නාමල් කොඩිතුවක්කු

ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ‌කොළඹ 7.

පරිවර්තනය : Chandima Bandara Ambanwala විසිනි

Abstract

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප‍්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ‍්‍රාහ්මී නමින් හඳුනාගන්නා අක්‍ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප‍්‍රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි.

අනුරාධපුරයේ මෑත කාලීනව සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ කැනීම් මඟින් බ‍්‍රාහ්මී ලේඛනයන්ගේ ප‍්‍රභවය ක‍්‍රිස්තු පූර්ව 6 – 5 වැනි සියවස් දක්වා ආපස්සට ගමන් ගන්නා බවට, නොමැති නම් තවත් සියවසක් හෝ පැරණි බවට ස්ථිර සාධක අනාවරණය වී ඇත. මෙම සාධක සම කාලීන දකුණු ඉන්දියානු සාධක සමඟ සන්ථාපනය කර ඇත. මෙහි ඵලය වශයෙන් දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ලේඛන ක‍්‍රමයන්ගේ ප‍්‍රභවය හා ඒ හා සහසම්බන්ධ නාගරික ශිෂ්ටාචාරයේ ප‍්‍රවර්ධනය පිළිබඳ නැවත සිතීමට එනම් සුසමාදර්ශිය වෙනසකට බලකර සිටියි.

Geiriau allweddol: බ‍්‍රාහ්මී අක්‍ෂර, ප‍්‍රභවය, කාලනීර්ණ, අනුරාධපුරය

Dr. Shiran Deraniyagala

1988 වසරේ දී ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය Shiran Deraniyagala විසින් ඓතිහාසික ලංකාවේ පරිපාලන මධ්‍යස්ථානය වන අනුරාධපුර ඇතුළු නගරයේ පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් සිදු කරන ලදී. වර්තමාන පොළොවේ මතුපිට මටට්මේ සිට ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරට සිදුකරන ලද මෙම කැනීම් මඟින් අනුරාධපුරයේ ජනාවාසකරණයේ ප‍්‍රභවය පිළිබඳ පැවති අදහස් විමසා බැලිමට අවස්ථාව උදා විය. මේ දක්වා පැවති අදහස් අභිබවනය කරමින් වෙනත් තත්ත්වයක් ඉස්මතු කිරීමට මේ මඟින් හැකි වූ බව විශ්වාස කෙරේ. අක්කර 35-65 අතර භූමි වපසරියක ව්‍යාප්ත වී පැවති විශාල ගම්මානයක් නියෝජනය වන ජනාවාස ප‍්‍රදේශයේ ආරම්භය රේඩියෝ කාබන් කාලනීර්ණ අනුව ක‍්‍රිස්තු පූර්ව 900 කාලයට ස්ථාපනය කිරීමට හැකි වී ඇත. යකඩ මෙවළම්, වී ගොවිතැන, අනර්ඝ තත්ත්වයේ මැටි භාජන හා අශ්වයින් හා ගවයන් ඇති කිරීම (Deraniyagala 1990, 1992; Deraniyagala & Abeyratne 2000) යනාදිය ඇතුළත් සංස්කෘතික ද්‍රව්‍යය සංචිතය මඟින් මේ බව පැහැදිලි කෙරේ.

ක‍්‍රිස්තු පූර්ව 700 පමණ වන විට අක්කර 125ක වපසරිය ඉක්මවමින් අනුරාධපුර ඇතුළු නගරයේ ජනාවාසය ව්‍යාප්ත වී පැවති අතර ක‍්‍රිස්තු පූර්ව 500 පමණ වන විට ආසන්න වශයෙන් අක්කර 180ක පමණ භූමි ප‍්‍රමාණයක මෙම ජනාවාසය ව්‍යාප්ත විය. ක‍්‍රමානුකූල ව, ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී එනම් දේවානම්පියතිස්ස රජුගේ හා මෞර්ය අසෝක අධිරාජ්‍යයාගේ කාලය වන විට අනුරාධපුර ඇතුළු නගරය එහි උපරීම වර්ධනය පෙන්නුම් කරන ලද අතර මේ වන විට එහි ව්‍යාප්තිය අක්කර 250ක් පමණ විය. මේ අවස්ථාව වන විට කලාපීය වශයෙන් සලකා බැලිමේ දී උතුරු ඉන්දියාවේ උජ්ජෙයිනි නගරයට දකුණින් පිහිටි විශාලම නගරය බවට අනුරාධපුරය පත් වී පැවතිනි (Allchin 1995:208).

අනුරාධපුර ඇතුළු නගරයේ සැලැස්ම

මූලික වශයෙන් ඉන්දියාවේ උතුරු කලාපයේ ගංගා නම් ගඟේ නිම්නයේ ක‍්‍රිස්තු පූර්ව 1,000 සිට ඉදිරි කාලයේ දී සිදු වූ නාගරික වර්ධනය කෞසම්භි නගරය මඟින් පෙන්නුම් කරනු ලබයි. මෙය ඉන්දියානු උප මහාද්වීපික කලාපයේ නගර වර්ධනය පිළිබිඹු කරයි. මෙසේ ලංකාවේ ඇති වූ සංස්කෘතික පිබිදීම ඉන්දියානු කලාපයේ දෙ වැනි නාගරීකකරණ අවස්ථාව වශයෙන් හඳුනාගනු ලැබ ඇත. අනුරාධපුරය සම්බන්ධ ඉහත කී සාධක අර්ධද්පික ඉන්දියාවේ මධ්‍යම හා දකුණු කලාපයේ සාධක සමඟ නොසැසඳුන ද උතුරු ඉන්දීය නාගරික මධ්‍යස්ථානයන්ගෙන් අනාවරණය වන සාධක සමඟ සමාන්තර වර්ධනයක් සිදු වූ බව පෙන්නුම් කරනු ලබයි. මෙම විසදෘෂතාව ගෝලීය වශයෙන් ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් අතර තීව‍්‍ර සංවාදයක් ඇති කිරීම සඳහා හේතුපාදක වී ඇත.

ආචාර්ය දැරණියගලයන්ගේ ව්‍යාපෘතිය මඟින් පූර්ව බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කර ඇති එකිනෙකට වෙනස් භාජන හතකට අයත් මැටි බඳුන් කොටස් අනාවරණය කරගත හැකි වීම මඟින් එක් තීරණාත්මක සාධක ප‍්‍රමාණයක් හෙළිදරවු වී ඇත (දකුණු ආසියාතික කලාපයේ පළමුවෙන් ම භාවිත කරන ලද අක්‍ෂර වශයෙන් බ‍්‍රාහ්මී අක්‍ෂර සැලකේ). එකිනෙකින් වෙන් වූ පුරාවිද්‍යාත්මක කැනීම් පරිශ‍්‍ර ද්විත්වයක් මඟින් රේඩියෝ කාබන් කාලනීර්ණ මඟින් ක‍්‍රිස්තු පූර්ව 600-500 අතර කාලයට කාලනීර්ණය කර ඇති මෙම මැටි භාජන කොටස් ඒ පිළිබඳ අපගේ බුද්ධියේ නිම්වළලුු ප‍්‍රසාරණය කිරීමට සමත් වී ඇත (Deraniyagala 1990, 1992; Deraniyagala & Abeyratne 2000).

අනුරාධපුර ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ 1988 වසරේ දී සිදුකළ කැනීමෙන් අනාවරණය වූ අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් [බියඅනුරධ]

දකුණු ආසියානු කලාපය පිළිබඳ කීර්තිමත් පුරාවිද්‍යාඥ කේමිබි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එෆ්. ආර්. ඕල්චින් විසින් පහත දැක්වෙන චිරස්ථායි අදහස් පළකර ඇත (Allchin 2006:453).

… ජේම්ස් ප‍්‍රින්සෙප් විසින් අසෝක අභිලේඛන කියවා වසර සියයකුක් තවත් අඩක් ගත වී ඇතත් මේ වන තෙක් කිසිම ස්ථානයකින් අසෝකට පෙර කාලයට අයත් හෝ එසේ ඔප්පු කළ හැකි කිසිදු අභිලේඛනයක් අනාවරණය කරගැනීමට හැකි වී නැත (අසෝක අධිරාජ්‍යයා ක‍්‍රිස්තු පූර්ව 274 – 232 කාලයේ සිටි බව පිලිගෙන ඇත.)

නමුත් අනුරාධපුරයෙන් ලැබුණු සාධක ඉහත කී දැක්ම සමඟ විසංවාදී තත්ත්වයක් ඇති කිරීමට අවශය අනුබලය සපයා ඇත. එකී ධාරණාවන් අන්තර්ගත ප‍්‍රකාශන (Deraniyagala 1990, 1992, 2000) විද්වතුන් අතර විශේෂයෙන් ඉතිහාසඥයන් අතර සැලකිය යුතු සැකයක් ජනනය කිරීමට හේතු වී ඇත.

මහාචාර්ය ඉරවතම් මහාදේවන්

ඉන්දියාවේ අභිලේඛන පිළිබඳ ප‍්‍රමුඛ විශාරදයෙකු (හා ඉන්දියේ බිහි වූ විශිෂ්ටම විද්වතුන් අතුරින් අයෙකු වශයෙන් සැලකෙන (Patel 2010)) වන ඉන්දීය පුරාවිද්‍යා සමීක්‍ෂණයේ විශ‍්‍රාමික අභිලේඛනඥ මහාචාර්ය ඉරවතම් මහාදේවන් මහතා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු ව්‍යතිරේඛයක් ඉදිරිපත් කර ඇත. ආචාර්ය දැරණියගලයන් විසින් 1992 වසරේ දී සිදුකරන ලද ප‍්‍රකාශනය පරිශිලනය කිරීමෙන් අනතුරුව 1997 සැප්තැම්බර් 11 වැනි දින පහත දැක්වෙන ලිපිය ආචාර්ය දැරණියගල වෙත ඔහු එවා ඇත.

හිතෛෂි ආචාර්ය දැරණියගල,

ඔබ විසින් අගෝස්තු 6 වැනි දාතම යටතේ එවන ලද ලිපිය සමඟ මා වෙත එවන ලද ඔබගේ පත‍්‍රිකාවේ පිටපත වෙනුවෙන් අතිශයින් කෘතඥ වෙමි. දක්වා ඇති අදහස් අනුව එමඟින් අතිශය ගැඹුරු විප්ලවීය තත්ත්වයක් ජනනය කරන බව පෙනී යයි. මේ සම්බන්ධව ඇති එකම ගැටලුුකාරි තත්ත්වය වන්නේ මේ සම්බන්ධ සාධක මේ වන තෙක් ඉන්දියාවෙන් අනාවරණය වි නොතිබීමයි. මතු යම් දිනක ඉහත ගැටලුුව විස‌ඳෙන්නේ ද ඔබගේ විප්ලවය එදිනට මුදුන්පත් වනු ඇත. [අවධාරණය මුල් ලිපියේ කතුවරයා විසිනි]

ඔබගේ හිතවත්,
අයි. මහාදේවන්

මේ අතරතුර, අනුරාධපුරයෙන් අනාවරණය වූ ක‍්‍රිස්තු පූර්ව 6 වැනි සියවසට අයත් ලේඛනයන්ගේ වලංගුතාව හා පෞරාණිකත්වය පිළිබඳ ඉතිහාසඥයින් (ප‍්‍රාථමික මට්ටමින්) හා පුරාවිද්‍යාඥයින් කීපදෙනෙකු විසින් දක්වන ලද සංකා සහගත මත (අප‍්‍රකාශිත) විමර්ශනය කිරීමේ අරමුණින් ආචාර්ය දැරණියගලගේ යෝජනාවක් අනුව ම ඔහුගේ නිගමනයන් පරික්‍ෂා කිරීමේ අරමුණින් එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසකට ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් ආරාධනා කරන ලදී. එෆ්. ආර්. ඕල්චින්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ව ඔහුගේ සහායක රොබින් කොනිග්හැම් (ලුුම්බිණි කැනීම හේතුවෙන් වර්තමානයේ බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත් වී ඇති) ආචාර්ය දැරණියගල විසින් සිදුකරන ලද එක් කැනීම් ස්ථානයක් වූ සල්ගහවත්ත කැනීම 1989 සිට 1992 දක්වා තවදුරටත් පුළුල් කරන ලදී (Deraniyagala 1989, Coningham 1999, 2006). අදාළ කැනීම්හි ප‍්‍රතිඵළ අචාර්ය දැරණියගලයන් විසින් සිදුකරන ලද අනාවරණය කිරීම් ඒකාන්ත වශයෙන් ම තහවුරු කරන ලදී. ඒ අනුව, ක‍්‍රිස්තු පූර්ව 450 හෝ ඊට පෙර කාලයට කාලනීර්ණ කළ හැකි පාංශූ ස්ථරයන් තුළින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිභාජන කොටස් සොයා ගැනීමට හැකි විය (Coningham & Allchin 1995: 176; Allchin 2006). මෙම කාලනීර්ණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කරන ලද කාලනීර්ණයන්ට සුළු ප‍්‍රමාණයකින් පමණක් මෑත කාලීන වුව ද ඕල්චින්ගේ ඉහත ප‍්‍රකාශයෙන් දක්වා ඇති ප‍්‍රකාශය අභිබවනය කරමින් අසෝක අධිරාජ්‍යයාට සියවස් කීපයක් පූර්ණ කාලීන වේ.

ආචාර්ය දැරණියගල හා බි‍්‍රතාන්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලද පර්යේෂණාත්මක අනාවරණය කිරීම් සඳහා වාග්විද්‍යාත්මක පර්යාවලෝකනයක් හෙළමින් අනර්ඝ බහු විෂයාත්මක කෘතියක් පළ කළ අග‍්‍රගණ්‍ය ඉන්දීය වාග්විද්‍යාඥ පී.ජී. පටෙල්ගේ කොන්දේසි විරහිත එකඟතාව (Patel 2010) පළ වී ඇත.

මෙම ආඛ්‍යානයේ ඊලඟ කොටස ඉහත දැක් වූ මහාදේවන්ගේ අදහස් දැක්වීම හා අනුගාමි කටයුත්තකි. පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් හා ඔහුගේ කණ්ඩායම විසින් තමිල්නාඩුවේ කොංගු ප‍්‍රදේශයේ පිහිටා ඇති කොඩුමනාල් a පොරුන්තාල් (Rajan et al. 2014) යන මුල් යකඩ යුගයට අයත් ස්ථාන දෙකක් කැනිම් කරන ලදී. කොඩුමනල් කැනීමෙන් අනාවරණය වූ බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටි බඳුන් නිදර්ශක දෙකක් සඳහා පිළිවෙලින් ක‍්‍රිස්තු පූර්ව 408 හා 330 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ දෙකක් (අංක ශෝධනය නොකරන ලද) ඔහු විසින් ලබා දී ඇත. (සැලකිය යුතුයි. කැලැන්ඩර් දින මීට වඩා පූර්ව කාලීන වේ.) පොරුන්තාල් කැනීම මඟින් බ‍්‍රාහ්මී අක්‍ෂර සටහන් කරන ලද මැටිබඳුුන් ගැටි කොටස් දෙකක් අනාවරණය විය. එයින් එකක් සඳහා ක‍්‍රිස්තු පූර්ව 490 වශයෙන් රේඩියෝ කාබන් දිනනීර්ණ (අංක ශෝධනය නොකරන ලද) ලැබී ඇත. මේ මඟින් නැවත වරක් කොඩුමනාල් දිනනීර්ණයන්ට වඩා පූර්ව කාලීන දින නියමක් හඟවනු ලැබේ. මේ සම්බන්ධයෙන් රාජන් හා අනෙක් අය (Rajan et al. 2014:82) පහත විනිශ්චය දක්වා ඇත.

කොඩුමනාල් ස්ථානයේ සිදුකළ කැනීමෙන් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් අනාවරණය වූ ආකාරය (‌මෙම ඡායාරූපය https://www.thehindu.com ‌වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද බව කාරුණිකව සලකන්න.)

පොරුන්තාල් හා කොඩුමනල් වලින් ලැබුණු මෙම කාලනීර්ණ බ‍්‍රාහ්මී ලේඛනවල කාලනීර්ණය නිසැක වශයෙන් ම අසෝක යුගයට වඩා අවුරුදු දෙ සියක් ඈත කාලයට ගෙනයයි. මෙම බ‍්‍රාහ්මී ඉන්දියාවේ බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය පිළිබඳ අදහස් නැවත විපරම් කිරීමට අපව පොළඹවනු ලබයි.

පොරුන්තාල් ස්ථානයේ කැනීම් අතරතුර (‌මෙම ඡායාරූපය https://www.frontline.in ‌‌වෙබ් අඩවියෙන් උපුටාගත් බව කාරුණිකව සලකන්න.)
පොරුන්තාල් කැනීමෙන් අනාවරණය වූ බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් ‌කොටසක් (මෙම ඡායාරූපය ‌https://www.frontline.in වෙබ් අඩවියෙන් උපුටා ගත් බව කාරුණිකව සලකන්න)

රාජන් ඇතුළු කණ්ඩායමේ මෙම අනාවරණය කිරීම් මහාදේවන්ගේ ප‍්‍රකාශය වෙත අප නැවත කැඳවාගෙන යනු ලබයි. “මේ සම්බන්ධව ඇති එකම ගැටලුකාරි තත්ත්වය වන්නේ මේ සම්බන්ධ සාදක මේ වන තෙක් ඉන්දියාවෙන් අනාවරණය වි නොතිබීමයි. මතු යම් දිනක ඉහත ගැටලුව විසඳෙන්නේ ද ඔබගේ විප්ලවය එදිනට මුදුන්පත් වනු ඇත.” 1988 දී ලංකාවෙන් අනාවරණය වූ සාධක සනාථ කරන අන්දමේ සාධක මේ වන විට ඉන්දියාව සම්පාදනය කිරීමට සමත්ව ඇත. මෙම සාධක ඇත්ත වශයෙන් ම අසෝක අධිරාජ්‍යයාගේ කාලයට වඩා වසර සියවස් කීපයක් ඉහත කාලයට අයත් වේ. ඒ අනුව මහාදේවන් විසින් පූර්වකල්පනය කරන ලද විප්ලවය දැන් සමර්ථනය වී ඇත.

ලේඛන ක‍්‍රමයක් අත්පත්කර ගැනීම තුළින් ඕනැම සංස්කෘතියක තොරතුරු තාක්‍ෂණයේ විශාල පිම්මකින් වර්ධනය වන බව පිළිබිඹු කෙරේ. ආචාර්ය දැරණියගල විසින් අනුරාධපුරය සම්බන්ධයෙන් ස්ථාපනය කරනු ලැබූ දකුණු ආසියාතික කලාපයේ ලේඛන ක‍්‍රමයන්ගේ ප‍්‍රභවය පිළිබඳ මේ නව කාලනීර්ණ තුළින් දකුණු ආසියානු කලාපයේ පුරාවිද්‍යාව පිළිබඳ සුසමාදර්ශීය වෙනසක් ස්ථාපනය කර ඇත (Premathilake & Senevirathne 2015). ඉන්දියාවේ මූල ඓතිහාසික අවධියේ ආරම්භය පිලිබඳ සාම්ප‍්‍රදායික අදහස වූ ක‍්‍රිස්තු පූර්ව තෙ වැනි සියවසේ අසෝක අධිරාජ්‍යයාගේ පාලන කාලය හා සමාන්තර වේ යන අදහස ක‍්‍රිස්තු පූර්ව 6-5 වැනි සියවස් හා සමාන්තර වශයෙන් පුනර්ස්ථාපනය කිරීමට හැකි වන බව සැලකිල්ලට ගතයුතු වේ (Rajan et al. 2006: Premathilake & Senevirathne 2015). අනුරාධපුරයෙන් අනාවරණය වූ අක්‍ෂර සටහන් කර ඇති මැටිබඳුන් කොටස් සොයාගැනීමේ වැදගත්කම හා එහි බලපෑම සැසදිය හැක්කේ 19 වැනි සියවසේ දී මහාවංසය පළමු වැනි වරට අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් පමණී. ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මාතාවට අභිමානයක් ඇති කරගැනීමට හැකියාව උදා වී ඇත.

ආචාර්ය Shiran Deraniyagala තමන් විසින් සිදුකරන ලද අනුරාධපුර ඇතුළු නගරයේ පර්යේෂණ ව්‍යාපෘතිය ලබාදුන් සහයෝගය වෙනුවෙන් එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය රෝලන්ඞ් සිල්වාට තම කෘතඥතාව පළ කරයි. එ මෙන් ම ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාකෘති නියැදිකරණය හා ඒවායේ ආදර්ශවත් නිවැරදි සන්දර්භ පිලිබඳ බෙහෙවින් පෙළඹීගිය දැනුමක් ඇති ඇල්ෆ‍්‍රඩ් ද මැල් විසින් පෙරමුණ ගන්නා ලද විශිෂ්ට කැනීම් පර්යේෂණ කණ්ඩායම වෙත ද තම අවංක ස්තූතිය පළ කරනු ලබයි.

පසු සටහන: අක්කර 250ක් පුරා ව්‍යාප්ත වූ ආයත චතුරස‍්‍රාකාර අනුරාධපුර ඇතුළු නගරය තූපාරාමය හා කුට්ටම් පොකුණ අතර ස්ථානගත වී ඇත. මෙම බිම්කඩ කිසිදු විවාදයකින් තොරව ශ‍්‍රී ලංකාවේ වැදගත්ම පුරාවිද්‍යාත්මක ක්‍ෂේත‍්‍රය වශයෙන් සැලකිය හැකි වේ. මෙම බිම්කඬේ තැම්පත් වී ඇති අගනා සංස්කෘතික තැම්පතු අතුරින් මේ දක්වා කැනීම් සිදුකර ඇත්තේ 1/10,000කට ආසන්න ප‍්‍රදේශයක් පමණි. ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරේ ආකූළ නොවූ පස් තැම්පතු පවතී. මෙම භූමියේ සිදුවන්නා වූ අධිකතර විනාශකාරි ක‍්‍රියා හමුවේ මෙ ක්‍ෂේත‍්‍රය පුරාවස්තු ආඥාපනත මඟින් ආරක්‍ෂා කරනු ලැබේ. මෙහි පවතින පුනර්ජනනය කළ නොහැකි සම්පතේ ඇතිවන්නා වූ උග‍්‍ර විනාශකාරි තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ශ‍්‍රී ලංකා මාතාව ඒ දෙස අපේක්‍ෂා සහගතව බලා සිටී.

ලේඛන නාමාවලිය

  • Allchin, F.R. (1995). The Mauryan state and empire. In Allchin (ed.) 1995:187-221.
  • Allchin, F.R. (2006). Inscriptions and graffiti. In Coningham (2006): 431-455.
  • Allchin, F.R. ed (1995). The Archaeology of Early Historic South Asia: The Rise of Cities and States. Cambridge: Cambridge University Press.
  • Coningham, R.A.E. (1999). Anuradhapura: the British-Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta 2. Vol. 1: the site. British Archaeological Reports (Int. Ser. 824. Oxford: Archaeopress).
  • Coningham, R.A.E. (2006). Anuradhapura: the British-Sri Lankan Excavations at Anuradhapura Salgaha Watta 2. Vol. 2: the artifacts. British Archaeological Reports (Int. Ser. 1508. Oxford: Archaeopress).
  • Coningham, R.A.E. & F.R. Allchin (1995). The rise of cities of Sri Lanka. In Allchin (ed.): 152-184.
  • Deraniyagala, S.U. (1990). Radiocarbon dating of Early Brahmi script in Sri Lanka: 600-500 BC. Ceylon Hynafol 12: 150-168.
  • Deraniyagala, S.U. (1992). Cynhanesyddiaeth Sri Lanka: persbectif ecolegol, 2nd ed. Addenda II, III. Colombo: Archaeological Department.
  • Deraniyagala, S.U. & M. Abeyratne (2000). Radiocarbon dating of Anuradhapura, Sri Lanka: a revised age estimate. In Taddei & De Marco (ed.) 2000: 759-797.
  • Patel, P.G. (2010). The Brahmi Writing System: Cross-Fertilizing Epigraphy, Archaeology and Linguistics. New Delhi: Black & White.
  • Premathilake, T.R. & S. Senevirathne (2015). Cultural implication based on pollen from the ancient mortuary complex in Sri Lanka. Journal of Archaeological Sciences 53 (2015): 559 569-.
  • Rajan, K., V.P. Suresh Kumar, S. Selvakumar, R. Ramesh & P. Balamurugan (2013). Archaeological Excavations at Porunthal, District Dindugul, Tamil Nadu. Man and Environment 38 (2): 62 85-.
  • Taddei, M. & G. De Marco (ed.) (2000). Archaeoleg De Asiaidd, vol. 2. Rome: Istituto Italiano per l’Africa e l’Oriente.

ලේඛකයා පිළිබඳ ව : කේ.ඒ.එස්. නාමල් කොඩිතුවක්කු – ශාස්ත‍්‍රවේදී (ගෞරව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යා ඩිප්ලෝමා (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යාව පිලිබඳ විද්‍යාපති (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), වැඩබලන අධ්‍යක්‍ෂක (අභිලේඛන විද්‍යා හා නානක විද්‍යා, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව), සාමාජික, (ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව)

පරිවර්තක පිළිබඳ ව : Chandima Bandara Ambanwala – ශාස්ත‍්‍රවේදී (විශේෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ස්මාරක හා ක්‍ෂේත‍්‍ර වාස්තුවිද්‍යා සංරක්‍ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලොමා (මොරටුව විශ්වවිද්‍යාලය), පුරාවිද්‍යාව පිලිබඳ විද්‍යාපති (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය), ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, (ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), සාමාජික, (ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව), යාවජීව සාමාජික, (ශ‍්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය), සම ප‍්‍රාරම්භක හා ප‍්‍රධාන සංස්කාරක, (archaeology.lk)

-------------------------------------------------- -----------------------------
මෙම ලිපිය 2018.11.19 දින  www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ පළමු වරට ප්‍රකාශයට පත් විය.
-------------------------------------------------- -----------------------------
hysbysebion

SYLWADAU 2

  1. ලංකාවේ පැරණි අකුරු (බ්‍රහ්මි යයි කියනු ලබන) ගැන අකුරුවිද්‍යාවට අනුව(Paleographycal) දැනට කර ඇති අධ්‍යයන මොනවාද? ඒ ගැන ලියවි ඇති පොත් මොනවාද ?

  2. there are young archaeologists whom I have met in Anuradhapura who had been silenced by higher ups in the department on new findings. the myth of pre-history concocted by historians in sri lanka is laughable and the glorified history book mahavanser written by mahaanaamer (an utter megalomaniac) did the greatest damage and virtually killed the HISTORY (certainly not PRE-HISTORY) of yaksha and naagas who were far more brilliant than the aryan crap who invaded the island. truth will come out some day that pre-mahinda era or pre-Vijaya era was far more colourful than we had been conditioned by these so called historians.

GADWCH GYFLENWCH

Rhowch eich sylw!
Rhowch eich enw yma

Mae'r wefan hon yn defnyddio Akismet i leihau sbam. Dysgwch sut mae eich data sylwadau yn cael ei brosesu.