමට තවත් තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ගීතාංගනී ප්‍රදීපා ෙස්රසිංහ විසින් රචනා කරන ලද සිඳු මෙහෙසි නවකතාව 2014 පෙබරවාරි 20 වන දින දොරට වැඩුෙම් දී සිදු කරන ලද ෙද්ශනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.