රසික මුතුකුමාරණ

මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.

පැරණි ලිපිලේඛන අධ්‍යයනය මදක් විඩාබර අලස කටයුත්තක් ලෙස සලකන අවස්ථා ඇතත් එමගින් පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට ලබාගත හැකි ප‍්‍රයෝජන අතිමහත් ය. මෙම ලිපිලේඛන අතර, පැරණි පුවත්පත් කියවීම එක්තරා ආකාරයක විනෝදාත්මක ආකර්ශනීය කාර්යයක් වන අවස්ථා ද වේ. වසර 50-100 පෙර පුවත්පතක ඇති ලිපි, පුවත් හා සමාජ තොරතුරු කියවීම රසවත් කාර්යයකි. එ කල සමාජ සිදුවීම් හා ප‍්‍රවෘත්ති වර්තමානය හා සැසදීමේ දී දැකිය හැකි වෙනස් වීමේ ප‍්‍රවනතාව මෙන් ම පුවත්පතේ ඇති බස්වහර ද ලේඛන ශෛලිය ද විවිධ වේ. මෙම පුවත්පත් වල ඇති තොරතුරු ජලාශ‍්‍රිත පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වන ආකාරය, ඉන් ඇති ප‍්‍රයෝජන හා එවන් ප‍්‍රවෘත්තියකින් හෙලිවුණු අපූර්ව සිද්ධිමාලාවක් පිළිබඳ තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබේ.

Earl-of-Shaftsbury-mau-galle-rasika-mutukumarana-sri-lanka
අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නෞකාවේ පසුපස කොටස

Earl-of-Shaftsbury-mau-galle-rasika-mutukumarana-sri-lanka (1)

හික්කඩුව වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් කිමිදුම් ස්ථාන අතර, අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි (Earl of Shaftsbury) නම් ගිළුණු නෞකාව ද වේ. මීටර් 14 පමණ ගැඹුරු දියේ වැලි තලාවක් මත වැතිර පවතින මෙම විශාල ලෝහනෞකාව එහි ස්වභාවයත් ඒ වටා ගැවසෙන විසිතුරු මත්ස්‍ය රංචුත් නිසා ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම නෞකාව පිළිබඳව දක්නට ලැබුණු තවත් තොරතුරක් වන්නේ එය රුවල් භාවිත කල ලෝහමය යාත‍්‍රාවක් (Iron Sailing Vessel) බවයි. එ නම් පැරණි යුගයේ දැවමය රුවල් යාත‍්‍රාත් එහි දෙවන යුගය වන වාෂ්ප බලයෙන් යාත‍්‍රාකල හැකි ලෝහ නෞකා යුගයත් අතර, වන සංක‍්‍රාන්ති සමයට මෙම නෞකාව අයත් වීමයි. හික්කඩුව ප‍්‍රදේශයේ ගිළුණු නෞකා හා පුරාක්ෂේත‍්‍ර අලලා ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය ආරම්භ කළ සමීක්ෂණ කටයුතු ද සිදු කෙරෙමින් පවතින අවධියක මෙම නෞකාව වෙත ද අවධානය යොමුවිය. එහෙත් මෙම නෞකාව පිළිබඳව දැනගැනීමට හැකි වූ තොරතුරු ඉතා මඳවිය. ඒ අවට ජීවත්වන කිමිදුම් කණ්ඩායම් වෙතින් විමසීමේ දී ද මෙය 1893 දී ගිලිගිය බව පමණක් ඔවුන් දන්නා බව පවසන ලදී. මේ පිළිබඳව තොරතුරු සොයා කළ සමීක්ෂණ ඵල රහිත වු හෙයින්, 1893 වසර පදනම් කරගෙන එය ගිළුණු දිනය සොයා පුවත්පත් සමීක්ෂණයක් කිරීමට තීරණය විය. නැව ගිළුණු මාසයවත් නොදැන සිටීම හේතුවෙන් එම වසරේ සෑම පුවත්පතක්ම පරීක්ෂා කිරීමේ එනම්, එක් වර්ගයක පුවත්පත් 365ක් පරීක්ෂා කිරීමේ අභියෝගය පැවතින. මීට සමකාලීනව මෙම නැව පිළිබඳව තොරතුරු සොයමින් සිටි පුරාවිද්‍යා (විශේෂ) උපාධි අෙප්ක්ෂක සිසුවෙකුගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයට ලැබී තිබුණි. තොරතුරු සොයා අප ආයතනයට පැමිණි නිශාන්ත කුමාර නම් එම ශිෂ්‍යයා පුවත්පත් පරීක්ෂා කිරීමේ කාර්යය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලදි. ක‍්‍රමානුකූලව පුවත්පත් පරීක්ෂා කල යුතු වූ අතර එම පුවත්පත් වල ලිපිලේඛන හා ප‍්‍රවෘත්ති පෙළ ගස්වා තිබූ ආකාරය අධ්‍යයනය කිරීමෙන් පසු වඩා අඩු කාලයකින් පුවත්පතක් පරීක්ෂා කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට ලැබිණ. වර්තමාන පුවත්පතක ප‍්‍රධාන ප‍්‍රවෘත්ති, දේශපාලන පුවත්, ආර්ථික හෝ ක‍්‍රීඩා පුවත් ඇති ස්වභාවය පිළිබඳ අපහට දැනුමක් ඇත්තා සේම එ කල පුවත්පත් වල ද පුවත් වර්ග වෙනවෙනම පෙළගස්වා තිබෙනු දක්නට හැකි වේ.

එම වසර පුරා අඛණ්ඩව නිරීක්ෂණය කල හැකිව තිබූ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු එක්ස්සැමිනර් (Examiner) පුවත්පත මේ සඳහා තෝරාගන්නා ලදී. ක‍්‍රමානුකූලව පුවත්පතින් පුවත්පත පරීක්‍ෂාකිරීමේ දී මෙම නෞකාව අනතුරට පත්වීම පිළිබඳව පළ වූ පුවත සොයාගැනීමට හැකිවිය. ඉන්පසු දින කිහිපයේ ම එම පුවත්පත මෙම අනතුර හා නැවේ විස්තර වාර්තා කර තිබෙනු දක්නට ලැබිණ. අනතුර පිළිබඳව මෙන්ම එය වටා පෙළගැසුණු අනෙකුත් සිද්ධීන් ද විශේෂ ප‍්‍රවෘත්තිමය ආකර්ෂණයක් ලෙසින් පළ වී තිබූ අතර, එමගින් එ කල සමාජයේ වු ගැටළු හා ආකල්ප පිළිබඳව තොරතුරු රාශියක් විමර්ෂණය කිරීමට හැකිවිය.

Earl-of-Shaftsbury-mau-galle-rasika-mutukumarana-sri-lanka (2)එක්ස්සැමිනර් (Examiner) පුවත්පත

සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය මෙම නෞකාව අධ්‍යයනය කිරිම සඳහා මූලික කිමිදුම් කටයුතු 2008 ජනවාරි මස දියත් කරන ලදී. ඉන් පසුව එම වසරේ මාර්තු හා අපේ‍්‍රල් මාසයන්හි දී මෙම පුරාක්ෂේත‍්‍රයේ මූලික මිණුම් කටයුතු හා වාර්තා ගත කිරීම් කටයුතු UNESCO ක්ෂේත‍්‍ර පාසලේ ක‍්‍රියාකාරකම් අතරතුර ලැබී තිබුණු සීමිත කාලසිමාව තුළ සිදු කරන ලදි. වැලි සහිත මුහුදු පතුලේ වම් ඇලයට හැරි වැතිර පවත්නා මෙම විශාල නෞකාව දැඩි ලෙස හානියට පත්ව කැඩිබිදී ගොස් ඇති බව දක්නට ලැබිණි. එහෙත් නෞකාවේ පසුපස කෙරවලේ සිට ඉදිරිපස දක්වා කොටස් තවමත් එකිනෙකට සම්බන්ධව තිබෙනු දක්නට ලැබිණ. මෙම විශාල යකඩ කඳන් විනාශ වී ඇත්තේ නැව ගිලියාමේ දී සිදු වූ අනතුරින් හා කාලයාගේ ඇවෑමෙන් පමණක් නොව පසුකාලීනව පුරාවස්තු හා යකඩ ලබා ගැනීම සඳහා කරන ලද විනාශයන් මගින් ද බව දක්නට ලැබිණ.

කොළඹ වරාය වෙත කිහිප වරක්ම පැමිණ පළපුරුදුකම් සහිත අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නෞකාව 1893 මැයි මස පැමිණ තිබුනේ බොම්බාය වරායේ සිටය. ඇමරිකාවේ නිව්යෝර්ක් වරායේ සිට පැරෆින් තෙල් තොගයක් රැගෙන බොම්බායට පැමිණි නැව එම තෙල් ගොඩබෑමෙන් පසුව කොළඹ වරාය හරහා රැන්ගුන්හි ඩයමන්ඞ් දූපත් වෙත යමින් තිබුණි. මැයි 8 දින උදෑසන 3ට පමණ රළු මුහුදේ දියවැලකට හසු වෙමින් තම ගමන් මගින් ඉවතට ඇදී ගිය නෞකාව අම්බලන්ගොඩත් අකුරළත් අතර, වෙරළේ සිට කි.මී. 1 1/2පමණ දුරින් වු ගල් පරයක ගැටි තිබිණ. රළ පහරට හසුව දෙතුන් විටකම පරයේ හැපුණු නෞකාව නැවත දියඹට ගැනිමට සමත් වුව ද සිදු වූ ගැටීම හේතුවෙන් ඇති වූ සිදුරු වලින් විශාල වශයෙන් ජලය කාන්දු වීමට පටන් ගෙන තිබුණි. ඉන් පසුව ඉතා කෙටි වේලාවක් තුළ නෞකාව ජලයේ ගිලීගොස් තිබුණි. ඉන් පසුව ඇති වු සිද්ධින් පෙළ අතිශයින් උද්වේගකර විය. ඒ වනවිට ජලයෙන් මතුව තිබූ කුඹගස් මත එල්ලෙමින් දිවි ගලවා ගැනීමට නැවියෙක් උත්සාහ දරන ලදී. අකාරුණික සැඩපහරට හසුව විටින්විට ඔවුන් මුහුදට වැටුණු බවට සිද්ධිය මුහුණ දී දිවි බේරාගත් නැවියන් පවසා තිබිණ. එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක් දියත් කිරීමට නැවේ දෙවන නිළධාරීයා සමත් වූ අතර, එයට ගොඩ වූ 14 දෙනෙකු ගොඩබිම බලා යාත‍්‍රා කිරීමට පටන් ගත්හ. එහෙත් අවාසනාවන්ත අයුරින් වෙරළට මීටර 150 පමණ දුරින් තිබියදී රළකට හසුවූ බෝට්ටුව සම්පූර්ණයෙන්ම අනෙක් පස පෙරළීගොස් තිබිණ. අනතුරට හා වෙහෙසට පත්වූ පිරිසට මෙම කෙටි දුර පිහිනා යාමට පවා ශක්තියක් නොවීය. එමෙන්ම ඔවුන්ගේ යුරෝපීය ඇඳුම් ආයිත්තම් සමඟින් පිහිනීම අසීරු වු අතර ඔවුන් ගිලෙන්නට විය. වහා ක‍්‍රියාත්මක වූ පිරිස තම තමන්ගේ ඇඳුම් ගලවා දමා දිවි රැක ගැනීමට වෙරළට පිහිනන්නට විය. වෙරළට ළඟා වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කෙළින් සිට ගැනීමට වත් ශක්තියක් නොවූ බව ද කිහිපදෙනෙක් කම්පනයට ලක් ව අවසිහියෙන් පසු වූ බව ද වාර්තා වී තිබිණ. එමෙන්ම ඔවුන් සතුව කිසිදෙයක් නොවූ අතර බොහෝ දෙනෙක් නිරුවතින් පසුවිය. පසුව ඔවුන් සඳහා ප‍්‍රදේශවාසීන් ඇඳුම් සපයන ලදී.

Earl-of-Shaftsbury-mau-galle-rasika-mutukumarana-sri-lanka (3)ගවේෂණයට සහභාගී වූ පිරිස – මුහුදු පුරාවිද්‍යා ඒකකය

නැව ගිළුණු ස්ථානයේ ගැඹුර මීටර 14 ක් පමණ වූයෙන් දියෙන් මතුව තිබූ ප‍්‍රධාන කුඹගස් දෙකේ කොටස් මත එල්ලී සිටි පිරිස බේරා ගැනිම සඳහා ප‍්‍රදේශයේ ධීවරයින් හට පැවසුව ද ඔවුන් එයට අකමැති වූ බවත්, එතැනට පැමිණ සිටි රජයේ ඒජන්තවරයා බලකර කී විට විශාල මුදලක් ඒ සඳහා ගෙවන්නේ නම් පමණක් ඔවුන් යාමට කැමැත්ත ප‍්‍රකාශ කර සිටි බවත් පුවත්පත් වාර්තා කර තිබිණ. මෙම ක‍්‍රියාව පුවත්පත් කිහිපයකම පළ වී තිබූ අතර එය අම්බලන්ගොඩ දේශීය ජනතාවගේ පහත් හා මනුෂ්‍යත්වයට නොගැලපෙන ක‍්‍රියාවක් බවත් වාර්තා කර තිබිණ. පසුව මුදල් ගෙවීමට පොරොන්දු වීමෙන් පසු නැවේ කොටස් වල එල්ලී සිටීමට සමත් වූ නැවියන් සියළු දෙනා වෙරළට රැගෙන විත් අම්බලන්ගොඩ තානායමෙහි හා ඒ අසල වූ ඕලන්ද බංගලාවක නවාතැන් සපයන ලදී.

මෙම සිදුවීම් පෙළ, එය වාර්තාකර ඇති ආකාරය හා එම ලේඛන ශෛලීය අධ්‍යයනය කිරීමේ දී එකල පසුබිම හා පුවත්පතේ වාර්තා නොවූ බොහෝ දේ සොයා ගැනීමට හැකියාව ලැබේ. මෙකල යටත් විජිත පාලන තන්ත‍්‍රය හා යුරෝපීය ජනතාව කෙරේ දේශීය ජනතාවගේ දැඩි විරෝධයක් පැවති සමයකි. විශේෂයෙන්ම දකුණු ප‍්‍රදේශයේ පහතරට ජනතාව අතර මෙම විරෝධය තවත් වැඩිවී තිබිණ. එය අනෙක් පාර්ශවයෙන් ද එනම්, යුරෝපීය ජාතීන් වෙතින් ද දක්නට ලැබිණ. එනම් දේශීය ජනතාවගේ ඇඳුම් ලබා දුන් බව ද ඔවුන්ට ඇඳුමින් එම දිනය පුරා සිටීමට සිදු වූ බව පුවත්පත දින කිහිපයකදීම පුනපුනා වාර්තා කර තිබේ. එසේ සිටීමට සිදුවීම යුරෝපීන් හට මහත් අපහසුතාවක් ද අවමානයක් ද වූ බව මෙයින් හුවා දක්වන ලදී. මේ තත්වය වහාම නැව අයිති සමාගම වූ Messrs Carglill & Co (මෙසර්ස් කාර්ගිල් සහ සමාගම) වෙත දන්වන ලදුව ඔවුන් පසු දිනම කොළඹින් යුරෝපිය ඇඳුම් කට්ටල, සපත්තු හා හිස් වැසුම් 40 බැගින් අම්බලන්ගොඩට එවූ බව සඳහන් කර තිබේ. ව්‍යසනයට පත් වූ පිරිස බේරා ගැනීමට යාම ප‍්‍රතික්ෂේප කිරීම ශිෂ්ට සම්පන්න කටයුත්තක් නොවූ අතර, එයට පසුබිම් වූ සමාජ දේශපාලන තත්ත්වය ද සැලකිල්ලට ගත යුත්තකි. එමෙන්ම නැවේ කාර්ය මණ්ඩලය පිළිබඳව වාර්තා කිරීමේ දී ද සෑම විටම යුරෝපීයයන් හා එහි සිටි කළු ජාතිකයින් ගැන ද වෙනවෙනම පැවසීමෙන් එම භේදය වඩා කැපී පෙනේ. මියගිය පිරිස හා බේරාගත් පිරිස ගැන විස්තර කරන සැමවිටම ඔවුනගෙන් කීදෙනෙක් යුරෝපීය ජාතිකයින් ද කීදෙනෙකු ස්වදේශීය කළු ජාතිකයින් ද යන්න ප‍්‍රකාශ කිර තිබේ. අනතුරට පත් වූ නැවේ කාර්ය මණ්ඩලය 28 දෙනෙකු වූ අතර, එයින් 6 දෙනෙකු අනතුරින් දියේ ගිලී මියගොස් තිබිණ. එයින් තිදෙනෙකු යුරෝපීය යන් වූ අතර, අවාසනාවන්ත නැවේ කපිතාන්වරයා ද ඊට ඇතුළු විය. බේරාගත් පිරිසෙන් 5 දෙනෙකු යුරෝපීය ජාතිකයන් වූ අතර, අනෙක් පිරිස නැවේ සේවය කළ කළු ජාතිකයින් විය. නැව අනතුරට පත් වූ අවස්ථවේ නියමු කුටිය වෙත පැමිණි කපිතාන්වරයා එය බේරා ගැනීමට උත්සාහ දැරීම නිෂ්ඵල බව දැන දැඩි කම්පනයෙන් යුතුව තම කුටියට වැදී දොර වසාගත් බව අනතුරට ලක් වූ පිරිසෙන් එක් අයෙකු ප‍්‍රකාශ කර තිබිණ. මියගිය අයගේ සිරුරු සොයා ප‍්‍රදේශවාසීන් හා පොලීසිය වෙහෙසුණු අතර, දින තුනකට පසු ගොඩගම ප‍්‍රදේශයෙන් එනම්, විනාශ වූ නැවෙන් සැතපුමක් පමණ දකුණු දෙසින් කපිතාන්වරයාගේ සිරුර හමු විය. දැඩිලෙස විනාශ වී තිබූ සිරුර නැවේ ප‍්‍රධාන නිළධාරියා හා වඩු කාර්මිකයා විසින් හඳුනා ගනු ලැබිණ. මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව බලපිටියට ගෙන ආ දේහය ශාන්ත ජේම්ස් පල්ලියේ වූ සුසාන භූමියේ භූමදානය කරන ලදී. 1893 දි අවාසනාවන්ත අයුරින් ගිලී ගිය අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නම් මෙම නෞකාව වර්තමානයේ සිය ගණනක් දෙස් විදෙස් කිමිදුම් කරුවන්ගේ හා සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වුණු ස්ථානයකි. වැලිතලාවක් මත වැතිර තිබෙන මෙම යෝධ නෞකාවේ විහිදුණු කොටස් අතරින් කිමිදීයාමට මෙන්ම ඒ වටා රොක් වී සිටින දහස් ගණනක් විසිතුරු මසුන් නැරඹීමට ද සංචාරක කිමිදුම් කරුවන් රැගෙන යාම එම ප‍්‍රදේශයේ ජීවත්වන විශේෂයෙන්ම හික්කඩුව හා සීනිගම ප‍්‍රදේශයන්හි කිමිදුම් කණ්ඩායම් වල ජීවනෝපාය මාර්ගයක් ද වී තිබේ. කුඹගස් 4කින් සමන්විත මෙම යාත‍්‍රාව 1883 ස්කොට්ලන්තයේ ලෙයිත් (Leith) නම් ප‍්‍රදේශයේ රෙමේජ් සහ ෆර්ගසන් (Remage & Ferguson) සමාගම මගින් නිෂ්පාදනය කර තිබේ. අඩි 289.6 දිගින්, අඩි 42.1 පළලින් හා අඩි 24 උසින් යුතු නැව් බඳකින් සමන්විත මෙය ලන්ඩන් වරායට අයත් වු අතර, ඩි. බ‍්‍රවුන් සහ පුත‍්‍ර සමාගම (D. Brown & Sons) මගින් කළමනාකරණය කරන ලද්දකි. එමෙන්ම මෙම නැව ඉහළ අගයකින් හා වැදගත්කමකින් යුතු යාත‍්‍රාවක් ලෙස ලොයිඞ් සමාගමේ (Lloyds Register) ලියාපදිංචි කර තිබේ. බොහෝ වෙළෙඳ යාත‍්‍රා ලියා පදිංචි කිරීමේ හා රක්ෂණය කිරීමේ කටයුතු එම වකවානුවේ දී මෙම සමාගම මගින් සිදු කරනු ලැබීය.

අඩි පනහක හෙවත් මීටර 14-15 පමණ වූ ගැඹුරේ ගිළුණු යාත‍්‍රාව මදක් ඇළයට හැරී වැල්ල මත පිහිටා තිබී දෙවන දිනයේ දී නැවත සිරස් අතට හැරුණු අතර, කුඹගස් වල ඉහල කොටස් මුහුදු ජලයෙන් මතු වී තිබූ බව වාර්තා විය. දින කිහිපයකට පසුව එය වම් ඇළයට හැරී පෙරළී ගොස් වර්තමානයේ පිහිටා තිබෙන ආකාරයට පත්ව ඇත. 1893 වසරේ දී මෙම නැවේ වටිනාකම රුපියල් ලක්ෂ තූනකට ඇස්තමේන්තූ කර තිබූ අතර වෙළඳ ද්‍රව්‍ය ඉන්දිය වරායේ දී ගොඩබෑමෙන් පසු ලැබුණු විශාල මුදලක් ද, එනම්, නැව තවත් වෙළෙඳ ද්‍රව්‍ය මිළ දී ගැනීම සඳහා රැන්ගූන් වෙත යමින් තිබූ හෙයින්, මෙම නැවේ තිබී ඇත. හිස් නැව සමබර කිරීම සඳහා භාවිත කළ කළුගල් හෙවත් බැලස්ට් ගල් (Balast Stone) ඉන්දියොව් දී මෙම නැවට පටවා තිබූ අතර, එම ගල් අදත්ඒ ආශ‍්‍රිතව දක්නට ඇත. විටින් විට පුරාවස්තු සඳහා සහ යකඩ ලබා ගැනීම සඳහා කර ඇති විනාශයන් නැවේ දක්නට ඇති අතර, පුරාවිද්‍යා නීතිය අනුව මෙය නීතිවිරෝධී ක‍්‍රියාවක් වන අතර වසර 100 වඩා පැරණි හෙයින් ලංකාවේ නීති පද්ධතිය තුලින් මෙම ස්ථානය ආරක්‍ෂා වේ. මෙම ගිළුණු නැව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් පත‍්‍රයට ඇතුළු කර ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

Earl-of-Shaftsbury-mau-galle-rasika-mutukumarana-sri-lanka (4)ගවේෂණයේ දී සකසන ලද අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නෞකාවේ දළ රූප සටහනක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.