Baragama Saddhananda Thero

පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම.

පූජ්‍ය, බැරගම සද්ධානන්ද හිමි

introducción
ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි ය. ඉතිහාසඥයාගේ කාර්යය වන්නේ යටගියාවේ කරුණු මත පදනම් ව අතීතය ප්‍රතිනිර්මාණය කිරීම යි. ඉතිහාසඥයාට සාහිත්‍ය මූලාශ්‍රයන්ට අමතරව පුරාවිද්‍යාව, ශිලාලේඛන විද්‍යාව, නාණක විද්‍යාව ආදී සහයක විද්‍යාවන් ගණනාවක සහය ලබාගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන් ම ඉතිහාස සිද්ධීන් තහවුරු කරගැනීමේ හැකියාව, ඉතිහාස කරුණු සංශෝධනයන් සහිතව අධ්‍යයනය කිරීමේ අවස්ථාව සහ ඉතිහාසයේ වසන් වූ තොරතුරු අනාවරණය කර ගැනීමේ හැකියාව ඒ අතර ප්‍රධාන වේ. වංශකතා ආශ්‍රයෙන් ඉතිහාසය දෙස බැලීමේ දී ශ්‍රී ලාංකේය රාජ තන්ත්‍රය මෙහෙය වූ පාලකයන්ගේ සැබෑ ජීවිතය ඉස්මතු නොවන අවස්ථා ඇත. එසේ අසාධාරණයට ලක්ව ඇති ශ්‍රේෂ්ඨ පාලකයන් අතරට ලම්බකරණ රජ පෙළපතට අයත් කණිට්ඨතිස්ස රජතුමා ද අයත් වේ. මෙම ලිපිය මගින් පෙන්වා දීමට උත්සහ කරනුයේ වංශකතා සහ ශිලා ලේඛන මූලාශ්‍රයන් ලෙස භාවිත කරමින් කණිට්ඨතිස්ස රජු සාර්ථක සහ යහපත් පාලකයකු ලෙස ගොඩනඟා ගත් චරිතය පිළිබඳව යි.

කණිට්ඨතිස්ස රජ පෙළපත සහ අභිලේඛන

වසභ රජුගෙන් ඇරඹි ලම්බකරණ රජ පෙළපතට අයත් රජවරු වර්ෂ තුන්සිය හැත්තෑවක පමණ කාලයක් ලක් රජය විචාරනු ලබති. වසභ රජුගේ වසර 44ක දීර්ඝ කාලීන රාජ්‍යය පාලනයෙන් පසු පිළිවෙලින් ඔහු පුත් Vincentious Tissa (ක්‍රි.ව. 109-112), ගජබාහු (ක්‍රි.ව. 112-134), මහල්ලකනාග (ක්‍රි.ව. 134-140) හා භාතියතිස්ස (ක්‍රි.ව. 140-164) රාජ්‍යයත්වයට පත්ව දීර්ඝ කාලයක් පාලන තන්ත්‍රය මෙහෙය වූ බව පෙනේ. ඉන්පසුව බලයට පත්වන්නේ භාතියතිස්ස රජුගේ සහෝදරයා වූ අපගේ කතානායකයා වන කණිට්ඨතිස්ස (ක්‍රි.ව. 167-186) රජතුමා ය.

ලම්බකරණ රජ පෙළපතේ සය වන පාලකයා ලෙස කණිට්ඨතිස්ස රජු බලයට පත් වුව ද මෙතුමාගේ පාලන කාලය පිළිබඳව වංශකතාවෙ හි නිශ්චිත එකඟතාවක් නොමැත. මහාවංශයෙ මෙන්ම දීපවංශයේ සඳහන් වන්නේ කණිට්ඨතිස්ස රජු වසර 28ක පාලන තන්ත්‍රය මෙහෙය වූ බව යි (මහාවංශය 1967:36,6; දීපවංශය 1977: 22,190). පූජාවලියේ කණිට්ඨතිස්ස රජු දහඅට අවුරුද්දක් රජ කළ බව කියැ වේ (පූජාවලිය 1997:775). රාජාවලියේ සඳහන්ව ඇත්තේ මෙතුමා විසි අවුරුද්දක් රජ කළ බවයි (රාජාවලිය 1997:194). කණිට්ඨ තිස්ස රජු වසර දහඅටක් රජ කළ කරුණ නිවැරදි ලෙස පසු කාලීන මූලාශ්‍රයන් හී දක්නට ලැබේ (ලං.වි.ලං.ඉ. 2001:180).

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙම රජුට අයත් සෙල්ලිපි 17ක් පමණ සොයාගෙන තිබෙන අතර ඒවායෙන් කණිට්ඨතිස්ස රජුගේ චරිතය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත. එම ලිපි අතර රුවන්වැලි සෑ පුවරු ලිපිය, තම්මැන්නා ගිරි ලිපිය, සිතුල්පව්ව ගිරි ලිපිය, මින්විල ගිරි ලිපිය අංක 5, මින්විල ගිරි ලිපිය අංක 6, සෝමාවති සෑ පුවරු ලිපිය, ලයිනමලේ ගිරි ලිපිය, ඔච්චප්පුකල්ලු ගිරි ලිපිය, අනුරාධපුර කෞතුකාගාරයේ පුවරු කැබැල්ලක ලිපිය, නෙළුම්පත් පොකුණ ගිරි ලිපිය, අභයගිරි සෑ මළුවේ පුවරු ලිපිය, මැහැල්ලයගේ දමනගිරි ලිපිය, රුවන්වැලි සෑ මළුව පුවරු ලිපිය, හබරණ ගිරි ලිපිය, අභයගිරි කරඬු දෙකක ලිපි, දීඝවාපි රන් සන්නස හා වෙල්ගම් වෙහෙර නටඹුන් වැව රන්තහඩුව යන ‌ලේඛන පවතී.

මෙම ලිපි ස්ථාපනය කිරීමේ මූලික අරමුණ ජනතාවට සන්නිවේදන මාධ්‍යයක් ලෙස යොදාගත්ත ද කණිට්ඨතිස්ස රජු පිළිබඳව අධ්‍යයනය කිරීමට පවතින වැදගත්ම සාධකය ලෙස මෙවා වැදගත් වේ. ඊට අමතරව කණිට්ඨතිස්ස රජුට අයත් බොහෝ අභිලේඛන විවිධ ආරාම භූමි වලින් ලැබීම විශේෂත්වයක් වුව ද ඒවායෙන් විසඳ වන කරුණු ආගමික පරසරයට පමණක් සීමා නොවේ. ඒ අනුව, මෙම ලේඛනවල අන්තර්ගත පරම්පරා තොරතුරු, දේශපාලන තොරතුරු, ආර්ථිකමය තොරතුරු හා ආගමික තොරතුරු යන ශීර්ෂ ඔස්‌‌සේ මෙසේ ඉදිරිපත් කළ හැකි ය.

රජ්‍ය පාලකයන් පිළිබඳව වාර්තා කිරීමේ දී බොහෝ විට පරම්පරා තොරතුරු ඉදිරිපත් කිරීම දැකගත හැකි වේ. විශේෂයෙන්ම කණිට්ඨතිස්ස රජතූමාගේ පියා සහ හොහොයුරා පිළිබඳව වංශකථාවේ කියැවෙන විස්තරය සිතුල්පව්ව ශිලාලේඛනය මගින් ද සනාථ වේ.

නක – මහරජ පුත බාතිය – තිස මහරජ මලිතිස (Paranavitana 2001:126)

ලිපියට අනුව පියා මහල්ලකනාග වන අතර වැඩිමහල් සොහොයුරා භාතියතිස්ස Es. කණිට්ඨතිස්ස රජුට අයත් සෑම ලිපියක පාහේ ආරම්භ කිරීමේ දී තමාගේ පියා සහ සොහොයුරා පිළිබඳව නාම මාත්‍රයෙන් දක්වා තිබීම සුලභ දසුනකි. තම පියාට සහ සොහොයුරාට පැවති ගෞරවය සෙනෙහස සංකේතවත් කිරීම සඳහා ද නැතහොත් කණිට්ඨතිස්ස රජුගේ චරිතය තුළ පැවති නිර්ව්‍යාජ ස්භාවය නිසා ද නැතහොත් තමා සතු රාජ්‍යය උරුමය දැක්වීමට දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිත කලේ ද යන්න නිශ්චිතව කිව නොහැකිය. පියා සහ සොහොයුරා පිළිබඳව වංශකතා සහ අභිලේඛන කරුනු ඉදිරිපත් කල ද එතුමාගේ මව සහ අග මෙහෙසිය පිළිබඳව සඳහන් වන්නේ අභිලේඛනවල පමණි. විශේෂයෙන් ම අභයගිරි කරඬු දෙකක තිබී සොයා ගත් ශිලා ලේඛනවල ඒ පිළිබඳව සඳහන් ව ඇත.

මලු – තිස – මහරජ මති සිරලය ධාතු වී ජනේ (Paranavitana 2001:145)

ලිපියේ සඳහනට අනුව ජය මහ රජු කණිට්ඨතිස්සගේ මෑණියන් වන සිරලාගේ ධාතු නිධානයක් පිළිබඳව කියැ වේ. මේ අනුව කණිට්ඨතිස්ස රජුගේ මව සිරලා දේවිය බව පැහැදිළි ය. එපමණක් ද නොව තම අගමෙහෙසිය ගේ ධාතු නිධානයක් ගැන කියැවෙන අනෙක් ලිපියෙ හි තම දේවිය වූ මිතබි බව සඳහන් ව ඇත (Paranavitana 2001:145).

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන තොරතුරු

ලම්බකරණ වංශික කණිට්ඨතිස්ස රජු රාජ්‍යත්වයට පත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 167-186 බව පැහැදිළි ය. වර්ෂ 18ක පමණ කාලයක් කිසිදු අභ්‍යන්තර බාහිර ආක්‍රමණ රහිතව පාලන තන්ත්‍රය මෙහෙය වූ මෙතුමා පිළිබඳ ව මහාවංශයේ ගාථා 12කින් වාර්තා කර ඇත. වර්ෂ 18ක දේශපාලන කාලය තුළ විධිමත් ව හා සංවිධාත්මක ව පාලන තන්ත්‍රය පවත්වා ගෙන ගිය බව සම කාලීන අභිලේඛන ද සාධක සපය යි. මෙතුමා සමස්ථ දිවයිනට ම අසහාය පාලකයකු ලෙස කටයුතු කළ බව එමගින් තහවුරු වේ. එසේ නොවන්නට මෙතුමාට අයත් සෙල් ලිපි උතුර, නැගෙනහිර මෙන් ම දකුණ ආදී පලාත් නියෝජනය වෙමින් හමු නොවන්නට ඉඩ තිබුනි.

මෙතුමාගේ රාජ්‍ය කාලය තුළ බාහිර හෝ අභ්‍යන්තර යුධ අරගලයක් සිදු වූ බවට කරනු ලබන ඉඟියක් හෝ මූලාශ්‍රයවල සඳහන් නොවේ. එසේ වන්නට ඇත්තේ සැබැවින් ම දේශපාලනික වශයෙන් ඔහු දක්වන ලද දක්‍ෂතාව සහ බාවිත කළ දේශපාලන ක්‍රමෝපායන් නිසා විය යුතු ය. රජුගේ පාලන තන්ත්‍රය ක්‍රමවත් ව හා විධිමත් ව පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන විශාල නිලධරයන් පිරිසක් සිටි බව ශිලාලේඛන මගින් තහවුරු කරනු ලබයි. විශේෂයෙන් ම අමාත්‍ය, සේනාපති, අධ්‍යක්‍ෂක හා භාණ්ඩාගාරික, ගණකාධිකාරී ආදී නිලධරයන් පිළිබඳව ප්‍රාමාණික තොරතුරු සම කාලීන අභිලේඛන මගින් සැපයීම එයට හේතුව යි.

කණිට්ඨතිස්ස රජුට අයත් අනුරාධපුර කෞතුකාගාර ලිපියක අමාත්‍යවරයකු හා මහාමාත්‍යයවරයකු ගැන කියැ වේ. (Paranavitana 2001:146) මොවුන්ගේ සහය දේශපාලන කටයුතු වල දී බෙහෙවින් යොදාගත් බව සිතීමට පිළිවන. ඊට අමතරව යුධයම කාර්යයන් සඳහා සේනාව සංවිධාන ක්‍රියාවලියේ නියුක්ත සේනාපති පිළිබඳව තම්මැන්නාව ලිපියේ සඳහන් ය.

1. බලිමහ ම (දක) හි – සේන ප
2. ති – දුබලයහ කළය (Paranavitana 2001:140)

මෙම ලිපියට අනුව සේනාපති තනතුර දැරූ පුද්ගලයා යම්කිසි ප්‍රදේශයක පාලන තන්ත්‍රය මෙහෙය වූ බව පෙනේ. නමුත් සේනාපතිගේ ක්‍රියාවලිය වන්නේ යුධමය අවස්ථාවන්වල දී රජුට සහය දක්වන ප්‍රධාන නිලය හැටියට ය.

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන පසුබිම වාර්තා කිරීමේ දී වංශකතා කරුවා යම් මැළිකමක් දැක්වුව ද ඔහු දේශපාලන ක්‍රමෝපායන් අනුගමණය කළ ප්‍රබල පාලකයකු ලෙස අර්ථ දැක්වීම යුක්ති සහගත ය. ලයිනමලේ ලිපියට අනුව මෙතුමා ප්‍රදේශීය පාලකයන්ගේ සහය සහිතව තම පාලන තන්ත්‍රය සැම විටම සමබර ව පවත්වා ගෙන යාම සඳහා උත්සහ ගත් පාලකයෙකි. සැම විටම ජනතාවගේ අවශ්‍යතාන් සපුරා ලීමට උත්සහා ගත් ආකාරය ද ලිපියෙහි අන්තර්ගතව ඇත.

හුවක පළාත නැතහොත් වර්තමාන ඌව පළාත පාලනය කළ හොනක දේවයා ජනතාවගේ දෛනික කටයුතු සඳහා කරදමරය නම් වැවක් නිර්මාණය කොට ඇත (Paranavitana 2001:138). මේ අනුව පැහැදිළි ලෙසම වර්තමාන ඌව පළාත කණිට්ඨතිස්ස රජුට යටත් ව පැවතියා සේම එහි පාලනය හොනක දේවයා පවත්වා ගෙන ගිය බව පැහැදිළි ය.

කණිට්ඨතිස්ස රජුගේ දේශපාලන උපක්‍රමයක් ලෙස එකල පැවති ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන සම්බන්දයෙන් පවත්වා ගෙන ගිය මධ්‍යස්ථ පිළිවෙත හඳුනාගත හැකි ය. මහා විහාර, අභයගිරිය කිසිඳු පාර්ශ්වයකට අන්තගාමී නොවී තම අනුග්‍රහය දැක්වීම හුදෙක්ම දේශපාලන වශයෙන් යොදාගත් උපක්‍රමයක් වන්නට පිළිවන.

Información Económica

ආර්ථික වශයෙන් රට ස්වයංපෝෂිත කිරීම සහ ජනතාවට අවශ්‍යකරන ධනධාන්‍යාදී සම්පත් ලබා දීම පාලකයා සතු වගකීමකි. තම දේශපාලන තන්ත්‍රය මැනවින් පවත්වා ගෙන යාමට ද එය අත්‍යවශ්‍ය සාධකයක් වේ. කණිට්ඨතිස්ස රජුට අයත් අභිලේඛන අධ්‍යයනය කිරීමේ දී පාලකයකු ලෙස ආර්ථිකය මැනවින් පවත්වාගෙන යාම සඳහා කෙතෙක් දුරට උත්සහ ගෙන ඇත්තේ ද යන්න හඳුනා ගත හැකි ය. එය අදියර දෙකක් යටතේ සාකච්ඡා කල හැකි වේ.

  • කෘෂි ආර්ථිකය
  • La economía de la economía

කෘෂි ආර්ථිකය

කෘෂිකාර්මික කටයුතු සඳහා යෝග්‍ය උතුර මැද, නැගෙනහිර, වයඹ සහ දකුණ යන ප්‍රදේශවල සාරවත් පස, ගංගා ජලය එක්රැස් කිරීමේ හැකියාව සහ ජලය වගාබිම් කරා ගෙන යාමේ හැකියාව මත මෙකල කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක වූ යුගයකි. එනම් වාරිකර්මාන්තය සහ කෘෂිකර්මාන්තය එක්ව බැඳුණු සැළසුමකට යටත්ව ආර්ථිකය පෝෂණය කිරීම සඳහා උත්සහ ගත් අවධියක් ලෙස අර්ථ දැක්වීම නිවැරදි ය.

ලංකාවේ කෘෂිකාර්මික සමාජයෙහි මහත් විප්ලවයවක් ඇතිකළේ ලම්බකරණ වංශයේ ප්‍රථම පාලකයා වූ Vasabha (65-109) රජු විසිනි. ඔහු මහ වැව් නිර්මාණය කොට වාරිමාර්ගයන්ගෙන් ජලය සැපයීම හරහා වසරකට කන්න දෙ වතාවක් හෝ තුන් වතාවක් රට අස්වැදීමේ සංස්කෘතිය ඇතිකිරීම එයට හේතුවයි (විජේසේකර 1990:98). පසු කාලීන පාලකයන් එය ආරක්‍ෂා කළ අතර ම කණිට්ඨතිස්ස රජු ද විශාල වාරි කර්මාන්ත ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙහි දායක වූ බව අභිලේඛන සනාථ කරනු ලබ යි. එහෙත් වංශකතාවේ ඔහුගේ ආගමික ක්‍රියාවන් පිළිබඳව වාර්තා කල ද ඔහු ආර්ථික කටයුතු සඳහා ලබාදුන් දායකත්වය ගැන කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ඔච්චප්පුකල්ලු ගිරි ලිපියෙහි වැව් හතරක් පිළිබඳව තොරතුරු දැක්වෙන අතර, සිතුල්පව්ව ගිරි ලිපියෙහි දක්‍ෂිණ තිස්ස නම් වැවක් පිළිබඳව තොරතුරු සඳහන් වේ (Paranavitana 2001:126,143). කණිට්ඨතිස්ස රජු වැව් නිර්මාණය කලා සේම ඒවා මැනවින් ආරක්‍ෂා කරගෙන යාම සහ අයබදු අය කිරීම ගැනීම සඳහා නිලධරයන් පත්කර තිබූ ආකාරය ගැන ද සඳහන් වේ. මෙතුළින් ගම්‍යවන කරුණක් වන්නේ මෙවැනි විශාල වැව් ප්‍රමාණයක් මිලයට ගෙන සංවර්ධනය කිරීමට නම් රට තුළ ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් තිබිය යුතුය යන්න යි.

මෙම විශාල වාරිකර්මාන්තයට අමතරව වාරිතාක්‍ෂණය උපයුක්ත කරගනිමින් කෘෂිකර්මාන්තය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව ද සෙල් ලිපිවල තොරතුරු සඳහන් ය. කණීට්ඨතිස්ස රජුට අයත් තම්මැන්නාව ගිරි ලිපියෙහි කුඹුරු හයක් අස්වැද්දීම සඳහා දෙන ලද දීමනාවක් ගැන කියැ වේ. බලිමහමදක නම් වෙල්යාය අස්වැද්දීම සඳහා කණිට්ඨතිස්ස රජු මුදල් පරිත්‍යාග සිදුකොට ඇත (Paranavitana 2001:140). ලයිනමලේ ලිපියෙහි ද මල කෙතක නම් වූ ක්‍ෂේත්‍ර යායක් පිළිබඳව කියැ වේ. මේ අනුව, කණිට්ඨතිස්ස පාලන සමයේ දී ආර්ථිකමය වශයෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා මැදිහත් වීම සිදුව ඇති බව ප්‍රත්‍යක්‍ෂ වේ.

La economía de la economía

ආර්ථික පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීමෙ දී කණිට්ඨතිස්ස යුගයේ දී වෙළෙඳ ආර්ථීක කටයුතු මගින් ද ඍජු දායකත්වයක් ලබා දී ඇත. විශේෂ වශයෙන් බදු වර්ග හා බැංකු කටයුතු වෙළෙඳ ආර්ථිකය හැඩ ගැස්වීමෙහි ලා විශාල දායකත්වයක් ලබා දී ඇති බව ශිලා ලේඛන විමර්ශනය කිරීමේ දී සනාථ වේ. ඒ අනුව මෙකල ප්‍රබල ලෙස බදු වර්ග තුනක් ක්‍රියාත්මක වූ බව පෙනේ.

වැව් ජලය ප්‍රයෝජනයට ගන්නෝ ඒ වෙනුවෙන් රජුට හෝ වැව් හිමියාට හෝ දකපති නම් දියබද්දක් ගෙවූහ. කුඹුරු හිමියාට හෝ ඉඩම් හිමියාට හෝ පාලකයාට හෝ බොජියපති නම් භෝජක බද්දක් ගෙවූහ. වැවේ හෝ ඉන් ගලාගිය ඇළෙන් මසුන් අල්ලා ගන්නන් වැව් හිමියාට මතෙර මජිබක නම් බද්දක් ගෙවහ. මේ පති තුන හෙවත් බදු තුන තිපති “තිනි මහපති” යනුවෙන් හැඳින්විනි (විජේසේකර 1980:98).

මෙකල සමාජයේ ක්‍රියාත්මක වූ බදු වර්ග තුන පිළිබඳව සාධක කණිට්ඨතිස්ස රජුට අයත් අභිලේඛන මගින් ද සනාථ වේ. රුවන්වැලි සෑ පුවරු ලිපියේ නකරියාව වැවේ ඇළවල් වලින් ඇල්ලූ මාළු කොටස ද වැවේ තණබිම් ද, භූමි පරිශ්‍රය ද යන ස්ථාන වලින් බදු අය කරගත් බව කියැ වේ (Paranavitana 2001:130). ඊට අමතරව ඔච්චප්පුකල්ලු ලිපිය මගින් ද බදු මුදල් කිහිපයක් පිළිබඳව තොරතුරු සඳහන් ය.

වෙළෙඳ ආර්ථීකය සංවර්ධනය කළ තවත් අංශයක් වන විවිධ වෙළඳ ගණුදෙනු පිළිබඳව ද සෙල්ලිපි වල තොරතුරු සඳහන් වේ. සිතුල්පව්ව ලිපියට අනුව කහවණු භාවිතය පිළිබඳව තොරතුරු දැක්වේ. කණිට්ඨතිස්ස රජු කහවණු අටසිය තිස් තුනක මිලක් ගෙවා දක්‍ෂිණතිස්සවාපී වැව මිලට ගත් බවක් කියැවේ (Paranavitana 2001:126). මෙමගින් ගම්‍ය වන කරුණක් නම් මෙකල සමාජයේ මුදල් භාවිතය (කහවණු) පැවති බව යි. එසේ මුදල් භාවිත කිරීම සහ විශාල මුදලක් වැය කිරීම හරහා ඉතා දියුණු වෙළෙඳ ආර්ථික රටාවක් පැවති බව පැහැදිළි ය.

ආගමික පසුබිම

කණිට්ඨතිස්ස රජුට අයත් දැනට සොයාගෙන ඇති සෑම ලිපියක ම අන්තර්ගතව ඇත්තේ විවිධ ආගමික ස්ථාන සඳහා ලබාදුන් පරිත්‍යාග පිළිබඳවයි.

  • නව විහාර සැකසීම
  • ප්‍රතිසංස්කරණ
  • නඩත්තු දීමනා
  • ආගමික උත්සව

කණීට්ඨතිස්ස රජුගේ ආගමික ප්‍රතිපත්ති පිළිබඳව වංශකතා තුළ ද දීර්ඝව සඳහන් වේ. මෙතුමා අභයගිරි විහාරයෙ හි සිදුකළ රත්න ප්‍රාසාද නම් ගෘහයක් කරවීම සහ අබාගිරි මහ පිරිවෙන, මණිසෝම මහ පිරිවෙන ආදී පූජනීය ස්ථාන සඳහා ඉදිකළ නව නිර්මාණ, නඩත්තු කටයුතු, විවිධ පරිත්‍යාග පිළිබඳව කරුණු ඇතුළත් ය (මහවංශය 36:170).

අභිලේඛන විශ්ලේෂණය කිරීම මගින් ද මෙම කරුණ සනාථ වේ. අගනුවරින් බැහැර දුෂ්කර ප්‍රදේශවල පැවති ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා වැඩි අවධානයක් යොමු කළ බව සිතුල්පව්ව ගිරි ලිපිය මගින් සනාථ වේ. දක්‍ෂිණ තිස්ස නම් වැවක් මිලයට ගෙන ආරාම භූමියෙහි පැවති විහාර අංග ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කියැ වේ (Paranavitana 2001:126).

මහාවිහාරයට අයත් මහාථූපයේ වියදම් සඳහා තම අනුග්‍රහය ලබාදුන් ආකාරය රුවන්වැලා සෑ ලිපිය මගින් සනාථ කරනු ලබයි (Paranavitana 2001:130). මෙම ලිපියේ පවතින විශේෂත්වය නම් අභිශේකයෙන් පළමු වන වර්ෂය තුළ සිදුකළ පරිත්‍යාගයක් වීමයි. අභයගිරි ථූපයේ කොත සහ ඡත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිදු කළ පරිත්‍යාග පිළීබඳව අභයගිරි ලිපියේ දැක්වේ (Paranavitana 2001:154). ඊට අමතරව විහාරවාසී භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පසය සඳහා දුන් පරිත්‍යාග පිළිබඳව එහි වැඩි දුරටත් කියැ වේ.

කණිට්ඨතිස්ස රජුගේ නව විහාර කර්මාන්තයන් පිළිබඳව මින්විල ලිපිය මගින් කරුණු දක්වයි. මින්විල ප්‍රදේශයේ ආරාමයක් කරවා අභයගිරි විහාරයට පවරන ලද බව සඳහන්ය (Paranavitana 2001:137). ඊට අමතරව මෙතුමා විසින් සිදුකළ නව විහාර කර්මාන්තයක් ගැන ලයිනමලේ පර්වත ලිපිය මගින් ද තහවුරු කරනු ලබයි. මෙතුමා විසින් සිදුකරන ලද නව කර්මාන්ත, ප්‍රතිසංස්කරණ, නඩත්තු කටයුතු වලට අමතරව භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැළසීම ද විශේෂ වේ. අභයගිරි සිතුල්පව්ව ලයිනමලේ ආදී ලිපි එයට කදිම නිදසුන් වේ.

ඊට අමතරව එකල පැවති විවිධ ආගමික උත්සව පිළිබඳව සහ ඒ සඳහා දක්වන ලද රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව ද තොරතුරු අධ්‍යයනය කළ හැකි වෙයි. නෙළුම් පොකුණ ශිලා ලිපියට අනුව මෙකල පැවති ඉතාම ජනප්‍රිය උත්සවයක් වන අරියවංශ දේශනාව සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී ඇති බව පෙනේ. ගොසගල මහාආශ්‍රමයෙහි අරියවංශ උත්සවය සඳහා පරිත්‍යාග බොහොමයක් සිදුකොට ඇත (Paranavitana 2001:150). මෙහි දැක්වෙන අන්දමට භික්‍ෂූන් වහන්සේලාගේ සිව්පස අවශ්‍යතා ආවාස පහසුකම්, දේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා පරිත්‍යාග එයට ඇතුළුව ඇත. ඒ අනුව, පැහැදිළි වශයෙන් ම කණිට්ඨතිස්ස රජු අරියවංශ දේශනාව පැවැත්වීමේ දී රාජ්‍ය අනග්‍රහය නොමඳව ලබා දී ඇති බව සනාථ වේ.

වංශකථා සහ අභිලේඛන සාධක විශ්ලේෂණය කර බැලීමේ දී පෙනීයන්නේ කණිට්ඨතිස්ස චරිතය දේශපාලනික, ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් විශාල මෙහෙයක් සිදුකළ සාර්ථක පාලකයකු මෙන්ම යහපත් පාලකයකු වන බව ය.

Bibliografía relacionada

  • Dipavamsa (1997), (සංස්) කේ. චන්ද්‍රදාස, ගොඩගේ සහ සමාගම, කොළඹ.
  • Mahavamsa (1967), (සංස්) ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත පඬිතුමා, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
  • ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය (1995), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, පර්යේෂණාංශය.
    විජේසේකර, එන්. 1990. අභිලේඛන දෙවන වෙළුම සමරු පොත් පෙළ, සත සංවත්සරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
  • Paranavitana. S. (2001), Inscripción de Ceilán, vol 2, part II, Department of archaeology, Colombo.
-------------------------------------------------- -----------------------------
මෙම ලිපිය 2018.12.31 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- -----------------------------
anuncios

1 COMENTARIO

DEJA UNA RESPUESTA

Por favor, introduzca su comentario!
Por favor, introduzca su nombre aquí

Este sitio usa Akismet para reducir el correo no deseado. Descubra cómo se procesan los datos de sus comentarios.