Chandima Bandara Ambanwala

ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව

Chandima Ambanwala

[2018.11.13 වැනි අඟහරුවදා දිනපතා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා සාහිත්‍ය සංග‍්‍රහයේ’ 2 වැනි පිටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එන්.ඒ. විමලසේන හෑලෝගම මහතා විසින් ‘ශ‍්‍රී ලාංකික බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ යන හිසින් යුතුව පළකර තිබූ ලිපිිය සඳහා පිළිතුරු ලිපියකි. පිළිතුරු ලිපිය සාපේක්ෂව දිගුබව හේතුවෙන් අදාළ පුවත්පතේ ඉඩ සපයා ගැනීම අපහසුතාව නිසා www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළකරන බව කාරුණික ව සලකන්න.]

පසුගිය 2018 නොවැම්බර් මස 13 වැනි අඟහරුවදා දිනපතා ලංකාදීප පුවත්පතේ ‘වීමංසා සාහිත්‍ය සංග‍්‍රහයේ’ 2 වැනි පිටුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති, ඉතිහාසය පිළිබඳ මහාචාර්ය එන්. ඒ. විමලසේන හෑලෝගම මහතා විසින් ‘ශ‍්‍රී ලාංකික බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ යන හිසින් යුතුව ලංකාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වෙන ලිපියක් පළ කර තිබිනි. 1980 දශකයේ අඟ භාගයේ දී ආචාර්ය Siran Upendra Deraniyagala මහතා විසින් අනුරාධපුරයේ ඇතුළු නගරයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් මඟින් අනාවරණය වූ මැටි බඳුන් මත සටහන් කළ බ‍්‍රාහ්මී අක්‍ෂරයන්ගේ පෞරාණිකත්වය ක‍්‍රිස්තු පූර්ව 2 වැනි සියවසින් ඔබ්බට ගමන් කළ නොහැකි බව මෙම ලිපියෙන් පෙන්වා දීමට උත්සාහ කර තිබිනි. එ බැවින් අපගේ ලිපිය මඟින් විමලසේන හෑලෝගම මහාචාර්ය තුමා විසින් ඉදිරිපත් කළ ලිපියේ අන්තර්ගත අදහස් කීපයක් පරික්‍ෂා කිරීමටත් එම කරුණුවල ඇති යෝග්‍යතාව පිළිබඳවත් සාකච්ඡා කිරීමටත් අපේක්‍ෂා කරනු ලැබේ. පූර්ව ලිපියේ අදහස් ගොනුකර ඇති අනුපිළිවෙළ අනුව ම මෙම ලිපියේ දී පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබේ.

විමලසේන හෑලෝගම මහාචාර්යතුමා තම ලිපිය ”ලක්දිව බ‍්‍රාහ්මී අක්‍ෂර කිනම් වකවානුවක මුලින්ම භාවිත වී ද යන්න තවමත් නොවිසදී ඇති ප‍්‍රශ්නයකි” යනුවෙන් දක්වා අවසානයේ දී ”මේ අනුව ශ‍්‍රී ලාංකේය බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පුරාවිද්‍යාත්මක සාධක අනුව ක‍්‍රි.පූ. හයවැනි ශතවර්ෂයෙහි නොව මහින්දාගමනය සි දු වූ ක‍්‍රි.පූ. තෙවැනි ශතවර්ශය බව සඳහන් කළ යුතුය” යනුවෙන් දක්වයි. මෙම ප‍්‍රකාශ දෙක එකිනෙක සංගත ‌‌නොවේ. එපමණක් නොව මෙයින් පළමු වැන්න ද සාවධ්‍ය අදහසක් බව අපගේ ලිපියේ ඉදිරියේ දී පෙන්වා දෙනු ලැබේ. මේ වන විට පිළිගත් පුරාවිද්‍යාත්මක ක‍්‍රම අනුව බ‍්‍රාහ්මී අක්‍ෂරයන්ගේ භාවිතය පිළිබඳ ඇති ගැටලුුව සැකයකින් තොරව සමර්ථනය වී ඇත. තවත් අතකින් ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව ජාතික මටට්මෙන් හෝ පිලිගත් පුරාවිද්‍යාත්මක ක‍්‍රමවේද පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ඇති අයෙකුට අනුරාධපුරයේ ඇතුළු නුවරින් අනාවරණය වී ඇති බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත නියැදීන්වල පෞරාණිකත්වය පිළිබඳ අදහස පිළිගැනීම කිසිසේත් ම ගැටලුු සහගත නොවේ.

බ‍්‍රාහ්මී ලේඛනයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ ”ලංකාවේ දක්නට ලැබෙන පැරණිම සාහිත්‍ය සහ අභිලේඛන සාක්ෂි ආශ‍්‍රය කරගෙන මේ පිළිබඳ නිගමනයකට පැමිණිය යුතුව ඇත” යනුවෙන් හෑලෝගම මහතා දක්වන අතර වර්තමානයේ වර්ධිතව ඇති මානව අතීතය සොයා බැලීමේ ශික්‍ෂණයන්ගේ ක‍්‍රමවේද අනුව එවැන්නක් සඳහා පවතින එකම ක‍්‍රමය එය පමණක් නොවන බවත් ලොව පුරා මෙවැනි අධ්‍යයන සඳහා විවිධ ක‍්‍රම වර්ධනය කර භාවිත කළ හැකි බවත් දැක්විය යුතු ව පවතී.

විමලසේන හැලෝගම මහාචාර්යතුමා තම ලිපියේ මුල් කාර්තුවේ දී ලංකාවේ මහින්දාගමනයට පූර්ව කාලයේ දී පැවති ලේඛන පිළිබඳ ව සාධක ගණනාවක් පෙළ ගස්වා දක්වා ඇති අතර එම කරුණු අනෙක් අතට එතුමාම දක්වන අදහස් වල ප‍්‍රතිපක්ෂය වීම පමණක් නොව Shiran Deraniyagalaයන්ගේ මතයට පක්‍ෂපාති කරුණු වීම ද දෛවෝපගත ය. දැරණියගල ආචාර්යතුමා විසින් දක්වා ඇති මතයට අනුපාත එම කරුණු මෙම ලිපියේ නැවත ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැත. මහාවංසයේ දැක්වෙන Errege Dutugemun විසින් මහාථූපය කරවන ලද බව සඳහන් කර දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදැයි සැලකෙන ගල්ටැම් ලිපිය (තවම සොයාගෙන නැතත්) බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් සටහන් කරන ලද පැරණිම ලිපිය විය හැකි බවට හෑලෝගම මහාචාර්යතුමා පෙන්වා දීමට උත්සාහ කරන අතර එවැනි ලිපියක් පැවතියා නම් එහි අක්‍ෂර නිශ්චිතව බ‍්‍රාහ්මි අක්‍ෂර විය හැකි බවත් එම ලේඛනය පැරණිම ලේඛනය විය හැකි බවත් නිගමනය කරන ලද්දේ කෙසේද යන්න පැහැදිලි නැත. එබැවින්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන තෙක් එකී අදහස හිතලුුවක් වශයෙන් සැලකීමට සිදු වේ.

ලංකාවේ අභිලේඛන විද්‍යාව පිළිබඳ ව විශිෂ්ට ප‍්‍රාඥයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් මහාවංසයේ දැක්වෙන Goian, errege හා සම්බන්ධයක් පෙන්වතැයි නිගමනය කරන ලද ගුහා ලිපිවලින් තුනක් තෝරාගෙන හෑලෝගම මහතා තම අදහස් දක්වා ඇත. එම පැරණිම ලිපි අයත් උත්තිය රාජ සමය (ක‍්‍රිස්තු පූර්ව 209-200 (?)) හෝ අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව තෙ වැනි සියවසේ අවසන් කාලයෙන් ඔබ්බට ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන ගමන් කළ නොහැකි බව දක්වා තිබීමෙන් හෑලෝගම මහාචාර්යතුමා ලංකාවේ අභිලේඛනයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ පූර්ව නිශ්චිත නිගමනයට එලැඹි සිටින බව තහවුරු කර දක්වයි. ලංකාවේ පවත්නා 2,000කට අධික පැරණිම ගුහා ලිපිවල පිටපත් පමණක් අධ්‍යනය කිරීමෙන් නොනැවතී එම ලේඛන පිහිටි ස්ථානයන්ගේ දී ම ඒවා පිළිබඳ ව ප‍්‍රමාණවත් අවධානයක් යොමු කරන විට පෙනී යන්නේ ඉහත දැක් වූ සෙල්ලිපි මහාවංශයේ දැක්වෙන රජවරු සමඟ ගැලපිය හැකි නමුත් ඊටත් වඩා පැරණි අභිලේඛන රැසක් ම ඒවා අතර පැවතිය හැකි බවයි. සමහර ස්ථානවල ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි හා දෙ වැනි සියවස් කාලයට නිශ්චිත වශයෙන් අයත් කළ හැකි ලෙන්ලිපිවලට යාබ ද ව අවම වශයෙන් ඊට වඩා වසර දෙතුන් සියයක් හෝ පැරණි ගුහා ලිපි පවතින බව පෙනී යයි. ලංකාවේ පැරණිම සෙල්ලිපි අතුරින් සාතිශය බහුතරය බුදුදහම සමඟ සබඳතාවක් දක්වන නමුත් එ වැනි සබඳතාවක් හඳුනාගත නොහැකි, අදාළ ලෙන්වල අයිතිය පමණක් හඟවනු ලබන, ඉතාම පැරණි ලක්‍ෂණ සහිත බ‍්‍රාහ්මී ලේඛන පැවතීමත් මෙම අදහස සඳහා අනුබල සැපයේ. මෞර්ය අසෝක අධිරාජයාගේ අදහස් ඇතුළු කරමින් සංග‍්‍රහ කර ඇති අශෝක ධර්ම ලිපි හා ඒවායේ කාල නීර්ණය සම්බන්ධයෙන් අභිලේඛනඥයින් හා ඉතිහාසඥයින් සැකයක් උපදවා නොමැති අතර ඒවායේ තථ්‍යතාව පොදුවේ පිළිගැනි ඇත. ඒ ලිපි වල සැලැස්ම හා අන්තර්ගතය පිළිබඳ සලකා බලන විට මැනවින් සංවිධානය කරන ලද සංකීර්ණ අදහස් කිසිදු බාධාවකින් හෝ අඩුවකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. ඒ අනුව, හෑලෝගම මහාචාර්යතුමාගේ නීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ ප‍්‍රභවය වූ අක්‍ෂර මාලාවක් කෙටි කාලයක් තුළ මෙතරම් වර්ධනීය තත්ත්වයක් අත්කරගත් ආකාරය පහදා දෙන්නේ නම් ඵලදායි බව ද අවධාරණය කරනු කැමැත්තෙමි. පසුගිය කාලයේ දී කල්තොට නිම්ණයේ සිදුකරන ලද ගවේෂණ තුළ දී මහින්දාගමනය පෙර කාලයට අයත් බ‍්‍රාහ්මී ලේඛන ගණනාවක් අනාවරණය කරගත හැකි වූ බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය Raja Somadeva මහතා අනාවරණය කර තිබුණු බවත් මෙහි දී සඳහන් කිරීම ඒ පිළිබඳ උනන්දු පාඨකයාට වැදගත් වනු ඇත.

විමලසේන හෑලෝගම මහාචාර්යතුමාට අනුව, ”ලංකාවේ බ‍්‍රාහ්මී අක්‍ෂරවල ප‍්‍රභවය ලෙස ඉතිහාසඥයින්ගේ මතය වනුයේ ක‍්‍රි.පූ. තෙවැනි සියවසයි” මෙම වාක්‍යයෙන් ප‍්‍රකාශ වන ආකාරයට බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ප‍්‍රභවය ලබා ඇත්තේ ලංකාවේ ද? අභිලේඛනඥයින් හා පුරාවිද්‍යාඥයින් බහුතරයකගේ අදහස වන්නේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය ඉන්දියානු භූමියේ දී සිදු වීමට වඩා වැඩි ඉඩප‍්‍රස්ථාවක් පවතින බවයි. නමුත්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීම විධිමත් ව සිදුකරන ප‍්‍රශස්ථ අධ්‍යයනවලින් අනතුරුව පමණක් සිදුකළ යුතු වේ. එතෙක් අපට කථා කළ හැක්කේ බ‍්‍රාහ්මී අක්‍ෂරවල භාවිතයේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් පමණි.

ආචාර්ය සිරාන් දැරණියගල

මුල් ලිපියේ දැක්වෙන තාක්‍ෂණික වැරදි කීපයක් ද නිවැරදි කළ යුතුව ඇත. හෑලෝගම මහාචාර්යතුමාට අනුව, ආචාර්ය Shiran Deraniyagala මහතා මෑතක් වන තුරු ‘පුරාවිද්‍යා කොමසාරිස්’ ධූරය දරා ඇත. නමුත් පුරාවිද්‍යා කොමසාරිස් තනතුරු 1990 දී අවලංගු වී එයින් පසු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර සක‍්‍රීය විය. ඒ අනුව ආචාර්ය Shiran Deraniyagala මහතා ක‍්‍රියා කරන ලද්දේ ‘පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්’ තනතුරේ වන අතර 2001 වසර වන විට එතුමා එම තනතුරින් විශ‍්‍රාම ලැබී ය. ආචාර්ය දැරණියගල මහතා විසින් මහාපාළි දානශාලාව ඇතුළුව අනුරාධපුරයේ ඇතුළු නගරයේ අනෙකුත් ස්ථානවල සිදුකරන ලද කැනීම්වලින් ලද මැටි මෙවළම් වර්ග කිරීම අදින් වසර 30කට ආසන්න පෙර කාලයක දී එනම් 1985 වසරේ දී අරඹා 1989 වසරේ දී එය අවසන් කළ අතර මහාචාර්ය හෑලෝගම මහතා දක්වන ආකාරයෙන් ඒ ද මෑත දිනයක් නොවේ. අනුරාධපුර ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දී සිදුකරන ලද (ASW (88)) කැනීමේ දී බ‍්‍රාහ්මී අක්‍ෂර සඳහන් මැටි බඳුන් කොටස් දෙකක් හමු වූ බව හෑලෝගම මහාචාර්යතුමා දක්වා ඇතත් එය ද අසම්පූර්ණ අදහසකි. අනුරාධපුර මහාපාළි දානශාලාව ආසන්නයේ 1988 සිදුකරන ලද කැනීමේ සන්දර්භ අංක 75 මඟින් බ‍්‍රාහ්මී අක්ෂර සහිත නිදර්ශක 5ක් හා අනුරාධපුර ඇතුළුනුවර සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දි සිදුකරන ලද කැනීමේ 88 වැනි සන්දර්භයට අයත්ව බ‍්‍රාහ්මී ලේඛන අන්තර්ගත මැටි බඳුන් කැබලි දෙකක් වශයෙන් බ‍්‍රාහ්මි අක්‍ෂරයෙන් සටහන් කළ මැටි බඳුන් කැබලි 7ක් ලැබී ඇත. උක්ත ලිපියේ දක්වන නිදර්ශකයන්ගේ කාලනීර්ණය සම්බන්ධයෙන් හෑලෝගම මහතා දක්වන කාලනීර්ණයන් පිළිබඳ ව මෙම ලිපියේ ඉදිරියේ දී තවදුරටත් කරුණු දැක්වීමට අපේක්‍ෂා කෙරේ.

ආචාර්ය දැරණියගල මහතා විසින් තමන් විසින් ඉදිරිපත් කරන ලද අක්‍ෂරයන්ගේ පැරණි බව සාධනය කිරීම සඳහා ”අනික් පදනම වනුයේ අනුරාධ නම ආශ‍්‍රය කරගෙන එම අක්‍ෂර ක‍්‍රි.පූ. හයවැනි සියවසට අයත්යැයි නිර්ණය කිරීමයි” යනුවෙන් හෑලෝගම මහතා දක්වා ඇත. ආචාර්ය දැරණියගල මහතා උක්ත මතය ඉදිරිපත් කරමින් ප‍්‍රකාශයට පමුණුවා ඇති කිසිදු ලිපියක අවධාරණයේ දැක්වෙන අයුරේ අදහසක් කිසිදු අවස්ථාවක ඉදිරිපත් කර නොමැත. දැරණියගල මහතා අදාළ මුල් ලිපියේ දක්වා ඇත්තේ පුරාවිද්‍යාත්මක ක‍්‍රම අනුව අනාවරණය වී ඇති සාධකයන්ගේ දැක්වෙන කරුණු හා අනුගතව මහාවංශ මූලාශ‍්‍රය ලැබෙන බවයි. එනම්, පුරාවිද්‍යා මූලාශ‍්‍රය අනුව බැලීමේ දී අදාළ කාලය පිළිබඳ ව වංශකතාව දක්වන කරුණු සනාථ වන බව මිස සාහිත්‍යය මූලාශ‍්‍රය අනුව පුරාවිද්‍යා මූලාශ‍්‍රය තක්සේරු කිරීමක් නොවේ ඒ. ඒ අනුව අදාළ මුල් පාඨය වඩා පරිස්සම් සහගතව කියවා අවබෝධ කරගැනීම වැදගත් වනු ඇත.

”අභිලේඛනයක් යනු අවුරුදු ගණනාවක් පවතින්නට ලියන ලේඛනයකි” යනුවෙන් හෑලෝගම මහතා අදහස් කර ඇති දේ ද පැහැදිලි නැත. තලකොළ, රෙදි, පොල්කොළ, ඇත්දත්, මැටි ඵලක ආදි ඕනෑම මාධ්‍යයක් මත සටහන් කරන දෙයක් අභිලේඛනයක් වශයෙන් සාමාන්‍යයෙන් සැලකේ. ශිලා මාධ්‍යයට සාපේක්‍ෂකව තල කොළ හා මැටි ඵලක වැනි දෑ දීර්ඝ කාලීනව පවතී යන්න අපේක්‍ෂාවක් අදාළ ලේඛකයනට තිබූ බව ද සිතීම අපහසු වේ. ඒ අනුව, ඒ මහතා ඒ ස්ථානයේ අදහස් කරන ලද්දේ සෙල්ලිපි දැයි පැහැදිලි කළ යුතු ව ඇත.

අධ්‍යාපනය යනු, සමාජයේ ඉහළ ස්ථරයේ සිට පහළට ගමන් කරන්නක් වන අතර එය පූජකයින් අත පැවති බව මහාචාර්ය හෑලෝගම මහතා දක්වයි. සාමාන්‍ය තත්ත්වය අනුව මෙය පිළිගැනීම අපහසු කරුණක් නොවේ. ලංකාවේ පුරා අක්‍ෂර පිළිබඳ පර්යේෂණ කළ විද්වතෙකු වූ අභාවප‍්‍රාප්ත, මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා දක්වා ඇති ආකාරයට ලංකාවේ පැරණිම කාලයට අයත් අභිලේඛනයන්ගේ ව්‍යාප්තිය පාදක කරගත් විට රට පුරාම ඉහළ සාක්‍ෂරතාවක් පැවත ඇත. පැරණිම කාලයේ දී පූජකයනට වඩා වෙළෙඳුනට ලේඛන ක‍්‍රම අත්‍යාවශ්‍යය වූ බව මහාචාර්ය Paranawithana මහතාගේ අදහස් අනුව සිතිය හැකි වේ. ලංකාවේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ වනතෙක් එය පවත්වා ගෙන එන ලද්දේ භාණක පරම්පරා විසින් (කඩපාඩම් කිරීමෙන්) වන අතර ඔවුනට ලේඛනක‍්‍රම අත්‍යාවශ්‍යය දෙයක් නොවන්නට ඇත. එහෙත් සටහන් තබාගැනීම වෙළෙඳුනට සෑම කල්හිම අත්‍යාවශ්‍ය දෙයක් වන බව කිවයුතු විශේෂ කරුණක් ද නොවේ. දකුණු ආසියාතික කලාපයේ ලේඛනයේ ප‍්‍රභවය හා ව්‍යාප්තිය පිළිබඳ ඇති එක් අනුමාණයක් වන්නේ වෙළෙඳුන් හරහා මැද පෙරදිග වැනි බාහිර කලාපයන්ගෙන් දකුණු ආසියාතික කලාපයට එය ව්‍යාප්ත වූ බවයි.

හෑලෝගම මහාචාර්යතුමාගේ තවත් අදහසක් වන්නේ ”මැටි බඳුන්වල ලිවීමේ තත්ත්වයක් පවතිනවා නම් ඒ වන විට අක්‍ෂර කලාව දියුණු වී තිබිය යුතුය” යන්නයි. සාපේක්‍ෂකව දැඩි බව අඩු, මැටි ඵලකයක අකුරු සූරණවාට වඩා ඉහළ තාක්‍ෂණයකින් නිමවිය යුතු වානේ නැතහොත් අඩු තරමින් යකඩ උපකරණ භාවිතයෙන් තොරව ගල්මත ලිවිය නොහැකි වේ. ඒ අනුව වඩා වර්ධිත තාක්‍ෂණයක් හා ඊට අනුගත වර්ධිත අක්‍ෂර පද්ධතියක් අවශ්‍ය වන්නේ මැටි බඳුන් මතුපිට ලිවිමට නොව ගල් මතුපිට ලිවීමටය යන්න සරළ කරුණකි. එබැවින් ඉහත තර්කය පදනම් කරගෙන, ”අක්‍ෂර වඩා වර්ධනය වූ කාලයක මේ අනුරාධපුර මැටිබදුන් අක්‍ෂර සටහන් විය යුතු ය” යනු අදහස පහසුවෙන් ඉවතලිය හැක්කකි. තවත් අතකට, පූජනීය හෝ රාජකීයත්වය හා සහසම්බන්ධ දැ බොහෝ විට මැටි බඳුන් මඟින් නිරූපණය වේ. අදාළ මැටි බඳුන බාවිත කරන්නාගේ හෝ පිරිනමන්නාගේ නම නිරූපණය කර ඇති මෙම ලේඛන සැලකිල්ලකින් තොරව සටහන් කරන බවට තීරණයකට එන්නේ කෙසේ ද? වර්තමානයේ වුව ආගමික පාර්ශවය කෙරෙහි පරිත්‍යාගයක් කිරීමේ දී ඒ මත අනන්‍යතාව දැක්වීම ඉමහත් සැලකිල්ලෙන් සිදුකිරීම බැතිමතුන්ගේ සිරිතයි.

පිළිගත් පුරාවිද්‍යා ශාස්ත‍්‍රීය ක‍්‍රමවේදය වන්නේ කැනීමක් මඟින් ‘සංස්කෘතික ක‍්‍රමාවලිය’ හෙවත් ‘අනුපිළිවෙළ’ හඳුනා ගැනීමයි. එහි දී පුරාවිද්‍යා කැනීමක් මඟින් අනාවරණය වන පස් තට්ටු අනුපිළිවෙල සලකා බැලේ. එක් එක් පස් තට්ටුවෙන් ලැබෙන අඟුරු හෝ වෙනත් කාලනීර්ණය කළ හැකි දෑ නිරපේක්‍ෂ කාලනීර්ණ මඟින් කාලනීර්ණයට බඳුන් කර එම කාලනීර්ණ අදාළ පස් ස්ථරය සඳහා ම ආදේශ කිරීම සිදු වේ. මෙය කේවල හෝ හුදකලා කටයුත්තක් නොවේ. කැනීමක් අතරතුර විධිමත්ව හඳුනාගන්නා අනාකූල පස් තට්ටුවල, මධ්‍ය නියෝජනය වන ආකාරයෙන් විධිමත් ආකාරයෙන් ලබාගන්නා සාම්පල කාලනීර්ණය කර ඒ අනුව එක් එක් තට්ටුවෙන් ලබාගන්නා නියැදි වෙන් වෙන් වශයෙන් ලොව පිළිගත් රසායනාගාර තුළ දී නව තාක්‍ෂයෙන් කාලනීර්ණය කර ඒවා ක‍්‍රම පිළිවෙළකට පෙළගස්වා ගනු ලැබේ. එහි විශ්වාසනීය බව රදා පවතින්නේ ඒ කාලනීර්ණ අනුපිළිවෙල සඳහා ලැබෙන සංඛ්‍යා විද්‍යාත්මක සම්භාවිතාව මත ය. Shiran Deraniyagala eta මොහාන් අබේරත්න ආචාර්යවරුන් විස්තර කර ඇති පරිදි එක්සත් රාජධානියේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලීය ගණනය කිරීම් අනුව ඇතුළු නුවර මෙම කැනීම් සඳහා ලබා දී ඇති නිරවද්‍යතා සම්භාවිතාව 96%ක් ඉක්මවයි (කැනීමක් සඳහා සාමාන්‍ය සම්භාවිතා මට්ටම වන්නේ 60%ට ඉහළ අගයකි). අනෙක් අතට භූ විද්‍යාවේ විස්තර කරන ‘උපරි ස්ථාන ඇතුරුම පිළිබඳ න්‍යාය’ හා පුරාවිද්‍යාවේ දී ගැඹුරින් සලකා බලන ‘ස්ථල සකස්වීමේ ක‍්‍රියාදාමය’ පිළිබඳ නිසි අවබෝධයකින් යුතු ව සිදුකරන මෙම පුරාවිද්‍යා කැනීම් මෙන් ම ඉහත දැක් වූ න්‍යායාත්මක පදනම පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ඇත්තෙකුට අනුරාධපුරයේ ඇතුළු නුවර සිදුකරන ලද කැනීම් පිලිබඳ සැක මතු කිරීමට තරම් සාධාරණ ඌණතාවක් ඇති බව පෙනී යන්නේ නැත. ‘ශුද්ධ ස්ථර නොමැති බවත් භූ ගෝලීය විපර්යාස හේතුවෙන් සෑම විටම සංස්කෘතික තැම්පතු අවුල් සහගත වන බව’ හෑලෝගම මහාචාර්යතුමා දක්වතත් එතුමා ඇතුළු නුවර කැනීම් සම්බන්ධයෙන් මෙවැනි නිගමනයකට එලැඹි ආකාරය පැහැදිලි නැත. පස් තට්ටු අවුල් වීම සඳහා හේතු ගනනාවක් බල පෑ හැකි නමුත් ක්‍ෂේත‍්‍ර අද්දැකීම් වල ඇති පෘතුළ බව, පුරාකෘතිවල මාදිලි සැසදීම, කැනීම් පරිශ‍්‍ර කීපයක දත්ත එකිනෙක සමඟ සහසම්බන්ධතා පරික්‍ෂා කිරීම පමණක් නොව නිරපේක්‍ෂ කාලනීර්ණ ක‍්‍රමාවලිය අනුව ද ප‍්‍රස්තුත කැනීම්වල පාංශු ස්ථරයන්ගේ ඇතුරුම පිළිබඳ සැක කිරීමට හේතුවක් ඇති බව නොපෙනේ. සිරාන් දැරණියගල මහතා දක්වා ඇති ආකාරයට අනුරාධපුර මහාපාළි දාන ශාලාව ආසන්නයේ කළ කැනීමේ බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස් අනාවරණය වූ සන්දර්භයන් අවුල් වීමට ඇති අවකාශ්‍ය 1%කි. එහි අනෙක් අදහස වන්නේ එහි නිරවද්‍යතා සම්භාවිතාව 99%ක් තරම් ඉහළ බව ය. මේ පිළිබඳ නැවත වරක් තහවුරු කර ගැනීම සඳහා ශි‍්‍ර‍ ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය, දකුණු ආසියානු කලාපයේ අදාළ යුගය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් සැලකෙන එෆ්.ආර්. ඕල්චින් මහතා හා රොබින් කොනින්හම් (ලෝක සම්භාවිත පුරාවිද්‍යාඥ ශ‍්‍රීමත් කොලින් රෙන්ෆ‍්‍රෑ මහතාගේ ශිෂ්‍ය) මහතා ලංකාවට ගෙන්වා ගන්නා ලදී. ආචාර්ය Shiran Deraniyagala මහතා විසින් 1988 වසරේ දී සිදුකරන ලද සල්ගහවත්ත කැනීම් පරිශ‍්‍රයේ ම නැඟෙනහිර ඉම 1989-1992 කාලසීමාවේ දී ඔවුන් විසින් වඩාත් පුළුල් කරමින් අනුරාධපුර සල්ගහවත්ත 2 (ASW 2) පර්යේෂණ කැනීම දියත් කරන ලදී. ජාත්‍යන්තර මට්ටමින් ස්වාධීනව සිදුකරන ලද මෙම කැනීමේ දී එතෙක් අනාවරණය වී පැවති බ‍්‍රාහ්මි අක්‍ෂරයන්ගේ පෞරාණිකත්වය පිළිබඳ ප‍්‍රතිපළ නැවත තහවුරු කිරීමට හැකි වී ඇති බව ඔවුන්ගේ වාර්තා පරිශීලනය කිරීමේ දී පෙනී යයි. මේ පිළිබඳ සාධාරණ සැකයක් තවදුරටත් ඇත්නම් පිළිගත් සුදුසුකම් සපුරා ඇති ඕනෑම අයෙකුට (විධිමත් පර්යේෂණ අරමුණක්, සුදුසු ‌මෙන් ම වර්ධිත ක‍්‍රමවේද හා මුල්‍ය පහසුකම් සහිත) එය පරික්‍ෂා කිරීම සඳහා තවම 0.05%ක්වත් කැනීම් සඳහා භාජනය කර නොමැති අනුරාධපුරයේ ඇතුළු නගරය පිළිබඳ විධිමත් පර්යේෂණ සිදුකිරීමට ද අවස්ථාව ඇති බව දක්වනු කැමැත්තෙමි.

ආචාර්ය Shiran Deraniyagala මහතා දක්වන මැටි බඳුන් ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් බවට පිළිගැනීමට නොහැකි තවත් හේතුවක් වශයෙන් හෑලෝගම මහතා දක්වන්නේ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට 3 වැනි සියවස දක්වා කාලයට අයත් බ‍්‍රාහ්මී ලේඛන හෝ අක්‍ෂර සඳහන් නිදර්ශක හමු නොවන බවයි. ලේඛන සඳහන් මැටිබඳුන් කොටස් ලැබීම සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එය විශේෂ තත්ත්වයකි. අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් අතරතුර කාලයෙන් හමු නොවන බැවින් මුල් නිගමන ප‍්‍රතික්ෂේප කිරීම කෙතරම් උචිතදැයි තවදුරටත් පැහැදිලි විය යුතු වේ. මහාචාර්ය රොබින් කොනින්හම් විසින් සිදුකරන ලද අනුරාධපුර සල්ගහවත්ත 2 (ASW 2) කැනීමේ දී ක‍්‍රිස්තු පූර්ව 5 සිට 3 වැනි සියවස් අතරතුර කාලයට අයත් බ‍්‍රාහ්මී අක්ෂර සටහන් කරන ලද මැටි බඳුන් කොටස් 25ක් පමණ ලැබී ඇති බව හෑලෝගම මහතා නොසලකා ඇති බව ද මෙහි දැක්විය යුතු වේ. කාලනීර්ණය කළ නොහැකි පැරණිම ලෙන් ලිපි අතුරින් කීපයක් හෝ ක‍්‍රිස්තු පූර්ව 6-5 හා 4 වැනි සියවස් අතර කාලයට අයත් විය හැකි බව අභිලේඛනඥයින් කීප දෙනෙකුගේ අදහස වී ඇත. පිළිබඳ පිළිගත් ක‍්‍රමවේද අනුව මේ පිළිබඳ ගැඹුරින් සොයා බැලීම අභිලේඛනඥයින් ප‍්‍රමුඛ ඉතිහාසඥයින්ගේ යුතුකමක් හා වගකීමකි. ආචාර්ය දැරණියගල මහතා මහාවංශයේ දැක්වෙන නම් පදනම් කරගෙන බ‍්‍රාහ්මී මැටි පාඨ සඳහා දින නියම සිදුකරන බව දක්වා ඇතත් මෙය ද සපුරා ම සාවධ්‍ය අදහසක් බවත් පුරාවිද්‍යා ක‍්‍රම මඟින් ලබාගත් කාලනීර්ණ තුළින් මහාවංශය දක්වන කරුණු සනාථ වන බව පමණක් එයින් අදහස් කර ඇති බවත් මේ වන විටත් පෙන්වා දී ඇත. බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභවය වී පිටතට ව්‍යාප්ත වූ බව දැරණියගල මහතා විසින් කිසිඳු ස්ථානයක දක්වා නොමැති අතර එතුමා දක්වා ඇත්තේ දැනට සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ක‍්‍රිස්තු පූර්ව 7-6 වැනි සියවස පමණ කාලයට අයත් බ‍්‍රාහ්මී අක්‍ෂර ලංකාවෙන් හමුවන බව පමණි. ඉදිරියේ දී සිදුකරන අධ්‍යයන වල දී ඒ පිළිබඳ වැඩිමනක් තොරතුරු අනාවරණය විය හැකි බව පෙන්වා දී ඇති අතර අපේක්‍ෂා කළ පරිදි ම එයින් වසර 25ක පමණ ඇවෑමෙන් දකුණු ඉන්දියාවේ ස්ථාන දෙකකින් හා ලංකාවේ එක් ස්ථානයකින් ඒ හා සම්බන්ධ පිළිගත හැකි ප‍්‍රබල සාධක අනාවරණය වීම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය පිළිබඳ සංවාදය සම්බන්ධයෙන් උනන්දු සෑම අයටම වැදගත් වන කරුණකි.

”මෙම මැටි බඳුන්වල යෙදෙන අක්‍ෂර පිළිබඳ කාලනීර්ණය සෙවීමේ වඩාත් උචිත ක‍්‍රමය ලෙස මා සලකනු ලබන්නේ එම මැටි බඳුන්වල අක්‍ෂරවලට සමානතාවක් ගන්නා අභිලේඛනවල සහ මැටි බඳුන්වල යෙදෙන අක්‍ෂර සමඟ සන්සන්දනය කිරීම” බව හෑලෝගම මහතා අදහස් කර ඇත. මෙකී ක‍්‍රමය අදාළ ප‍්‍රස්තුතය පරික්‍ෂා කිරීම සඳහා ඇති උචිත ක‍්‍රමයක් බවට වාදයක් නොමැත. නමුත් ඒ සම්බන්ධයෙන් උද්ගත ව ගැටලුුව වන්නේ මෙම අකුරු සැසදීම සඳහා මේ කාලය හා අනුගත යැයි නිශ්චිතව එකඟතාවට එලැඹුණු ලේඛන දේශීය වශයෙන් හෝ කලාපීය වශයෙන් වෙනත් ස්ථානයක පවතී ද යන්නයි. ඒ හැර ලේඛක අනන්‍යතා, ලේඛන සටහන් කර ඇති මාධ්‍යය නිසා හටගන්නා විවිධතා වැනි හේතු රැසක් සමඟ බලපවත්වන අක්‍ෂරයන්ගේ රූපීය ලක්ෂණ වෙත පමණක් අවදානය යොමු කරමින් පසු කාලීන අතුරු සමඟ පමණක් සැසදීම ප‍්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි. (උතුරු ඉන්දියාවේ පීප‍්‍රාවා ලේඛනයේ පුරාවිද්‍යාත්මක අන්‍යතාව අනුරාධපුර ඇතුළු නුවර සාධක තරම් ප‍්‍රබල නොවේ. එවැනි පසුබිමක එම ලේඛනය ඉතා පැරණි කාලයට අයත් බව නිසැකයෙන් තීරණය කරන ලද්දේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එහි පෞරාණිකත්වය තීරණය කි්රීම සඳහා එම ලේඛනය ඉන්දියාවෙන් හමු වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ). මෙම ප‍්‍රස්තුත ලේඛනයේ අවසාන ජේද දෙකේ ඉදිරිපත් කර ඇති අදහස් ප‍්‍රමාණවත් ආකාරයෙන් පැහැදිලි වී නොමැත. පුවත්පතේ දී ලැබෙන ඉඩ සීමාසහිත නිසා ඒ කොටස් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට අවස්ථාවක් නොතිබූ බව පැහැදිලි ය. එහි විස්තර කිරීමට මුළ පුරා ඇති එකිනෙක නියැදි අතර පවතින සමානඅසමානතා එකිනෙක ඉදිරිපත් කරන්නේ නම් එහි පවත්නා යෝග්‍යතාව පිළිබඳව පුරා අක්‍ෂර හා අභිලේඛන විද්‍යාත්මක වශයෙන් සලකා බැලීමට අවස්ථාව පවති.

ආචාර්ය Shiran Deraniyagala මහතා අනුරාධපුරයේ ඇතුළු නගරයේ සාධක පිළිබඳ ව ඉදිරිපත් කර ඇති අදහස පාඨකයාට වඩාත් අවබෝධ කරගැනීම සඳහා සංක්‍ෂේපයෙන් හෝ කරුණු දැක්වීම අපගේ යුතුකමකි. එබැවින් මෙම විෂය පිළිබඳ උනන්දුමත් පාඨකයා දැනුවත් කිරීමේ අරමුණින් මෙයින් ඉදිරියට ඒ සම්බන්ධ කරුණු කෙටියෙන් ගොනු කිරීමට උත්සුක වෙමි.

ඇල්ෆ‍්‍රඩ් ඩි. මැල්

අක්කර 250කට ආසන්න භූමි වපසරියක ව්‍යාප්ත වී ඇති අනුරාධපුර ඇතුළු නගරයේ පුළුල් පර්යේෂණ සැලසුමට අනුකූල ව දියත් කරන ලද පර්යේෂණ කැනීම් පරිශ‍්‍ර 14කි. එයින් මෙම කථිකාව හා ප‍්‍රමුඛ වශයෙන් අදාළ වන කැනීම් පරිශ‍්‍ර ද්විත්වයකි. ඒ, සියලු කැනීම් අතුරින් වඩා පුළුල් හා ස්ථායි සංස්කෘතික ස්ථරණයක් හා විවිධත්වයක් පෙන්නුම් කරන අනුරාධපුර ඇතුළු නගරයේ මහාපාළි දාන ශාලාව ආසන්නයේ 1988 වසරේ දී සිදුකරන ලද කැනීම (AMP 88) හා අනුරාධුපර ඇතුළු නගරයේ සල්ගහවත්ත (ASW 88) නම් ස්ථානයේ 1988 වසරේ දී සිදුකරන ලද කැනීමයි. මේ සඳහා ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙරමුණ ගන්නා ලද අතර අනුරාධපුර ඇතුළු පුරයේ පර්යේෂණ කැනීම් අධ්‍යක්‍ෂ වශයෙන් කෘතහස්ත කැනීම් විශාරදයෙකු මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය Shiran Deraniyagala මහතා උපාධිධරයින් ඇතුළු සමස්ත පර්යේෂණ කණ්ඩායමට ප‍්‍රමුඛත්වය ගන්නා ලදී. බෙහෙවින් පෙළඹි ගිය කැනීම් කරුවෙකු මෙන් ම ඉතා ම සංකීර්ණ ප‍්‍රාග් ඓතිහාසික ගල් ලෙන් සහ ඇතුළු නගරයේ සංකීර්ණ ස්ථර වින්‍යාසය පිළිබඳ අද්දැකීම් සම්භාරයක් ලබා ඇති ඇල්ෆ‍්‍රඩ් ඩි. මැල් මහතා ප‍්‍රධාන කැනීම්කරු වශයෙන් සම්බන්ධ විය.

මහාපාළි දානශාලාව (AMP 88) ආසන්නයේ කළ කැනීමෙන් අනාවරණය වූ සියලූ ම සංස්කෘතික ද්‍රව්‍යය ඇතුළු නගරයේ දකුණු හා මධ්‍යම කොටස් සමඟ බොහෝ සෙයින් අනුකූල වී ඇති අතර එහි 75 වැනි අංකයෙන් නම් කරන ලද සන්දර්භයට අයත් (AMP 88 (75)) සංස්කෘතික සාධක අනුව ‘මූලික ආදි ඓතිහාසික යුගයට’ අදාළ කළ හැකි වේ. මෙම සන්දර්භයෙන් අනාවරණය වන සාධක අනුරාධපුර ගෙඩිගේ සන්දර්භ අංක 17 (AG 85 (17)) හා සල්ගහවත්ත අංක 88 වැනි සන්දර්භයට (ASW 88 (88)) අයත් සංස්කෘතික තැම්පතු හා සමාන්තර වේ. මෙම සංසන්දනාත්මක අධ්‍යයන මඟින් පුළුල් වපසරියක ව්‍යාප්ත වී ඇති ඇතුළු නගරයේ එකිනෙකික් ස්වායක්තව සැලකිය යුතු දුරස්ථතාවකින් පිහිටා ඇති කැනීම් පරිශ‍්‍රයන්ගේ සංස්කෘතික තැම්පතු අතර පවත්නා අන්‍යෝන්‍ය සහසම්බන්ධතා මඟින් සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන සංස්කෘතියක් සම කාලීනව පැතිරි තිබූ බව තහවුරු වේ. මහාචාර්ය විමලසේන හෑලෝගම මහතා දක්වන ආකාරයේ අවුල් සහගත බවක් මෙම කැනීම්වල පාංශු ස්ථරයන් තුළින් නම් හඳුනාගත නොහැකි බවත් අවම වශයෙන් ඒ පිළිබඳ අනුමාණයක් හෝ ඇතිකර ගැනීමට ඉඩප‍්‍රස්ථාවක් හෝ නොමැති බවත් නැවත ද පෙන්වා දිය යුතු වේ.

1988 වසරේ දී මහාපාළි දාන ශාලාව ආසන්නයේ සිදුකළ කැනීමේ සන්දර්භය
අනුරාධපුර මහාපාළි කැනීමෙන් අනාවරණය වූ ‘තයාකුටෙ’ පාඨය දැක්වෙන මැටි බඳුන් ‌කොටස

ඉහත දක්වා ඇති ආකාරයට 1988 වසරේ දී මහාපාළි දාන ශාලාව ආසන්නයේ සිදුකළ කැනීමේ සන්දර්භ අංක 75ට අයත් (AMP 88 (75)) සංස්කෘතික තැම්පතු තුළින් අනාවරණය වී ඇති අක්‍ෂර සහිත මැටි බඳුන් කොටස් 5කි (මේවා මැටි භාජන 5කට අයත් වේ). මහාචාර්ය හෑලෝගම මහතා දක්වා ඇති ආකාරයෙන් ම ඒවායින් ‘ගෙ','තයාකුටෙ','තාර(ච)','චගය’ හා ‘ක(බ)’ යන පාඨ කොටස් දැක්වෙන ආකාරය හඳුනාගෙන ඇත. මෙම පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් සඳහා නිරපේක්‍ෂ දිනනීර්ණ 14ක් අදාළ පර්යේෂකයා සපයා ඇත්තේ රේඩියෝ කාබන් හෙවත් කාබන් 14 (ක්‍ 14) දින නීර්ණ 9ක් හා තාපසංදීප්තතා (Thermoluminescence : TL) කාලනීර්ණ 5ක් වශයෙනි. ඒම කාලනීර්ණ අතුරින් මහාපාළි දාන ශාලාව ආසන්නයේ කැනීමේ 75 වැනි (AMP 88 (75)) සන්දර්භයට ඉහළ සංස්කෘතික ස්තර සඳහා රේඩියෝ කාබන් කාලනීර්ණ 5ක් හා තාපසම්දීප්තතා කාලනීර්ණ 1ක් මෙන් ම මෙම කැනීමේ 75 වැනි සන්දර්භය සඳහා කාබන් කාලනීර්ණ 2ක් හා තාපසම්දීප්තතා කාලනීර්ණ 4ක් ද එහි ම 75 වැනි සන්දර්භයට පහළ සංස්කෘතික අවස්ථා සඳහා රේඩියෝ කාබන් කාලනීර්ණ 2ක් ද වශයෙනි. ඒ අනුව, ශක්තිමක් කාලනීර්ණ පදනමක් මත විධිමත් කාලක‍්‍රමාවලියකට මෙම කැනීමේ සංස්කෘතික ස්ථරණය ස්ථාපනය කර ඇත. අපගේ සාකච්ඡාව සමඟ ඍජු වශයෙන් අදාළ අනුරාධපුර මහාපාළි දාන ශාලාව ආසන්නයේ කැනීමේ 75 වැනි සන්දර්භයට (AMP 88(75)) අදාළ ව බ‍්‍රාහ්මී අක්‍ෂර සහිත මැටි බඳුන් කැබලි සහිත සංස්කෘතික ස්ථරය දින වකවානු 2කට අයත් වේ. මේවායේ මධ්‍ය අගයන් පිළිබඳ සලකා බැලුවහොත් ඒවා පිහිටන්නේ ක‍්‍රිස්තු පූර්ව 6 හෝ 7 වැනි සියවස් හා අනුගත කාල වෙතයි.

ඉහත සාකච්ඡාවට යොදාගෙන ඇති ඇතුළු නගරයේ පර්යේෂණ කැනීම් තුන අතුරින් මහාපාළි දාන ශාලාව අසළ කැනීමේ 75 (AMP 88 (75)) සන්දර්භය හා ගෙඩිගේ ආසන්න කැනිමේ 17 වැනි සන්දර්භය (AG 85 (17)) හා සල්ගහවත්ත අසන්නයේ කැනීමේ 88 වැනි සන්දර්භය (ASW 88 (88)) යන සන්දර්භ ත‍්‍රිත්ත්වය ඒවායේ පවත්නා සංස්කෘතික ද්‍රව්‍යය අනුව එකිනෙක හා සම්පාත වන බව තහවුරු වී ඇත. මෙම පර්යේෂණ කැනීම් පරිශ‍්‍ර ත‍්‍රිත්ත්වයෙන් ම වඩා සාධාරණ ලෙස අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 7-6 සියවස් දක්වා කාලයට අයත් කිරීමට අවශ්‍ය කාලනීර්ණ පදනම උත්පාදනය කර දී ඇත.

අනුරාධපුර සල්ගහවත්ත කැනීමෙන් අනාවරණය වූ ‘බියඅනුර(ධි)’ පාඨය දැක්වෙන මැටි බඳුන් ‌කොටස

අනුරාධපුර සල්ගහවත්ත (ASW 88) කැනීමේ 88 වැනි සන්දර්භය මඟින් බ‍්‍රාහ්මී පාඨ දැක්වෙන මැටි බඳුන් කොටස් දෙකක් ලැබී ඇති අතර එහි එක් නිදර්ශකයක ‘මාද’ යන්න හා අනෙකේ ‘බියඅනුර(ධි)’ යන්න සටහන් වී ඇති බව හඳුනාගත හැකි වේ. දෙ වැන්නේ දැක්වෙන මහාප‍්‍රාණ ‘’ අක්‍ෂරය අනුව මෙම අක්‍ෂර නියත වශයෙන් ම ප‍්‍රාකෘත විය යුතු බව අදහස් කර ඇත. මෙම සාධක කාබන් කාලනීර්ණය අනුව ක‍්‍රිස්තු පූර්ව 6 සියවස වශයෙන් දින නියම ලබාගෙන ඇත.

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය පිළිබඳ කථිකාවේ දී දකුණු ඉන්දීයාවේ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් ගණනාවක් පිළිබඳ විවිධ අවස්ථාවන් හී අවධානය යොමු විය. ඒ අතරේ දකුණු ඉන්දියාවේ හා ලංකාවේ මෑත කාලීන ව සිදුකළ පුරාවිද්‍යා කැනීම් තුනක් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම යෝග්‍යය වේ. ඒ දකුණු ඉන්දීය කලාපයේ ස්ථානගත පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් යැයි සැලකූ සුසාන භූමි දෙකක් වූ ‘කොඩුමනල්’ හා ‘පොරුන්තාල්’ කැනීම් හා ලංකාවේ ගල්ගමුව ආසන්නයේ පිහිටි ‘Andarawewa’ පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් යැයි සැලකූ සුසාන භූමියේ සිදුකරන ලද කැනීම් වෙතයි.

මහාචාර්ය ‌කේ. රාජන්

දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. රාජන් හා ඔහුගේ කණ්ඩායම විසින් කොංගු ප‍්‍රදේශයේ පිහිටා ඇති කොඩුමනල් හා පොරුන්තාල් යන මහාශිලා සම්ප‍්‍රදායේ සුසාන භූමි දෙකක් කැනිම් කරන ලදී. කොඩුමනල් කැනීමෙන් පුද්ගල නාම ප‍්‍රදර්ශනය කරන බ‍්‍රාහ්මී අක්‍ෂරයන් දැක්වෙන ලේඛන ගණනාවක් අනාවරණය වී ඇති අතර එහි අනාවරණය වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් නිදර්ශක දෙකක් සඳහා පිළිවෙලින් ක‍්‍රිස්තු පූර්ව 408 හා 330 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ දෙකක් (මෙම දින අංක ශෝධනය නොකරන ලද අතර අංක ශෝධනය කිරීමෙන් පසු ලැබෙන කැලැන්ඩර් දින මීට වඩා පැරණි කාලයට අයත් වන බව සලකන්න.) එම පර්යේෂකයන් විසින් ලබා දී ඇත.

තමිල්නාඩුවේ දින්දිගුල් දිස්ත‍්‍රික්කයේ පලනි නම් නගරයට කිලෝමීටර් 12ක් පමණ නිරිත දිගින්, බටහිර ඝාට්ස් වැටියේ පාමුළ පිහිටි පොරුන්තාල් ග‍්‍රාමයේ ඇති මහාශිලා සුසාන භූමියේ කැනීම මඟින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිබඳුන් ගැටි කොටස් දෙකක් අනාවරණය වී ඇත. ගල් වටයකින් ආවරණය වී පැවති ශිලා මඤ්ජුසා සුසානයක් වන මෙම ස්ථානයේ සිදුකළ මෙම කැනීම 2009 හා 2010 වසරේ දී මහාචාර්ය කේ. රාජන් මහතා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දකි. මෙයින් අනාවරණය වූ එක් මැටි බඳුන් කොටසක් සඳහා ක‍්‍රිස්තු පූර්ව 490 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ (අංක ශෝධනය නොකරන ලද) ලැබී ඇත. මේ මඟින් නැවත වරක් කොඩුමනාල් දින නීර්ණයන්ට වඩා පූර්ව කාලීන දින නියමක් හඟවනු ලැබේ. මහාචාර්ය කේ. රාජන් මහතා ඇතුළු අනෙකුත් පර්යේෂකයින් ”පොරුන්තාල් හා කොඩුමනල් වලින් ලැබුණු මෙම කාලනීර්ණ බ‍්‍රාහ්මී ලේඛනවල කාලනීර්ණය නිසැක වශයෙන් ම අසෝක යුගයට වඩා අවුරුදු දෙ සියක් ඈත කාලයට ගෙනයයි. මෙම බ‍්‍රාහ්මී ඉන්දියාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පිළිබඳ අදහස් නැවත විපරම් කිරීමට අපව පොළඹවනු ලබයි” යනුවෙන් තම අදහස් දක්වා ඇත.

ආචාර්ය ඉරවතම් මහාදේවන්

2018 නොවැම්බර් මස 26 වැනි දින කීර්තිශේෂභවෝපගත වූ දකුණු ආසියාතික කලාපයේ විශිෂ්ඨම අභිලේඛනඥයෙකු වශයෙන් සැලකෙන ආචාර්ය ඉරවතම් මහාදේවන් මහතා 1997 වසරේ දී, අනුරාධපුරයෙන් අනාවරණය වූ සාධක විප්ලවීය සොයාගැනීමක් බවත් එය පිළිගැනීම සඳහා ඉන්දියාවෙන් ඊට සම හෝ පූර්ව කාලීන සාධක ලැබිය යුතු බවත් දන්වා ඇත. පසුව සිදුකළ කොඩුමනාල් හා පොරුන්තාල් කැනීම් මඟින් උක්ත අවශ්‍යතාව සපුරා ඇති හෙයින් අනුරාධපුරයේ ඇතුළු නුවරින් අනාවරණය වූ මෙම සාධකයන්ගේ තථ්‍යතාව පිළිගැනීම තවදුරටත් අපහසු හෝ වේදනාකාරි දෙයක් නොවේ.

ස්වදේශීය ස්ථානයක් නිසා මෙන් ම මෑත කාලීන ව සිදු වූ අනාවරණයක් හේතුවෙන් ගල්ගමුව ආසන්නයේ පිහිටි අන්දරවැව මහාශිලා සම්ප‍්‍රදාය නිරූපණය කරන සුසාන භූමියේ සිදුකරන ලද කැනීම් මඟින් අනාවරණය වූ සාධක පිළිබඳ අවධානය යොමු කිරීම මේ කථිකාවේ දී විශේෂ වැදගත්කමක් හිමිකර ගනී. 2017 වසරේ දෙ වැනි භාගයේ දී ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය DR. Thusitha Mendis මහතා විසින් ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ගමුවට නුදුරු අන්දරවැව නම් ග‍්‍රාමයේ පිහිටි පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් සුසාන භූමියේ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමේ දී මෙම සාධක අනාවරණය වී ඇත. සුසාන ගර්භය තුළ තැන්පත් කර තිබූ මැටි මුට්ටියක බිඳී ගොස් පැවති බඳ කොටස් කැබලි දෙකක තිබී බ‍්‍රාහ්මී අක්ෂර දෙකක් හඳුනා ගෙන ඇත. ඒ පිළිබඳ මහාචාර්ය Thusitha Mendis මහතා පහත පරිදි අදහස් දක්වා ඇත.

අන්දරවැව මහා ශිලා සුසානය ආශ‍්‍රිතව මෙම සොයා ගැනීම ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන සම්බන්ධව ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස පෙන්වා දිය හැකි ය. එසේ පෙන්වාදිය හැක්කේ ශිලා පුවරු 4කින් වටකොට තනන ලද ශිලා මංජුසාවක අභ්‍යන්තරයේ තැන්පත් කරන ලද මැටි බඳුන් විශාල පියන් ගලකින් වැසූ පසු කිසිදු අයුරකින් විතැන්වීමක් සිදු නොවන අතර සත්ව ක‍්‍රියා හේතුවෙන් එහා මෙහා යාමක් ද සිදු නොවේ. එම නිසා ප‍්‍රථමයෙන්ම සන්දර්භය අවුල් සහගත නොවූ තැනකින් මෙම අක්ෂර සහිත මැටි බඳුන් ලැබීම ඉතාම වැදගත් වේ. මෙහි අතිශය වැදගත් අනික් කරුණ වන්නේ මෙම අක්ෂර අන්තර්ගත මැටි බදුන් කැබළි හමුවන මැටි බඳුන ඇතුළතින් ලබාගත් අස්ථි සාම්පල් ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයට යවා ලබාගත් කාලනිර්ණ අනුව එම අස්ථි හා මැටි බඳුන් අයත් වන කාලය ක‍්‍රිස්තු පූර්ව 491 – 366 ලෙසට දින නිර්ණය වී තිබේ (2440-2315 Cal BP) 94.4%ක විශ්වාසනීය භාවයක් ලබා දී ඇති මෙම කාලනිර්ණවලින් 1.0%ක නිරවද්‍යතාව මත ඒවා නිශ්චිත වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 507-501 (2456-2449) අයත් වන වන බව බීටා ඇනලිටික් ආයතනය දන්වා තිබේ (Beta – 482665). ඒ අනුව මෙම අක්ෂර ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් බව නිසැක ලෙසම තහවුරු වේ.

Thusitha Mendis මහාචාර්යතුමා දක්වා ඇති ආකාරයට සන්දර්භ අවුල් වීම සඳහා අවම ප‍්‍රස්ථාවක් ඇති සන්දර්භයකට අයත් ව මෙකී දින නීර්ණ සමඟ අනුයාතව බ‍්‍රාහ්මී අක්‍ෂර ලැබීම ආචාර්ය සිරාන් දැරණියගලයන් විසින් 1990 දශකයේ දී ඉදිරිපත් කළ අදහස යළියළිත් තහවුරු වන ආකාරය පෙන්නුම් කරයි.

මහාචාර්ය ‌කේ. රාජන් මහතා හා ආචාර්ය සිරාන් දැරණියගල මහතා ‌‌කොළඹ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පැවති සමුළුවක දී අදහස් හුවමාරු කර ගනිමින් . . .

ඉහත සංක්‍ෂේපයෙන් කරුණු දැක් වූ ආකාරයට ආචාර්ය සිරාන් දැරණයගල මහතා විසින් 1980 දශකයේ අවසානයේ දී විධිමත් හා පිළිගත් ශාස්ත‍්‍රීය ක‍්‍රම පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ලද බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ භාවිතය සම්බන්ධයෙන් ලංකාවෙන් අනාවරණය වන සාධක පිළිබඳ ඉදිරිපත් කරන විග‍්‍රහයන් හෝ විචේචන මීට වඩා ශක්තිමත් පදනමක් තුළ සිටිමින් ඉදිරිපත් කළ යුතු බව දක්වනු කැමැත්තෙමි. අනෙක් අතට බැලූූබැල්මට මානවයාගේ අතීතය පිළිබඳ හදාරණ ඉතිහාසය හා පුරාවිද්‍යාව බෙහෙවින් සමගාමි විෂයන් දෙකක් බව පෙනී ගිය ද එවායේ දැනුම උත්පාදනය කරන ක‍්‍රමවේදයන්ගේ ඇත්තේ විශාල පරතරයකි. එ බැවින්, වෙනත් විෂයීක ප‍්‍රවේෂයක් ඔස්සේ තවත් විෂයයකට අනන්‍ය ක‍්‍රමවේද මත පදනම්ව ඉදිරිපත් කරන මත පිළිබඳ සාකච්ඡා කිරීමේ දි එම විෂයේ ක‍්‍රමවේද පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීම අත්‍යාවශ්‍යය වේ.

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය Devanampiya රජ සමයේ දී සිදු වූ බවයි. එනම්, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත්, අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් eta කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක පිළිබඳ වැඩි විස්තර සඳහා . . .

ගල්ගමුව, අන්දරවැව කැනීමෙන් අනාවරණය වූ සාධක පිළිබඳ වැඩි විස්තර සඳහා . . .

-------------------------------------------------- -----------------------------
මෙම ලිපිය 2018.12.24 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- -----------------------------
Iragarkiak

Erantzun bat utzi

Idatzi zure iruzkina!
Idatzi zure izena hemen

Gune honek Akismet-ek spam erabiltzen du. Ikasi zure iruzkina nola prozesatu den.